Wednesday, February 13, 2013

1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී වල්පොල රාහුල හිමියන් කළ කථාව


දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප‍්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද?  අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ.  එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප‍්‍රාදේශ්‍රීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප‍්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ.

ඔබ හොදින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක හො වෙනත් තැනක උත්්පත්තිය ලැබිය යුතු බව ඔබට පෙනෙනු ඇත.  මිනිසෙකු හෝ ගැහැණියක එසේ ඉපදුණු විට ඒ සමඟ ඔවුන්ට කිසියම් රටක්, ජාතියක්, ආගමක්, දේශපාලන දර්ශනයක් හෝ මතවාදයක්, භාෂාවක්, සමාජ කණ්ඩායමක් හෝ කුලයක් උරුම වේ.  අනෙක් ඒවාට වඩා ඒවා හොඳ නිසා ඔවුන් ඒවා තෝරා ගත්තා නොවේ.  ඒ සියල්ල අහම්බෙන් ලැබෙන දේය.

එසේ වුවද, පුද්ගලයෙකු සිය ආත්මය පිළිබඳ හැඟීම සිය ආත්මාර්ථකාමී මමත්වය – හේතුකොට ගෙන  හුදු අහම්බයක් නිසා තමාට උරුම වූ මේවා පිළිබඳව ඇලෙන අතර ඒවා තමාට ඉතාම සුදුසු යයි හැඟුන නිසා තෝරාගත් බවක් අන්‍යන්ට පෙන්වන්නට කටයුතු කරයි.  ඔහු ඒවා සමඟ වෙන් කළ නෙැහැකි ලෙස සම්බන්ධ වන අතර ඒවා තුළ සිය සතුට, විමුක්තිය හා සරණ සොයයි.  ඒවා ඉවත් කළ විට කිසිම වටිනාකමක් නැති හිස් බවක්, අසරණ බවක්, ඔහුට දැනේ.  ඒ නිසාම ආරක්ෂා වනු පිණිස, ආවරණය වනු පිණිස, වෙනකක් තබා තමා වැදගත් බව හඟවනු පිණිස, ඒවා උත්කෘෂ්ඨත්වයට නංවන්නට ඉහලට ඔසවා තබන්නට, වන්දනා මාන කිරීමට, ඔහු උනන්දු වෙයි.

කිසියම් කෙනෙකු සභාවක නැගිට ” මා ශෙ‍්‍ර්ෂ්ඨයි විශිෂ්ඨයි උතුම්යයි” කියමින් තමන් වර්ණනා කෙරෙයි නම් ඒ පුද්ගලයා නිරනුමානයෙන්ම සභාවේ සාධාරණ උපහාසයට ලක්වනු ඇත.  එභෙත් ඔහු තමාගේ ජාතිය, වර්ගය හෝ ආගම උසස් යයි ( එයද තමන් උත්කෘෂ්ඨත්වයට පත් කර ගැනීමේ අනියම් මගකි) කියා සිටින්නේ නම් ජාතිපේ‍්‍රමියෙකු ලෙස හෝදේශපේ‍්‍රමියෙකු ලෙස හෝ වෙනත් පූජනීය කෙනෙකු ලෙස එම සභාවේ සිටින සිය ජාතියට, ආගමට හෝ වර්ගයට අයත් ජනතාව ගෙන් බුහුමන් ලබනවා ඇත.  මෙවැනි දේශකයින්ගේ පටු බව හා ලඝු බව දේශපේ‍්‍රමයේ හෝ ජාතිපේ‍්‍රමයේ සළු පිළියෙන් කදිමට වසා ගත හැක.


ශ‍්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන් විසින් තවමත් මහත් උනන්දුවෙන් හදාරනු ලබන රෝමානු නීතියේ මෙවැනි කියමනක් වෙයි.

“සිය දේශය වෙනුවෙන් මිය යාම ප‍්‍රසන්න හා වැදගත් දෙයකි”  රට වෙනුවෙන් ජීවත් වීම, ඒ වෙනුවෙන් මිය යාමට වඩා වැදගත්  බව පෙන්වන්නට. සාධක කොතෙකුත් තිබියදීත් මෙවැනි ආකර්ෂණීය හා උද්වේගජනක සටන් පාඨ මිනිසුන් අරගලයට යුද්ධයට මෙභෙයවා ඇත.

කිසියම් පුද්ගලයෙකු තම රට ජාතිය හෝ ආගම නොසළකා අමතක කොට ජීවත්විය යුතු යයි කිසිවෙකු යෝජනා නොකරනු ඇත.  දේශපේ‍්‍රමය ජාතිපේ‍්‍රමය හා ඒ සමාන වෙනත් දේ තුළ ඇති නොවැටභෙන දේ නම් ඒවායින් ඇතිවන යහපත හෝ අයහපත වෙන්කර ගන්නට නොහැකි වීමය.

දේශපේ‍්‍රමය යනු රට වෙනුවෙන් පෙනී සිටීමය.  ජාතිපේ‍්‍රමය යනු ජාතිය වෙනුවෙන් පෙනී සිටීමය.  එහි දොස් පැවරිය යුතු කිසිවක් නැත.  ඒ දෙකම යහපත්ය.  එභෙත් තම ජාතිය වෙනුවෙන් පෙනී සිටීම ඉක්මනින්ම අනෙක් ජාතියට එරෙහි වීමට පෙරලෙයි.  තමන්ගේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම අනෙකාගේ රට ජාතියට එරෙහි වීම ලෙස තේරුම් නොගත යුතුය.  ඇත්තටම නම් තමන්ගේ රට ජාතියට හිතවත් වන ප‍්‍රමාණයට අප අනෙකාගේ රට ජාතිය ගැනද හිතවත් විය යුතුය.  අනෙකාගේ රට ජාතියට ගෞරව නොකරන, ආදරය නොකරන, කෙනෙකු තමන්ගේ රට ජාතියට සැබෑ ලෙස ගෞරව කරන්නේද ආදරය කරන්නේද නැත.

බෞද්ධ ආචාර ධර්ම තුළින් මේ සම්බන්ධව වැඩිදුර ගුරුහරුකම් ගැනීමට අපට පුළුවන.  ලෝක සත්වයාට මෛත‍්‍රීය කිරීම අරඹන්නේ පහසුවෙන් හා මුලින්ම කළ හැකි තමාට මෛත‍්‍රිය පැතිරවීමෙනි.  තමාට මෛත‍්‍රිය කිරීම සඳහා අනුන්ට වෛර කිරීම අවශ්‍ය නොවේ.  තමාට නිවැරදිව හා බුද්ධිමත්ව මෛත‍්‍රිය කරන කෙනෙකු සියළු ආකාරයේ නරක ක‍්‍රියාවලින් වැළකෙන අතර නිවැරදි මාවතේ ගමන් කරයි.  එවිට අපට අප සමඟ හෝ සමාජය සමඟ ගැටුමක් ඇති නොවේ.  අප අවට ලෝකය සමඟ සාමයෙන් හා සංහිඳියාවෙන් ජීවත්වීමට එයින් අපි වරම් ලබමු.  ඊළඟ පියවර වන්නේ තමන්ට ඉතාම ළඟින් නුදුරින් සිටින අයට මෙත් සිත් පැතිරවීමය.  තෙවැනි පියවර වන්නේ තමා සමඟ සබඳකම් පවත්වන අයට මෛත‍්‍රිය කිරීමයි.  සිව්වෙනි හා අවසාන පියවර වන්නේ තමන්ගේ සතුරන්ටද මෛත‍්‍රිය පැතිරවීමය.  මෙය දුෂ්කර වුවද මෛත‍්‍රිය වැඩීම තුළ තමන්ගේ අධ්‍යාත්මික වර්ධනය හා අත්දැකීම් ලබන නිසා එය කළ හැකි දෙයක් වෙයි.  මෙසේ මෛත‍්‍රිය හුරු කළ විට තමන් හා තමන්ගේ කිට්ටුවන්තයන් අතරද තමන් හා තමන් සබඳකම් පවත්වන්නන් අතරද තමන් හා හතුරන්  අතරද වෙනස තුනීව යයි.  නැතිව යයි.  මෙය ඉන්ද්‍රජාලික සුරංගනා ලෝකයේ සිදුවන අභව්‍ය සිදුවීමක් නොවේ.  මෙය මිනිසුන් තුළ ගොඩ නඟා ගත හැකි අපූර්ව තත්වයකි.දේශපේ‍්‍රමයට  හා ජාතිපේ‍්‍රමයට මෙසේ සියළු ජාතීන් හා දේශයන් එක්ව පෙමකින් වෙලන්නට හැකිවේද?  සමහර විට මහත්මා ගාන්ධි එසේත් නැත්නම් ශ‍්‍රී ලාංකිකයෙකු වූ ආනන්ද කුමාරස්වාමි වැනි දේශපේ‍්‍රමීහු හා ජාතිපේ‍්‍රමීහු  ජාතියට සංස්කෘතියට හා දේශයට ආදරය කරමින් සෙසු ජාතීන්ට සංස්කෘතීන්ට දේශයන්ටද පේ‍්‍රම කළහ.


මේ සඳහා කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි මනසක් තිබිය යුතුය.  මේ හැම විටකම කල්පනාකාරී වීමත් මිනිසුන් වර්ග කර ලේබල් ඇලවීමට ඉක්මන් නොවීමත් අවශ්‍යය. වර්ගීකරණය යනු බෙදා නිෂ්චිත කණ්ඩායම්වලට වෙන් කිරීමය.  එසේ කළ විට අනවරතව ගලා යන සමස්ථ ජීවිතය අපගේ සිත තුළ චිත‍්‍රණය නොවෙයි. වර්ගීකරණය යනු කෑලිවලට වෙන් කර තනි තනිවම ඒවා විමසීමය.  ඒ තුළ සමස්ථය දැකිය නොහැකිවේ.  වර්ගීකරණය තුල කැබලි වීම නිසා සිදුවන මේ අභාග්‍යය මිනිසා ගැන පමණක් නොව ස්වභාවධර්මය සම්බන්ධයෙන්ද රමණීයත්වය සම්බන්ධයෙන්ද වෙනත් බොහෝ දෑ සම්බන්ධයෙන්ද එකසේ අදාළය.


සියළුම ආගම් පිළිබඳ ප‍්‍රවේසමෙන් කරන ලද අධ්‍යයනයකින් පසු කිසියම් ආගමක් අනෙක් ඒවාට වඩා ශෙ‍්‍ර්ෂ්ඨ යයි තේරුම් ගෙන ඒ ආගම වැළඳගත් අය ලෝකය තුළ සිටී නම් ඒ අල්ප වශයෙනි.  එභෙත්  බහුතරයක් අපි උපතින් උරුම වූ ආගමතුළම රැදී සිටිමු.  මා කිසියම් ආගමක් උපතින් උරුම කර ගත් නිසාම ඒ ආගම පමණක්ම සත්‍ය බවත් අනෙක් ආගම් සියල්ල අල්පේච්ඡ බවත් කීම කොතෙක් දුරට සාධාරණ වන්නේද?  මීටත් වඩා පටු වූද බාලවූද සිතිවිල්ලක් තවත් තිබිය හැකිද?  මම බෞද්ධයෙක්ව උත්පත්තිය ලැබූ නිසාම බෞද්ධාගම සත්‍ය දෙසන එකම ආගම බවත් අනෙක් ආගම් තුළ ඇත්තේ බොරුව බවත් මට කිව හැකිද?  මා ක‍්‍රිස්තියානි කාරයෙක්ව උත්පත්තිය ලැබුවේ නම් ක‍්‍රිස්තියානි එකම සත්‍ය ආගම බවත් සෙසු සියළු ආගම් වැරදි බවත් මා කීම සාධාරණ වන්නේද?  තමන්ගේ ආගම පිළිබඳ භක්තියක් ඇතිකර ගැනීම එකකි.  එය යහපත් එකක් වන්නටද පුළුවන.  එභෙත් මගේ ආගමට ඇති භක්තියෙන් අන්ධවී මා විසින් සෙසු ආගම් ගර්හාවට ලක් නොකල යුතුය.

මේ සම්බන්ධයෙන් කිව යුතු තවද කරුණක් ඇත.  අවිචාර බුද්ධියෙන් යුතුව  ඡාතික හා ආගමික මතයක එල්බගෙන සිටීම තරමටම දේශපාලනික ආර්ථික හෝ සමාජයීය  මතයක් විචාරයෙන් තොරව දැරීමද (එකම ආකාරයේ) වැරදිය. මේ සියළු මතවාදයන් (දිට්ඨි) කෙරෙහි අන්ධව බැදී ඇලී සිටින තැනැත්තේ මෙසේ කියයි. මෙය පමණක් සත්‍යයකි. මෙයින් බාහිර හැම දෙයක්ම බොරුවකි.

එවැනි අන්ධ මතවාදයන් දැරීම පිළිබඳ බුදුන්ගේ වචනය ඉතා පැැදිලිය. කිසියම් මතවාදයකට ඇලි ගැලී සිටිමත් අනෙකුත් මතවාදයන් පහත් යැයි ගර්හා කිරීමත් පහත් ක‍්‍රියාවන්ය. බුද්ධිමත් මිනිස්සු එවැනි දැ සලකන්නේ විලංගු ලෙසය. (සූත්ත නිපාත – 798 පැදිය) ඒ අර්ථයෙන් ගත් කළ මිනිස් වර්ගයා විලංගු දා බැඳ දමා තිබේ.

මෙයින් අදහස් කරන්නේ අරාජිකත්වය හෝ ව්‍යාකූලත්වය අනුයන බව නොවේ. අපම සාදාගත් පටු දෘෂ්ඨියෙන් මිදී, අපේම සිතින් මවාගත් මන:කල්පිතයන්ට නොබැඳි, නිදහසේ යමක් එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට ඒ උපදෙස් අපට ආරාධනා කරනවා පමණකි. යමක් එහි සැබෑ ස්වරූපයෙන් දැකීමෙන් ව්‍යාකූලත්වයක් හෝ අරාජිකත්වයක් ඇති නොවේ. එයින් පිළිවෙලද, විනයද -  සහජීවනය හා සාමයද – ඇති වේ. අපි යථාර්ථයට මුහුණදීමට ඇති බිය නිසාම අපේ ඇස් වසා ගනිමු.  අප කැමත, යමක් අපට ඔනෑ අකාරයට දකින්නට මිස, එය තිබෙන සැබෑ ස්වරූපයෙන් දක්නට නොවේ.

ඒ නිසාම වසර ගණනාවක පුහුණුවකින් පසු සරසවිය  හැර යන තරුණ ඔබ සියල්ල පරීක්ෂා කළ යුතුය.  ඔබේ දැනුම සියල්ල  එහි සැබෑ ස්වරූපයෙන් දකින්නට භාවිතා කළ යුතුය.  මා කියන දෙය හෝ වෙනත් කිසිවෙකු කියන දෙය හෝ ඔබ පිළිගත යුතු නැත.  එය අධිකාරිත්වය දරණ අයගේ හඬ නිසාම ඔබ පිළිගත යුතු වන්නේ නැත.  යම් කෙනෙකු තමන්ගේ හැකියාවේ උපරිම මට්ටමෙන් හා තම දැනුමේ උපරිම මට්ටමෙන් යම් කිසිවක් විමසා බලා පිරිසිඳ දකින්නේ නැතිව පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදා සාධාරණ හේතුවක් දිය නොහැකිය.

ඔබේ වෘත්තීය ජීවිතය තරුණ ඔබටද එපමණක් නොව සමාජයේ යහපත පතන ඒ වෙනුවෙන් කැප වී ඇති සියල්ලන්ටමද ප‍්‍රයෝජනවත් හා තෘප්තිකර එකක් වනු ඇතැයි මේ උපාධි ප‍්‍රදානෝත්සවයට සහභාගි වන සියල්ලන් පතන බවට මට උදක්ම  විශ්වාසය.

Sunday, February 10, 2013

නිදහස්‌ අධ්‍යාපනයේ මල් නෙලන්න පොල් හොරකමේ යවන දැරියෝ!

ඒ හැඟුම සිත පාරවයි. ඊයක්‌ මෙන් පත්ලට කිදා බැස සිත කීරි ගන්වයි. සිත් කම්පා කරවන අවස්‌ථාවන්ට සංවේදී වන්නට තරම් හැඟීමක්‌ මනසක්‌ ඇති එකෙක්‌ නැති වග යළිත් පසක්‌ කර තිබේ. මේ පළමු වැනි හෝ අවසාන වර ද නොවේ.

පාසලේ තීන්ත ගෑම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියක අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමේ හද රිදවන සිදුවීම දෙස නොබැලු අයෙක්‌ නැත. එම සිදුවීම මේ සමාජ යථාර්ථයේ කදිම නිර්දශනයක්‌ ලෙස අර්ථදැක්‌වීම අතිශයෝක්‌තියක්‌ නොවේ. බොහෝ පිරිස්‌ ඒ දැරියගේ අන්ත අසරණ භාවය පිළිබඳව ඉමහත් ශෝකයෙන් කතා කරන විට තවත් පිරිස්‌ දෙමවුපියන්ට, පාසලට එසේ නැතහොත් පොල් ගසේ හිමිකරුට දෝෂාරෝපණය කරති. දැරිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිසියට ද මෙ වන විට චෝදනා එල්ල වී තිබේ. එනම් එතරම් සුළු සිද්ධියක්‌ සමථ මණඩලය ඉදිරියට ගෙන යැමෙන් තොරව අධිකරණය ඉදිරියටම ගෙන යැම පිළිබඳවය. රටේ ඉහළම පුද්ගලයන්ට හොටු පෙරාගෙන වැළපෙන්නට මෙය කදිම අවස්‌ථාවකි. දුටු දුටු තැන දරුවන් සිඹින මුත් එය ළෙන්ගතුකමක්‌ හෝ සැබෑ ස්‌නේහයක්‌ නොවන බව මේ දැරියගේ සිද්ධියෙන් කදිමට උද්දීපනය වෙයි. හද කම්පා කරවන මෙවැනි සිද්ධීන් තොරොම්බල් කරනු විනා එවැනි සිදුවීම් ඇති නොවන්නට පාලකයන් කර තිබෙන හෝ කරන දෙයක්‌ නැත. මේ මොහොතේද සිදු වෙමින් පවතින්නේ එවැනි තොරොම්බල් කිරීමකි. ඉතාම මෑතකදී කොස්‌ගෙඩිය දෙකක්‌ කඩා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියද වාර්තා වුයේ මෙම ප්‍රදේශයෙන්මය. එවර කොස්‌ගසේ හිමිකරුවා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙකි. තමන්ට අයත් කොස්‌ගසෙන් කොස්‌ ගෙඩි දෙකක්‌ කැඩූ පුද්ගලයා කුදලාගෙන ගොස්‌ පොලිසියට භාරදී අධිකරණ ක්‍රියාමර්ග ගැනීSමේ සිදුවීම කතා කළේ මාධ්‍ය පමණි. රුපියල් 25000 කට අඩු වැරැදි අධිකරණයට ඉදිරිපත් නොකර සමථ මණ්‌ඩල හරහා විසඳුම් ලබා ගැනීමේ චක්‍රලේඛ පිළිබඳ එම සිද්ධියේදී කතා බහට ලක්‌ නොවිණි. පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරිය අධිකරණයට ගෙන යැමේ සිද්ධියෙන් පසු සමථ මණ්‌ඩල වලට යොමු කිරීමේ චක්‍රලේඛවල දූවිලි පිසදා බැලීමට තරම් වුවමනාවක්‌ නිර්මාණය වූයේ ඇයිද යන්න විමසිය යුතුය. කොස්‌ගෙඩි දෙකේ වටිනාකම පොල්ගෙඩි අටේ වටිනාකමට වඩා අඩුය. ඒ අතින් ගත්තද අඩු වැරදි සමථ මණ්‌ඩලයට යොමු කිරීමේ චක්‍රලේඛ ගැන කතා කරන්නට තිබුණේ මුල් සිදු වීමේදී බව කාටත් තේරෙන සත්‍යයකි. එහෙත් ඒ චක්‍රලේඛ බහා ඇති µයිsල් කවර අවුස්‌සන්නට කොස්‌ගෙඩි සිද්ධියේදී අවධානය යොමු නොකළ පාලකයන් පොල්ගෙඩි අටේ සිද්ධියේදී ඒ සඳහා උත්සුක වීම හරහා පිළිඹිබු වන්නේ දරුවන් තොරොම්බල් කර පහසුවෙන් සමාජ අවධානය දිනා ගැනීමේ පටු අරමුණ පමණක්‌ යෑයි කීමෙහි වරදක්‌ නැත. කොස්‌ගෙඩි දෙකේ සිද්ධියේදී අධිකරණ ඇමැතිවරයා චක්‍රලේඛ එළියට ඇද්දේ නම් හොරණ අධ්‍යාපන කලාපයේ අසරණ දැරියගේ සිද්ධියට සමථ මණ්‌ඩලය ඔස්‌සේ විසඳුමක්‌ ලැබෙන්නෙට ඉඩ තිබිණි. එය එසේ නොවීම හරහා දරුවන් එවැනි වැරැදි සඳහා පෙළඹෙන හේතු සාධක පිළිබඳ කතිකාවතක්‌ ගොඩනැගීමට හැකි වී ඇත. ඒ වෙනුවෙන් ඇයට ද ප්‍රශංසාව හිමි විය යුතු යෑයි අපි විශ්වාස කරමු.

නව දහස්‌ හයසිය හැට දෙකක්‌ පමණ වන පාසල්වල වැසිකිළි පවිත්‍ර කිරීමේ සිට තාප්ප, බිත්තිවල තීන්ත ආලේප කිරීම දක්‌වාත් විද්‍යාගාර, හා පුස්‌තකාල පරිහරණය කිරීමේ සිට යටිතල පහසුකම් සඳහා වන වැය බරත් දරන්නේ දෙමවුපියන් බව පාලකයන් දැනගෙන ඇත්තේ ඉහත දැරියගේ සිද්ධියෙන් පසුවය යන්න අපගේ "අහිංසක හැඟීමය". ඒ හැඟීම අප තුළ උපදවන්නේ සැකයකි. වසරින් වසර අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන කපා හරින කල අධ්‍යාපනයේ වැයවර දෙමවුපියන් හැර ශක්‍රදේවේන්ද්‍රයා විසින් නොදරනු ලබන බව අවබෝධ කර ගැනීමට තරම් හැකියාවක්‌ නොමැති වීම එක්‌ අතකින් කනගාටුවකි.

කෙසේ වූවද විදුහල්පතිවරුන් දෙමවුපියන් හා දරුවන් හැර සෙසු සියලුම දෙනාගේ දැන ගැනීම වෙනුවෙන් මේ සටහන තැබීමට සිදුවී තිබේ. මන්ද ඉහත තුන් පිරිස හැර මේ දීපයේ වෙනත් කිසිවකු පාසල්වල මුදල් එකතු කිරීම පිළිබඳ හාන්කවිසියක්‌ නොදන්නා සෙයක්‌ දක්‌නට ඇති හෙයිනි. 

දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නිති විරෝධී බව රටේ ඉහළම මණ්‌ඩලය වන කැබිනට්‌ මණ්‌ඩලයේද සාකච්ඡා වී තිබේ. කැබිනට්‌ මණ්‌ඩලයේ මේ සාකච්ඡාව සිදු වන්නේ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී බවට වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ චිරාත් කාලයක්‌ ගත වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. මේ වනවිට සිදු වන කතාබහෙන් ගම්‍ය වන්නේ එම චක්‍රලේඛය නිකුත් කළ දා පටන් -පොල්ගෙඩි අටක්‌ අනවසරයෙන් ගත් දැරියගේ සිද්ධිය දක්‌වා වූ කාලය පුරාවට දෙමවුපියන්ගෙන් සතයක මුදලක්‌ පාසල් වලින් අයකර නොමැති යන හැඟීමකින් පාලකයන් පෙළෙන බවය. සෑම වසරක ම මුල සෑම පාසලක ම සෑම පන්ති කාමරයකදී ම සෑම ගුරුවරයකු විසින් ම පන්ති කව නමින් "පුංචි" රැස්‌වීමක්‌ පවත්වන බව මේ අය නොදන්නවා විය යුතය. එහෙයින් ඒ පුංචි රැස්‌වීමේදී දෙමවුපියන්ගෙන් එකතු කරන මුදල් පිළිබඳව සඳහන් කළ යුතුමය. ඒ රටේ ඉහළ මණ්‌ඩලයේ දැනුවත් වීම සඳහාය.

පසුගිය වසරේ කොළඹ ප්‍රධාන පළේ පාසලක පන්ති කව රැස්‌වීමේදී ගත් තීරණයකට අනුව පහසුකම් හා සේවා ගාස්‌තු සාමාජික ගාස්‌තු, ආරක්‌ෂක ගාස්‌තු ක්‍රීඩා අරමුදල, පුස්‌තකාල අරමුදල, විෂය සමගාමී අරමුදල, ගොඩනැගිලි හා උපකරණ නාඩත්තු වියදම්, වාහන නඩත්තු වියදම්, ශිෂ්‍ය සුබසාධන ගාස්‌තු, ආපනශාලා දෙවැනි අදියර යන කරුණු සඳහා රුපියල් 2000 බැගින් එකතු කරන ලදී. එම පාසලේ ළමයි සංඛ්‍යාව පන්දහසකට අධිකය. එකතු වූ මුදල රුපියල් කෝටිය ඉක්‌මවීය. ඇතැම් පාසල්වල රුපියල් පන්දහස බැගින් එකතු කරනු ලැබිණි. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක මෙම වසරේ පැවති පන්ති කවයේදී රුපියල් දෙදහස බැගින් එකතු කළ මුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කළ යුතු බව විදුහල්පතිනිය කළ නියෝගයක්‌ නිසා උණුසුම් තත්ත්වයත් ඇති විය. (පන්ති කවයේදී එකතු කෙරෙන මුදල් වරින් වර විවිධ අවශ්‍යතා සඳහා වැය කෙරෙන හෙයින් එම මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමේ තැන්පත් කිරීමේ අවශ්‍යතාවක්‌ හෝ නීතියක්‌ නැත.)

මීට අමතරව පිට පළාත් පාසල්වලද රුපියල් දහස හෝ ඊට ආසන්න මුදලක්‌ බැගින් දෙමවුපියන්ගෙන් අය කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. රුපියල් කෝටි ගණනේ සිට රුපියල් දහස්‌ ගණන දක්‌වා මුදලක්‌ දෙමවුපියන්ගෙන් ඒ ඒ පාසල්වලට ලැබෙයි. ප්‍රධාන පළේ ජනප්‍රිය පාසල් හැර සෙසු සාමාන්‍ය පාසල්වල නම් එම මුදල් වැය කළ ආකාරය වසර අවසානයේදී බොහෝ විට දෙමවුපියන්ට දැන ගැනීමට ලැබෙයි. ඉන්පසු නව වසරේදී යළිත් දෙමවුපියන්ට මුදල් වැය කිරීමට සිදු වෙයි. 

කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක උසස්‌ පෙළ පන්ති සඳහා ඇතුළත් වූ ශිෂ්‍යාවන්ගෙන් අය කළ මුදල රුපියල් 8736 ක්‌ විය. විද්‍යාගාර ගාස්‌තු, ශිෂ්‍ය වාර්තා පොත, ප්‍රගති වාර්තා පොත, යටිතල පහසුකම් ආදී විවිධ ගාස්‌තු ඊට -ඇතුළත්ව තිබිණි. පොල්ගෙඩි අටේ සිද්ධියට සම්බන්ධ දැරියට අවශ්‍ය වූයේ පන්ති කාමරයට තීන්ත ආලේප කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පන්ති කවයේදී තීරණය කළ මුදල සොයා ගැනීමය. බස්‌නාහිර පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල තීන්ත ආලේප කිරීමේ කටයුත්තේදී අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි මැදිහත් වීමක්‌ කළේය. එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 18 වැනිදාතමින් චක්‍රලේඛයක්‌ නිකුත් කරන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දන්වා සිටියේ -පාසල්වලට තීන්ත ආලේප කිSරීම සඳහා මුදල් ලබා දෙන බවය. "සුපසන් නිම්තෙර" නම් වැඩසටහන යටතේ සිසුන් 500 ට අඩු පාසල් සඳහා රුපියල් 50000 ක්‌ද 500 - 750 අතර රුපියල් 75000 ක්‌ද, 750 -1000 අතර රුපියල් 100000 ක්‌ද, 1000 ට වැඩි සිසුන් සිටින පාසල් සඳහා රුපියල් 150000 ක්‌ද වශයෙන් මුදල් ගෙවන බවට එහි සඳහන් විය. තීන්ත ආලේප කිරීමට අමතරව පාසල්වල වෙනත් අඩුපාඩුද සපුරා ගැනීමට එම මුදල යොදාගත හැකි යෑයිද චක්‍රලේඛනයේ සටහන් කර තිබිණි. තවද අමාත්‍යාංශය අලෙවි නියෝජිතයකුගේ තත්ත්වයට පත් වෙමින් සියයට 25 ක වට්‌ටමක්‌ යටතේ තීන්ත මිලට ගත හැකි පෞද්ගලික ආයතනයක්‌ ගැනද සඳහන් කළේය.

කාලය ගත වීමෙන් පසු පසුගිය මස 31 වැනිදා ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ අධ්‍යාපන වෘත්තීය සංගම් අතර සාකච්ඡාවක්‌ පැවැත්විණි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරතුර තීන්ත ආලේප කිරීමද සාකච්ඡාවට ඇතුළත් විය. එහිදී ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තීන්ත ආලේප කිරීම සඳහා පාසලකට ලබා දී ඇත්තේ රුපියල් 60000 ක්‌ බවත් එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් යම් මුදලක්‌ එකතු කිරීමට සිදු වී ඇති බවත්ය. පාසල්වල විදුලි ගාස්‌තු සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවී ඇති හෙයින් මාසයකට රුපියල් 250 ක්‌ අය කරන්නේ නම් එය සාධාරණ බවත් රණතුංග මහතා ප්‍රකාශ කර ඇත. 

දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී යෑයි කැබිනට්‌ මණ්‌ඩලය හදිසියේම සාකච්ඡා කිරීමට සතියකට පෙර බස්‌නාහිර ප්‍රධාන ඇමැතිවරයා දෙමවුපියන්ගෙන් මුදල් අය කිරීම සාධාරණීයකරණය කරයි. රුපියල් 50000 සිට 150000 දක්‌වා පාසල්වලට මුදල් ලබා දෙන බවට චක්‍රලේඛයක්‌ නිකුත් කළ පළාත් අමාත්‍යාංශය පසුව එය රුපියල් 60000 කට සීමා කිරීමට හේතුව කුමක්‌ද යන්නද අපැහැදිලිය.

කවුරු කුමන දේ කීවද පාසලකට වියදම් පෝලිමකි. විදුහලේ ප්‍රධානියාට ඒ වැය බර දරා ගැනීමට නොහැකි වන කල අවසාන සහ හොඳම විකල්පය දෙමවුපියන්ය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු කරන ලෙස විදුහල් ප්‍රධානීන් පොළවන්නේ අහිංසක දැරියක්‌ තොරොම්බල් කරන ආණ්‌ඩුවය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ පිට ද චක්‍රලේඛ නිකුත් කළත් ප්‍රතිඵලයක්‌ නැත. පාසල් පවත්වාගෙන යම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස ලබා නොදෙනතාක්‌ සාප කරමින් හෝ මුදල් වැය කිරීමට දෙමවුපියන්ට සිදු වෙයි. ඒ සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.

කෝටි ප්‍රකෝටි ගණනින් අය කෙරෙන ජනතා බදු මුදලින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වැය කෙරෙන්නේ සොච්චමකි. අධ්‍යාපනය සඳහා ඒ සොච්චමෙන්ද කොටසකි. එහෙයින් හොරණ අහිංසක දැරිය මෙන් තවත් අහිංසකයන් ඉදිරියේදීත් එවන් තත්ත්වයකට පත් වූවහොත් අරුමයක්‌ නැත.ආශ්චර්යයේ යථාර්ථය ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙනායුරු දැක දැකම හුරේ දමන්නන් නොඅඩු රටක සාධාරණය යුක්‌තිය ගැන කවර කතාද..... ?

නිලන්ත මදුරාවල

Friday, February 8, 2013

රටේ තවත් තරුණ කැරැල්ලක් ඇතිවීම අනිවාර්යයක් - ඩලස්


අනාතගයේදී තවත් තරුණ කැරැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පහළවෙමින් පවතින බවත් තමන්ගේ වගකීම් හරියට ඉටු කිරීමට නොහැකිවූ බැවින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බවත් නිපුණතා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ගාල්ල තාක්‍ෂණ විද්‍යාලයේදී පවසා තිබේ.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ "මේ රටේ තියෙන්නේ අමුතුම දේශපාලන සෙල්ලම්. ඡන්ද කාලයට තමන්ගේ ඔළුව විතරක් නෙවෙයි අතයි කකුලුයි දෙක තුනම කරකවලා ඡන්ද ගන්නවා මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේම නැහැ. ඒ නිසා දැන්වත් අපේ වැඩිහිටි පිරිස් අරක්කු ටිකටයිහිස් රැකියා පෝරමයටයි ඡන්ද දීලා තමන්ගේ දරුවන්ගේ අනාගතය පාවා නොදෙන්නට දැන්නවත් සූදානම් විය යුතුයි.
තව වසර දහයකින් හෝ විස්සකින් තවත් තරුණ කැරැල්ලක් මේ රටේ ඇතිවීම අනිවාර්යයක්. මට හරියට වගකීම් ඉටුකරන්නට බැරි වුණා. මම දේශපාලනයෙන් විශ්‍රාම යන්නට සූදානම්.
මේ රටේ සිටිය හා සිටින දේශපාලනඥයන්ටගුරුවරුන්ට හා මවුපියන්ට මේ රටේ තාරුණ්‍යයේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඔවුන්ගේ හඬට කන්දෙන්න බැරි වුණා. ඔවුන් තේරුම්ගන්න බැරි වුණා. ඒ නිසා ගෙවී ගිය යුගයේ මේ රටේ තරුණ කැරැලි තුනක මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නට අපට සිදුවුණා. මෙයට රටේ දේශපාලනඥයන්,ගුරුවරුන් මෙන්ම මවුපියන්ද වගකිව යුතුයැයි කීය.
අපේ රටේ සිසුන්ගෙන් 5%ක් විශ්වවිද්‍යාලයට යන විට 95%ක් අතරමඟ නතරවන අධ්‍යාපනයක්සමාජ වටපිටාවක් අප රට තුළ තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා මෙවන් තත්ත්වයක් යටතේ මේ රටේ තරුණයන්ට සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගැනීම හා දෙපයින් සිට මියයෑම හැර ඔවුන්ට වෙන තිබූ සමීපතම විසඳුම කුමක්ද?
මේ රටේ සිංහලදෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා නොකිරීමපාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි භාෂාව ලඝුකොට තැබීමහා වෘත්තීය අධ්‍යාපනයට ඉතිහාසය පුරාම සැලකිල්ලක් නොදැක්වීම යන කරුණු මත අපේ රටේ මහා ඛේදවාචකයන් ඇතිවුනා. මේ රට තුළ අද ඉන්ජිනේරුවන්ගේ විශාල හිඟයක් තිබෙනවා." යයිද පැවසීය.