Thursday, August 22, 2013

උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි බලහත්කාරයෙන් එකතු කරලා

Logo
පසුගිය බදාදා (14) උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි ඊයේ නැවත බලහත්කාරයෙන් ලබා ගෙන ඇතැයි උපාධිධාරී මධ්‍යස්ථානය චෝදනා කරයි. මාතර, දෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලද උපාධිධාරීන්ට දුන් පත්වීම් ලිපි මෙසේ නැවත ලබා ගෙන තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් උපාධිධාරී මධ්‍යස්ථානය මෙසේ පවසයි.

"වසර 7ක් තිස්සේ උපාධිධාරීන්ට රැකියා නොදුන් ආණ්ඩුව 2012 පෙබරවාරී මස කිසිදු විධිමත් වැඩපිළිවෙළකින් තොරව රැකියා ලබාදුනි. මේ පිළිබද අප දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද ඇතැම් අය පැවසුසේ කෙසේ හෝ රැකියා දුන්නා වැනි අදහසකි. නමුත් රැකියා ලද උපාධිධාරීන්ට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමකි. මාස 6න් ස්ථිර කරන බවට පොරොන්දු වී බදවාගත් අතර අදට මාස 18ක් ගතවී ඇතත් ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලැබී නැත. තවමත් බහුතරයකගේ මාසික චේතනය රැපියල් 10000ක් වැනි සොච්චමකි.

මේ අතර මෙම වසර මුල සියලු උපාධිධාරීන් කොළඹට කැදවා ජනාධිපතිවරයාම පොරොන්දු වූයේ වසරක් ගතවන පළමු මොහොතේම උපාධිධාරියා අතට ස්ථිර පත්වීම් ලිපිය ලබාදෙන බවයි. නමුත් අදට අවුරැද්දක් ගතවී මාස 6ක්ද ඉක්මවා ඇතත් 50823න් 22000කට අධික පිරිසක් ස්ථිර පත්වීම් නොලැබ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. මේ අතර බදවාගත් වයස 35ට වැඩි උපාධිධාරීන්ද අසාධාරණයට ලක්ව ඇත.

මේ අතර පසුගිය 14 වැනි බදාදා මාතර දෙව්න්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලිපි ලබාදී ඇති අතර කිසිදු හේතු දැනුම්දීමකින් තොරව 21 වන දින නැවත එම පත්වීම් ලිපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලද නියෝගයක් මත එකතු කරගෙන ඇත. මෙසේ පත්වීම් ලිපි නැවත ලබාගැනීම පිළිබද උපාධිධාරීන්ට කරුණු දැක්වීමක් හෝ කර නැත. බලහත්කාරයෙන් මෙන් ලිපි ලබාගෙන ඇත.

මේ ආකාරයට රටපුරා බඳවා ගෙන ඇති සියලු උපාධිධාරීන් ස්ථිර කරන බවට පවසමින් රැවටීමට ලක් කරමින් සිටින අතර ආණ්ඩුවට අවධාරණය කරන්නේ මේ බඳවා ගත් සියලු උපාධිධාරීන් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කර ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙසයි.

උතුරු මැද අධ්‍යාපනයත් මකර කටේ

Mahinda Jayasinghe
Mahinda Jayasinghe
උතුරු මැද පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු 196 න්124 ක්ම පුරප්පාඩුව පවතින බව වාර්තා වේ. ඒ හේතුවෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය බරපතල අර්බුදයකට ගොස් ඇති අතර සියළුම පත්වීම් දේශපාලන හිතවත්කම් මත ප‍්‍රදානය කිරීමට යාමෙන් තත්වය තවත් අවුල් වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සහෝදරයා පෙන්වා දේ. මෙම තත්වය උතුරු මැදට පමණක් නොව මුළු ලංකාවේම අධ්‍යාපනයට උදා වී ඇති බවත් මෙය එක තැනකින් අල්ලාගෙන වෙනස් කළ නොහැකි බව්ත මෙය සමාජ අර්බුදයේම කොටසක් බවත් මහින්ද ජයසිංහ සහෝදරයා තව දුරටත් පෙන්වා දෙයි.

Wednesday, August 21, 2013

ආණ්ඩුව සිසු නායකයින් දඩයමේ - විරෝධතා දැක්වීමට සිසූහු පෙරට

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති,ලේකම් සහ කළමනාකරණ අධ්‍යයන,සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර හා ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගම් සභාපති, ලේකම් ඇතුළු සිසු නායකයින් 08 දෙනෙකුට මාස 06ක පන්ති තහනමක් පැනවීමට එරෙහිව රජරට සරසවි සිසු සිසුවියෝ විරෝධතා පෙත්සමකට අත්සන් තබති.

පෙත්සම අත්සන් කිරීම විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වීමට සංවිධානය කටයුතු සුදානම් කර තිබු නමුත් එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වීමට විශ්වවිද්‍යාල පරිපාලනය අවස්ථාව ලබා දී නැත.

ඒ හේතුවෙන් විශ්වවිද්‍යාල නාම පුවරුව අසලට රැස් වූ සිසුන් එම ස්ථානයේදී පෙත්සම අත්සන් කිරීම ආරම්භ කළහ.