Thursday, August 29, 2013

අකුරු වැරදුනු ගුරුවරු!

ගුරු පදවිය සූර්යයා යටතේ ඇති අන් සියල්ලටම වඩා අති උත්තම වූවක්‌ බව"චෙක්‌ ජාතික ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ජෝන් ආමෝස්‌ කොමෙන්කි පැවසුවේ ක්‍රි:පූ 1600 තරම් ඈත යුගයකදීය. ඈත අතීතයේ පටන්ම ප්‍රගතිශීලි මානව වර්ගයා විසින් වටහාගත් ගුරු වෘත්තියේ ශ්‍රේෂ්ඨ මානවවාදී කාර්යය අප රට තුළදී හෑල්ලුවට හා අවමානයට පත්වූවේ පුත්තලමේ ගුරුවරිය හාල්පාරු දේශපාලනඥයෙක්‌ ඉදීරියේ දණගැසු දා හෝ කොළඹ ගුරුතුමිය පාසලේ වහල මතට නැග විරෝධතාවයක්‌ දැක්‌වූ දා යෑයි සිතිම විහිළුවකි. ඒ සිද්ධින් දෙකම මේ ශ්‍රේෂ්ඨ වූ වෘත්තිය කෙලෙසී යැමේ පිරිහීයාමේ ප්‍රමාණය ගැඹුර දක්‌වන නිර්ණායකයන් දෙකක්‌ පමණි. එබැවින් ඔවුන් දෙදෙනා සම්බන්ධ සිද්ධීන් විවේචනය කිරීම පසෙක තබා ගුරු වෘත්තිය මෙබදු පිරිහුණු තත්වයකට පත් කළේ කවුරුන්ද, කුමක්‌ සඳහාද, එය වළක්‌වා ගැනීමට කළ යුතු, කළ හැකි යමක්‌ තව ඉතිරිව තිබේද යන්න පිළිබඳව සාමාජීය කතිකාවක්‌, සංවාදයක්‌ ඇති කිරීම තවත් ' කල්‍යානි ලා ' සිය ගණනක්‌ ඉදිරියේදී නිර්මාණය විම වළක්‌වා ගැනීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

1945 ඔක්‌තෝබර් පළවෙනිදා නිදහස්‌ අධ්‍යාපනයෙන් පිදුම් ලද මෙරට ගුරුවරයා දේශපාලනයේ සෘජු ආවතේවකරුවෙක්‌ බවට පත්වූවේ 1956 බණ්‌ඩාරනායක දේශපාලනයත් සමඟය. එකල පංච මහා බලවේගය තුළ වූ ' ගුරු' බලවේගය සක්‍රිය ලෙස බණ්‌ඩාරනායක දේශපාලනයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය. එදා සිට අද දක්‌වාම ගුරුවරයා පක්‌ෂ බලයට පත්කිරීමට යොදාගන්නා ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි. එහි අවසන් හා අනිවාර්ය ප්‍රතිඵලය වූයේ අධ්‍යාපන පරිපාලනය දේශපාලනීකරණයට ලක්‌වීමයි. ගුරුවරු පත්කිරීම, මාරුකිරීම, උසස්‌ කිරීම මෙන්ම දඬුවම් කිරීමේ බලයද දේශපාලනඥයා අතට පත්විය. ඊට එරෙහිව වෘත්තිය ගරුත්වය ආරක්‌ෂා කර ගැනීමට මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් දෙකක්‌ වන ගුරු පරපුර අපොහොසත් විම, ක්‍රමානුකූලව මේ තත්ත්වයට ඔවුන් අනුගත වීම, ගුරු පරපුරේ අභිමානය, පෞරුෂය බිඳවැටීමට පමණක්‌ නොව සමස්‌ත අධ්‍යාපන පද්ධතියම බිඳවැටීමටද ප්‍රබලම සාධකයක්‌ විය.

මන්ත්‍රි චිට්‌, ජොබ්කාඩ්, සමාජ විපත්. ජනසවිය ගුරුපත්විම් ලබාදීම සඳහා පසුගිය කාලය තුළ වූ නිර්ණායකයන් විය. එහි ප්‍රතිඵලය ලෙස ' කැකිරි පිපිඤ්ඤා ' ගුරුවරුන් තොග පිටින් බිහි විය, 1000 කෑලි ' ' 999 ' ලෙස ගුරුවරු අංකනය විය. දේශපාලනඥයන් පිනවිමේ ප්‍රමාණයට උසස්‌වීම් ලැබුණ අතර දේශපාලනඥයාට එරෙහි විම දඬුවම් ලැබීමට කරුණක්‌ විය. 1965 මාර්තු මස මැතිවරණයෙන් බලයට පත්වූ එක්‌සත් ජාතික පක්‌ෂය ප්‍රමුඛ හත්හවුල් රජය බලයට පත්ව මාසයක්‌ ඉක්‌ම යාමටත් ප්‍රථම එම වසරේම අප්‍රේල් 05 වනදා ගුරුවරුන් 250 කගේ වැඩ තහනම් කොට 123 දෙනෙක්‌ සේවයෙන් පහකර දමමින් ඊට අවශ්‍ය කරන පූර්වාදර්ශය කලින්ම ලබාදී තිබුණි.

දේශපාලන පළිගැනීම්වලට පසුව සමාජයට, එක්‌වූ අලුත් ජවනිකාව වූයේ ' දේශපාලන පලිsගැනීම්වලට සහන සැලස්‌විමේ ' ක්‍රියාවලියයි. මේ සහන සැළසීමේ ක්‍රියාවලියට මුවා වී දේශපාලන හෙංචයියන් අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ඉහළම පුටු ආක්‍රමණය කළහ. 1998 අගෝස්‌තු 20 අමාත්‍ය මණ්‌ඩල තීරණයකට අනුව දේශපාලන උසස්‌වීම් 6080 ලබාදී ඇති අතර 2000 අගෝස්‌තු 25 අමාත්‍ය මණ්‌ඩල තීරණ අනුව අධ්‍යාපන පරිපාලන සේවය සඳහා 1143 ක්‌ද විදුහල්පති පළමු ශ්‍රේණිය සඳහා 1160 ක්‌ද, දෙවැනි ශ්‍රේණිය සඳහා 860 ක්‌ද පත්කර තිබේ. ඔවුන්ට මේ තනතුරු සඳහා අවශ්‍ය එකම සුදුසුකම වුවේ දේශපාලනඥයින් බලයට පත්කිරීම සඳහා දරදිය ඇදීමේ ප්‍රමාණය පමණි. මෙලෙස නුසුදුස්‌සන් අධ්‍යාපන ක්‌ෂේත්‍රය තුළ හිටිපිනුම් බඩ පිනුම් ගසද්දී දක්‌ෂයෝ, සුදුස්‌සෝ කොන් වී ගියහ.

මෙලෙස ගුරු අභිමානය දේශපාලනඥයින්ගේ දෙපතුළ ළඟ වැතිරෙද්දී, ගුරු පෞරුෂය දේශපාලකයන්ගේ රශ්මි කදම්බය තුළ හැකිලී යද්දී, නව දේශපාලන සංස්‌කෘතියක්‌ කරා යාමට පොරොන්දු වූ පොදු පෙරමුණු රජය 1995.01.01 සිට බලපැවැත්වෙන පරිදි " ගුරු සේවය " ස්‌ථාපිත කරන ලදී. ගුරුවරයාට සැලකිය යුතු මට්‌ටමේ වැටුප් වැඩිවීමක්‌, ගුරු පත්විම් සඳහා නිශ්චිත ක්‍රමයක්‌, උසස්‌විම් සඳහා විභාග මෙන්ම කාර්ය සාධනය මත පදනම් වූ ක්‍රමයක්‌ ඉන් යෝජනා කෙරිණි. ගුරුමාරුවිම් සඳහා ගුරුමාරු මණ්‌ඩල ක්‍රියාත්මක විම ඇරඹුණි.

දේශපාලනිකරණයත් සමඟම පිරිහී ගිය ශ්‍රේෂ්ඨ වෘත්තියක අභිමානය යළි ඇති කිරීම සඳහා පදනමක්‌ දැමීමට ගත් උත්සාහයක්‌ ලෙස " ගුරු සේවය " ස්‌ථාපිත කිරීම සැලකිය හැකි වුවත් බිඳවැටුන ගුරු වෘත්තියේ අභිමානය හෝ පෞරුෂය රැකීමට තරම් එය ප්‍රබල වුවේ නැත. දේශපාලනඥයින්ගේ අතපෙවීම් ද නතර වූවේ නැත. මාරුවීම් සඳහා වූ නිශ්චිත ක්‍රමවේදය තවමත් නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ගුරුවරුන් බඳවා ගැනීමේදී පෙර මෙන්ම රු. 3000/- වැටුපකට ගුරු සහායකයින් බඳවා ගන්නා ලදී.

අඩසියවසකට වැඩි කාලයක්‌ පුරා අධ්‍යාපන පරිපාලනය, දේශපාලණීයකරණයත් සමඟම බිඳවැටීමකට ලක්‌වුණ ගුරුවරයා පාසල තුළද විවිධ අසාධාරණයන්ට ලක්‌ වේ. විහදුහල්පති ශ්‍රේණිලාභි ගුරුවරු උගන්වද්දී විදුහල්පතිට හිතවත් ගුරුවරු පරිපාලනයට එක්‌වෙති. කාල සටහන් ලබාදීමේදීද හිතවත්කම මුල්තැනට එයි. අනෙක්‌ අය අතිරික්‌ත වෙති. අවුරුදු 08 ට වැඩි අයට මාරුවීම් ලැබිය යුතු වුවත් විදුහල්පතිට හිතවත් නම් අවුරුදු 15 - 20 එකම පාසලේ සේවය කිරීමට හැකිය. අවුරුදු 08 ට අඩු අයට මාරුවීම් ලැබේ. පාසල් තුළ ගුරුවරුන් බහුතරයක්‌ මුහුණ දෙන මෙම පීඩාවන්ට විසඳුම් ලබාදීමට ඉහළින් සිටින බලධාරීන්ට නොහැකිය. තමන් සේවය කරන ආයතනය තුළ තමන්ට සුරක්‌ෂිත භාවයක්‌, තමන්ගේ වටිනාකම්වලට සරිලන ගෞරවයක්‌ නොමැතිව, මානසික පීඩනයකින් සිටින ගුරුවරුන්ගෙන් ජව සම්පන්න ශිෂ්‍ය පරපුරක්‌ බිහි කිරීම සඳහා වූ උද්යෝගය, කැපවීම ලැබේවියෑයි සිතිමට නොහැකිය. 

එසේම පාසලින් පිටතදී ගුරුවරයා කේන්ද්‍රගත වන අධ්‍යාපන කාර්යාලය තරම් ගුරුවරයා පිඩාවට හෑල්ලුවට පත්කරන තවත් ආයතනයක්‌ නැති තරම්ය. ඒවායේ සේවය කරන්නෝ ගුරුන්ගෙන් ශිල්ප හැදැරුවෝ නොවෙති. වැටුප් වර්ධකයක්‌ ලබාගැනීමට, හිඟ වැටුපක්‌ ලබා ගැනීමට, අවුරුදු 25 - 30 සේවය කොට අවසානයේ විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ලබා ගැනීමට කාර්යාලයේ සුළු සේවකයාගේ පටන් ඉහළම නිලධාරියා දක්‌වා වැඳවැටිය යුතුය. මෙවන් දහසකුත් එකක්‌ පීඩාවන්ට ලක්‌වෙද්දීත් දේශයේ දූ පුතුන්ගේ දෑස්‌ පෑදීමට අප්‍රමාණ ලෙස වෙහෙසන ගුරු පරපුරට හිමි නිසි ගෞරවය ලැබෙන දිනය නම් පෙනෙන තෙක්‌ මානයකවත් නැත. විටෙක මෙම පීඩාවන්ට එරෙහිව ඔවුහු ' කල්‍යානි ' ගුරු මහත්මිය මෙන් හුදකලා සටනක්‌ නොකොට සාමුහිකව මහමඟට බැස උද්ඝෝෂණය කළහ. වරෙක උත්තර පත්‍ර බැලීම වර්ජනය කළහ. සමාජයේ විවේචනයට ලක්‌වූවේ දර්ශනය වන මතුපිට පමණකි. ඇතුළාන්තයට ඔවුහු හිතාමතාම ඇතුළු නොවුහ.

සැබවින්ම දේශපාලනඥයින් ගුරුවරුන් දණගැස්‌සවුවේ පුත්තලමේදී නොවේ. ආසියාවේ විශාලතම සමුපකාර බැංකුව, වූ මිලියන 5000 ක වත්කම් සහිත ගුරුවරු 150,000 ක සාමාජිකත්වය තිබෙන " සීමාසහිත අධ්‍යාපන නියුක්‌තිකයන්ගේ සමුපකාර හා සකසුරුවම් ණය දෙන සමිතියෙන් ගුරුවරුන් පලවා හැර ගුරුවරුන්ගේ ඡන්ද අයිතිය, පැහැරගෙන, එය කොමසාරිස්‌ගේ බලයට නතුකර ගත්දාය. එහි මුදල් ගුරුවරුන්ගේය. එය පරිපාලනය සඳහා සුදුස්‌සන් පත් කරන්නේ ගුරුවරුන්ගේ ඡන්දයෙනි. නමුත් ලංකා ගුරු සේවා සංගමයට පැවති නිලවරණයෙන් තුනෙන් දෙකක බලයක්‌ සහිතව පරිපාලනය ලැබුණ දා සිට නොසන්සුන් වූ පාලකයෝ වසර 03 අවසන් වන්ට පෙරාතුවම එහි බලය කොමසාරිස්‌ට පවරා දුන්නේය. මෙපමණ ඡන්ද තිබෙන රටේ ගුරුවරුන්ගේ ප්‍රජාතන්ත්‍රිය අයිතිය දේශපාලනඥයෝ උදුරා ගත්aතේ එලෙසය. නමුත් එම තීරණයට හීලෑ වීමට මිස ඊට එරෙහි වීමට පිටකොන්දක්‌ ගුරුපරපුරට නොවීය. පිටකොන්ද කඩා දැම්මේ බොහෝ කලකට පෙරය.

එබැවින් වාර විභාගයක්‌වත් පවත්වා ගැනීමට නොහැකිවීම, දේශපාලනඥයින් ඉදිරියේ දණගැසීම, වහලය උඩ නැඟ විරෝධතා පැවැත්වීම වැනි මතුපිට ප්‍රකාශනයන් ගැන පමණක්‌ විවේචනය කිරීමට වඩා සමස්‌ත අධ්‍යාපන පද්ධතිය ක්‍රියාකරවන දැතිරෝදය බඳු ගුරු පරපුර මුහුණ පා සිටින මෙම අභාග්‍ය සම්පන්න තත්වය පිළිබඳ මීට වඩා සමාජය අවධානය යොමුකළ යුතුය. බලධාරීන්ගේ ඇස්‌ ඇරෙන්නේ අන්තිමටය. එවිට අප ප්‍රමාද වී තිබෙන්නටත් පුළුවන.


සුජාතා අලහකෝන්

උපුටා ගැනීම දිවයින


0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...