Thursday, June 13, 2013

අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යෙදවීම.



ධනවාදී ආර්ථික ක්‍රමය තුල දයලෙක්තිකව පැන නගින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රාග්ධනය රිංගවීමේ ක්‍රියාවලිය, සම්බන්ධයෙන් අප විසින් දැක්වූ විවේචනාත්මක ප්‍රතිචාරයකට අපගේ මිතුරෙකු දැක්වූ ප්‍රතිචාරයේ සරල අදහස වන්නේ අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල උපාධි සහතිකය මුදල් දුන් පමණින් ලබා නොදෙන බැවින්, තවත් සරලව කිවහොත් මුදල් ගෙවුවද උපාධිය ලබාගැනීම සඳහා අධ්‍යාපනය මුදලට විකිණීමෙහි ක්‍රියාවලියෙහි යෙදෙන ආයතන වල ඊනියා ප්‍රමිතිගත(standard) විභාග සමත් විය යුතු බැවින්, අධ්‍යාපනය මුදලට විකිණීමේ වරදක් නැති බවය. තත්වය එසේ යැයි උපකල්පනය කලද අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය උදෙසා තවදුරටත් අත එසවීමෙන් වැලකී සිටීමට සිදුවන කරුණු ගණනාවක් විවෘත මනසක් සහ කුඩා හෝ බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට සංවේදනය වේ. ඒ අතර අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවීමේ එකම නිර්ණායකය මුදල බවට ලඝු වීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකිය.

මෙම තත්වයෙහි ඇති ප්‍රතිගාමීත්වය සම්බන්ධ නිවරදි තක්සේරුකරණය අපට සුලභ වාස්තවික ආකෘතියක් ආධාරයෙන් සිදු කල හැක. ශ්‍රී ලාංකීය ජන සමාජයට අදාලව සැලකුවහොත් පුරුෂයෙකු ගැහැනියක සමග රමණයේ යෙදීමට අවස්ථාව ලබා ගැනීම සහ ගැහැණිය එම අවස්තාව ලබාදීම, ඊට අදාළ වාස්තවික තත්වයන් සැලකිල්ලකට ගනිමින් සදාචාරාත්මක ස්ථානගත කිරීමකට ලක් වේ. උදාහරණයකට මුදලට තමන් සමග රමණයේ යෙදීමට අවස්ථාව ලබාදෙන ගැහැනියක සමග රමණයේ යෙදීමට පිරිමියෙකු මුදල් ගෙවා අවස්ථාව හිමි කර ගැනීමට සමාජීයව හිමිවන සදචාරත්මක ස්ථාන ගත කිරීම සදාචාරාත්මකව ඉතා පහත තැනක් ගන්නා අතර, ප්‍රේමය වැනි ලිංගික ක්‍රියාවලියට අදාළ නිර්ණායයක් මත පදනම්ව තමන් සමග ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදෙන ගැහැනියක සමග ලිංගිකව එක්වීමට පිරිමියෙකු එම නිර්ණායකය තෘප්ත කරමින් අවස්ථාව හිමි කර ගැනීම (උදා:-ප්‍රේමය මත පදනම්ව විවාහ වන යුවලකගේ ප්‍රථම ලිංගික එක්වීම) මංගල කාරණයක් ලෙස සදාචාරාත්මකව ස්ථානගත වී ඇත.

පූර්වොක්තිය සහ අපරෝක්තිය අතර මෙම ස්ථානගත වීමෙහි වෙනස නිර්මාණය කෙරෙන්නේ පූර්වොක්තිය ලිංගික එක්වීමකට අදාල වන නිර්ණායක වන මානුෂීය නිර්ණායක(ප්‍රේමය, ලිංගික ආකර්ෂණය වැනි ) මත පදනම්ව ලැබිය යුතු සහ ලබාගත යුතු අවස්ථාවක් ඊට කොහෙත්ම අදාල නැති මුදල නැමැති වෙනත් අනනුකූල නිර්ණායකයක් මත පදනම්ව ලබා දීම හේතුවෙන් සහ එසේ ලබාදීම සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයට බාධා පැමිණවීම හේතු කොටගෙනය. අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය තුල නැතිනම් අධ්‍යාපනික අවස්ථාව මුදලට ලබාදීම හා ලබා ගැනීම තුලද සිදුවන්නේ අධ්‍යාපනය ලබා දීම සහ ගැනීම සඳහා අනනුකුල නිර්ණායකයක් මත පදනම් වීම සහ ඒ හරහා දැවැන්ත ලෙස සමාජ ආරක්ෂණ යාන්ත්‍රනය බාධා පැමිණීම බැවින් එයට හිමි විය යුත්තේද මුදලට ලිංගිකව එක්වීමේ අවස්ථාව ලබාදෙන සහ ලබාගැනෙන ක්‍රියාවලිය නැතිනම් ගණිකා වෘත්තියට සමාජීයව හිමි වියයුතු තැනමය.

එබැවින් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා, ඊට අදාල ඉහල සුදුසු කම් සහිත අය, අධ්‍යාපනික අනාථභාවයකට පත් වන පසුබිමක ඊට අදාල සුදුසුකම් නැති අයට පවා, අදාල ඉහල සුදුසුකම් ඇති අය අභිබවා අධ්‍යාපනය ලැබීමේ “අවස්ථාව” ලබා දෙන මෙම අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාවලිය “අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යෙදවීම” (අධ්‍යාපනය ස්වයංව විකුනා ගැනීම සිදු කර නොගන්නා නිසා) ලෙස සාරාංශගතව හැදින්වීම වඩා උචිත බව අපගේ හැගීමයි.

ප.ලි.

මෙම ආකෘතියෙන් පැන නගින වැදගත් ව්‍යුත්පන්නයක් වන්නේ, අධ්‍යාපනය මුදලට විකුණන නැතිනම් “අධ්‍යාපනය ගණිකා වෘත්තියේ යොදවන” ක්‍රියාවලියෙහි ගාමක බලවේග වන දේශපාලකයන් සහ ඔවුන්ගේ පාදඩ එහෙයියන් සමාජීයව ස්ථාන ගත කල යුත්තේ ස්වාර්ථය උදෙසා අසරණ ගැහැණු දරුවන්ගේ රීරි මාංශයට ලේබල් අලවන ගනිකා මඩම් හිමිකරුවන් සහ මෙහෙයවන්නන්ගේ ගේ මට්ටමින්ය යන්නයි.

පංකජ මිනුෂ ජයවික්‍රම

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...