Friday, February 8, 2013

ජනපතිතුමනි, අපි කම්පා වෙන්නම් ඔබ සතුටු වෙන්න - අන්තරය

තම ආර්ථික ප්‍රතිපත්ති මගින් පාසල් සිසුන්ට අත්කර දී ඇති ඉරණම සම්බන්ධයෙන් කම්පාවීම ජනාධිපතිවරයාගේ තවත් හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් පාසල් දරුවන්ට සොරකමේ යෙදෙන්නට සිදුව ඇත්තේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් බවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පාසලේ තීන්ත ආලේප කිරීමට මුදල් ලබාදීම සදහා පාසල් ශිෂ්‍යයාවකට සොරකමේ යෙදීමට සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ බව ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනය මෙසේය.
පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා ගෙනෙන්නට කියූ රු.800ක මුදලක් දෙමව්පියන්ට ගෙවීමේ හැකියාවක් නොමැතිවීම නිසා අසල වත්තකින් රු.320ක් වටිනා පොල් ගෙඩි අටක් ඇහිලූ ශිෂ්‍යාවක් හොරණ මහෙස්ත‍්‍රාත්වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.50000ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබූ පුවතක් ඊයේ පුවත්පත්වල වාර්තා කර තිබුණි. එය අප කාගේත් හදවත් කම්පාවට පත්කරනු ලබන පුවතක් වන අතර ඒ පිළිබඳව මාධ්‍යවේදියකු රජයේ කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඇසු පැනයකට දෙන ලද පිළිතුරෙන් අපි තවත් කම්පාවට පත්වීමු.
ඔහු ප‍්‍රකාශකර ඇත්තේ මෙම ප‍්‍රවෘත්තිය ඇසීමෙන් ජනාධිපතිවරයා බලවත් කම්පාවට පත් වූ බවයි. මෙය නම් ආශ්චර්යයක් මැයි. ජනාධිපතිතුමා කම්පාවට පත්ව තිබේ. ඝාතකයකු දිනපතා පුද්ගලයන් ඝාතනය කරන ගමන් සියතින් ඝාතනය වන පුද්ගලයන් පිළිබඳව කම්පා වන්නේ යැයි කිව හොත්.....මෙයද එවැනිම කතාවක් නොවන්නේ ද?
දෙමව්පියන්ගෙන් පාසල්වල නඩත්තුට මුදල් අය කරන්නේ ඇයි? එය විදුහල්පතිවරයාගේ වරදකින් සිදුවූවක්ද? නැත. ආණ්ඩුව පාසල්වලට වෙන්කරන ප‍්‍රතිපාදන කපා එහි නඩත්තුවට පාසල් සංවර්ධන මණ්ඩල නම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලදි. ඒ හරහා පාසල් නඩත්තු කිරීම දෙමව්පියන්ගෙන් මුදල් අයකර සිදු කරනු ලැබේ. මේ සිදුවීම එම වැඩපිළිවෙලේ එක් ප‍්‍රතිවිපාකයක් පමණි. තවත් වාර්තා නොවන සිදුවීම්නම් කොතෙක් ඇත්ද?
නඩත්තුවට අයකරන මුදල් දීගත නොහී පාසල් ගමන නැවතුනු දරුවන් කී දෙනෙක් ඇත්ද? දරුවන් පාසල් නොයන විට වැලපෙන දෙමව්පියන් කොතෙක් ඇත්ද? ඒ මුදල් සොයනන්ට ගොස් සොරුන් ලෙස හංවඩු ගසන ලද දරුවන් කීදෙනෙක් සිටීද? මේ අශ්චර්යමත් දේශයේ හැටිය. මේ ආඩම්බරකාර තාත්තා අපට දායාද කළ ඉරණමයි. අද ඔහු කිඹුල් කදුළු හෙළයි. ප‍්‍රතිපාදන වැඩිකර පාසල් නඩත්තුවේ වගකීමෙන් දෙමව්පියන් නිදහස් කරන්නැයි අරගල කරන විට සිසුන්ට, අචාර්යවරුන්ට දේශද්‍රෝහියෝ යැයි කීවේත්, මහ උජාරුවට වාර්ෂිකව ඉදිරිපත් කරන අයවැයෙන් අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවේත් ඔහුය. එසේනම් දරුවන්ට තමන්ම අත්කළ ඉරණම දැක කම්පාවීමට ඔහුට අයිතියක් තිබේද? ඇත්තටම ඔහුට කම්පනයක් තිබේ ද? නැත. මෙය තවත් රඟපෑමක් පමණි. ඒ නිසා අපි එතුමාට කියමු. අපි කම්පා වෙන්නෙමු. ඔබ සතුටු වෙන්න.
එසේම අපි මෙහිදී ජනතාවට කියා සිටිමු. මේ කිඹුල් කඳුළුවලට නොරැුවටෙන්න. දැන් වත් අවදිවිය යුතුය. හෙට මේ ඛේදවාචකයේ ගොදුර ඔබගේ දරුවා විය හැකිය

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...