Sunday, December 9, 2012

ටියුෂන් කුමට මෙලෙසේ!

මේ නම් මහා විපරීතයකි. අඩියෙන් අඩිය බිහිවන පෞද්ගලික උපකාරක පන්ති ඉදිරිපිට පෙළගැසෙන දරුවන් ශීඝ්‍රයෙන් ඉහළ යන අයුරු කියාපාන්නේ මහා අරුමයකි. ඉවක්‌ බවක්‌ නොමැතිව පෞද්ගලික උපකාරක පන්ති කරා හතිලමින් දිවයැම හැර ඉන් පරිබාහිර කටයුතුවලට ඉඩහසරක්‌ දරුවන්ට නැතැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. ඒ තරමටම මේ ව්‍යාපාරය විසින් දෙමාපියන් මෙන්ම දරුවෝද ආක්‍රමණය කරනු ලැබ සිටිති. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඊට අනුගත වීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති තත්ත්වයක්‌ නිර්මාණය කරනු ලැබ තිබේ. විභාගයම හැර වෙනත් අත්දැකීමක්‌ දරුවන්ට නැත. විභාගයම සිහිකරනු විනා ඉන් මෙපිට නිදහසක්‌ දරුවන්ට නැත.

උපකාරක පන්තිවලට සහභාගි වීම නිසා සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පාන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අනාවරණය කළේ පසුගිය 2010 වසරේ කරන ලද සමීක්‍ෂණයකිනි. සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීම පිළිබඳ තත්ත්වය, ඒවාට යොමු වීමට බලපාන හේතු සාධක සොයා බැලීම හා ඒ ආශ්‍රීතව ඇති වන සමාජ ගැටලු හඳුනා ගැනීම වැනිs අරමුණු හයක්‌ ඉලක්‌ක කරගනිමින් කරන ලද එම සමීක්‍ෂණයේ ප්‍රතිඵල එතරම් සමාජය උකහාගත් බවත් නොපෙනේ.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මෙම සමීක්‍ෂණය සඳහා පළාත් හතක දිස්‌ත්‍රික්‌ක පහළොවක්‌ පුරා විහිදුණු පාසල් අසූවක සිසුසිසුවියන් යොදාගෙන තිබිණි. මෙම පාසල් අසූවට ජාතික පාසල් තිහක්‌ ද ඇතුළත් විය.

10 වැනි ශ්‍රේණියේ සිසුහු 2578 ක්‌ද, 12 වැනි ශ්‍රේණියේ සිසුන් 884 ක්‌ද සමීක්‍ෂණයට ඇතුළත් වූහ. මීට අමතරව උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි ඉන් සමත් වූ සිසුන් 310 ක්‌ පාසල් 135 ක්‌ නියෝජනය වන පරිදි සමීක්‍ෂණයට යොදා ගැනිණි. එමෙන්ම 10 වැනි ශ්‍රේණියේ හා උසස්‌ පෙළ පන්තිවල උගන්වන ගුරුවරුන් 513 ක්‌ හා දෙමව්පියන් 220 ක්‌ ද ඒ සඳහා ඇතුළත් කරන ලදී.

සමීක්‍ෂණයට අනුව දහවැනි ශ්‍රේණියේ විෂයයන් සඳහා වැඩියෙන්ම උපකාරක පන්ති පවත්වා ඇත්තේ රජයේ පාසලක ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරුන් වන අතර එම ප්‍රතිශතය දළ වශයෙන් සියයට 65 ඉක්‌මවා ඇත. උසස්‌ පෙළ පන්ති පිළිබඳ අවධානය යොමු කිරීමේදී උපකාරක පන්ති පවත්වන රජයේ ගුරු ප්‍රතිශතය සියයට 40 ක්‌ පමණය.

මීට දෙවසරකට පෙර පැවැත් වූ මෙම සමීක්‍ෂණය අනුව දහවැනි ශ්‍රේණියේ සිසුන් මාසයකට එක්‌ විෂයක්‌ සඳහා රුපියල් 325 ක්‌ පමණද උසස්‌ පෙළ වාණිජ විෂයධාරාවේ සිසුන් එක්‌ විෂයකට රුපියල් 425 ක්‌ පමණද විද්‍යා විෂයධාරවල සිසුන් එක්‌ විෂයකට රුපියල් 775 ක්‌ පමණ ද වැය කරන බව අනාවරණය විය. කෙසේ වුවද තනි තනිව හෝ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ වෙනුවෙන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේදී ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල මීට වඩා බෙහෙවින් වැඩි බව සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දුන්නේය. එපමණක්‌ නොව 10 වැනි ශ්‍රේණියේ සියලුම සිසුන් විෂයයන් දහයක්‌ සඳහා මාසයකට රුපියල් දශ ලක්‍ෂ 255 ක්‌ අවම වශයෙන් උපකාරක පන්ති සඳහා වැය කරන අතර උසස්‌ පෙළ වානිජ විෂය ධාරාවේ සිසුන් මාසයකට වැය කරන මුදල රුපියල් දශලක්‍ෂ 74 කි. කලා විෂය ධාරාවේ සිසුන් මාසයකට රුපියල් දශලක්‍ෂ 98 ක්‌ හා ජීවවිද්‍යා විෂයධාරාවේ සිසුන් මාසයකට රුපියල් දශ ලක්‍ෂ 89 ක්‌ද වැය කරන බව එම වාර්තාවේ සඳහන්ව ඇත. තවද උසස්‌ පෙළ ගණිතය විෂය ධාරාවේ සිසුන් මාසයකට වැය කරන මුදල රුපියල් දශ ලක්‍ෂ 68 ක්‌ වේ. රුපියල් දශලක්‍ෂ ගණනින් වැය කරන මේ මුදල් උපකාරක පන්ති ගාස්‌තු පමණි. 

උපකාරක පන්තිවලට සහභාගි වීමේදී සිසුන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන්ද කරුණු රැසක්‌ මෙම සමීක්‍ෂණ වාර්තාව අනාවරණය කර තිබිණි.

එනම්, උපකාරක පන්තිවලට සහභාගි වීමේ අතුරු ප්‍රතිඵල ලෙස ප්‍රේම සබඳතා අපචාර ක්‍රියා, මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ සංස්‌කෘතික විරෝධී ක්‍රියාවන් සඳහා සිසුන්ට ඉඩ ලැබීම, අතවරවලට තර්ජනයන්ට ගොදුරු වීම මෙන්ම සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පෑම වැනි කරුණු ඒ අතර වෙයි. නිසි වෙලාවට ආහාර නොගැනීම, සමබල ආහාර නොගැනීම හා ක්‍ෂණික ආහාරපානවලට යොමු වීම නිසා සිසුන් ශාරීරික රෝගවලට ගොදුරු වන බවද විවේකය හා විනෝදය අඩුවීම, අධික තෙහෙට්‌ටුව මෙන්ම දැඩි මානසික පීඩනයකින් කල්ගත කිරීම නිසා සිසුන් මානසික රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බවද අනාවරණය කළ කොමිෂන් සභා වාර්තාව මෙම සියලු ව්‍යසනයන්ට හේතුව විභාග උන්මාදය හා ඒ සඳහා උපකාරක පන්තිවලට සහභාගි වීම බව පැහැදිලිව පෙන්වා දුන්නේය.

සමීක්‍ෂණයෙන් පසුව කොමිෂන් සභාව එළඹි අතිශය වැදගත් නිගමන රැසක්‌ද වෙයි. සමස්‌ත අධ්‍යාපන ක්‍රියාවලියම විභාග කේන්ද්‍රීය වූ රටාවකට යොමු වීම උපකාරක පන්තිවලට සහභාගි වූ පමණින්ම විභාගවලින් සමත් නොවන බව තහවුරු වීම ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවීම නිසා පාසල්වල ගුරු විෂමතාව වර්ධනය වීම ඒ අතරින් ප්‍රධාන වෙයි.

සියලුම පාසල් අධීක්‍ෂණය හා නියාමනය සඳහා ශක්‌තිමත් ව්‍යqහයක්‌ ඇති කර පාසල් අධීක්‍ෂණය සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කරන්නේ ඉහත සියලු කරුණු සැලකිල්ලට ගනිමිනි. අධීක්‍ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වන සියලුම නිලධාරීන්ට විධිමත් අධ්‍යාපන නායකත්වයක්‌ ලබාදීමට කටයුතු කිරීම මෙන්ම සාමාන්‍ය පෙළ සිසුන් බහුතරයක්‌ උපකාරක පන්තිවල සහාය අපේක්‍ෂා කරන ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන්හි ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්‍ෂණය සඳහා වැඩි අවධානයක්‌ යොමු කිරීමද තවත් යෝජනාවක්‌ ලෙස ඉදිරිපත් කර ඇත. ගුරුවරුන්ගේ සේම සියලු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ කාර්ය සාධන ඇගයීමට අදාළ ක්‍රමවේද සකස්‌ කිරීම හා ඇගයීම ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමද අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළ කොමිෂන් සභාව විධිමත් ලෙස පාසල්වල ගුරු තුලනය කළ යුතු යෑයිද කීවේය.

තවද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට විකල්පය වශයෙන් දැනට යෝජිත පාසල් පාදක ඇගයීම් වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීම ද එහි තවත් යෝජනාවකි.

මීට අමතරව පාසල, දෙමාපියන්, පළාත් සභා හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව හා උපකාරක පන්ති ගුරුවරුන් ඉටුකළ යුතු කාර්යන් ද වෙන් වෙන් වශයෙන් සඳහන් කර තිබේ.

2010 වසරේදී සමීක්‍ෂණය කර පසුගිය වසරේදී (2011) එළිදක්‌වන ලද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙම වාර්තාව පිළිබඳ යළිත් ලියා තබන්නට සිදුවූයේ කලිsන් සඳහන් කළා සේ ශීඝ්‍රයෙන් බිහිවන උපකාරක පන්ති ක්‍රියාවලියේ අවිචාරවත්භාවය කදිමට දිස්‌වෙමින් පවතින නිසා ය. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ද, සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග තරමට ම තරගකාරීය. සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග සඳහා පවතින උපකාරක පන්ති ක්‍රියාවලිය 6, 7 හා 8 දක්‌වා ද, ශිෂ්‍යත්වය ඉලක්‌ක කර ක්‍රියාත්මක උපකාරක පන්ති ඉන් ඔබ්බට ගොස්‌ මේ වන විට 2, 3 හා 4 වැනි ශ්‍රේණිවල ඉංග්‍රීසි හා ගණිතය වැනි විෂයයන් කරා ද නැඹුරු වී ඇති අයුරු පුදුම එළවන සුළුය.

මෙම වසරේ අවසාන වාරයේ නිවාඩුව දැන් ආරම්භ වී තිබේ. ලබන වසරේ (2013) හය වැනි පන්තියට ඇතුළත් වන දරුවන් සඳහා මේ මොහොතේ සිටම ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව පමණක්‌ නොව සිංහල, විෂයය සඳහා ද උපකාරක පන්ති ආරම්භ කර ඇත. ලබන වසරේ තුන්වැනි පන්තියට පා තැබීමට අපේක්‍ෂා කරන දරුවන් සඳහා ද ඉංග්‍රීසි හා ගණිතය විෂයයන් වෙනුවෙන් උපකාරක පන්ති ආරම්භ කර තිබේ. එක්‌ දෙමවුපියෙක්‌ සිය දරුවා මේ උපකාරක පන්තියකට ඇතුළත් කළ විට සෙසු දෙමවුපියෝ ද සිය දරුවන් ඇදගෙන ඒ කරා ඇදෙති. මෙලෙස පන්ති ආරම්භ කරන බහුතරයක්‌ ප්‍රාථමික ශ්‍රේණිවලට උගන්වන රජයේ පාසල්වල ගුරුවරු ය. පවතින ක්‍රමය හමුවේ උපකාරක පන්ති රැල්ලට හසුනොවන දෙමවුපියෙක්‌ දරුවෙක්‌ වෙත්නම් ඒ ඉතා අල්ප පිරිසකි. ඒ සුළු පිරිසට වුව ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත. ඇතැම් ගුරුවරු පන්ති කාමරයේදී ඉගැන්වීම් නොකරති. එමගින් ඔවුන් අපේක්‍ෂා කරන්නේ තමන්ගේ උපකාරක පන්තියට දරුවන් ගෙන්වා ගැනීමය. උපකාරක පන්තියේදී සිය හැකියාව, දක්‍ෂතාව මුදලට අලෙවි කරන එවැනි ගුරුවරු පාසල් පන්ති කාමරයේදී නිදි කිරමින් මාසය අවසානයේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ද ලබති. උපකාරක පන්තියට නොපැමිණෙන දරුවා කෙතරම් දක්‍ෂයකු වුවත් පන්ති කාමරයේදී කිසිදු සැලකිල්ලකට භාජන නොකෙරේ. සිදුවන්නේ කොන් කිරීමය. දරුවන්ගේ මනස කඩා ඉහිරවන්නේ මනස හැදිය යුතු ගුරුවරයාම වීමේ අභාග්‍යයට මුහුණ දීමට දෙමවුපියන්ට සිදුවී ඇත. එවැනි අවස්‌ථාවන්හිදී දෙමවුපියන් අපේක්‍ෂා කරන්නේ දරුවා මානසිකව ඇද වැටීම වැළැක්‌වීම සඳහා උපකාරක පන්තියට අකැමැත්තෙන් හෝ යොමු කරවීමය. මේ තත්ත්වය සාමාන්‍යකරණය වී තිබෙන බවට දෙමවුපියෝ සාක්‍ෂි දරන්නාහ.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් වසර කිහිපයක්‌ උපකාරක පන්ති කරා දරුවන් යෑවීමේ අරමුණ වන්නේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමය. ඒ වෙනුවෙන් නමක්‌ දිනූ රජයේ පාසල්වල ගුරුවරු ඕනෑ තරම් සිටිති. ද්විතීයික පාසල් දහසේ සංවර්ධනයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට ඇති තරගය අඩු වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය වරින් වර ප්‍රකාශ කළේය. එහෙත් ඒ සංවර්ධනය පිළිබඳව ද එතරම් විශ්වාසයක්‌ තැබිය නොහැකි වන්නේ 'මහින්දෝදය' විද්‍යාගාරයට පමණක්‌ මුල්ගල් තබමින් යන ඉබි ගමන නිසාය. මේ වාතාවරණය හමුවේ දෙමවුපියන්ට ද කළ හැකි යමක්‌ නැත. එහෙයින් ශිෂ්‍යත්ව උපකාරක පන්ති කරා දරුවන් යොමු කිරීමට දෙමවුපියන්ට සිදු වී තිබේ. ඒ අතර දෙවැනි, තුන්වැනි, හතරවැනි ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය යන විෂයයන් සඳහා උපකාරක පන්ති ආරම්භ කරන ගුරුවරයාගේ අරමුණ කුමක්‌ ද? එහි ඇත්තේ 'බිස්‌නස්‌' ඉලක්‌කයකි. මේ 'බිස්‌නස්‌' මානසිකත්වය විසින් දෙමවුපියන් වෙත එල්ල කරනු ලබන පෙළඹවීම අවසානයේ කරකැවෙන්නේ දරුවන් දෙසට ය. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ 'පොතට පමණක්‌ සීමා වෙයව්' යන විධානය දරුවන් මත පටවනු ලැබේ. විභාගය පමණක්‌ ඔවුන්ගේ මනසට කාවැදීමට ඉඩ හරිනු ලැබීමේ කනගාටුදායක ඉරණම හමුවේ දරුවෝ අසරණ වෙති. නිවාඩු කාලයක්‌ උන්ට නැත. කෙළිදෙළෙන් ගත කළ යුතු ඒ වටිනා කාලය උපකාරක පන්තියේ දිය කර හැරීමට ඔවුන්ට සිදුවෙයි. එමෙන්ම 6. 7, 8, ශ්‍රේණිවල දරුවන් ද උපකාරක පන්ති සඳහා යොමු කිරීමේදී දෙමවුපියන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. පවතින රැල්ලට ගසාගෙන නොයන දෙමවුපියන්ට සිය දරුවන්ගේ වටිනා ජීවිත කාලය පොත පතටම පමණක්‌ නොව ජීවිතයට අත්‍යවශ්‍ය වෙනත් ගුණාංගයන් උකහා ගැනීම වෙනුවෙන් යොමු කිරීමට හැකි වනු ඇත.

මීට දෙවසරකට පෙර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කළ සමීක්‍ෂණය අනුව උපකාරක පන්ති සඳහා දෙමවුපියන් ගෙවමින් සිටි රුපියල් දශලක්‍ෂ ගණන අද වන විට දෙගුණ වී ඇතිවාට සැක නැත. එසේ නම් දෙමවුපියන්ට දැරීමට සිදුව ඇති බර සුළුපටු නොවේ. කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැළි වන තාක්‌ උපකාරක පන්ති දඬුඅඬුවේ සිර වීමට දරුවන්ට සිදු වෙයි. උසස්‌ පෙළ විෂයයන් හි කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර කිහිප වරක්‌ ම ප්‍රකාශ කර තිබිණි. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කරන ලෙස යෝජනා කර තිබුණේ ද උපකාර පන්ති ඔස්‌තාර්ලා පිරිසකි. ජාතික අධ්‍යාපන ආයතනයේ ද මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්‌ ම පැවැත්විණි. එහෙත් ජාතියේ වාසනාවට එය ක්‍රියාත්මක නොවීය. ක්‍රියාත්මක වූයේ නම් සාමාන්‍ය පෙළ සිසුන් දැනට යන උපකාරක පන්තිවලට අමතරව තවත් විෂයයන් තුනක්‌ සඳහා උපකාරක පන්ති සොයා ගත යුතුව තිබිණි. උපකාරක පන්ති ඔස්‌තාර්ලා පිරිසකගේ වුවමනාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට තිබූ බව නම් පැහැදිලිය. එම අවශ්‍යතාව පසෙකලා කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාවට නැගීම සඳහා අමාත්‍යාංශය දැන්වත් අවධානය යොමු කළ යුතුය.

හිඟ වැටුප්, උසස්‌ වීම්, විටුප් විෂමතා ඉවත් කිරීම වැනි ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් මේ වන විට සටනක්‌ ආරම්භ කර තිබේ. පසුගිය 4 වැනිදා සංකේත වැඩ වර්ජනයක නිරත වූ ඔවුහු ලබන වසරේ නව පාසල් වාරයේදී සිය සටන තීව්‍ර කිරීමට සූදානමින් සිටිති. එම ඉල්ලීම් සම්බන්ධයෙන් අපට ගැටලුවක්‌ නැත. හිමි විය යුතු දේ හිමි කර දීම බලධාරීන්ගේ වගකීමක්‌ හා යුතුකමක්‌ ද වෙයි. එමෙන්ම උපකාරක පන්ති ව්‍යාපාරයේ රජයමින් දෙමවුපියන් දරුවන් අසරණ කරන සිය සගයන් පාලනය කිරීමේ වගකීමක්‌ ද ගුරු සංගම්වලට තිබිය යුතුය. දෙලක්‍ෂ විසිදහසකට අධික ගුරුවරුන් අතරින් උපකාරක පන්ති මෙහෙයවන්නේ සුළු පිරිසක්‌ බව අපි දනිමු. වගකීම විසිකර මුදල් පසුපසම පමණක්‌ හඹා යන ඒ පිරිස පාලනය කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන්නැයි බලකිරීමට ගුරු සංගම් සූදානම් ද යන ප්‍රශ්නය අප සතුව පවතී.

සිය කාලය, ශ්‍රමය කැප කරමින් මුදල් පසෙකලා මේ රටේ දුවා දරුවන්ට සිප් සතර දෙන අත්‍යන්තයෙන් ම දෙවිවරුන් වන් ගුරුවරු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ පාසල් පද්ධතියේ වෙත්. ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුද කරමු. උපකාරක පන්ති මෙහෙයවන සුළු පිරිසක්‌ නිසා ඒ ගෞරවය ද කෙළෙසී යනු දැකීමට රිසි නොවෙමු.


නිලන්ත මදුරාවල-divaina

Saturday, December 8, 2012

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීමේ සූදානමක්


''අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මාලඹේ දාලා තියෙන හින්ද නෙවෙයි. උපාධිය ලක්ෂ 65 ක් හින්ද නෙවෙයි. ඒක නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දාල තියෙන හින්ද නෙවෙයි.අපි පෞදගලිකරණයට විරුද්ධ පැහැදිලි පදනමක ඉඳලා. ඒක නිසා නෙවිල් ප්‍රනාන්දු ඒක කලත් අපි විරුද්ධයි. ගොඨභය රාජපක්ෂ ඒක කලත් අපි විරුද්ධයි. අපි ඊට විරුද්ධව සටන් කරනවා''

යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසුවේය. ඒ මරදාන සමාජ හා සාමුහික කේන්ද්‍රයේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :-

"වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් අපි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පසුගිය කාලය මුළුල්ලේ අරගල කළා.මේ වන විටත් අරගල කරමින් ඉන්නවා. ඒ පැහැදිලි පදනමක් මත ඉඳගෙන. ආණ්ඩුව උත්සහ කරනවා පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකරමින්, ප්‍රතිපාදන කප්පාදු කරමින් , පාසල් වසා දමමින් රටේ අධ්‍යාපන ක්‍රමය බවට පෞද්ගලික අධ්‍යාපනය පත්කිරීමට. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එහි නියමු ව්‍යාපෘතිය ලෙසිනුයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි මාලඹේ උපාධි කඩය වසා දැමිය යුතුයි කියන දැඩි අධිෂ්ඨානශීලි අරගලයකට වෛද්‍ය ශිෂ්‍යන් අවතීර්ණ වෙලා ඉන්නේ.

දැන් තවත් ගැටළුවක් මතුවෙලා තියෙනවා. ඒ තමයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නම් ආයතනය පිළිබඳව ගැටලුව. මීට වසර 03 කට පෙර එහි වෛද්‍ය උපාධි පාඨමාලාවක් ආරම්භ කළා. එහි තර්කානුකුල පදනම ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ආරක්ෂක අංශ වලට වෛද්‍යවරු අවශ්‍යයි කියන ඒක. නමුත් රට තුල ඒ සඳහා ක්‍රමවේදයක් තිබුනා. රටේ දරුණු යුද්ධයක් පවති කාලෙකවත් එහෙම ආයතනයක් ඉදිරිපත් නොකර,ආරක්ෂක අංශවලට වෛද්‍යවරු ගැන අමුතුවෙන් කතා කිරීමේ ගැටළුවක් තිබුනා. තවත් කාරණයක් තමයි මෙහි කණ්ඩායමක සිසුන් 25 දෙනයි බඳවා ගන්නේ. සිසුන් 25 කට මොකටද වෙනම වෛද්‍ය පීඨයක් කියල ගැටළුවකුත් තියෙනවා. ඔවුන් ඇතුලත් කරගන්නේ සම්මුඛ පරීක්ෂණ 5 කින් අනතුරුව, සැම ශිෂ්‍යයෙක්ම රුපියල් ලක්ෂ 186 ක වත්කම් සහතික පෙන්නුවට පස්සේ'

ඒ වගේම තමයි සිසුන් හා ආයතනය අතර ගිවිසුම උනේ වසර 10 ක් ආරක්ෂක අංශ වල පමණක් සේවය කල යුතුයි කියන කාරණය. බරපතල ගැටලුව තමයි ඔවුන් ක්‍රමවේදයක් හදලා තියෙනවා රුපියල් ලක්ෂ 31 ක් ගෙවලා එම ගිවිසුමෙන් නිදහස් වෙන්න.

දැන් අපි විශේෂයෙන් ඒ ගැන කතා කරන්නේ මේ වෙද්දී නොනිල තොරතුරු ලැබිල තියෙනවා ඉදිරි වසර වල මෙයට සාමාන්‍ය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස සිසුන් බඳවා ගන්න බවටත් වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරන බවටත්. මේ වන විටත් මෙමගින් රාජ්‍ය සරසවි වලට තර්ජනයන් එල්ල වෙලා තියෙනවා. රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පමණක් ආචාර්ය වරු 8 දෙනෙක් මෙහි සේවය කරනවා.ආචාර්ය වරයෙක් මුළුමනින්ම ඉවත්වෙමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා.කොළඹ ජාතික රෝහලේ සායනික පුහුණුවටත් මෙහි සිසුන් පැමිණෙනවා. ඒ හරහා ගැටළු මතුවෙලා තියෙනවා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට.

තවත් දෙයක් තමයි පසුගිය සිකුරාදා 30/11/2012 වෙනිදා වෛද්‍ය පීඨධිපති හා ආරක්ෂක ලේකම් වරයා අතර සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. අපි අහනවා මොකද්ද ආරක්ෂක ලේකම්ට වෛද්‍ය පීඨ වල විතරක් විසඳන්න තියෙන ආරක්ෂක ගැටලුව. හරි පැහැදිලියි. මේ හදන්නේ PMC ආරම්භ කරන්න. මාලඹේ ව්‍යාපෘතියෙන් පස්සේ කොකටත් තෛලය වෙච්ච ආරක්ෂක අංශ පාවිච්චි කරලා අධ්‍යාපන පෞද්ගලික කරගන්න. අපි එකට ඉඩදෙන්නේ නැ.

අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. නෙවිල් ප්‍රනාන්දුට අපි විරුද්ධ වෙනවා.ගොඨභය රාජපක්ෂ ටත් අපි විරුද්ධ වෙනවා.

ඉදිරියේදී වරක් පරාජය කරපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනතත් ආයේ ඉදිරිපත් කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. අධ්‍යාපනයට වෙන්කළ මුදල 1.5% දක්වා අඩු කරලා.ආණ්ඩුවට අධ්‍යාපන පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය විකිණිම. වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම.

ඉදිරියේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදියට දැවැන්ත ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම අනෙක් අධ්‍යාපන සංහාරයට එරෙහිව සියලු බලවේග ගෙන දැවැන්ත ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා.

ඉතිහාසය දැවැන්ත කැපකිරීමක් කරලා අධ්‍යාපනය රැකගන්න අපි සිටිනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා."

මෙම අවස්ථාවට කොළඹ හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලන්හි වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරුන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

Thursday, December 6, 2012

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු ! - IUSF/FUTA

යාපනය විශ්වවිද්‍යාලය තුළ වර්ථමානය වන විට උද්ගතව ඇති තත්වය පිළිබඳව දැනුවත් කිරීමට හා අත්අඩංගුවට ගෙන සිටින සිසුන් නිදහස් කරන ලෙස බලකරමින් අ.වි.ශි.බ.ම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය 03 වැනිදා ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.


එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

මීට දින කිහිපයකට උඩදී අප දැනුවත් කළ පරිදි මේ වන විට යාපනය විශ්වවිද්‍යාලය තුළ මතුවී ඇත්තේ ඉතාමත් බරපතල තත්වයක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට හා ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව රජයේ ආරක්ෂක අංශ විසින් බරපතල මර්දනයක්, ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තියෙනවා. මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා ඇතුළු ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් 4 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් ශිෂ්‍ය නායකයින් ගණනාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල මෙහෙයුමක් ක‍්‍රියාත්මකයි.

ගණකාධිකරණ පීඨයේ සභාපති දර්මන් හා විද්‍යා පීඨයේ සොලමන් යන සහෝදරවරුන් පසුගිය 30 වෙනිදා දහවල් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ ඔවුන්ට විරුද්ධව පැමිනිල්ලක් විභාගකිරීමට ඇතැයි කියමින්  කෝපායි පොලිසිය කළ කැඳවීමකට අනුව  පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදීයි. මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශනාත් හා ගනේෂලිංගම් සුදර්ශන් යන සහෝදරවරුන්ව පසුගිය 30 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ නිවෙස්වලට පැමිණ අත්අඩංගුවට ගෙන තියෙනවා. දැනට දින දෙකකට වඩා වැඩි කාලයක් ගතවී ඇතත්  තවමත් ඔවුන්ව කිසිදු අධිකරණයකට ඉදිරිපත් කිරීමට හෝ නිදහස් කිරීමට කටයුතු කර නැහැ. විශ්වවිද්‍යාලය අවට විශාල හමුදා සෙබළුන් ප‍්‍රමාණයක් රඳවා තබමින් යුධ පිටියක වැනි ස්වභාවයක් ඇති අතර යාපනය නගරය තුළ විශාල මර්දනයක් ක‍්‍රියාත්මකයි. 28 වෙනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයො සිදුකරපු උද්ඝෝෂණයට එල්ලකරන ලද අමානුෂික ප‍්‍රහාරය වගේම මේ විදිහට බොරු චෝදනා එල්ල කරල  ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයො අත්අඩංගුවට ගැනීමත්  අවිශිබම ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි අත්අඩංගුවට ගත් මේ සියළුම සහෝදරවරු වහාම නිදහස් කරන්න කියන බලපෑමත් යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට නිදහසේ ඉගෙන ගත හැකි වටපිටාවක් නිර්මාණය කරන්න වගේම දිගින් දිගටම ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සිදුකරන බලපෑම නතරකරන්න කියන බලපෑමත් අපි ආණ්ඩුවට කරනවා.

ආණ්ඩුව උතුරේ මර්දනය ක‍්‍රියාත්මක කරන අතර තුර ඒ සියලූ සැහැසිකම් දකුණේ ජනතාවට සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගනිමින් ව්‍යාජ ප‍්‍රචාරයන් දියත්කරනවා.  දකුණේ ජනතාව සිය අයිතීන් වෙනුවෙන් අරගල කරද්දීත් අනුගමණය කලෙත් ඒ ප‍්‍රතිපත්තියම තමයි.

ගෙවුණු වසර තුනකට අධික යුද කාලීන වකවානුව  තුළ උතුරු නැගෙනහිර පළාත් තුළ විශාල වශයෙනුත් දකුණේ යම් යම් ප‍්‍රදේශවලත් සිංහල දෙමළ මුස්ලිම් සියලූම ජාතික ප‍්‍රජාවන්ට එරෙහිව විශාල ත‍්‍රස්තවාදයක් දෙපාර්ශවයෙන්ම ක‍්‍රියාත්මක වූනා. LTTE සංවිධානය පැත්තෙන් වගේම රජයේ පාර්ශවයෙනුත් ක‍්‍රියාත්මක වුණු ත‍්‍රස්තවාදය එතරම්ම භයානකයි. මේවන විටත් රජය උතුරෙදි වගේම දකුණෙදිත් ක‍්‍රියාත්මක කරමින් තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මානව නිදහසට එරෙහි ත‍්‍රස්ත‍්‍රවාදයම තමයි. අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට කවාරාකාරයකවත් ත‍්‍රස්තවාදයක් අනුමත කරන්නේ නෑ. කවුරු කළත් ත‍්‍රස්තවාදය ත‍්‍රස්ත‍්‍රවාදයමයි. අද යාපනය තුළ ක‍්‍රියාත්මක වෙන  ත‍්‍රස්තවාදයක් තියෙනවා. ඊට එරෙහිව අපි කොන්දේසි විරහිතව අපගේ විරෝධය ප‍්‍රකාශකරනවා.  ත‍්‍රස්තවාදයට අපි විරුද්ධ බව ඇත්ත නමුත් දෙමළ ජනතාවට සිතන්න පතන්න තියෙන අයිතිය, ඔවුන්ගේ  විශ්වාසයන්  හා ඇදහිලි සඳහා ඔවුන්ට තියෙන අයිතිය, ඔවුන්ගේ මිනිසුන් සමරන්න තියෙන අයිතියට අපි ගරුකරනවා. මොකද ඒවා මානුෂීය කාරණා. ඒවට බලපෑම් කරන්න කිසිවකුටත් අයිතියක් නෑ. ඒවා තීරණය කිරීමේ අයිතිය රජයට පවරන්න කොහෙත්ම අපි එකඟ නෑ. ඔවුන් හිතන විදියට, ඔවුන්ගෙ විශ්වාසයන්ට, ඔවුන්ගෙ වීරයන්ට අපි එකඟ නොවෙන්න පුළුවන් ඒත් ඔවුන්ට එහෙම කරන්න එපා කියලා බලපෑම් කරන්න අපට තියෙන අයිතිය මොකද්ද? මැරුණු මිනිස්සු හරිද වැරදිද, ඔවුන්ගෙ මතවාදයන් අපි පිළිගන්නවද නැද්ද ඒදේවල් කුමක් වුවත්  දෙමළ ජනතාවට තමන්ගේ මියගිය මිනිසුන් සමරන්න අයිතියක් තිබෙනවා. ඒක උතුරේ ජනතාවට විතරක් නෙවෙයි දකුනේ ජනතාවටත් තියෙනවා. එවැනි සැමරුම් කරන එක නෙවෙයි ත‍්‍රස්තවාදය කියල කියන්නේ  ඒ අයිතිය ප‍්‍රචන්ඩත්වය යොදාගෙන වලක්වන එකයි. ආණ්ඩුව මේ කරන දේවල් වලින් යළිත් රට තල්ලූ කරමින් තිබෙන්නේ ජනඝාතක ජාතිවාදී යුද්ධයක් දෙසටයි. ජාතිවාදයන් කිසිවක් තනිව පවතින්නේ නෑ. මේවා එකිනෙකට අන්තර් සම්බන්ධිතයි. එක ජාතිවාදයක් පෝෂණය කරද්දී අනික් ජාතිවාදයත් පෝෂණය වෙනවා. රජය මැදිහත් වීමෙන් බොදුබල සේනා වැනි සංවිධාන හරහා මුස්ලිම් විරෝධී ජාතිවාදයක් හදන්න හදනවා. ඒ වගේම දෙමළ ජනතාවට විරුද්ධ ජාතිවාදයක් හදනවා. මෙය ඉතාම භයානක තත්ත්වයක්. අපි දන්නවා අවුරුදු 30 ක් තිස්සේ දෙකොන ඇවිලූණු යුද්ධයක් තිබුණා. දැන් මේ හදන්නෙ තුන්කොනම අවුලූවපු යුද්ධයක් වෙත රට තල්ලූ කරන්න. මේ විනාශයෙන් රටත් සමාජයත් ගලවා ගැනීමේ වගකීමක් අපි ඔබ කාටත් තියෙනවා. අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට මේ ජාතිවාදී අගුලේ නොවැටී අන්‍යෝන්‍ය විමුක්තිය නිදහස වෙනුවෙන් සටන් වැදිය යුතුයි. මෙහිදී සිංහල ශිෂශ්‍යා සිංහල ජාතිවාදයෙන් මිදිය යුතුයි වගේම දෙමළ ශිෂ්‍යාටත් විශාල වගකිමක් තියෙනවා අන්තවාදයන්ට තල්ලූ නොවී සිය අයිතීන් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් දකුණ හා අත්වැල් බැදගත යුතුයි. ඒ වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට අපි කොන්දේසි විරහිතව සටන් කරන්න සුදානම්. අපි  ආණ්ඩුවට බලකරනවා අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු 4දෙනාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ඔවුන් වහා නිදහස් කරන ලෙස. යාපනය විශ්වවිද්‍යාලයට සිදුකරන ආරක්ෂක අංශ මැදිහත්වීම් වහාම නවත්වල ඔවුන්ට නිදහසේ ඉගෙනගන්න ඉඩදිය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා,

පසුගිය සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවු තත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ් බරපතල අවධානය යොමුවී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මෙම තත්වය අළුත් තත්වයක් නොවෙයි. පසුගිය කාලය පුරාම යාපනයේ ජන ජීවිතයට එල්ලවී ඇති බරපතල රාජ්‍ය මිලිටරීකරණයේම තවත් එක අවස්ථාවක්්. රජයේ මැදහත් වීම ඇතුළෙ දකුණේ මාධ්‍ය වල පලවන තොරතුරු අනුව නැවත කොටි ත‍්‍රස්තවාදය හිස එසවීමට ගත් උත්සහයක් ලෙසයි. එයට දකුණේ සිංහල බෞද්ධ සමාජයේ පොදු එකඟතාවක් ඇති බවක් පේනවා. උතුරේ මේ තත්වය අපිව නැවත ගෙනයනවා ජේ. ආර් ජයවර්ධන යුගයට. උගත් පාඩම් ප‍්‍රතිසංවිධානයක් ගැන පසුගිය කාලයේ කතා කරා. කේ. පී රාජ්‍ය වරප‍්‍රසාද විදීම පිළිබඳ ප‍්‍රශ්න කරපු වෙලාවක රජයේ ඇමති වරයෙක් එය ජනවර්ග අතර සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීම ලෙස පිළිතුරු ලබා දුන්නා. මේ රජය එවැනි ප‍්‍රවේශයක් යාපනයේ සාමාන්‍ය ජනයා, විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි?

රජය කතා කරන්නේ ජාතීන් අතර එකඟතාව, සහෝදරකම, සහජීවනය, සමගිය පිළිබඳව. එය සැබෑවක්ද කියලා පොදු ජනතාවගේ ඇස් අරවන්න යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීමම ප‍්‍රමාණවත් කියලයි මට සිතෙන්නේ. 71හා 89 අරගල කරපු සහෝදරවරුන්ටත් ත‍්‍රස්තවාදී ලේබලය ඇලෙව්වා. නමුත් අදටත් ඔවුන් සැමරීම සිදුකරනවා. නමුත් කනගාටුව තමයි රජය දමිළ ජනතාවට සම්බන්ධයෙන් එවැනි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම. ඔවුන්ට තමන්ගේ මියගිය ජනතාව සමරන්න ඇති අයිතිය උල්ලංඝනය කරලා තිබෙනවා. මෙසේ වන්නේ උතුර පිළිබඳ දකුණේ ජනතාව සිතන ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙන නිසා. උතුරේ ජනතාව දකුණට අවශ්‍ය විදිහට සිතිය යුතුයි කියා සිතීමම වැරදියි.

ඔවුන් හමුදාවේ මැදිහත් වීම් පිළිබඳව දැඩි කෝපයකිනුයි පසුවන්නේ. එනිසා ඔවුන්ට එරෙහිව හමුදාවේ මෙම අත්තනෝමතික මැදිහත්වීම් භයානක ප‍්‍රතිඵල ගෙනෙන්න ඉඩ තිබෙනවා. දකුණ තරම්වත් යාපනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩක් නැහැ. උතුර මුළුමනින්ම මිලිටරීකරණය වු නගරයක්. ඒ ජනතාව තුළ ආණ්ඩුවට එකගතාවක් නැහැ. එවැනි තත්වයක් තුළත් උතුරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුවේ මැදිහත්වීම මේ ආකාරයේ නම් එය අනාගතයේ වඩාත් දරුණු ප‍්‍රතිඵල ඇතිකරාවි. ඒ වගේම විශ්වවිද්‍යාල තුළට දේශපාලන මැදිහත්වීම් නවත්වන්න කියලා ආචාර්යවරු ලෙස අපි පහුගිය කාලය පුරාවටම අරගලකලා. උපකුලපතිවරු ආණ්ඩුවේ ගැත්තන් බවට පත්ව ඇති නිසා මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ. අපි මේ තත්වය හෙළා දකිනවා. මෙය විශ්වවිද්‍යාල වල ප‍්‍රශ්නයක් නෙමෙයි පොදුවේ සමාජයක් ලෙස මුහුණදෙන ගැටළුවක්. මේ පිළිබඳව සමාජයක් ලෙස අපි අවධානය යොමුකර යුතුයි කියලා අපි කියනවා.