Monday, December 17, 2012

විභාග දෙපාර්තමේන්තුව නැමති රන් දෙවොලට හෙන වැදී හමාරයි.


මෙවර අපොස ස/පෙළ විභාගයේ විද්‍යාව බහුවරණ ප‍්‍රශ්ණ පත‍්‍රයේ ප‍්‍රශ්න හතලිහෙන් 19ක් අනුමාණ කර ඇති බවත් මෙය 542,260 ක් වූ විභාග අපේක්‍ෂකයින්ට සිදුවූ බරපතල අසාධාරණයක් බවත් එබැවින් වහා මේ පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. ඔහු මේ පිළිබඳව ප‍්‍රකාශ කළේ අද (16) නිපොන් හෝටලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඔහු එහිදී දැක්වූ අදහස් පහත පළවේ.
"ඔබ කව්රුත් දන්නවා මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බව. ඊයේ (15) වන විට විෂයන් පහක් අවසන් වී තවත් විෂයන් හතරක් පමනයි පැවැතැවීමට නියමිතව තිබෙන්නෙ. දැනට පවත්වනු ලැබූ සමහර විෂයන් වල තොරතුරු ළමුන් අතට පත්ව ඇතැයි කටකතා අහන්නට ලැබිලා තියෙනවා. නමුත් ඒ කටකතා මත පදනම් වෙලා රටට යමක් කියන්න අපට පුලූවන් කමක් තිබුනෙ නෑ. ඊයෙ දවසෙ අවසන් වුනා,විද්‍යාව පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රය හා දෙවන ප‍්‍රශ්න පත‍්‍රය. එය පැවැත්වුනා ඊයේ උදෑසන 8.30 සිට දහවල් 1.30 දක්වා. එම විභාගය අවසන් වීමත් සමගම රටේ මතු වුනා මහා ආන්දෝලනාත්මක තත්වයක්. එහි තිබුනු සමහර ප‍්‍රශ්න මුද්‍රණයේ වෙනසක්වත් නොමැතිව මීට පෙර බෙදාහැර තිබුනා එක්තරා උපකාරක පන්ති ගුරුවරයකු විසින්. අපි පසුගිය කාලෙ දිගින් දිගටම ජාතික විභාග පද්ධතියෙ තියෙන දුර්වල කම් ගැන අවධාරණය කරා විභාග දෙපාර්තමේන්තුවේ තියෙන අඩුපාඩුකම්. ඒ වගේම විභාග පද්ධතිය පවත්වාගෙන යාමේදී අතිවන ගැටලූ අපි පෙන්වා දුන්නා. මේකෙන් හරි පැහැදිලියි අපි මේ පිළිඹදව කරපු අනාවරණ කිසිවක් අදාළ බලධාරීන්ගෙ පැත්තෙන් අවධානයට ගෙන නැති බව. ඊයෙ ලබාදුන් විද්‍යාව පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිතුරු සැපයීමට ප‍්‍රශ්න හතලිහක් තිබුනා. එම ප‍්‍රශ්න වලින් විසි දෙවන ප‍්‍රශ්නයේ සිට හතලිස්වන ප‍්‍රශ්නය දක්වා ප‍්‍රශ්න දහනවයක් ඒ විදියටම ඊට කළින්විද්‍යාවේ මහා ගෙදර,වසර ගණනාවක විශේෂඥ දැනුම හා අත්දැකීම් පදනම් කරගෙන පසුගිය වසර වල මෙන්ම මෙවරද මෙම අනුමාන ප‍්‍රශ්න පත‍්‍රය සපයනු ලබන්නේ විද්‍යාවේ මහා ඇදුරු විසින් කියලා. මෙම විද්‍යාවේ මහා ඇදුරු මීට කලින් සපයළා තියෙනවා ප‍්‍රශ්න පනහක්. ඒ ප‍්‍රශ්න වලින් සමහර ප‍්‍රශ්න වලට ඔහු දාල තියෙනවා විශේෂ ලකුණක්ඒ තමයි හිනා මුහුණක්. එය හැම එකටම නෑහැ. ප‍්‍රශ්න පනහෙන් විසි හයකට පමණක් තියෙනවා එම හිනා මුහුන. එම ප‍්‍රශ්න විසිහයෙන් දහනවයක්ම ඊයෙ ලබාදුන් විද්‍යාව පළවෙනි ප‍්‍රශ්න පත‍්‍රයේ තියෙනවා. ඒවායින් පශ්න දෙකක තියෙනවා සුළු වෙනසක්ඒ තමයි විසිදෙවන ප‍්‍රශ්නයේ වරණ දෙකක පමණක් වෙනසක් කර තිබෙනවා. නමුත් ප‍්‍රශ්නයේ කිසිඳු වෙනසක් නෑ. එය එහෙම්පිටින්ම සමාන්‍යයි. විසිතුන්වන ප‍්‍රශ්නයේත් ප‍්‍රශ්නය එහෙම්පිටින්ම සමානයි. එහි තිබෙනවා සෙන්ටිගේ‍්‍රඩ් අංශක තිහ කියලා වරණයක්. ඒ වෙනුවට ඔහුගේ තියෙන වරණය තමයි සෙන්ටිගේ‍්‍රඩ් අංශක තිස්පහ. මේ වෙනස්කම් දෙක හැර කිසිඳු වෙනසක් ඔහු ලබාදුන් අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ නැහැ.
අපි අහනවා මේ විදියට අනුමාන කළ හැක්කේ කුමන සත්වයාටද විභාග ප‍්‍රශ්නපත‍්‍රයක් ප‍්‍රශ්න හතලිහයිඑයින් දහනවයක්ම අනුමාන කර තිබෙනවාප‍්‍රශ්න දෙකක සුළු වෙනස්කම් දෙකක් හැරෙන්නට ඉතිරි දාහතම සමාන වී තිබෙනවා. සමහර විද්‍යාත්මක කැරුණු අපි හිතමු අනුමාණ කරා කියලානමුත් මේ විදියට අකුරක්වත් වෙනස්වෙන්නෙ නැතුව අනුමාණ කරන්න පුලූවන් කමක් නෑ අපි විස්වාස කරණ වදියට. මේකෙ ප‍්‍රශ්න දෙකක් තියෙනවා ඒවා මෙහෙමයි. අධිවේගී මාර්ග වනාන්තර ප‍්‍රදේශ හරහා තැනීමෙන් වනජීවීන් සංචරණය කරණ ස්වභාවික මන්පෙත් ඇහිරෙයිමෙය ජෛව විවිධත්වයට බලපෑම් අති කරයි,මෙයට පිළියමක් ලෙස වඩාත් සුදුසු වන්නේප‍්‍රශ්නය ඒකමයි. ඔහු ඊයේ මාධ්‍යට ඔහුගේ පැත්තෙන් ප‍්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවාඔහු අභියෝග කර තිබෙනවාමම විද්‍යාවේ මහා ඇදිරි`දුවරයෙක් ඒ නිසා මට මෙවැනි අනුමාණ කිරීම් කළ හැකියි කියා. අපි අහනවා මෙවැනි ප‍්‍රශ්න කොහොමද අනුමාණ කරන්නෙ කියලාමෙවැනි ප‍්‍රශ්න අකුරක්වත් නෑර අනුමාණ කරන්න තරම් කෙතරම් බුද්ධිමතෙක්ද ඔහු එතකොට. අනිත් ප‍්‍රශ්නය හතලිස් වන ප‍්‍රශ්නයබුන්දලආණවිලූන්දාව වැනි ශ‍්‍රී ලංකාවේ කරදිය ආශ‍්‍රිත තෙත් බිම් ලෝක උරුම ලෙස පිළිගෙන ඇති,ආවේණික ජීව විශේෂ පැවතීම මෙන්ම විශාල ලෙස සංචාරක පක්ෂීන් පැමිනීමද මේවායේ විශේෂ ලක්ෂණ වෙයි එවැණි තෙත් බිමකට ජළ යෝජනා ක‍්‍රමයකින් පිටවන මිරිදිය එක්වීමෙන් සිදුවිය හැකි හානිය නිවැරදිව විස්තර කෙරෙන ප‍්‍රකාශය තෝරන්නකියලා ප‍්‍රකාශ හතරක් දී තිබෙනවා. එම ප‍්‍රශ්නය ඒ අයුරින්ම ඔහුගේ අනුමාන ප‍්‍රශ්න පත‍්‍රයේ හතලිස් නව වන ප‍්‍රශ්නය ලෙසට ලබා දී තිබෙනවා. අපි අහනවා මෙහෙම අනුමාණ කරන්න පුලුවන් කාටදමොන ජගතෙකුටදමේ ප‍්‍රශ්න දෙක විශේෂයෙන් අරන් පෙන්නුවේමේ ප‍්‍රශ්න දෙක විද්‍යාවේ සාමාන්‍ය දැනීම මැනීම සඳහා ලබා දී තිබෙන ප‍්‍රශ්න. තවත් ප‍්‍රශ්න තිබෙනවා ඒවා සමහර විද්‍යාත්මක කරුණු. ඒ වගේ ඒවා සමාන වෙන්න පුලුවන් මොකක් හරි කරල උපකල්පනය කරා කියලා හරි හිතමුකොඒ කිසිම ප‍්‍රශ්නෙක රූප සටහන් වල වත් කිසි`දු වෙනසක් නැහැ. මේ වෙනකොට අපොස සා/පෙළ විභාගය සඳහා ලංකාව පුරාම ශිෂ්‍ය ශිෂ්‍යාවො 542,260 ක් පෙනී සිටිනවා.
මෙවැනි සිදුවීම්වලින් බරපතල හානිය වෙන්නෙ ඒ සියළුම දෙනාට. අපි මීට කලින් සිටම අධ්‍යාපන අමාත්‍යාංශයෙ සිදුවෙන බරපතල අකටයුතුකම් ගැන කියා සිටියා. පසුගිය ශිෂ්‍යත්ව විභාගයේදී අපි එම සිදුවීම් හෙළිදරව් කරා. නමුත් අවසානයේ වුනේ මොකක්දලංකා ගුරු සේවා සංගමය මගින් හෙළිදරව් කරපු සිදුවීම් සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොරක මාව දඩු කඳේ ගහන්න උත්සාහ කරා. මේක තමයි ආණ්ඩුව මගින් ඒවට දීපු පිළිතුර. නමුත් දැන් නැවතත් අපි කියපු කාරණා තහවුරු වෙනවා මෙවැනි සිදුවීම් මගින්. ඒ නිසා අපි කියනවා මේ සිදුවීම් ගැන විභාග දෙපාර්තමේන්තුවත්අධ්‍යාපන අමාත්‍යාංශයත් සාධාරණ පරීක්‍ෂණයක් කළ යුතුයි. එහෙම සාධාරණ පරීක්‍ෂණයක් කරල රටට ඇත්ත කරුණු හෙළිදරව් කළ යුතුයි. එහෙම නැතුව නිකම්ම නිකම් වාර්තා ඉදිරිපත් කරලා මෙවැනි බරපතල සිද්ධීන් වලට විසඳුම් සොයන්න බැහැ.
542,260 කට වෙලා තියෙන බරපතල අසාධාරණයට අධ්‍යාපන අමාත්‍යාංශය විසඳුම් ලබා දිය යුතුයි. එහෙම නැතිව පසුගිය කාලෙ මේ වගේ සිදුවීම්වලදි අධ්‍යාපන ඇමතිවරයා ඒව යට ගහන්න කියපු කථා කියලා මේක යටගහන්න සූදානම් වෙන්න එපා."
                                  තවත් චායාරූප මෙතනින්

Sunday, December 9, 2012

ටියුෂන් කුමට මෙලෙසේ!

මේ නම් මහා විපරීතයකි. අඩියෙන් අඩිය බිහිවන පෞද්ගලික උපකාරක පන්ති ඉදිරිපිට පෙළගැසෙන දරුවන් ශීඝ්‍රයෙන් ඉහළ යන අයුරු කියාපාන්නේ මහා අරුමයකි. ඉවක්‌ බවක්‌ නොමැතිව පෞද්ගලික උපකාරක පන්ති කරා හතිලමින් දිවයැම හැර ඉන් පරිබාහිර කටයුතුවලට ඉඩහසරක්‌ දරුවන්ට නැතැයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. ඒ තරමටම මේ ව්‍යාපාරය විසින් දෙමාපියන් මෙන්ම දරුවෝද ආක්‍රමණය කරනු ලැබ සිටිති. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඊට අනුගත වීම හැර වෙනත් විකල්පයක්‌ නොමැති තත්ත්වයක්‌ නිර්මාණය කරනු ලැබ තිබේ. විභාගයම හැර වෙනත් අත්දැකීමක්‌ දරුවන්ට නැත. විභාගයම සිහිකරනු විනා ඉන් මෙපිට නිදහසක්‌ දරුවන්ට නැත.

උපකාරක පන්තිවලට සහභාගි වීම නිසා සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පාන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අනාවරණය කළේ පසුගිය 2010 වසරේ කරන ලද සමීක්‍ෂණයකිනි. සිසුන් උපකාරක පන්තිවලට සහභාගි වීම පිළිබඳ තත්ත්වය, ඒවාට යොමු වීමට බලපාන හේතු සාධක සොයා බැලීම හා ඒ ආශ්‍රීතව ඇති වන සමාජ ගැටලු හඳුනා ගැනීම වැනිs අරමුණු හයක්‌ ඉලක්‌ක කරගනිමින් කරන ලද එම සමීක්‍ෂණයේ ප්‍රතිඵල එතරම් සමාජය උකහාගත් බවත් නොපෙනේ.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මෙම සමීක්‍ෂණය සඳහා පළාත් හතක දිස්‌ත්‍රික්‌ක පහළොවක්‌ පුරා විහිදුණු පාසල් අසූවක සිසුසිසුවියන් යොදාගෙන තිබිණි. මෙම පාසල් අසූවට ජාතික පාසල් තිහක්‌ ද ඇතුළත් විය.

10 වැනි ශ්‍රේණියේ සිසුහු 2578 ක්‌ද, 12 වැනි ශ්‍රේණියේ සිසුන් 884 ක්‌ද සමීක්‍ෂණයට ඇතුළත් වූහ. මීට අමතරව උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි ඉන් සමත් වූ සිසුන් 310 ක්‌ පාසල් 135 ක්‌ නියෝජනය වන පරිදි සමීක්‍ෂණයට යොදා ගැනිණි. එමෙන්ම 10 වැනි ශ්‍රේණියේ හා උසස්‌ පෙළ පන්තිවල උගන්වන ගුරුවරුන් 513 ක්‌ හා දෙමව්පියන් 220 ක්‌ ද ඒ සඳහා ඇතුළත් කරන ලදී.

සමීක්‍ෂණයට අනුව දහවැනි ශ්‍රේණියේ විෂයයන් සඳහා වැඩියෙන්ම උපකාරක පන්ති පවත්වා ඇත්තේ රජයේ පාසලක ඉගැන්වීමේ යෙදී සිටින ගුරුවරුන් වන අතර එම ප්‍රතිශතය දළ වශයෙන් සියයට 65 ඉක්‌මවා ඇත. උසස්‌ පෙළ පන්ති පිළිබඳ අවධානය යොමු කිරීමේදී උපකාරක පන්ති පවත්වන රජයේ ගුරු ප්‍රතිශතය සියයට 40 ක්‌ පමණය.

මීට දෙවසරකට පෙර පැවැත් වූ මෙම සමීක්‍ෂණය අනුව දහවැනි ශ්‍රේණියේ සිසුන් මාසයකට එක්‌ විෂයක්‌ සඳහා රුපියල් 325 ක්‌ පමණද උසස්‌ පෙළ වාණිජ විෂයධාරාවේ සිසුන් එක්‌ විෂයකට රුපියල් 425 ක්‌ පමණද විද්‍යා විෂයධාරවල සිසුන් එක්‌ විෂයකට රුපියල් 775 ක්‌ පමණ ද වැය කරන බව අනාවරණය විය. කෙසේ වුවද තනි තනිව හෝ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක්‌ වෙනුවෙන් ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේදී ශිෂ්‍යයකු වැය කළ යුතු මුදල මීට වඩා බෙහෙවින් වැඩි බව සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දුන්නේය. එපමණක්‌ නොව 10 වැනි ශ්‍රේණියේ සියලුම සිසුන් විෂයයන් දහයක්‌ සඳහා මාසයකට රුපියල් දශ ලක්‍ෂ 255 ක්‌ අවම වශයෙන් උපකාරක පන්ති සඳහා වැය කරන අතර උසස්‌ පෙළ වානිජ විෂය ධාරාවේ සිසුන් මාසයකට වැය කරන මුදල රුපියල් දශලක්‍ෂ 74 කි. කලා විෂය ධාරාවේ සිසුන් මාසයකට රුපියල් දශලක්‍ෂ 98 ක්‌ හා ජීවවිද්‍යා විෂයධාරාවේ සිසුන් මාසයකට රුපියල් දශ ලක්‍ෂ 89 ක්‌ද වැය කරන බව එම වාර්තාවේ සඳහන්ව ඇත. තවද උසස්‌ පෙළ ගණිතය විෂය ධාරාවේ සිසුන් මාසයකට වැය කරන මුදල රුපියල් දශ ලක්‍ෂ 68 ක්‌ වේ. රුපියල් දශලක්‍ෂ ගණනින් වැය කරන මේ මුදල් උපකාරක පන්ති ගාස්‌තු පමණි. 

උපකාරක පන්තිවලට සහභාගි වීමේදී සිසුන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන්ද කරුණු රැසක්‌ මෙම සමීක්‍ෂණ වාර්තාව අනාවරණය කර තිබිණි.

එනම්, උපකාරක පන්තිවලට සහභාගි වීමේ අතුරු ප්‍රතිඵල ලෙස ප්‍රේම සබඳතා අපචාර ක්‍රියා, මත්ද්‍රව්‍ය භාවිතය වැනි සමාජ සංස්‌කෘතික විරෝධී ක්‍රියාවන් සඳහා සිසුන්ට ඉඩ ලැබීම, අතවරවලට තර්ජනයන්ට ගොදුරු වීම මෙන්ම සිසුන් ශාරීරික හා මානසික ගැටලුවලට මුහුණ පෑම වැනි කරුණු ඒ අතර වෙයි. නිසි වෙලාවට ආහාර නොගැනීම, සමබල ආහාර නොගැනීම හා ක්‍ෂණික ආහාරපානවලට යොමු වීම නිසා සිසුන් ශාරීරික රෝගවලට ගොදුරු වන බවද විවේකය හා විනෝදය අඩුවීම, අධික තෙහෙට්‌ටුව මෙන්ම දැඩි මානසික පීඩනයකින් කල්ගත කිරීම නිසා සිසුන් මානසික රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බවද අනාවරණය කළ කොමිෂන් සභා වාර්තාව මෙම සියලු ව්‍යසනයන්ට හේතුව විභාග උන්මාදය හා ඒ සඳහා උපකාරක පන්තිවලට සහභාගි වීම බව පැහැදිලිව පෙන්වා දුන්නේය.

සමීක්‍ෂණයෙන් පසුව කොමිෂන් සභාව එළඹි අතිශය වැදගත් නිගමන රැසක්‌ද වෙයි. සමස්‌ත අධ්‍යාපන ක්‍රියාවලියම විභාග කේන්ද්‍රීය වූ රටාවකට යොමු වීම උපකාරක පන්තිවලට සහභාගි වූ පමණින්ම විභාගවලින් සමත් නොවන බව තහවුරු වීම ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවීම නිසා පාසල්වල ගුරු විෂමතාව වර්ධනය වීම ඒ අතරින් ප්‍රධාන වෙයි.

සියලුම පාසල් අධීක්‍ෂණය හා නියාමනය සඳහා ශක්‌තිමත් ව්‍යqහයක්‌ ඇති කර පාසල් අධීක්‍ෂණය සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු බවට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කරන්නේ ඉහත සියලු කරුණු සැලකිල්ලට ගනිමිනි. අධීක්‍ෂණ ක්‍රියාවලියට සම්බන්ධ වන සියලුම නිලධාරීන්ට විධිමත් අධ්‍යාපන නායකත්වයක්‌ ලබාදීමට කටයුතු කිරීම මෙන්ම සාමාන්‍ය පෙළ සිසුන් බහුතරයක්‌ උපකාරක පන්තිවල සහාය අපේක්‍ෂා කරන ගණිතය විද්‍යාව හා ඉංග්‍රීසි විෂයයන්හි ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අධීක්‍ෂණය සඳහා වැඩි අවධානයක්‌ යොමු කිරීමද තවත් යෝජනාවක්‌ ලෙස ඉදිරිපත් කර ඇත. ගුරුවරුන්ගේ සේම සියලු අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ගේ කාර්ය සාධන ඇගයීමට අදාළ ක්‍රමවේද සකස්‌ කිරීම හා ඇගයීම ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමද අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කළ කොමිෂන් සභාව විධිමත් ලෙස පාසල්වල ගුරු තුලනය කළ යුතු යෑයිද කීවේය.

තවද විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට විකල්පය වශයෙන් දැනට යෝජිත පාසල් පාදක ඇගයීම් වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීම ද එහි තවත් යෝජනාවකි.

මීට අමතරව පාසල, දෙමාපියන්, පළාත් සභා හා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව හා උපකාරක පන්ති ගුරුවරුන් ඉටුකළ යුතු කාර්යන් ද වෙන් වෙන් වශයෙන් සඳහන් කර තිබේ.

2010 වසරේදී සමීක්‍ෂණය කර පසුගිය වසරේදී (2011) එළිදක්‌වන ලද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙම වාර්තාව පිළිබඳ යළිත් ලියා තබන්නට සිදුවූයේ කලිsන් සඳහන් කළා සේ ශීඝ්‍රයෙන් බිහිවන උපකාරක පන්ති ක්‍රියාවලියේ අවිචාරවත්භාවය කදිමට දිස්‌වෙමින් පවතින නිසා ය. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ද, සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග තරමට ම තරගකාරීය. සාමාන්‍ය පෙළ හා උසස්‌ පෙළ විභාග සඳහා පවතින උපකාරක පන්ති ක්‍රියාවලිය 6, 7 හා 8 දක්‌වා ද, ශිෂ්‍යත්වය ඉලක්‌ක කර ක්‍රියාත්මක උපකාරක පන්ති ඉන් ඔබ්බට ගොස්‌ මේ වන විට 2, 3 හා 4 වැනි ශ්‍රේණිවල ඉංග්‍රීසි හා ගණිතය වැනි විෂයයන් කරා ද නැඹුරු වී ඇති අයුරු පුදුම එළවන සුළුය.

මෙම වසරේ අවසාන වාරයේ නිවාඩුව දැන් ආරම්භ වී තිබේ. ලබන වසරේ (2013) හය වැනි පන්තියට ඇතුළත් වන දරුවන් සඳහා මේ මොහොතේ සිටම ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව පමණක්‌ නොව සිංහල, විෂයය සඳහා ද උපකාරක පන්ති ආරම්භ කර ඇත. ලබන වසරේ තුන්වැනි පන්තියට පා තැබීමට අපේක්‍ෂා කරන දරුවන් සඳහා ද ඉංග්‍රීසි හා ගණිතය විෂයයන් වෙනුවෙන් උපකාරක පන්ති ආරම්භ කර තිබේ. එක්‌ දෙමවුපියෙක්‌ සිය දරුවා මේ උපකාරක පන්තියකට ඇතුළත් කළ විට සෙසු දෙමවුපියෝ ද සිය දරුවන් ඇදගෙන ඒ කරා ඇදෙති. මෙලෙස පන්ති ආරම්භ කරන බහුතරයක්‌ ප්‍රාථමික ශ්‍රේණිවලට උගන්වන රජයේ පාසල්වල ගුරුවරු ය. පවතින ක්‍රමය හමුවේ උපකාරක පන්ති රැල්ලට හසුනොවන දෙමවුපියෙක්‌ දරුවෙක්‌ වෙත්නම් ඒ ඉතා අල්ප පිරිසකි. ඒ සුළු පිරිසට වුව ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇත. ඇතැම් ගුරුවරු පන්ති කාමරයේදී ඉගැන්වීම් නොකරති. එමගින් ඔවුන් අපේක්‍ෂා කරන්නේ තමන්ගේ උපකාරක පන්තියට දරුවන් ගෙන්වා ගැනීමය. උපකාරක පන්තියේදී සිය හැකියාව, දක්‍ෂතාව මුදලට අලෙවි කරන එවැනි ගුරුවරු පාසල් පන්ති කාමරයේදී නිදි කිරමින් මාසය අවසානයේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ද ලබති. උපකාරක පන්තියට නොපැමිණෙන දරුවා කෙතරම් දක්‍ෂයකු වුවත් පන්ති කාමරයේදී කිසිදු සැලකිල්ලකට භාජන නොකෙරේ. සිදුවන්නේ කොන් කිරීමය. දරුවන්ගේ මනස කඩා ඉහිරවන්නේ මනස හැදිය යුතු ගුරුවරයාම වීමේ අභාග්‍යයට මුහුණ දීමට දෙමවුපියන්ට සිදුවී ඇත. එවැනි අවස්‌ථාවන්හිදී දෙමවුපියන් අපේක්‍ෂා කරන්නේ දරුවා මානසිකව ඇද වැටීම වැළැක්‌වීම සඳහා උපකාරක පන්තියට අකැමැත්තෙන් හෝ යොමු කරවීමය. මේ තත්ත්වය සාමාන්‍යකරණය වී තිබෙන බවට දෙමවුපියෝ සාක්‍ෂි දරන්නාහ.

ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් වසර කිහිපයක්‌ උපකාරක පන්ති කරා දරුවන් යෑවීමේ අරමුණ වන්නේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමය. ඒ වෙනුවෙන් නමක්‌ දිනූ රජයේ පාසල්වල ගුරුවරු ඕනෑ තරම් සිටිති. ද්විතීයික පාසල් දහසේ සංවර්ධනයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට ඇති තරගය අඩු වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය වරින් වර ප්‍රකාශ කළේය. එහෙත් ඒ සංවර්ධනය පිළිබඳව ද එතරම් විශ්වාසයක්‌ තැබිය නොහැකි වන්නේ 'මහින්දෝදය' විද්‍යාගාරයට පමණක්‌ මුල්ගල් තබමින් යන ඉබි ගමන නිසාය. මේ වාතාවරණය හමුවේ දෙමවුපියන්ට ද කළ හැකි යමක්‌ නැත. එහෙයින් ශිෂ්‍යත්ව උපකාරක පන්ති කරා දරුවන් යොමු කිරීමට දෙමවුපියන්ට සිදු වී තිබේ. ඒ අතර දෙවැනි, තුන්වැනි, හතරවැනි ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි හා ගණිතය යන විෂයයන් සඳහා උපකාරක පන්ති ආරම්භ කරන ගුරුවරයාගේ අරමුණ කුමක්‌ ද? එහි ඇත්තේ 'බිස්‌නස්‌' ඉලක්‌කයකි. මේ 'බිස්‌නස්‌' මානසිකත්වය විසින් දෙමවුපියන් වෙත එල්ල කරනු ලබන පෙළඹවීම අවසානයේ කරකැවෙන්නේ දරුවන් දෙසට ය. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ 'පොතට පමණක්‌ සීමා වෙයව්' යන විධානය දරුවන් මත පටවනු ලැබේ. විභාගය පමණක්‌ ඔවුන්ගේ මනසට කාවැදීමට ඉඩ හරිනු ලැබීමේ කනගාටුදායක ඉරණම හමුවේ දරුවෝ අසරණ වෙති. නිවාඩු කාලයක්‌ උන්ට නැත. කෙළිදෙළෙන් ගත කළ යුතු ඒ වටිනා කාලය උපකාරක පන්තියේ දිය කර හැරීමට ඔවුන්ට සිදුවෙයි. එමෙන්ම 6. 7, 8, ශ්‍රේණිවල දරුවන් ද උපකාරක පන්ති සඳහා යොමු කිරීමේදී දෙමවුපියන් දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය. පවතින රැල්ලට ගසාගෙන නොයන දෙමවුපියන්ට සිය දරුවන්ගේ වටිනා ජීවිත කාලය පොත පතටම පමණක්‌ නොව ජීවිතයට අත්‍යවශ්‍ය වෙනත් ගුණාංගයන් උකහා ගැනීම වෙනුවෙන් යොමු කිරීමට හැකි වනු ඇත.

මීට දෙවසරකට පෙර ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කළ සමීක්‍ෂණය අනුව උපකාරක පන්ති සඳහා දෙමවුපියන් ගෙවමින් සිටි රුපියල් දශලක්‍ෂ ගණන අද වන විට දෙගුණ වී ඇතිවාට සැක නැත. එසේ නම් දෙමවුපියන්ට දැරීමට සිදුව ඇති බර සුළුපටු නොවේ. කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැළි වන තාක්‌ උපකාරක පන්ති දඬුඅඬුවේ සිර වීමට දරුවන්ට සිදු වෙයි. උසස්‌ පෙළ විෂයයන් හි කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර කිහිප වරක්‌ ම ප්‍රකාශ කර තිබිණි. උසස්‌ පෙළ විෂය කොටස්‌ සාමාන්‍ය පෙළ විෂය මාලාවට ඇතුළත් කරන ලෙස යෝජනා කර තිබුණේ ද උපකාර පන්ති ඔස්‌තාර්ලා පිරිසකි. ජාතික අධ්‍යාපන ආයතනයේ ද මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක්‌ ම පැවැත්විණි. එහෙත් ජාතියේ වාසනාවට එය ක්‍රියාත්මක නොවීය. ක්‍රියාත්මක වූයේ නම් සාමාන්‍ය පෙළ සිසුන් දැනට යන උපකාරක පන්තිවලට අමතරව තවත් විෂයයන් තුනක්‌ සඳහා උපකාරක පන්ති සොයා ගත යුතුව තිබිණි. උපකාරක පන්ති ඔස්‌තාර්ලා පිරිසකගේ වුවමනාව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට තිබූ බව නම් පැහැදිලිය. එම අවශ්‍යතාව පසෙකලා කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාවට නැගීම සඳහා අමාත්‍යාංශය දැන්වත් අවධානය යොමු කළ යුතුය.

හිඟ වැටුප්, උසස්‌ වීම්, විටුප් විෂමතා ඉවත් කිරීම වැනි ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් මේ වන විට සටනක්‌ ආරම්භ කර තිබේ. පසුගිය 4 වැනිදා සංකේත වැඩ වර්ජනයක නිරත වූ ඔවුහු ලබන වසරේ නව පාසල් වාරයේදී සිය සටන තීව්‍ර කිරීමට සූදානමින් සිටිති. එම ඉල්ලීම් සම්බන්ධයෙන් අපට ගැටලුවක්‌ නැත. හිමි විය යුතු දේ හිමි කර දීම බලධාරීන්ගේ වගකීමක්‌ හා යුතුකමක්‌ ද වෙයි. එමෙන්ම උපකාරක පන්ති ව්‍යාපාරයේ රජයමින් දෙමවුපියන් දරුවන් අසරණ කරන සිය සගයන් පාලනය කිරීමේ වගකීමක්‌ ද ගුරු සංගම්වලට තිබිය යුතුය. දෙලක්‍ෂ විසිදහසකට අධික ගුරුවරුන් අතරින් උපකාරක පන්ති මෙහෙයවන්නේ සුළු පිරිසක්‌ බව අපි දනිමු. වගකීම විසිකර මුදල් පසුපසම පමණක්‌ හඹා යන ඒ පිරිස පාලනය කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව කර ඇති යෝජනා ක්‍රියාත්මක කරන්නැයි බලකිරීමට ගුරු සංගම් සූදානම් ද යන ප්‍රශ්නය අප සතුව පවතී.

සිය කාලය, ශ්‍රමය කැප කරමින් මුදල් පසෙකලා මේ රටේ දුවා දරුවන්ට සිප් සතර දෙන අත්‍යන්තයෙන් ම දෙවිවරුන් වන් ගුරුවරු දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ පාසල් පද්ධතියේ වෙත්. ඔවුන් වෙනුවෙන් අපේ ගෞරවය පුද කරමු. උපකාරක පන්ති මෙහෙයවන සුළු පිරිසක්‌ නිසා ඒ ගෞරවය ද කෙළෙසී යනු දැකීමට රිසි නොවෙමු.


නිලන්ත මදුරාවල-divaina

Saturday, December 8, 2012

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වෛද්‍ය උපාධිය විකිණීමේ සූදානමක්


''අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මාලඹේ දාලා තියෙන හින්ද නෙවෙයි. උපාධිය ලක්ෂ 65 ක් හින්ද නෙවෙයි. ඒක නෙවිල් ප්‍රනාන්දු මහත්මයා දාල තියෙන හින්ද නෙවෙයි.අපි පෞදගලිකරණයට විරුද්ධ පැහැදිලි පදනමක ඉඳලා. ඒක නිසා නෙවිල් ප්‍රනාන්දු ඒක කලත් අපි විරුද්ධයි. ගොඨභය රාජපක්ෂ ඒක කලත් අපි විරුද්ධයි. අපි ඊට විරුද්ධව සටන් කරනවා''

යි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසුවේය. ඒ මරදාන සමාජ හා සාමුහික කේන්ද්‍රයේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :-

"වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වශයෙන් අපි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පසුගිය කාලය මුළුල්ලේ අරගල කළා.මේ වන විටත් අරගල කරමින් ඉන්නවා. ඒ පැහැදිලි පදනමක් මත ඉඳගෙන. ආණ්ඩුව උත්සහ කරනවා පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකරමින්, ප්‍රතිපාදන කප්පාදු කරමින් , පාසල් වසා දමමින් රටේ අධ්‍යාපන ක්‍රමය බවට පෞද්ගලික අධ්‍යාපනය පත්කිරීමට. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එහි නියමු ව්‍යාපෘතිය ලෙසිනුයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි මාලඹේ උපාධි කඩය වසා දැමිය යුතුයි කියන දැඩි අධිෂ්ඨානශීලි අරගලයකට වෛද්‍ය ශිෂ්‍යන් අවතීර්ණ වෙලා ඉන්නේ.

දැන් තවත් ගැටළුවක් මතුවෙලා තියෙනවා. ඒ තමයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය නම් ආයතනය පිළිබඳව ගැටලුව. මීට වසර 03 කට පෙර එහි වෛද්‍ය උපාධි පාඨමාලාවක් ආරම්භ කළා. එහි තර්කානුකුල පදනම ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ආරක්ෂක අංශ වලට වෛද්‍යවරු අවශ්‍යයි කියන ඒක. නමුත් රට තුල ඒ සඳහා ක්‍රමවේදයක් තිබුනා. රටේ දරුණු යුද්ධයක් පවති කාලෙකවත් එහෙම ආයතනයක් ඉදිරිපත් නොකර,ආරක්ෂක අංශවලට වෛද්‍යවරු ගැන අමුතුවෙන් කතා කිරීමේ ගැටළුවක් තිබුනා. තවත් කාරණයක් තමයි මෙහි කණ්ඩායමක සිසුන් 25 දෙනයි බඳවා ගන්නේ. සිසුන් 25 කට මොකටද වෙනම වෛද්‍ය පීඨයක් කියල ගැටළුවකුත් තියෙනවා. ඔවුන් ඇතුලත් කරගන්නේ සම්මුඛ පරීක්ෂණ 5 කින් අනතුරුව, සැම ශිෂ්‍යයෙක්ම රුපියල් ලක්ෂ 186 ක වත්කම් සහතික පෙන්නුවට පස්සේ'

ඒ වගේම තමයි සිසුන් හා ආයතනය අතර ගිවිසුම උනේ වසර 10 ක් ආරක්ෂක අංශ වල පමණක් සේවය කල යුතුයි කියන කාරණය. බරපතල ගැටලුව තමයි ඔවුන් ක්‍රමවේදයක් හදලා තියෙනවා රුපියල් ලක්ෂ 31 ක් ගෙවලා එම ගිවිසුමෙන් නිදහස් වෙන්න.

දැන් අපි විශේෂයෙන් ඒ ගැන කතා කරන්නේ මේ වෙද්දී නොනිල තොරතුරු ලැබිල තියෙනවා ඉදිරි වසර වල මෙයට සාමාන්‍ය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස සිසුන් බඳවා ගන්න බවටත් වෛද්‍ය උපාධිය විකිණීම ආරම්භ කරන බවටත්. මේ වන විටත් මෙමගින් රාජ්‍ය සරසවි වලට තර්ජනයන් එල්ල වෙලා තියෙනවා. රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පමණක් ආචාර්ය වරු 8 දෙනෙක් මෙහි සේවය කරනවා.ආචාර්ය වරයෙක් මුළුමනින්ම ඉවත්වෙමින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා.කොළඹ ජාතික රෝහලේ සායනික පුහුණුවටත් මෙහි සිසුන් පැමිණෙනවා. ඒ හරහා ගැටළු මතුවෙලා තියෙනවා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට.

තවත් දෙයක් තමයි පසුගිය සිකුරාදා 30/11/2012 වෙනිදා වෛද්‍ය පීඨධිපති හා ආරක්ෂක ලේකම් වරයා අතර සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. අපි අහනවා මොකද්ද ආරක්ෂක ලේකම්ට වෛද්‍ය පීඨ වල විතරක් විසඳන්න තියෙන ආරක්ෂක ගැටලුව. හරි පැහැදිලියි. මේ හදන්නේ PMC ආරම්භ කරන්න. මාලඹේ ව්‍යාපෘතියෙන් පස්සේ කොකටත් තෛලය වෙච්ච ආරක්ෂක අංශ පාවිච්චි කරලා අධ්‍යාපන පෞද්ගලික කරගන්න. අපි එකට ඉඩදෙන්නේ නැ.

අපි විරුද්ධ මාලඹේ කියන වචනෙට නෙවෙයි. නෙවිල් ප්‍රනාන්දුට අපි විරුද්ධ වෙනවා.ගොඨභය රාජපක්ෂ ටත් අපි විරුද්ධ වෙනවා.

ඉදිරියේදී වරක් පරාජය කරපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනතත් ආයේ ඉදිරිපත් කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. අධ්‍යාපනයට වෙන්කළ මුදල 1.5% දක්වා අඩු කරලා.ආණ්ඩුවට අධ්‍යාපන පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනය විකිණිම. වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම.

ඉදිරියේ දී වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විදියට දැවැන්ත ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම අනෙක් අධ්‍යාපන සංහාරයට එරෙහිව සියලු බලවේග ගෙන දැවැන්ත ක්‍රියාමාර්ග රාශියක් ගන්නවා.

ඉතිහාසය දැවැන්ත කැපකිරීමක් කරලා අධ්‍යාපනය රැකගන්න අපි සිටිනවා. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා."

මෙම අවස්ථාවට කොළඹ හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලන්හි වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සභාපතිවරුන් ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

Thursday, December 6, 2012

අත්අඩංගුවට ගත් යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු ! - IUSF/FUTA

යාපනය විශ්වවිද්‍යාලය තුළ වර්ථමානය වන විට උද්ගතව ඇති තත්වය පිළිබඳව දැනුවත් කිරීමට හා අත්අඩංගුවට ගෙන සිටින සිසුන් නිදහස් කරන ලෙස බලකරමින් අ.වි.ශි.බ.ම හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පසුගිය 03 වැනිදා ඒකාබද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී.


එහිදී අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

මීට දින කිහිපයකට උඩදී අප දැනුවත් කළ පරිදි මේ වන විට යාපනය විශ්වවිද්‍යාලය තුළ මතුවී ඇත්තේ ඉතාමත් බරපතල තත්වයක්. යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට හා ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව රජයේ ආරක්ෂක අංශ විසින් බරපතල මර්දනයක්, ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තියෙනවා. මේ වන විට යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා ඇතුළු ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයන් 4 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් ශිෂ්‍ය නායකයින් ගණනාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විශාල මෙහෙයුමක් ක‍්‍රියාත්මකයි.

ගණකාධිකරණ පීඨයේ සභාපති දර්මන් හා විද්‍යා පීඨයේ සොලමන් යන සහෝදරවරුන් පසුගිය 30 වෙනිදා දහවල් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඒ ඔවුන්ට විරුද්ධව පැමිනිල්ලක් විභාගකිරීමට ඇතැයි කියමින්  කෝපායි පොලිසිය කළ කැඳවීමකට අනුව  පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේදීයි. මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශනාත් හා ගනේෂලිංගම් සුදර්ශන් යන සහෝදරවරුන්ව පසුගිය 30 වෙනිදා මධ්‍යම රාත‍්‍රියේ නිවෙස්වලට පැමිණ අත්අඩංගුවට ගෙන තියෙනවා. දැනට දින දෙකකට වඩා වැඩි කාලයක් ගතවී ඇතත්  තවමත් ඔවුන්ව කිසිදු අධිකරණයකට ඉදිරිපත් කිරීමට හෝ නිදහස් කිරීමට කටයුතු කර නැහැ. විශ්වවිද්‍යාලය අවට විශාල හමුදා සෙබළුන් ප‍්‍රමාණයක් රඳවා තබමින් යුධ පිටියක වැනි ස්වභාවයක් ඇති අතර යාපනය නගරය තුළ විශාල මර්දනයක් ක‍්‍රියාත්මකයි. 28 වෙනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයො සිදුකරපු උද්ඝෝෂණයට එල්ලකරන ලද අමානුෂික ප‍්‍රහාරය වගේම මේ විදිහට බොරු චෝදනා එල්ල කරල  ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයො අත්අඩංගුවට ගැනීමත්  අවිශිබම ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ විතරක් නෙවෙයි අත්අඩංගුවට ගත් මේ සියළුම සහෝදරවරු වහාම නිදහස් කරන්න කියන බලපෑමත් යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට නිදහසේ ඉගෙන ගත හැකි වටපිටාවක් නිර්මාණය කරන්න වගේම දිගින් දිගටම ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් සිදුකරන බලපෑම නතරකරන්න කියන බලපෑමත් අපි ආණ්ඩුවට කරනවා.

ආණ්ඩුව උතුරේ මර්දනය ක‍්‍රියාත්මක කරන අතර තුර ඒ සියලූ සැහැසිකම් දකුණේ ජනතාවට සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය යොදාගනිමින් ව්‍යාජ ප‍්‍රචාරයන් දියත්කරනවා.  දකුණේ ජනතාව සිය අයිතීන් වෙනුවෙන් අරගල කරද්දීත් අනුගමණය කලෙත් ඒ ප‍්‍රතිපත්තියම තමයි.

ගෙවුණු වසර තුනකට අධික යුද කාලීන වකවානුව  තුළ උතුරු නැගෙනහිර පළාත් තුළ විශාල වශයෙනුත් දකුණේ යම් යම් ප‍්‍රදේශවලත් සිංහල දෙමළ මුස්ලිම් සියලූම ජාතික ප‍්‍රජාවන්ට එරෙහිව විශාල ත‍්‍රස්තවාදයක් දෙපාර්ශවයෙන්ම ක‍්‍රියාත්මක වූනා. LTTE සංවිධානය පැත්තෙන් වගේම රජයේ පාර්ශවයෙනුත් ක‍්‍රියාත්මක වුණු ත‍්‍රස්තවාදය එතරම්ම භයානකයි. මේවන විටත් රජය උතුරෙදි වගේම දකුණෙදිත් ක‍්‍රියාත්මක කරමින් තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, මානව නිදහසට එරෙහි ත‍්‍රස්ත‍්‍රවාදයම තමයි. අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට කවාරාකාරයකවත් ත‍්‍රස්තවාදයක් අනුමත කරන්නේ නෑ. කවුරු කළත් ත‍්‍රස්තවාදය ත‍්‍රස්ත‍්‍රවාදයමයි. අද යාපනය තුළ ක‍්‍රියාත්මක වෙන  ත‍්‍රස්තවාදයක් තියෙනවා. ඊට එරෙහිව අපි කොන්දේසි විරහිතව අපගේ විරෝධය ප‍්‍රකාශකරනවා.  ත‍්‍රස්තවාදයට අපි විරුද්ධ බව ඇත්ත නමුත් දෙමළ ජනතාවට සිතන්න පතන්න තියෙන අයිතිය, ඔවුන්ගේ  විශ්වාසයන්  හා ඇදහිලි සඳහා ඔවුන්ට තියෙන අයිතිය, ඔවුන්ගේ මිනිසුන් සමරන්න තියෙන අයිතියට අපි ගරුකරනවා. මොකද ඒවා මානුෂීය කාරණා. ඒවට බලපෑම් කරන්න කිසිවකුටත් අයිතියක් නෑ. ඒවා තීරණය කිරීමේ අයිතිය රජයට පවරන්න කොහෙත්ම අපි එකඟ නෑ. ඔවුන් හිතන විදියට, ඔවුන්ගෙ විශ්වාසයන්ට, ඔවුන්ගෙ වීරයන්ට අපි එකඟ නොවෙන්න පුළුවන් ඒත් ඔවුන්ට එහෙම කරන්න එපා කියලා බලපෑම් කරන්න අපට තියෙන අයිතිය මොකද්ද? මැරුණු මිනිස්සු හරිද වැරදිද, ඔවුන්ගෙ මතවාදයන් අපි පිළිගන්නවද නැද්ද ඒදේවල් කුමක් වුවත්  දෙමළ ජනතාවට තමන්ගේ මියගිය මිනිසුන් සමරන්න අයිතියක් තිබෙනවා. ඒක උතුරේ ජනතාවට විතරක් නෙවෙයි දකුනේ ජනතාවටත් තියෙනවා. එවැනි සැමරුම් කරන එක නෙවෙයි ත‍්‍රස්තවාදය කියල කියන්නේ  ඒ අයිතිය ප‍්‍රචන්ඩත්වය යොදාගෙන වලක්වන එකයි. ආණ්ඩුව මේ කරන දේවල් වලින් යළිත් රට තල්ලූ කරමින් තිබෙන්නේ ජනඝාතක ජාතිවාදී යුද්ධයක් දෙසටයි. ජාතිවාදයන් කිසිවක් තනිව පවතින්නේ නෑ. මේවා එකිනෙකට අන්තර් සම්බන්ධිතයි. එක ජාතිවාදයක් පෝෂණය කරද්දී අනික් ජාතිවාදයත් පෝෂණය වෙනවා. රජය මැදිහත් වීමෙන් බොදුබල සේනා වැනි සංවිධාන හරහා මුස්ලිම් විරෝධී ජාතිවාදයක් හදන්න හදනවා. ඒ වගේම දෙමළ ජනතාවට විරුද්ධ ජාතිවාදයක් හදනවා. මෙය ඉතාම භයානක තත්ත්වයක්. අපි දන්නවා අවුරුදු 30 ක් තිස්සේ දෙකොන ඇවිලූණු යුද්ධයක් තිබුණා. දැන් මේ හදන්නෙ තුන්කොනම අවුලූවපු යුද්ධයක් වෙත රට තල්ලූ කරන්න. මේ විනාශයෙන් රටත් සමාජයත් ගලවා ගැනීමේ වගකීමක් අපි ඔබ කාටත් තියෙනවා. අපි ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට මේ ජාතිවාදී අගුලේ නොවැටී අන්‍යෝන්‍ය විමුක්තිය නිදහස වෙනුවෙන් සටන් වැදිය යුතුයි. මෙහිදී සිංහල ශිෂශ්‍යා සිංහල ජාතිවාදයෙන් මිදිය යුතුයි වගේම දෙමළ ශිෂ්‍යාටත් විශාල වගකිමක් තියෙනවා අන්තවාදයන්ට තල්ලූ නොවී සිය අයිතීන් දිනා ගැනීමේ අරගලය වෙනුවෙන් දකුණ හා අත්වැල් බැදගත යුතුයි. ඒ වෙනුවෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට අපි කොන්දේසි විරහිතව සටන් කරන්න සුදානම්. අපි  ආණ්ඩුවට බලකරනවා අත්අඩංගුවට ගත් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු 4දෙනාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ඔවුන් වහා නිදහස් කරන ලෙස. යාපනය විශ්වවිද්‍යාලයට සිදුකරන ආරක්ෂක අංශ මැදිහත්වීම් වහාම නවත්වල ඔවුන්ට නිදහසේ ඉගෙනගන්න ඉඩදිය යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතා,

පසුගිය සතියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවු තත්වය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ් බරපතල අවධානය යොමුවී තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ මෙම තත්වය අළුත් තත්වයක් නොවෙයි. පසුගිය කාලය පුරාම යාපනයේ ජන ජීවිතයට එල්ලවී ඇති බරපතල රාජ්‍ය මිලිටරීකරණයේම තවත් එක අවස්ථාවක්්. රජයේ මැදහත් වීම ඇතුළෙ දකුණේ මාධ්‍ය වල පලවන තොරතුරු අනුව නැවත කොටි ත‍්‍රස්තවාදය හිස එසවීමට ගත් උත්සහයක් ලෙසයි. එයට දකුණේ සිංහල බෞද්ධ සමාජයේ පොදු එකඟතාවක් ඇති බවක් පේනවා. උතුරේ මේ තත්වය අපිව නැවත ගෙනයනවා ජේ. ආර් ජයවර්ධන යුගයට. උගත් පාඩම් ප‍්‍රතිසංවිධානයක් ගැන පසුගිය කාලයේ කතා කරා. කේ. පී රාජ්‍ය වරප‍්‍රසාද විදීම පිළිබඳ ප‍්‍රශ්න කරපු වෙලාවක රජයේ ඇමති වරයෙක් එය ජනවර්ග අතර සංහිදියාව ඇති කිරීමට කටයුතු කිරීම ලෙස පිළිතුරු ලබා දුන්නා. මේ රජය එවැනි ප‍්‍රවේශයක් යාපනයේ සාමාන්‍ය ජනයා, විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධයෙන් නැත්තේ ඇයි?

රජය කතා කරන්නේ ජාතීන් අතර එකඟතාව, සහෝදරකම, සහජීවනය, සමගිය පිළිබඳව. එය සැබෑවක්ද කියලා පොදු ජනතාවගේ ඇස් අරවන්න යාපනය විශ්වවිද්‍යාලයේ සිදුවීමම ප‍්‍රමාණවත් කියලයි මට සිතෙන්නේ. 71හා 89 අරගල කරපු සහෝදරවරුන්ටත් ත‍්‍රස්තවාදී ලේබලය ඇලෙව්වා. නමුත් අදටත් ඔවුන් සැමරීම සිදුකරනවා. නමුත් කනගාටුව තමයි රජය දමිළ ජනතාවට සම්බන්ධයෙන් එවැනි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකිරීම. ඔවුන්ට තමන්ගේ මියගිය ජනතාව සමරන්න ඇති අයිතිය උල්ලංඝනය කරලා තිබෙනවා. මෙසේ වන්නේ උතුර පිළිබඳ දකුණේ ජනතාව සිතන ආකාරය පිළිබඳ ප‍්‍රශ්නයක් තිබෙන නිසා. උතුරේ ජනතාව දකුණට අවශ්‍ය විදිහට සිතිය යුතුයි කියා සිතීමම වැරදියි.

ඔවුන් හමුදාවේ මැදිහත් වීම් පිළිබඳව දැඩි කෝපයකිනුයි පසුවන්නේ. එනිසා ඔවුන්ට එරෙහිව හමුදාවේ මෙම අත්තනෝමතික මැදිහත්වීම් භයානක ප‍්‍රතිඵල ගෙනෙන්න ඉඩ තිබෙනවා. දකුණ තරම්වත් යාපනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩක් නැහැ. උතුර මුළුමනින්ම මිලිටරීකරණය වු නගරයක්. ඒ ජනතාව තුළ ආණ්ඩුවට එකගතාවක් නැහැ. එවැනි තත්වයක් තුළත් උතුරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුවේ මැදිහත්වීම මේ ආකාරයේ නම් එය අනාගතයේ වඩාත් දරුණු ප‍්‍රතිඵල ඇතිකරාවි. ඒ වගේම විශ්වවිද්‍යාල තුළට දේශපාලන මැදිහත්වීම් නවත්වන්න කියලා ආචාර්යවරු ලෙස අපි පහුගිය කාලය පුරාවටම අරගලකලා. උපකුලපතිවරු ආණ්ඩුවේ ගැත්තන් බවට පත්ව ඇති නිසා මේ තත්වය ඇති වෙලා තිබෙන්නේ. අපි මේ තත්වය හෙළා දකිනවා. මෙය විශ්වවිද්‍යාල වල ප‍්‍රශ්නයක් නෙමෙයි පොදුවේ සමාජයක් ලෙස මුහුණදෙන ගැටළුවක්. මේ පිළිබඳව සමාජයක් ලෙස අපි අවධානය යොමුකර යුතුයි කියලා අපි කියනවා.

Wednesday, December 5, 2012

මෙය තරුණ පරපුරම අමතක කරදමා ඇති අයවැයක්- බිමල් රත්නායක

සමස්‌ත තරුණ පරපුරම අමතක කරදමා ඇති හැකි අයගේ දූ දරුවන්ට සැපවත් ජීවිතයකට අවශ්‍ය වටපිටාව මෙවර අයවැයෙන් සලසා දී තිබෙනවා යෑයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ බිමල් රත්නායක මහතා,

                     "2011 ජන සංඛ්‍යාලේඛන අනුව ගත්තාම මෙරට අවුරුදු 15-35 අතර තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක්‌ පමණ සිටිනවා. ආණ්‌ඩුවේම සංගණනයන්ට අනුවම ගත්තාම මෙම ප්‍රමාණය තහවුරුවෙලා තිබෙනවා. අපේ රටේ වර්ෂයකට තුන්ලක්‍ෂ පනස්‌දාහක්‌ පමණ දරුවන් පිරිසක්‌ බිහිවෙනවා. ඉන් අති බහුතරයක්‌ දෙනා අපේ රටේ සාමාන්‍ය දුප්පත් අම්මා තාත්තගේ දරුවන්. ඒ කියන්නේ එදිනෙදා කීයක්‌ හරි හොයාගෙන ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ දරුවන්. ඔවුන්ගේ අධ්‍යාපන වටපිටාව ගත්තොත් එම තුන්ලක්‍ෂ පනස්‌දාහෙන් හරි අඩක්‌ එනම් එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ දෙනා පමණයි සා.පෙළ විභාගය සමත් වෙන්නේ. ඒ වගේම එම තුන්ලක්‍ෂ පනස්‌දාහක පිරිසෙන් 2/3 ක්‌ පමණ පිරිසක්‌ පමණයි උසස්‌ පෙළ සමත් වෙන්නේ. එලෙස උසස්‌ පෙළ සමත් වෙන පිරිසෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට හැකිවන්නේ 3% ක පමණ පිරිසකට පමණයි. උසස්‌ පෙළ විභාගය සමත්වෙලා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබපු කී දෙනෙක්‌ විශ්වවිද්‍යාලවල දොරටුව කුඩා නිසා ඇතුළු වීමට නොහැකිවී ඉන්නවද? ආණ්‌ඩුව කියන පරිදි සාමාන්‍යයෙන් වර්ෂයකට විසිදාහක පමණ පිරිසකට පමණයි විශ්වවිද්‍යාල වරම් ලැබෙන්නේ. එම විසිදහස කියන්නේ උසස්‌ පෙළ විභාගයට දෙවැනි සහ තුන්වැනි වතාවටත් පෙනී සිටි ශිෂ්‍යයන් ඇතුළුවයි. ලෝකයේ අඩු අධ්‍යාපනයක්‌ ලැබෙන රටවල් 10 න් එකක්‌ බවට අපේ රට පත්වෙලා තිබෙනවා. එනිසා අපේ රටේ අධ්‍යාපනයේ අවස්‌ථා පුළුල් විය යුතුයි. රටේ ජනාධිපතිවරයා විදියට ප්‍රතිපත්ති සකස්‌ කරන්නා ලෙස රටේ මුදල් ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර අයවැයෙන් උසස්‌ අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක්‌ ඉදිරිපත්කර නැහැ. අපට යම් බලාපොරොත්තුවක්‌ තිබුණා එහෙම යෝජනාවක්‌ මේ අයවැයේ තියෙයි කියලා.

මේ රටේ රුහුණු විශ්වවිද්‍යාලයෙන් පසුව රජයේ වැඩපිළිවෙළක්‌ සහිතව දැක්‌මක්‌ සහිතව, විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කර නැහැ අවුරුදු 34 ක්‌ ගතවන තුරු. අනුබද්ධ විශ්වවිද්‍යාල නමින් විශ්වවිද්‍යාල කිහිපයක්‌ ආරම්භ කළා. නමුත් ඒවා ගම් උදාවට හදන ලද ගොඩනැඟිලිවල, අත්හැර දමන ලද ස්‌ථානවල ස්‌ථාපිත කරපු පපඩම් විශ්වවිද්‍යාලයි. ඒවත් ශිෂ්‍යයන්ගේ අරගල නිසා ආණ්‌ඩුව විසින් ආරම්භ කළාට කිසිදු දැක්‌මක්‌ වැඩපිළිවෙළක්‌ සහිතව ආරම්භ කරන ලද ඒවා නොවෙයි. ලෝකයේ ගත්තාමත් අවුරුදු 34 කින් විශ්වවිද්‍යාලයක්‌ ආරම්භ කර නැති එකම රට ශ්‍රී ලංකාව වෙන්නත් පුළුවන්. වත්මන් ජනාධිපතිතුමා තමන්ගේ දෙවැනි ධුර කාලය ඉතා උත්කර්ශවත් ආකාරයෙන් සැමරුවා. අවුරුදු 8 ක්‌ ගතවෙලා තියෙනවා. ඒ අවුරුදු 8 තුළ උසස්‌ පෙළ සමතුන් ආසන්න වශයෙන් දශලක්‍ෂයක්‌ පමණ එළියට දාලා තිබෙනවා. විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලවලට ඇතුළු වෙන්න ඔවුන්ට අවස්‌ථාව නොලැබුණා. මේ රටේ විශ්වවිද්‍යාල සංවර්ධනයට යෝජනා නැහැ. සුදුසුකම් ලැබිලත් විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට නොලැබීම මහා ඛෙදවාචකයක්‌....... ... ....

මෙරට තරුණ ජනගහනය ලක්‍ෂ 75 ක්‌ පමණ වෙනවා. ඔවුන්ගෙන් ලක්‍ෂ 20 ක්‌ පමණ කිසිදු රැකියාවක්‌ කරන්නේ නැහැ. රැකියා කරන ලක්‍ෂ හතළිහක පමණ පිරිසක්‌ ඉන්නවා. ඔවුන් නිරත වන රැකියා ඉතා පීඩාකාරී තත්ත්වයකයි තිබෙන්නේ. විශේෂයෙන්ම ඇඟලුම් කම්හල් තුළ සේවය කරන තරුණියන්. ඒ වගේම සුපර් මාර්කට්‌, ප්‍රදර්ශනාගාරවල, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවල සහ ඉන්ධන පිරවුම්හල්වල සේවය කරන තරුණ තරුණියන්ගෙන් බහුතරයක්‌ උසස්‌ පෙළ සමතුන්. ඔවුන් මහත් පීඩාවකින් රැකියාවේ නිරත වෙන්නේ. ඔවුන් ලැබෙන වැටුප ඉතාම අඩු අගයක්‌. එනිසා ඔවුන් කෙටි කාලයකින් එම රැකියා අත්හරිනවා. උගත්කමින් වැඩි ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක්‌ ඇඳුම් මහන්නේ ලංකාවේ කියලා ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නිරතවන විදේශිකයෙක්‌ කියා තිබුණා මට මතකයි. මේ පීඩනය නිසා රැකියාව අහිමිවන සේවකයන්ට ආණ්‌ඩුවෙන් කිසිදු දීමනාවක්‌ ලබාදෙන්නේ නැහැ. රටේ ජනාධිපතිවරයා වන මුදල් ඇමැති තරුණයන් ගැන අයවැයේ කිසිදු සඳහනක්‌ කරන්නේ නැහැ. හැබැයි එක සඳහනක්‌ තිබෙනවා. 2014 පැවැත්වෙන තරුණ ඇමැතිවරුන්ගේ සමුළුවක්‌ සඳහා රුපියල් මිලියන 300 ක්‌ වෙන්කළා"

මැර පිරිසක් පහරදී රජරට සිසුන් 5 ක් රෝහලේ

University of Rajarata
භාහිර මැර පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් තුවාළ ලැබූ රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු මිහින්තලය රෝහලට ඇතුළත් කර ත්බේ. මොවුන් අතුරින් සිසුන් තිදෙනෙකු ඊයේ (04) රාත්‍රියේ සිය පෞද්ගලික නේවාසිකාගාරය තුළදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති අතර අනෙකුත් සිසුන් දෙදෙනා පසුගිය 03 වනදා නේවාසිකාගාරයට ගමන් කරන අතරතුර දී ප්‍රහාරයට ලක්වී තිබේ.

Tuesday, December 4, 2012

SAITM පිළිබඳ විධිමත් පරීක්ෂණයක්

මාල‍ඹේ ‍පෞද්ගලික ‍වෛද්‍ය විද්‍යාලය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා පාර්ලි‍මේන්තු ‍තේරීම් කාරක සභාවක් පත්කරන ‍ලෙස කථානායකවරයා‍ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා ‍වේ.
විපක්ෂ‍යේ පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් අට (08) ‍දෙ‍නෙකු‍ගේ අත්සනින් යුතුව එම ඉල්ලීම සිදුකර ඇත. ‍
මෙම ඉල්ලීම සිදුකර ඇති පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් ‍ලෙස අනුර කුමාර දිසානායකජයන්ත කැට‍ගොඩවිජිත ‍හේරත්,සුනිල් හඳුන්නෙත්තිසුජීව ‍සේරසිංහකබීර් හසීම්හරීම් ප්‍රනාන්දුදයාසිරි ජය‍සේකර සහ අජිත් පී. ‍පෙ‍රේරා සඳහන් ‍වේ.
ඉහත සඳහන් මන්ත්‍රීවරුන්‍‍ විසින් ‍මේ පිළිබඳව කළ ඉල්ලීම ‍මෙ‍සේය.
                         ‘‘මාලඹේනව නුවර පාර ඔබ්බෙහිමිලේනියම් ඩ‍්‍රයිව් ලිපිනයේ පිහිටි South Asian Institute of Technology and Management (Pvt.) Ltd. (SAITM) නම් ආයතනයක් ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස මේ වනවිට වෛද්‍ය පුහුණු පාඨමාලා පවත්වමින් තිබේ.
ශ‍්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට අදාළ කවර හෝ උපාධියක් පිරිනැමීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවද මෙම ආයතනය ඒ කොන්දේසි මෙතෙක් ඉටුකර නැත.
එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ පංච පුද්ගල කමිටුවක් විසින් 2012.02.28 නිකුත් කළ වාර්තාවකින් මෙම ආයතනය සිදුකරන ලද වැරදි ගණනාවක් පෙන්වාදී ඇත.
2011 මැයි මාසයේ සිට South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. ලෙස නම වෙනස් කරගත් මෙම ආයතනයශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සිසුන් තවදුරටත් බඳවා නොගන්නා ලෙස දැනුම්දී තිබියදීත් එය නොසලකා ශිෂ්‍ය කණ්ඩායම් කීපයක් බඳවාගෙන ඇත.
එසේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව ශික්‍ෂණ රෝහලක් ලෙස නම් කර පෞද්ගලික රෝහලක් පවත්වාගෙන යන අතරඒ සඳහා ප‍්‍රචාරය ලබාදෙමින් සිසුන් බඳවා ගනිමින් සිටී. 1987 අංක 48 දරණ මානව පටක බද්ධ කිරීම පිළිබඳ පනත උල්ලංඝනය කරමින් මේ වනවිට මෙම ආයතනය මෘත ශරීරද ලබාගනිමින් තිබේ.
එක් ශිෂ්‍යයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 70ක් පමණ අයකර ගනිමින් පවත්වාගෙන යන මෙම ආයතනය ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක‍්‍රමයට බලවත් තර්ජනයක් වන අතර සුදුසුකම් නොලත් වෛද්‍යවරු පිරිසක් බිහිකිරීමෙන් සෞඛ්‍ය සේවාවටද අනාගතයේ දැඩි හානියක් සිදුකරනු ඇත.
කරුණු මෙසේ තිබියදී ගරු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මැතිතුමා විසින් 2012 අගෝස්තු 30 දින ගැසට් නිවේදනයක් මෙම ගරු සභාවට ඉදිරිපත් කරමින් SAITMආයතනයට වෛද්‍ය උපාධි ප‍්‍රදානය කිරීම සඳහා අවසරය ලබාදෙන ලදී.
මෙසේ හෙයින් South Asian Institute of Technology and Medicine (Pvt.) Ltd. ආයතනය පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටිමු''
-lankatruth

Sunday, December 2, 2012

විභාග භීතිකාව

ඔබගේ දුවගේ හෝ පුතාගේ ජීවිත ගමන තීරණය වන අ.පො.ස. සා/පෙළ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. වසර ගණනක ඔබගේත් දරුවාගේත් මහන්සියේ ප්‍රතිඵල නෙළාගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත. සමහර දරුවන් ඒ සඳහා හොඳ සූදානමකින් යුතුව ඉතා උද්‍යෝගයෙන් ධෛර්යවත්ව සිටිනවා විය හැකිය. තවත් සමහරෙකු විභාගයට බියවී යම් යම් මානසික හා කායික ව්‍යාකූලතාවයන්ට ලක්වී සිටිනවා විය හැකිය. අප මෙම කෙටි සටහන තබනුයේ, එවන් වූ යම් අපහසුතාවයකට පත්ව සිටින දරුවන් ඉන් මුදා ගැනීම සඳහාය.

විභාග භීතිකාවට ලක්වීමට ප්‍රධානතම හේතුවන්නේ, දරුවා විෂය දැනුමෙන් පොහොසත් නොවීමයි.

තමා පිළිබඳව තමාට ඇති අවතක්සේරුව, සපුරාගත නොහැකි ඉලක්ක පිළිබඳව ඇති බලාපොරොත්තු, මාපියන්ගේ අරමුණු කරා ළමයින් මෙහෙයවීම. ඔබ පන්තියේ පළවැනියා වන්න, වෛද්‍යවරයකු වන්න, වැඩි ලකුණු ගන්න, අපේ එකම බලාපොරොත්තුව ඔබයි වැනි දේ.

”මෙයා ඒ 9ක් ගනී” වැනි ගුරුවරුන් හා ඥාතීන්ගේ අධි තක්සේරුව.

තවත් ළමයින් සමඟ සංසන්දය කිරීම. අනෙක් ප්‍රධාන කරුණුයි.

විභාග භීතිකාව විභාගයට පෙරත් විභාගය අවස්ථාවේදීත්, විභාගයෙන් පසුත් ඇතිවිය හැකිය.

මේ වන විටත් ඔබේ දරුවා විභාග භීතිකාවෙන් පෙළෙන්නේ නම්, එය විභාගයට පෙර අවස්ථාවයි. මේ සියලු අවස්ථාවන්හිදී විභාගයට ඇති නොසතුට හා අකමැත්ත නිසා සිත තුළ ඇතිවන ව්‍යාකූලතාව පසුව ශාරීරික ක්‍රියාකාරකම් ලෙස නිරීක්ෂණය වේ.

මෙය මනෝ විද්‍යාවේ දී ආරක්ෂක ප්‍රයෝගය ලෙස හඳුන්වනු ලබයි. මෙය සිදුවන්නේ මනසේ ඇතිවන ව්‍යාකූලතා මනස විසින්ම වෙනත් දෙයකට යොමු කිරීමෙනි. පසුව එය මනෝකායික රෝගයක් ලෙස එළියට පැමිණේ.

විභාගයට පෙර අවස්ථාවේදී,

ළමයා නිතර ලෙඩවීම, නිදිමත ගතිය, ක්ලාන්තය, බඩරිදීම, අතපය පණ නැතිව යාම, අතපය වෙව්ලීම, කෑම අරුචිය, අධිකව දහඩිය දැමීම, විභාගය හා විෂය කරුණු එපාවීම, පාසලට යාම හා උපකාරක පන්තිවලට යාම ප්‍රතික්ෂේප කිරීම, තනියෙන් සිටීමට උත්සාහ ගැනීම, විභාගය අසමත්වීමට හේතු දැන්ම සොයාගැනීම ආදී කරුණු නිරීක්ෂණය වන්නේ නම් ඔබගේ දරුවාට විභාග භීතිකාව හටගෙන තිබෙන්නට පුළුවන.

එවැනි අවස්ථාවකදී ඔබ කළ යුත්තේ ළමයාට තරවටු කිරීම නොව මූලිකවම කායික ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කිරීමට කායික වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීමයි. එසේ කායික ලෙඩක් නොවන්නේ නම්, මේ සියල්ල මානසික තත්ත්වයන් බව සම්පූර්ණයෙන්ම තීරණය කළ හැකිය. ඔබට කළ හැකි ඊළඟ සුදුසුම පියවර වන්නේ, දරුවාව සුදුසුකම් ලත් මනෝ උපදේශකවරයකු වෙත ඉදිරිපත් කිරීමයි. උපදේශන ශිල්පක්‍රම මඟින් බොහෝ මානසික ව්‍යාකූලතා ඉවත් කළ හැකිය. තවදුරටත් ළමයාගේ තත්ත්වය ඉක්මනින් සුව අතට ගැනීමට අවශ්‍ය වේ නම් සුදුසුකම් ලත් චිකිත්සකවරයෙකු හරහා ළමයාව මෝහන ප්‍රතිකාරයට යොමු කළ හැකිය. මෙම ක්‍රමයේ දී ඇතිවී තිබෙන අසාමාන්‍ය බිය යටි සිතෙන් ඉවත් කොට ධනාත්මක අදහස් දරුවාගේ මනසේ තැන්පත් කළ හැකිවේ.

මනෝ විද්‍යාත්මක උපදේශනයේ දී හා මෝහන ප්‍රතිකාරයේදී දරුවාට තම අදහස් ධනාත්මක කරගැනීමට අවශ්‍ය ධෛර්යය, මඟපෙන්වීම ලැබෙනු ඇත. එවැනි භීතිකාවන්ගෙන් මිදීම සඳහා මේ වන විට දියුණු ශිල්පක්‍රම හා නවීන ව්‍යායාම මේ වන විට බිහිවී ඇත.

මනෝවිද්‍යා උපදේශක
විශ්‍රාමික මේජර් සුසන්ත ද සිල්වා
(silumina)

Saturday, December 1, 2012

ලෝකය දකිනු වස් මතුපරපුර උදෙසා පිදෙන බුද්ධි මෙහෙවර

Rajarata University OL Semina
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සහ මහා ශිෂ්‍ය සංගමය එක්ව වාර්ෂිකව සංවිධානය කෙරෙන "ලෝකය දකිනු වස් මතුපරපුර උදෙසා පිදෙන බුද්ධි මෙහෙවර" යන්න තේමාව කොටගත් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව මෙවරත් ඉතා සාර්ථක ලෙස පැවැත්වින. උතුරු මැද පළාතේ දුෂ්කර පාසල් වල දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම සම්මන්ත්‍රණ වාර්ෂිකව මාලාව පවත්වනු ලබයි

ඔක්තෝම්බර් මස 13 වන දා ආරම්භ වූ මෙමෙ සම්මන්ත්‍රණ මාලාව නොවැම්බර් මස 18 වන දින දකවා පැවැත්වින. මෙහි පළමු සම්මන්ත්‍රණය අනුරාධපුර SOS ළමා ගම්මානයේදී පැවැත්වුණු අතර එයට ළමාගම්මානයේ ජීවත් වන ළමුන් ඇතුළු SOS ළමා ගම්මානයේ ආධාර මත ඉගෙනුම ලබන අනුරාධපුර ප්‍රදේශයේ ළමුන්ද 50කට ආසන්න පිරිසක් සහභාගී විය.

අනතුරුව හොරොවුපතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම සම්මන්ත්‍රණ මාලාව දියත් කෙරුණු අතර ඒ සඳහා කහටගස්දිගිලිය, ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන ආදී දුෂ්කර ප්‍රදේශ වල සිසු සිසුවියන් 200කට ආසන්න පිරිසක් සහභාගී විය. ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි යන ප්‍රධාන විෂයන් සඳහා ඉලක්ක ප්‍රශ්න පත්‍ර යොදාගනිමින් දියත් කල මෙමෙ සම්මන්ත්‍රණ මාලාව ශ්‍රීලංකා රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් විසින් මෙහෙයවනු ලැබීය. 

 

Friday, November 30, 2012

‘නිවහල් අධ්‍යාපනයක්’ උදෙසා ගුරුතරුව නාට්‍යයේ මග පෙන්වීම.

ජයලත් මනෝරත්න නම් අපේ යුගයේ විශිෂ්ඨ කලාකරුවාගේ  ගුරුතරුව නාට්‍යයේ ‘නිවහල් අධ්‍යාපනයක්’ වෙනුවෙන් කෙරෙන මේ කතිකාව අප සියලු දෙනාට තම තමන් නියෝජනය කරන අන්තයන් පිළිබඳ නැවත සිතන්නට හොඳ අවස්ථාවක් යැයි සිතේ. ගුරු තරුව වේදිකා නාට්‍යයෙන් ජයලත් මනෝරත්නයන් විසින් මිනිසා නොහදා රටක් සදීමෙන් ඇති  පලය කුමක්දැයි සමාජයෙන් ප්‍රශ්ණ කරයි.......!! 
සම්පූර්න නාට්‍ය නැරබීම සදහා මෙතනින්
           
සංවාද සටහන උපුටා ගැනීම ගුරුතරුව නාට්‍යයෙන් :

මුල් ගුරුතුමා : 
ඔන්න ඔය නිසයි මම කියන්නේ .අපි මේ ගත කරන්නේ සංක්‍රාන්ති කාල සීමාවක් කියල.ඒ කියන්නේ යුග දෙකක් අතර.එක යුගයක් මැරෙනව .තව යුගයක් උපදිනව.ඒක තමයි යථාර්තය.නිදහස් අධ්‍යාපනය කියන එක ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් හඳුන්වාදිය යුතු විලාසිතාවක් නෙවෙයි.මහාවිහාරය ජේතවනය අභයගිරිය වගේ තක්සලාවලින් ඇරඹි , උතුරු මුල , දකුණු මුල , කපුරු මුල , වාද මුල , ගල්කුළු මුල , විල්ගමුව , මහනෙත්පාමුළ වැනි නිකායානුබද්ධ විද්‍යාතනය ඔස්සේ විකාශනය වෙලා  පැපිළියානේ සුනේත්‍රාදේවී , කෑරගල පද්මාවතී , තොටගමුවේ විජයභා , රයිගම ගණානන්ද වැනි මහා පිරිවෙන් දක්වා පරිනාමය වෙච්චි නිදහස් අධ්‍යාපන රටාවක් හෙළයේ තිබුණා.ඒ විතරක්ද. මේවායින් කලා කෞෂල්‍ය , විද්‍යා විශාරදත්වය , දියදම්වේදය , මානව හිතවාදීත්වය ඈ නන්වන් සිප් සතර හදාරන්නත් අවස්ථාව තිබුනා.

නැටුම් ගුරුතුමා :
මුල් ගුරුතුමා කීවා වාගේ ඒ නිදහස් අධ්‍යාපනය අපෙන් ගිලිහෙන්න පටන් ගත්තේ විදේශීය ආක්‍රමණ ලංකාවට ආවට පස්සේ.අපේ හෙළ හැදියාව , ආගන්තුක සත්කාරය ,  මානව දයාව දඩමීමා කරගෙන හෙල දන මන පරගැති කිරීමේ නිකේතන විදියට මිෂනාරී අධ්‍යාපනික සිප් කරුවන් බිහිවෙන්නට පටන් ගත්තා.

මුල් ගුරුතුමා :
අන්න ඒ ආත්මාර්ථකාමී අධිරදවාදී ආක්‍රමණිකයො තමන්ගේ ආර්ථික සමාජ කළමනාකරණයට අවශ්‍ය කරන මානසික කුලීකාරයො බිහි කරන්න තමයි උන්ගේ භාෂාවෙන් උන්ගේ අධ්‍යාපනය හදාරන්න පුළුවන් සුළු පිරිසකට අවස්ථාව ලබා දුන්නේ

ඉංග්‍රීසි ගුරුතුමා

 එහෙමවත් අවස්ථාවක් ලබා නොදුන්න නම් ද ඉතුරු වෙයි මේ විදියටවත් අධ්‍යාපනය.

මුල් ගුරුතුමා :
ඉතුරු උනා තමයි. අනේ අපේ අර සරණ හෙළයාගෙන් නිදහස් අධ්‍යාපනය ගිලිහිලා .දත් – නොදත් , ඇති- නැති ,හැකි-බැරි ,දග්ධ-විදග්ධ පරතරය තවත් වැඩි වුනා.ගැතිවාදී සුළුතරය වරප්‍රසාදලාබීන් උනා.අපේ ගමේ කොල්ලන්ට නිදහස් අධ්‍යාපනය කනා පල්ලම් ගහන විජ්ජාවක් උනා.

ඉතිහාස ගුරුතුමා

විජ්ජාවක්.විජ්ජාවක්කියනකොට ඉතිහාස ගුරුවරය හැටියට මට මතක් වෙන්නේ සමකාලීනව ඔය විජ්ජාවම පෙන්නපු ඉන්දියාව.1935 දී භාරතයේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඊනියා කමිටුවේ සභාපති ඉංග්‍රීසි ජාතික තෝමස් ග්‍රවියෙල් මැකොල් සාමිවරය කිව්වේ මොකක්ද ? පාලකයන් වන අප සහ ලක්ෂ සංඛ්‍යාත වූ රට වැසියන් යා කරන අතරමැදි තෝල්කයන් විය හැකි පිරිසක් , ඒ කිව්වේ ලෙයින් සහ පාටින් භාරතීයන් වූ සංකල්ප , ආකල්ප හා සදාචාරය අතින් ඉංග්‍රීසීන් වන පන්තියක් අප විසින් සැකසිය යුතුය කියල.අපේ පුංචි ලංකාවේ කලු සුද්දො බිහි වුනේ ඔය ආකාරයට නොවේද ?

නැටුම් ගුරුතුමා :

ගැල් කරුවා ගොනා හික්මවන්නේ ගමන යා ගන්න මිසක්කා ගෙරියාසනසන්න නෙවෙයිනේ.ඉතිහාසෙත් ඕව සිද්ධ වෙනවා.

ඉතිහාස ගුරුතුමා

ඉතිහාසය.ආන්න.ඒ ඓතිහාසික පසුබිමේ ඉඳගෙන තමයි ඩොනමෝර් ආණ්ඩු ක්‍රම විවස්ථාව යටතේ ස්ථාපිත රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගරු අධ්‍යාපන ඇමති වශයෙන් පත් වුනු ආචාර්‍ය ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ශ්‍රීමතානෝ

මුල් ගුරුතුමා :

ඒ කිව්වේ අපේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය

ඉතිහාස ගුරුතුමා

සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහත්තය අධ්‍යාපන වරම් පියවරෙන් පියවර කෙමෙන් පීඩිත පන්තිය අතරට විහිදිමේ මහා විප්ලවය ආරම්භ කලේ.

මුල් ගුරුතුමා :

එදා 1944 මැයි තිස් වෙනිදා අධ්‍යාපන සංශෝෂන ආඥ්ඥා පනත මගින් නිදහස් අධ්‍යාපන යෝජනා රාජ්‍ය මන්ත්‍රණ සභාවට අපේ කන්නන්ගර මැතිතුමා ඉදිරිපත් කලේ මෙහෙමයි.තෝම්ස් ග්‍රේ කියන කවියගේ පද හතරකුත් ගායකා කරමින්.මෙන්න මෙහෙම

සංගීත ගුරුතුමිය :

නොයනා හිරු රැස් සිතු ගැබ පතුලට
අගනා මිණි රැස් අඳුරෙම සැඟවෙත
පිපෙනා කුසුමන් වනයෙහි නිම නැත
හමනා සුළඟින් වනයෙම පරවෙත
විකසිත කුසුම් වියළි කතරේ වාතයෙන් මැලවී සුවඳ අහිමි වී යන නයින් ඈත පිටිසරයේ දිළිඳු ගොවි පවුලක පොල් අතු සෙවනේ ඉපදී බුද්ධියේ සහ භාග්‍යයේ එළිය නොලබා නිවී මිලිනවන අනාගත දරු පරපුර වෙනුවෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් බිහිකල යුතුය.

නැටුම් ගුරුතුමා :

හැබැයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව් එදා එහෙම කිව්වට මොකද ගස් බැලයන්ට අධ්‍යාපනය දුන්නම ගමේ පොල් කඩන්නේ කවුද කියපු ජාතික වීරයොත් එදා හිටිය.

මුල් ගුරුතුමා :

ඒ ගඩොල් වීරයො.

ඉතිහාස ගුරුතුමා

ගඩොල් කියනකොට එදා කන්නන්ගර උන්නැහේ මෙහෙමත් කියල තියෙනව. “ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකවරුනි.එදා ඔගස්ටස් නිරිඳු පුරසාරම් දෙඩුව .මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරි කර ආවේ කිරි ගරුඬ රෝමයකි කියල.අන්න ඒ වගේ අපි යන විටත් මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තමන ලද පොතක් මෙන් තිබූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කලාය,ධනවතුන්ගේ වරප්‍රසාධයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කලාය කියල උදම් අනන්න පුළුවන් නම් මෙම රාජ්‍ය මන්ත්‍රණ සභව,ඒක කොයි තරම් අගේද  ” කියල

ඉංග්‍රීසි ගුරුතුමා

ඔව් එදා ඒ හිතපු දේ අද ඉෂ්ඨ වෙලා තියවනද කියන එකයි ප්‍රශ්නේ ඉස්කෝලෙ මහත්තයෝ.

නැටුම් ගුරුතුමා :

ඉෂ්ඨ වෙලා නැත්නම් අපි ඒක ඉෂ්ඨ කරගන්න ඕන

මුල් ගුරුතුමා :

කොහොමටත් කන්නන්ගර මහත්තයගේ යෝජනා නිකන්ම සම්මත උනෙත් නෑ.බාධක වැට කඩොළු බොහොමයක් තිබුනා.යන්තම් හරි අත හිත දුන්නේ එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ හිටපු හේරත්නායක , ඊ.ඒ නුගවෙල , එස්.ඒ වික්‍රමසිංහ ආචාර්ය එන් එම් පෙරේරා යන මහත්වරුන් කියන වග මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි….
අපේ මේ උදා රැස්වීම දේශපාලන රැස්වීමක් වුනාදෝ කියල මට හිතෙනව.
කොහොමටත් ඉතින් දේශපාලනයෙන් තොර අධ්‍යාපනයකුත් නෑනේ.

ඉතිහාස ගුරුතුමා

හැබයි අධ්‍යාපනයෙන් තොර දේශපාලනඥ්ඥයො නම් ඉන්නව.
නෑ මම කිව්වේ ඉඳල තියෙනව.

එහි අලංකාර ගීතයක්

යාපනයේ සරසවි සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරයට අන්තරේ විරෝධය

ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව රජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය මුදාහරිමින් සිටින අතර, එම ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරුබිම බවට යාපනය සරසවිය පත්වතිබේ. මේ පිලිබඳ අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (30) දින මරදාන CSR ශාලාවේ පැවැත්වින.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා,

‘‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න හේතුව තමයි යාපනය විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂක අංශ මැදිහත්ව සිසුන්ට කරන ලද පහරදීම නිසා මතුව ඇති තත්ත්වය පිළිබඳව තොරතුරු හා ඒ පිළිබදව අපගේ ස්ථාවරය පැහැදිලි කරන්න 28 වෙනිද පෙ.ව. 10.00 ට පමණ යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් ඉතාමත් සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කරලා තිබුණා. ශිෂ්‍යයෝ උද්ඝෝෂණය සඳහා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණෙද්දි කල්තියා සූදානම්ව සිටි ආරක්ෂක හමුදා ඉතාමත් සාහසික ප‍්‍රහාරයක් සිසුන්ට එල්ල කළා. එම ප‍්‍රහාරයෙන් සිසුන් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ අතර බරපතල තුවාල ලැබූ සිසුන් 10 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කළා. මේ වන විටත් සිසුන් තිදෙනෙක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. එමෙන්ම මෙම පහරදීමෙන් අනතුරුව ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් 4 ක් අත්අඩංගුවට ගෙන පහරදී තර්ජනය කර පසුව නිදහස් කරලා තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් එල්ල කරන ලද මෙම සාහසික ප‍්‍රහාරය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා විතරක් නෙවෙයි අපි අපේ බලවත් විරෝධය මේ අවස්ථාවෙදී ප‍්‍රකාශ කර සිටිනවා.

යාපනය විශ්ව විද්‍යාලයට අදාළව ආරක්ෂක අංශ මෙවැනි පහරදීමක් කරපු පළමු අවස්ථාව මෙය නෙවෙයි. පහුගිය අවුරුදු කිහිපය ඇතුළෙ දිගින් දිගටම මෙවැනි සිදුවීම් විශාල ප‍්‍රමාණයක් වාර්තා වෙලා තිබෙනවා. අපි දන්නවා උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමළ පුරවැසියන්ට එරෙහිව විවිධ මැර තර්ජන, පහරදීම්, අතුරුදහන් කිරීම්, ඝාතන විශාල වශයෙන් අඛණ්ඩව සිදුවෙමින් තියෙනවා. පසුගිය වසර 2 ක පමණ කාලයක සිට ආරක්ෂක හමුදාවල ප‍්‍රධාන ගොදුරුබිමක් බවට යාපනය විශ්වවිද්‍යාලය පත්වෙලා. විශ්වවිද්‍යාලය තුළ සිසුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න තිබෙන අයිතිය මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටින්න තිබෙන අයිතිය උල්ලංඝනය කරමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිදුවන අසාධාරණයට අයුක්තියට එරෙහිව කතාකරන්න තිබෙන අයිතිය නැතිකරමිනුයි ආණ්ඩුව මෙවැනි මර්දනකාරී තත්වයක් නිර්මාණය කරමින් තියෙන්නෙ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම පසුගිය කාලයේ අපි අඛණ්ඩව අත්වින්දා. ගිය අවුරුද්දෙ අග මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයාට පහර දුන්නා. ලේකම් සහෝදරයා ඇතුළු සහෝදරවරු ගණනාවකට අමානුෂික ලෙස පහරදීල තිබුණා. ඔවුන් දින ගණනාවක් රෝහල් ගතවී ප‍්‍රතිකාර ලැබුවා. ඉන් අනතුරුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් ආරක්ෂාව තහවුරු කරන්න කියලා, හමුදා ප‍්‍රහාර නතර කරන්න කියලා. කරන ලද ඉල්ලීම් කිසිවක් තුට්ටුවකටවත් මායිම් නොකළ ආණ්ඩුව දිගින් දිගටම ප‍්‍රචණ්ඩත්වය මුදාහැරියා. උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ සිවිල් හා මානව අයිතීන් යටපත් කිරීමේ පාගාදැමීමේ දේශපාලනයක්. ඒ රාජ්‍ය ත‍්‍රස්තවාදය මිසක වෙන කිසිවක් නෙවෙයි.

ආණ්ඩුවේ මෙම මනුෂ්‍යත්වයට එරෙහි ප‍්‍රජාත‍්‍රන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර දකුණේ ජනතාව තුළ සාධාරණීකරණය කරන්න රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විශාල උත්සාහයක යෙදෙනවා. ආණ්ඩුව විවිධ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. මෙම පහරදීම සිදුවූ උද්ඝෝෂණයට පෙර දා රාත‍්‍රියේ ආයුධ සන්නද්ධව ආරක්ෂක හමුදාව විසින් හදිසියේම නේවාසිකාගාර වැටලීමක් සිදුකළා. ඒ මොහොතේ නේවාසිකාගාරවල සිටි ශිෂ්‍යයෝ බලහත්කාරයෙන් නේවාසිකාගාරයෙන් එලියට ඇදලා දාලා පහර දීලා යකා නැටුවා. කාන්තා නේවාසිකාගාරවලටත් හමුදාව බලහත්කාරයෙන් ඇතුළුවුණා. දොරවල් කඩලා ශිෂ්‍යාවන්ගේ කාමරවලට පවා කඩා පැන්නා. ශිෂ්‍යාවන්ගේ හිසට තුවක්කු එල්ල කරලා මරණ තර්ජන කළා. මේකට විරුද්ධව තමයි ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ සාමකාමී උද්ඝෝෂණයක් කරන්න පාරට බහින්නේ. ආණ්ඩුවේ මෙම මැදිහත්වීම ඇතුළේ පේන්නේ ඔවුන් දෙමළ පුරවැසියා, පුරවැසියන් ලෙස නොව වහලූන් ලෙස සලකන බවයි.

ශිෂ්‍යයෝ මහා විරු දිනයට පහන් පත්තු කළා කියලා ඒක ත‍්‍රස්තවාදය යළි ආරම්භ වීමක් කියලා ඒක වලක්වන්න කරපු ත‍්‍රස්ත විරෝධී මෙහෙයුමක් කියාලා මෙම කඩා පැනීම සාධාරණීකරණය කරනවා. අපිට අහන්න තියෙන්නේ පහනක් පත්තු කිරීමද ත‍්‍රස්තවාදය කියන්නේ එහෙම නැත්නම්, ආයුධ සන්නද්ධව නේවාසිකාගාරවලට කඩා පැනලා නිරායුධ ශිෂ්‍යයන්ට පහර දීලා, ඔලූ පලල අත පය කඩල මරණ තර්ජන එල්ල කරපු එකද, සාමකාමී උද්ඝෝෂණ වලට පහර දෙන එකද ත‍්‍රස්තවාදය කියන්නේ කියලා. මේකට තමයි රාජ්‍ය ත‍්‍රස්තවාදය කියල කියන්නේ. මේවා මුලින්ම උතුරෙදී අත්හදා බලනවා. පස්සේ දකුණටත් ගේනවා. ඒ තමයි මේ ආණ්ඩුවේ හැටි ත‍්‍රස්තවාදී ලේබලය අලවලා ආණ්ඩුව විසින් සිදුකරන ඕනෑම ජාතියක ප‍්‍රචණ්ඩත්වයක් සමාජය ඉදිරියේ සාධාරණීකරණය කරන්න ආණ්ඩුව දක්ෂයි. අද මේ වෙන්නෙත් ඒකම තමයි.

අපි අහනවා හමුදාවට මොකක්ද තියෙන අයිතිය නේවාසිකාගාරවලට ඇතුල්වෙලා මේ ජාතියේ පහරදීම් කරන්න. දෙමළ සහෝදර සිසුන්ගෙ කෙහෙවලූ වලින් ඇදගෙන ගිහිල්ලා පහර දෙන්න ඔලූ පලන්න, අතපය කඩන්න. උතුරට ගෙනාවයි කියපු නිදහස මේකද? ආණ්ඩුවට පුලූවන්ද ඔවුන්ගේ මිය ගිය ඥාතීන් පිළිබඳ සැමරීම හෝ මතකයන් නැතිකරලා දාන්න. ආණ්ඩුවට පහන් පත්තුකරන එක නවත්තන්න පුළුවන් වෙයි. ඒත් මිනිසෙක් තවත් මිනිසෙක්ව සැමරීම නවත්වන්න පුළුවන්ද? ඒ නිසා දෙමළ ජනතාවට යුද්ධයෙදි මිය ගිය තමන්ගේ මිනිස්සු සමරන්න අයිතියක් තියෙනවා. ඒ මැරිලා තියෙන්නේ දෙමළ ජනතාවට, දෙමළ ශිෂ්‍යයාට කොහෙන් හෝ ඥාතීත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ හිතවතෙක්, සහෝදරයෙක් මැරුණට පස්සේ සමරන්න තියෙන අයිතිය උල්ලංඝනය කරන්න කාටවත් පුළුවන්ද? සොහොන් කොත් විනාශ කරලා, සැමරුම් නවත්තලා සටන් කරන එක නතර කරන්න පුළුවන්ද? ඒකද ත‍්‍රස්තවාදය නවත්වන්න ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත. සාමයේ මාවත මේකද? ආණ්ඩුව අද රටේ හදන්නේ ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න පුළුවන් වට පිටාවක් නෙමෙයි. තවදුරටත් පීඩිත ජනතාව ප‍්‍රපාතයට ඇද දමන ආකාරයට තමයි ආණ්ඩුව කටයුතු කරන්නේ. ත‍්‍රස්තවාදය කියන එක අහම්බෙන් පැනනැගුනේ නෑ. දෙමළ ජනතාව මුහුණ දීපු ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්න අදත් විසඳිලා නෑ.

ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක්, බලපෑමක්, පහරදීමක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදියට අපි ප‍්‍රතික්ෂේප කරනවා. අපි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නත් සටන් කරන්නත් සූදානම්. ප‍්‍රචණ්ඩත්වය මුදාහරින්නේ සිංහල ජනතාවටද, දමිළ ජනතාවටද, මුස්ලිම් ජනතාවට කියන එක අදාල නෑ. ප‍්‍රචණ්ඩත්වය නම් මුදාහරන්නේ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාද නම් දියත් වෙන්නේ ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කරන්න අපි සූදානම්. එතකොට කොටි සංවිධානය ප‍්‍රචණ්ඩත්වය මුදාහරිද්දී ඒක වැරදියි, ආණ්ඩුව ප‍්‍රචණ්ඩත්වය මුදා හරිද්දී ඒක හරි කියල පිළිගන්න කියලද අපට කියන්නේ. කවුරු කළත් එය ත‍්‍රස්තවාදය නම් ඒක වැරදියි. දැන් ක‍්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුවේ ත‍්‍රස්තවාදය. එය නැවත දෙමළ ජනතාව ත‍්‍රස්තවාදය වෙතයි තල්ලූ කරන්නේ.

ජනතාවගේ ප‍්‍රශ්නවලට පිළිතුරු නැති වෙද්දි ජනතාව ආණ්ඩුවට එරෙහිව නැගී සිටිද්දී එම ජනතා පීඩනය සමහන් කරන්න ජනතාවගේ අවධානය වෙනතක හරවන්න තමයි මෙවැනි පොදු සතුරෙක් ගොඩනගන්න උත්සාහ කරන්නෙ. දෙමළ ජනතාවට තිබෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතික සහ දේශපාලන ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නැතිව ඒවා හමුදාවේ තුවක්කු බටේ ඔලූවට තියලා විසදන්න පුළුවන් කියලා හිතනවානම්, ඒක කවදාවත් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඒක නැවතත් ජන ඝාතක යුද්ධයකට අත වැනීමක්. ඔබ හිතන්න ඔබ බිත්තියට හේත්තු කරලා ඔබේ පපුවට තුවක්කුව එල්ල කළොත්, ඔබට ඉතිරි වන විකල්පය මොකද්ද මරාගෙන මැරීම හැර වෙන විකල්පයක් තියෙයිද අද ආණ්ඩුව දෙමළ ජනතාව එතනට ඇදල දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තවත් ජන ඝාතක යුද්ධයක් නේද? මෙවැනි ඒකාධිපති, ජන ඝාතක ආණ්ඩුවලට පැවැත්මක් තියෙන්නේ ආගම්වාදය ඇතුළේ, ජාතිවාදය ඇතළේ විතරයි. පීඩිත ජනතාව එකිනෙකා මරා ගන්නා තත්වයට ඇද දැමීම ඇතුළේ පමණයි. අද බොදුබල සේනා වැනි ආගමික මූලධර්මවාදී කල්ලි පිටුපස ඉදගෙන ආණ්ඩුව ක‍්‍රියාත්මක කරන්නෙත් ඒකම තමයි. මෙම තත්වය පරාජය කරන්න සමස්ත සමාජයම පෙළ ගැසිය යුතුයි.

එනිසා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලෙස අපි සියලූම ආකාරයේ ජාතිවාදී, ආගම්වාදී තත්වයන්ට එරෙහි වන අතරම ඕනෑම ආකාරයක ප‍්‍රචණ්ඩත්වයක් මනුෂ්‍යත්වයේ නාමයෙන් ප‍්‍රතික්ෂේප කරනවා. ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලයට හා දෙමළ ජනතාවට එල්ල වන හමුදාවේ මැර ප‍්‍රහාර, රාජ්‍ය ත‍්‍රස්ත‍්‍රවාදය නවත්වන්න කියල අපි ආණ්ඩුවට බලකරනවා.

Thursday, November 29, 2012

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකිමු - SSU

ඊයේ (28) දිනයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට සිදුකරන ලද ප්‍රහාරය තරයේ හෙළාදකින බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.
එහි ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
"‘‘තම විශ්වවිදයාලයේ ශිෂ්‍යාවන් දෙදෙනෙකුට රජයේ ආරක්‍ෂක අංශ විසින් ගිනි අවි පෙන්වා තර්ජනය කිරීමට එරෙහිව නොවැම්බර් 28 දින යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණයට කඩාවැදුණු පොලීසිය සහ හමුදාව විසින් එම සිසුන්ට බැටන් ප‍්‍රහාර එල්ල කර ඇත. එහිදී තුවාල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනෙකු මේ වනවිටත් යාපනය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.
ශිෂ්‍යයින්ගේ සාමකාමී උද්ඝෝෂණවලට ආණ්ඩුව විසින් පහරදීම දැන් රටපුරා සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. පසුගිය අගෝස්තු මාසයේ කොළඹදී පැවැති උද්ඝෝෂණයකටද පොලීසිය ලවා බැටන් ප‍්‍රහාරජල ප‍්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. මෙසේ සාමකාමී ලෙස ශිෂ්‍යයින්ගේ අදහස් ප‍්‍රකාශ කිරීමට එරෙහිව ක‍්‍රියාත්මක කරන ආණ්ඩුවේ මර්දනය දකුණේදී මෙන්ම උතුරේදීත් වෙනසක් නොමැති බව මෙම සිදුවීමෙන් තහවුරු වේ.
යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ට පොලීසිය හා හමුදාව විසින් සිදුකළ පළමු ප‍්‍රහාරය මෙය නොවේ. 2011මැයි මාසයේදී එවකට මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තවපාලන් සොහොයුරාට හමුදා මුරපොළක් අසලදී ම්ලේච්ඡ ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඒ පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් තවමත් සිදුකර නොමැත. 2012 හැයි මාසයේ නැවතත් මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්ව සිටි පරමලිංගම් සොහොයුරාටද මෙවැනිම ආකාරයේ ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඒ පිළිබඳව කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
අර්ධ මිලිටරි පාලනයක් සහිත විශාල හමුදාවක් රඳවා සිටින යාපනය අර්ධද්වීපය තුළ මෙවැනි ප‍්‍රහාරයක් හමුදාවට සහ පොලීසියට හොර රහසේ එල්ල කිරීමට නොහැකි බව කවුරුත් දන්නා කරුණකි.
යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ හමුදා සහ පොලිස් ප‍්‍රහාරය අපි සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස දැඩි ලෙස හෙළා දකිමු. එසේම උතුරේදී සහ දකුණේදී සිදුවෙන ආණ්ඩුවේ මෙම අත්තනෝමතිකමර්දනකාරී ක‍්‍රියාමාර්ගවලට එරෙහිව අත්වැල් බැඳගන්නා ලෙස සියලූ දෙනාට ආරාධනා කර සිටිමු''.

            කෙසේ නමුත් පෙරේදා (27 දා) යාපනය විශ්වවිද්‍යාලයට සම්බන්ධ බාලසිංහම් සහ ආනන්ද කුමාරස්‌වාමි යන නේවාසිකාගාරවල ප්‍රභාකරන්ගේ උපන් දින සැමරුමට අදාළ පත්‍රිකා බෙදා තිබූ බව බුද්ධි අංශ විසින් සිදුකළ විමර්ශනයේදී හෙළිවී තිබේ.

හමුදා බුද්ධි අංශ විසින් එහි නේවාසිකාගාර නිරීක්‍ෂණය කරන අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු හා කොටි වෙබ් අඩවිවලට තොරතුරු සපයන පිරිස්‌ සමග හමුදා විමර්ශනය නතර කිරීමට උත්සාහ දරා ඇත.

මේ සියලු සිදුවීම් යාපනය විශ්වවිද්‍යාලයේ ඇති පරිගණක මගින් විදේශ රටවලට යෑවීමට විශ්වවිද්‍යාලය තුළ සිටින කොටි කණ්‌ඩායම ක්‍රියාකර තිබේ.

මේ අතර වව්නියා නියෝජ්‍ය නගරාධිපති එම්. එම්. රත්නන් නමැත්තා එම්මක්‌කුලම්හි ද්‍රවිඩ විරුවන්ගේ නිවස්‌නය නමැති නිවසට පැමිණ මහාවිරු දින සැමරීමට උත්සාහ කර ඇත.

Wednesday, November 28, 2012

අධ්‍යාපනයේ වත්මන් අර්බුදය කුමක්ද? (සංවාදයට ප‍්‍රවේශයක්)

අධ්‍යාපනයේ වත්මන් අර්බුධය කුමක්ද යනමැයෙන් එලිදක්වා ඇති සම්පූර්ණ පොත මෙහි දැක්වේ. මෙහිදී ඔබයේ අදහස්, හෝජතා, චෝදනා අප ඉතා අගය කරමු. ඒ සඳහා මෙහි පහලින් ‍කොමෙන්ටු වශයෙන් හො අන්තර් විශ්වවිද්‍යාලයීය නිල වෙබ් අඩවියට (www.iusfsl.org) ගොස් ඔබගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න. 

පැදුරු සාජ්ජේ 2012 - රජරට සරසවිය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයිය සමාජ විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ සිසුන් විසින් සංවිධානය කරනලද පැදුරු සාජ්ජේ 2012 වැඩසටහන පසුගිය 23 වන දින රජරට විශ්වවිද්‍යාලයිය සුගතපාල ද සිල්වා එළිමහන් රංග පීඨයේදී පැවැත්වින. මේ එහි සොදුරු අවස්ථාවේ මතක සටහන් කිහිපයකි.


සියලු ඡායාරූප මෙතනින් බලන්න...

රජරට උපකුලපති පුටුව මාස 3 ක්‌ තිස්‌සේ හිස්‌

University of Rajarata

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය පුරප්පාඩු වී මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවී තිබේ.

හිටපු උපකුලපති මහාචාර්ය කේ. ඒ. නන්දසේන මහතාගේ නිල කාලය පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා අවසන් වූ අතර එම ධුරය සඳහා සුදුස්‌සන් තිදෙනකුගේ නම් පසුගිය මාසයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවා ඇත.

මහාචාර්ය රංජිත් විෙ-වර්ධන, ආචාර්ය කේ. ජී. උදයකුමාර හා ආචාර්ය ආනන්ද කුමාරසිරි යන මහත්වරුන්ගේ නම් මෙලෙස යවා ඇති අතර ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒවා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අතරින් සුදුස්‌සකු උපකුලපති ධුරය සඳහා නම් කිරීම ජනාධිපතිවරයාට පැවැරී ඇත.

උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම හා නවක සිසුන් බඳවා ගැනීම යන කටයුතු සඳහා උපකුලපතිවරයකු පත් කිරීම අත්‍යවශ්‍ය යෑයි එම විශ්වවිද්‍යාල ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

-නිලන්ත මදුරාවල divaina