Thursday, June 6, 2013

සබරගමුවට එල්ල කල මිලේඡ්ච් ප්‍රහාරයට එරෙහිව රජරට සිසු වීදී බසී


ආණ්ඩුවේ නිල ප්‍රතිපත්තිය වී ඇති අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ව්‍යාපෘතියේදී ඊට එරෙහිව නිදහස් අධ්‍යාපන අයිතිය සඳහා සටන් වදිමින් සිටින බලවේග මර්දනය කිරීමේ ක්‍රියාවලියේ එක පියවරක් ලෙස සබරගමු සරසවියේ මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් තහනම් කරනු ලැබීය. තවද මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහෝදරයා ඇතුලු ශිෂ්‍ය නියෝජිතයින් 5 දෙනෙකු අත්තනෝමතික පන්ති තනමකට ලක් කරන ලදී. එම අසාධාරණයට එරෙහිව අඛණ්ඩ අරගලයක යෙදෙන සබරගමු සරසවි සහෝදරත්වය මේ වන විට අධ්‍යාපන බලධාරීන් ඇතුළු ආණ්ඩුව විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කරමින් සිටී. එම මර්දනය නවතා ඔවුන්ගේ ගැටළු විසඳන ලෙස ආණ්ඩුවට බල කෙරෙන උද්ඝෝෂණයක් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය මිහින්තලා පරිශ්‍රය ඉදිරිපිටදී අද (04) පැවැත්විණ.රජරට විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් පවතී මෙම උද්ඝෝෂණයට පීඨ 4 ක සිසුන් 1500 කට අධික පිරිසක් එක්ව සිටියහ....

Sunday, June 2, 2013

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කම්කරුවන් වීම පිළිබඳ ආඩම්බරයෙන් ලියමි

සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතා මැයි 26 වෙනි ඉරිදා දිවයින පුවත්පතට සපයා තිබූ ලිපිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සම්බන්ධ විවේචනයකට වඩා ඒ සම්බන්ධ අගය කිරීමක්‌ ලෙස සැලකීමට මම කැමැත්තෙමි. කෙසේ වෙතත් 'අගය කිරීම' නම් ඔහුගේ අභිප්‍රාය නොවූ බව පැහැදිලිය. ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය ලෙස පෙනෙන්නේ ඔහුම ප්‍රකාශ කරන ආකාරයට ''මේ සුපිරි පැලැන්තියේ උදවිය සාමාන්‍ය කම්කරුවන් මෙන් මහ පාරේ හැසිරෙන ප්‍රවණතාවය'' එළිදරව් කිරීමයි. කනගාටුවකට මෙන් චන්ද්‍රප්‍රේම මහතාට මතක්‌ කිරීමට සිද්ධවන්නේ එහි අමුතුවෙන් චන්ද්‍රප්‍රේම මහතා ලවා එළිදරව් කරවීමට කිසිවක්‌ ඇත්තේ නොමැති බවයි. මක්‌නිසාද යත් එය අපගේ අරමුණම වන හෙයිනි. ඒ මහතා ඉතාම නිවැරදිව ප්‍රකාශ කරන පරිදි ''පසුගිය 21 වනදා පවත්වන ලද වැඩ වර්ජනයේ තීරුබදු රහිත වාහන බලපත්‍ර ලාභී වෘත්තිකයන් පිරිසක්‌ මහ මග උද්ඝෝෂණය කළේ නම් ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණි''.

පසුගිය වසර තුනක පමණ කාලයක්‌ තිස්‌සේ අප නියෑළී සිටි අරගලය තුළ අත්පත් කර ගැනීමට උත්සාහ කළ ජයග්‍රහණ සම්බන්ධව මීට වඩා ඉහළ අගය කිරීමක්‌ තවත් කාගෙන් නම් ලබාගන්න ද?

චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ මාතෘකාව 'විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කම්කරුවන් වීම' යන්නයි. ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරු ද කම්කරුවන් කොටසක්‌ වේ. කම්කරුවන් යනු තම ශ්‍රම ශක්‌තිය අලෙවි කොට ඊට වේතනයක්‌ ලබා ගන්නා අයයි. මේ නිර්වචනයට අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරු ද කම්කරුවන් කොටසක්‌ වෙති. ඒ නිසා චන්ද්‍රප්‍රේම මහතාගේ ලිපියේ මාතෘකාව ගැන කිසිවකු කලබල විය යුතු නැත.

ඉංග්‍රීසියෙන් ලිවීමට ඇති හැකියාව හැරුණු කොට චන්ද්‍රප්‍රේම මහතා බැරෑරුම් මාධ්‍යවේදියෙක්‌ ලෙස මම නොසලකමි. සාක්‌ෂි ඒ මහතාම සපයයි. මෙන්න ඒ මහතාගේ විදග්ධ වචන ''අප විශ්වවිද්‍යාලයේ සිටි සමයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දැන් ලබන ආකාරයේ ඉහල වැටුප් තිබුණේ නැත. තීරුබදු රහිතව වාහන ගෙන්වා ගැනීමට බලපත්‍ර හෝ ණය පහසුකම් තිබුණේ නැත. ඒ කාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු පවා බස්‌වල යනු අපි අනන්තවත් දැක ඇත. නමුත් එදා ඔවුන් කම්කරුවන් මෙන් මහමග සටන්පාඨ කීවේ නැත. ඒ කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වෘත්තියේ ගරුත්වය රැකගෙන සිටිය හ.''

අඩුම තරමින් චන්ද්‍රප්‍රේම මහතා මෙවැනි සම්පප්‍රලාප ලිවීමට පෙර තමන් රැකියාව කරන දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන ලියෑවුණු කතුවැකි හෝ කියවා බැලීම උචිතය.

චන්ද්‍රප්‍රේම මහතා තරුණ කාලයේ මමත් තරුණයෙකි. ඒ මහතාත් මමත් එකම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා පමණක්‌ නොව එකම ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් වීමු. ඒ මහතා ඒ කාලයේ විශ්වවිද්‍යාලවල සිටි පතාක යෝධයන් ලෙස හඳුන්වන අය මම ද දනිමි. නමුත් මේ පතාක යෝධයන් 'කම්කරුවන් මෙන් මහ මග සටන් පාඨ'' නො කීම ඒ අය පිළිබඳ අගය කිරීමක්‌ ලෙස දැක්‌වීම සම්බන්ධයෙන් නම් ඒ බොහොමයක්‌ දෙනා චන්ද්‍රප්‍රේම මහතා සමඟ දැඩි ලෙස කෝප වන බව නම් නො අනුමානය. මක්‌නිසාද යත්á මේ බොහොමයක්‌ දෙනා රැඩිකල් දේශපාලනය සමඟ සම්බන්ධව සිටි හෝ එය අගය කළ අය නිසා ය. විශේෂයෙන්ම කම්කරු ව්‍යාපාර සම්බන්ධව දැඩි අනුරාගයකින් කටයුතු කළ මහාචාර්ය කුමාරි ජයවර්ධන වැන්නියක්‌ චන්ද්‍රප්‍රේම මහතාගේ ප්‍රභූවාදී ප්‍රවාදය තහවුරු කිරීම සඳහා යොදාගනු ලැබ තිබීම අතිශය ෙ€දවාචකයකි. එපමණක්‌ නොව මහාචාර්ය ඔස්‌මන්ඩ් ජයරත්න, ඩොරික්‌ ද සූසා වැනි තම ඊනියා 'වෘත්තීය ගරුත්වය' සතපහකට ගණන් නොගෙන කම්කරුවන් සමඟ හරි හරියට ''මහ පාරේ හැසිරුණු'' පතාක යෝධයන් චන්ද්‍රප්‍රේමට අමතක වී ඇති හැඩයි.

චන්ද්‍රප්‍රේම මෙසේ කියයි( "අද විශ්වවිද්‍යාලයක ආචාර්යවරුන් හා සුළු සේවකයන් අතර වෙනසක්‌ නැත. අප තරුණ කාලයේ මහ පාරේ පුවරු ඔසවාගෙන සටන් පාඨ කෑගසන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දුටුවේ නම් අප විශ්වවිද්‍යාලයට එන්නේද නැත" චන්ද්‍රප්‍රේම 'අප' යයි කියන්නේ කාටදැයි මම නොදනිමි. මා නම් දන්නා විදිහට එකල අපගේ පරමාදර්ශ වූයේ ඔස්‌මන්ඩ් ජයරත්න, කුමාරි ජයවර්ධන, නිව්ටන් ගුණසිංහ වැනි ගුරුවරුය. මේ අයට නම් "මහ පාරේ පුවරු ඔසවාගෙන සටන් පාඨ" කීම පිළිබඳව කිසිදු ගැටලුවක්‌ තිබුණේ නැත.

කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතා අප සමඟ ඇති දැඩි කේන්තිය නිසාදොa අල්ලේ පැළවෙන බොරු විශාල ප්‍රමාණයක්‌ ද කියා ඇත. සාමාන්‍යයෙන් අපගේ මහජන උද්ඝෝෂණවල "එන්න කියාපිය" "දෙන්න කියාපිය" වැනි වදන් භාවිත කරන්නේ නැත. එපමණක්‌ නොව අපගේ උද්ඝෝෂණවලදි සාමාන්‍යයෙන් හඬනඟා සටන් පාඨ කීමක්‌ සිදුවන්නේද නැත. අප කරන්නේ නිහඬව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කිරීම පමණි. ඒ සම්බන්ධව වැඩි දුර තොරතුරු චන්ද්‍රප්‍රේම මහතාට දිවයින පුවත්පතේම අපගේ මහජන උද්ඝෝෂණ ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන්ගෙන් අසා දැනගත හැක.

අපගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ 3.5.2.3 වගන්තියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ළමුන් දෙදෙනකුට පෞද්ගලික පාසලකට ගාස්‌තු ගෙවීමට වෙනම දීමනාවක්‌ ඉල්ලා සිටියේ ය" යන්නද එවැනි ගල් පැලෙන බොරුවකි. මේ බොරුවව අපගේ වැඩවර්ජනය කාලයේ අපට විරුද්ධව දසදහස්‌ වරක්‌ යොදා ගනු ලැබූ එමෙන්ම අපද එවැනිම වාර ගණනක්‌ පිළිතුරු දෙනු ලැබූ කරුණකි. වෙනෙකක්‌ තබා මේ සම්බන්ධ තත්ත්වය මා චන්ද්‍රප්‍රේම මහතාට ද මගෙන් විමසන ලදුව පැහැදිලි කොට දී ඇත. ඒ මහතාට එම පැහැදිලි කිරීමට සවන් දීමට අවශ්‍ය නැත. අවුරුදු තිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ චන්ද්‍රප්‍රේම මහතාගේ චින්තනය සම්බන්ධව කිට්‌ටු නිරීක්‌ෂකයෙක්‌ වන මට ඒ මහතා අනුගමනය කරන මෙම ගොබෙල්ස්‌ ක්‍රමය හොඳින් තේරුම් ගත හැක. ඒ සම්බන්ධව මට ඒ මහතාට කීමට ඇත්තේ මෙවැන්නකි. තම උපක්‍රමය පිළිබඳව සතුරා සියයට සියයක අවබෝධයක්‌ ඇතිව සිටින විට උපක්‍රමය ඵලදායක නොවන බවයි.

අපිට මීට තරමක්‌ වෙනස්‌ ලෙස ද චන්ද්‍රප්‍රේමගේ මේ පට්‌ටපල් බොරු දෙක දෙස බැලිය හැකිය. මේ කියන දේ සත්‍ය යෑයි අපි මොහොතකට විශ්වාස කරමු. එවිට අපිට මෙසේ විමසිය හැකිය. "ඔව් ඉතින් මොකද කියන්නෙ?" මහජන උද්ඝෝෂණවලදී "එන්න කියාපිය" "දෙන්න කියාපිය" වැනි වදන් භාවිත කිරීමේ ඇති වරද කුමක්‌ද? චන්ද්‍රප්‍රේම මහතා කතා කරන්නේ දේශපාලනයේ සදාචාරය ගැන නම් ඒ මහතා ගැන හොඳින් දන්නා මා වැන්නෙක්‌ සමඟ දේශපාලන සදාචාරය ගැන පැටලීමට පෙර ඒ මහතා දෙවරක්‌ සිතා බැලිය යුතුය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ අපගේ අරගලයේ මූලික අංගයක්‌ වූයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය අරගලය පොදුවේ සමස්‌ත කම්කරු පංතියේ අරගල සමඟ බද්ධ කිරීමයි. අපගේ අරගලයේ ශක්‌තිය වූයේ ද එයමයි. පසුගිය 21 වනදා පැවැති සංකේත වර්ජනය සම්බන්ධව චන්ද්‍රප්‍රේම මහතා නොදන්නවා සේ පෙනෙන කරුණක්‌ පැහැදිලි කිරීමට මම කැමැත්තෙමි. එම සංකේත වර්ජනයට සහභාගි වීමට තීන්දු කරනු ලැබූ සෑම පීඨයකම හා විශ්වවිද්‍යාලයකම එය සියයට සියයක්‌ම සාර්ථක විය. මා අයත් කොළඹ විශ්වවිද්‍යාලය සහ තවත් ස්‌ථාන කීපයක්‌ විවිධ හේතු මත (අවශ්‍ය නම් පසුව හේතු මොනවාදැයි දැක්‌වීමටද පුළුවන) වර්ජනයට සහභාගි විමට තීන්දු ගනු නොලැබූ බැවින් එම ස්‌ථානවල වර්ජනය ක්‍රියාත්මක නොවීය.

අපගේ ප්‍රකාශිත අරමුණ වන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමාජයේ වරප්‍රසාද භුක්‌තිවිඳිමින් ප්‍රභූ පංතියේ කොටසක්‌ ලෙස ජීවත් වන කොටසක්‌ බවට පත් කිරීම නොව තම අයිsතිවාසිකම් සම්බන්ධව සංවේදීවන සහ සටන් කරන අතරම සෙසු පීඩිත සමාජ කොටස්‌වල අයිතිවාසිකම් සම්බන්ධයෙන්ද සංවේදී වන සහ ඒ කොටස්‌වල අරගලවලට සක්‍රීය ලෙස දායක වෘත්තික කණ්‌ඩායමක්‌ බවට පත්කිරීමයි. ඇත්ත වශයෙන්ම අපට ඇති ගැටලුව වන්නේ පැහැදිලි ප්‍රායෝගික ගැටලු නිසා එය අපට අවශ්‍ය තරම් ප්‍රමාණවත් ලෙස සිදුකිරීමට නොහැකි වී තිබීමයි. කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතාගේ විවේචනයෙන් පෙනී යන්නේ අපගේ වෑයම තරමක්‌ දුරට හෝ සාර්ථක වී තිබෙන බවයි.

කෙසේ වෙතත් චන්ද්‍රප්‍රේම මහතාගේ චෝදනාව වන්නේ අපගේ ඊනියා ප්‍රභූවාදී ඉල්ලීම් සහ මෙම "කම්කරුවාදී" නැඹුරුව එකිනෙකට පරස්‌පර බවයි. චන්ද්‍රප්‍රේම අපගේ ඉල්ලීම් ලැයිස්‌තුවේ තිබුණායෑයි කියූ ඉල්ලීම් සත්‍ය යෑයි මොහොතකට සිතමු. ඒවා චන්ද්‍රප්‍රේම සඳහන් කරන ආකාරයේ සුපිරි ඉල්ලීම්ද? ඒවා සුපිරි ඉල්ලීම් වෙනවා නම් එසේ වෙන්නේ යම්කිසි වෘත්තිකයන් පිරිසක්‌ මෙම ඉල්ලීම් "අපිට පමණක්‌ දෙනු, වෙන කිසිවකුට නොදෙනු" යෑයි කියන්නේ නම්ය. මගේ අදහස වන්නේ මේ රටේ ඕනෑම පුරවැසියකුට තමන්ට තම දරුවන්ගේ අධ්‍යාපනයට වැයවන මුදල් රාජ්‍යයෙන් ඉල්ලා සිටීමට අයිතියක්‌ තිබෙන බවයි. ඒ මක්‌ නිසා ද යත් දෙමාපියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අතින් වියදම් දැරීමට සිද්ධ වී තිබෙන්නේ රාජ්‍යය අධ්‍යාපනය සම්බන්ධ තම වගකීමෙන් ක්‍රමයෙන් ඉවත්වෙමින් සිටින නිසාය. චන්ද්‍රප්‍රේම මහතාගේ නරුම 'කොළපාට සමාජය' තුළ නම් මෙවැනි පහසුකම් ප්‍රභූන්ට පමණක්‌ වෙන් වූ වරප්‍රසාද වීම තේරුම් ගත හැකිය. නමුත් අප ගොඩනැංවීමට උත්සාහ කරමින් සිටින සමාජ-දේශපාලන කතිකාව තුළ අධ්‍යාපනය ලැබීම, යහපත් නිවසක ජීවත්වීම, අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම වැනිදේ අප සලකන්නේ සෑම පුරවැසියකුටම ලැබිය යුතු හිමිකම් ලෙසයි. ඒ නිසා මෙවැනි පහසුකම් සඳහා වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මැති ඇමතිවරු වැනි පිරිස්‌ පමණක්‌ නොව කසළ ශෝaධක වෘත්තියේ නියෑළෙන්නන් පවා සටන් කළ යුතුය.

කථිකාචාර්යවරු බිඳවැටීම සම්බන්ධයෙන් චන්ද්‍රප්‍රේම මහතාගේ තුට්‌ටු දෙකේ කතාවලට වඩා බැරෑරුම් සාකච්ඡාවක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතරම ගොඩනැගෙමින් තිබෙන බව ඒ මහතාට මතක්‌ කර දිය යුතුය. එ පමණක්‌ නොව ඒ මහතාට මතක්‌ කරදිය යුතු තවත් දෙයක්‌ තිබේ. එනම් මේ මොහොතේ චන්ද්‍රප්‍රේම මහතා දේශපාලනමය වශයෙන් සහයෝගය දෙමින් සිටින්නේ පරිහානියට පත් විශ්වවිද්‍යාල එයින් ගොඩගැනීමේ ව්‍යාපෘතියට නොව ඒ ක්‍රියාවලිය පරිසමාප්තියට පත්කොට විශ්වවිද්‍යාලවල මළ බෙරය වැයීමේ ව්‍යාපෘතියට බවයි. මෙහිදී ඒ මහතාට අවශ්‍ය නම් සුළු පරීක්‌ෂණයක්‌ සිදුකර බලන ලෙස යෝජනා කිරීමට කැමැත්තෙමි. එනම් විශ්වවිද්‍යාලවල පරිහානියේ වර්තමාන හොඳම ප්‍රතිඵල ලෙස සැලකිය හැකි කථිකාචාර්යවරුන් ගැවසෙන්නේ කොහේ ද යන්නයි. චන්ද්‍රප්‍රේම මහතාත් ගැවසෙන ආණ්‌ඩුවේ විවිධ ආයතනවල සහ ඇමතිවරුන්ගේ අගුපිල්වලින් එවැනි කථිකාචාර්යවරු විශාල වශයෙන් සොයාගැනීමට ඒ මහතාට හැකිවනු ඇත. එසේම පතාක යෝධයන් ලෙස චන්ද්‍රප්‍රේම මහතාගෙන් බුහුමන් ලබන පිරිසෙන් දැනට ජීවත්වන අය පසුගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධයෙන් දක්‌වනු ලැබූ ආකල්පයත් අවශ්‍ය නම් සොයා බැලීමට ඒ මහතාට පුළුවන. එවිට ඒ මහතාට විශ්වවිද්‍යාල අර්බුදය තුළ තමන්මවත් නිවැරදිව ස්‌ථානගත කර ගැනීමට හැකියාව ලැබෙනවා ඇත.

නිර්මාල් රංජිත් දේවසිරි

ස්වාධීන විශ්ව විද්‍යාලයක් – නිවහල් ශිෂ්‍යයෙක්

ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය වර්තමානය වනවිට ගැටලු රැසකට මුහුණ පා තිබේ. විශ්ව විද්‍යාල වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් විවිධ බලපෑම් පවතින අතර බුද්ධිමය හා සංස්කෘතිකමය වශයෙන් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ ගරා වැටීමක් පවතී. මෙම ගැටලු අඩු වැඩි වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පිඨය තුල ද දැකිය හැක. නීති පීඨයේ අවසන් වසර සිසුන් සමූහයක් ලෙස අප අපගේ වසර හතරක අත්දැකීම් ඇසුරෙන් මෙම ගැටලු අප දකින ආකාරය සහ වඩා යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් වෙනුවෙන් අප ඉදිරිපත් කරන ප්‍රතිපත්තිමය ස්ථාවරයන් ප්‍රකාශනයක් මගින් මෙසේ එලිදක්වමු.

විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යනු වටිනාකම් පද්ධතියකි.ජීවන භාවිතාවකි. නීතියේ බලය රැදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මතය.මේ අනුව -

- විශ්ව විද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍යයන් අතර,

- ශිෂ්‍යයන් සහ ශිෂ්‍යයන් අතර,

- ආචාර්යවරුන් සහ ආචාර්යවරුන් අතර පවතින සම්බන්ධතාවය ප්‍රජාතන්ත්‍රවාදී එකක් විය යුතු යැයි අපි විශ්වාස කරමු.

විශ්ව විද්‍යාලය තුල ගන්නා පරිපාලන තීරණ ශිෂ්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ශිෂ්‍ය සහභාගීත්වය සහිතව පරිපාලනයේ සහ ශිෂ්‍යයන්ගේ එකගතාවය මත විවෘතව ගත යුතුය. එසේ නොවන්නේ නම් එය පරිපාලන තීරණ ශිෂ්‍ය ප්‍රජාව මත බලහත්කාරයෙන් ආරෝපණය කිරීමක් වනු ඇත. එසේම ශිෂ්‍ය ක්‍රියාකාරකම් වලදී පරිපාලනයේ අදහස් වලට ඇහුම්කන් දීමේ යුතුකම ශිෂ්‍ය ප්‍රජාව වෙත පවතින අතර තීරණ වලට එලැඹිය යුත්තේ දෙපාර්ශවයේ එකගතාවය තුලිනි.

ශිෂ්‍ය ප්‍රජාව තුල තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී පූර්ණ පාරදෘශ්‍යභාවයක් තිබිය යුතු අතර සියලු ශිෂ්‍ය කොටස් එම ක්‍රියාවලියට සම්බන්ධ කරගත යුතුය. තීරණ ගැනීමේදී විවිධ ජනවර්ග, ආගමික කොටස් වල දායකත්වය මෙන්ම ශිෂ්‍යාවන්ගේ දායකත්වය ද ලබා ගත යුතුය. ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් තීරණ ගන්නා ශිෂ්‍ය සංගමය මෙම සියලු විවිධත්වයන් නියෝජනය කරන ආකාරයෙන් සකස් විය යුතුය. මන්ද ශිෂ්‍ය නියෝජිතයින් ගනු ලබන තීරණ සමස්ථ සිසු ප්‍රජාවටම බලපාන බැවිනි.

ශිෂ්‍ය ස්වාධිපත්‍යය

විශ්ව විද්‍යාල සිසුන් වයස අවුරුදු දහ අටට වඩා වැඩි පුරවැසියෝ වෙති. ඒ නිසා ඔවුන්ට ඔවුන් සම්බන්ධ තීරණ ගැනීමට මෙන්ම වැඩිහිටියන් ලෙස සැලකුම් ලැබීමට ද පූර්ණ අයිතිය පවතී. ස්වකීය ක්‍රියාකාරකම් නිර්ණය කිරීමේ අයිතිය හා නිදහස ශිෂ්‍ය ප්‍රජාව සතු අතර පරිපාලනය ඊට අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතුය. අධ්‍යයන කටයුතු වලදී සිසුන් ස්වාධීනව ශාස්ත්‍රඥයන් ලෙස කටයුතු කල යුතු යැයි අපේක්ෂා කිරීමත් සෙසු විෂය බාහිර කටයුතු වලදී පමණක් සිසුන් තනිවම කටයුතු කරගත නොහැකි නොදරුවන් ලෙස සැලකීමත් පරස්පර විරෝධීය.

අධ්‍යයන සංස්කෘතිය

විශ්ව විද්‍යාල තුල තිබිය යුතු අධ්‍යයන සංස්කෘතිය පාසැල් වල හෝ ටියුෂන් පන්ති වල පවතින සංස්කෘතියට වඩා වෙනස් එකකි. විශ්ව විද්‍යාල යනු ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් එකතුව ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන ස්ථානයක් මිස වැඩවසම් ගුරුගෝල සම්බන්ධතා පවතින මධ්‍යකාලීන යුගයේ ආයතන විශේෂයක් නොවේ. ගුරුවරයා දේශන ශාලාවට පැමිණිවිට හුනස්නෙන් නැගී සිටීම, සිසුන් සුලු කොට සලකා බැණ වැදීම වැනි වැඩවසම් පිළිවෙත් නූතන යුගයේ විශ්ව විද්‍යාලයන්ට උචිත නොවේ. ආචාර්යවරුන් වෙත සිසුන් තුල ගෞරවයක් පැවතිය යුතු බව අප විශ්වාස කරන අතර එය මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට දැක්විය යුතු ගෞරවය මිස වැඩවසම් ගුරුගෝල වන්දනාවක් නොවේ . එම මිනිස් ගෞරවය පෙරලා ලැබීමට සිසුහු ද හිමිකම් ලබති.

පුනරුද යුගයට පෙර සිටම ලෝකය වෙනස් කල නව අදහස්, මතවාද බිහිවූයේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවය. නමුත් අද ලංකාවේ විශ්ව විද්‍යාල හුදෙක් රැකියා ලබාගැනීම සදහා සිසුන්ට සටහන් කට පාඩම් කරවන වෘත්තීය පුහුණු ආයතන විශේෂයක් බවට ලඝු වී ඇත. පවතින අධ්‍යාපන රටාව ශිෂ්‍යයාට ස්වාධීන චින්තනයක් ඇතිකරගැනීමට උපකාරී කරන්නක් නොවේ. විභාග භීතිකාවෙන් පෙලෙන යාන්ත්‍රික මනසක් සහිත සිසුවෙක් වෙනුවට විවේචනාත්මක, විග්‍රහශීලී දෘෂ්ටියක් සහිත විද්‍යාර්ථියෙක් බිහිකිරීමට පහසුකම් සලසන ආකාරයේ අධ්‍යයන සංස්කෘතියක් බිහිවිය යුතුය. දැනුම සොයන විද්‍යාර්ථීන් වෙනුවට Attendance සොයන සිසුන් පිරිසක් බවට ශිෂ්‍ය ප්‍රජාව පවතින අධ්‍යයන පරිසරය විසින් පත්කොට තිබීම කණගාටුවට කරුණකි. අවම පහසුකම් සහිත දේශන ශාලා, නේවාසිකාගාර සහිත පරිසරයක් තුලින් සමාජ පෞරුෂයක් සහිත විද්‍යාර්ථයෙකු බිහිවනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵලය.

ශිෂ්‍ය දේශපාලනය

දේශපාලනය යන වචනය නීති පීඨය තුල අසභ්‍ය දෙයක් වී තිබේ. ප්‍රසිද්ධියේ එය හෙලා දැක රහසින් එහි යෙදීමට ඇතැම් විද්‍යාර්ථීහු පෙලඹී සිටිති. ලෝකයේ සෑම දෙයක්ම දේශපාලනික වන පසුබිමක විශ්ව විද්‍යාල පමණක් අදේශපාලනික විය යුතු යැයි සැලකීම අඥාන අදහසකි. විශ්ව විද්‍යාල සිසුන් දේශපාලනික විය යුතු අතර එම දේශපාලනය විචාරශීලී එකක් විය යුතුය. එය මැති ඇමතිවරු සමග ප්‍රිය සම්භාෂණ වල යෙදෙන පටු දේශපාලනයෙන් ඔබ්බට ගිය ප්‍රතිපත්ති මූලික දේශපාලනයක් විය යුතුය. විශ්ව විද්‍යාලය තුල මතවාද මර්ධනය නොකළ යුතුය. දේශපාලන සංවාද සදහා නිදහස් අවකාශයක් පැවතිය යුතුය. උසස් දේශපාලන මතවාද බිහිකිරීමට ඉතිහාසය තුල ලෝකයේ විශ්ව විද්‍යාල ලබාදුන් දායකත්වය අතිමහත්ය. විශ්ව විද්‍යාල අදේශපාලනික වීමේ ප්‍රතිඵලය සමාජයේ දේශපාලන කරළිය තුල මතකය අහිමි කරගත් මැරයින් යෝධයින් බවට පත්වීමය.

විද්‍යාර්ථීයාගේ භූමිකාව

විශ්ව විද්‍යාලය තුල ශිෂ්‍යයන්ගේ මෙන්ම ආචාර්යවරුන්ගේ ද භූමිකාව හුදු අධ්‍යයන කටයුතු වලට සීමා නොවිය යුතු යැයි අපි සිතමු. අද වනවිට අප පීඨයේ සිසුන් දේශන ශාලාවට හා පුස්තකාලයට සීමා වී සිටී. අවම වශයෙන් විශ්ව විද්‍යාලයේ වාර්ෂිකව කෙරෙන සංස්කෘතික කටයුත්තකට හෝ සම්බන්ධ වීමට ඔවුන් තුල ඇත්තේ ඇල්මැරුණු හැගීමකි. සමාජ සංස්කෘතික දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් විද්‍යාර්ථීන් අතර සංවාදයක් දක්නට නොමැති අතර අතරින් පතර හෝ පැවැත්වෙන සංවාදයකට වුව සහභාගී වීමේ උනන්දුවක් දැකිය නොහැක. චින්තනයක් නොමැති, අවිචාරවත්, අප්‍රබුද්ධ පිරිසක් විශ්ව විද්‍යාල තුලින් බිහිවීමට මේ තත්වය හේතු වී ඇත. ජාතික තලයේදී පරාවර්තනය වන්නේ විශ්ව විද්‍යාල තුල ඇති මෙම බුද්ධි හීනතාවය නොවේද? මෙම තත්වය වෙනස් වී දේශන ශාලාවේ සිට ආපන ශාලාව දක්වා දහසක් මත ගැටෙන,එහෙත් විද්‍යාර්ථීන් උනුන් පුද්ගලිකව නොගැටෙන බුද්ධිමය පරිසරයක් සරසවිය තුල ඇති විය යුතු යැයි අපි විශ්වාස කරමු.

විශ්ව විද්‍යාලය යනු ඉංජිනේරුවරුන්ගේ සංස්ථා ප්‍රධානීන්ගේ පමණක් නොව ගොවීන්ගේ, කම්කරුවන්ගේ ද බදු මුදලින් නඩත්තු වන ආයතනයකි. මේ නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ ආචාර්යවරුන්ට සමාජයේ පොදු ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටීමේ සමාජ වගකීමක් පවතී. එම වගකීම පසෙකලා හුදෙක් තම ආත්ම ලාභය, වෘත්තීය සහ පටු පෞද්ගලිකත්වය අරමුණු කරගෙන ඔවුන් කටයුතු කරන්නේ නම් එය ඛේදවාචකයකි. විශේෂයෙන් මෑතකාලීනව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කඩාවැටීමේ ප්‍රවණතාවයක් අප අත්දකින අතර 18 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම, අධිකරණ පද්ධතිය දේශපාලනිකකරණය වීම, අපරාධ නඩු විධාන සංග්‍රහයට මර්දනකාරී සංශෝධන එකතු වීම වැනි සිදුවීම් මෙම කඩාවැටීමට උදාහරණ වෙති. මෙවැනි අසාධාරණයන් ඉදිරියේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුනිවත රැකීම සහ ඒවා අනුමත කිරීම වෙනුවට ඒවාට එරෙහිව සක්‍රීයව පෙනී සිටීම සැබෑ විද්‍යාර්ථියාගේ සමාජ යුතුකමකි.

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස

අධ්‍යාපනය වරප්‍රසාදයක් ලෙස නොව අයිතියක් ලෙස අපි සලකමු.අධ්‍යාපනය මානව සංවර්ධනයේ අත්‍යවශ්‍ය කාරකයක් වන අතර ඒ සදහා සමාන අයිතියක් සමාජයේ සෑම පුරවැසියෙක්ටම පවතී. මෙම සම අයිතිය සාක්ෂාත් කරගත හැක්කේ නිදහස් අධ්‍යාපනය තුලිනි. වෙළදපොල බලවේග අධ්‍යාපනයේ එම ශිෂ්ටාචාරමය කාර්යය ඉටු කිරීමෙහිලා අසමත්ය. කෙසේවුවද මෑතකාලීනව අධ්‍යාපනය හුදු වෙළද භාණ්ඩයක් බවට පත්කොට පුද්ගලිකකරණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත්වී ඇති ආකාරය අපි දකිමු.

ඉහත තත්වය හෙළා දකින අපි නිදහස් අධ්‍යාපනයේ වැදගත්කමත් අධ්‍යාපනයේ නිදහසත් ගැන ගැඹුරු සංවාදයක් විශ්ව විද්‍යාලය තුල ඇති විය යුතු යැයි සලකමු. අප මෙම ප්‍රකාශනයේ ආරම්භයේ සිට සාකච්ඡා කළ විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදය, ශිෂ්‍ය ස්වාධිපත්‍යය, යහපත් අධ්‍යයන සංස්කෘතිය, ශිෂ්‍යයන්ගේ හා ආචාර්යවරුන්ගේ භූමිකාව යන කරුණු සියල්ල අවසන් වශයෙන් නිර්ණය වනු ඇත්තේ නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස ශක්තිමත් වී තිබෙන ප්‍රමාණය මතය. බොහෝ අය මෙය අමතක කර දමා ඇති යුගයක නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටීම අපගේ අත්හළ නොහැකි යුතුකමක් ලෙස අපි විශ්වාස කරමු.

මෙලෙස අප ගොනු කරන ලද්දේ යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් බිහිකරගැනීම වෙනුවෙන් ගුරු කොට ගත යුතු යැයි අප සලකන ප්‍රතිපත්තිමය මූලධර්මයන් සමූහයකි. අවිචාරවත් ලෙස එකා පසුපස එකා ගමන් කරන කුහුඹු රෑනක් වැනි යාන්ත්‍රික විශ්ව විද්‍යාල ප්‍රජාවක් වෙනුවට විචාරශීලී බුද්ධියක් සහිතව කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස වැනි වටිනාකම් ගුරු කරගනිමින් ප්‍රතිපත්තිගරුකව ක්‍රියා කරන විශ්ව විද්‍යාල ප්‍රජාවක් බිහිවනු දැකීම අපගේ අපේක්ෂාවයි. මෙම අපේක්ෂාව මනෝරාජික යැයි ඇතැම් විට යමෙක් කීමට ඉඩ තිබේ. අප‍ට ඊට පිළිතුරු වශයෙන් කීමට ඇත්තේ වැඩවසම් ක්‍රමය මත පදනම් වූ රාජාණ්ඩු වෙනුවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ගැන යෝජනා කළ අයට මධ්‍යතන යුගයේ දී දමා ගසන ලද්දේද “මනෝරාජිකවාදී විම” පිළිබද චෝදනාවෙන් බවයි. ලෝකය සෑම විටම ප්‍රගතිය කරා ගමන් කළේ මනෝරාජික යැයි අද පෙනෙන දෙය අත්පත් කරගැනීමට මිනිසා කරන ලද අනවරත අරගලයෙහි ප්‍රතිඵලයක් ලෙසය. අප ඉදිරිපත් කළ මෙම අදහස් සංවාදයට ලක්කරන මෙන් අපි ඔබෙන් ඉල්ලා සිටිමු. වඩා යහපත් විශ්ව විද්‍යාල සංස්කෘතියක් බිහි කිරීමෙහිලා උපකාරී වනු ඇත්තේ එලෙස සිදු කෙරෙන සංවාදයක් තුලින් ඇතිවන ක්‍රියාකාරීත්වයයි.

*ජයන්ත දෙහිඅත්තගේ / ලක්මාලි හේමචන්ද්‍ර / රමිදු පෙරේරා / රවී තිසේරා ( අවසන් වසර – නීති පීඨය කොළඹ විශ්ව විද්‍යාලය )