Saturday, September 8, 2012

සරසවි වසා තිබියදී රුහුණු ඉංජිනේරු සිසුන් රෝහලක් ප්‍රති සංස්කරණය කරයි

මේ ඔවුන් අප වෙත එවා තිබූ සටහනයි.

වර්තමානයේ සිට අනාගතය දක්වා දිවෙන්නා වූ පාලමක් වේ නම් එම පාලමේ අත්තිවාරම සැකසෙන්
නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන සුවහසක් විද්‍යාර්ථීන්ගේ දෑතෙනි. මෙය අතිශෝක්තියක් නොවන්නේ එයට සාක්ෂි ඕනෑ තරම් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ දා සිට අද දක්වා ඇති බැවිනි. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය කුමක් ද ? මෙය සලකා බැලීම වටී.

මෙම අර්ථ දැක්වීම යථාර්ථයක් බවට පත් කිරීමට රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන් වන අප උත්සහ කරන්නේ අප විශ්වවිද්‍යාලයට ඇතුලත් වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලක අබලන්ව අත්හැර දැමු වාට්ටුවක් ප්‍රති සංස්කරණය කිරීමෙනි. පළමු වසර අවසානයේ ගිංතොට ධර්මපාල විදුහල ප්‍රති සංස්කරණය ලා අති මහත් දායකත්වයක් දැක්වූ අප ශිෂ්‍ය කණ්ඩායමේ මෙවර අවධානය යොමු වුයේ හබරාදුව ප්‍රදේශ‍යේ දුෂ්කර රෝහලකට ය . ගම් වැසියන් දිනපතා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන මෙම රෝහල වග කිව යුතු කිසිවකුගේ අවධානය යොමු නොවී ඉතා දීර්ඝ කාලයක් අබලන් තත්වයේ පැවතුන වාට්ටුව පිළිසකර කර දෙන මෙන් එම රෝහලේ අධ්‍යක්ෂක තුමා කල ඉල්ලීමට අනුව 2012 අගෝස්තු මස 22 වැනිදා බ්‍රහස්පතින්දා දින අප ශිෂ්‍ය කණ්ඩායමේ සහෝදර සහෝදරියන් ප්‍රති සංස්කරණ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

කඩතොළු වී ජරාජීර්ණ වී ගිය වාට්ටුවේ බිත්ති පිළිසකර කර තීන්ත අලේප කෙරුනේ අපගේම දෑත් වලිනි. මීට අමතරව එම වාට්ටුවේ තිබු අබලන් ඇඳන්, කබඩ්, විදුලි පංකා ආදී සියල්ල අලුත්වැඩියා කොට තීන්ත ආලේප කොට අංග සම්පුර්ණ වාට්ටුවක් බවට පත් කළෙමු. 2012 අගෝස්තු මස 25 වැනිදා සෙනසුරාදා දින අප සහෝදර සහෝදරියන් එම වාට්ටුවේ වැඩ කටයුතු සියල්ල අවසන් කරන් විට ගම් වැසියන්ගේ හා රෝහල් කාර්ය මණ්ඩලයේ ඉමහත් පැසසුමට ලක්ව තිබුණි . අබලන්ව ජරාජීර්ණ වී ගිය වාට්ටුව ප්‍රති සංස්කරණය කොට නැවත භාවිතා ගැනීමට හැකි වන් පරිදි රෝහල් කාර්ය මණ්ඩලයට‍ භාර කෙරුනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාගේ සැබෑ යථාර්ථවාදීත්වය ඔවුන්ට‍ පසක් කර දෙමිනි.

මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සැපවූයේ අප ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරි වන අතර වැය වූ සම්පුර්ණ ද්‍රව්‍ය සදහා වැය මුදල රු 30,000 පමණ වුවත් ශ්‍රම දායකත්වය හා සමග සලකා බලන කල එය මුදලින් මිල කල නොහැකි බව සියල්ලන්ගේම අදහස විය. දින සතරක් වැනි කෙටි කාලයක් තුල සාර්ථකව නිමා කල හැකි වූ අපගේ කර්ත්‍යවයේ අවසන් දිනයේදීය අප සහෝදර සහෝදරියන්ගේ නෙතඟට කඳුළු පැන නැගුනේ දෑතින් පිළිසකරවූ වාට්ටුව තුල තවත් බොහෝ කාලයක් සුවපත් වන රෝගීන් සිහියට නැගීමෙනි. 

විශ්වවිද්‍යාල තුල අනෙකුත් පීඨ මගිනුත් මෙවැනි තවත් බොහෝ ක්‍රියාකාරකම් සිදු කරන මුත් විවිධ බලපෑම් මගින් ඒවා සමාජ ගත වීම වලක් වනු ලබන හෙයින් එම කිසිවක ගෞරවය විශ්වවිද්‍යාල සිසුවාට නොලැබේ. එහෙයින් අප විසින් මල්ඵල ගන්වනු ලැබූ මේ සාර්ථක ව්‍යායමය සමාජය තුල විශ්වවිද්‍යාල සිසුවා කෙරේ පවතින විවිධ දුර්මත දුරු කර හැරීමට මහත් රුකුලක් වන බව අප තරයේ විශ්වාස කරමු. අවසන් වශයෙන් අපගේ මෙම ව්‍යායමය සාර්ථක කර ගැනීමට අනෙකවිධ බාධා කම්කටොලු මැද මුදල්මය හා ශ්‍රම දායකත්වය සැපයූ රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසර සහෝදරත්වයට හද පිරී ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමු. එමෙන්ම අප සමඟ නිරතුරු රැඳුණු රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයට හා ජේෂ්ඨ සහෝදරත්වයට අප ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

චේ ලියයි....

මතක තබාගන්න, අරගලයේ බොහෝ වර්ෂයන් එළඹෙන්නට නියමිත ඉදිරියටයි. ඔබ වැඩුණු ගැහැණියක වූ පසු, ඔබට ද අරගලය වෙනුවෙන් වූ ඔබේ කොටස ඉටු කරන්නට සිදු වෙනු ඇත. එතෙක් සූදානම් වන්න! ඔබේ වයසේ දී විප්ලවකාරී වීම යනු, හැකි තරම් හොඳින් ඉගෙන ගැනීමත් සාධාරණය වෙනුවෙන් පෙනී සිටීමත් ය.


ඔබ නිතරම පාසැලේ හොඳම ළමුන් අතර රැඳීමට වෑයම් කළ යුතුයි. අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම විප්ලවීය ආකල්ප අතිනුත් ඔබ "හොඳම" දරුවෙකු විය යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම්, යහපත් හැසිරීමෙන්- විප්ලවය කෙරෙහි වූ ආදරයෙන් - සහෝදරත්වයෙන් ඔබ "හොඳම" විය යුතුයි. මා දරුවෙකු කාලයේ මට එසේ වන්නට නොහැකි වූවා; අප ජීවත් වූයේ මිනිසා මිනිසාගේම සතුරෙකු වූ වෙනස් සමාජයකයි. දැන් ඔබ වෙනත් යුගයක ජීවත් වීමේ වරප්‍රසාදය ලබා තිබෙනවා. ඉන් ඵළ නෙලා ගැනීම ඔබේ වගකීමයි.

[1966 පෙබරවාරි 15 දා චේ සිය දියණිය හිල්දිතාට ඇගේ දහ වැනි උපන්දිනය දා යැවූ ලිපියෙන්.]

Thursday, September 6, 2012

SB, බන්දුල ගෙදර යවමු...?

මේ දවස් වල අපේ සටන් පාඨය වෙලා තියෙන්නේ මේක නේද? නමුත් එතනින් එහා ගිය දෙයක් ගැන සමාජයට කියන්න වෙන බව අපට හිතුනා.. ඇත්තටම මේ දෙන්න ගියාම මේ ප්‍රශ්නේ විසඳෙයි ද? ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ රට කන්නේ ඇමති මණ්ඩලය විතරයි කියල නේ. අපේ ඇති ගරු ජනාධිපතිතුමා මේවා කිසි දෙයක් ගැන දන්නේ නෑ කියල. සමහරු කියනවා එතුමා දන්නවා නම් විශ්වවිද්‍යාල සිසුන්ට අර දෙන්න කරන කෙනෙහිලි කම්, උන්ව මරල දාවය කියල.. ඒත් ඇත්ත එක නෙවෙයි කියන එක අපි තේරුම් ගන්න ඕන..

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන, වත්මන් විශ්වවිද්‍යාල සිසුවෙක් අනාගතේ දවසක උසස් අධ්‍යාපන ඇමති උනොත්, අපි හිතනවා ඔහු නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරාවිය කියල. එහෙම බැලුවම SB මහත්තයත් ඔය හරිය කරන්න එපැයි. එතුමාගේ අතීතය අපි දන්නවනේ. ඒත් එතුමත් එහෙම නොකරන්නේ, එතුමාට තව කෙනෙක් ගේ අණක් ක්‍රියාත්මක කරන්න සිද්ද වෙලා තියෙන නිසා. එතකොට නියම වැරදි කාරයා අණ දෙන මිනිහ මිසක් ක්‍රියාත්මක කරන මිනිහ නෙවෙයි. එහෙමයි කියල අපි SB මහත්තයව සුද්ධ කරන්න ඕන නෑ. එයත් වැරදියි. හැබැයි එයාගේ පිටින් අධ්‍යාපනය වැනසීමේ කුණු හෝදගෙන, පිවිතුරුව ඉන්න හදන, හැබෑ වැරදි කාරයව අඳුරගන්න අපි සමාජයට ඉඩ තියන්න ඕන. එහෙම නැතුව SB, බන්දුල ගෙදර යවල විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. එහෙම උනොත් වෙන්නේ, මේ තනතුරු දෙකට පත්වෙන ඊළඟ දෙන්න මීටත් වඩා සරුවට කන්න පටන් ගනීවි..

ඒ නිසා, "SB, බන්දුල ගෙදර යවමු..!!" කියන සටන් පාඨයට තවත් එකතුවෙන්න තියෙනවා නේද?