Friday, August 23, 2013

ඇමති ඇතුළු බලධාරීන්ගේ වැරදි වහන්න අධ්‍යාපන අයිතිය උදුරාගන්න බෑ

Joseph stalin
Joseph stalin
විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම වළක්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පැහැරගැනීමක් සඳහා නොවිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. 

රජය විසින් නිකුත් කරනු ලැබූ 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රයෙන් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයින්ට සිදුවන අසාධාරණය පිළිබඳ ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි. 

ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ප්‍රසිද්ධ ලිපියේ මෙසේද සඳහන්ය. 

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 1965 අංක 25 දරණ ප‍්‍රසිද්ධ විභාග පනතේ 22 වෙනි වගන්තියට අනුව නියෝග පැනවීමට ඔහු සතු බලය උපයෝගී කරගෙන විභාග දිනට පූර්වයෙන් දින 5 කට පෙර විභාගය අවසන් වන දින දක්වා උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙයවීම ඇතුළු දරුවන් විභාගයට සුදානම් කිරීමේ සියලූම කටයුතු තහනම් කොට ඇත. 

මෙම තහනම 2013.08.25 දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට අදාළව මෙන්ම අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට ද අදාළ වන පරිදි 2013.06.21 දිනැති 1816 දරණ ගැසට් පත‍්‍රය මගින් පනවා ඇත. මෙය සම්පූර්ණයෙන්ම විභාගයට පෙනී සිටින දරුවන්ට සිදු කරන අසාධාරණ කි‍්‍රයාවක් වන අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යයත්ව විභාගයට පෙනී සිටින කුඩා දරුවන්ට එය බරපතළ අසාධාරණයකි. 

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ගුරුවරු විභාගය ආසන්න දිනය දක්වාම පාසල්වල දරුවන් සූදානම් කිරීමට අදාළව ඉගැන්වීම් කටයුතුවල නිරත වේ. මෙය ගුරුවරුන් තම රාජකාරි සීමාව ඉක්මවා දරුවන් වෙනුවෙන් සිදු කරන සත්කි‍්‍රයාවකි. 

ඉහත ආකාරයේ නියෝග පැනවීම තුළ කුඩා දරුවන්ගේ මතක ශක්තිය රඳවා ගැනීමේ හැකියාව මත සතියකට පෙර සිටම ඉගැන්වීම් කටයුතු නරත කිරීම හරහා ඔවුන් බරපතළ පීඩනයකට පත්වෙති. මේ නිසා නොමිලේ සිදු කරන ඉගැන්වීම් කටයුතු නතර වන අතර ඇති හැකි දරුවන්ට පුද්ගලිකව ඉගැන්වීම් කර ගැනීමට අවකාශය පමණක් තහවුරු වී පවතී. 

එසේම 2012/41 චක‍්‍රලේඛයේ සඳහන් පාසල් වාර සටහනට අනුව මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය 2013 අගෝස්තු 12 වන දින ඇරඹෙන අතර එම දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමට පරිසරයක් තිබියදී අනෙක් පාසල්වල දරුවන්ට පාසල් නිවාඩුව ලබාදී ඇති බැවින් ඉහත ගැසට් නිවේදනය අනුව ඔවුන්ට සිදුවන අගතිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය සැලකිල්ලට නොගැනීම තුළ අධ්‍යාපන ඇමතිවරයාගේ තීරණවල ඇති අමනෝඥභාවය මනාව දිස්වේ. 

විභාග ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම වැළැක්වීම සඳහා මෙවැනි නියෝග පැනවීම තුළ දරුවන්ට ඉගෙන ගැනීමට ඇති අයිතියට සීමා පැනවෙන අතර මෙසේ අධ්‍යාපන අයිතියට සීමා පැනවීම ඔස්සේ අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් තමන්ගෙන් සිදුවිය හැකි වැරදි වසා ගැනීමට තැත් කරන ආකාරය ලැජ්ජා සහගතය. 

මෙම සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගෙන අදාළ ගැසට් නිවේදනයේ සඳහන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය, අපොස උසස් පෙළ විභාගයට පනවා ඇති අවශ්‍ය නොවන මෙම කොන්දේසි ඉවත් කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 

මෙයට,
ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...