Sunday, October 28, 2012

සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ

Sunil R. Gamage
- සුනිල් ආර්. ගමගේ

සුනිල් ආර්. ගමගේ ගී රචනා ක්‍ෂේත්‍රයට පිවිසියේ 1970 දශකය ආරම්භයේදීය. තිස්‌ පස්‌ වසරකට එහා දිවෙන ඔහුගේ ගී රචනා කලාවේ අභිෂේක වන මේ මොහොත වන විට ඔහු ලියා ඇති ගී සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ.

පණ්‌ඩිත් අමරදේව, නන්දා මාලනී, දීපිකා ප්‍රියදර්ශනී, ගුණදාස කපුගේ, මාලනී බුලත්සිංහල සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, නිරෝෂා විරාජිණී, අමරසිරි පීරිස්‌, සුජාතා අත්තනායක, සනත් නන්දසිරි ආදී ගායක ගායිකාවන් රැසක්‌ ඔහුගේ ගී රචනා ගායනා කොට ඇති අතර බොහෝ ගී ජනප්‍රිය ඒවාය.
සාහිත්‍ය අමතක කළොත් ගීත රචකයෙක්‌ වෙන්න බෑ...
ඔබ පෙම් කරනා ගී නමින් සුනිල් ආර්. ගමගේ සිය ගී රචනා 116 ක්‌ අඩංගු සී. ඩී. පට සංග්‍රහයක්‌ නිකුත් කොට තිබේ.

 මේ ඔහු සමග කළ කතා බහක්‌.

ගීත ලිවීමට පරිසර බලපෑම කොහොමද?

මම ඔරුවල. එදා ගමක්‌. අපේ අම්මා තාත්තා කවියට, පිරිතට ඇලුම් කළ අය. අපගේ වට පිටාවේ පන්සල, වෙල් යාය, ඇළ දොළ තිබුණා. අපි රාත්‍රියේදී හඳ එළියත් එක්‌ක, තරු එළියත් එක්‌ක ජීවත් වුණ කතා බස්‌ කරපු අය. මාංදම් හිඹුටු පුහුලං කාලා ඇළේ දොළේ නාලා හොඳ ළමා කාලයක්‌ ගත කළ අය.

අද පරපුර ඉන්නේ විදුලි එළියත් එක්‌ක. ඇළට, දොළක, කුඹුරක යන්න වෙලාවක්‌ නෑ. පන්ති... පන්ති... මාදං හිඹුටු අඳුරන්නේ නෑ. සොසේජස්‌ අඳුරනවා. මේක කණගාටුවට කාරණාවක්‌. එදා රබර් වැටි පිට්‌ටනිවල අපි හැන්දැ වෙනකම් සෙල්ලම් කරපු ඉඩම් අද කට්‌ටි කැඩිලා. ජීවිතත් කට්‌ටි කැඩිලා. කට්‌ටිවලට කැඩිලා ගිහින්. අපේ ගමේ සරල ජීවිතය තමයි මේ ගීත ලිවීමට පරිසරය වුණේ.

පරපුරක වෙනස දකින්නේ කොහොමද?

අපේ පරපුරට වඩා හැම දෙයක්‌ම වෙනස්‌ පරපුරක්‌ දැන් ඉන්නේ. නව පරපුරේ ගායන ශිල්පින්, තනු රචකයින් තාක්‍ෂණයෙන් දුරගිය අය. නමුත් සාහිත්‍ය ඇතහැරලා තාක්‍ෂණයෙන් පමණක්‌ දුර ගමනක්‌ යන්න බැහැ. අපේ පරපුරට සාහිත්‍ය පරිශීලනය කළේ චිරත්ත සාහිත්‍ය සමගයි. සාහිත්‍ය පිළිබඳව ගායක ශිල්පියකට හෝ ශිලිපිනියකට යම් අවබෝධයක්‌ තිබිය යුතුයි. පද රචකයන්ට රිද්මය පිළිබඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. ගීතයක උසස්‌ මට්‌ටම රැඳෙන්නේ මේ තුන් ඈඳීම නිසයි. අද පරපුරට සිංහල, සාහිත්‍ය අවබෝධය නැතිවීම තුළ වචන උච්චාරණය, සංගීතයේ භාවයම ස්‌වරූපය, පදරචනයේ නිසරු බව නිසා වර්තමානයේ ගීතය මොකක්‌දොa තැනකට හිරවෙලා...

ගීත ලියන්න පටන් ගත්තේ කොයි වකවානුවේද?

මම හැත්තෑ දශකයේ ගීත ලියන්න පටන් ගත්තා. ඒ අවදියේ රටේ සමාජයීය වශයෙන්, දේශපාලන වශයෙන් ප්‍රබෝධයක්‌ තිබුණ අවදියක්‌. මේ නිසා හැත්තෑව දශකයේ තමයි හොඳ නිර්මාණ බිහිවන්නේ. හැත්තෑහතේ විවෘත ආර්ථිකයත් සමග අසූව දශකයේ බිහිවුණ නිර්මාණකරුවන් විවෘත ආර්ථිකයට, බහුජන සමාගම්වලට, ඇමරිකානු ධනේෂ්වරයට අසුවෙනවා. සාහිත්‍ය දුර්වල කරනවා, ඉතිහාසය නැති කරන්න හදනවා. මේ බලපෑම නිසා අවරඝනයේ ගීත බොහොමයක්‌ බිහිවෙනවා.

අද ගීතවල සාහිත්‍ය වටිනාකමක්‌ තියෙනවද?

හැත්තෑව දශකයේ බිහිවුණු රෝහණ වීරසිංහ, ගුණදාස කපුගේ, එච්. එම්. ජයවර්ධන වැනි තනු රචකයින්ට සාහිත්‍ය පිළිබඳ හොඳ දැනුමක්‌ තිබුණා. අපි ගත කළ පරිසරවලම ජීවත් වුණ අය. මේ අය පදරචනා තේරුම් අරගෙන තනු රචනා කළ ශිල්පීන්. වර්තමාන තනු රචකයින් පදරචනා තේරුම් නොගෙන සංගීතය යෙදීමෙන් ගීත භාවයමය ගුණය විනාශ කරනවා. මතක තියා ගන්න ඕන ගීතයේ සාහිත්‍ය තේරුම් ගන්න බැරිව ගී තනු නිර්මාණ කරන්න බැහැ.

ඔබේ ගීත රචනා අතර කිවිය ඔබ ගීතය විශේෂයි නේද?

ඔව්. ආකෘතිමය වෙනස්‌කම් කළ ගීතයක්‌. මාත්‍රා පහකින්, වචන දෙකකින් මෙම ගීතය පටන් ගන්නේ. එම වචන දෙකෙන් එහාට ගීතයේ ශක්‌තිය තිබෙන්නේ තනු නිර්මාණ ශිල්පියාගේ අතේ. රෝහණ වීරසිංහ ගීතය ඉතා ඉහළින් කරනවා. මගේ බොහෝම ගීත ආකෘති වෙනස්‌කම්වලින් යුක්‌තයි. මම නිතරම ස්‌ථායි කොටසේ ආකෘතික වෙනස්‌කම් කරලා තියෙනවමයි. අන්තරා කොටස තමයි සාම්ප්‍රදායික විරිත් ලක්‍ෂණ රැකගෙන තියෙන්නේ. මගේ හැම ගීතයකම මෙම ලක්‍ෂණ තියෙනවා. මේකත් ප්‍රශ්නයක්‌. මොක ආකෘතික ලක්‍ෂණ වෙනස්‌ කරපු ගීතවලට තනු නිර්මාණ කරන ශිල්පීන් හරිම අඩුයි. රෝහණ වීරසිංහ කියනවා එක අවස්‌ථාවකදී මම තියන තිත් පේළියත්, දිග ඇර, කෙටි ඉරත් තේරුම් ගන්නවාලු. එතන විරාමයක්‌ තියන්න අවශ්‍ය බව.

"නිල් කටරොලු මල් ගොමුවේ" ගීතයේ සඳහන් කළොත්

මෙම ගීතය මගේ අත්දැකීමක්‌. මම රැකියාව නිමවී ගෙදර එන දවසක මගේ පුතා නිල් කටරොලු මලක වහල ඉන්න සමනලෙයක්‌ පස්‌සේ දුවනවා දැක්‌කා. ඊට සංවේදී වූ මම ඒ මොහොතේම එක දිගට විනාඩි කිහිපයක්‌ තුළ කිසිදු වචනයක්‌වත් කපන්නේ කොටන්නේ නැතිව ලියපු ගීතයක්‌.

එහෙම පෞද්ගලික අත්දැකීම්වලට ලියවුණු තවත් ගීත තියෙනවද?

ඔව්. මගේ මිත්‍රයෙකුට වුණ සිදුවීමක්‌ තමයි ගුණදාස කපුගේ ගායනා කරන ඔබ පෙම්කරනා ඔබේ කුමාරි ගීතය. මගේ මිත්‍රයට ඒ වෙච්ච සිදුවීමෙන් කම්පනයට පත්වුණු මම නිල් කටරොලු ගීතය වගේම එක දිගට එක හුස්‌මට ලියපු ගීතයක්‌.

ඔබේ පදරචනාවලින් ගායක ගායිකාවන් ජනප්‍රිය වුණු අවස්‌ථා තිබෙනවාද?

ඔව්. අපේ පරපුරට පසුව පැමිණි දිවුල්ගනේ, ජානක, දීපිකා වැනි අයගේ ස්‌වර්ණමය ගීතයත් මම ලියලා තියෙනවා. කපුගේට ඔබ පෙම්කරනා ඔබේ කුමාරි, ප්‍රියාසූරියසේනට සුදු පරෙව් රෑන සේ වගේම, දීපිකාට කවිය ඔබ ස්‌වර්ණමය ගීතයක්‌ වුණා.

ගීතයකින් ජීවිතයට බලපෑමක්‌ ඇති කළ හැකිද?

ඔව්. මේ අලුත් පරම්පරාවට හොඳ ගීත රචකයන් නොමැතිකම නිසා හරසුත් බොළඳ පද රචනා බිහිවෙනවා. රටේ ව්‍යසනවලට මේවා නොදැනිමව බලපානවා. මනුෂ්‍යයා සාහිත්‍ය තුලින් මනුස්‌සකම හදන්න පුළුවන්. අපට හික්‌මීම ඇතිකළේ සාහිත්‍යය. මේ සාහිත්‍ය නොලැබීම තමයි ව්‍යසනවලට ආරම්භය. මුලින් කිව්ව වගේ ඉතිහාසය, සාහිත්‍ය නොමැතිකම තමයි මේ. සියලු දේ විකුණන සමාජයක්‌ දැන් තියෙන්නේ. මිනිසා... මිනිසා නොදැනීම අලෙවි වෙනවා. අලෙවි කරනවා. මේවා වැඩිපුරම කරන්නේ රූපවාහිනි නාලිකා සහ එෆ්. එම්. නාලිකා. අද ටෙලි නාට්‍ය ගරා වැටිලා. තියෙන්නේ පවුල් ආරාවුල්. යහපත් නිර්මාණ කරන ඒවාට වැටකඩොලු බඳිනවා. මොකද ලාබ හරසුන් දේවල් විකුණ ගන්න පුළුවන් පහසුවෙන්. මේ විකිණීමට තුළ වෙන්නේ ජාතියක්‌ නැතිවීමයි.

ඔබ තරුණ සේවා සභාව තුළ තුරුණු ශක්‌තිවලට සම්බන්ධ වෙනවා නේද?

සුනිල් ජයන්ත නවරත්න මහතා මට ලොකු වගකීමක්‌ පවරනවා තරුණ සේවා සභාවේ. ඒ අනුව අලුත් ගේය පදරචකයින්ගේ, ගී රචනාවලට අලුත් ගායක ගායිකාවන් ගී ගයනවා. වාදක ශිල්පී කණ්‌ඩායමත් නවකයින්. අපි සී. ඩී. තැටි දෙකක්‌ එළිදැක්‌වූවා. ඒ ගීත බොහොම ජනප්‍රිය වුණා. ඒ හරහා තමයි රවී සිරිවර්ධන වැනි ගේය පදරචකයින් බිහිවන්නේ. ශිසිකා නිශංසලා, සුභානි, සුරංගි ශ්‍යාමලි, වැනි ගායිකාවන් බිහිවන්නේ. තනු රචකයින් හැටියට දර්ශන බෝධිකොටුව, දර්ශන වික්‍රමතුංග බිහිවෙනවා. මේවා තරුණ සේවා සභාව ලබපු ප්‍රතිලාභ.

අද අලුත් පරචකයින් බිහිවෙනවා අඩුයි නේද?

නැහැ. එහෙම හිතන්න බැහැ. අපේ පරපුරේ යෂ්ටිය අතට ගත් අය ඉන්නවා. ඒ අයට ගීත ලියන්න අවස්‌ථාව අඩුයි. අපි බිහිවෙන කොට ගුවන් විදුලියේ තිබුණ නව පදමාලා, මියුරුසර වින්දන, ප්‍රබුධ ගීත හැම මාසයකම සරල ගී වැඩසටහනුත් තිබ්බා. අද එවැනි වැඩසටහන් නෑ. මම උත්සාහ කරනවා අලුත් කැසට්‌ සහ සී.ඩී තැටිවලට අලුත් ගේය පදරචකයින්ට වැඩි ඉඩකඩ ලබාදෙන්න.

ගීයක්‌ ජනප්‍රිය වීමට රූප රචනය බලපානවද?

ඔව් බලපානවා. ලාබ දේවල් ජනප්‍රිය කර ගන්න.

ගීත සාහිත්‍ය පාසල් තුලින් ආරම්භ කළොත්

අපේ කාලයේ සිංහල ගුරුතුමිය අපිට කොච්චර දේවල් ඉගැන්නුවද? දැන් ඉන්න සමහර ගුරු උපදේශකවරු ගීතය, ගීත සාහිත්‍ය හා ගීත රසවින්දන හඳුනන්නේ නැහැ.

මේ කාර්ය බහුල, තරගකාරී ජීවිතය ෙද වාචකයක්‌. ළමයි උදේ පාසල් ගියාම ගෙදර එන්නේ රෑ 9 ට. මේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වැරදීමක්‌ තියෙනවා. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. අපි කොම්පියුටර් තාක්‍ෂණයෙන් ඉදිරියට යන්න ඕනෑ. ඒත් සාහිත්‍ය අමතක කරලා යන්න බැහැ.

ඔබපෙම් කරනා ගී අරමුණ මොකක්‌ද

මම ඔබ පෙම් කරණා ගී නමින් සංගත තැටි හයක්‌ සහ ළමා ගීත 16ක්‌ සමඟ ගීත 116ක්‌ එළිදක්‌වනවා. මෙහි ප්‍රධාන අරමුණ තමයි ගීත සංරක්‍ෂණය කිරීම, මගේ ගේද කාව්‍ය අයිතිය තහවුරු කිරීම සහ නෑසෙන ගීත රසිකයිනට තිළිණ කිරීම . 2012 සැප්තැම්බර් 25 වෙනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා එළිමහන් පරිෂ්‍රයේදී රාත්‍රී 7 පැවැත්වෙනවා. මම රචනා කරපු ගීත සුජාතා අත්තනායක, නන්දා මාලනී,අමරසිරි පීරිස්‌,සුනිල් එදිරිසිංහ, දීපිකා ප්‍රියදර්ශනි, ප්‍රදීපා ධර්මදාස , දිවුල්ගනේ, නිරෝෂා ,ජානක, මිත්‍ර කපුගේ, සහේළි , සුරංජි ශ්‍යාමලි යන ගායික ගායිකාවන් රෝහණ වීරසිංහයන්ගේ සංගීතය ගීත ගායනා කරනවා.. සැමට විවෘත ආරාධනා කරනවා.

හර්ෂණ ජයතිලක

උපුටා ගැනීම - දිවයින 

Saturday, October 27, 2012

ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමි ද?

මේදින වල අන්තර්ජාල සංවාදයන්ගේද, මග තොටදී හමුවන දේශපාලන මිතුරන්ගේද, සන්ධ්‍යාවේ මධුපාන මිත්‍රසමාගම්හීද මාතෘකාව බවට පත්ව ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සහ එය නිමාවූ ආකාරයයි.අයෙක් පවසා සිටින්නේ "නිර්මල් වැඩේ පාවාදුන්නා"

තවත් අයෙක් කියන්නේ "වෘත්තීය සමිතියකට යන්න පුළුවන් උපරිම දුරතමයි ඒ පෙන්නුවේ. "තවත් අපගේ දේශපාලන මිත්‍රයන් කියන්නේ "80 වර්ජනේට වඩා දරුණු වෙනවා මේ පරාජය."
අපගේ I Hate politics මිත්‍රයන් පවසන්නේ "අපි කිව්වනේ ඕක වෙනවා කියලා. උඹලට පිස්සු."

තවක් වටින්ගොඩින් ඉදින් සංවාදයන්ට ලුණු ඇඹුල් දමන අය කියන්නේ ෆූටා එක ඇතුලේ වළි ලු. කීපදෙනක් අයින්වෙන්න යනවලු. ධම්ම නිර්මල් එක්ක ඩීල් එකක් දාලලු. බැසිල් නිර්මාල් එක්ක ඩීල් දාගෙනලු.
 
ඇත්තටම සටන අවසන්ද?

මේ සියලු සංවාදයන්ගේ කථා නොකරන එකම කරුණ අධ්‍යාපන සටන ෆුටාවෙන් පසු ගොඩනගන්නේ කෙසේද යන්නයි. ආචාර්යවරුන්ගේ සටන් වැටුප් සටනින් උත්කර්ෂයට පැමිණ ආරාබි වසන්තයක් දක්වා දිගුකරන දේශපාලාන බලවේග නිර්මාණය කරන්නට පෙළගැසුනු බොහෝ කණ්ඩායම් ෆූටාව අවසන්වීමෙන් පසු උකඨලී වී ඇත. නැතිනම් සියල්ල අවසන් වූවාක් මෙන් හැඟීම් බරවී ඇත.

"සමහර ආචාර්යවරු පවා ""සිරකරුවෝද මනුෂ්‍යයෝය" , ඒමෙන්ම ""කථිකාචාර්‍යයෝද මනුෂ්‍යයෝය". ජීවිත යථාර්ථය ඔවුනටද මඟ හැර යා නොහැක්කකි " යනුවෙන් අන්තර්ජාල සමාජ වෙබ් අඩවිතුළ සටහන් තබන තත්ත්වයටම මානසික පරාජයන්ට පත්ව සිටිති.

ලිපියට ප්‍රවේශය එතැනින්ම සපයා ගත හැකිය. සැමට සමාන අධ්‍යාපනය නැතිනම් අධ්‍යාපනයේ සම අයිතිය එහෙමත් නැතිනම් නිදහස් අධ්‍යාපනය සුරකීමේ වගකීම තිබෙන්නේ ෆූටාවට හෝ වෙනත් කණ්ඩායමකටද ?

ආසියාතික පසුගාමීත්වයෙන් අගතැන්පත්ව සිටින ලංකා සමාජය සැමවිටම තමන්ගේ වගකීමෙන් මිදී එම වගකීම අනෙකෙකු මත පටවයි.

එමනිසාම විවිධ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට සෑමවිටම අනෙකෙකු යෝජනා කරති. නිදහස් අධ්‍යාපන සුරකීමේ වෙනුවෙන් අතීතයේ සිට මේ දක්වා ඉතා අඩුපාඩු සහිතවද නොනවත්වා අරගලයේ යෙදෙන්නේ විශ්වවිද්‍යාප ශිෂ්‍ය ප්‍රජාව පමණි.
ඒ ලෙසම මානව හිමිකම් කඩවූ විට ඒ වෙනුවෙන් පෙනීසිටය යුත්තේ මානව හිමිකම් සංවිධාන සහ මානව හිමිකම් ආරක්ෂකයෝය. මාධ්‍ය මර්ධනයට එරෙහිව පෙනීසිටින්නේ මාධ්‍යවේදීන් පමණි. ගොවීන්ගේ ප්‍රශ්ණවලට ගොවීන් පමනී.

මේ ලෙස දකුණේ සමාජය ඉතා ගැඹුරුලෙස වෙන්වී තිබේ. නැතිනම් සමාජයේ පැවැත්ම සඳහා එකිනෙකා අතර වන මහා සම්මුතිය අවසන් වී ඇත. එය අවසන් වී ඇති නිසාම එය පාලකයන් මැනවින් විග්‍රහකරගෙන සිටිති. ඔවුන් විවිධ කණ්ඩායම් වෙනවෙනම ගෙන විසදුම් ලබාදෙන්නේ ඒ නිසාවෙනි.

අවසන්වූ ෆුටා අරගලයටද පාලකයන් ඒ ලෙසම තම උපක්‍රමය ක්‍රියාවට නැංවීය.ඔවුන් අවසානයේ එම අරගලය වැටුප් අරගලයක් දක්වා විතැන් කිරීමට ක්‍රියාත්මක වූයේ මන්ද 6% වැනි සටන් පාඨයකට සමස්ථ සමාජයටම ආමන්ත්‍රණය කළ හැකි නිසාවෙනි. ආචාර්යවරුන්ගේ සංගමය සුපුරුදු ආසියාතික ලක්ෂණ පෙන්නුම් කරමින් අවසානයේ දී සිය සීමාවේදී පමණක් කටයුතු කළහ.

නමුත් මෙහි ධනාත්මක කාරණය වන්නේ අධ්‍යාපනයේ සම අයිතිය සඳහා වන අරගලය නැවත වටයකින් ආරම්භකිරීමට ඉතා හොඳ කථාකාවක් මේවන විට ආරම්භ වී තිබීමයි. එම සංවාදය තවදුටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැණනැගී ඇත.ෆූටා නිසා නොව ජනයා තමන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වීදියට කැඳවන්නේ කෙසේද යන්න අප හමුවට මේ නිශ්චිත මොහොතේදී අභිමුඛ වී ඇති ප්‍රධාන අභියෝගයයි.
 
what's next ? ඉතිං, ඊට පස්සේ?

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂ මෙතැනින් පසු අධ්‍යාපනය වෙනුවෙන් කරන මැදිහත් වීම මත ඔවුන් ඉහත අරගලය දැක්වූ සහය සහ කළ මැදිහත් වීම කෙතරම් අවංකද යන්න නිර්ණය කළ හැක්කේ පශ්චාත් ෆුටා කාලසීමාවේදීය.

ආචාර්ය දේවසිරි හයිඩ් පාක් පිටියේදී පැවති අවසන් රැළියේදී ප්‍රකාශ කළ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කරන බවට ප්‍රතිඥාවක් එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ලැබී නැත. (ලැබෙන්නේද නැත - අවධාරණය මගෙනි) මන්ද පසුගිය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේද 6% දෙන්නට ඇත්ත වශයෙන්ම අපහසු බවයි. එමණක් නොව ඔහු පවසා සිටින්නේ කිසියම් ආදායම් මට්ටමෙන් පහළ පිරිසකට පමණක් නිදහස් අධ්‍යාපන ලබාදුන්නාම ඇති යනුවෙනි.

එම ප්‍රකාශය අප විටහා ගත යුත්තේ ආචාර්ය හර්ෂගේ පුද්ගලික මතයක් ලෙස නොව එක්සත් ජාතික පක්ෂය නිදහස් අධ්‍යාපන සම්බන්ධව දරණ ස්ථාවරය ලෙසය.

ජනාතා විමුක්ති පෙරමුණ තමන්ගේ නිදහස් අධ්‍යාපනය සුරකිමු යන සටන් පාඨය අවස්ථාවට උචිත පරිදි වෙනස් කරගෙන ඇති බව නීර්ක්ෂණය වෙයි. දඹර අමිල හිමි පවසා සිටියේ නිදහස් අධ්‍යපනය සුරකීමට නිදහස් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපනයෙන් තෙම්පරාදු කරගත යුත් බවයි. එය එක් අතකින් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ පටන්ම සිදුකරන සිය අවස්ථාවාදී දේශපාලනයේ කඩපතක් වැනිය.

රෝසමල මෙතැන. එන්න මැතන නටන්නට කියා මෙතැනට ජනතාවට හඩගසනා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභිමුඛ වී ඇති අභියෝගය සුළුපටු නොවේ.බොහෝවිට මෙම අභියෝගය ඔවුන්ගේ භූමිය තුළ කටයුතු කිරීමේ ශක්තිය මැනබැලීමේ පරීක්ෂණයක් වෙනවා නොඅනුමානය. එක් පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාරය මෙතැන් පසු මෙහෙයන්නේ කොතැනට අනෙක් පැත්තෙක් දේශපාලන පක්ෂයන් ලෙස නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනට ජනයා ඒකරාශී කරන්නේ කෙසෙද යන්නයි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂයන් දෙපළකගේ ජීවිත ෆුටාව වෙනුවෙන් පරිත්‍යාග කෙරුනි. එම නිසාම ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන සටන ෆුටාවේ අවසානයෙන් දියාරු කරනොගෙන මෙහෙයවීමේ වගකීම ඔවුන්ගේ කරමතට වැටී ඇත.
 
ජනයා අරගලය කැඳවීම

නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටන එක් පක්ෂයටකට හෝ කණ්ඩායමකට අයත් කාර්යක් පමණක් නොවන බව ලියමනේ මුලින්ම සඳහන් කලෙමි. එම නිසාම අධ්‍යාපනයේ සම අයිතිය රැකගැනීමේ සටනේ ප්‍රමුඛ කාරණාව බවට ජනයා පත්වෙති.

විශේෂයෙන්ම ලංකා සමාජයේ සියලු වෘත්තිකයන් තමන් උපයන මුදලින් වැඩිම ප්‍රතිශතයක් වියදම් කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඉතා පහළ මට්ටමේ ආදායම් ලබන්නන් පවා තම ජීවිත කාලයම කැපකරන්නේ බොහෝවිට තම දුවාදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට ඇති එකම මාර්ගය දරුවන්ට හොදින් ඉගැන්වීම බව ලංකා සමාජයම විශ්වාස කරයි. ලංකාව වැනිරටවල ආර්ථික සාමාජීය සහ දේශපාලනික තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී ඔවුන්ගේ විශ්වාසයෙහි සත්‍යතාවයක්ද පවතී.

මේ නිසාම නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ සටනේ පෙරමුණු සටන්කරුවන් බවට දෙමාපියන් පත්කරගත යුතුය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන තවමත් ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස් ආකර්ෂණය කරනවා විනා සමස්ථ ජනයට ආමන්ත්‍රණය කර නැත. ශිෂ්‍ය ව්‍යාපාරය වේවා අවසන් වූ ෆූටා අරගලය වේවා ඔවුන් දෙපිරිසම කටයුතු කලේ ප්‍රධාන බලවේගයට අමන්ත්‍රණය නොකරය. අප නිදහස් අධ්‍යාපනයේ ප්‍රධාන බලවේගය කරගත යුත්තේ ලංකාවේ සමස්ථ ශිෂ්‍ය පරපුරේ දෙමාපියන් වේ. මන්ද යම් හෙයකින් නිදහස් අධ්‍යාපනය අවසන් වී මුදල් ගෙවා ඉගෙනගැනීමට සිදුවුවහොත් එහි බර පැටවෙන පිරිස ඔවුන් බැවිනි. ඔවුන් මේ සටනේ ගාමක බලවේගය වන්නේ සරලව එම ආර්තික කාරණය ඔස්සේය. දේශපාලන කණ්ඩායම අනෙතුත් වෘත්තීය සමිති,සිවිල් සංවිධාන මේ සියල්ලම ද්විතීක බලවේගවන්ය වේ.

නමුත් මේ දක්වා සිදුව ඇති සියලු අරගල දෙස වඩාත් පුළුල්ව නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ නිදහස් අධ්‍යාපනය සුරකීමේ සටන ගොනූ වී ඇත්තේ පාලකයන්ගේ ඉල්ලීම් ඉල්ලනවා හෝ පාලකයන් වෙනස් කරනවා මිස අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් ජනතාව වෙනස් කිරීමට නොවේ. එම නිසා පශ්චාත් ෆුටාවෙන් පසු නිදහස් අධ්‍යාපනය සටන් ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්සවන,ජනතාව සමග එක්ව කරන සටනක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අපහමුවේ පවතී.

එවිට අප විසින් විග්‍රහකරගත යුත්තේ ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපනයේ සටන කිසිලෙසකින්වත් අවසන් නොවන බවයි. එය තවත් එක් අත්දැකීමක් පමණ් වන අතර එය අවසන් වූ ආකාරය සම්බන්ධයෙන් තැවීමට හෝ උකඨලී වීමේ අවශ්‍යතාවයක් නැත.

අවශ්‍යවන්නේ නිදහස් අධ්‍යාපන සුරකීමේ වැදගත් කර සමාජය ඒත්තු ගන්වා ජනතාව අරගලය වෙත කැඳවීමයි. නිදහස් අධ්‍යාපන වළපල්ලට යවන්නට සුබ සිහින දකින පාලකයන් එම සිහිනෙන් අවධිකළ යුත්තේ එම ජනතාවගේ හඩනි.

ජනතාව අරගලය වෙත කැදවන්නේ නොමැතිව පාලකයන්ට ගෙදරට යන්නට කීවට පළක් නැත. ඒ සියලු සටන් නිමාවීමට ඇත්තේ ෆූටාව අවසන් වූවා වැනි අනාගත පෙරොන්දුවලින් පමණි.

අප ඒ ශ්‍රද්ධවූ පෙරොන්දුව අත්සන් කළයුත්තේ ජනතාව සමගය. ඒ නිදහස් අධ්‍යාපන අනාගත පරපුරට ලබාදීමට සුරකිනවා කියන පොරොන්දුවයි.

එම නිසාම " ෆූටාවෙන් පසු නිදහස් අධ්‍යාපන සටන නිමද?" නැත, අලුත් සටන අරම්භකළ යුතුව ඇත.
පසන් ජයතිලක \[Pasan Jayathilake]
(කැළණිය විශ්වවිද්‍යාලය )

දෙහිඅත්තකණ්ඩියේ ආදරනීය නංගිලා මල්ලිලා, මෙතෙක් කාලයකට රජයේ නිදහස් අධ්‍යාපනයෙන් නොලත් දැනුම, ලබා ගැනීමට මග බලා සිටිනවා ඇත....!!

සංහිඳ පාමුල 2012 
පශු වෛද්‍ය පීඨය
පේරාදෙණිය සරසවිය

 ආදරනීය අම්මේ, තාත්තේ, අයියේ, අක්කේ, බොහෝ විට රාජ්‍ය මාධ්‍යයේ කැමරා කාචයට අසු වෙන සරසවි සිසුවා ගේ භූමිකාවට වෙනත් අර්ථකතනයක් සපයන්නටයි අප මේ උත්සහ දරන්නේ.මන්ද ඔවුන්ගේ කැමරා කාචය සැබෑ සරසවි සිසුවාට ඉඩක් වෙන් කිරීමට පැකිලෙන නිසාවෙන් අප ගැන මෙලෙස සටහනක් තබන්නටයි මේ හදන්නේ. 

ගොඩාක් දුරට ඔබ මෙවන් අත්දැකීම් විඳලා ඇති. ගිනි ගහන මද්දහනේ අව්වේ විතරක් නෙමෙයි , මොර සූරන වැස්සේ පවා මං මාවත් දිග පියමනිමින් , කැට සොලවමින් මග දෙපස ජනී ජනයා ගෙන් ආධාර විමසන සරසවි සිසුන් ඔබ සහතික වශයෙන් ම දැක ඇතුවා විය යුතුය. නැතිනම් බසයකට ගොඩවී , පලමුවත් දෙවෙනුවත් තෙවෙනුවත් නිදහස් අධ්‍යාපනය ගැන සඳහන් කරමින් ඔබගේ ආධාර විමසනා සරසවි සිසුන් ඔබ දැක ඇතුවා විය යුතුම ය. ඔවුනට ඔබ අනන්තවත් දොස් නගා නැතුව නම් විය නොහැක... රජ දරුවන් කාර් රේස් පදින්නට, බොලිවුඩ් සුරූපිනියන් හා රඟන්නට, සමාජශාලා ගානේ සල්ලාලකමේ යෙදෙන්නට තමන් මිලදී ගන්නා භාණ්ඩ සියල්ලෙන් ම පාහේ බදු ගෙවමින් අරමුදල් සපයන විටදී මුනිවත රකින ඔබ මුව, දහසක් දෙනා වෙත් ගොස් රුපියල් දහසක් මහන්සියෙන් එක් ‍රැස් කරගන්නා සරසවි සිසුවෙකුට පන්න පන්නා තර්ක සපයයි, ලේබල් අලවයි, ඒ පමණක් නොව හැකිනම් බැන අසලින් පන්නා ගනියි. ඔබ නිකමට වත් සොයා බැලුවා ද මෙ අරමුදල් කුමට ද කියා? ඔබට ඒ සඳහා පූර්ණ අයිතියක් ඇත. ඒ සඳහා පිළිතුරු සැපයීමට ද අප ට යුතුකමක් ඇත. මන් ද ඔබ සපයනා මුදලට කුමක් සිදුවන්නේ ද් යන්න ඔබ දැන ගත යුතු බැවිනි. 

සංහිඳ පාමුල ශිෂ්‍යත්ව අරමුදල ඇරඹෙන්නේ මීට වසර ගනනාවකට ඉහතදී ය. ඒ සඳහා හේතු පාඨ කිහිපයක් මුල්වී තිබිනි. ඔබත් මාත් දන්නා පරිදි සරසවියේ නිදහස් අධ්‍යාපනය ලබන්නේ, අසරණ අම්මා තාත්තාගේ දරුවන් ය. එහි රජ දරුවන් සිප් සතර හදාරන්නේ නැත. එනිසා එම අසරණ දරුවන් ට ඇති ආර්ථික අපහසුතා අමුතුවෙන් කිව යුතු නැත. මහපොළට පිං සිදුවන්නට සරසවි සිසුවා තම දවසේ වේල රුපියල් සියයකින් පිරිමහ ගනියි. දන්නා කාලයක සිට මහපොළ 2500 කි. එයට වැඩිවීමක් නැත. එසේ ලැබෙනා මුදලින් කොටසක් ද තම නිවෙස් වෙත එවන සිසුන් නැතුවා නොවෙයි. හදිස්සි මුදල් අවශ්‍යතාවකදී එය නිවසට දැනුම් දීමේ අපහසුව නිසා, සති අන්ත වලදී කුලී වැඩක් හෝ කර එම මුදල උපයා ගන්නා සිසුන් අපමන ය. එවන් සිසුන් ට යම් තාක් දුරකට හෝ සරණක් වීමට සහෝදර අපට හැකි නම් ? 

එලෙස අප සෑම වසරක ම සිසුන් ගෙන් ‍තෝරාගත් සිසුන් පිරිසකට එක් වසරකට ශිෂ්‍යත්ව 3ත් 5ත් අතර ප්‍රමාණය ක් ලබා දෙන්නෙමු. එය පළමු හේතු පාඨය අපට සැපයීය. දෙවැන්න අප සිතට එන්නේ ද නිකන් ම නොවෙයි.පශු වෛද්‍ය පීඨයට සිසුන් තේරී පත් වන්නේ මුලු දිවයිනම නියෝජනය වන පරිදිය. ඔවුන් බොහෝ විටෙක ඉතා දුෂ්කර පාසැල් වල සිට ඉතා අපහසුවෙන් මෙහි පැමිණි අය වෙති. එහෙත් ඔවුන් තමන් ගොඩවුනු ඉනිමගට පයින් ගසීමට තරම් ගුණමකුවන් නොවෙති. ඔවුන් එවන් ඉනිමං තව දහස් ගනනක් ගොඩ නැංවීමට සිතති.

 එවන් උදාර සිතුවිල්ලක හේතු පාඨ ඔස්සේ යන අප සාමාන්‍ය පෙළ ගණිත හා විද්‍යා සම්මන්ත්‍රන මාලාවක් සංවිධානය කරයි.එපමණක් නොව එය අති සාර්ථක ලෙස ක්‍රියාවට නංවයි.එලෙස දෙහිඅත්ත්කණ්ඩිය ජාතික පාසලේ බිත්ති සතර අතර පශු වෛද්‍ය 

පීඨයේ නම ස්ථාපනය වෙයි.එලෙස අප පටන් ගත් ගමන මෙවරත් සංවිධානය කිරීමට නොපසුබස්නා උත්සහයෙන් ක්‍රියා කලෙමු.

මාස තුනක දිගු අරගල සමයක නියැලී සිටි අප , මෙවන් සත් කාර්‍යය කට ද අත ගැසුවෙමු.ප්‍රශ්න පත්තර සූදානම් ය.අප ඇදුරු මඩුල්ල සූදානම් ය.අප සියලු දෙන සූදානම් ය.නොබෝ දිනකින් ම අප දෙහිඅත්තකණ්ඩිය බලා පිටත් වන්නෙමු.එහි අපගේ ආදරනීය ආදරනීය නංගිලා මල්ලිලා , මෙතෙක් කාලයකට රජයේ නිදහස් අධ්‍යාපනයෙන් නොලත් දැනුම , නිදහස් අධ්‍යාපනයේ නිශ්පාදන වන අපගෙන් ලබා ගැනීමට මග බලා සිටිනවා ඇත...මන් ද පෙර අප සිදුකල සම්මන්ත්‍රන වලදී අප ඔවුන්ගේ විද්‍යා දැනුමේ දුර්වලතා හඳුනා ගතිමු.ඔවුන් ඇත්තට ම අසරණ ය.රජයේ නූතන නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපත්තිය ට පිං සිදු වන්නට විද්‍යා ගුරුවරු එම පාසැල් වල පස් පාගා නැත.

 එනිසාවෙන් අම්මේ තාත්තේ...මොහොතක් සිතන්න...ඔබ කරන්නේ නිවැරදිම දෙය ද කියා...අරගලකාරී මානසිකත්වය අතරතුර අප සංවිධානය කරනා මෙවන් යහපත් ව්‍යාපෘති ඔබ දැන සිටියා ද? ඔබ කිසිදු මාධ්‍යක මේ පිලිඹඳ වචනයක් හෝ අසා ඇත් ද? තීරනය ඔබට භාරයි.

පශු වෛද්‍ය පීඨ ශීෂ්‍ය සංගමය - පේරාදෙණිය සරසවිය