Wednesday, December 5, 2012

මෙය තරුණ පරපුරම අමතක කරදමා ඇති අයවැයක්- බිමල් රත්නායක

සමස්‌ත තරුණ පරපුරම අමතක කරදමා ඇති හැකි අයගේ දූ දරුවන්ට සැපවත් ජීවිතයකට අවශ්‍ය වටපිටාව මෙවර අයවැයෙන් සලසා දී තිබෙනවා යෑයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බිමල් රත්නායක මහතා,

                     "2011 ජන සංඛ්‍යාලේඛන අනුව ගත්තාම මෙරට අවුරුදු 15-35 අතර තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක්‌ පමණ සිටිනවා. ආණ්‌ඩුවේම සංගණනයන්ට අනුවම ගත්තාම මෙම ප්‍රමාණය තහවුරුවෙලා තිබෙනවා. අපේ රටේ වර්ෂයකට තුන්ලක්‍ෂ පනස්‌දාහක්‌ පමණ දරුවන් පිරිසක්‌ බිහිවෙනවා. ඉන් අති බහුතරයක්‌ දෙනා අපේ රටේ සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවන්. ඒ කියන්නේ එදිනෙදා කීයක්‌ හරි හොයාගෙන ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපන වටපිටාව ගත්තොත් එම තුන්ලක්‍ෂ පනස්‌දාහෙන් හරි අඩක්‌ එනම් එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ දෙනා පමණයි සා.පෙළ විභාගය සමත් වෙන්නේ. ඒ වගේම එම තුන්ලක්‍ෂ පනස්‌දාහක පිරිසෙන් 2/3 ක්‌ පමණ පිරිසක්‌ පමණයි උසස්‌ පෙළ සමත් වෙන්නේ. එලෙස උසස්‌ පෙළ සමත් වෙන පිරිසෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට හැකිවන්නේ 3% ක පමණ පිරිසකට පමණයි. උසස්‌ පෙළ විභාගය සමත්වෙලා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු කී දෙනෙක්‌ විශ්වවිද්‍යාලවල දොරටුව කුඩා නිසා ඇතුළු වීමට නොහැකිවී ඉන්නවද? ආණ්‌ඩුව කියන පරිදි සාමාන්‍යයෙන් වර්ෂයකට විසිදාහක පමණ පිරිසකට පමණයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. එම විසිදහස කියන්නේ උසස්‌ පෙළ විභාගයට දෙවැනි සහ තුන්වැනි වතාවටත් පෙනී සිටි ශිෂ්‍යයන් ඇතුළුවයි. ලෝකයේ අඩු අධ්‍යාපනයක්‌ ලැබෙන රටවල් 10 න් එකක්‌ බවට අපේ රට පත්වෙලා තිබෙනවා. එනිසා අපේ රටේ අධ්‍යාපනයේ අවස්‌ථා පුළුල් විය යුතුයි. රටේ ජනාධිපතිවරයා විදියට ප්‍රතිපත්ති සකස්‌ කරන්නා ලෙස රටේ මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැයෙන් උසස්‌ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක්‌ ඉදිරිපත්කර නැහැ. අපට යම් බලාපොරොත්තුවක්‌ තිබුණා එහෙම යෝජනාවක්‌ මේ අයවැයේ තියෙයි කියලා.

මේ රටේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් පසුව රජයේ වැඩපිළිවෙළක්‌ සහිතව දැක්‌මක්‌ සහිතව, විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කර නැහැ අවුරුදු 34 ක්‌ ගතවන තුරු. අනුබද්ධ විශ්වවිද්‍යාල නමින් විශ්වවිද්‍යාල කිහිපයක්‌ ආරම්භ කළා. නමුත් ඒවා ගම් උදාවට හදන ලද ගොඩනැඟිලිවල, අත්හැර දමන ලද ස්‌ථානවල ස්‌ථාපිත කරපු පපඩම් විශ්වවිද්‍යාලයි. ඒවත් ශිෂ්‍යයන්ගේ අරගල නිසා ආණ්‌ඩුව විසින් ආරම්භ කළාට කිසිදු දැක්‌මක්‌ වැඩපිළිවෙළක්‌ සහිතව ආරම්භ කරන ලද ඒවා නොවෙයි. ලෝකයේ ගත්තාමත් අවුරුදු 34 කින් විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කර නැති එකම රට ශ්‍රී ලංකාව වෙන්නත් පුළුවන්. වත්මන් ජනාධිපතිතුමා තමන්ගේ දෙවැනි ධුර කාලය ඉතා උත්කර්ශවත් ආකාරයෙන් සැමරුවා. අවුරුදු 8 ක්‌ ගතවෙලා තියෙනවා. ඒ අවුරුදු 8 තුළ උසස්‌ පෙළ සමතුන් ආසන්න වශයෙන් දශලක්‍ෂයක්‌ පමණ එළියට දාලා තිබෙනවා. විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්න ඔවුන්ට අවස්‌ථාව නොලැබුණා. මේ රටේ විශ්වවිද්‍යාල සංවර්ධනයට යෝජනා නැහැ. සුදුසුකම් ලැබිලත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට නොලැබීම මහා ඛෙදවාචකයක්‌....... ... ....

මෙරට තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක්‌ පමණ වෙනවා. ඔවුන්ගෙන් ලක්‍ෂ 20 ක්‌ පමණ කිසිදු රැකියාවක්‌ කරන්නේ නැහැ. රැකියා කරන ලක්‍ෂ හතළිහක පමණ පිරිසක්‌ ඉන්නවා. ඔවුන් නිරත වන රැකියා ඉතා පීඩාකාරී තත්ත්වයකයි තිබෙන්නේ. විශේෂයෙන්ම ඇඟලුම් කම්හල් තුළ සේවය කරන තරුණියන්. ඒ වගේම සුපර් මාර්කට්‌, ප්‍රදර්ශනාගාරවල, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවල සහ ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන තරුණ තරුණියන්ගෙන් බහුතරයක්‌ උසස්‌ පෙළ සමතුන්. ඔවුන් මහත් පීඩාවකින් රැකියාවේ නිරත වෙන්නේ. ඔවුන් ලැබෙන වැටුප ඉතාම අඩු අගයක්‌. එනිසා ඔවුන් කෙටි කාලයකින් එම රැකියා අත්හරිනවා. උගත්කමින් වැඩි ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක්‌ ඇඳුම් මහන්නේ ලංකාවේ කියලා ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නිරතවන විදේශිකයෙක්‌ කියා තිබුණා මට මතකයි. මේ පීඩනය නිසා රැකියාව අහිමිවන සේවකයන්ට ආණ්‌ඩුවෙන් කිසිදු දීමනාවක්‌ ලබාදෙන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා වන මුදල් ඇමැති තරුණයන් ගැන අයවැයේ කිසිදු සඳහනක්‌ කරන්නේ නැහැ. හැබැයි එක සඳහනක්‌ තිබෙනවා. 2014 පැවැත්වෙන තරුණ ඇමැතිවරුන්ගේ සමුළුවක්‌ සඳහා රුපියල් මිලියන 300 ක්‌ වෙන්කළා"

මැර පිරිසක් පහරදී රජරට සිසුන් 5 ක් රෝහලේ

University of Rajarata
භාහිර මැර පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තුවාළ ලැබූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු මිහින්තලය රෝහලට ඇතුළත් කර ත්බේ. මොවුන් අතුරින් සිසුන් තිදෙනෙකු ඊයේ (04) රාත්‍රියේ සිය පෞද්ගලික නේවාසිකාගාරය තුළදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර අනෙකුත් සිසුන් දෙදෙනා පසුගිය 03 වනදා නේවාසිකාගාරයට ගමන් කරන අතරතුර දී ප්‍රහාරයට ලක්වී තිබේ.

Tuesday, December 4, 2012

SAITM පිළිබඳ විධිමත් පරීක්ෂණයක්

මාල‍ඹේ ‍පෞද්ගලික ‍වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභාවක් පත්කරන ‍ලෙස කථානායකවරයා‍ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා ‍වේ.
විපක්ෂ‍යේ පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් අට (08) ‍දෙ‍නෙකු‍ගේ අත්සනින් යුතුව එම ඉල්ලීම සිදුකර ඇත. ‍
මෙම ඉල්ලීම සිදුකර ඇති පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් ‍ලෙස අනුර කුමාර දිසානායකජයන්ත කැට‍ගොඩවිජිත ‍හේරත්,සුනිල් හඳුන්නෙත්තිසුජීව ‍සේරසිංහකබීර් හසීම්හරීම් ප්‍රනාන්දුදයාසිරි ජය‍සේකර සහ අජිත් පී. ‍පෙ‍රේරා සඳහන් ‍වේ.
ඉහත සඳහන් මන්ත්‍රීවරුන්‍‍ විසින් ‍මේ පිළිබඳව කළ ඉල්ලීම ‍මෙ‍සේය.
                         ‘‘මාලඹේනව නුවර පාර ඔබ්බෙහිමිලේනියම් ඩ‍්‍රයිව් ලිපිනයේ පිහිටි South Asian Institute of Technology and Management (Pvt.) Ltd. (SAITM) නම් ආයතනයක් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට වෛද්‍ය පුහුණු පාඨමාලා පවත්වමින් තිබේ.
ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට අදාළ කවර හෝ උපාධියක් පිරිනැමීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවද මෙම ආයතනය ඒ කොන්දේසි මෙතෙක් ඉටුකර නැත.
එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ පංච පුද්ගල කමිටුවක් විසින් 2012.02.28 නිකුත් කළ වාර්තාවකින් මෙම ආයතනය සිදුකරන ලද වැරදි ගණනාවක් පෙන්වාදී ඇත.
2011 මැයි මාසයේ සිට South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. ලෙස නම වෙනස් කරගත් මෙම ආයතනයශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිසුන් තවදුරටත් බඳවා නොගන්නා ලෙස දැනුම්දී තිබියදීත් එය නොසලකා ශිෂ්‍ය කණ්ඩායම් කීපයක් බඳවාගෙන ඇත.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව ශික්‍ෂණ රෝහලක් ලෙස නම් කර පෞද්ගලික රෝහලක් පවත්වාගෙන යන අතරඒ සඳහා ප‍්‍රචාරය ලබාදෙමින් සිසුන් බඳවා ගනිමින් සිටී. 1987 අංක 48 දරණ මානව පටක බද්ධ කිරීම පිළිබඳ පනත උල්ලංඝනය කරමින් මේ වනවිට මෙම ආයතනය මෘත ශරීරද ලබාගනිමින් තිබේ.
එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 70ක් පමණ අයකර ගනිමින් පවත්වාගෙන යන මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමයට බලවත් තර්ජනයක් වන අතර සුදුසුකම් නොලත් වෛද්‍යවරු පිරිසක් බිහිකිරීමෙන් සෞඛ්‍ය සේවාවටද අනාගතයේ දැඩි හානියක් සිදුකරනු ඇත.
කරුණු මෙසේ තිබියදී ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා විසින් 2012 අගෝස්තු 30 දින ගැසට් නිවේදනයක් මෙම ගරු සභාවට ඉදිරිපත් කරමින් SAITMආයතනයට වෛද්‍ය උපාධි ප‍්‍රදානය කිරීම සඳහා අවසරය ලබාදෙන ලදී.
මෙසේ හෙයින් South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. ආයතනය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටිමු''
-lankatruth