Saturday, March 16, 2013

සබරගමු සිසු විරෝධ උග්‍ර වේ

සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ගෙන් අය කරනු ලබන ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කළ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් පහක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පරිපාලන අංශ ඊයේ (15 වැනිදා) පියවර ගත්තේය.

මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුහු විශාල පිරිසක්‌ මහ වැසි නොතකමින් විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටි කොළඹ - බදුල්ල මහා මාර්ගය අවහිර කරමින් ඊයේ සවස පැයක පමණ කාලයක්‌ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

මෙවර ඇතුළත් කළයුතු නවකයන් සංඛ්‍යාව 458 කින් අඩු කිරීම ද ඔවුන්ගේ විරෝධයට හේතුවක්‌ වී ඇත.

ගාස්‌තු ඉහළ දැමීමට හා සිසුන් අඩු කිරීමට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීම සඳහා ද පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙතෙක්‌ නවකයන් ඇතුළත් වන විට පමණක්‌ ගෙවීමට සිදුව තිබූ රුපියල් නවසිය පනහක මුදල මෙවර රුපියල් දෙදහස්‌ හයසියය දක්‌වා වැඩි කර එම මුදල ද වාර්ෂිකව ගෙවිය යුතු මුදලක්‌ ලෙස දන්වා ඇති බවත් ශිෂ්‍ය සංගම් ප්‍රකාශකයෙක්‌ පැවසීය. මීට අමතරව නේවාසික ගාස්‌තු වශයෙන් රුපියල් පන්සියයක අමතර මුදලක්‌ ගෙවීමට සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මේ ආකාරයෙන් මෙවර නවක සිසු සිසුවියන්ගෙන් විශ්වවිද්‍යාලය අයකර ඇති මුදල ලක්‍ෂ ගණනක්‌ යෑයි ද එම ප්‍රකාශකයා කීවේය.

මෙම ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දිගින් දිගටම විරෝධතා ව්‍යාපාරවල යෙදී සිටින විට ශිෂ්‍ය ක්‍රියාකාරකම් නතර කළ යුතු බව පරිපාලන අංශ විසින් මහා ශිෂ්‍ය සංගමයට ලිතව දන්වා ඇත. එම ලිත දැනුම්දීමට අනුව ශිෂ්‍ය සංගම් රැස්‌වීම් පැවැත්විය නොහැකි අතර රාත්‍රි දහයෙන් පසුව කිසිදු ශිෂ්‍ය ක්‍රියාකාරකමකට අවස්‌ථාව නැත.

පරිපාලන අංශ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ එම නියෝග කඩකිරීම නිසා යෑයි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මේ අතර පසුගිය 12 වැනිදා රාත්‍රි 7 සිට මධ්‍යම රාත්‍රිය දක්‌වා නවක සිසු සිසුවියන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් මහා ශිෂ්‍ය සංගමය රැස්‌වීමක්‌ පවත්වා ඇතැයි ද ඒ සඳහා නේවාසිකාගාරවලට ගොස්‌ සිසුවියන් කැඳවාගෙන පැමිණ ඇතැයි ද මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසීය. මෙම රැස්‌වීම පැවැත්වීමට උපකුලපතිවරයාගෙන් කිසිදු අවසරයක්‌ ලබාගෙන නැතැයි ද ඒ සඳහා පෙරටුගාමී දේශපාලනයේ නියුතු කථිකයකු ද සහභාගි වී ඇති බව ද සඳහන් කළ ඒ මහතා මේ සම්බන්ධයෙන් සිසුන් හා දෙමවුපියන් අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බව ද කීවේය.

ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන ඇත්තේ මෙම සිදුවීම් නිසා බව ද මාවැල්ලගේ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද මේ පිළිබඳව විමසීම සඳහා උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.


නිලන්ත මදුරාවල

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...