Saturday, September 22, 2012

අධ්‍යාපනය විනාශ කිරීමට දගලන්නේ පරිනත මිනිසුන් බිහි වනවා වැලකීමටයි.

අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද , අනධ්‍යන සේවකයන්ද , පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන වල කුඩා වශයෙන් සටන් ඇවිලෙමින් පවතී. සාම්ප්‍රදායික මතවාද මේ සටන් එක් කිරීමට බාධාවක්ව පවතී. ඒ අවසරයෙන් පාලකයෝ තව දුරටත් නිහඩව තම දුර්දාන්ත පාලනයේ යෙදෙමින් සිටී. විශ්ව විද්‍යාලය අර්බුධය දිගින් දිගටම දිග්ගැසෙමින් පවතී.

ආණ්ඩුව තවත් ඡන්දයක් ජයගෙන අවසන්ය. සාමාන්‍ය ජනතාව තව දුරටත් එදා වේල හා බඩගෝස්තරය වෙනුවෙන් ආණ්ඩුව රකිමින් සිටී. ඔවුන් සාධාරණය, ප්‍රබල විපක්ෂයක් විකල්පයක් නොමැති කල්හි ජනතාවගේ ක්‍රියාව සාධාරණය. තව දුරටත් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකීම හා ඡන්දය කුරුටු ගෑම හැර ඔවුන්ට විකල්පයක් නැතයි ඔවුන් සිතමින් සිටී. 80 දශකයේ මිය ගිය 60000 කගේ අඩුව දැන් එන්න එන්ට දැනෙමින් පවතී. හිඩැස බයන්කරය, නායකයින් බිහි වන්නේ කලාතුරකිනි. රට තුල විචාරශීලී බුද්ධිමතුන් ඉහල තැන් වල නැත. සිටින්නේ තම බඩගොස්තරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන එවුන්ය. 

ඉන්දියාවේ අමීර් ඛාන්ලා සමාජය වෙනස් කිරීම වෙනුවෙන් “සත්‍යමෙව් ජයතී” කරන විට ලංකාවේ කලාකරුවෝ අරලියගහ මන්දිරයෙන් ඉදුල් කා ජනපති දෑත් ශක්තිමත් කරනවයි කියමින් ආණ්ඩුවට කඩේ යමින් අසාධාරණයේදී කට වසාගෙන නොදැක්කා සේ ඉන්නේ ඒ නිසාය.

80 දශකයේ අහිමි වී ගිය ඒ පරපුරේ අඩුව තුල මැටි මෝලුන් පිරිසක් රටේ පාලනය අතට ගැනීමෙන් රට දිනෙන් දිනට අගාදයට යමින් පවතී. රට ගැන හිතන මිනිසුන් අල්පය. ඇත්තේ ඇග වටා තවරා ගත් ඊනියා දේශප්‍රේමීත්වය පමණි. දිනෙන් දින අර්බුධයට යන සමාජය තුල විසදුම් මතුවෙමින් පවතී. එහි එක් අරගලයකි ආචාර්ය අරගලය. එය සමාජය කරා විහිදෙමින් පවතී. මෙය පටු අරමුණු වලින් තොරව මෙහයවුවහොත් නිවැරදි හා සාධාරණ සමාජයක අරුනලු දැක ගැනීමේ ඇරබුම් ලක්ෂය විය හැක. රට දිනෙන් දින අර්බුධ වල ගිලෙමින් තිබුනද විවිධ කාල වලට මතුවෙන විවිධ මාතෘකා නිසා ආණ්ඩුවට යම් තරමේ අස්වැසිල්ලක් ලැබෙමින් පවතී.

හෙට අනිද්දා T20 එනු ඇත. නැවත සියලු දේ යට යනු ඇත. මාසයකට ගිලීමට උන්මාදයක් ඇත. හදිසියේම ‘ධාතු‘ ඡන්දය කාලයේ ගෙන ආවේ ඒ නිසාය. රත්නපුරයෙන් පටන් ගෙන ප්‍රථමයෙන් ඡන්දය පවතින ප්‍රදේශ වල ධාතු අනාගත රජ කුමරා වන නාමල් අත වැඩමකරවුයේ ඒ නිසාය. එයින්ද ආණ්ඩුව දිනුවේය. ධාතු මෙන් ආණ්ඩුව ආචාර්ය අරගලයට විසදුම් හොයමින් පවතී. හතර අතින් විවිද තුරුම්පු ආණ්ඩුව ගසමින් සිටින්නේ ඒ නිසාය. ඒ තුලින් දේශප්‍රේමීයයි කියාගන්නා ආණ්ඩුවේ ඉදුල් කන ආචාර්යවරුන් කරලියට එන්නේ ඒ හරහාය. එහෙත් ආණ්ඩුවේ අවාසනාවට ආණ්ඩුවේ කටු කන ආචාර්යවරුන් ඇත්තේ අතේ ඇගිලි ගානටය. ආණ්ඩුවේ ඉදුල් කමින්, වරප්‍රසාද බුක්ති විදිමින් SB යටතේ සිටින මෙම බඩගෝස්තරවාදීන් දේශප්‍රේමී ලේබලය හරහා සමාජය මත පතිත කිරීමට සැරසෙන්නේ කුමක්ද? රටේ සාමාන්‍ය ජනයා මේ ගැන අවධානයෙන් සිටීම වැදගත්ය. මොවුන් මේ අරගලය අසාධාරණයයි පවසමින් සිටියත් අරගලය ජයග්‍රහණය කොට එහි වරප්‍රසාද ලැබුනහොත් ඒවා මුලින්ම ලබා ගන්නේ මේ කැනහිලුන්ය. විසදුම් දෙනවා වෙනුවට විවිද මිලේච්ඡ ක්‍රියා මගින් අරගලය විනාශ කිරීමට ආණ්ඩුව උත්සහා දරමින් සිටී. අනිවාර්යය බේරුම්කරණය ගෙන එන්නේ මේ හරහාය. රජයට පක්ෂ අචාර්යවරුන් යොදාගෙන පහර දෙන්නේ ඒ නිසාය. තර්ජන ගර්ජන ගෙන එන්නේ ඒ නිසාය. අධිරාජ්‍යවාදීන්ට කත් අදිනවයයි කියන්නේ ඒ නිසාය. සාකච්චා කිරීමට නම් අරගලය නවතා පැමිණෙන්න යැයි පවසන්නේ ඒ නිසාය.

ගිය වසරේදී මෙම ඉල්ලීම් ඉල්ලන විට ජනාධිපති සිටියේ කොහොදැයි අපි නොදනිමු. අරගලය ආරම්භයට පෙර ජනපතිට මෙම ගැටළුව විසදීමට හැකි නොවුනේ ඇයි? ඔහුත් ආණ්ඩුවත් අධ්‍යාපනයට දෙන තැන සිතා ගත හැක. රටේ පාලකයින් කෙතරම් වැරදි කලත් ජනතාවනම් කට අරින්නේ නැත. ඇමති මණ්ඩලය ඇමති පුත්තු, මන්ත්‍රීවරුන් කෙතරම් වැරදි කලත් ජනාධිපතිනම් නිහඩය. පුදුමය වන්නේ ජනපති වැරදි දැක දැක නිහඩව සිටියත් ජනතාව දුක කියන්නේ ජනපතිටය. මෝඩ ජනතාවට ජනපති හොදය. වැරදි කරන්නේ පහළ එවුන්ය. ප්‍රශ්නය ඇත්තේ කොන්ද කෙලින් ඇති නායකයෙකුනම් තමා යටතේ සිටින අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් වැරදි කරද්දී එයට එරෙහිව ක්‍රියා කිරීමයි. රටේ අවනීතිය රජ කරන විට ඒවාට එරෙහිව ක්‍රියා කිරීමයි. නමුත් විධායක බලය තර කරගනිමින් ජනපති ක්‍රියා කරන්නේ තම පවුල් සංස්ථාව රැක ගැනීමට හා තම බඩගෝස්තරය රැක ගැනීමටයි. තිත්ත ඇත්ත මෙය වුවත් අප මිනිසුන් මෙය යුධ ජයග්‍රහණය මත පටවා මේවා පිළිගැනීමට අකමැතිය.

ආණ්ඩුව අධ්‍යාපනය විනාශ කිරීමට දගලන්නේ පරිනත මිනිසුන් බිහි වනවා වැලකීමටයි. ආණ්ඩුවට අවශ්‍ය ආණ්ඩුව කියන විදියට නටන එහෙහියන් ටිකක් රට තුල අධ්‍යාපනයෙන් බිහි කර ගැනීමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ රජ කල මෙන් තම දරුවන්ට රටේ පාලනය භාර දීමටයි. අද අපගේ ජීවිත සරසවි තුල නාකි වන්නට දෙන්නේ ඒ නිසාය. තත්ත්වය මෙසේනම් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන්නේ කෙසේද? තව දුරටත් නිහඩව සිටීමෙන් සිදුවන්නේ අප දන්න්නේද නොමැතිව අපගේ විනාශය ලංවීමයි.

අපත් මෙලොවට බිහි වූයේ පාලකයින් මෙනි. අප හටද රටේ සම අයිතිවාසිකම් හිමිය. අපගේ ඡන්දයෙන්ම පත්ව රට පාලනය කරනවයි කියමින් අපගේ ජීවිත සමග සෙල්ලම් කිරීමට පාලකයින්ට ඉඩ නොදිය යුතුය. දේශප්‍රේමීත්වයට මුවා වී අප ජීවිත සමග සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැක.

උසස් අධ්‍යාපනය භාර ලේකම් වරයාගේ රාක්කයේ තිබු ෆයිල් කවර තොගයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපත්තිය පැහැදිලි වේ. මහින්ද චින්තනය සමග ඇත්තේ රට තුල ව්‍යාප්ත කෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාල කඩ පිළිබද තොරතුරුය. රජයේ ප්‍රතිපත්තිය එයින් පැහැදිලි වේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ නිදහස් අධ්‍යාපනය නවතා දමා රට තුල උපාධි කඩ පිහිටුවීමයි. තව දුරටත් ආණ්ඩුව නිද්‍රාශීලීව සිටින්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්දතියේ බිද වැටීම ඔවුන්ට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට පිටුවහලක් වන නිසාය. ආචාර්යවරුන් බලෙන් රදවා ගත නොහැක. ඔවුන් වෙනුවට ස්ථානගත කිරීමට වෙනත් කිසිවෙකු නොමැත. 

දැනටමත් විශාල වශයෙන් ආචාර්යවරුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් වෙමින් පවතී. මේ කාරණා හමුවේ ආණ්ඩුවේ යටි අරමුණ ඉටු වෙමින් පවතී. ආණ්ඩුවට අවශ්‍ය බල්ලන් හෝ මරා ණය වූ ණය ගෙවීමටය. අප මිනිසුන් තැනිය යුතුය. ඒ පුළුල් සමාජ කතිකාවතක් සදහාය. සරල වුත්, සංවේදී වුත් මේ සමාජයේ යහපත සදහා ක්‍රියා කරන මිනිසුන් තැනිය යුතුය. නැතිනම් නව පරම්පරාව මෙන් අනෙකාට හෙනගහුවත් නොබලන, මෙගස්ටාර්ලා, සුපර්ස්ටාර්ලා බිහිකරන නිර්ලජ්ජී සමාජයෙන් අප ඈත් විය යුතුය. අධ්‍යාපනයේ පුළුල් අරමුණු සැකසිය යුතුය. සැමට සාධාරණව ජීවත් වීමට හැකි සාධාරණ පරිසරයක් ගොඩ නැගිය යුතුය. තව දුරටත් වෙන්ව සටන් වැදීමෙන් පලක් නැත. දැන් පැමිණ ඇත්තේ අධ්‍යාපනයේ නිදහස යන උත්තුංග අරමුණ වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් වැදීමයි. එමගින් අධ්‍යාපනයට අත තැබීමේ ආදීනව පාලකයින්ට කියා දිය යුතුය.

දැන් පෙරමුණ ගැනීමට කාලය පැමිණ ඇත. තවත් නිද්‍රාශීලීව මේ ගැටළුව අද විසදෙයි, හෙට විසදෙයි යන සිහින ලෝක වලින් ඇහැරිය යුතුය. සමාජය මත ඇති අභ්යෝගය අප හිස මත පතිත වී ඇත. සමාජය අප සැමගෙන් ගැලවීම ඉල්ලා සිටී. කල යුත්තේ වඩා යහපත් ලොවක් නිර්මාණය කිරීමට පෙළ ගැසීමයි. ඒ සදහා මුලාරම්භය ලැබී ඇත. දැන් ඇත්තේ පෙළ ගැසීම පමණි. ජනතාව මෙය හරි හැටි තේරුම ගෙන අප වටා එක් වීම අත්‍යවශ්‍යයය. සැමදා ප්‍රශ්න වලට දෛනික විසදුම් සොයමින් පැලැස්තර ගසා වැඩක් නැත. සිදු විය යුත්තේ දීර්ගකාලීන ස්ථීර විසදුම් සොයා ගැනීමට පෙළ ගැසීමයි. එයට සටන් කිරීම හැර වෙන කිසිදු විකල්පයක් නැති බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී හමාරය.

බුද්ධික ප්‍රභාෂ් ලියනගේ 

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...