Tuesday, March 5, 2013

සිසුන් පෞද්ගලික උපාධි කඩවල ගාල් කිරීමට රජය උත්සාහ දරණවා - සංජීව බණ්ඩාර

සිසුන්ගේ උපාධි සිහිනය භාවිත කරමින් ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගාල් කිරීමට රජය උත්සාහ දරන්නේ යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

සිසු අවශ්‍යතාවන් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම ඉතා නින්දිත යැයි පවසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා වැඩි ශිෂ්‍ය පිරිසක් මෙවර බඳවාගන්නා බව රජය සඳහන් කළද ඒ වෙනුවෙන් වන විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව නැති බවයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ ඒ පීඨයන්ට අදාළව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවේ කප්පාදු කිරීමක් මෙවර සිදුකර ඇතැයි පෙන්වා දෙමින් සංජීව බණ්ඩාර මහතා මෙසේ කීය.

සම්පත්වල හිඟකම නිසා "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි බවට පීඨ මණ්ඩලය තීරණය කරලා තියෙනවා. එහි කළමනාකරණ පීඨයට මීට පෙර වර්ෂවලදී සිසුන් 150ක් බඳවා ගත්තත් මේ වර්ෂයේදී එය 50 දක්වා අඩු කරලා අමතර බඳවාගැනීම් 50ක් එකතු කරලා. සම්පූර්ණයෙන් බඳවාගන්නෙ සිසුන් 100යි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාඨමාලා දෙකකට අදාළව සිසුන් 90කගේ පුරප්පාඩු තියෙනවා. ඒ සඳහා සිසුන් බඳවාගන්න වැඩපිළිවෙළක් නැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා මෙවර සිසුන් 26,500ක් බඳවාගන්න බවට රජය ප්‍රකාශ නිකුත් කළත් 22,000ක පමණ පිරිසක් බඳවාගන්න පමණයි ඔවුන් කටයුතු කරන්නෙ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ගියපු අවස්ථාවක ජනාධිපතිවරයාත් පැහැදිලිවම කිව්වා ශිෂ්‍යත්ව හරි දීලා උසස් අධ්‍යාපනය වෙනුවෙන් ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සම්බන්ධ කරන්න කියලා."

සිය අරමුණු වෙනුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදු කිරීමට රජය දරන වෑයමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතු බවද සංජීව බණ්ඩාර මහතා අවධාරණය කළේය.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...