Sunday, June 2, 2013

ස්වාධීන විශ්ව විද්‍යාලයක් – නිවහල් ශිෂ්‍යයෙක්

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය වර්තමානය වනවිට ගැටලු රැසකට මුහුණ පා තිබේ. විශ්ව විද්‍යාල වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් විවිධ බලපෑම් පවතින අතර බුද්ධිමය හා සංස්කෘතිකමය වශයෙන් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ ගරා වැටීමක් පවතී. මෙම ගැටලු අඩු වැඩි වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පිඨය තුල ද දැකිය හැක. නීති පීඨයේ අවසන් වසර සිසුන් සමූහයක් ලෙස අප අපගේ වසර හතරක අත්දැකීම් ඇසුරෙන් මෙම ගැටලු අප දකින ආකාරය සහ වඩා යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් වෙනුවෙන් අප ඉදිරිපත් කරන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ප්‍රකාශනයක් මගින් මෙසේ එලිදක්වමු.

විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු වටිනාකම් පද්ධතියකි.ජීවන භාවිතාවකි. නීතියේ බලය රැදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මතය.මේ අනුව -

- විශ්ව විද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍යයන් අතර,

- ශිෂ්‍යයන් සහ ශිෂ්‍යයන් අතර,

- ආචාර්යවරුන් සහ ආචාර්යවරුන් අතර පවතින සම්බන්ධතාවය ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය යුතු යැයි අපි විශ්වාස කරමු.

විශ්ව විද්‍යාලය තුල ගන්නා පරිපාලන තීරණ ශිෂ්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ශිෂ්‍ය සහභාගීත්වය සහිතව පරිපාලනයේ සහ ශිෂ්‍යයන්ගේ එකගතාවය මත විවෘතව ගත යුතුය. එසේ නොවන්නේ නම් එය පරිපාලන තීරණ ශිෂ්‍ය ප්‍රජාව මත බලහත්කාරයෙන් ආරෝපණය කිරීමක් වනු ඇත. එසේම ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලදී පරිපාලනයේ අදහස් වලට ඇහුම්කන් දීමේ යුතුකම ශිෂ්‍ය ප්‍රජාව වෙත පවතින අතර තීරණ වලට එලැඹිය යුත්තේ දෙපාර්ශවයේ එකගතාවය තුලිනි.

ශිෂ්‍ය ප්‍රජාව තුල තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පූර්ණ පාරදෘශ්‍යභාවයක් තිබිය යුතු අතර සියලු ශිෂ්‍ය කොටස් එම ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතුය. තීරණ ගැනීමේදී විවිධ ජනවර්ග, ආගමික කොටස් වල දායකත්වය මෙන්ම ශිෂ්‍යාවන්ගේ දායකත්වය ද ලබා ගත යුතුය. ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් තීරණ ගන්නා ශිෂ්‍ය සංගමය මෙම සියලු විවිධත්වයන් නියෝජනය කරන ආකාරයෙන් සකස් විය යුතුය. මන්ද ශිෂ්‍ය නියෝජිතයින් ගනු ලබන තීරණ සමස්ථ සිසු ප්‍රජාවටම බලපාන බැවිනි.

ශිෂ්‍ය ස්වාධිපත්‍යය

විශ්ව විද්‍යාල සිසුන් වයස අවුරුදු දහ අටට වඩා වැඩි පුරවැසියෝ වෙති. ඒ නිසා ඔවුන්ට ඔවුන් සම්බන්ධ තීරණ ගැනීමට මෙන්ම වැඩිහිටියන් ලෙස සැලකුම් ලැබීමට ද පූර්ණ අයිතිය පවතී. ස්වකීය ක්‍රියාකාරකම් නිර්ණය කිරීමේ අයිතිය හා නිදහස ශිෂ්‍ය ප්‍රජාව සතු අතර පරිපාලනය ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතුය. අධ්‍යයන කටයුතු වලදී සිසුන් ස්වාධීනව ශාස්ත්‍රඥයන් ලෙස කටයුතු කල යුතු යැයි අපේක්ෂා කිරීමත් සෙසු විෂය බාහිර කටයුතු වලදී පමණක් සිසුන් තනිවම කටයුතු කරගත නොහැකි නොදරුවන් ලෙස සැලකීමත් පරස්පර විරෝධීය.

අධ්‍යයන සංස්කෘතිය

විශ්ව විද්‍යාල තුල තිබිය යුතු අධ්‍යයන සංස්කෘතිය පාසැල් වල හෝ ටියුෂන් පන්ති වල පවතින සංස්කෘතියට වඩා වෙනස් එකකි. විශ්ව විද්‍යාල යනු ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් එකතුව ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන ස්ථානයක් මිස වැඩවසම් ගුරුගෝල සම්බන්ධතා පවතින මධ්‍යකාලීන යුගයේ ආයතන විශේෂයක් නොවේ. ගුරුවරයා දේශන ශාලාවට පැමිණිවිට හුනස්නෙන් නැගී සිටීම, සිසුන් සුලු කොට සලකා බැණ වැදීම වැනි වැඩවසම් පිළිවෙත් නූතන යුගයේ විශ්ව විද්‍යාලයන්ට උචිත නොවේ. ආචාර්යවරුන් වෙත සිසුන් තුල ගෞරවයක් පැවතිය යුතු බව අප විශ්වාස කරන අතර එය මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට දැක්විය යුතු ගෞරවය මිස වැඩවසම් ගුරුගෝල වන්දනාවක් නොවේ . එම මිනිස් ගෞරවය පෙරලා ලැබීමට සිසුහු ද හිමිකම් ලබති.

පුනරුද යුගයට පෙර සිටම ලෝකය වෙනස් කල නව අදහස්, මතවාද බිහිවූයේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවය. නමුත් අද ලංකාවේ විශ්ව විද්‍යාල හුදෙක් රැකියා ලබාගැනීම සදහා සිසුන්ට සටහන් කට පාඩම් කරවන වෘත්තීය පුහුණු ආයතන විශේෂයක් බවට ලඝු වී ඇත. පවතින අධ්‍යාපන රටාව ශිෂ්‍යයාට ස්වාධීන චින්තනයක් ඇතිකරගැනීමට උපකාරී කරන්නක් නොවේ. විභාග භීතිකාවෙන් පෙලෙන යාන්ත්‍රික මනසක් සහිත සිසුවෙක් වෙනුවට විවේචනාත්මක, විග්‍රහශීලී දෘෂ්ටියක් සහිත විද්‍යාර්ථියෙක් බිහිකිරීමට පහසුකම් සලසන ආකාරයේ අධ්‍යයන සංස්කෘතියක් බිහිවිය යුතුය. දැනුම සොයන විද්‍යාර්ථීන් වෙනුවට Attendance සොයන සිසුන් පිරිසක් බවට ශිෂ්‍ය ප්‍රජාව පවතින අධ්‍යයන පරිසරය විසින් පත්කොට තිබීම කණගාටුවට කරුණකි. අවම පහසුකම් සහිත දේශන ශාලා, නේවාසිකාගාර සහිත පරිසරයක් තුලින් සමාජ පෞරුෂයක් සහිත විද්‍යාර්ථයෙකු බිහිවනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය.

ශිෂ්‍ය දේශපාලනය

දේශපාලනය යන වචනය නීති පීඨය තුල අසභ්‍ය දෙයක් වී තිබේ. ප්‍රසිද්ධියේ එය හෙලා දැක රහසින් එහි යෙදීමට ඇතැම් විද්‍යාර්ථීහු පෙලඹී සිටිති. ලෝකයේ සෑම දෙයක්ම දේශපාලනික වන පසුබිමක විශ්ව විද්‍යාල පමණක් අදේශපාලනික විය යුතු යැයි සැලකීම අඥාන අදහසකි. විශ්ව විද්‍යාල සිසුන් දේශපාලනික විය යුතු අතර එම දේශපාලනය විචාරශීලී එකක් විය යුතුය. එය මැති ඇමතිවරු සමග ප්‍රිය සම්භාෂණ වල යෙදෙන පටු දේශපාලනයෙන් ඔබ්බට ගිය ප්‍රතිපත්ති මූලික දේශපාලනයක් විය යුතුය. විශ්ව විද්‍යාලය තුල මතවාද මර්ධනය නොකළ යුතුය. දේශපාලන සංවාද සදහා නිදහස් අවකාශයක් පැවතිය යුතුය. උසස් දේශපාලන මතවාද බිහිකිරීමට ඉතිහාසය තුල ලෝකයේ විශ්ව විද්‍යාල ලබාදුන් දායකත්වය අතිමහත්ය. විශ්ව විද්‍යාල අදේශපාලනික වීමේ ප්‍රතිඵලය සමාජයේ දේශපාලන කරළිය තුල මතකය අහිමි කරගත් මැරයින් යෝධයින් බවට පත්වීමය.

විද්‍යාර්ථීයාගේ භූමිකාව

විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍යයන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ ද භූමිකාව හුදු අධ්‍යයන කටයුතු වලට සීමා නොවිය යුතු යැයි අපි සිතමු. අද වනවිට අප පීඨයේ සිසුන් දේශන ශාලාවට හා පුස්තකාලයට සීමා වී සිටී. අවම වශයෙන් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව කෙරෙන සංස්කෘතික කටයුත්තකට හෝ සම්බන්ධ වීමට ඔවුන් තුල ඇත්තේ ඇල්මැරුණු හැගීමකි. සමාජ සංස්කෘතික දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් විද්‍යාර්ථීන් අතර සංවාදයක් දක්නට නොමැති අතර අතරින් පතර හෝ පැවැත්වෙන සංවාදයකට වුව සහභාගී වීමේ උනන්දුවක් දැකිය නොහැක. චින්තනයක් නොමැති, අවිචාරවත්, අප්‍රබුද්ධ පිරිසක් විශ්ව විද්‍යාල තුලින් බිහිවීමට මේ තත්වය හේතු වී ඇත. ජාතික තලයේදී පරාවර්තනය වන්නේ විශ්ව විද්‍යාල තුල ඇති මෙම බුද්ධි හීනතාවය නොවේද? මෙම තත්වය වෙනස් වී දේශන ශාලාවේ සිට ආපන ශාලාව දක්වා දහසක් මත ගැටෙන,එහෙත් විද්‍යාර්ථීන් උනුන් පුද්ගලිකව නොගැටෙන බුද්ධිමය පරිසරයක් සරසවිය තුල ඇති විය යුතු යැයි අපි විශ්වාස කරමු.

විශ්ව විද්‍යාලය යනු ඉංජිනේරුවරුන්ගේ සංස්ථා ප්‍රධානීන්ගේ පමණක් නොව ගොවීන්ගේ, කම්කරුවන්ගේ ද බදු මුදලින් නඩත්තු වන ආයතනයකි. මේ නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන්ට සමාජයේ පොදු ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේ සමාජ වගකීමක් පවතී. එම වගකීම පසෙකලා හුදෙක් තම ආත්ම ලාභය, වෘත්තීය සහ පටු පෞද්ගලිකත්වය අරමුණු කරගෙන ඔවුන් කටයුතු කරන්නේ නම් එය ඛේදවාචකයකි. විශේෂයෙන් මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කඩාවැටීමේ ප්‍රවණතාවයක් අප අත්දකින අතර 18 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම, අධිකරණ පද්ධතිය දේශපාලනිකකරණය වීම, අපරාධ නඩු විධාන සංග්‍රහයට මර්දනකාරී සංශෝධන එකතු වීම වැනි සිදුවීම් මෙම කඩාවැටීමට උදාහරණ වෙති. මෙවැනි අසාධාරණයන් ඉදිරියේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුනිවත රැකීම සහ ඒවා අනුමත කිරීම වෙනුවට ඒවාට එරෙහිව සක්‍රීයව පෙනී සිටීම සැබෑ විද්‍යාර්ථියාගේ සමාජ යුතුකමකි.

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස

අධ්‍යාපනය වරප්‍රසාදයක් ලෙස නොව අයිතියක් ලෙස අපි සලකමු.අධ්‍යාපනය මානව සංවර්ධනයේ අත්‍යවශ්‍ය කාරකයක් වන අතර ඒ සදහා සමාන අයිතියක් සමාජයේ සෑම පුරවැසියෙක්ටම පවතී. මෙම සම අයිතිය සාක්ෂාත් කරගත හැක්කේ නිදහස් අධ්‍යාපනය තුලිනි. වෙළදපොල බලවේග අධ්‍යාපනයේ එම ශිෂ්ටාචාරමය කාර්යය ඉටු කිරීමෙහිලා අසමත්ය. කෙසේවුවද මෑතකාලීනව අධ්‍යාපනය හුදු වෙළද භාණ්ඩයක් බවට පත්කොට පුද්ගලිකකරණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්වී ඇති ආකාරය අපි දකිමු.

ඉහත තත්වය හෙළා දකින අපි නිදහස් අධ්‍යාපනයේ වැදගත්කමත් අධ්‍යාපනයේ නිදහසත් ගැන ගැඹුරු සංවාදයක් විශ්ව විද්‍යාලය තුල ඇති විය යුතු යැයි සලකමු. අප මෙම ප්‍රකාශනයේ ආරම්භයේ සිට සාකච්ඡා කළ විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්‍ය ස්වාධිපත්‍යය, යහපත් අධ්‍යයන සංස්කෘතිය, ශිෂ්‍යයන්ගේ හා ආචාර්යවරුන්ගේ භූමිකාව යන කරුණු සියල්ල අවසන් වශයෙන් නිර්ණය වනු ඇත්තේ නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස ශක්තිමත් වී තිබෙන ප්‍රමාණය මතය. බොහෝ අය මෙය අමතක කර දමා ඇති යුගයක නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම අපගේ අත්හළ නොහැකි යුතුකමක් ලෙස අපි විශ්වාස කරමු.

මෙලෙස අප ගොනු කරන ලද්දේ යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් බිහිකරගැනීම වෙනුවෙන් ගුරු කොට ගත යුතු යැයි අප සලකන ප්‍රතිපත්තිමය මූලධර්මයන් සමූහයකි. අවිචාරවත් ලෙස එකා පසුපස එකා ගමන් කරන කුහුඹු රෑනක් වැනි යාන්ත්‍රික විශ්ව විද්‍යාල ප්‍රජාවක් වෙනුවට විචාරශීලී බුද්ධියක් සහිතව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස වැනි වටිනාකම් ගුරු කරගනිමින් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන විශ්ව විද්‍යාල ප්‍රජාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි. මෙම අපේක්ෂාව මනෝරාජික යැයි ඇතැම් විට යමෙක් කීමට ඉඩ තිබේ. අප‍ට ඊට පිළිතුරු වශයෙන් කීමට ඇත්තේ වැඩවසම් ක්‍රමය මත පදනම් වූ රාජාණ්ඩු වෙනුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ගැන යෝජනා කළ අයට මධ්‍යතන යුගයේ දී දමා ගසන ලද්දේද “මනෝරාජිකවාදී විම” පිළිබද චෝදනාවෙන් බවයි. ලෝකය සෑම විටම ප්‍රගතිය කරා ගමන් කළේ මනෝරාජික යැයි අද පෙනෙන දෙය අත්පත් කරගැනීමට මිනිසා කරන ලද අනවරත අරගලයෙහි ප්‍රතිඵලයක් ලෙසය. අප ඉදිරිපත් කළ මෙම අදහස් සංවාදයට ලක්කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. වඩා යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් බිහි කිරීමෙහිලා උපකාරී වනු ඇත්තේ එලෙස සිදු කෙරෙන සංවාදයක් තුලින් ඇතිවන ක්‍රියාකාරීත්වයයි.

*ජයන්ත දෙහිඅත්තගේ / ලක්මාලි හේමචන්ද්‍ර / රමිදු පෙරේරා / රවී තිසේරා ( අවසන් වසර – නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය )

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...