Monday, September 10, 2012

ඉතින් නුඹ වෙඩි තියාපන්...

අපි යන්නේ,
අපේ සිසු විරුවන් ගමන් ගත් මාර්ගයේමය...
ඔවුන් දිවි පිදු මාර්ගයේමය...
එකා පිට එකා මරා දැම්මත්,
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,
පෙරට එන්නට අපි මැලි නොවෙමු...
මක් නිසාද යත්,
නිදහස් අධ්‍යාපනය සුරැකීම අප සතු යුතුකමක් නොව,
අප උර මත වූ,
වගකීමක් වන නිසාවෙනි...


 මූ‍ලාශ්‍ර - E F S U Ruhuna

උසස් අධ්‍යාපන ඇමතිතුමා වෙත ලියමි

දැන් කැම්පස් වල කොල්ලො කෙල්ලෝ රටේ නොදන්නා තැනක් නොදන්නා පාරක් නැති ගාණය. ඒ තරමට මුන් චාරිකා ගොස් ඇත. ඒ වෙන කවුරු නිසා වත් නොව ඔබ තුමාට පිං සිද්ධ වෙන්නටය. රටේ උගතුන් යයි කියන්නට පිරිසක් දැන් නැත. එහෙම කියන්නට හිටපු උන් ටික දැන් පාරවල් ගාණේ මඩ වතුර, කඳුලු ගෑස් සුව ලබති. නමුත් ඔබතුමාගේ පෞද්ගලික කඩ වලින් පිටවන හරක් පට්ටියටද උගතුන්යයි කීමට තරම් ජනතාව ගොන්නු නොවෙති.
 

ශිෂ්‍ය ව්‍යාපාර වලට ජෙප්පෝ යයි ඒ දවස් වල කියූ ඇතැමුන් අද අපි දිරිමත් කරන්නට අත්වැල් බැඳ හමාරය.එය දිනෙන් දින ශක්තිමත් වන්නක් විනා ආණ්ඩුවේ බලපෑම් හමුවේ දුර්වල වෙන කෝටුකිතයියෙකු නොවේ...

ඒ නිසා දැන්වත් පරාජය භාරගෙන සිසු ඉල්ලීම් දෙනවා නම් හොඳය. නැත්නම් ඉදිරියේ දී දොට්ට පිලට බහින්නත් ආරක්ෂකයෝ 50-60 ක් වත් ගෙන්නන්න වෙයි.ඒකත් ටික දවසකට...
Gamage

Sunday, September 9, 2012

෴ නිදහස් අධ්‍යාපනයේ නව පණ ලබන කල...අත් ඔසවමු..෴

නිදහස් අධ්‍යාපනය වලදමන්නට තනන සැමවිටම එය මිනිස් අයිතියක් ලෙස පෙන්වා කෑගැසුවෙමු,තවත් විටම එය අනාගත උරුමයක් බව කියා මොර ගැසුවෙමු, තවත් විටක එය නූතන දරුවාගේ එකම ගැලවුම්කරුවා ලෙස සලකා පාරට බැස්සෙමු..කෙසේ හෝ එය හදවත මෙන් රැකගත්තෙමු. එහෙත් නැවතත් එය මරා දමන්නට අධ්‍යාපන පාලකයින් දැන් දැන් කටයුතු කරමින් සිටීම නිදහස් අධ්‍යාපනයේ දරුවන්ගේ ලේ කකියන කරුණක් වීම පුදුමයක් නොවේ.

මේ නිදහස් අධ්‍යාපනය කාගේ හෝ බූදලයක් හේ වස්තුවක් නොව එය මෙරට සමස්ත දරු පරපුර සතු හිමිකමකි. එම හිමිකම බඩවියත උදෙසා හෝ කැසිනෝ,කල්බ් සහ ගණිකාවන් වෙනුවෙන් ලක්ෂ ගණන් වියදම් කරන කබාසිනියාකාර දරුවන් හිමි අධ්‍යාපන ලොක්කන්ගේ සාක්කු බර කරමින් අවසන නිදහස් අධ්‍යාපනයේ දරුවන් පාරට ඇද දැමීමට උත්සහ කරනවානම් කරබාගෙන පසෙකට වී සිටීම මහත් නිවටකමකි.එයට පෑනෙන්,අකුරෙන්,නිර්මාණයෙන්,හඬින් සහ ශක්තියෙන් දායකත්වය දෙන්නෝ නිසැකවම නිදහස් අධ්‍යාපනයේ සුජාත දරුවන් බව කිව යුතුමය.

මේ නිදහස් අධ්‍යාපනය වනසා දැමීමට දත කන නිවටයින් නොදන්නා කරුණ නම් මෙරට ශිෂ්‍ය ව‍්‍යාපාරය හා පොදු ජන මතය අවදිවූ කල්හිදී ඕනෑම බලවේගයක් පාගා පොඩිකර දැමිය හැකි මහා සවියක් ඔවුන් සතු බවයි. එය නොදැන නිදැල්ලේ බයිලා ගසමින් අධ්‍යාපනයේ සිව්කොන් කා දමන නිවට අධ්‍යාපන බලධාරීන්ගේ බිහිරි හා හුඹස් බැඳි කන් වලට ඇසෙන්නට මහ හඬ නංවන්නට අපට සිදුවී ඇත. එසේම පාට,පක්ෂ හා සල්ලි කොලවලින් වැසීගිය දෙනෙත් වලට සටන් පාඨ පෙන්වා පෙනීම ලබාදෙන්නට සිදුවී ඇත. එය සිදුකිරීමට මහා සවියක් අවශ්‍යව ඇත.

කන්නන්ගර ශ්‍රීමතාණන් නිදහස් අධ්‍යාපන පනත මන්ත්‍රණ සභාවට ගෙන එද්දී “මේකෙන් වෙන්නේ ගහකට නග්ගන්න කොල්ලෙක් නැතිවෙන එක“ යයි කියා මන්ත්‍රණ සභාවෙන් පිටවි ගිය මහා නායකයන් මෙන්ම “දැයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරනවා“ යයි පපුවට ගසා ගනිමින් කෑගසූ නායකයන්ද ජීවත්වූ සහ ජීවත්වන රටක අධ්‍යාපනයට මෙවන් තත්වයක් උදාවීම පුදුමයක් නොවනවා මෙන්ම විටක මහා පුදුමයකි.

නුදුරු දිනකදී නිදහස් අධ්‍යාපනයේ මහා පුරුෂයා නැවතත් නැගී සිටිනු නියතය. ඔහු අධ්‍යාපනය නැමති වෘක්ෂය සිල්ලරට කපා දමන්නට හදන අමනයින්ට කස පහර දීමට ඉදිරියට යනු ඇත. අවැසි වන්නේ ඒ මහා පුරුෂයාගේ පසු පසින් සිට එයට දෑතම දිගුකරමින් ශක්තියක් වන්නා වූ සිරිලක් නිදහස් අදියුමේ සුජාත දරුවන්ය.එයට සූදානම් වීමට ඔබට සිදුවනු නොඅනුමානය.

- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර|Janaranga Wijaindu Dewasurendra -