Thursday, November 7, 2013

ආශ්චර්ය උදාවිය යුත්තේ ළමුන්ට නොවේද?


ආසියාවේ ආශ්චර්යය සිරිලක බවට පත් කර ගැනීමේ දැවැන්ත වැඩසටහනක ආණ්‌ඩුව යෙදී සිටින බව ආණ්‌ඩුවේම ඇත්තන් ප්‍රකාශ කරති. රාජ්‍ය හා අනෙකුත් මාධ්‍ය හරහාද මේ වාදයම ඉස්‌මතු කරමින් සිටී.


එහෙත් ආශ්චර්යමත් යුගය නිසැකවම උදාවිය යුත්තේ දැයේ අනාගතය භාරගන්නට ඉන්නා අහිංසක දරු පැටවුන්ටය. උන්ගේ හෙට දවස ආලෝකවත් නොකළොත් අනාගතයේ රට පත්වන්නේ අඳුරකටය.


මතුපිටින් බලන්නෙකුට කාපට්‌ පාරවල්, අධිවේගි මාර්ග මෙන්ම යාන වාහනද අතොරක්‌ නැතුව දැකගත හැකිය. එහෙත් රට අභ්‍යන්තරයේ ගැමි ජීවිතවල ගැටලු කොතරම් ද ඒවායින් බැටකන්නේද අහිංසක දූ දරුවන්ය. රට සංවර්ධනය කිරීමේ අනේක විධ උපායමාර්ග තිබේ. එහෙත් ඒවා ග්‍රහණය කර ගන්නා වගක්‌ පෙනෙන්නට නැත.

ශිෂ්‍යත්ව විභාගය මතින් ආරම්භ වන ගැමි දරුවන් කොන්කිරීමේ ව්‍යාපෘතිය සාහසික වන්නේ උසස්‌ පෙළදීය. අධ්‍යාපන ප්‍රතිපත්තිය මත පෙනෙන්නට තියෙන බියකරුම තත්ත්වය වන්නේ වැඩිදුර අධ්‍යාපනය ලබන්නට ග්‍රාමීය දරුවන් දක්‌වන අකමැත්තය. විභාග සමත්වන්නට නම් දැවැන්ත ටියුෂන් අරගලයකට ද ඔවුන්ට මුහුණ දීමට සිදුවේ. මේ ටියුෂන් තරගයෙන් ද දිනන්නේ මුදල් හදල් යහතින් ඇති දෙමාපියන්ගේ දරුවන්ය. හේනේ කුඹුරේ වැඩකරන අහිංසක ගැමියන්ට තමන්ගේ දරුවන් දෙන්නා තුන්දෙනාට උගන්වනවා කියන්නේද මහමෙරක්‌ බඳු වියපැහැදම් ගොන්නක්‌ මිස අන් කවරක්‌වත් නොවේ.

අනාගත රැකියා පරාසය දිගින් දිගටම පුළුල් වන්නේ නූතන තාක්‌ෂණය ජාත්‍යන්තර භාෂාවන් පදනම් කරගෙනය. එහෙත් මේ දරුවන්ට ඒ සඳහා ඇති ප්‍රායෝගික පහසුකම් කවරේද? නගර කේන්ද්‍රකොටගත් පාසල්වලට පරිගණක විද්‍යාගාර ලැබෙන විට ගම්බද පාසල්වල ළමුන්ට පරිගණකයට අත තියන්නට වත් ඉඩ නැත්තේ පාසලේ විදුලිය විසන්ධි කර ඇති නිසාය.

නැණසල නමින් පරිගණක සාක්‍ෂරතාව ඉහළ නංවන්නට ව්‍යාපෘතියක්‌ ආරම්භකර ඇතත් මේ ව්‍යාපෘතිය හරහා ගම්බද ළමුන් කොතරම් ප්‍රමාණයක්‌ ප්‍රතිලාභ අත්කරගෙන ඇත්දැයි යන්න විමැසිය යුතුව තිබේ.

කොළඹට කිරි ගමට කැකිරි සංකල්පය තරමක්‌ හෝ අවමකර ගන්නට වැර වෑයම් දැරුවත් තවමත් එහි බියකරු සැබෑවන් ග්‍රාමීය දරුවන් තුළින් දිස්‌වෙයි. ඒ ඔවුන්ගේ උපන් කුසලතාවලට දිරිදෙන්නට හෝ ඒවා ජාතික තලයට රැගෙන යන්නට තරම් ක්‍රමවේදයක්‌ තවමත් නොමැත.

ගැමි දරුවන්ගේ අධ්‍යාපනයත් ඔවුන්ගේ සමාජ තලයත් නිරතුරුවම ගරා වැටෙන්නේ ඔවුන්ගේ ආර්ථිකය නිසාමය. ගැමියන්ගේත්, ගොවීන් ගේත් ආර්ථිකය හසුරුවන්නේ රජය විසින් නොවේ· එය හසුරුවන්නේ අතරමැදි තොග වෙළෙන්දන්ය. ගැමියාගේ වී. එළවළු, ගොඩ භෝග තුට්‌ටුවට ගන්නා ඔවුන් ගම තුළම මිල ඒකාධිකාරයක්‌ ද පවත්වති.

ගමට වැදී තිරසාර සංවර්ධනයක්‌ ගැන ගම්මුන්ට කියා දී පිටරටවලට සිතාම්බර පට තරම් විසිතුරු රිපෝට්‌ සමහර සංවිධානවල ඇත්තන්ට තවමත් ගැමියන් මුහුණ දෙන සැබෑ ප්‍රශ්න අවබෝධ කර ගැනීමට නොහැකි වීම අභාග්‍යයකි.

ග්‍රාමීය ජනතාවගෙන් 90% කටත් වඩා වැඩි පිරිසක්‌ දැඩි ණයගැති බවකට ගොදුරුව සිටිති. ඔවුන්ගේම වචනවලින් කිවහොත් ඔවුන් ජීවත්වන්නේ "රෝලටය". තමන් උපයාගන්නා මුදලින් ණය පියවා ඊළඟ කන්නයට සැරසීම බොහෝ ගොවීන්ගේ ජීවන චක්‍රයයි.

මඟුලකට, මරණයට, කොටහළුවකට ඔවුන්ට ණය ගන්නට සිදුවීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. අඩුතරමින් මේ ග්‍රාමීය ණයගැති බව තුරන් කරන්නට හෝ ක්‍රමවත් වැඩ පිළිවෙළක්‌ සකසන්නට හැකිනම් කොතරම් භාග්‍යයක්‌ද?

ආර්ථික වහල් භාවයෙන් සිටින තෙක්‌ ඔවුන්ට තම දරුවන්ට යසස සතුට ගෙන එන්නට නොහැකිවනු ඇත. නොයෙක්‌ සංවර්ධන ප්‍රලාප, දේශන, වැඩමුළු තොග ගණනින් ඔවුන් හමුවේ පවත්වා රිපෝට්‌ වර්ණවත් කිරීමේ කලාව දැන්වත් නවත්වා ගමේ දරු පැටවුන්ට යුක්‌තිය හා සාධාරණත්වය ඉටුකළ යුතු කාලය දැන් පැමිණ තිබේ.

එසේ නොවන්නේ නම් තවත් වසර කිහිපයකින් මේ සංතාපයන්, දුක දොaමනස්‌සයන් මහා ගිනිකන්දක්‌ වී එකවර පුපුරා යනු ඇත.

ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර
සමාජවිද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය




2 comments:

හපෝ ලිපිය දිවයින පත්තරෙ කොපියක් නෙව..

හැමෝම කියනව විතරයි. කරල පෙන්නන්නෙ කී දෙනාද /

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...