Thursday, July 25, 2013

සත්‍යය වළ දමා සැගවිය නොහැකි බව




මාතලේ උකුවෙල ප‍්‍රදේශයේ විසූ නිශාන්ත රෝහණ සහ සුසන්ත ජානක සොයුරන් මාතලේ විජය විද්‍යාලයත්,විද්‍යා විද්‍යාලයත් බැබළවූ කීර්තිමත් ශිෂ්‍යයින් දෙදෙනකි. දෙදෙනාම උසස් පෙළ හදාළේ ගණිත විෂය ධාරාවෙනි. පාසැල් විවාද කණ්ඩායමෙන් උරුම කර ගත් චතුර කථිකත්‍වයෙන් හා ශිෂ්‍ය භට කණ්ඩායමෙන් ලබා ගත් පෞරුෂත්වයෙන් ඔවුහු පොහොසත් වූහ.

හුදෙක් පාසලේ ඉගෙනුමට පමණක් සීමා නොවී මව්බිමේ නිදහසත්, නිදහස් අධ්‍යාපනයත් උදෙසා ඔවුහු තම කාලය, ශ‍්‍රමය යෙදවූහ. එවකට ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් පෞද්ගලික දේපලක් කර ගැනීමට උත්සාහ කල අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සුසන්ත සහ ජානක සහෝදරවරු අසීමිත කැප කිරීමක් සිදු කලහ. විශේෂයෙන්ම නිදහසේ ගලා ආ කවි සිතුවිලි මෙන්ම තෙළිතුඩ පහරින්ද ඔවුන් පෙන්වූයේ ස්වකීය විප්ලවීය චින්තනයේ ප‍්‍රබලකමයි. රාජ්‍ය ත‍්‍රස්තවාදය හමුවේ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ද්විතියීක අංශයේ පෙරමුණට පණ පෙවූ ඔවුහු අනාගත ශිෂ්‍ය ප‍්‍රජාවට පමණක් නොව සමස්ත ලාංකේය ශිෂ්‍ය ප‍්‍රජාවටම තමන් හමුවේ ඇති අභියෝගයේ සංකීර්ණත්වය පෙන්නූම් කලහ.
පැවති ධවල මර්දනය හමුවේ වුවද සිය නිර්මාණ කාර්යයන් හරහා පවතින දේශපාලනික ප‍්‍රපංචය තදින් විවේචනය කරන්නට තරම් නිර්භීත මෙන්ම ස්වාධීන, නිවහල් මනසකින් යුක්ත වූ සහෝදරවරුන් දෙදෙනෙකු ලෙස සුසන්ත ජානක හා නිශාන්ත රෝහණ දෙපල ඉතිහාස ගතවේ. ඔවුන් දෙදෙනා විසින් ලියන ලද නිසඳැස් පද්‍ය හා අඳින ලද චිත‍්‍ර හරහා හඳුනාගත හැකි ප‍්‍රධානම ලක්ෂණයක් වනුයේ සමාජ අසාධාරණය විවේචනය කිරීමයි. 

1989 දෙසැම්බර් 13 උකුවෙල ග‍්‍රාමය ආණ්ඩුවේ බලපත‍්‍රලාභී මැරයන් විසින් වටලනු ලැබීය. මෙහිදී උකුවෙල ග‍්‍රාමයේ සිටි තරුණයන් බලහත්කාරයෙන් රැගෙන ගොස් රඳවා තබා ගෙන වධ හිංසා පමුණුවා යාන්තම් පණ ඇතිව නැවත නිදහස් කළත් එකී මෙහෙයුමේම පරමාර්ථයක් වූ සුසන්ත සහ ජානක සොයුරන් අතුරුදහන් කරන ලදි.

සමාජ අර්බුදයන් කෙරෙහි වඩාත් සංවේදී මෙන්ම සටන්කාමී සහෝදරවරුන් දෙදෙනෙකු වන මොවුන් ශිෂ්‍ය වීරයන් වන්නේ අරගලය උදෙසා ස්වකීය ජීවිතය පරිත්‍යාග කල නිසා පමණක් නොව තම කෙටි ජීවිත කාලයන් තුල වල් වැදුණු ලාංකීය සමාජ කෙත විප්ලවීය මතවාදයෙන් අස්වද්දන්නට තැත් කල බැවිනි. මෙලෙස විප්ලවීය පාසල් ශිෂ්‍ය ව්‍යාපාරයක පෙර ගමන්කරුවන් වෙමින් ජයග‍්‍රහනයේ මංපෙත් විවර කරන්නට තැත් දැරූ මෙම සොහොයුරන් දෙපල එවකට බලය දැරූ ධනපති ආණ්ඩුවේ හෙන්චයියන් වූ නිලලත් කුලී හේවායන් ගේ ගොදුරු බවට පත්විය.

කෙසේ වුවත් සත්‍යය සදාකාලිකව නිහඬ නොවන්නා සේ වසර 24කට පසුව, 2012 දෙසැම්බර් මස අගභාගයේ දී, අතුරුදහන් කල මෙම සහෝදරයන් දෙදෙනාගේ යැයි සැකකල හැකි අස්ථි කොටස් ද ඇතුළු 154 දෙනෙකුගේ අස්ථි කොටස් මාතලේ මහ රෝහල් භූමියෙන් හමු විය.

මේ හමුවීමත් සමග රාජපක්‍ෂ ආණ්ඩුවට හීන් දාඩිය දමන්නට පටන් ගත්තේ 1990 මුලදී මහින්ද රාජපක්‍ෂ ජිනීවා සමුථවට තම සුදුවත පෙන්වන විට ඔහුගේම සහෝදර ගෝටාභය රාජපක්‍ෂ සිවිල් වැසියන් වෙනුවෙන් සමූහ මිනී වළවල් කැපීමේ නිර්ලජ්ජිත නිරුවත හෙළිවන බව දැණුනු නිසාය. මෙහිදී හමුවූයේ වසූරිය රෝගීන්ගේ අස්ථි කැබලි යැයි එම සිද්ධිය යට ගැසීමට ළදරු උත්සාහයක් ගන්නා අතරම සිද්ධිය පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණ කර සත්‍ය අනාවරණය කල වෛද්‍යවරයාටත් මාතලේ දිසා විනිසුරුවරියටත් මාරුවීම් ලබා දීමටද රාජපක්‍ෂ ආණ්ඩුව පසුබට වූයේ නැත.

දැන් සියල්ල සිදු වූ ආකාරය රටටම හෙළිවී හමාරය. චූදිතයින් ජනතාව ඉදිරියටම ගෙනැවිත් තිබේ. තවමත් ආණ්ඩු බලය තබාගෙන නිර්ලජ්ජිතව සිනා මුහුණු පෙන්වන චූදිතයින්ට ජනතා පරමාධිපත්‍යයෙන් ද`ඩුවම් ලබා දීමේ අයිතිය මහජනයා සතුය.

සුසන්ත ජානක සොයුරාත්, නිශාන්ත රෝහණ සොයුරාත් ශිෂ්‍ය වීරයෝ වෙති. එහෙයින්ම අපි ඔවුන් විප්ලවවාදී වීරයන් සේ සලකා උත්තමාචාර දක්වන්නෙමු. එහෙත් සත්‍ය වශයෙන්ම ඔවුන් වෙනුවෙන් අපගේ වගකීම එතැනින් හමාර නොවේ.

ඔවුන් වීරයන් පමණක් නොව පරමාදර්ශී වීරයන් පවා අභියෝගයට ලක් කල වීරයන්ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පරමාදර්ශී අධ්‍යාපන ක‍්‍රමයක් පමණක් නොව පරමාදර්ශය අතික‍්‍රමණය කල මව්බිමේ නිදහසකි. ඔවුන්ගේ මරණවල සත්‍ය නිගමනය දැන් රටට හෙළිදරව් වී හමාරය. දැන් ඇත්තේ ඔවුන්ගේ අපේක්‍ෂාවන් බල ගැන්වීමේ වගකීමයි. එය ඇත්තේ අප අතය. 

උපුටා ගැනීම සමාජවාදී ශීෂ්‍ය සංගමයේ මද්‍යම පුවත්පත ගිනිසිළුව - 2013 ජුලි

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...