Monday, October 22, 2012

ජාතික චින්තනවාදීන් සහ ‘දේශ හිතෛෂීන්‘ නව ලිබරල්වාදය වැළඳ ගැනීම

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වැඩ වර්ජනය දින සියය සපුරද්දී නිමාවට පත් වීය. තම ඉල්ලීම් පිළිබඳ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳ සෑහීමකට පත් නොවන බව ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියාය. මෙම ප්‍රශ්නය විශ්ව විද්‍යාල ආචාර්යවරුනට හෝ රජයට ජයක් හෝ පරාජයක් නොමැතිව රටටත් ජනතාවටත් ජයග්‍රහණය හිමිවන ආකාරයට විසඳීමට තමන් සමත් වූ බව එහිලා මැදිහත්කරු ලෙසින් ක්‍රියාකළ ඇමති බැසිල් රාජපක්ෂ පසුව ප්‍රකාශ කොට තිබුණි. එයින් කියැවෙන්නේ ආරම්භයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පිරිනැමූ ‘දෙගොල්ලම-දිනුම් විසඳුම‘ මෙය බවද?

තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ අනුමතිය සහිතව ආචාර්ය සමිති සම්මේලනය සමග සාකච්ඡාවට බට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශේෂිත කණ්ඩායමක් ලෙස රජය කල් තබා සැළකූ හෙයින් ඔවුන් විශේෂිත වැටුප් තලයක පිහිටුවන දිගු කාලීන විසඳුමක් ඉදිරිපත් කිරීම තමන් රජයට යෝජනා කරන බව මුලින් කියා සිටියේය. නමුත් ඒ වෙනුවට ඔහු පසුව නිශ්චිත නොවන මධ්‍යවාර වැටුප් යෝජනා ඉදිරිපත් කළේ තම අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ පිළිබඳ ඔහුගේ මුල් අදහස් වෙනස් කරගත් නිසාද? අය වැයෙන් මෙහා කිසිදු වැටුප් වැඩි කිරීමක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව රජය මුල සිටම කියා තිබුණි. නමුත් ඇමති බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් සිදුවූ සාකච්ඡාවලදී රජය වැටුප් වැඩි කිරීම පිළිබඳ කිසියම් නම්‍යශීලී බවක් ගැනීමේ ඉඩකඩ පෙනෙන්නට තිබුණි. ඒ, වැටුප් හැරුණු කොට ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් අනෙක් ඉල්ලීම් සඳහා රජය ඉදිරිපත් කළ කැබිනට් සටහනක් මත දෙපාර්ශ්වය එකඟතාවකට පත්ව සිටි තත්වයක් යටතේය.

මේ තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම ප්‍රශ්නයට මැදිහත්කරුවෙකු ලෙසින් ක්‍රියා කිරීමට රජය ඇතුළතින්ම එල්ල වූ විරෝධය උග්‍රවීමත් සමගය. ආචාර්ය සමිති සම්මේලනය ගාල්ලේ සිට කොළඹට ආ පා ගමනට විපක්ෂයේ දේශපාලන නායකයන් එකතු වීම මෙම විරෝධය කුළු ගැන් වූ කොටස් වලට පිටුවහලක් වූ බව පෙණුනි. ආචාර්ය සමිති සම්මේලනය ප්‍රතිපත්තිමය කරුණු මුල් කරගත් ඉල්ලීම් මත මෙවර වැඩ වර්ජනයට එළඹ සිටීමත් හුදු ජනාධිපති කොමිසමක් පිළිබඳ පොරොන්දුව මත ඔවුන් තම වර්ජනය අත් නොහැරීමත් මත ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරාබි වසන්තය බඳු විප්ලවයක් ගෙන ඒමේ පෙරමුණක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ යැයි රජය අර්ථ නිරූපණය කළේ බුද්ධි වාර්තා මත එවැන්නක් තමන් තරයේ විශ්වාස කරන බව පෙන්වමිනි. එනිසා අධ්‍යාපනය සඳහා රජය දළ ජාතික නිශ්පාදිතයෙන් සියයට හයක් වැය කළ යුතුය යන යෝජනාව මත ආචාර්ය සමිති සම්මේලනය වැඩවර්ජනය දිග් ගස්සන්නේ නම් එය ‘රෙජීමය වෙනස් කිරීමේ‘ අරමුණින් කරන්නක් යැයි පිළිගෙන එයට එරෙහිව තම සමස්ත බලය යෙදීමට රජය තීරණය කළ බවක් එක් අවස්ථාවක දී පෙන්නුම් කෙරිණි.

මෙම අවස්ථාවේදී ආචාර්ය සමිති සම්මේලනය පරාජය කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් හැකි සියලු බලවේග සටනට කැඳවනු ලැබිණි. මෙම වැඩ වර්ජනය ආරම්භයේදී ඊට එරෙහිව එක් පුවත් පත් ලිපියක් පමණක් ලියා තම සුපුරුදු වෙනත් මාතෘකා කරා ගොස් සිටි ජාතික චින්තනවාදී ආචාර්ය නලින් ද සිල්වා යලිත් සටනට පිවිසියේ ඒ අනුවය. ‘දේශි හිතෛෂී‘ අමාත්‍ය විමල් වීරසිංහ ද මෙවර සටනට පිවිසියේ ය. ඔවුන් දෙදෙනාගේ අනුගාමික පිරිස් ද, මාඕ වාදීන්ව සිටි දේශපාලනඥයන්ද ඔවුන් හා එක්ව සටනට පිවිසියහ. ආචාර්ය සමිති සම්මේලනයේ කිසිම ඉල්ලීමක් නොදිය යුතු යැයි එම ඉල්ලීම්වල සාධාරණ භාවයට අභියෝග කරමින් විවිධ තර්ක ඉදිරිපත්කළ ආචාර්ය නලින් ද සිල්වා ආචාර්යවරුන්ගේ වර්ජනය පෙන්නුම් කළේ දෙමළ බෙදුම්වාදී –‘ඇන්ජීඕ‘ සහ ‘ඩයස්පෝරා‘ – බටහිර කුමන්ත්‍රණ ව්‍යාපාරයේත් බෞද්ධ විරෝධී කතෝලික ව්‍යාපාරයකත් අතකොලුවක් ව ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කටයුත්ත අරමුණු කොට ගත් එකක් ලෙසිනි. අධ්‍යාපනය පිළිබඳ ආචාර්යවරුන්ගේ ඉල්ලීම් යහපත් යැයි කියන අතර ඒ පිටුපස ‘රෙජීමය වෙනස් කිරීමේ‘ කුමන්ත්‍රණයක් ඇතැයි කී විමල් වීරවංස සහ කණ්ඩායම ද මෙම වර්ජනය පරාජය කළ යුතු යැයි කියා සිටියාය. වර්ජනය අවසන් වූ පසු මෙම චෝදනාව පිළිබඳ The Island පුවත් පතේ කර්තෘ ප්‍රභාත් සහබන්දු පළකළ පහත අදහස නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් වලටද අදාළ ය. “විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සැබෑ අභිප්‍රාය රජය කී පරිදි රෙජීමය වෙනස් කිරීමක් විණි නම් ඔවුන් කවරදාකවත් සාකච්ඡා මඟින් එකඟතාවකට එනු ඇතිව තිබිණි ද? එසේ කීම ඇමති නැවැත්විය යුතුය. රජය විශ්ව විද්‍යාල ගුරුවරුන්ගෙන් සමාව අයැද සිටිය යුතුය.“

ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අසාධාරණ යැයි අයුතු සහගත යැයි ආචාර ධර්මීය නොවේ යැයි කියමින් තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාජ තර්ක ඉදිරිපත් කිරීම නලින් ද සිල්වා සහ විමල් වීරවංස කණ්ඩායම් අනු දත් උපක්‍රමය වීය. උදාහරණයක් දක්වතොත් ආචාර්ය සමිති සම්මේලනයේ මූලික ප්‍රතිපත්ති ඉල්ලීම වූ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් රජයේ වියදම් වශයෙන් වැය කළ යුතුය යන යුනෙස්කෝ දර්ශකයට රජයේ වියදම් පමණක් අයිති නොවේයැයි රජය මුල සිටම ගෙන ගිය ව්‍යාජ තර්කය මත පිහිටා ආචාර්ය නලින් ද සිල්වා ද තෝරා ගත් උද්ධෘතයක් ගෙන හැර පාමින් එම ඉල්ලීම නිශේධ කරන්නට දැරූ උත්සාහය තම දේශපාලන අරමුණ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට ඔහු සූදානම් බව පෙන්නුම් කළේය. නොඑසේ නම් ඔහු උපුටා දැක්වීම් කළ අදාල වාර්තාවේ අධ්‍යාපනය සඳහා කෙරෙන රජයේ වියදම් සියයට 6 ක්වත් විය යුතුය යන නිර්දේශය ඇතුළත් පහත සඳහන් උද්ධෘතය ඔහුට මඟ හැරුණේ කෙසේද?

“Increasing public spending on education, in place of expenditure under budget heads, should be regarded as a necessity everywhere, and especially in developing countries, since it is a vital investment for the future. As a rule of thumb, not less than 6 percent of the GNP should be devoted to education ………..“ Learning The Treasure Within Report to UNESCO of the International Commission on Education for the Twenty-First Century, Jacques Delors (p. 165) මෙහි ‘public spending‘ යනුවෙන් හැඳින්වෙන්නේ රජයේ වියදම් මිස මහජනයා පෞද්ගලිකව කරන වියදම් හෝ පෞද්ගලික අංශයේ වියදම් නොවේ.

ජාතික චින්තනවාදී නලින් ද සිල්වා සහ දේශහිතෛෂී විමල් වීරවංස සහ ඔවුන්ගේ අනුගාමිකයන් ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව ගෙනගිය මෙම ව්‍යාපාරයේ වඩාත්ම උත්ප්‍රාසජනක අංගය වන්නේ ඔවුන් ගෙනහැර පෑ එබඳු ව්‍යාජ තර්ක නොව ආචාර්යවරුන්ට එරෙහිව මෙම සටනේදී ඔවුන් ගත්තේ නව ලිබරල්වාදයේ පැත්ත වීමයි. අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන රජයේ වියදම් කපා හැරීම, රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සහ අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පහත හෙළීමේ වත්මන් රජයේ වැඩ පිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යටතේ සහ ලෝක බැංකුවේ ණය ආධාර යටතේ ගෝලීය ධනවාදයේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යාපන ක්ෂේත්‍රයට ආදේශ කිරීමේ ප්‍රථිපලයකි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය වෙනුවෙන් නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම තමනට පවරා ගෙන ඇත්තේ මුදල් අමාත්‍යංශ සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ය. උසස් අධ්‍යාපනයේ නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇමති එස්. බී. දිසානායක භාර ගෙන ඇත. ඉතින් ලංකාව අධිරාජ්‍යවාදයේ ග්‍රහණයෙන් මුදවාලීමට ශපථ කළ ජාතික චින්තනවාදීන් සහ ලෝක බැංකුවේ ‘ප්ලග්‘ ගළවන බවට ශපථ කළ ‘දේශ හිතෛෂීන්‘ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමට එරෙහිව රාජ්‍ය අධ්‍යාපනය රැක ගැනීම සඳහා ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කළ ඉල්ලීම් පරාජය කිරීමට පෙරමුණ ගැනීම ඉතිහාසයේ සරදමක් නොවේද? මෙම සටනේදී නව ලිබරල්වාදී අමාත්‍ය එස්. බී. දිසානායකගේ සහායට ලංකාවේ ලිබරල් පක්ෂයේ නායකයා වන රජීව විජේසිංහත් නලින් ද සිල්වා සහ විමල් වීරසිංහ සමග එක් වීම තනන්නේ අපූර්ව මිත්‍ර පෙරමුණ ක් නොවේද?

නව ලිබරල්වාදී ධනේශ්වර මාවත ගන්නා රජයකට “කඩේ යෑම“ පිළිබඳ එල්ල වන විවේචන ගැන නලින් ද සිල්වා කියන්නේ තමා සේවය කරන්නේ රජයට නොව ජනතාවට බවයි. එමෙන්ම මෙම අධ්‍යාපන ක්‍රමය බටහිර ගැති බවත් එය සහමුලින්ම විනාශ කළ යුතු බවත් නලින් ද සිල්වා ගේ මතය යි. ජනතාව ගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම යනු යුද්ධය අවසන් වී වසර තුනක් ගෙවී ඇති තැන යළි දෙමළ බෙදුම්වාදයක් පැන නැඟීම පිළිබඳ අනියත බියකින් ජනතාව පොළඹවා මහජන සුභ සාධනය කප්පාදු කිරීමේ නව ලිබරල්වාදී විය ගසේ ඔවුන් බැඳ තබන්නට රජයට උදව් වීමද? මෙරට සාමාන්‍ය ජනයාට තම දූ පුතුන්ට ඉහළට උගන්වා තම සමාජීය ජීවිතය යහපත් කරගැනීමට තවමත් ඇති ප්‍රධානම මඟ වන රජයේ අධ්‍යාපනය විනාශ කර දැමීමට කෙරෙන ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හමුවේ ජනයා ජාතිකවාදයෙන් මත් කොට නිහඬ කිරීම ද?

අපගේ වත්මන් අධ්‍යාපන ක්‍රමය අපට බටහිරින් ලැබුණක් බව සැබෑය. නමුත් නිදහසින් පසු ලංකා සමාජය අද පවත්නා තත්වයට ගොඩ නැඟුණේ මෙම අධ්‍යාපනයේ පිහිටෙනි. පවත්නා අධ්‍යාපනක්‍රමයට විකල්පයක් ගොඩ නොනඟා එය සහමුලින් විනාශ කිරීමේ උග්‍ර අන්තවාදී ආස්ථානය යෝජනා කරන නලින් ද සිල්වා ඒ අර්ථයෙන් නූතනවාදියෙකි. වත්මන් රජය නිරතව සිටින්නේ පවත්නා අධ්‍යාපන ක්‍රමය විනාශ කිරීමේ කටයුත්තේ යැයි වටහා ගත් හෙයින් එම විනාශය වැළැක්වීමට කටයුතු කරන ආචාර්ය සමිති සම්මේලනයට එරෙහිව තමා රජය සමග අත් වැල් බැඳ ගත්තේ යැයි නලින් ද සිල්වා කියන්නේ දැයි අපි නොදනිමු. නමුත් වත්මන් රජය පවත්නා අධ්‍යාපන ක්‍රමය විනාශ කරමින් සිටින්නේ ඊට විකල්ප ජාතික අධ්‍යාපන ක්‍රමයක් ඉදිකිරීමේ අරමුණින් නොවේ. හුදෙක් ගෝලීය ධනවාදී වෙළෙඳ පොලේ රැකියා සඳහා ශ්‍රමිකයන් බවට අපගේ තරුණ තරුණියන් පුහුණු කරන අධ්‍යාපන ක්‍රමයක් බිහිකිරීම සඳහා ය. අප කළ යුත්තේ ජාතියට මඟ පෙන්වන නව බුද්ධිමත් පරපුරක් බිහි කිරීම සඳහා පවත්නා රාජ්‍ය අධ්‍යාපනය රැක ගෙන ඒ මත අපට අවශ්‍ය නව ජාතික අධ්‍යාපනයක් ගොඩ නැංවීම යි.

කුමුදු කුසුම් කුමාර [ Kumudu Kusum Kumara]
උපුටාගැනීම- යුක්තිය

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 24 යි.

Padmasiri thrima withana

2012 ඔක්තෝම්බර් 22 වැනිදාට, එනම් අදට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 24 ක් සම්පූර්ණ වේ. ලක්ෂ ගණනින් සංහාරයට ලක්වූ සමාජයක, පද්මසිරි ති‍්‍රමාවිතාන සොයුරාගේ ඝාතනය සුවිශේෂී වන්නේ ඔහු ජීවිතය පූජා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීම උදෙසා වන බැවිනි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටනේ නියමුවකු වූ තී‍්‍රමා අංකුර කවියෙකි. චිත‍්‍ර ශිල්පියෙකි. ඒ හැමටම වඩා ඔහු සැබෑ මිනිසෙක් විය.

     ති‍්‍රමා දකුණේ අම්බලන්ගොඩ කහව ගල්දූව ගමේ දී 1964 මාර්තු මස 01 දින උපත ලැබීය. ඔහුගේ පියා ගාල්ල උසාවියේ භාෂා පරිවර්ථකයෙකු ලෙස සේවය කළේය. මලනුවන් තිදෙනෙකුට හා එක් නැගනියකට වැඩිමහල් සොහොයුරා වූ පද්මසිරි ත‍්‍රීමාවිතාන අහිංසක පවුලක, මවගේ පියාගේ හා සොයුරු සොයුරියන් සිවු දෙනෙකුගේ දහසක් පැතුම් ඉටු කරන්නට සිටි එකම බලාපොරොත්තුව විය. මූලික අධ්‍යාපනය අම්බලන්ගොඩ කහව විද්‍යාලයෙන් හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය සදහා 1985 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට තේරීපත් විය. ඔහු බ්ලොම් ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සිටියේය.

වඳ වී ගිය ගුරු පරපුරක හංස ගීතය හෙවත් ගුරු ගීතය


ගුරුවරයා වූ කලි උත්තම පුරුෂයෙකි. ඔහු පහනෙන් පහනක් දල්වන්නෙකි. පරපුරක් ගොඩනඟන්නෙකි. සමාජයට වගකිව යුත්තෙකි. අතීතයේ සිට දේවත්වයෙන් පිදුම් ලැබූවෙකි. එහෙත් ලාංකීය සමාජය ගතහොත් ගුරුවරයාගේ භූමිකාව වූ කලී කාලානුරූපී ව වෙනස් වූවකි.

නිදහස් අධ්‍යාපනය ලැබීමත් සමඟ ම ඈත පිටිසර ගම්මානවල පවා පාසල් බිහිවන්නට විය. දුර බැහැර පාසලකට එකල ගුරුවරයකු පැමිණීම යනු පහන් පැලට දෙවියකු වැඩම කිරීම හා සමාන ය. ගුරුවරයා පැමිණෙන දිනයේ ගැමියෝ මඟට වී බලා සිටිති. ඔහු ගෙනා බඩු මුට්ටු කරෙන් ගෙන යති. ගමේ හොඳ ම නිවසේ ඔහුට නවාතැන් ලැබෙයි. කොයි දෙසින් පැමිණිය ද ඔහු ටිකින් ටික ගමේ සාමාජිකයකු බවට පත්වෙයි. ඇතැම් විට එකල ගුරුවරයා ඒ ගමෙන් ම විවාහයක් කරගෙන ගමේ ම පදිංචි වෙයි.

පැරණි සමාජය වූ කලී අල්පේච්ඡ සමාජයකි. එය බරපතළ පාරිභෝගික සමාජයක් නොවේ. ඒ නිසා ලද දෙයින් සතුටුවීමේ හැකියාව එකල සමාජයේ පැවතිණි. එසේම ලබන වැටුපෙන් ජීවත්වීමේ හැකියාව ඔවුනට පැවතිණි. ඒ නිසා ම ඔවුහු තම වෘත්තියට ආදරය කළෝ ය. ගෞරව කළෝ ය. අප්‍රමාණ වූ කැපකිරීම් කළෝ ය. මේ ගීතය මඟින් ද චන්ද්‍රසේකරයන් තේමා කරගන්නේ එබඳු දෙවිවරුන් බඳු ගුරු පරපුරකට මෙන්ම ඔවුන්ගෙන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය පරපුරකට මුහුණ දෙන්නට සිදුවූ ඛේදවාචකයයි. රචකයා ඉතාම සංයමශීලී ව සියුම් ගෙත්තමක් ලෙසින් මේ අනුභූතිය ඉදිරිපත් කරනු ලබයි.

පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ

පෙන්නා මඟ නොමඟ නොවැටී යන තාලේ

දරුවන්ට ශිල්පදානය දීම පිණිස දුෂ්කර ක්‍රියා කරමින් තම රාජකාරිය ඉටු කරනු වස් පිය නැඟූ අතීත ගුරු පරපුර මෙහිදී රසිකයාට සිහිපත් වේ. අන් අයට මඟ පෙන්වූ ඔවුහු නොමඟ ගිය පිරිසක් නොවූහ. එහෙත් සමාජය ක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. 


සුනිල් එදිරිසිංහ

ක්‍රමයෙන් පාරිභෝගික සමාජයක් බිහිවන්නට විය. ගුරු දෙවියන්ගෙන් ශිල්ප ලැබූ පරපුර මේ පාරිභෝගික සමාජයේ ගොදුරු බවට පත්විය. තමා ඉහළ යාමේ නිරන්තර අරගලයක ඔවුහු නිරතවන්නට පටන්ගත්හ. රචකයා මූසිලයන් ලෙස හඳුන්වනු ලබන්නේ ආධ්‍යාත්මික ගුණ වගාව අමතක කොට ධනවාදයේ ගොදුරු බවට පත්වූ පරපුරයි. පැරණි ගුරුවරයා කියාදුන් සාරධර්මවලට එරෙහි පරපුරයි.

”සිප් කිරි පෙවු මූසිලයන් උඩුමාලේ

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ”

මේ අයුරින් මූසිලයන් සියල්ල අමතක කොට ඉහළ නැඟීමට වෙර දරද්දී අධ්‍යාපනයේ වටිනාකම් හෑල්ලු වෙයි.

”උගත මනා ශිල්පය මයි මතු රැකෙනා” නැමැති ප්‍රකාශය “මතු රැකෙනා ශිල්පයමයි උගතමනා” බවට පරිවර්තනය වෙයි. පාසල් යාමට වඩා “රටකජු” විකුණා හෝ මුදලක් අතට ගැනීමට ඊළඟ පරපුර පෙලඹෙන්නේ එබැවිනි.


රෝහණ වීරසිංහ

සාමා සහ අමරලා යනු බාල පරපුරයි. ඔවුහු පෙළපොත් පිටු ඉරා ඒවායෙන් රටකජු ගොටු සදන්නට පෙලඹීම ප්‍රබල උපහාසයක් ජනිත කරවයි. මෙහි දී රචකයා උගත මනා ශිල්පයට, ප්‍රාණවාචී අරුතක් සපයයි. තමා පිල්කඩට විසිවීයාම පිළිබඳ ව සන්තාපයට පත්වූ උගත මනා ශිල්පය, තමාට දඬුවම් කරන ලෙසට වේවැලෙන් ඉල්ලා සිටී. රචකයා මේ සමාජ සංස්කෘතික ඛේදවාචකය සියුම් උපහාසයකින් ඉදිරිපත් කර තිබේ.

නැවතත් රචකයා තම දැක්ම යොමු කරන්නේ, පැරණි ගුරුවරයා ගේ ඛේදවාචකය දෙසටයි. මේ සමාජ පරිවර්තනයට ඔහුට ගොදුරුවිය නොහැකි ය. ඔහුගේ මුල් ශක්තිමත් වී ඇත්තේ තරගකාරී අවස්ථාවාදී චින්තනයක් මත නොවේ. මේ නිසා ඔහු ද ඔහුගෙන් යැපෙන්නන් ද මේ සමාජ පරිවර්තනය ඉදිරියේ අතරමං වෙයි. අසරණ වෙයි.

රන් මසු පට පිළී අබරණ උරණ වෙලා

සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා

ගුරු නිවහනම කඳුළට උල්පතක් වෙලා

ලොකු හාමිනේ ඇත බිතුසිතුවමක් වෙලා

මේ ගුරුතුමා ගේ බැංකු ගිණුම් තර වී නොමැත. තම ඇස් දෙක බඳු දියණිය විවාහ කර දීමේ අර්බුදයට එතුමෝ ගොදුරු වෙති. ඇය ගෙදරට ම නාකි වෙයි. අලුත්, ඇඳුම්, ස්වර්ණාභරණ, දෑවැද්ද ඇයගෙන් දුරස් වී ගොසිනි. වෙනදා මහා දෙවොලක් බඳු වූ ගුරු නිවස අද කඳුළේ උල්පත වී තිබේ. ගුරුතුමා ගේ බිරිය අජීවී බිතුසිතුවමකි. මේ අතීත දිසාපාමොක්ලාට නූතන අර්ථ රටාව තිළිණ කළ ඉරණමයි.

අතීත ගුරුවරයාට නමස්කාර කරන රචකයා වර්තමාන ගුරුවරයා කෙරෙහි වෛරීය දෘෂ්ටියක් යොමු නොකරයි. සමාජ ක්‍රමය විසින්, ආර්ථික වාදියකුª බවට පත්වූ වර්තමාන ගුරුවරයා දෙස රචකයා යොමු කරන්නේ සානුකම්පික දෘෂ්ටියකි. ගුරුවරයකු ලෙස ජීවිතයේ වැඩි කාලයක් කැප කළ මහින්ද චන්ද්‍රසේකරයන් මේ දෙස උපේක්ෂාවෙන් බලන්නේ මේ සියලු ම අනුභූ®තීන් ඔහු ද පෞද්ගලික ව විඳ ඇති බැවිනි.

මට මගේ පියා සහ මව සිහිවෙයි. ඔවුන් රජයේ ගුරුවරු ය. පාසල නිමාවීමෙන් පසුව ද ඔවුහු කොට්ටම්බා ගස් යට වාඩිකරවා, විභාගවලට පෙනී සිටින සිසුන්ට ඉගැන්වූහ. ඔවුහු ඒ වෙනුවෙන් මුදල් අය නොකළ හ. 

මම ටියුෂන් ගුරුවරයෙක් මි. මම ශිෂ්‍යයන්ගෙන් මුදල් අය කරමි. එසේ නොකළොත් මට අද සමාජයේ දෙපයින් සිට ගැනීමට නොහැකි ය. මම පාරිභෝගික සමාජයක සාමාජිකයෙක්මි. මගේ දෙමාපියන්ට වඩා මගේ අවශ්‍යතා වැඩි ය. මා අවට සමාජය මට බලකර සිටින්නේ මගේ ශිල්පය විකුණා ජීවත්වන්නටය. 

ඒ නිසා, මම මගේ ශිල්පය විකුණමි. නිකම් නොව දැන්වීම්, පත්‍රිකා බෙදමින් අඬබෙර ගසමින් විකුණමි. එහෙත් මගේ දෙමාපියන් සිහිවෙද්දී මා තුළ ද සියුම් ලජ්ජාවක් ඇතිවෙයි. එහෙත් ඒ ලජ්ජාව යටපත් කරගෙන මම විකුණමි. විකිණෙමි. එහෙත් මූසිලයකු වීමට හෝ මූසිලයන් බිහිකිරීමෙන් වැළකීමට මම දිවා රෑ උත්සාහ කරමි.


මහින්ද චන්ද්‍රසේකර ඇතැම් විට එය ද අසාර්ථක වනු ඇත. මේ ගීතය කනවැකෙන හැම මොහොතකම මට මගේ දෙමාපියන් සිහිවේ. එවිට සියුම් වේදනාවක් මගේ ශරීරය පුරා දිවයයි.

රෝහණ වීරසිංහයන් ගේ සංගීතය ගැන හෝ සුනිල් එදිරිසිංහයන් ගේ් ගායනා විලාසය ගැන අටුවා ටීකා ටිප්පණි අනවශ්‍ය ය. ඔවුහු ඔවුන්ගේ කාර්යභාරය මනාව ඉටු කරති.

මගේ ඇස මත මේ මොහොතේ මැවෙන්නේ පැරණි දුෂ්කර වැඩවසම් ගම්මානයකි. අකල් වැස්සකින් මඟ දෙපස මඩ වී තිබේ. ජාතික ඇඳුම ඇඳගත් මැදිවියේ ගුරුතුමකු මඩ කඩිති මැදින් පැනගෙන මේ දුෂ්කර මඟෙහි ගමන් කරයි. 

“චිංගීස් අයිත්මාටව්” නැමැති රුසියානු ලේඛකයාගේ ‘ගුරු ගීතය” නවකතාවේ ‘දුයිෂෙන්’ නැමැති ගුරුවරයාට වඩා පෞරුෂයක් මේ ගුරුවරයා සතුය. ඔහු එනතුරු සරම්, බැනියම් ඇඳගත් ළමෝ බලා සිටිති. 

වැව් තාවුල්ල පසු කරන විට පාසල දුරට පෙනෙයි. ළමයින් කෑකෝ ගසන හඬ ඇසෙද්දී ගුරුතුමා ගේ මුවඟට සිනහවක් නැඟෙයි. මම පෑන පසෙක තබා ඒ ගුරුතුමාගේ දෙපතුල ළඟ වැඳ වැටෙමි.

~~ධම්මික බණ්ඩාර~~

(සිළුමිණ)