Thursday, October 11, 2012

එස්. බී. දිසානායක ඇමතිවරයා නැවතත් අධිකරණයට අපහාස කරයි - SSU

නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

''මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව එම ආයතනයට උපාධි ලබාදීමේ හැකියාව ලැබෙන බවට එස්. බී. දිසානායක ඇමතිවරයා විසින් සිදුකළ ප‍්‍රකාශයක් මාධ්‍ය කීපයකම පළවිය. මෙය සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් විකෘති ලෙස හුවාදක්මින් ජනතාව නොමග යැවීමට සිදුකළ උත්සාහයකි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙදෙනෙකු හා වෛද්‍යවරුන් දෙදෙනෙකු ගොනුකළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා සිටියේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවද නොපිළිගෙන ඇති,වෘත්තීය සමිති සහ ජනතාව විරෝධය පළකරන මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට 2011 අගෝස්තු 30 සිට උසස් අධ්‍යාපන ඇමතිවරයා ලබාදුන් උපාධි පිරිනැමීමේ බලය අහෝසි කරන ලෙසය. නමුත් එම පෙත්සම මූලික අයිතිවාසිකම් කඩවී දින 30ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර නැති නිසා පෙත්සම නිෂ්ප‍්‍රභාවී ඇත. එය නීතිමය කටයුත්තක් මිස එස්.බී. දිසානායක ඇමතිවරයා පෙන්නුම් කිරීමට උත්සාහ කරන පරිදි මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මගින් උසස් තත්වයේ, ගුණාත්මක වෛද්‍ය උපාධියක් ලබාදෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීමක් නොවේ. නමුත් ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමෂන් සභාව විසින් සිදුකළ තියුණු පරීක්‍ෂණයකින් පසු මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි ප‍්‍රදානය කිරීමේ අවසරය ගැසට් නිවේදනයක් මගින් ලබාදුන් බවත්, දැන් එය ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද පිළිගෙන ඇති බවත්, එමනිසා තවදුරටත් පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ පිහිටුවීමට අවස්ථාව උදාවීම පිළිඳව තමන් සතුටුවන බවත්ය.

උසස් අධ්‍යාපනයේ බරපතල විෂමතාවයක් ඇති කරමින් උසස් පෙළ අසමත්වූවන්ට පවා රුපියල් ලක්ෂ 65කට වෛද්‍ය උපාධිය ලබාගැනීමේ ඉඩකඩ ලබාදෙන මෙම උපාධි කඩය අපේ රටේ නිදහස් අධ්‍යාපනයටත්, නිදහස් සෞඛ්‍යයටත් බරපතල හානියකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රමුඛ විශේෂඥ කමිටුවක් මගින් ලබාදුන් වාර්තාවේද මෙම ආයතනය වෛද්‍ය උපාධියක් තබා කිසිදු උපාධියක් ලබාදීමට සුදුසුකම් සපුරා නැති බව සඳහන් කර ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවද මුල සිටම මෙමගින් වෛද්‍ය උපාධියක් ලබාදීමට එරෙහි විය.

එහෙත් රාජ්‍ය උසස් අධ්‍යාපනය දියුණු කිරීමට පත්කළ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මෙම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි වැඩියෙන් ඇති කිරීමේ අධිරාජ්‍යවාදී කොන්ත‍්‍රාත්තුවට කරගසා ඇත. අධ්‍යාපනය වෙනුවෙන් 6%ක් ඉල්ලා දින 100කට ආසන්න කාලයක් අඛණ්ඩව අරගල කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලූවට මැදිහත් නොවන ඔහු මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කොතරම් සෙනෙහෙබරව කටයුතු කරනු ඇත්දැයි මෙම විකෘතිකර අර්ථ දක්වන ලද අධිකරණ තීන්දුවෙන්ම පෙන්නුම් කරයි.

අප මේ ගැන පුදුම නොවිය යුත්තේ ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති ධූරය හොබවන්නේ අධිකරණයට අපහාස කළ නිසා බන්ධනාගාරගතවී, විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබූ පුද්ගලයෙකු බැවිනි. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද විකෘති කර අර්ථ දක්වමින් එස්. බී. දිසානායක ඇමතිවරයා සිදුකරන මෙම බොරු ප‍්‍රචාර අපි තරයේ හෙළා දකිමු. රටේ අධ්‍යාපනය විනාශ කරමින්,අධිකරණයටද අපහාස කරමින් කටයුතු කරන මෙවන් ඇමතිවරුන්ටත්, ආණ්ඩුවටත් එරෙහිව පෙළ ගැසෙන ලෙස අපි ජනතාවට ආයාචනා කර සිටිමු''.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...