Saturday, October 20, 2012

කර්නල් විදුහල්පතිලා

පන්නිපිටිය ධර්මපාලය ඉදිරිපිටම විශාල ඩිජිටල් කටවුට් එකකි. එහි විමලසේන විදුහල්පතිතුමා කර්නල් විදුහල්පති වෙලාය. කර්නල් තොප්පිය සහිත හමුදා නිල ඇඳුමින් සැරසී ඉන්න එතුමාගේ ඡායාරූපය දැක්කාම දුකේ බැරිය. විදුහල්පතිතුමාගේ සුදු ඇඳුම ඇඳලා පාසලේ ටයිපටය බැඳලා වෙනදාට තියෙන විදුහල්පති තේජස කර්නල් ඇඳුමේ අහලකවත් නැතිය. කර්නල්කමට ඇඳලාට වඩා අන්දලා වගේය. කැමැත්තෙන් කර්නල් වුණ පෙණුමක්නම් විමලසේන විදුහල්පතිතුමාගේ මූණේ නැතිය. කැමැත්තට වඩා බයට කර්නල් වෙලා වගේය. බයට කර්නල් වුණ මුහුනක හැටි හිතා ගත හැකිය. ඇති විදුහල්පතිකම වෙනුවට නැති කර්නල්කමකට ඇන්ඳාම එහෙමය. ඇඳුම කර්නල් වුණාට මුහුණ විමලසේනමය. අනේ පවුය. අපේ රටේ හැම හෙණේම අධ්‍යාපනයටමය. හැම එකාම අධ්‍යාපනයටම මූත‍්‍රා කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුමය.

ආණ්ඩුව තෝරාගත් විදුහල්පතිවරු පිරිසක් කර්නල්කමට ඇන්දුවාය. පසුගියදා පදක්කම්ද පැළැන්දුවාය. ඒ බොහෝ දෙනා කොළඹ හා ප‍්‍රධාන නගර ආශ‍්‍රිත ජාතික පාසල්වල විදුහල්පතිවරු හා වරියන්ය. විදුහල්පති නම ඉදිරියට කර්නල් දුන්නේ ඇයිදැයි ජනතාවට දැනගැනීමට අයිතියක් තිබේය. ආණ්ඩුව කියන්නේ, විනය පිරිහිලා නිසා විනය තකා කර්නල් කළා කියලාය. විනයනම් පිරිහී ඇත්තේ පාසලේ විතරක් නොවේය. පාසල එක තැනක් විතරය. එතනත් කර්නල් පට්ටම දී තියෙන්නේ, විනය රකින අයටම දැයි වෙනම සොයා බැලිය යුතුය. පාසල්වලට ළමුන් ඇතුළත් කරද්දී ලක්ෂ ගණනින් පගාව ඉල්ලන්නෙත් ඔය ඇතැම් විනය රකින ලොකු තැන්වලින්මය. දැන් ළමුන් ඇතුළත් කරද්දී විදුහල්පතිලා වෙනුවට කර්නල් විදුහල්පතිලා ඒ වැඩේ කරන්න ගියාම මරේ මරුය. එතකොට ඒ අය ගෙනියන්න වෙන්නේ සාමාන්‍ය උසාවියට නොව හමුදා අධිකරණයටදැයි දන්නේ නැතිය.

විනය පිරිහීම කර්නල් පැළඳීමෙන් විසඳිය හැකිද යන්නත් ගැටලුවක්ය. ඒ, පිරිහීම ඇත්තේ, පාසලේ විතරක් නොවන නිසාය. පිරිහීම රට පුරාය. සමාජය තුළමය. එහෙමනම් උත්තරය මුළු රටම හමුදාකරණය කිරීම දැයි වෙලාවකට හිතෙනවාය. පාඩුවේ හිටපු විදුහල්පතිවරු හදිස්සියේම කර්නල් තනතුරුවලට කැඳවූයේ රටම හමුදාකරණය කිරීමේ ආරම්භයක් ලෙසටදැයි හිතෙනකොටත් බයය. ඒත් හිතෙන එක නවත්තාගන්නට බැරිය.

විදුහල්පතිලා කර්නල් විදුහල්පතිලා වන විට අධ්‍යාපන ඇමති බෑයෝ අඳින්නේ, කාටදැයි හිතා ගත හැකිද? ඔවුන් නිල ඇඳුම නොඇන්දත් දැනටමත් හමුදාපතිවරුන් වගේමය. පාසලේ ගුරුවරුන්ටත් හමුදා තනතුරක් දුන්නාම සියල්ල ඉවරය. කලින් ළමුන්ගේ කණ පලන්නේ ගුරුතුමාය. දැන් කෝප‍්‍රල්ය. ලුතිනන්ය. කර්නල්ය. දේශපාලන පත්වීමෙන් ඉහළ ආ අධ්‍යාපන අධ්‍යක්ෂකලාද බි‍්‍රගේඩියර්ලාට ඇන්දත් අපටනම් පුදුමයක් නැතිය.

ඉතිහාසයේදී කර්නල්කමට අන්දපු නැති හැබෑම කර්නල්ලා විදුහල්පතිවරු ලෙස සිටියාය. ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් විදුහල්පතිවරයෙකු වූ කර්නල් කුඩලිගම මහතා එවැන්නෙක්ට හොඳම උදාහරණයක්ය. ඒ කර්නල්කමට ඇඳලා හෝ අන්දවලා නොවේය. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සිටම ඉහළට පැමිණි සැබෑම කර්නල්වරුය. දවස් පහක පුහුණුව සහිත බ්‍රොයිලර් කර්නල්ලා නොවේය. නූතන කර්නල්ලා කුඩලිගමලාට අලගු තියන්නවත් මදිය. ගෝඨාභය මහතාගේ කර්නල්ලා බී කර්නල්ලාය. බී කිව්වේ බ‍්‍රාවෝ කර්නල්ලා නිසා නොවේය. ‍බ්‍රොයිලර් කර්නල්ලා නිසාය.

ලංකාවේ අධ්‍යාපනයට ඇති එකම ප‍්‍රශ්නය විදුහල්පතිලාට කර්නල්කම නොතිබීම නොවේය. විවෘත ආර්ථිකය බෝකළ සියලු විෂබීජ පාසලට පැමිණීම විදුහල්පතිලා කර්නල් කිරීමෙන් නතර කළ නොහැකිය. අද පාසල් ළමුන්ගේ ‘වින්දනය’ පිරිමැසීමට මදන මෝදක, කැහි බොහෙත් ප‍්‍රමාණවත් නැතිය. ෆාමසිවල ඇති මානසික රෝගීන්ට දෙන බෙහෙත් ගිලින තරමට තත්වය බරපතළය. දරුවෙකුට ජංගම දුරකථනයක් නැතිනම් ඒක දෙමව්පියන්ගේ තත්වයට හොඳ මදිය. ඒ නිසා අන්තර් ජාල පහසුකමද ඇති දුරකථනය දරුවාට දෙන තාත්තා හොඳම තාත්තාය. ඒ දරුවෝ දරුවෝ නිල් චිත‍්‍රපටි බලනවා විතරක් නොවේය. විදුහල්පති කර්නල්ලා නොදන්නා බොහෝ දේ දැන් ළමයි දන්නවාය. ඒ ධනවාදයේ නූතනත්වයට හා දෙමව්පියන්ගේ අදට ගැලපෙනකමට පින් සිදු වෙන්නටය.

විදුහල්පති කර්නල් වූ පලියට ජල පහසුක්ම් නැති පාසලට ඒ පහසුකම ලැබෙන්නේ නැතිය. ගමට තාමත් කැකිරිමය. ඒ අසාධාරණකම් නොඉවසන දරුවෝ සහ දෙමව්පියෝ එරෙහිව නැගී සිටින විට ඒවාට මුහුණදීමට දින පහේ පුහුණව නම් බොයිලර් කර්නල්ලාට හොඳටම ප‍්‍රමාණවත් මදිය. යුද්ධය පැවති කාලයේත් විමලසේන විදුහල්පතිතුමා පන්නිපිටිය ධර්මපාල විදුහලේ විදුහල්පතිමය. දැන් යුද්ධය ඉවරය. විදුහල්පති විමලසේන දැන් කර්නල් විදුහල්පතිය. මේ විදිහටම කර්නල් දොස්තරලාද හැදිය හැකිය. ඒ රෝහල්වල බෙහෙත් හිඟට උත්තර හොයන්නට නොව රෝහලේ පාලනයටය. කර්නල් ප‍්‍රාදේශීය ලේකම්ලා හා කෝප‍්‍රල් ග‍්‍රාමසේවකලාද නරකම නැතිය. නීති හදන තැන පාර්ලිමේන්තුවය. එතන නිකම්ම මන්ත‍්‍රීලා ඉඳලා වැඩක් නැතිය. කර්නල් මන්ත‍්‍රීලා පත්කළ හැකිය මරේ මරුය. නැවතත් කරුණාට කර්නල් කරුණා අම්මාන්ම විය හැකිය. මර්වින් සිල්වාත් එවිට ආචාර්ය කර්නල් මර්වින්ය. අන්තිමට ජනතාව හැර අන් සියල්ලෝම කර්නල්ලාය. ඒකට කියන්නේ හමුදා පාලනයක් කියලාය. දැන් නොකියා කරන්නට මුලපුරා තියෙන්නේ ඒකය. විමලසේන විදුහල්පතිතුමා කර්නල් විමලසේන කළේ ඒකටය. ජනතාව සීරුවෙන් සිටිල්ලාය. ගොඨාභය ඇතුළු කර්නල්ලා පහසුවේන් සිටිනු ඇතිය.

සුනිල් හඳුන්නෙත්ති
උපුටා ගැනීම - ලක්බිම

Friday, October 19, 2012

ඒකාධිපතියකු හා සටන් වැද.... නොහොත් ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කළ ශිෂ්ටත්වයේ අරගලය


පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරබ්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යqහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.

හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌a දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.

අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ.වී.පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යෑයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.

ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යැමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.

හිනිදුම සුනිල් සෙනෙවි

විභාගයට පෙර පාඩම් කිරීම තහනම් කළත් පුදුම වියයුතු නැහැ - මහින්ද ජයසිංහ


විභාග පැවැත්වීමට සතියකට පෙර සිසුන්ට පාඩම් කිරීම තහනම් කිරීමට ද මේ ඇමතිවරයා තීරණය කළහොත් එයද පුදුමයට කරුණක් නොවන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ශිෂ්‍යත්ව, සා/පෙළ, උ/පෙළ විභාග පැවැත්වීමට සතියකට පෙර සිට එම විභාගවලට අදාළව පවත්වනු ලබන උපකාරක පංති,සම්මන්ත‍්‍රණ හා විවිධ සාකච්ඡා තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවට බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය මගින් ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,පසුගිය කාලය තුළ විශේෂයෙන් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා අමාත්‍යාංශය භාරගත් පසු මේ යටතේ පාලනය වන රටේ ඉතා වැදගත් ආයතනය වන විභාග දෙපාර්තමේන්තුවේ දුර්වල, අකාර්යක්‍ෂම පාලනයත් විශේෂයෙන් ඉහත සඳහන් කළ ප‍්‍රධාන විභාගවලට අදාළ සිදුවූ ප‍්‍රශ්නවල වැරදි, මුද්‍රණ දෝෂ, වෙලාවට විභාග ප‍්‍රශ්න පත‍්‍ර ලබා නොදීම, ප‍්‍රශ්න පත‍්‍ර අතුරුදහන්වීම, විභාග ප‍්‍රතිඵල විකෘති කිරීම, ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම ආදී බරපතළ වැරදිවලට ප‍්‍රධාන හේතුව අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සියලූම අංශවල සිදුව තිබෙන දේශපාලනීකරණය බවත් මේ නිසා අධ්‍යාපනයට වග නොකියන, ආණ්ඩුවේ දේශපාලකයින්ගේ උවමනාවන් ඉටුකරන පිරිසක් බවට අධ්‍යාපන නිලධාරීන් පත්ව තිබෙන බවත් මෙම තත්වයට අධ්‍යාපන ඇමතිවරයා හා ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

රටේ හතලිස් ලක්‍ෂයකට වැඩි දරු පරපුරක අනාගතය තීරණය කරන අතිශය වැදගත් ප‍්‍රධාන විභාග තුනක සිදුවන වැරදි අක‍්‍රමිකතා නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදු නොකර එම වැරදි අඩුපාඩු ජනතාවට හෙලිදරව් කිරීම වැළැක්වීමට පමණක් කටයුතු කිරීම ඛේදනීය තත්වයකි. එමෙන්ම ඇමතිවරයාගේ උක්ත තීරණය ජනතාව නොමග යවන ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකරවන විහිළු සහගත කි‍්‍රයාවකි. එබැවින් අධ්‍යාපනයට වගකියන අධ්‍යාපන ඇමතිවරයෙක් නම් මුලින්ම කළ යුත්තේ එම දේශපාලන වැරදි නිවැරදි කිරීමයි.

ගැසට් නිවේදන මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු පාලනය කළහැකි වුවත් උපකාරක පංති, පුද්ගලික අධ්‍යාපන ආයතන හා වෙනත් රාජ්‍ය නොවන ආයතනවලට ඇමතිවරයා චක‍්‍රලේඛ නිකුත් කරන්නේ කෙලෙසකද යන්නත් මේ අකාරයට ගියහොත් ප‍්‍රධාන විභාග පැවැත්වීමට සතියකට පෙර සිසුන්ට පාඩම් කිරීම තහනම් කිරීමට ද මේ ඇමතිවරයා තීරණය කළහොත් එයද පුදුමයට කරුණක් නොවන බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසයි.