Sunday, November 11, 2012

ඔහුන්ගේ අය - අපගේ වැය 2013

කන්නන්ගර දරුවෝ කාටූන්
අය වැය 2013 ට පසු වදනක් සටහන් කිරීමට මා හට සිත් විය. ඊට ප්‍රධානම හේතුව වනුයේ මෙම අය-වැයට පෙර අප නිරත වූ මහත් වූ උස්සාහයක ප්‍රතිඵල රහිත වීම ය. නැතහොත් එය ව්‍යර්ත කිරීමට මෙම ඊනියා සමාජවාදී හෝ ජනතාවාදී හෝ තමාම සංවේදී යැයි කියාගන්නා ආණ්ඩුව ඉතා පිළිකුල් සහගත අන්දමින් කටයුතු කිරීම යි. ඒ වෙනෙකක් සඳහා නොව ‘අධ්‍යාපනය‘ සදහා දළ ජාතික නිශ්පාධිතනේ 6% ප්‍රමාණයක් හෝ හැකි උපරිම ප්‍රමාණයක් හෝ වෙන් කර ගැනීම සඳහා කරන ලද අරගලයට දැක්වූ ප්‍රතිචාරය යි.

අය-වැය (නැතිනම් ණය-වැය) පසුගිය දා කියවීය. නැතිනම් ආණුඩුවේ කැරැට් මල්ල ලිහා දැමීය. මට දැනුනාවූ ආකාරයට එතන ඇත්තේ වැස්සට හසුවී නරක් වී ගිය කැරැට් ඵලදාවකි. නැතිනම් ජොන්ස්ටන් ගේ ආරක්ෂිත කූඩ සංස්කෘතියට හසු නො වූ වක් විය යුතු ය. එනම් අවසාන වශයෙන් කිව හැක්කේ කැරැට් ද ගෙනත් නැත. සත්ත්‍යවශයෙන් ම එක් මන්ත්‍රීවරයෙක් කියනා පරිදි ඔහුන්ගේ අයත්, අපගේ වැයත් එහි තිබුණි. එය වෙනදා මෙන් සරදියල් ක්‍රමයේ අය-වැයක් ද නොවීය. වචන සියල්ල හමාර විය. සියල්ල සතුටින් විසිර ගියහ. (''සියල්ල" යන වචනයෙන් මා මෙහිදී ආවර්ණය කරනු ලැබුවේ අණ්ඩු පක්ෂයේ මැති ඇමති පිරිස පමණකි) සුපුරුදු පරිදි ජනතාවාදී අය-වැයක් ලෙස ආණ්ඩුවෙනුත්, ප්‍රෝඩාකාරී අය-වැයක් ලෙස විපක්ෂ වලිනුත් අසන්න ලැබිණ. එය තෙවන වර කියවා හමාර කරනතුරු ම මෙය අපට අසන්න ලැබේ වි.නමුත් බහුතරයකින් සැදුම්ලත් මෙම ආණ්ඩුවෙන් මෙන්ම, වර්තමානයේ ඔහුන් විසින් දිගින් දිගටම අනුගමනය කරන ලද පාලන ප්‍රතිපත්ති ගැන විමසිලිමත්ව බැලුවහොත් කිසිම සහනයක් නොලැබෙන බව අප කණගාටුවෙන් හෝ පිළිගත යුතු ය. තවද, අයවැය අවසන් කරමින් ජනපති තම පරම්පරාව (මැදමුලන වලව්ව) ගැන ආඩම්බරයෙන් කතා කිරීය. නමුත් එකී වංශයට එය තමාගේ ද පවුල් උරුමයක් සේ සලකා ඡන්දය දුන් බොහො දෙනෙක් ද අද වංශය කබල්ගානු නො අනුමාන ය.

සභා ගැබේ උණුසුම මැද, ආණ්ඩුවේ අනුමත කිරීමේ නාදය මැද, වික්ෂයේ විරෝධතාවය මැද ගෙන ආ එක සහනයක් මට මෙන්ම බොහෝ දෙනෙකුට හොඳින් මතක සිටිනු නොඅනුමානය.එය අය-වැය හාස්‍යයට ලක් කරනු වස් ජනතාවගේ ලැම්බෝ (Lambo) බඩගින්න හඳුනා ගැනීමකි. ඒ අනුව ඔහුන් රේසිං කාර් සඳහා බදු රහිතව ගෙන්වීමේ නිදහස ලබා දුනි. සභා ගැබෙන් පිටවන විට මධ්‍යෙව්දීන් ට පිළිතුරු දුන් නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ, “දැන් විපක්ෂයට ඇති එකම ප්‍රශ්නය රේසින් කාර් බදු සහනය ද? “ඇත්තෙන්ම විපක්ෂයෙන් පිළිතුරු දුන්නත් නැතත් අප එයට පිළිතුරු දිය යුතු ආකාරයක් ඇත. එනම් ''ආණ්ඩුවට ඇති එකම ප්‍රශ්ණය එය ද යන්නයි'' සංවේදී තාත්තාට, ඔහුගේ පුතාලාට හෝ අනුගාමික ඇමතිවරුන්ට හෝ 'අධ්‍යාපනය' යන වචනය අදාල නොවේ. හුදෙක් එය අපේ ම වචනයක් පමණකි. අප විසින් මනෝරාජිත ලොවක මවා ගත් විද්වතුන්ගෙන් පිරි රටක පැතුම විය. යතාර්ථය එය වුව ද සිදුවන්නේ වෙනකකි. අද රේස් කාර්. තව කලකින් අභ්‍යාවකාශ චාරිකා. අප කිසිදු පැකිලීමකින් තොරව මෙකී සමාජ පද්ධතිය තව දුරටත් පෝෂණය කරමුද? නැතිනම්, නො-ඇසුනාක් මෙන් සිටිමු ද? යහපත් සමාජ පද්ධතියක් ගොඩනැඟිමේ ලා වෙනසක් දැකීමට ඇවැසි නොවේ ද?

දිනෙන් දින පාසල් වැසේ, අධ්‍යාපනය වැනසේ, රෝහල් වල පහසුකම් සහ ඖෂද හිඟවේ, ඳිළින්දා ඳිළිදුමය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාතාලය දිනෙන් දින සක්‍රීය වේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් ජීවන වියදම සමඟ පොර බඳියි, රාජ්‍ය අංශ දියාරු වේ, නීතිය හොල්මන් වී ඇත, ඝාතන සහ පැහැරගිනීම් රැල්ක් හඹා යයි... මේ කිසිවක් ආණ්ඩුව දන්නේ නැත. නොදන්නේ ද නැත. ඔහුන්ට අපට මෙන් ඒ ගැන කිසිදු විශේෂත්වයක් ද නැත. ඔබට මේ ගැන සිතනවානම් තවත් බොහෝ දේ සිතේවි. ඉදිරි වසරේ මාස කිහිපයක් ගත වන විට නො තේරෙන අයට ද තේරේවි. තව බොහෝ දේ සයිබර් අවකාශයේ අප ඵල කරාවි. එහෙත් පැහැදිලි වෙනසක් නොකරනුයේ නම් හෝ නො වනුයේ නම් හෝ අප දිනෙන් දින ගමන් ගරන්නාවූ මේ ආශ්චර්ය්‍ය, අප සෞරග්‍රහමණ්ඩලය අයත් චක්‍රාවාටය හෙවත් ‘ක්ෂීරපතයේ‘ මධ්‍යයේ පිහිටි කළුකුහරයට හා සමාන වනු නො අනුමාන ය.

අය වැය කියා අවසන්, දැන් ඇත්තේ අපෙන් අය කරගෙන ඔහුන්ට රිසි සේ වියදම් කිරීමට පමණි. මේ සදහා බොහෝ සංදර්ශණ, ප්‍රසංග, චාරිකා, තුටු ප්‍රධානයන්, ප්‍රිය සාද, ඡන්ද, රේස් සහ ක්‍රීඩා ඉදිරි වර්ෂය සඳහාද පෙළ ගැසී ඇත. මේ අනුව පසුගිය කාලය පුරාවටම දිනගන්න උත්සාහ දැරූ සමාජ අයිතිවාසිකම් ද තාවකාලිකව අවසන්. වෘත්තීය සමිති ද තාවකාලිකව නිහඬ විය. නමුත් මෙම පීඩනයන් යලිඳු පැන නඟින බව අප හොඳින්ම දනි. හේතුව තවම මේ සියල්ලටම කිසිදු විසඳුමක් ලැබී නැති බැවිනි. එහෙත් ඉතිහාසය අපට එකම අවස්තාව දෙවරක් ලබා නොදෙනු ඇත. වරෙක වී. අයි. ලෙනින් මහතා අපට මෙසේ කියා ඇත.

“එක්සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්ප දී නැත.“

අදහස - නිර්මලා මධුශානි ගෙනි

Tuesday, November 6, 2012

හකුළාගත් විශ්වවිද්‍යාල පනත යළි හොරපාරෙන් එයි - ssu

මතුවූ විරෝධතා හේතුවෙන් ආණ්ඩුව හකුළාගත් විශ්වවිද්‍යාල පනත නැවත කැබිනට් පත්‍රිකාවක් හරහා ගෙනඑන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
 
එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවැසුවේ අද (06) බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවැසූ අදහස් පහත පළවේ.

‘‘අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ සහ අයවැය සම්බන්ධ කරුණු ගණනාවක් මතුවෙලා තිබෙන මොහොතක සමාජවාදී ශිෂ්‍ය සංගමය විදියට අප කල්පනා කළා අධ්‍යාපනය සම්බන්ධයෙන්ද මතුවෙලා ඇති ගැටලූ ගණනාවක් ගැන අවධානය යොමු කරවන්න. එමෙන්ම එළඹෙන අයවැයේ දී අධ්‍යාපනයට වෙන්කළ යුතු ප‍්‍රතිපාදන ගැන ජනතාවගේ අවධානය යොමුකරලා ඒ ගැන ආණ්ඩුවට බලපෑමක් කරන්නත් අපි කල්පනා කළා.

ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තිබෙන්නේ අධ්‍යාපන පෞද්ගලීකරණයයි. එසේ අධ්‍යාපන පෞද්ගලීකරණයේදී ආණ්ඩුව මුහුණු දුන්න අභියෝග තිබුණා. එකක් තමයි නීතිමය බාධාවක් තිබුණා. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත මගින් පෞද්ගලික විශ්වවිද්‍යා පිහිටුවීමට සෘජුව බලයක් ලබාදී නැති එක. එනිසා එජාපය, ශ‍්‍රිලනිප සභාග ආණ්ඩු ඒ සඳහා කළේ විශ්වවිද්‍යාල පනතේ නීතිවලින් රංගා පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. ඒ අනුව අවු. 35ක කාලය තුළදී රටතුළ විශ්වවිද්‍යාල 08 ක් දැම්මා. වත්මන් ආණ්ඩුවේ එස්.බී.දිසානායක ඇමතිවරයාත් උත්සාහ දරමින් ඉන්නේ පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙනඒමට. 2011 සැප්තැම්බර්

මාසයේදී ආණ්ඩුව නව විශ්වවිද්‍යාල පනතක් කෙටුම්පත් කළා. එයට 2011 දෙසැම්බර් නීතිපති දෙපාර්ගමේන්තුවෙන් අනුමැතිය ලබාගත්තා. 2012 පෙබරවාරී හදිසි පනතක් ලෙස ගේන්න උත්සාහ කළා. එයින් උත්සාහ කළේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනයට අධිකාරියක් පිහිටුවීමටත්, විශ්වවිද්‍යාල කොමිසමට සහ ස්ථාපිත කරන නව අධිකාරියට ඉහළින් මණ්ඩලයක් පත්කොට එම මණ්ඩලය ඇමතිවරයා යටතට ගැනීමටත්ය. ඒ අනුව රජයෙන් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දෙන උපාධියත් සමාන මට්ටමකට ගෙන්න සහ පෞද්ගලික උපාධියට වටිනාකම වැඩිකිරීමටත් ආණ්ඩුව උත්සාහ කළා.

ඒ වගේම ඉහතකී මණ්ඩලය යටතේ ආයතන දෙකක් ස්ථාපිත කරන්න යෝජනා කළා. එකක් සුදුසුකම් රාමු ඒජන්සියයි. අනෙක ප‍්‍රමිති ආරක්ෂණ ඒජන්සියයි. එයින්ද උත්සාහ කළේ පෞද්ගලික උපාධි සඳහා ජනතාවගේ තිබූ අවිශ්වාසය නැති කරලා ඒ සඳහා වටිනාකමක් ලබාදීමටයි. 2012 පෙබරවාරී සිට අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූදෙනාගේ විරෝධය හමුවේ ආණ්ඩුව අපේ‍්‍රල් මාසයේ පනත හකුළා ගත්තා. නමුත් ඒ පනතේ කොටස් විවිධ කැබිනට් පති‍්‍රකා හරහා කි‍්‍රයාවට නැගීමට උත්සාහ කරමින් ඉන්නේ. ඉන් එකක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා

විසින් 2012.10.08 දින කැබිනට් එකට යෝජනා කරනවා ශ‍්‍රී ලංකා සුදුසුකම් රාමු ඒජන්සිය පිහිටුවීමට. මෙහි බලාපොරොත්තුව තමයි රජයේ විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ලබාදෙන උපාධියත් සම මට්ටමට ගෙනල්ලා එයින් වඩා උසස් කුමක්දැයි තීරණය කිරීම. ඒ සඳහා එස්.බී. දිසානායක මහතා ජනතාව නොමග යවන ප‍්‍රකාශයක් කැබිනට් පති‍්‍රකාවට ඇතුල් කරලා තිබෙනවා. එයින් කියනවා ශ‍්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000-8000 ත් අතර ප‍්‍රමාණයක් විදේශ රටවල අධ්‍යාපනයට යොමු වෙනවා කියලා. අපි අහනවා පශ්චාත්

උපාධි ලබාගැනීම හැර මූලික උපාධි ලබාගැනීමට 5000-8000 ක් විදේශ ගතවෙනවා කියන්නේ කුමන සාධක පදනම් කරගෙනද කියලා. කවර වර්ෂයේ දත්තද? මූලාශ්‍ර මොනවද කියලා සඳහන් කරන්න ඕනෑ. මුලදි කිව්වා විදේශ ශිෂ්‍යත්ව සඳහා මිලියන 5000 ක් වැය වෙනවා කියලා කිසිදු සාධකයක් නැතිව. එවැනිම ප‍්‍රකාශයක් තමයි මේකත්.

එම සුදුසුකම් රාමු ඒජන්සිය මගින් කුමන විශ්වවිද්‍යාලයද උපාධි ලබාදීමට සුදුසුකම් ලබන්නේ කියලා තීරණය කරන්න පුළුවන්. එයට එම බලය ලබාදී තිබෙනවා. අවශ්‍ය නම් රජරට විශ්වවිද්‍යාලයෙන් උපාධිලබාදීම නතර කරලා මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබාදීමට අවස්ථාව ලබාදෙන්න පුළුවන්.

එනිසා අපි කියන්නේ ආණ්ඩුව පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළාගත්තා යැයි ජනතාවට බොරු කීවට විවිධ කැබිනට් පති‍්‍රකා හරහා එම දේවල් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා කියලයි. ඊළඟට එස්.බී ඇමතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනත් එය කි‍්‍රයාත්මක කරන්න දිවිහිමියෙන් කැපවීම් කරමින් සිටිනවා. මාළඹේ වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල නැති බව වෛද්‍ය සභාව කියද්දිත් ඇමතිවරයා මාළඹේ වෛද්‍යවිද්‍යාලයේ උපාධිය පිළිගන්නා බවට චක‍්‍රලේඛයක් නිතුත් කරනවා. වෛද්‍යවරුන් කියද්දී උපාධිය පිළිගන්න බැහැ ශික්ෂණ රෝහලක් නැතිව කියලා විරෝධය පළකරද්දී ආණ්ඩුවෙන් මිලියන 600 ක ණයක් ලබාදුන්නා. ඒ මදිවට ඇමතිවරයා කළේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිනියට තර්ජනය කරලා ඇය ඉල්ලා අස්වීමේ තත්වයට පත්කළා. වෛද්‍ය සභාවේ නෝනිස් මහතාට පහරදීමට කටයුතු සැලැස්සුවා, වෛද්‍ය සභාවේ වෛද්‍ය ලලන්ත රණසිංහ මතාගේ නිවසට බෝම්බ දැම්මා නමුත් පරීක්ෂණ නැහැ.

ඒ වගේම මෙම මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනකු සහ වෛද්‍යවරුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කළා. එහි තාක්ෂණික දෝෂයක් පදනම් කරගනිමින් අධිකරණය දින 30 ක් ඇතුළත පෙත්සම ගොණු කළේ නැහැ කියලා නිෂ්ප‍්‍රභ කළා. එය පදනම් කරගෙන එස්.බී. ඇමතිවරයා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයත් පෞද්ගලික විශ්වවිද්‍යාල දීම පිළිගෙන තිබෙනවා කියලා.

විවෘත ආර්ථිකයත් සමග සියල්ල පෞද්ගලීකරණය කළා. ඒ අනුව දැන් පෞද්ගලික ප‍්‍රවාහනනයටත් ඇමතිවරයෙක් ඉන්නවා. ඒ වගේම තමයි දැන් උසස් අධ්‍යාපනයට වගකියන ඇමතිවරයෙක් නැහැ. ඔහු වගකියන්නේ පෞද්ගලික අධ්‍යාපනය වෙනුවෙන්. එපමණක් නොවෙයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ආණ්ඩුවේ උවමනාව කොපමණද කියනවානම් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය මගින් උපාධිය විකිණීමට ආණ්ඩුව පටන් අරගෙන. යුධ සමයේ ති‍්‍රවිධ හමුදාවට අවශ්‍ය ඉංජිනේරුවරුන්,වෛද්‍යවරුන් සහ අනෙකුත් උපාධිධාරීන් බිහිකරන්නයි කොතලාවල

විද්‍යාපීඨය ස්ථාපිත කළේ. නමුත් දැන් යුද්ධය අවසන්. දැන් එම අවශ්‍යතාවය අඩුවෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුවේ වියදමින් ශික්ෂණ රෝහලක් ඉදිකරලා මුදලට වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරලා තිබෙනවා. ආණ්ඩුවේ අරමුදල්වලින් අධ්‍යාපනය ලබාදීලා රුපියල් ලක්ෂ තුනහමාරකට වෛද්‍ය උපාධිය විකිණීමට ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

ඒ නිසා මේ කරුණු පෙළගැසුවාම අපිට පෙනෙන්න තිබෙන්නේ මහින්ද චින්තනය, ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පෙළගැසිලා තිබෙන්නේ අධ්‍යාපනය විකිණීමේ දිසාවටයි. එනිසා තමයි ආණ්ඩුව කල්පනා කරන්නේ අධ්‍යාපනයට වෙන්කරන්නේ නැතිව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පැන නගින උද්ඝෝෂණ මර්දනයට මුදල් වෙන් කරන්නේ. විසර්ජන පනතෙන් 2013 සඳහා අපේක්ෂිත ආණ්ඩුවේ මුළු වියදමින් 5%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරද්දී 25% ක් ආරක්ෂාව වෙනුවෙන් වෙන්කරනවා.

ඒ වගේම තමයි අධ්‍යාපනය විකුණනවට අමතරව අධ්‍යාපනයට සම්බන්ධ ආයතනත් විකිණීමට පටන් ගෙන තිබෙනවා. කොළඹ තිබෙන ඉඩම්වලට මේ ආණ්ඩුව ලොල්කමක් දක්වනවා. ඒ අනුව තමයි රාජගිරියේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉඩම් කොටසක් පහුගිය අවුරුද්දේ ජූලි මස 07 වෙනිදා එස්.බී ඇමතිවරයා කැබිනට් පති‍්‍රකාවකින් පර්චස් 10 ක් ඉන්දියාවේ ඇට්ලාන්ටික් සමාගමට මහල් නිවාස සංකීර්ණයක් හදන්න ලබාදෙන බවට මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනය සහ රාජගිරිය ශික්ෂණ

රෝහල එම ඉඩමෙන් ඉවත් කර ඹරුගොඩවත්තට ගෙනියන්න. ඒ වගේම යාබදව තිබෙන සෞන්දර්ය විශ්වවිද්‍යාලයත් එතැනින් ඉවත් කර ඉඩම පෞද්ගලික සමාගමකට ලබාදෙන්න යනවා. ආණ්ඩුව ඒ නිසා තමන්ට තිබෙන නීතිමය බාධාවන් ඉවත් කරමින් යනවා. ඒ වගේම ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා මෙම කි‍්‍රයාමාර්ගවලට එරෙහිව අරගල කරන බලවේග මර්දනය

කිරීමට. එනිසා ආණ්ඩුව විවිධ ආයතන තෝරාගනිමින් ඒ සඳහා මිලිටරිකරණය කිරීම ආරම්භ කර තිබෙනවා. එනිසා තමයි ආරක්ෂක අංශ සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිශතය වැඩි කරන්නේ. අනෙක් කාරණය තමයි කිසිදු පදනමක් නැතිව පාසල් 40 ක් තෝරාගෙන විදුහල්පතින්ට සති දෙකක පුහුණුවකින් පසුව කර්නල් පදවි ලබාදෙන්නේ. පළමු වසරේ සිට ශිෂ්‍යාට හමුදා පාලනයක් සාධාරණීකරනය කරන්න, සාමාන්‍යකරණය කරන්න පාසල් පද්ධතියෙන් ආරම්භ කරලා තිබෙනවා. අනතුරුව විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන ශිෂ්‍යන්ට හමුදා පුහුණුවක් ලබාදෙනවා

කඳවුරු ඇතුලේ. එමෙන්ම කොතලාවල විද්‍යාපීඨයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු සහ ගණකාධිකාරීවරු පුහුණු කරමින් සිටිනවා. ඉදිරියේදී රෝහල්වලට ප‍්‍රතිකාර සඳහා යන රෝගියාට සිදුවන්නේ සැලියුට් ගහලා, අඩිය හප්පලා, යර්ස් සර් කියලා වෛද්‍යවරයා ළඟට යන්න. ඒ නිසා හරි පැහැදිලියි අධ්‍යාපනයත් ආණ්ඩුව හමුදාකරණය කරමින් සිටිනවා.

ඒ නිසා අධ්‍යාපනයට මේ අනතුර තිබෙනවා. ඒ වගේම දළදේශිය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන්කරන්න කියලා සියලූ බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. බලකළා. ඒ නිසා අපි බලකිරීමක් කරනවා අයවැයෙන් අධ්‍යාපනයට සැලකිය යුතු ප‍්‍රතිපාදන වෙන්කරන්න කියලා. ඒ වගේම ජීවන වියදම නිසා අපහසුතාවයට පත්ව සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යන් වෙනුවෙන් මහපොළ, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 දක්වා වැඩිකරන්න කියලා අපි ආණ්ඩුවට බලකර සිටිනවා''.

Saturday, November 3, 2012

නිදහස්‌ අධ්‍යාපන අරගලය, වල්පොළ රාහුල හාමුදුරුවෝ සහ අපි

Walpola Rahula Thero
සරසවි ඇදුරු අරගලයට පසුවදනක්‌

පසුගිය මාස කීපය මුළුල්ලේ ම නිදහස්‌ අධ්‍යාපනය, ඒ සම්බන්ධ රජයේ වගකීම ආදිය පිළිබඳ සැලකිය යුතු සාකච්ඡාවක්‌ ඇති වීම විශේෂයෙන් කැපී පෙනුණු තත්ත්වයකි. එවැනි සාකච්ඡාවක්‌ ඇති වූයේ වෙන කිසිවක්‌ නිසා නොව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විසින් මාස තුනකට වැඩි කාලයක්‌ තිස්‌සේ මෙහෙය වූ වැඩවර්ජනය තුළ තම වෘත්තීය ඉල්ලීම්වලට අමතරව ඉතා බැරෑරුම් ලෙස අධ්‍යාපනය සඳහා දල ජාතික නිෂ්පාදනයෙන් සැලකියයුතු ප්‍රමාණයක්‌ (6% ක්‌) වෙන්කළ යුතු බවට මතුකරන ලද ඉල්ලීම නිසාය. විවිධ හේතූන් මත කලින් කලට මතුවන ප්‍රමුඛතා සඳහා වැඩි අවධානය යොමුවෙද්දී රටක ඉදිරිගමනට තීරණාත්මක ලෙස බලපාන "අධ්‍යාපනය" සඳහා යොමුවිය යුතු අවධානය ශීඝ්‍රයෙන් පහල ගොස්‌ ඇති බව අප හැමට බරපතල ලෙස මතක්‌ කරදුන්නේත් එකී පිරිහීම වැළැක්‌වීමට වහ වහා මැදිහත්විය යුතු බව පෙන්වා දුන්නේත් මෙම විශ්වවිද්‍යාල ආචාර්ය අරගලයයි. මෙම ලිපියේ අරමුණ නිදහස්‌ අධ්‍යාපන අරගලය ගැන සාකච්ඡාවන්හි දී එතරම් මතු නොවන එහෙත් වැඩි අවධානයකින් සාකච්ඡා කළ යුතු අංශ කිහිපයක්‌ වෙත අවධානය යොමු කිරීම සහ එකී අංශයන් කෙරෙහි අවධානය යොමු කිරීම පෙර කී සරසවි ඇදුරන් මතු කරන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ වන ආකාරය සාකච්ඡා කිරීමයි.

1947 නිදහස්‌ අධ්‍යාපන පනත සම්මතවීමට පෙර ලංකාවේ තිබූ තත්ත්වය වූයේ අධ්‍යාපන අවස්‌ථාව සම්පූර්ණයෙන්ම පාහේ ධනවත් පංතියට පමණක්‌ සීමා වී පැවතීමයි. සාමාන්‍ය පංතියේ ජනයාට තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට තිබූ එකම අවස්‌ථාව වූයේ ගමේ පංසලේ භික්‌ෂූන් වහන්සේ යටතේ ලබන අධ්‍යාපනයයි. (මීට අමතරව මිෂනාරී පාසල් තුළ අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව සාමාන්‍ය පවුල්වල දරුවන්ට විවරව පැවතුනත් එය ජාතික වශයෙන් සැලකීමට තරම් රට පුරා ව්‍යාප්තව පැවැති තත්ත්වයක්‌ නොවේ.) පංසල තුළ ලැබූ අධ්‍යාපනය අකුරු කියවීම, ලිවීම වැනි අධ්‍යාපනයේ මූලික දැනුම් ලැබීමට පමණක්‌ සීමා විය. මේ අනුව උසස්‌ රැකියා ලැබීමේ අවස්‌ථාව සමාජයේ විශේෂ පංතියක දරුවන්ට පමණක්‌ කලින්ම වෙන් කොට තිබුණු අතර සාමාන්‍ය පංතියේ ජනයාට උරුමව පැවතියේ ගොවිතැන හා ප්‍රදේශයේ ඇති හැකි අයට ශ්‍රමයෙන් සේවය සැපයීමේ අවස්‌ථාවයි. මේ තත්ත්වය වෙනස්‌ කරමින් දැවැන්ත සමාජ විප්ලවයක්‌ කරනු ලැබූයේ නිදහස්‌ අධ්‍යාපන පනත මගිනි. එය අනුමත වීමත් සමග උපත හෝ ධනවත්කම නොව හැකියාව හා කැපවීම ඔස්‌සේ ඉදිරියට පැමිණීමේ අවස්‌ථාව ලංකාවාසීන්ගේ දරුවන්ට උදාවිය. එහෙයින් උපතින් ධනවත් පංතියට අයත් නොවන එහෙත් අද වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, අධිකරණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, විදේශ සේවා නිලධාරීන් ඈ තනතුරු හොබවන හැම අයෙකුම ඒ තත්ත්වයට ළඟාවී ඇත්තේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙනි.

ඊට අමතරව පංසලෙන් පමණක්‌ යම් අධ්‍යාපනයක්‌ ලැබීමේ අවස්‌ථාව පැවැති කාලයේ ප්‍රායෝගික කාරණා මත ඒ අවස්‌ථාව හිමි වූයේ ද පිරිමි දරුවන්ට පමණි. ගජමන් නෝනාට පිරිමි දරුවෙකු සේ වෙස්‌වලාගෙන කරතොට තෙරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට සිදු වුණා යෑයි කියන තත්ත්වය විසි වැනි සියවස ඇරඹෙන විටත් ඒ ආකාරයෙන්ම පැවතින. අධ්‍යාපනය ලැබීමේ දී පොදුවේ කාන්තාවන් මුහුණ දුන් මේ මහා බාධකය බිඳ දමමින් සමාජයේ ප්‍රමුඛ සාමාජික පිරිසක්‌ ලෙස ඉදිරියට පැමිණීමට ඔවුනට අවස්‌ථාව ලබාදෙන්නේ ද නිදහස්‌ අධ්‍යාපනයයි. පසුගියදා ලංකාවෙන්ම පළමු වැනියා වෙමින් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ තලාතුඔය දැරිය වැනි උපතින් ධනවත් පංතියට අයත් නොවූ දරුවන්ට ඉදිරියට ඒමට දොර විවර කළේ මේ නිදහස්‌ අධ්‍යාපනයයි. ඒ අනුව නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම යනු ලංකා සමාජයේ සිදුවූ දැවැන්තම විප්ලවීය අවස්‌ථාව ලෙස සැලකිය හැකිය.

මේ මහා විප්ලවය නිසි දින ගණන පිරුණු දරුවෙකු මව් කුසයෙන් ලොවට බිහිවන්නා සේ කිසිත් බාධාවකින් තොරව පනත ඉදිරිපත් කළ සැනින් සැමගේ ආශිර්වාද මැද අනුමත වී ක්‍රියාත්මක තලයට පැමිණියේද? පිළිතුරු නැත යන්නයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ආ අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු මුදල ඉහල නැංවිය යුතුය යන ඉල්ලීම මාස තුනක්‌ ගතවීත් ජයග්‍රහණය නොකිsරීම ගැන මහත් කලබල වී ඇති සෑම දෙන මතක තබාගතයුතු කරුණක්‌ වන්නේ නිදහස්‌ අධ්‍යාපන අරගලය ජය ගෙන පනතක්‌ ලෙස සම්මත වී ක්‍රියාත්මක තලයට පැමිණීමට ගත වූ කාලය වසර හතරක්‌ තරම් දීර්ඝ වූ එකක්‌ බවයි. කන්නන්ගර මහතා නිදහස්‌ අධ්‍යාපන පනත යෝජනාවක්‌ හැටියට ගෙන ආවේ 1943 වසරේ දීය. එහෙත් 1947 වනතුරුම එය සාකච්ඡාවට ගැනීම සඳහා න්‍යාය පුස්‌ථකයට ඇතුළත් කිරීම පවා වළකන ලදී. නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වුවහොත් අපගේ වතුවල පොල්කඩන්නට වත් කොල්ලෙකු හොයාගන්නට නැතිව යනවා ඇතැයි පවසමින් ප්‍රභූ දේශපාලකයන් විසින් එකී පනත සම්මත වීම වළකා ස්‌වභාවික මරණයකට යොමුකොට තිබිය දී එය ඉදිරියට ගෙන සාකච්ඡාවට යොමු කොට අනුමත කෙරෙන තත්ත්වයක්‌ රට තුළ නිර්මාණය කළෝ කවරහුද? අපවත් වී වදාළ මහාචාර්ය වල්පොළ රාහුල හිමියන්ගේ ඓතිහාසික මැදහත් වීම අදාළ වන්නේ මෙතැනදීය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පළමු ලාංකීය බෞද්ධ භික්‌ෂුව වල්පොළ රාහුල හිමියෝ යි. නමුත් ඒ මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය යුතු වූ යුගයේ දී එනම් 1930 දශකයේ දීයි. ඒ. පී. ද සොයිසා, ඒ. එµa. සී. ලුඩොවයික්‌ හා එස්‌. තංගරාජා යන මහතුන්ගේ ද මගපෙන්වීම යටතේ ලන්ඩන් යුනිවර්සිටි කොලීජියට ඇතුළත්වීමේ විභාගයට පෙනී සිට සුදුසුකම් ලබන රාහුල හිමියන්ට පෙරදිග භාෂා සම්බන්ධ උපාධිය පංති සාමාර්ථයක්‌ ද සහිතව සම්පූර්ණ කිරීමට හැකිවන්නේ එවක සාන්ත තෝමස්‌ විද්‍යාලයේ විද්‍යා හා ගණිත ගුරුවරයෙකු වූ සරවනමුත්තු තංගරාජා මහතා විසින් සියලුÊපංති ගාස්‌තු ගෙවීම නිසා පමණක්‌ නොව අධ්‍යාපනය ලැබූ කාලය පුරාම උඩහමුල්ලේ තිබූ තම කුළී නිවසේ නැවතී සිටීමට ද උන්වහන්සේට අවකාශය ලබා දුන් බැවිණි. මෙම විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය තුළ තම උපාධිය සඳහා හදාල විෂයයනට අමතරව දේශපාලන දර්ශන, සමකාලීන ලෝක ප්‍රවනතා ගැන ද හදාල රාහුල හිමියෝ 1936 දී පමණ පැතිරිනු මැලේරියා වංසගතයෙන් පීඩිත ජනයා සුවපත් කිරීම සඳහා ද අන් සිසුන් සමග එක්‌ව මහත් වෙහෙසක්‌ ගෙන කටයුතු කළහ. ධර්මදූත සභාවට සම්බන්ධව කටයුතු කරමින් රටපුරා යමින් කුළහීන ලෙස සලකා සමාජයෙන් කොන්කර තිබූ ජනසමාජ නගා සිටුවීමටද කාලයක්‌ වැඩකර අත්දැකීම් සහිතව සිsටි රාහුල හිමියන්ගේ පොදු ජනයා සම්බන්ධ ආකල්ප මෙන්ම දේශපාලනික අදහස්‌ ද වඩාත් පෝෂණය වූයේ මෙකී විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් සමගය.

කන්නන්ගර මහතාට යථාර්ථයක්‌ බවට පත්කරගන්නට නොහැකිව තිබුණු නිදහස්‌ අධ්‍යාපන පනත සම්බන්ධ අරගලය හුදෙක්‌ රාජ්‍ය සභාවට සීමා වූ අරගලයකින් සමාජ අරගලයක්‌ දක්‌වා පුළුල් කිරීම සිදුවන්නේ මෙකී රාහුල හිමියන්ගේ බරපතල මැදිහත් වීමෙනි. මුදල් ගෙවා තමන් ද ලද අධ්‍යාපනය සාමාන්‍ය පංතියේ හැකියාවන් සහිත දරුවන් වෙත ද ලබාදීමේ ඇති වැදගත්කම වෙනුවෙන් පෙනී සිටි රාහුල හිමියෝ ගම් නියම් ගම් හි ඇවිදිමින් රැස්‌වීම් පවත්වමින් නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගැනීම සඳහා ජනයා පෙළගස්‌සන්නට විය. මේ මැදිහත්වීම ප්‍රභූන්ගේ ආධිපත්‍යයට එරෙහිවීමක්‌ සේ වටහා ගත් බැවින් ඇතැම් තැනක දී ප්‍රභූන්ගේ මෙහෙයවීම මත සිදුකෙරුණු තර්ජනයන්ට ද උන්වහන්සේ මුහුණ දුන්හ. කළල්ඇල්ලේ ආනන්දසාගර තෙරුන් ද එදා විද්‍යාලංකාර පිරිවෙනේ වැඩහුන් යක්‌කඩුවේ හිමි ඇතුළු ධෛර්ය සම්පන්න භික්‌ෂූන් වහන්සේ කිහිප නම ද ඩී. බී. ධනපාල වැනි මාධ්‍ය දැවැන්තයින්ද වාමවාදී දේශපාලන නායකයින් ද හරිහරියට මේ මහජන අරගලයට සහයෝගය ලබා දුන්හ. එතෙක්‌ ඉතිහාසයේ අත්සන් කෙරුණු දිගම මහජන පෙත්සම නිදහස්‌ අධ්‍යාපනයට පක්‌ෂව අත්සන් කිරීම ඇරඹිණ. එහි මුල්පිටපත ලියන ලද්දේ ද රාහුල හිමියන් විසිනි.

"නිදහස්‌ අධ්‍යාපනය" යන්න ජන තුඩග රැව්දෙන මාතෘකාව බවට ක්‍රමයෙන් පත්විය. වසර හතරක්‌ තිස්‌සේ ඉදිරියට පැමිණීම වළකා දමා තිබුණු නිදහස්‌ අධ්‍යාපන පනත සාකච්ඡා නොකර සිටිය නොහැකි තත්ත්වයට පැමිණ ඇති බව දුටු එදා සිටි ප්‍රභු දේශපාලකයෝ පළමු වතාවට පනත සාකච්ඡාවට ගැනීමට දිනයක්‌ නියම කිරීමට එකඟ වූහ. බලාපොරොත්තු වූ දිනය එළැඹිණ. පෙත්සම රැගත් රටේ විවිධ පෙදෙස්‌වලින් පැමිණි භික්‍ෂූන්, සාමාන්‍ය ජනයා විද්‍යාලංකාර පිssssssssssssරිවෙනේ සිට දැවැන්ත පාගමනකින් ගාලුමුවදොර පිහිටි රාජ්‍ය සභා ගොඩනැගිල්ල වෙත ගමන් කළහ. ගාලුමුවදොර පිටිය සාමාන්‍ය ජනයාගෙන් පිරී තිබිණ. ඩබ්. දහනායක මහතා මහජන පෙත්සම සභාවට ඉදිරිපත් කළේය. රාහුල හිමි අමුත්තන්ගේ ගැලරියේ සිට සභාගැබෙහි සිදුවන දැ නිරීක්‍ෂණය කරමින් සිටි අතර ආනන්ද සාගර තෙරුන් වරින් වර පිටත සිටි මහජනයා අතරට පැමිණෙමින් සභාගැබෙහි සිදුවන දැ ගැන ජනතාව දැනුවත් කිරීම සිදු කළහ. පනතට එරෙහි වුවහොත් තමනට පැවැත්මක්‌ නැති බව ප්‍රභූ දේශපාලකයන්ට ප්‍රකට වන ආකාරයට සියල්ල සිදුවෙමින් පැවතිණි. අවසානයේ පනතට එරෙහිව සිටි අයගේද සහාය ඇතිව ඓතිහාසික නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම සිදුවිය.

මේ සමස්‌ත සිදුවීම අධ්‍යයනය කරන විට වඩාත් කැපී පෙනෙන කාරණයක්‌ වන්නේ නිදහස්‌ අධ්‍යාපන අවස්‌ථාව පොදු ජනයාට හිමිවන්නේ එකී ඉල්ලීම මහජන අරගලයක්‌ දක්‌වා වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මිස හුදෙක්‌ තනි පුද්ගල උත්සාහයකින් පමණක්‌ නොවේ ය යන්නයි. කන්නන්ගර මහතාට නිදහස්‌ අධ්‍යාපන පනත ගෙන ඒමේ ගෞරවය කිසිත් අඩුවක්‌ නැතිව හිමිවිය යුතු නමුත් එය සමාජ ව්‍යාපාරයක්‌ බවට පත් කොට කන්නන්ගර මහතාගේ උත්සාහය පළ දරන තත්ත්වයක්‌ නිර්මානය කරන ලද්දේ වෙනත් පිරිසකි. මේ ආකාරයට ම පසු ගිය රජයන් ගණනාවක්‌ තුළ පිරිහීමට ඉඩ හැර තිබෙන මුල සිට අග දක්‌වා දේශපාලනීකරණයට නතුකොට ඇති ලංකාවේ අධ්‍යාපන ක්‌ෂේත්‍රය උසස්‌ තැනකට ගෙන ඒමේ අරගලය ජයග්‍රාහී එකක්‌ බවට පත් කළ හැකි වනු ඇත්තේ ද එය ජනතා අරගලයක්‌ දක්‌වා හැකි තරම් පුළුල් කළහොත් පමණි. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මාස තුනක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ ගෙන කරන ලද කාර්යභාරය බෙහෙවින් ප්‍රශංසනීය වන්නේ ඒ අර්ථයෙනි. එය ඉතාම ප්‍රශංසනීය ඇරඹුමකි. මෙතැනින් ඉදිරියට එය රැගෙන යාමේ වගකීම සමාජයේ අනෙකුත් වගකිවයුතු සෑම අංශයකටම පැවරේ.

දෙවැනි වැදගත් කරුණ ලෙස පෙනෙන්නේ නිදහස්‌ අධ්‍යාපන අරගලය මහජන අරගලයක්‌ දක්‌වා ගෙනයාමට රාහුල හිමියන් ඇතුළු පිරිසෙන් ලැබුණු විදග්ධ නායකත්වයයි. රාහුල හිමි හුදෙක්‌ පංසලකට සීමාවූ මානසිකත්වයකින් යුතු සිංහල ජාතිය සහ බුද්ධාගමේ ආරක්‍ෂාව ගැන පමණක්‌ කතා කරන සුළු චරිතයක්‌ නොවී වඩා පුළුල් ලෝක දැක්‌මක්‌ සහිත පුද්ගලයකු වීම මෙහි දී කැපී පෙනෙන කරුණකි. සත්‍යවශයෙන්ම උන්වහන්සේ භික්‌ෂුවක්‌ ලෙස පාලි සංස්‌කෘත ආදී භාෂා ද, තදනුබද්ධ සාහිත්‍යය ද පිළිබඳ ගැඹුරු දැනුමක්‌ ලබාගෙන තිබුණු අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම උපාධි හැදෑරීම කරන අතර ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්බන්ධව උසස්‌ හැදෑරීමක්‌ කළ බව පවසන්නේ උන්වන්සේගේ ආචාර්යවරයෙකු වූ ඒ. එµa. සී. ලුඩොවයික්‌ මහතාය. පෙර සඳහන් කරන ලද මැලේරියාවෙන් පීඩිත ජනයාට සහාය වෙමින් ද තවත් විටෙක කුළ පීඩිත ජනයා නගා සිටුවීම වශයෙන් ද උන්වහන්සේ ගේ සමාජ අත්දැකීම් සහ දැනුම ද ප්‍රශස්‌ථ මට්‌ටමක විය. මහත්මා ගාන්ධි, රබීන්ද්‍රනාත් තාගෝර්, ජවහර් ලාල් නේරු, සර්වේපල්ලි රාධාක්‍රිෂ්ණන් හා රාඡේන්ද්‍ර ප්‍රසාද් වැනි සමකාලීන විශිෂ්ට ඉන්දීය නායකයන් සමග ද උන්වහන්සේ සම්බන්ධතා ගොඩනගාගෙන තිබුණි. එහෙයින් නිදහස්‌ අධ්‍යාපන සටනෙහි දී රාහුල හිමියන් තු ළින් මතුව ආ නායකත්වය අතිශය විශිෂ්ට හා පුළුල් මට්‌ටමක පැවතිනි. උන්වහන්සේ හා එක්‌ව කටයුතු කළ වාමවාදී නායකයෝ ද ඩී. බී. ධනපාල වැනි අය ද මෙබඳුම ඉහළ, පුළුල් දැක්‌මක්‌ ප්‍රකට කළ නායකයෝම වූහ. නූතන අරගලයෙහි දී ද මෙබඳුම පුළුල් දැක්‌මක්‌ ඇති විදග්ධ නායකත්වයක මගපෙන්වීම අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම භාෂාව මත ද ආගම මත ඉතා දරුණු ලෙස සමාජය බෙදී ඇති තත්ත්වයක්‌ තුළ හා එකී බෙදීම තව තවත් තීව්‍ර කෙරෙමින් පවත්නා තත්ත්වයක්‌ තුළ එබඳු නායකත්වයක්‌ අත්‍යවශ්‍ය වේ. මෙම කටයුත්තේ දී නම් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට බරපතල වගකීමක්‌ පැවරේ. තමන්ගේම වූ පුළුල් දේශපාලන දැක්‌මක්‌ ද වැඩපිළිවෙලක්‌ ද නැති බංකොළොත් වූ දේශපාලන නායක ප්‍රතිරූපකයන්ට මෙන්ම වාර්ගික හා ආගමික අතින් අන්ධ වූ බලවේග ද මෙකී අරගලය තම අභිමතාර්ථ සඳහා භාවිතා කිරීම වැළැක්‌වීමට නම් එය අත්‍යවශ්‍යය. එමෙන්ම මෙකී අරගලය ළඟාවිය යුතු උසස්‌ තලය දක්‌වා ගෙන යාමටත් එය අත්‍යාවශ්‍යය.

දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ඉල්ලා සිටීම යනු හුදෙක්‌ මුදල් ප්‍රමාණයක්‌ සම්බන්ධ ඉල්ලීමක්‌ නොවේ. ඒ තුළ ඇත්තේ ජාතික අධ්‍යාපනය සඳහා රජය දැක්‌විය යුතු බරපතල හා වගකීම් සහගත අවධානය ඉල්ලා සිටීමකි. එය පසුගිය රජයන් හැම එකක්‌ අතින්ම පාහේ ගිලිහී ගිය අවධානයකි. ඒ අවධානය ඉල්ලා සිටීම රාජෙද්‍රdaහී හෝ දේශෙද්‍රdaහී ඉල්ලීමක්‌ නොවේය. 1940 දශකයේ රාහුල තෙරුන් ඇතුළු විද්‍යාලංකාර භික්‌ෂූන් ඉල්ලා සිටි ඉල්ලීමය. උපතින් ධනවත් නොවූ එහෙත් හැකියාවෙන් ඉතා ධනවත් වූ 5 වසර ශිෂ්‍යත්වයෙන් පළමුවැනියා වූ තලාතුඔය දැරිය වැනි දරුවන් කුස්‌සි මුල්ලට තල්ලු කර දැමීමට එරෙහි ඉල්ලීමය. ඒ සඳහා වන සටන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පමණක්‌ වූ සටනක්‌ නොවේ. එය අප සැමගේ ද සටනයි.

ගල්කන්දේ ධම්මානන්ද හිමි
සභාපති - වල්පොළ රාහුල පදනම් භාරය
(From Divaina newspaper)