Friday, December 28, 2012

පාසල් නිල ඇඳුම් රෙදි ආනයන පාඩුව කෝටි 6 පනී

රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ඉදිරිපත් කළ අඩු මිල ගණන් නොසලකා වැඩි මිල ගණන් ඉදිරිපත් කළ පෞද්ගලික ආයතනයක්‌ මගින් පාසල් නිල ඇඳුම් ආනයනය කිරීමෙන් රජයට රුපියල් හයකෝටි අසූ හතර ලක්‍ෂයකට අධික මුදලක්‌ පාඩු වී ඇත.

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබා දීමේ අවශ්‍යතාවෙන් සියයට පනහක්‌ දේශීයව සපයා ගනිමින් ඉතිරි සියයට පනහ චීනයෙන් ආනයනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි. ඒ අනුව සුදු කමිස හා ගවුම් රෙදි මීටර් පනස්‌ එක්‌ ලක්‍ෂ පන්දහසක්‌ ද සුදු කලිසම් රෙදි මීටර් දෙලක්‍ෂ පනස්‌ දහසක්‌ ද නිල් කලිසම් රෙදි මීටර් ලක්‍ෂ දෙකක්‌ද චීනයෙන් ආනයනය කිරීමට නියමිත විය. ඒ සඳහා අමාත්‍යාංශය මිල ගණන් කැඳ වූ අතර එහිදී අඩුම මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ආයතනයක්‌ වන ලංකා සළුසල ආයතනය ය.

සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 109.20 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 169 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 188.50 කට ද ආනයනය කර දීමට සළුසල ආයතනය මිල ගණන් ඉදිරිපත් කර තිබිණි. එහෙත් එම ටෙන්ඩරය පිරිනමා ඇත්තේ සුදු කමිස හා ගවුම් රෙදි මීටරයක්‌ රුපියල් 120.90 කට ද සුදු කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 189.80 කට ද නිල් කලිසම් රෙදි මීටරයක්‌ රුපියල් 202.80 කට ද ආනයනය කර දීමට ඉදිරිපත් වූ පෞද්ගලික ආයතනයකට ය.

පෞද්ගලික ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව නිල ඇඳුම් ආනයනය කිරීම සඳහා රුපියල් හැට හතර කෝටි තිස්‌ එක්‌ ලක්‍ෂයකට අධික මුදලක්‌ වැය වී ඇති අතර සළුසල ආයතනය ඉදිරිපත් කළ මිල ගණන් අනුව ආනයනය කළේ නම් වැය වන්නේ රුපියල් පනස්‌ හත් කෝටි හතලිස්‌ හත් ලක්‍ෂයකට මඳක්‌ වැඩි මුදලකි.

පසුගිය වසර තුන ඇතුළත ඩොලර් මිලියන තුනකට වැඩි වටිනාකමින් යුත් භාණ්‌ඩ ආනයනය කර තිබීම අනිවාර්ය සුදුසුකමක්‌ ලෙස ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර තිබූ අනිවාර්ය රෙගුලාසිය නිසා සළුසල ආයතනයට ටෙන්ඩරය අහිමි වී තිබේ. එම අනිවාර්ය රෙගුලාසිය ඉවත් කරන ලෙස සළුසල ආයතනය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ද කළ ලිත ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැත.

එම අනිවාර්ය රෙගුලාසිය ටෙන්ඩර් පත්‍රිකාවට ඇතුළත් කර ඇත්තේ නිල ඇඳුම් ආනයනය කළ පෞද්ගලික ආයතනයටම ටෙන්ඩරය ලබා දීමේ අරමුණින් විය හැකි යෑයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.


නිලන්ත මදුරාවල

1 comments:

අනේ මන්දා මේවා කාට කියන්නද කියලා.ආණ්ඩුවේ ලොකු ලොකු තැන් හැම එකකම මුල්පු‍ටුවල ඉන්නේ දූශිතයෝ.මහින්ද ලොක්කා ඇස් කන් පියන් මේවා කොහොම බලන් ඉන්නවද මන්දා

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...