Wednesday, April 10, 2013

ආණ්ඩුව බුරන්නේ වැ‍රැදි ගහට

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක, මොන දෙයක් වෙතත්, ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට සපථ කොට තිබේ. උසස් අධ්‍යාපනය සඳහා රට තුළ පවතින වැඩි වන ඉල්ලූම සැළකිල්ලට ගැනීමේ දී, පෞද්ගලික විශ්ව විද්‍යාලවල අවශ්‍යතාව වෙනදාටත් වඩා අද දැනෙන බව, පසුගිය සිකුරාදා ‘දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යායතනයේ’ සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කතා කරමින් ඔහු කියා සිටියේය.
අ.පො.ස (උසස් පෙළ) විභාගයට පෙනී සිටි 350,000 කින් 150,000 ක් දෙනා විශ්ව විද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලැබූහ. එහෙත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගත හැකි වුණේ ඉන් 27,000 ක් පමණකැ යි ඇමතිවරයා පෙන්වා දුනි. මේ ගැටළුවට විසඳුමක් වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමේ ආණ්ඩුවේ තීරණය යුක්ති සහගත කිරීම සඳහා ඇමතිවරයා ඉහත සඳහන් දත්ත ඉදිරිපත් කළා විය හැකිය. එහෙත් බුද්ධිමත් ජනතාව මෙහි දී මතුකරන ප‍්‍රශ්නයක් තිබේ. එනම්, ශ‍්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රය බවට පත්කරමැ යි වහසිබස් දොඩන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවලට, මේ කියන වැඩි වෙමින් ඇති උසස් අධ්‍යාපනික ඉල්ලූමට සරිලන ආකාරයෙන් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීමට නොහැකි වුණේ මන්ද යන්නයි. අපේ දැනුමේ හැටියට, ඔහුගේ ප‍්‍රකාශයෙන් හෙළිදරව් වන්නේ, නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂාව සහ වර්ධනය සඳහා තමන් පේවී සිටිති යි රටට පෙන්වන අතරේ, මීට පෙර පැවති ආණ්ඩු සේම මේ ආණ්ඩුවත්, ලක්ෂයකට අධික ළමුන්ට උසස් අධ්‍යාපනයට ඇති අයිතිය උල්ලංඝණය කරමින් සිටින බවට කෙරෙන පාපොච්චාරණයකි. විශ්ව විද්‍යාලයට ඇතුලූ වීමට සුදුසුකම් ලැබූ 123,000 ක් වන ශිෂ්‍ය පිරිසකට, ඔවුන්ගේ වරදකින් තොරව, විශ්ව විද්‍යාලයේ දොර වැසීම අපරාධයක් නොවේ ද? අ.පො.ස. (සාමාන්‍ය) පෙළ විභාගයෙන් උසස් ප‍්‍රතිඵල අත්කරගත් අවවරප‍්‍රසාදිත පාසල්වල ඇතැම් දරුවන්ට ජාතික පාසල්වල අ.පො.ස. (උසස්) පෙළ පංතිවලට ඇතුලූ වීමට ඇති දුෂ්කරතාවන්ට එරෙහිව මහජන උද්ඝෝෂණ පැවැත්වෙයි. එහෙත්, පුදුමයකට මෙන්, අ.පො.ස (උසස්) පෙළ සාර්ථකත්වයන් ලැබූ මේ සා විශාල පිරිසකගේ අයිතීන් අමුඅමුවේ කඩවීමට එරෙහිව එවැනි උද්ඝෝෂණ පැවැත්වෙනු අප දැක නැත.

වෙනස් වන ලෝකය සමග ශ‍්‍රී ලංකාව ගමන් කළ යුතුය. ගුහාවාසී රෑනක් සේ කටයුතු කිරීම නොහොබී. පෞද්ගලික විශ්ව විද්‍යාල ශාඛා මෙහි පිහිටුවීමට, දේශපාලනික හේතූන් මත අසාධාරණ සේ විරුද්ධ විය යුතු නැත. එහෙත් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අභියෝගයන්ට මුහුණදීමට අසමත් වීමෙන් පැනනැගෙන ආණ්ඩුවේ විවිධ ප‍්‍රශ්නවලට විසඳුමක් වශයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම නුසුදුසු ය. මුදල් ගෙවා ලබන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක ප‍්‍රතිලාභ, සුදුසුකම් ලත් ශිෂ්‍ය ප‍්‍රජාවෙන් අතිබහුතරයකට ලැබීමට ඉඩක් නැත. මන්ද යත්, එවැනි වියදමක් දැරීමට ශක්තියක් ඔවුන්ට නැති බැවිනි. (පාසලේ අළුත්වැඩියා කටයුතු සඳහා ගෙවීමට, පොල් ගෙඩි කිහිපයක් සොරකම් කළ ශිෂ්‍යාවක් උසාවි ගියේ ඊයේ පෙරෙයිදා ය). මේ ශිෂ්‍යයන් අතරින් ඇතැමෙකු උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන බව සැබෑව. එහෙත්, එම ව්‍යතිරේකය සාමාන්‍යකරණය කළ නොහේ. මෙසේ අයිතිවාසිකම් අහිමි කෙරෙන ශිෂ්‍ය ප‍්‍රජාවේ බර රජය දැරිය යුතු වගකීමකි. නිදහස් අධ්‍යාපනයේ වාරුවෙන් දේශපාලනයට පිවිසීම නිසා අද හීල් හෙවණේ වෙසෙන දිසානායක ඇමතිවරයා, නිදහස් අධ්‍යාපනය යනු පාලකයන්ගෙන් පිණට ලැබෙන දෙයක් නොවන බව නොදැන ඉන්ට හේතුවක් නැත. නිදහස් අධ්‍යාපනයේ වියදම් වැඩිමනත් පිරිමැසෙන්නේ, හාල්, පරිප්පු, සීනි, කරවල සහ භූමිතෙල් ආදියට සාමාන්‍ය මිනිහා ගෙවන වක‍්‍ර බදුවලිනි. උසස් අධ්‍යාපනය යනු ආරක්ෂා කරගත යුතු අයිතියකි.

පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීමට එරෙහිව නැගෙන විරෝධයට ආණ්ඩුවට දැක්විය හැකි හොඳම ප‍්‍රතිචාරය වන්නේ, ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වර්ධනය කිරීමට කළ හැකි උපරිමය කිරීමත්, එසේ කරන බව පෙනෙන්ට සැලැස්වීමත්ය. උසස් අධ්‍යාපනය සඳහා වැඩි අරමුදල් ඉල්ලා සටන් කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට බැණඅඩගසමින් අවමානයට පත්කරනවා වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ, අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ තව තවත් ආයෝජනය කිරීම ය. එහෙත් අවාසනාවකට මෙන් ආණ්ඩුව වෙහෙසෙන්නේම, වැඩි ශිෂ්‍ය පිරිසක් විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගැනීමට තමන් දක්වන නොහැකියාවත්, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා තමන් තුළ ඇති උවමනාවත් යුක්ති සහගත කර ගැනීමට යි. ඒ හේතුව නිසා, ඔවුන්ගේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතියට එරෙහි වන්නන්ගේ චෝදනාව, එනම් පෞද්ගලික අංශය රිංගවීමේ උපක‍්‍රමයක් වශයෙන්, සතොස සහ ලංගමයට කළා සේ, ජාතික විශ්ව විද්‍යාල පරිහානියට පත්වීමට ආණ්ඩුව හිතාමතා ඉඩහැර ඇතැ යි යන චෝදනාව, සත්‍යයක් සේ පෙනෙන්ට පටන් ගනී.

පෞද්ගලික විශ්ව විද්‍යාල ගෙන එන්නේ රටේ සුභසිද්ධිය සඳහා කියා මහජනතාව රැවටීමට තමන්ට පිළිවනැ යි, හිස් මනස් සහ පිරුණු සාක්කු ඇති ආණ්ඩුවේ වාචාලයන් සිතීම තමන්වම මුළාවට පත්කර ගැනීමකට වැඩි දෙයක් නොවේ. ඇත්තෙන්ම ඔවුන් කරමින් සිටින්නේ, දිනෙන් දින අසන්තෝසයට පත්වන මහජනතාවක් රැවටීමට ගොස් තමන්වම ප‍්‍රපාතයකට තල්ලූ කර ගැනීමකි.
2013 අපේ‍්‍රල් 07 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ Govt. Barking up the wrong tree නැමති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
අප උපුටා ගත්තේ: theindependent.lk/

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...