Wednesday, April 10, 2013

ආණ්ඩුව බුරන්නේ වැ‍රැදි ගහට

උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක, මොන දෙයක් වෙතත්, ආණ්ඩුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට සපථ කොට තිබේ. උසස් අධ්‍යාපනය සඳහා රට තුළ පවතින වැඩි වන ඉල්ලූම සැළකිල්ලට ගැනීමේ දී, පෞද්ගලික විශ්ව විද්‍යාලවල අවශ්‍යතාව වෙනදාටත් වඩා අද දැනෙන බව, පසුගිය සිකුරාදා ‘දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යායතනයේ’ සමාරම්භක උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් කතා කරමින් ඔහු කියා සිටියේය.

Govt. barking up the wrong tree

Govt. barking up the wrong tree

Higher Education Minister S. B. Dissanayake has vowed to go ahead with the government’s private university project come what may. Speaking at the opening of the South Asian Institute of Technology and Medicine (SAITM) teaching hospital, as a guest of honour, on Friday, he said the need for private universities had been felt more than ever, given the increasing demand for higher education in the country.

Sunday, March 31, 2013

මහාචාර්ය සුචරිත ගම්ලත් පඬිවරයාණන් සමුගෙන යයි...!

පඬිතුමෙකු යැයි කට පුරා කිවහැකි ශ්‍රී ලංකාවේ පඬිවරුන්ගේ යුගයේ අවසන් පඬිතුමකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අද උදෑසන කොළඹ ජාතික රෝහලේදී ජනතාවගෙන් සමුගත් බව දැඩි ශෝකයෙන් දන්වා සිටිමු.

සමුගන්නා විට ඒ මහතාගේ වයස අවුරුදු 79 ක් විය. අවසාන කාලයේ පිලිකා රෝගයට ගොදුරු වූ ගම්ලත් මහතා මහරගම පිලිකා රෝහලින් ප්‍රතිකාර ලබමින් සිටියදී අසනීප තත්ත්වය වැඩි වීමෙන් මීට දින හතර පහකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළද ඔහු අද උදෑසන ජනතාවගෙන් සමුගෙන ගියේය.

සිංහල, ඉංග්‍රීසි, දෙමළ, සංස්කෘත, පාළි සහ ලතින් භාෂාවන්හි විශිෂ්ඨ ප්‍රවීනයෙකු වූ ගම්ලත් පඬිතුමා අචල භෞතිකවාදී මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදියෙකු විය. සිය නිරවුල් ඓතිහාසික භෞතිකවාදී ස්ථාවරයේ සිටිමින් කලාව දේශපාලනය සම්බන්ධයෙන් සිදුකළ නිර්දය විචාරයන් 80-90 දශකයන්හි තරුණ ජනතාවට මහත් ආලෝකයක් ගෙන දුන්නේ ය.

තම ආචාර්ය උපාධිය ලන්ඩන් සරසවියෙන් ලබා සියරට පැමිණීමෙන් පසු යාපනය විශ්වවිද්‍යාලයේ භාෂා සහ සාහිත්‍ය අංශයේ ආරම්භක මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය. රුහුණ විශ්වවිද්‍යාලය ආරම්භ කළ පසු එහි ද කලා පීඨයේ ප්‍රධානත්වය දැරූ ඔහුගේ දේශපාලන මත ගැන උරණ වූ එවක කොළපාට ආණ්ඩුව ඔහු විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමීය. ඉන්පසු ඔහු යළි සේවයේ පිහිටුවීමට නිල්-රතු ආණ්ඩුව හෝ ක්‍රියා නොකළේය. තව තවත් පර්යේෂණ කිරීමට ඉඩ සලසා දෙනවා වෙනුවට මේ තරම් වටිනා පඬිවරයෙකු විශ්ව විද්‍යාල සමාජයෙන් නෙරපා දැමූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය යුතුය. විදේශ විශ්ව විද්‍යාල රැසකින් ගම්ලත් පඬිතුමාණන්ට ආරාධනා ලැබුනද ඔහු ඒ ගැන උනන්දුවක් නොදැක්වූ අතර ශ්‍රී ලංකාවේ මහජනතාව වෙත තම හැකි පමණින් සේවය කිරීමට කටයුතු කෙළේය.

ඔහු ශ්‍රී ලාංකිකයන්ට දායාද කළ මහඟ= දායාදය නම් ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ අනර්ඝතම ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය නිම කිරීම විය යුතුය. ඒ සඳහා ඔහු වසර 15 ක පමණ කාලයක් කැප කෙළේය. අහුමුළුබුදු ලා විසින් සිංහල වචන සඳහා සිදුකළ වර්ගවාදී විකෘති නිරුක්තීන් වෙනුවට ගම්ලත් පඬිතුමා විසින් නිවැරදි ඓතිහාසික භෞතිකවාදී නිරුක්තීන් ඉදිරිපත් කෙළේය.

සරසවියෙන් එළවා දැමුවද නිර්මාණ සංවාද කුලකය, කොළඹ කවය ආදී 80-90 දශකයන්හි තිබූ බුද්ධි පිපාසයෙන් පෙළුනු තරුණයන්ගේ සංවිධානයන් ට මග පෙන්වූ ගම්ලත් පඬිතුමා එම සංවිධාන වල සිටි තරුණයන්ගේ අසහාය ගුරුවරයෙකු විය. සරසවියෙන් එළවා දමා සිටියදී වුව තම දේශන සඳහා නුවර සිට කොළඹ පැමිණි ඔහු තම ගමන් වියදම් හැර කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අය නොකළ බව කිවහොත් අද සිටින බොහෝ දෙනෙකු විශ්වාස නොකරනු ඇත.

මේ අසහාය සිංහල මහාචාර්ය වරයාට කලක් තම දිවි ගැට ගසා ගැනීම සඳහා ඉංග්‍රීසි ටියුෂන් දීමට සිදුවූයේද ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල බල මහිමය නිසාය.

ජාතිවාදයට ආගම්වාදයට දැඩි සේ විරුද්ධ වූ ඔහු තම දැනුම ඛෙදාහළේ ඒ වෙනුවෙනි. පුහු සමාජවාදී ප්‍රචාරක කලාවද පොළොවේ පය නොගැසූ හුදු සෞන්දර්යවාදී කලාවද ප්‍රතික්ෂේප කළ ඔහු ශ්‍රමයේ නිර්මාණයක් වූ සම්භාව්‍ය කලාව සම්බන්ධයෙන් සිංහල විචාර කලාවට නව මානයන් ගෙන ආවේය.

දර්ශනය, දේශපාලනය, විචාරය සම්බන්ධයෙන් වටිනා පොත් පත් දේශන රැසක් සිදුකර ඇති සුචරිත ගම්ලත් පඬිතුමා ගැන මෙය අසම්පූර්ණ සටහනකි. ඔහු පිළිබඳ පරිපූර්ණ සටහනක් සිදුකළ හැකි වියතෙක් ශ්‍රී ලංකාවේ සිටීදැයි යන්න පවා සැක සහිත ය.

මිනිසුන් සදාකාලිකව ජීවත් නොවේ. මහාචාර්ය සුචරිත ගම්ලත් පඬිතුමන්ගේ දැනුමින් ශ්‍රී ලංකාවේ ජනතාව නිසි ප්‍රයෝජනයක් නොගත් බවත් සකලාකාරයේ පාලකයන් විසින් ඒ සඳහා බාධා කළ බවත් අප දනිමු.


ලංකා ඊ නිව්ස්