Monday, November 26, 2012

ජාතීන් වශයෙන් පාසල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතුයි

Wasudewa Nanayakkara
සහෝදර ජාතීන් සමග එකමුතුව, සුහදතාවය ගොඩනැඟීම ආරම්භ කළ යුත්තේ පාසල් අධ්‍යාපනය තුළින් පාසලේදීම වන බැවින් මින් පෙර සිදුවූ අත්වැරදීම් පසෙක දමා දැන්වත් සිංහල, දෙමළ, මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන් කිරීමේ වැඩපිළිවෙළ නතර කළ යුතු යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා පැවසීය. 

අමාත්‍යවරයා මෙම අදහස්‌ ප්‍රකාශ කළේ මධ්‍යම පළාතේ මහජන නියෝජිතයන් සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක්‌ ලබාදීම පිණිස පසුගියදා මහනුවරදී පැවැති වැඩමුළුවකට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා -

රටක පැවැත්මට සංහිඳියාවක්‌ අවශ්‍යයි. සංහිඳියාව අපි එකිනෙකා එකඟ වූ පිළිගත හැකි ස්‌ථාවරයයි. රටක යුද්ධයක්‌ පවතින විට රටේ අනන්‍යතාවය, සංහිඳියාව ගොඩ නගන්න ඉඩ ප්‍රස්‌ථාවක්‌ නෑ. නමුත් දැන් යුද්ධය හමාරයි. දැන් රටේ සංහිඳියාව ගොඩනගා ගත යුතුයි. ඒ තුළින් එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ ගොඩනැගිය යුතු වෙනවා. මේ එක්‌සත් බව ඇතිවන්න භාෂාව ප්‍රධාන සාධකයක්‌ වෙනවා. භාෂාවන්ගෙන් එකට සමීප වුණොත් පමණයි මේ ඒකීයත්වය ගොඩනැඟෙන්නේ."

ද්විභාෂාවන්ගෙන් කටයුතු කිරීම තුළින් මේ තත්ත්වය ගොඩනඟන්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන භාෂා දෙක සිංහල, දෙමළ, ඉංග්‍රීසි ආගන්තුක එකක්‌. එහෙත් කුසලතා, දැනුම උදෙසා ඉංග්‍රීසි අවශ්‍යයි. නමුත් සිංහල, දෙමළ අපි සියලු දෙනාම දැනගත යුතුයි, අපට අපේ භාෂාව වන්දනීයයි. අනෙක්‌ අයටද එසේමයි. එසේ නම් මේ ඒකීයත්වය ගොඩනැඟිය යුත්තේ භාෂා දෙකම ඉගෙනීම තුළිනුයි. ඒ නිසා එම භාෂා දැනුම වර්ධනය කිරීමට සමාජ ආශ්‍රයෙන් භාෂාව හැදැරීමට පාසල් අවධියේ සිට එකට එක්‌වූ සමාජ වටපිටාවක්‌ අවශ්‍යයි. ඒ නිසා සිංහල, දෙමළ, මුස්‌ලිම් වශයෙන් පාසල් වෙන් නොකර සියලු ජාතීන් එකම පාසලේ එකට අධ්‍යාපනය ලැබීමේ වටපිටාවක්‌ සකස්‌ කර අන්‍ය ජාතීන් සඳහා වූ අන්‍ය භාෂාවන් සඳහා වූ ආගන්තුක බව නුරුස්‌සන ගතිය වෙනස්‌කර එක්‌සත් ශ්‍රී ලංකාවක්‌ බිහිකරමු යෑයිද, එක්‌සත් ශ්‍රී ලංකාවකින් තොර ආශ්චර්යක්‌ නොමැති බවද ඇමැති වාසුදේව මහතා වැඩිදුරටත් පැවසීය.

-තිවංක අබේරත්න divaina

අද අපේ රටේ බහුතරයක් තරුණ ප‍්‍රජාවට තමන්ගේ උසස් අධ්‍යාපන අයිතිය අහිමිවෙලා.


"හෙටක් සහිත රටක් උදෙසා වූ ‘තරුණ්‍යයේ හඬ’" සංවිධානයේ හම්බන්තොට දිසා සමුළුව ඊයේ (24) පස්වරුවේ තංගල්ල සමූපකාර ශාලාවේදී විශාල තරුණ තරුණියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බව එම සංවිධානයේ මාධ්‍ය ඒකකය පවසයි.

හම්බන්තොට දිස්ත‍්‍රික් සභාවේ නිළධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීමද මෙහිදී සිදු වී තිබේ. එහි දි මහේෂ් අබේපිටිය මහතා සභාපතිවරයා ලෙසද, අශෝකා රාජීනි මෙනවිය ලේකම්වරිය ලෙසද තේරීපත්වී ඇත.


තාරුණ්‍යයේහඬ සංවිධානයේ ජාතික සූදානම් කිරීමේ කමිටුවේ සම කැඳවුම්කරු ගයාන් ජානක මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාද මේ අවස්ථාවට සහභාගි විය. 

එහි දි අදහස් දැක්වූ ගයාන් ජානක මහතා දැක්වූ අදහස් පහත පළවේ,


‘‘ලාංකීය තරුණ තරුණියන්ට අද අභියෝග රාශියකට මුහුණ දෙන්න සිද්ධවෙලා තියනවා. අද අපේ රටේ බහුතරයක් තරුණ ප‍්‍රජාවට තමන්ගේ උසස් අධ්‍යාපන අයිතිය අහිමිවෙලා. එක් අවුරුද්දකදී අපේ රටේ සාමාන්‍යයෙන් දරුවන් 350,000ක් පමණ උපදිනවා. ඒ අතරින් වාර්ෂිකව උසස්පෙළ විභාගයට පෙනී සිටින්නේ 220,000ක් පමණයි. නමුත් ඒකෙනුත් මේ කඩඉම පහු කරන්නේ 140,000ක් දෙනා පමණයි. මේ 140,000 යෙනුත් සරසවිවලට ඇතුලත් කරගන්නේ 20,000ක් විතරයි. නමත් අර ඉතිරිවන 330,000ට මොකද වෙන්නේ. ඒ අයට අධ්‍යාපනය ලබන්නට අයිතියක් නැද්ද.

අපේ රටේ තරුණ තරුණියන් ලක්ෂ 15කට රැකියා නෑ. තවත් විශාල පිරිසක් ඌණ සේවා නියුක්තිකයින්. ඒවගේම මේ පසුගිය වසරවලදී ආර්ථික අර්බුදය නිසා කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් දහස් ගණනක් තරුණ තරුණියන්ට රැකියා අහිමි වුණා. මේ අයගේ අනාගතයට මොකද වෙන්නේ. කවුද ඒ අය වෙනුවෙන් කතා කරන්නේ. ඒ අය වෙනුවෙන් අපේ රටේ තිබෙන වැඩපිළිවෙල මොකක්ද?



තරුණ ප‍්‍රජාවගේ ප‍්‍රශ්ණ මේ විදිහට කාගෙවත් අවධානයට ලක්නොවී තිබිද්දි විවිධ සමාජ අපචාර පිළිබඳ චෝදනා නම් නොවඩුව ඔවුන් වෙත එල්ල වෙනවා. ඒ නිසා අද වන විට තරුණයින්ට තම අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් අභියෝගයක් තිබෙනවා. ඒ අභියෝගය ජයගන්න පුළුවන් අරගල කිරීම තුළින්ම පමණයි. අරගල තුළින් අභියෝග ජය ගැනීම පිළිබඳව උදාහරණ අප මේ මෑත කාලීනව දක්වන්න පුළුවන්. කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ සේවක අර්ත සාධක අරමුදල රැකගැනීම වෙනුවෙන් වූ අරගලය, උසස්පෙළ ඉසෙඞ් ස්කොර් ප‍්‍රශ්නය පිළිබඳ අරගලය. පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි ශිෂ්‍ය අරගලය ඉන් කිහිපයක්.


තාරුණ්‍යයේ හඬ බිහි වෙන්නේ තරුණයින්ගේ අභියෝග ජය ගැනීම පිණිස අරගල කිරීම වෙනුවෙන්. ඒ නිසා තරුණ ඔබට ජීවිතයේ අභියෝග ජයගන්න ඒ වෙනුවෙන් අරගල කරන්න තාරුණ්‍යයේ හඬ සමග එක්වන්න කියලා. සහෝදරාත්මකව ඇරයුම් කරනවා.’’

තාරුණ්‍යයේ හඩ අනුරාධපුර දිස්ත‍්‍රික් සමුළුව හා දිසා සභාව පිහිටූවීම අද (25) සවස 03ට අනුරාධපුර CTC ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

Saturday, November 24, 2012

නරුම ක‍්‍රමයට ගොදුරුලෙස අධ්‍යාපනය බිලි නොදෙමු!

යුගයේ ඛේදවාචකය වන්නේ නරක මිනිසුන්ගේ නරක කි‍්‍රයා නොව හොඳ මිනිසුන්ගේ නිහඬතාවයයි
- මාටින් ලූතර් කිං

අද අපි රටක් විදිහට මුහුණ දෙන බොහෝ අර්බුදවලට හේතුවත් මේකම තමයි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගත්තොත් අද ප‍්‍රශ්න කන්දක් තියෙනවා. බඩුමිල අඛණ්ඩව ඉහළ යනවා. ජීවන බර අහස උසට. වැටුප් වැඩිකරලා නෑ. ආදායම් වැඩිවෙලා නෑ. කෘෂිකර්මාන්තය ඉවරයි. මොකද? ආණ්ඩුව වැව් හින්දලා නිදන් හොයනවා. කෘෂිවිද්‍යාල වහලා, ගොවිපලවල් වහලා, ගුවන් තොටුපලවල් හදනවා. රක්‍ෂිත වනාන්තර, අභයභූමි ඉවරයි. මොකද ආණ්ඩුව සංචාරකයන්ට හෝටල් හදනවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය සහන කපනවා. සල්ලි නෑ. මොකද ඇමති නඩය හොරාකනවා, රට සවාරි යනවා. රාජ්‍ය ආයතන පාඩු ලබනවා. බාල තෙල් ගේනවා නැව් පිටින් හලනවා. මොනවා උනත් ආරක්‍ෂක වියදම් වැඩි කරනවා. හැබැයි රටේ ආරක්‍ෂාව යකාට ගිහිං. කිරි දරුවෙකුට පාරේ යන්න බෑ. දවසකට ස්තී‍්‍ර දූෂණ 06 ක් 07 ක් වාර්තා වෙනවා. පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පුද්ගල ඝාතන වලින් තොරව ගෙවෙන දවසක් නෑ.

නීතිය වල්වැදිලා, කැලෑ නීතිය රජයනවා. හොරු, දූෂකයෝ, කුඩුකාරයෝ, අපරාධකාරයෝ චෝදනා නෑ. නිදහස් වෙලා යනවා. මේවා වැරදියි කියල කිව්වොත්, අයිතීන් ඉල්ලලා සටන් කලොත් කුදලගෙන ගිහිල්ල හිරේ විලංගුවෙ දානවා. මේකට කියනවා ආසියාවේ අශ්චර්යය කියලා.
අධ්‍යාපන අයිතියට වැට.

නිදහස් අධ්‍යාපනයට වෙලා තියෙන නස්පැත්තිය ඔබ දන්නවා. උසස් පෙළ ප‍්‍රශ්නපත‍්‍ර වැරදි, 2011 විභාග ප‍්‍රතිඵල වැරැුද්දුවා. ඒකේ ප‍්‍රතිඵල තවමත් නිකුත් කරලා නෑ. ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්නපත‍්‍ර පැන්නුවා. මෙවර උසස්පෙළ ප‍්‍රතිඵල දෙන්න විදිහක් නෑ. මොකද? ආචාර්යවරු, ගුරුවරු ප‍්‍රශ්න පත‍්‍ර බැලීම වර්ජනය කරලා.

විශ්වවිද්‍යාල මාස ගණනක් වෙනවා වහලා. ආචාර්යවරුන් පාරට බැහැලැ උද්ඝෝෂණය කරනවා ගුරුවරුන්ට හරිහමන් වැටුපක් ගෙවන්නෙ නෑ. අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවා. සියයට 06 ක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි. හැබැයි, ලංකාව දැනුමේ කේන්ද්‍රය කරනවා කියකියා රාජපක්‍ෂලා අධ්‍යාපන වියදම් 1.8% දක්වාම පල්ලම් බැස්සුවා. නඩත්තුවට මුදල් නැතුව පාසල් වැහෙනවා. 2005 ඉදලා ඉස්කොල 350 ක් වැහුණා. අනෙක් පැත්තෙන් පාසල් වලින් දාස් ගණන් ගාස්තු අයකරනවා. ඒක දෙමාපියන්ට දරාගන්න බෑ. අධ්‍යාපනය මාෆියාවක් වෙලා ඉවරයි. මොකද අපි දන්නවා පාසල් වලට ගෙවන්න තියා සමහර දෙමවුපියන්ට අද උපයන සොච්චමෙන් දරුවන්ට තුන්වේල කන්න දෙන්න වත් මදි.

ඔබේ දරුවන්ව යවන්න ඉස්කෝලයක් නෑ. සරසවියක් නෑ. A 3 ක් ගත්තත් විශ්වවිද්‍යාලයට යන්න බෑ. විශ්වවිද්‍යාලවල ඉඩ නෑ. පහසුකම් පුලූල් කරන්න අරමුදල් දෙන්නෙ නෑ. රජයට මුදල් නෑ කියලා කියනවා. හැබැයි 2011 දැයට කිරුළට රු. මි. 22,000 වියදම් කරලා තියෙනවා. අපි අහනවා ඔබට ඕන මේ වගේ පොඩි පොඩි චූන්ද නැත්නම් දරුවන්ට අනාගතයක් ද කියලා. මේ නාස්ති කරන මුදල් අධ්‍යාපනයට වෙන්කළා නම් ඔබට පාසල්වලට ගෙවන්න වෙන්නෙ නෑ. තව දාහක් දෙදාහක් විශ්වවිද්‍යාලවලට බඳව ගන්න තිබුණා.

හතුපිපෙන්න වගේ උපාධි කඩ රටපුරා අරිනවා. දැන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය විකුණනවා ලක්‍ෂ 65 යි. ඒ ගාන ගෙවන්න පුළුවන් නම් සුදුසුකම් ඕනත් නෑ. දැනටමත් උසස් පෙළ අසමත් ශිෂ්‍යයෝ වෛද්‍යවරු වෙන්න ඉගෙන ගන්නවා. හැබැයි මේ ආණ්ඩුව නඩත්තු කරන්න බදු ගෙවන 99%ක් ම ජනතාවගේ දරුවන්ට ් 3 ගත්තත් යන්න වෛද්‍ය පීඨයක් නෑ. ඒ ශිෂ්‍යයින්ය ‘‘සරසවියක් දියව්’’ කියලා උද්ඝෝෂණ කරන්න වෙලා.

මේක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරන්න යනවා. එතකොට අධ්‍යාපනය අයිතියක් නෙවෙයි. කෝටිපති අතලොස්සකගේ වරප‍්‍රසාදයක් විතරයි. ජනාධිපතිතුමාගේ පෝඩි පුතා අභ්‍යාවකාශ විද්‍යාව ඉගෙන ගන්න රුසියාවට යවනවා. ලෝක බැංකුවේ කොන්දේශිවලට අනුව අධ්‍යාපන ප‍්‍රතිපාදන කපලා ඔබේ දරුවන්ට යන්න තියෙන පාසල, සරසවිය වැහෙන්න අරිනවා. ඒ තමයි රටේම දරුවන්ට සුභ අනාගතයක් හදනවා කියලා පාරම්බාපු ආඩම්බරකාර තාත්තගෙ හැටි.
විසඳුම කුමක්ද?

මේවට විසඳුමක් නැද්ද? තියෙනවා. ඒත් ඒක සරල නෑ. ඒක තීරණය වෙන්නේ ඔබේ ක‍්‍රියාකාරීක්වය උඩ. අපි දන්නවා සමහරවිට පුද්ගලිකව ඔබට තවමත් මේ ප‍්‍රශ්නය මුණ ගැහිලා නැතුව ඇති. ‘‘ ඕවා අපිට වැඩක් නෑ. අපේ එකාට ඉස්කෝලයක් ලැබුණා. විශ්වවිද්‍යාලයට තේරුණා’’ කියලා සමහර දෙමවුපියෝ හිතනවා. මේ අය හිතනවනම් වෙන කාට කෙල වුනත් කමක් නෑ අපේ එකාට අනාගතයක් තියෙනවා කියලා, ඒක හරියට යකඩ ගිනිගත්ත තැන පුළුන් හොයනවා වගේ නිශ්ඵල වැඩක් විතරයි.

අද නැත්නම් හෙට ඔබටත් මේ ප‍්‍රශ්න මුණ ගැහෙනවා. එතකොට ප‍්‍රමාද වැඩිවෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා අධ්‍යාපන අයිතිය රැුක ගන්න නොපමාව පෙරට ආ යුතුයි. සමහරු සටන් කරලා දේවල් දිනා ගන්නවා වෙනුවට බහුබූත යෝජනා ගේනවා. ඇමති මාරු කරාම හරි, ආණ්ඩු මාරු කරාම හරි. අපල වෙන්නැති. ඒ හින්දා බෝධි පූජාවක් තියනවා. නැත්නම් මුන්ව හැඳිගෑවිලා යන්න පොල් ගහනවා කියලා හිතනවා. අපි කියනවා මේ වගේ මනස්ගාතවලින් ප‍්‍රශ්න විසඳන්න බෑ. මේ මොනව කලත් තමන්ගේ ප‍්‍රතිපත්ති මේ මජර පාලකයෝ වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්න නම් ඔවුන්ගෙ බලය අභියෝගයකට ලක් වෙන්න ඕන.

ඒ නිසා අධ්‍යාපන අයිතීන් රැක ගන්න පුළුල් ජනබලයක් ගොඩනැගිය යුතුයි. පෙරට විත් සටන් වැදිය යුතුයි. නිවට නැති ධෛර්ය තියෙන හැමෝටම අපි කියනවා ඔබ ඔබේ හෘද සාක්ෂියට සවන් දෙන්න. යුතුකම වගකීම වෙනුවෙන් පෙරට එන්න කියලා. එහෙම නැති නිවටුන්ට පුළුවන් අර්බුදයේ ගිලෙන්න. ගිලිලා විනාශවෙන්න. අපෙන් බාධාවක් නෑ.

අවසාන වශයෙන් ප‍්‍රශ්නේ තියෙන්නේ පාලකයෝ කරන මේ විනාශයේ නෙවෙයි. මොකද මොන ආණ්ඩුව ආවත්, මොන ඇමති හිටියත් ප‍්‍රතිඵලය එකයි. 1981 ඹභඡු ය ගෙනාව ධවල පත‍්‍රිකාවෙ ඉදලා පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය වනසන්න හැදුවා. වෙනස රාජපක්ෂලා ඒක කාටත් වඩා ඉස්සරහින් ඉදල කරන එක විතරයි. ඒ තමයි පාලකයන්්ගේ දේශපාලන වුවමනාව. ප‍්‍රශ්නය ඒක නෙවෙයි මේ තරම් මේව වෙද්දි ජනතාව නිහඩව ඉන්න එකයි.

ඒ නිහඩතාවය බිඳලා දැන් ඉහළට ඔසවලා, අභියෝග කළ යුතුයි. කම්හලෙන්, ගොවිබිමෙන්, කාර්යාලයෙන්, නිවසින් එලියට බැහැල සටන් වැදිය යුතුයි. සෑම සියලූ දෙනෙක්ම එකාවන්ව එක්ව බලකර සිටිය යුතුයි. ඒ තාක්කල් මේ විනාශය නවතින්නෙ නෑ. ඒ නිසා දෙමවුපියනි ! අපි කියනවා. ඔබේ දරුවන්ගෙ දෑස් පාදන්න තියෙන අධ්‍යාපනය රැකලා, ඔවුන්ට අනාගතයක් හදන්න, ගෞරවයක්, අභිමානයක් තියෙන මිනිස්සු කරන්න පෙරට එන්න. අපි ඔබට නැවත නැවතත් කියනවා ඒ වෙනුවෙන් සටන් වදින්න, හෙට දවසෙ වීදියෙ ඇවිලෙන සටනට එකතුවෙන්න කියලා.

නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිවි හිමියෙන් සුරකිමු!


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය