Tuesday, October 23, 2012

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන්නේ කුමක් ද?

පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්‍ෂව හා විරුද්ධව මේ මොහොතේ ලාංකීය සමාජයේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් විවිධ වූ අදහස් දක්වමින් සිටී. විශේෂයෙන් ම මේ මොහොතේ ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රකාශ කර සිටිනුයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම යනු මෙරට නිදහස් අධ්‍යාපනයේ අවසානය බවයි. එහෙත් උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක ඇතුළු වත්මන් ආණ්ඩුව ප‍්‍රකාශ කර සිටින්නේ මේ මොහොතේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාර්යභාරයවන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම බවයි. එම නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පක්‍ෂ මතවාද හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට එරෙහිව මත දක්වන්නන්ගේ මතවාද ප‍්‍රවේශමෙන් කිරා බැලිය යුතු ය.

මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු ය යන තර්කය ඉදිරිපත් කරන්නන්ගේ ප‍්‍රධානතම තර්කය වන්නේ ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වල ඉඩකඩ සීමිත නිසා සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන නිසා මෙරටින් විශාල මුදලක් පිටරටට ඇදී යන බව ය. එම නිසා එම මුදල් මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ස්ථාපනය කළ යුතු බවයි. එම නිසා එම මුදල් මෙරට ඉතිරි කර ගැනීමේ අරමුණින් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ස්ථාපනය කළ යුතු බවයි. බැලූ බැල්මට මෙය සත්‍ය යැයි කෙනෙකුට සිතිය හැක. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ගතහොත් වාර්ෂිකව මෙරටින් ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් පමණ මෙලෙස විදේශ ගතවන සිසුන් නිසා මෙරටින් පිටතට ඇදී යයි. මෙම මුදල රුපියල් මිලියන 5400 කි. නමුත් පාලකයන්ගේ මෙම තර්කය යට සැඟවී ඇත්තේ කුමක් ද යන්න තේරුම් ගත හැක්කේ ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත දෙස බැලීමේ දී ය. මෙම රු මිලියන 5400 පිට රටට ඇදී යන බවට කිඹුල් කඳුලූ හෙළන ආණ්ඩුව 2008 වසරේ සීනි ආනයනය සඳහා රු මිලියන 22350 ක් ද කිරිපිටි ආනයනය සඳහා රු මිලියන 32042 ක් ද මාළු සහ ඒ ආශ‍්‍රිත නිෂ්පාදනයන් ආනයනයට රුපියල් මිලියන 12623 ක් ද තිරිඟු පිටි ආනයනයට රුපියල් මිලියන 40563 ක්ද වැය කළ බව 2009 මහ බැංකු වාර්ථාවෙන් පෙන්වා දෙයි.

ඒ අනුව ආණ්ඩුව ලංකාවේ කිරි ඉල්ලූමෙන් 50%ක් මෙරට නිෂ්පාදනය කළේ නම් රුපියල් මිලියන 16000ක් ද ඉතිරි කර ගැනීමට තිබුණි. මෙරට සීනි අවශ්‍යතාවයෙන් 50% ක් රට තුළ නිෂ්පාදනය කළේ නම් රුපියල් මිලියන 11000 ක් ඉතිරි කර ගැනීමට තිබුණි. රට වටා මුහුද තිබියදී ඔවුන් මාළු ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා රුපියල් මිලියන 12623 ක් පිට රටට ගලා යෑමට ඉඩ දෙද්දී අධ්‍යාපනයට වැය වන රුපියල් මිලියන 5400 ගැන කතා කිරීම ගැටළුවකි.

අනෙක් අතට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු යැයි ප‍්‍රකාශ කරන ආණ්ඩුව ලෝකයේ කිසිදු රටක නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙන බවත් මෙලෙස රජය නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ලංකාවේ පමණක් බවත් එම නිසා තව දුරටත් රජයට නොමිලේ අධ්‍යාපනය ලබා දිය නොහැකි නිසා පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ඇරඹිය යුතු බවත් ය. ලෝකයේ රටවල නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙන බව සත්‍යයකි. එසේ ම ලංකාවේත් නොමිලේ අධ්‍යාපනය ලබා නොදෙයි. ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ අධ්‍යාපනය ලබා දීම නොව පෙර ගෙවුම් අධ්‍යාපනයකි. එනම් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ රටේ ජනතාව කළින් ගෙවූ බදු මුදල් වලිනි. 2011 අයවැය වාර්ථාවට අනුව අපේක්‍ෂිත ආණ්ඩුවේ මුල් ආදායම රුපියල් බිලියන 963.5 කි. ඉන් රුපියල් බිලියන 862.1 ක් ලබා ගන්නේ බදු වලින් ය. එනම් රටේ ආදායමෙන් 87% ක් බදු මුදල් ය. මෙම බදු මුදල් වලින් වැඩි ප‍්‍රතිශතයක් මෙරට සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා පරිභෝජන භාණ්ඩ වලින් ලබා ගන්නා වක‍්‍ර බදු ය. 2009 මහ බැංකු වාර්ථාවට අනුව රජය අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 100 ක් වැය කරනුයේ ජනතා මුදල් වලිනි.

එසේ ම අනෙකුත් රටවල ශ‍්‍රී ලංකාවේ මෙන් වක‍්‍ර බදු මෙතරම් අය නොකරයි. එසේ ම එම රටවල වැටුප් තල නිර්ණය කිරීමේ දී එයට අධ්‍යාපන වියදම් ද ඇතුළත් කොට ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සළකා බලන කොළඹ පාරිභෝගික මිල දර්ශනයේ අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නක් යැයි සළකමින් එයට බරතැබීමක් සිදු නොකරයි. එවන් තත්ත්වයක් යටතේ මෙරට ජනතාවගෙන් අධ්‍යාපනය සඳහා නැවත වරක් මුදල් අය කළොත් ඔවුන් අධ්‍යාපනය සඳහා දෙවරක් මුදල් ගෙවා ඇත. මෙය ඉතා අසාධාරණ තත්ත්වයකි.

එසේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම පිළිබඳව ආණ්ඩුවේ ජනප‍්‍රියම තර්කය වන්නේ මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹු විට පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල අතර ඇති වන තරඟය නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගුණාත්මකව ඉහළ නගින බවයි. එහෙත් රාජ්‍ය හා පෞද්ගලික අංශය අතර තරඟයේදී ලංකාවේ අත් දැකීම් ඉහත කරුණට ඉඳුරාම පටහැනි ය. මෙයට හොඳ ම උදාහරණය වන්නේ මගී ප‍්‍රවාහනය පිළිබඳව රාජ්‍ය ඒකාධිකාරය පැවැති අවධියේ දී ඔවුන් ප‍්‍රකාශ කළේ ප‍්‍රවාහන ක්‍‍‍ෂේත්‍රය තුළ පෞද්ගලික අංශයටද ඉඩකඩ ලබා දිය යුතු බවයි. එවිට රාජ්‍ය සහ පෞද්ගලික අංශය අතර තරඟයෙන් මෙරට රාජ්‍ය ප‍්‍රවාහන පද්ධතිය මෙන් ම රටේ ප‍්‍රවාහනය ද දියුණු වන බවයි. එහෙත් මෙම තරඟයෙන් සිදු වී ඇත්තේ කුමක් ද? ලංකා ගමනා ගමන මණ්ඩලය හෙවත් රාජ්‍ය ප‍්‍රවාහන පද්ධතිය බරපතල ලෙස බිඳවැටීමයි. දිනපතා පෞද්ගලික බස්රථ 22000 ක් පමණ ප‍්‍රවාහනය සඳහා එක් වන මේ මොහොතේ ලංගම සතුව ඇත්තේ අබලන් වූ බස් රථ 4000 ක් පමණි. මෙයිනුත් දිනපතා ප‍්‍රවාහනයට එක් කළ හැකිව ඇත්තේ මීටත් වඩා අඩු බස් රථ සංඛ්‍යාවකි. එසේ ම ප‍්‍රවාහන සේවය පෞද්ගලික අංශයට විවෘත කරන මොහොතේ ආණ්ඩුව ප‍්‍රකාශ කළ ප‍්‍රවාහනයේ දියුණුව ඇති වී නැත. රාත‍්‍රී 7 න් පසුව අතුරු මාර්ග වල බස් රථ නොමැත. එයට හේතුව ලාභය අරමුණු කරන පෞද්ගලික අංශය තමන්ගේ මූලික අරමුණු කරගෙන ඇත්තේ සේවාව නොව ලාභය නිසා ය. එසේ ම ඔවුනට අවශ්‍ය පරිදි ප‍්‍රවාහන ගාස්තු ඉහළ දමමින් පවතී.

එලෙස ම මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල හා රාජ්‍ය විශ්වවිද්‍යාල අතර තරඟයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාල ජයගනු ඇත. උදාහරණයක් ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල වල මහාචාර්යවරු සහ ආචාර්යවරු ඒවායේ සේවය ලබන්නේ ඉතා අඩු වැටුප් ලබමිනි. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ඇරඹුවහොත් ඔවුන් වැඩි වැටුපක් සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට නොබැඳෙනු ඇතැයි දිය හැකි සහතිකය කුමක් ද? එලෙස ආරාර්යවරු රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හැර ගියහොත් මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදයට ලක් වනු නොඅනුමානය.

එසේ ම ආණ්ඩුවේ තවත් තර්කයක් වනුයේ ලංකාවේ සිසුන් 130000 ක් පමණ උසස් පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාල වලට බඳවා ගත හැක්කේ 20,000 ක් පමණ ප‍්‍රමාණයක් නිසා තවත් සිසුන් විශාල ප‍්‍රමාණයකට අසාධාරණයක් සිදුවන බවත් එම නිසා එම සිසුන් ට උපාධි ලබා ගැනීමට නම් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු බවත් ය. ලංකාවේ උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල වලට බඳවාගන්නේ ඉතා සීමිත ප‍්‍රමාණයක් බව සත්‍ය කරුණකි. එහෙත් එම සිසුන්ගෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වී උපාධියක් ලබා ගත හැක්කේ 1% ටත් අඩු පිරිසකට ය. මක් නිසා ද යත් ලංකාවේ ජනතාවගෙන් 42% ක් ඩොලර් 2 ට අඩු ආදායම් ලබන්නන්ය. ඔවුන්ට තම දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යැවීමේ හැකියාවක් නොමැත. එසේ ම රටේ පවුල් 16000 ක් සමෘද්ධිලාභී පවුල් ය. ඔවුන් යැපෙනුයේ රජයෙන් ලබා දෙන සහනාධාර මත ය. එවන් තත්ත්වයක් යටතේ ඔවුනට තම දරුවන් ට උපාධියක් ලබා දීම සඳහා මුදල් වැය කළ නොහැක.

උදාහරණයක් වශයෙන් මාලඹේ අරඹා ඇති SAITM හි වෛද්‍ය උපාධිය සඳහා රුපියල් ලක්‍ෂ 65 ක මුදලක් අය කරයි. එනම් තම දරුවා වෛද්‍යවරයෙකු කිරීමට එක් වසරකට රුපියල් ලක්‍ෂ 13 ක මුදලක් අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් මසකට රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් ගාස්තු වශයෙන් ගෙවීමට අවශ්‍ය වේ. එවැනි විශාල මුදලක් වැය කොට තම දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැක්කේ ඉතා ම සීමිත පිරිසකට ය. ආණ්ඩුවේ අරමුණ වන්නේ වැඩි සිසුන් පිරිසකට උපාධිය ලබා දීමට නම්, ඔවුන් සිදු කළ යුතුව ඇත්තේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා සිසුන් ප‍්‍රමාණය වැඩි කිරීමයි. ඒ සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට වෙන් කරන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය වැඩි කළ යුතු ය. එහෙත් රජය සිදු කරන්නේ එම ප‍්‍රතිපාදන ප‍්‍රමාණය තවදුරටත් කප්පාදු කිරීමය. එසේ නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය ඇරඹූ පමණින් අධ්‍යාපන හැකියාවන් ඇති සිසුන් හට අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව නොමැත. ඒ සඳහා ආර්ථික හැකියාවද අවශ්‍ය වෙයි.

උසස් පෙළ සමත් වූ සිසුන්ගෙන් වැඩි පිරිසකට උපාධිය ලබා දිමට ආණ්ඩුවට සැබෑ වුවමනාවක් ඇත්නම් සිදු කළ යුතු ව ඇත්තේ එම විශ්වවිද්‍යාල වලට වෙන් කරන ප‍්‍රාග්ධන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය වැඩිකොට ඒවායේ පහසුකම් වැඩි කොට විශ්වවිද්‍යාල වලට වැඩි සිසුන් ප‍්‍රමාණයක් බඳවා ගැනීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීමයි. නමුත් ලංකාවේ බොහෝ විශ්වවිද්‍යාල වලට බඳවා ගත හැකි සිසුන් සංඛ්‍යාව පවා බඳවා නොගන්නා අවස්ථා දක්නට ලැබේ. එසේ ම උපාධිධාරීන් වැඩිපුර නිර්මාණය කිරීමට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතු යැයි ආණ්ඩුව තර්ක කරන්නේ දැනට සිටින උපාධිධාරීන්ට ද රැකියා ලබා දීමේ ක‍්‍රමවේදයක් නිර්මාණය නොකළ තත්ත්වයක් යටතේ ය.

එසේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු යැයි තර්ක කරන්නන්ගේ ප‍්‍රධාන තර්කය වනුයේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ගේ භාෂා දැනුම හා හැකියාවන් නව ලොවට නොගැළපෙන බවයි. එසේ නම් ඒ පිළිබඳව වගකිව යුත්තේ මෙරට අධ්‍යාපන ප‍්‍රතිපත්තීන් සකසන පාලකයන් ය. බොහෝ විශ්වවිද්‍යාල වල පාඨමාලා වසර ගණනාවකින් නවීකරණය වී නොමැත. එසේ ම බොහෝ පීඨ වල අවශ්‍ය තරම් ආචාර්යවරුන් නොමැත. භෞතික උපකරණ නොමැත. මෙවන් තත්ත්වයක් යටතේ උපාධියක් ගුණාත්මක කිසි ලෙසකින්වත් ඉහළ දැමිය නොහැක.

එසේ ම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම වෙනුවෙන් පෙනී සිටින වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධානතම තර්කයක් වන්නේ ලෝකයේ ජනප‍්‍රිය විදෙස් විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කළ හොත් ඉන්දියාවේ හා ආසියානු කලාප වල සිසුන් එම විශ්වවිද්‍යාල වලට ඇතුළත් වීමට මෙරටට පැමිණෙනු ඇති බවත් එවිට අපට විශාල විදේශ විනිමයන් ලැබෙනු ඇති බවයි. මෙය සම්පූර්ණ මුලාවකි. විශේෂයෙන් ම ඉන්දියාව. සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවල් වල ද මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටා ඇත එම රටවල ජනතාව උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවන්නේ නම් ඔවුන් යුරෝපා රටවල් හැර ලංකාවට පැමිණෙන්නේදැයි සිතීම විහිළුවකි. එසේ ම එම සිසුන් හා ශ‍්‍රී ලංකාවේ සිසුන් ඇතුළත්වන්නේ විදෙස් විශ්වවිද්‍යාලවල ලංකාවේ ශාඛාවකටය. එනම් එම මුදල් එම රටවලට ඇදී යෑම වැළැක්විය නොහැකි ය.

එසේ ම විදෙස් විශ්වවිද්‍යාල මෙරට ආරම්භ කළ පමණින් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවන සියළු දෙනා සිසුන් මෙරට නතරවනු ඇතැයි ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක් ද? බොහෝ සිසුන් වීසා රැගෙන යුරෝපීය රටවලට ගමන් කරන්නෙ උපාධිය ලබාගැනීමටත් වඩා එම රටවලට ගොස් රැකියාවක් සොයා ගැනීමට ය. ඔවුන් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹූ පමණින් මෙරට නතර වන්නේ නැත. එසේ ම විදෙස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීම මෙරට එක්තරා සමාජ ස්ථරයක මානසික අවශ්‍යතාවයකි.

මේ අනුව මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹිය යුතු යැයි ගෙන එන තර්ක පිටුපස සැඟවී ඇති සැබෑ උවමනාව කුමක් දැයි අප අවබෝධ කරගත යුතු ව ඇත. එම තර්ක ඉතා සාධාරණ යැයි බැලූ බැල්මට අපට සිතිව හැකි ය. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹුණහොත් මෙරට නිදහස් අධ්‍යාපන අයිතිය වැළලෙනු ඒකාන්ත ය. ඒ හරහා මෙරට අනාගත පරපුරේ බොහෝ දෙනෙකුට අධ්‍යාපන වරම් අහිමි වෙනුද ඒකාන්ත ය.


ගිනි සිලුව - ජනවාරි කලාපය

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...