Thursday, September 13, 2012

නරබිලි යදින මග මරුවෝ

අපේ රටේ පාරවල් සියල්ලම පාහේ නොම්මර එකට අලුත්වැඩියා කර තිබුණ ද මිනිසුන්ගේ මොළය අලුත්වැඩියා කළ නොහැකි තරම් පරිහානිගත වී තිබේ. මෙබඳු පරිහානිගත බූරු මොළ සහිත සරීර කූඩු අතට සුක්‌කානමක්‌ හසු වූ විට කියන්නට බැරි තරම් විනාසයක්‌ සිදු වේ. මහ මඟ ගමන් කරමින් සිටි නව යොවුන් දැරියක්‌ සහ ඇගේ මව බීමත් රියෑදුරකු විසින් බස්‌ රථයකට යට කර මරා දමන ලදැයි ඊයේ (12 වැනිදා) 'දිවයිනේ' පළවිය. මියගිය දැරිය දීප්තිමත් ශිෂ්‍යාවකි. ඇය ළඟ එන විද්‍යාලයීය ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඉංග්‍රීSසි භාෂාව වෙනුවෙන් ත්‍යාගයක්‌ භාර ගැනීමට ද නියමිතව සිටියා ය. මේ බස්‌ රථය පැද වූ රියෑදුරා රියෑදුරෙක්‌ යෑයි කීවාට රියෑදුරෙක්‌ නොවේ. රියේ කොන්දොස්‌තර ය. ඒකාට මොළය මෙන්ම රිය පැදවීමට ලයිසන් ද නැත. මව සහ දුව රියට යට වූ පසුත් රිය නො නැවැත්වූ මී හරක්‌ ඩ්‍රැයිවර් දිගටම යද්දී පොලිසිය රිය හඹා ගොස්‌ එය නවත්වා ගත්තේ ය.
මෙය මිනී මැරුමකි. අනියම් මිනී මැරුමක්‌ නොව හිතා මතා කරන ලද මිනී මැරුමකි. නඩු අසා මොහු එල්ලිය යුතු ම ය.

ශ්‍රී ලංකාවේ මාර්ග සැතපුම් ගණන එන්ට එන්ටම ඉහළ නගී. මාර්ග පුළුල් වන ප්‍රමාණය ද වැඩි වෙයි. සියලුම මාර්ගවලට ඇස්‌µල්ට්‌ කාපට්‌ දමා ගුවන් ධාවන පථ මෙන් පවත්වා ගෙන යනු ලැබේ. ඒ අතර රථ වාහන ප්‍රමාණය ද ඉතා ශීඝ්‍ර ලෙසත් භයානක ලෙසත් ඉහළ යයි. දවසේ කාර්ය බහුල වැඩ කරන පැය අටක කාලය තුළ බයිසිකල්, මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, කාර්, වෑන්, ලොරි, ටයර් සවිකළ යෝධ බුල්ඩෝසර්, නැව් තරම් විශාල කන්ටේනර්, අහස්‌ යානාවකින් භාගයක්‌ තරම් උස මනම්පිටියේ වැලි ලොරි යනාදිය මහපාරේ එක පිම්මට ගමන් කරනු දැකිය හැකිය. උඩ සිට බලන කෙනකුට වාහනවල පියෑසි මිස මහ පාරෙන් බිංදුවක්‌වත් පෙනෙන්නේ නැත. මේ රිය තොගය අතරින් බෙල්ල බේරාගෙන පාර පනින්නට කාටවත් නොහැක. ඒ මතු ද නොව මේ බර වාහනවලින් එකකට හෝ යටවන මඟියකු ස්‌ටිකරයක්‌ මෙන් පැතලි වී මහ පොළොව සමඟ බද්ධ වෙයි. අපේ මහපාර මරණයේ දොරටුවයි. එහි ඇත්තේ 'වන් වේ' විනය පමණි. කොළඹ මාර්ග සියල්ලම පාහේ අද 'වන් වේ' කර ඇති අතර පෙර කී සියලුම යෝධ වාහන මඟී වාහන ද සමඟ පිම්මේ එක පැත්තට දිවෙයි. කන්ටේනර් රථ ගමන් කළ යුත්තේ මාර්ග තදබදය නැති රාත්‍රි කාලයේදී පමණකැයි නීතියක්‌ මෙයට කලකට පෙර තිබිණි. එහෙත් ඒ නීතිය අද වාෂ්ප වී ඇත. කන්ටේනර් විසින් පැය 24 පුරාම මහ පාර පවරා ගෙන ඇත්තේ එසේ නීතිය නටබුන් වීම නිසා ය.

පෞද්ගලික බස්‌වලට කිසිදු ප්‍රමිති පැනවීමක්‌ අදටත් නැත. "මාරු සල්ලි නැත්නම් බැහැලා යන්න.....", "හිර වෙන්න බැරි නම් ටැක්‌සියක යන්න" යනාදී වශයෙන් මඟීන් පරිහාසයට ලක්‌ කරන කියුම් සහිත ස්‌ටිකර් පෞද්ගලික බස්‌ රථ තුළ අලවා තිබේ. කොන්දොස්‌තර මඟීන්ට කතා කරන්නේ එදා මෙන්ම පහත් ලෙස ය. ඉතුරු මුදල රුපියලක්‌ හෝ රුපියල් දෙකක්‌ නම් එය ආපසු දෙනු නො ලැබේ. එය ඉල්ලා සිටියොත් මඟියාට විවිධ අඩන්තේට්‌ටම්වලට මුහුණ පාන්නට සිදු වේ. නාවර පෙරාගෙන සිටින කොන්දොස්‌තර දොරේ එල්ලී කකුලෙන් සිග්නල් දමන අතර රියෑදුරා තමා අසලින් යන වාහනවලට තිත්ත කුණුහරුපයෙන් බැණ වදිමින් පාර පුරා යයි. මෙතරම් අසංවර වාහන ගමනා ගමනයන් ඇත්තේ අප්‍රිකානු මහාද්වීපයේ ගෝත්‍රික සටන් පවතින රටවල පමණය. නැත්නම් යුද්ධයක්‌ තිබිය යුතු ය.

අද මේ රටේ යුද්ධයක්‌ නැත. එහෙත් මහ පාරට පා තැබූ සැණින් තමා පැමිණ ඇත්තේ යුද්ධ භූමියකට බව මිනිසුන්ට සිතෙයි. පාර ඒ තරමට බියජනක ය. මෙයින් බේරී පණ පිටින් ගෙදර යැමට හැකි මිනිස්‌සු වාසනාවන්ත යෝ ය. රියෑදුරෝ හරියාකාරව රාජකාරි කිරීමට පොලිසියට ඉඩ නො දෙති. පොලිසිය වරදක්‌ පෙන්වූ කල රියෑදුරෝ විවිධ බලපෑම් ඇති කර පොලිස්‌කාරයා මට්‌ටු කරන්නට සැරසෙති. රාජකාරි කිරීමට ගොස්‌ නිල කබාය අහිමි කර ගන්නේ මන්දැයි කල්පනා කරන රාළහාමි ඕනෑ කුදයක්‌ ගසා ගන්නැයි කියා අහක බලා ගනී. දැන් මහ පාරවල් නිරයේ මහ පාරවල් හා සමාන ය. ඒවායේ රිය පදවන්නේ යම පල්ලෝ ය.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...