Wednesday, March 6, 2013

චින්තනයේ කඩවුණු පොරොන්දු .....

2005 වසරේ එලි දැක්වුණු මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ "ගුණ නැණ වැඩුම " ජාතික අධ්‍යාපන වැඩසටහන පිලිබඳ මෙසේ අවධානය යොමු කිරීමට හේතු කාරණා වුයේ පසුගිය මාර්තු මස පළමුවන දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගතිය පිලිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා එම අමාත්‍යංශය වෙත ග්ගිය අවස්ථාවේදී කළ ප්‍රකාශයකි.මෙම ජාතික අධ්‍යාපන වැඩසටහන යටතේ ප්‍රථමයෙන් සඳහන් වන කාරණය නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි යන්නයි.

එසේ නම් අද වනවිට උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇත්තේ මේ ආශ්චර්ය නිසාවෙන්ද? උසස් පෙළ අසමතුන් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල මුවාවෙන් උපාධි සම්පුර්ණ කරද්දී අදාල සුදුසුකම් සපිරූ පිරිස් උසස් අධ්‍යාපන හැර යන්නේ මේ ආශ්චර්ය නිසාවෙන්ද?

"දරුවන්ගේ පාසල් වස දැමීම වෙනුවට ඒවා ශක්තිමත්ව ගොඩ නංවමි " යැයි මෙරට අයිතිකරු නොව භාරකරු යයි කියූ ආඩම්බරකාර තාත්තා පොරොන්දු දී තිබේ. ඒ 2005 වසරේදීය. 2005 වසරේ සිට 2010 වසර දක්වා වසා දමා ඇති මෙරට පාසල් ගණන 350 ක් බව අධ්‍යාපන අමත්‍යවරයාම නිල වශයෙන් පවසන්නේ මේ පොරොන්දුව දී වසර 8 කට පසු වීම කදිම ආශ්චර්යකි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 65 වන පිටුවේ සඳහන් පරිදි "සැමට සරසවි වරම් " වැඩසටහන යටතේ මේ වන විට උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන පිරිස වැඩි කිරීමට නව සරසවි ආරම්භ කර පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්න බව පැහැදිලිව සඳහන්ය. නමුත් 2011 වසර උසස් පෙළ විභාගයෙන් සිසුන් වැඩිපුර බඳවා ගැනීමට සිදු වුයේ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අනුව නම් හිටපු අගවිනිසුවරියගේ පිස්සු තීන්දුවක් නිසාවෙනි. A සමාර්ථ තුනක් ගත් සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දී හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් කිරීම මගින් ප්‍රශ්නය විසදීම චින්තන මහත්තයාගේ යෝජනාවයි. නිදහස් අධ්‍යාපනය ලැබීමට මෙරට දරුවන්ට ඇති අයිතිය අහෝසි නොකිරීමට ඔහු දුන් පොරොන්දුව රකින ආශ්චර්ය මෙයද? කණගාටුවට කාරණය නම් චින්තන මහත්තයාගේ ප්‍රකාශයට විරුද්ධ වීමට මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහලම තනතුරු දරන කිසිවෙක් එම අවස්ථාවේදී කටයුතු නොකිරීමය. 

මාලඹේ පිහිටි, ලංකාවේ වෛද්‍ය සභාව පවා පිළිනොගන්නා උපාධි පිරිනමන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාල සිසුන් ඇතුලත් බවට යෝජනා ගෙන එන්නේද මෙරට අධ්‍යාපන බලධාරීන්මය. නිදහස් අධ්‍යාපනය රැකීම කෙසේ වෙතත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉදිරියේදී යන කල ගැන අපට සිතා ගැනීමට පුළුවන.

"සරසවි සිසුන්ගේ මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව සහ ශිෂ්‍යාධාර රුපියල් 500කින් වැඩි කරමි." චින්තන මහත්තයෝ මේ පොරොන්දුව දී අවුරුදු 8 කි.මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10 කින් හෝ වැඩිවුයේ නැත.තවමත් එය මාසිකව නිවැරදිව ලැබෙන්නේද නැත.

"සෑම සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමට හැකි වන පරිදි නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමි " යනුවෙන් දුන් පොරොන්දුවටද වසර 8 කි.නමුත් මේ වන විට මෙඅරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල බොහොමයක උග්‍ර නේවාසිකාගාර අර්බුදයක් පවතියි.

"විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කර පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ප්‍රතිපාදන සපයන්නෙමි." මෙයද චින්තන මහත්තයාගේ පොරොන්දුවකි. ඒ පොරොන්දු ප්‍රකාරව අප ඔබට යොමු කරන ප්‍රශ්නය නම් විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භුමියේ සකසා තිබු ආසන විශ්වවිද්‍යාල පරිපාලන විසින් ඉවත් කරන්නේ පහසුකම් පුළුල් කිරීමක් වශයෙන්ද?

මේ කඩවුනු පොරොන්දු ගැන ඔබට පිළිතුරු දිය හැකිද? 

ජනපතිතුමනි,මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපන සම්බන්ධයෙන් වූ කරුණු කාරනා ලියවුනේ අත්වැරදීමකින්ද? නැති නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත්ම අහෝසි නොකරමි . " යන්න "පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලැබීම සඳහා ඉහල පැලැන්තියට ඇති වරප්‍රසාදය තහවුරු කරන්නා සේම එය දිවි හිමියෙන් රැකීමටත් නිදහස් අධ්‍යාපනයේ මළගම මගේ පාලන කාලය තුලදී කෙසේ හූ සිදු කිරීමටත් පොරොන්දු වෙමි." ලෙස යලි ලියනු මැනවි.....





0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...