Thursday, April 24, 2014

සමසෞඛ්‍ය උපාධිය කප්පාදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි

සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ උපාධි කාලසීමාව කප්පාදු කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් බවත්, සමසෞඛ්‍ය විද්‍යාපීඨ සිසු ප්‍රශ්නය ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
මඩකලපුව හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල එම තත්ත්වය නොමැති බවද ඒ මහතා පැවසීය.
උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ විශ්වවිද්‍යාල සිසුන් හත්සිය එකොළොස් දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් ලබාදීම සඳහා උඩරට කලා සංගම් ශාලාවේදී පැවති උත්සව සභාව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ උපාධි කාලසීමාව වසර තුනකට එහා ගෙන යාමට අවසර නොදෙන බවත්, සමසෞඛ්‍ය සිසුන් වසර හතරක උපාධි කාලසීමාවක් ඉල්ලා සිටින බවත්ය.

Saturday, April 5, 2014

වෛද්‍ය මා‍ෆියාව හා සම සෞඛ්‍ය ප්‍රශ්නය

AHS
පේරාදෙණිය හා රුහුණ සරසවි වල සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් දැන් මාස 2 කටත් අධික කාලයක් තිස්සේ ගලහ මං සන්ධියේත්, ගාලු නගරයේත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වමින් සිටිති.

මෙම සත්‍යග්‍රහය ගැන අදාල කිසිම බලධාරියෙකුගේ අවධානය යොමුව ඇති බවක් නොපෙනේ.කාලයත් සමග සිසුන් උනන්දුව හීන වී සත්‍යග්‍රහය නවතා ආපසු දේශනවලට සහභාගි වනු ඇතැයි බලධාරින් සිතා සිටින බවක් ඔවුන්ගේ කියුම් කෙරුම් වලින් පෙනේ.

මෙම වර්ජක සිසුන් ඉල්ලා සිටින්නේ කුමක්ද?

2006 දී මෙම සම සෞඛ්‍ය විද්‍යා පීඨ ආරම්භ කරන විට වසර 4ක්ව තිබී පසුව වසර 3කට කපාදු කරන ලද පාඨමාලා කාලය නැවත වසර හතර දක්වා දිගු කර දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.

ආරම්භයේදී වසර 4කට සැලසුම් කර සිසු කණ්ඩායම් කිහිපයක්ම උපාධිය ලබාගන්නා තෙක් සිව් වසරක පාඨමාලා පැවත්වීමෙන් පෙනී යන්නේ හෙද ,විකිරණ ශිල්පි, වෛද්‍ය රසායනගාර ශිල්පි,භෞත චිකිත්සක යන මෙම උපාධි පාඨමාලාවල වසර හතරක් උගැන්වීමට තරම් සෛධාන්තික හා ප්‍රායෝගික විෂය කරුණු ඇති බවයි.

එසේම කප්පාදුවෙන් පසුව පවා විශේෂ උපාධියක් ලෙස සිව් අවුරුදු පාඨමාලා පැවත්වීමට යෝජනා කිරීමෙන් (3+1) පෙනී යන්නේද එම සත්‍යයමය.

එසේ නම් පාඨමාලා වසර තුනකට කප්පාදු කිරීම යනු නිසැක ලෙසම අදාල විෂය නිර්දේශයන්ගෙන් 25% එනම් 1/4 ක් කපා දැමීමයි. එය අදාල උපාධි පාඨමාලා වලට ඇති පිලිගැනීම බරපතල ලෙස බිඳ හෙලන්නකි. එසේම එම සිසුන් උපාධි ලබා රෝගී සත්කාර සේවයට ගිය පසු ඔවුන්ගේ සේවය ලබා ගන්නා රෝගීන්ට කරන බලවත් අසාධාරණයකි.

මෙම කප්පාදුව ගැන උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම් වරයා ලබා දෙන්නේ අමු මැටි පිලිතුරකි.ඔවුන් කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විරෝධතාව නිසා උපාධි පාඨමාලවල කාලය කප්පාදු කළ බවයි. ඔවුන් මෙසේ කියන්නේ රෙදි ඇඳගෙනද නැත්නම් ඔවුන්ට සුපුරුදු ලෙස අමු හෙලුවෙන්දැයි අප නොදනිමු.

එහෙත් එම කථාව ඇත්තක් බව නම් අප දනිමු.

ප්‍රශ්නය නම් මෙරට අධ්‍යාපනය ගැන , විශේෂයෙන් සරසවි අධ්‍යාපනය ගැන හා උපාධි පාඨමාලාවල සංයුතිය හා කාල සීමා ගැන තීරණය කිරීමට ර.වෛ. නි සංගමය වැනි හුදු ආත්මාර්ථකාමි,ගෝත්‍රිකවාදි මානසිකත්වයකින් හෙබි වෘත්තීය සමීතියකට බාර වීමයි. එය බරපතල ඛේදවාචකයකි.

ගෝත්‍රික මානසිකත්වයකින් හෙබි පාදෙනියගේ නායකත්වයෙන් යුත් ර.වෛ.නි සංගමය මැදිහත් වන්නේ හුදු පාඨමාලා කාලය කප්පාදු කිරීමට පමණක් නොවේ. සම සෞඛ්‍ය සිසුන්ට අවශ්‍ය නවීන සායනික පුහුණුව ලබා දිය හැකි පහසුකම් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තිබියදී එම සිසුන්ට එම පහසුකම් භාවිතා කිරීමට ඉඩ නොදෙමින් ඔවුන් කුරුණෑගල රෝහලට හා කොළඹ පෞද්ගලික රෝහල් වෙත පන්නා දැමීමට කටයුතු කර ඇත්තේද මෙම ඊනියා රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගල් වැදි යුගයට අයත් නිලධාරින්මය.

ර.වෛ. නි.සංගමය මෙලෙස හැසිරෙන්නේ අන් කිසිවක් නිසා නොව හුදු වෘත්තීමය ඊර්ෂ්‍යාව හා මාන්නය නිසාය. ඔවුන් සිතා සිටින්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටිය යුත්තේ ඔවුන් බවයි. එයට අභියෝගයක් විය හැකි කිසිවකට ඔවුන් ඉඩ නොදෙයි.කිසිවෙක් ඔවුන්ට වඩා අධ්‍යාපනයක් ලබනවාට ඔවුන් විරුද්ධය.

අනිත් අතට ආණ්ඩුව සමග සන්ධාන ගත වී සිටින පාදෙනිය ප්‍රමුඛ ර.වෛ.නි සං. නායකයන් වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නො ඉල්ලයි. ඒ වෙනුවට තම සාමාජිකයන් රවටා ගැනීම සඳහා මෙවැනි ගුණ්ඩු භාවිතා කරන අතර බලධාරින්ගේ සහයත් ඔවුන්ට නිතැනින්ම හිමිවේ. මේ පිලිබඳව ඇති තවත් හොඳ උදාහරණයක් නම් රෝහල් වල ඇති අඩු පාඩු ගැන වචනයක්වත් නොකියන පාදෙනිය මෑතක සිට පිටිකිරි බීම ගැනත් , කෘෂි රසායනික ගැනත් මහා දේශප්‍රේමියකු මෙන් කතා කිරීමට ඉදිරිපත් වීමයි.

ඇත්තෙන්ම ර.වෛ. නි. සංගමය වෘත්තීය සමීතියකට වඩා ලං වෙන්නේ හිට්ලර්ගේ එස්.එස්. හමුදාවටය. ඔවුන් කරන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් කිරීම නොව තම බලය යොදවා අනෙකුන් පොඩි පට්ටම් කර දැමීමය.

මොවුන්ගේ මෙම ඒකාධිකාරය වහාම පරාජය කළ යුතුය.සියලු දෙනා එකතු වී ඊට එරෙහිව හඬ නැගිය යුතුය. නො එසේනම් පාදෙනියට අවශ්‍ය පරිදි ජීවත් වීමට හිත හදා ගත යුතුය. මක් නිසා ද යත් ඉදිරියේදී අප නිදා ගත යුත්තේ කෙසේ දැයි යන්නටත් නීති දැමීමට ර.වෛ. නි. සංගමය කටයුතු කිරීමට ඉඩ ඇති බැවිනි.

Monday, March 24, 2014

අරගල කරන සිසුවන් නොම වෙද අපගෙ දරුවන්!

ආශ්චර්යයේ වාගාලාප නහුතයකින් රටම වැසෙමින් පවතින මොහොතක විශ්වවිද්‍යාල සිසුහු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ මහමගට බැස සිටිති. ක්‍ෂිතිජයෙන් එපිට ලෝකය දකින ශිෂ්‍යයකු බිහි කිරීමේ තේමා පාඨය මතින් ගමන් කරන උසස්‌ අධ්‍යාපන බලධාරීන්ට මේ මහමගට බැස සිටින ශිෂ්‍ය ප්‍රජාවේ අරමුණ දේශපාලන වර්ණනාලේපයකින් වැසියහැකි යෑයි නොසිතමු.

රජරට විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිසුන් විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය දින සියය පසු කළේ නොබෝදාය. සිසුන්ගේ සත්‍යග්‍රහයට පදනමක්‌ තිබේ. මේ වන විට එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසි හත් දෙනකු දඬුවමට ලක්‌ කර තිබේ. ඇතැම් සිසුන්ට දඬුවම් පමුණුවීමට හේතුව වශයෙන් දැක්‌වෙන්නේ එහි කළමනාකරණ උපාධිය රුපියල් එක්‌ ලක්‍ෂ හතළිස්‌ දහසකට විකිණීමට සූදානම් වන බවට චෝදනා කරමින් ඒ බව දැනුවත් කිරීම සඳහා සකසන ලද අත් පත්‍රිකාවක්‌ බෙදාහැරීමය. අත් පත්‍රිකාව බෙදීමේ චෝදනාවට ලක්‌වූ එක්‌ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්‌ වසර පහක කාලයක්‌ ශිෂ්‍ය භාවය අත්හිටුවීමේ දඬුවමට ලක්‌ව සිsටින්නේය.

මෙලෙස සිදු කෙරෙන ශිෂ්‍ය මර්දනයට එරෙහිව හා පානීය ජල ප්‍රශ්නය වැනි සුබසාධන ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා විශ්වවිද්‍යාලය ඉදිරිපිට ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට තෙවරක්‌ම පොලිස්‌ ප්‍රහාර එල්ල කෙරිණි. අධිකරණ නියෝග ගැනිණි. අධිකරණ නියෝගය හමුවේ සත්‍යග්‍රහ අට්‌ටාල සුණු විසුණු කෙරිණි. පොලිසිය උපරිම බලය යොදා සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් විසුරුවා හරිනු ලැබිණි. තෙවරක්‌ම එල්ල වූ පොලිස්‌ ප්‍රහාර හමුවේ වුවද ඔවුහු යළිත් විශ්වවිද්‍යාලය ඉදිරිපිට ම සත්‍යග්‍රහයේ යෙදී සිටිති. ඔවුන්ගේ මූලික ඉල්ලීම වනුයේ ශිෂ්‍ය මර්දනය නවතාලීමය. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුච්ඡ නවකවධ සිද්ධීන් හා ඒ නිසාම නිශාන්තලා වැනි සිසුන්ට ජීවිතය හැරදා යැමට මග පෑදූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් වන අපගේ විවේචනය තවමත් එසේමය. නිශාන්තලා ජීවිතයෙන් පලා ගිය ද ඊට හේතු කාරක වූ විෂබීජවලට තවමත් විශ්වවිද්‍යාලයේ නිදැල්ලේ සැරිසැරීමට ඉඩදීම සම්බන්ධයෙන් අපි විරෝධය පළ කරමු. ඊට අදාළ පරිපාලන අංශවල නිවට ක්‍රියාකාරිත්වය වෙනම කතා කළ යුත්තකි.

සිසුන්ගේ සාධනීය ඉල්ලීම් සම්බන්ධයෙන් ද පරිපාලන අංශ පමණක්‌ නොව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද දක්‌වමින් සිටින්නේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. සම සෞඛ්‍ය විද්‍යාපීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්‌ථාපිත කෙරෙන්නේ 2006 වසරේදීය. සිව් වසරක උපාධි පාඨමාලාවක්‌ වූ සම සෞඛ්‍ය පාඨමාලාව සාර්ථකව හදාරා උපාධිධාරීන් වශයෙන් ශිෂ්‍ය කණ්‌ඩායම් හතරක්‌ මේ වන විට විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව සිටිති. එහෙත් පස්‌වැනි ශිෂ්‍ය කණ්‌ඩායමට එම අවස්‌ථාව නොලැබිණි. හදිසියේම එම සිව් අවුරුදු පාඨමාලාව අවුරුදු තුනකට අඩු කෙරිණි. එලෙස එක්‌ අවුරුද්දක්‌ කපා හරින ලද්දේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය මත එම පාඨමාලාවේ කාලසීමාව අඩු කිරීමට සිදුවූ බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය සේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ද ප්‍රකාශ කරන අතර ඒ හා සම්බන්ධ අධිකරණ තීන්දුවක්‌ ද පවතියි. අධිකරණ තීන්දුවෙන් ගම්‍ය වන්නේ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර විසඳුමකට එළඹිය යුතු බවය. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පමණක්‌ සාකච්ඡා කර පාඨමාලා කාලය දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති අතර මේ වන විට එම තීරණය ක්‍රියාත්මක වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන් එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට ද රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් ගාල්ල බස්‌ නැවතුම්පළ අසල ද සත්‍යග්‍රහයේ යෙදී සිටින්නේ එම තීරණය ක්‍රියාත්මක කිරීමට එරෙහිවය. එනම් පෙර පැවැති අයුරින්ම සම සෞඛ්‍ය පාඨමාලාව සිව් වසරක්‌ දක්‌වා දීර්ඝ කිරීම ඔවුන්ගේ ඉල්ලීම වෙයි. සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලා කාලය කප්පාදු කිරීමට එරෙහිව සිසුන් හඬනඟන විට එම විශ්වවිද්‍යාලයේම කළමනාකරණ පීඨ සිසුන් උද්ඝෝෂණය කරමින් සිටින්නේ ශිෂ්‍ය කප්පාදුවට එරෙහිවය. සාමාන්‍යයෙන් වාර්ෂිකව එකසිය පනහක පමණ ශිෂ්‍ය කණ්‌ඩායමක්‌ කළමනාකරණ පීඨයට ඇතුළත් කෙරෙන නමුත් මෙවර එම ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස්‌ හත දක්‌වා අඩුකර ඇති බවට චෝදනා නඟමින් සිසුහු මහා හඬක්‌ නැඟූහ. නියමිත ශිෂ්‍ය කණ්‌ඩායම ලබා දෙන්නැයි පරිපාලන අංශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක්‌ කර ඇත්තේ සිසුන්ගේ බලකිරීමෙන් පසුවය. එම ඉල්ලීම ප්‍රමාද වී ලැබීම නිසා මුල් වටයේදීම නියමිත සිසුන් සංඛ්‍යාව ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හැකියාවක්‌ නොලැබිණි. දෙවැනි වටයේදී නියමිත සිසුන් සංඛ්‍යාව ලබා දෙන බවට ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ වන විට පොරොන්දු වී තිබේ. සිසුන් උද්ඝෝෂණය නොකරන්නට කළමනාකරණ ශිෂ්‍ය කණ්‌ඩායම හතළිස්‌ හතකට සීමා වීමට බොහෝ දුරට ඉඩ තිබිණි.

සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලාව සිව් වසරක සිට වසර තුනකට අඩු කළා සේ සෞන්දර්ය විශ්වවිද්‍යාල උපාධියද සිව් වසරක සිට වසර තුනක්‌ දක්‌වා අඩු කිරීමට යෝජනා වී තිබිණි. ඊට එරෙහිව ද සිසුහු හඬ අවදි කළ අතර මේ වන විට එම පාඨමාලා කාලය අඩු කිරීම යටපත්ව ඇතැයි කිව හැකිය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේද අර්බුද රැසක්‌ වෙයි. ශිෂ්‍ය භාවය අත්හිටු වූ, පන්ති තහනමට ලක්‌ කළ හා තවත් දඬුවම්වලට ලක්‌ව සිටින සිසුන් සංඛ්‍යාව හාරසියය ඉක්‌මවන බව සිසුහු සඳහන් කර සිටින්නාහ. සිසුන්ට එරෙහිව පරිපාලන අංශ පවරා ඇති නඩු සංඛ්‍යාව එකසිය හතළිහ ඉක්‌මවන බවද කියෑවෙයි. සියලුම ශිෂ්‍ය සංගම් තහනම් කර වසරක්‌ ඉක්‌ම ගොසිනි.

නේවාසිකාගාර අර්බුදය හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලය ද ශිෂ්‍ය උද්ඝෝෂණවලට මඟ විවර කර තිබේ. නේවාසිකාගාර පහසුකම් අහිමි වූ බව කියන සිසුවියෝ දෙසීයකට අධික පිරිසක්‌ බලහත්කාරයෙන් 

එහි ආපන ශාලාවක ලැගුම් ගෙන සිටින්නාහ. තමන්ට නේවාසිකාගාර පහසුකම් සලසන තෙක්‌ ඉන් ඉවත් නොවීමට ඔවුහු තීරණය කර සිටිති. 2011 වසර තෙක්‌ කැලණිය විශ්වවිද්‍යාලය නේවාසිකාගාර ගැටලුවකට මුහුණ නොපෑවේය. ඉන්පසුව එම ගැටලුව උද්ගත වූයේ පරිපලාන අංශවල අමනෝඥ තීරණනිසා බවට සිසුහු චෝදනා කරති. ඒ දක්‌වා සිසුවියන් එක්‌දහස්‌ තුන්සියයකට විශ්වවිද්‍යාලයෙන් පිටත නේවාසිකාගාර පහසුකම් සැලසුණු අතර සිසුන් හාරසියයකට අභ්‍යන්තර නේවාසිකාගාර පහසුකම් සැලසිණි. මේ වනවිට උද්ගතව ඇති ගැටලුව එකම හේතුව මෙම නේවාසිකාගාර මාරු කිරීම බව සිසුහු සඳහන් කරති. එනම් අභ්‍යන්තර නේවාසිකාගාර සිසුවියන්ටද බාහිර නේවාසිකාගාර සිසුන්ටද ලබාදීමට පියවර ගැනීමය. මේ වනවිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුවියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ ගොස්‌ ඇති හෙයින් අභ්‍යන්තර නේවාසිකාගාර පහසුකම් සිසුවියන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. අනේක අතට සිසුවියන් එක්‌දහස්‌ තුන්සියයකට නේවාසිකාගාර පහසුකම් සලසාදී පසුව එම සංඛ්‍යාව හාරසියයකට සීමා කිරීම ගැටලු ඇති කරන්නක්‌ බව පරිපාලන අංශවලට අවබෝධ නොවූයේ ඇයිද යන්න ප්‍රශ්නයකි. නේවාසිකාගාර මාරු කර අභ්‍යන්තරව සිටි සිසුන් විශ්වවිද්‍යාලයෙන් පිටතට යෑවීමට පරිපාලන අංශ පියවර ගෙනඇත්තේ අභ්‍යන්තර නේවාසිකාගාරවල හිඳිමින් සිදු කෙරෙන ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් අඩපණ කිරීමේ අරමුණින් බවට සැක නැත. එහෙත් එමගින් අර්බුදයට පිළියමක්‌ ලැබී නැත. නේවාසිකාගාර පහසුකම් ඉල්ලා ආපනශාලා බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ තැනකට සිසුවියන් තල්ලු කිරීමේ වගකීමෙන් බැහැර වීමට පරිපාලනය අංශවලට නොහැකිය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ද ශිෂ්‍ය ක්‍රියාකාරීහු විසි තුන් දෙනෙක්‌ මේ වනවිට ශිෂ්‍යභාවය අත්හිටුවීමේ දඬුවමට ලක්‌ව සිටිති. එමෙන්ම එහි පීඨ ශිෂ්‍ය සංගම් පහ මෙන්ම මහා ශිෂ්‍ය සංගමයද තහනම් කර මේ වනවිට වසරක්‌ ඉක්‌ම ගොස්‌ තිබේ. එලෙස ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ කටයුතු කළේ කුමන පදනමක්‌ මතද යන්න ප්‍රශ්න කළ යුතු තැනකට තල්ලු වෙමින් තිබේ. ඊට හේතු වන්නේ ශිෂ්‍ය සංගම් යළි ස්‌ථාපිත කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කිරීමය. මානව හිමිකම් කොමිෂන් සභාව එවැනි නිර්දේශය කිරීමට පදනමක්‌ ඇතැයි සිතිය හැකි අතරම ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශවලට පදනමක්‌ නොතිබූ බවද සිතිය හැකිය.

විශ්වවිද්‍යාල සිසුන් පෙළන තවත් කරුණක්‌ නම් මහපොළ ශිෂ්‍යාධාරය වසර නවයකින් වැඩි නොකිරීමය. මහපොළ වශයෙන් මාසයකට රුපියල් දෙදහස්‌ පන්සියයක්‌ ලැබෙන්නේ 2005 වසරේÊසිටය. මහපොළ වාරිකය වැඩි කරන්නැයි වරින්වර සිසුන් කළ ඉල්ලීම් ඉල්ලීම් බවට පමණක්‌ සීමා වී පවතින්නෙය. 2005 වසරට සාපේක්‍ෂව අද වනවිට විශ්වවිද්‍යාල සිසුන්ගේ අවශ්‍යතාවන්ගේ මිල ඉහළ ගොස්‌ ඇති ආකාරය සලකා බැලුවහොත් සිසුන්ගේ ඉල්ලීම සාධාරණ නොව සර්ව සාධාරණය.

විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය ප්‍රජාව මේ ගැටලු හමුවේ පීඩනයෙන් පීඩනයට පත්ව සිටින කල්හි උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි කර ගැනීමේ සටනක නියෑළී සිටියි. පෞද්ගලික ආයතනවලට උපාධි පිරිනැමීමේ බලය දීමේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව තිබූ අයිතිය දැන් අමාත්‍යාංශය පැහැර ගෙන තිබේ. පෞද්ගලික ආයතනවලට උපාධි පිරිනැමීමේ අවසරය ප්‍රදානය කිරීමේ බලධාරීත්වය හිමිවන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාටය. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට විසඳුම් දීම වෙනුවෙන් එලෙස "මරාගෙන මැරෙන" අවශ්‍යතාවක්‌ විද්‍යමාන නොවීමේ අරුමය සිසුන් අතර සැක මතු කිරීමට හේතුවනවා නිසැකය. පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීම අනුමත කිරීමේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මෙතෙක්‌ පැවැති බලතල ද උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය බලහත්කාරයෙන් පවරා ගැනීමේ ගැසට්‌ නිවේදනය තවමත් අවලංගු කිරීමට කටයුතු කර නැත. සිය බලතල අහෝසි කරන මෙම ගැසට්‌ නිවේදනය නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද අමාත්‍යාංශය සමග මතභේදයක්‌ ඇති කර ගත් අතර තමන්ට සිදුවූ අසාධාරණය රටේ ඉහළම තැනට දැන්වූ නමුත් කිසිදු වෙනසක්‌ සිදුවී නැත. 

සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලාව සිව් වසරක සිට තුන් වසරක්‌ දක්‌වා අඩු කිරීමට උසස්‌ අධ්‍යාපන බලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ ද ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ එම උපාධි පාඨමාලාව සිව් වසරක්‌ පුරා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිවෙක්‌ කිසිවක්‌ නොකරන්නාහ. නොකියන්නාහ. ඒ ඇයිද යන්න සිසුන් මතු කරන ප්‍රශ්නයයි. ආරක්‍ෂක විශ්වවිද්‍යාලය එම උපාධි පාඨමාලාව මුදලට අලෙවි කිරීම ඒ නිහඬතාවට හේතුව විය හැකිය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය මෙතේක නොලැබුණු මාලබේ .SAෂඔඵ, ආයතනයට පෞද්ගලික වෛද්‍ය උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීම වෙනුවෙන් අමාත්‍යාංශය නොගත් හා නොගන්නා උත්සාහයක්‌ නැත. වෛද්‍ය සභාවේ බලතල අහෝසි කරමින් අමාත්‍යාංශය අලුතින් ගැසට්‌ නිවේදන නිකුත් කරන්නේ ද ඒ අරමුණින් බවට සැකයක්‌ නැත.

"අධ්‍යාපන කප්පාදුව, ශිෂ්‍ය මර්දනයන හා අධ්‍යාපනය විකිණීම නතර කරනු" යන සටන් පාඨය අතැතිව සිසුන්ට මහමගට බැසීමට බල කරනු ලබන්නේ මෙවැනි පීඩනයන් බව කිව යුතු නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ සිට අධිකරණ වාරණ නියෝග ද නොතකා කොළඹ කොටුව දක්‌වා පෙළපාලියකට අරගලකාරී ස්‌වරූපයකින් අති විශාල ශිෂ්‍ය ප්‍රජාවක්‌ කේන්ද්‍ර ගත වූයේ ඇයිද යන්න සොයා බැලීම උසස්‌ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම වන්නේය. ජල ප්‍රහාර, කඳුළු ගෑස්‌ මැද ශිෂ්‍ය ව්‍යාපාරයේ ජවය ප්‍රදර්ශනය කළ ඔවුහු අතට අහු වන දෙයින් පොලිසියට පහර නොදීමේ සංයමය ප්‍රකට කළහ. එය අගය කළ යුක්‌තකි. බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි සංවේදී නොවන්නේ නම් ඉදිරියේදී ඇති විය හැකි අරගල ප්‍රචණ්‌ඩකාරී නොවනු ඇතැයි කිව නොහේ.

නිලන්ත මදුරාවල
Divaina - 2014/03/23/