Wednesday, March 13, 2013

නවක සිසු ආරක්ෂාවට පේරාදෙණි සරසවියේ බළඇණියක්

පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළු වන නවක සිසුන්ගේ ආරක්ෂාව සඳහා නව වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවැසීය.

විශ්වවිද්‍යාල තුළ නවක වදය අත්හිටුවීම සඳහා, ශිෂ්‍ය සංගම්වල උපරිම සහාය ලැබී ඇති අතර ඒ සඳහා ඔවුන් මූලිකත්වය ගෙන කටයුතු කිරීම සතුටට හේතුවක් බව ද උප කුලපතිවරයා පැවැසීය.

නව වැඩපිළිවෙළ යටතේ විශ්වවිද්‍යාලය තුළ පැය විසිහතර පුරා ක‍්‍රියාත්මක ආරක්ෂක සේවාවක් මෙන් ම, පොදු ස්ථානවල මුර සංචාර යෙදීමට කටයුතු යොදා ඇතැයි ද මහාචාර්යවරයා කීය.

මේ පිළිබඳව සොයා බැලීමට මාර්ෂල්වරුන් තිදෙනෙකු ද පත් කර ඇති අතර යම් ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍ය පිරිසක් විනය විරෝධීව කටයුතු කරන්නේ නම් ඔවුන් විනය කමිටුවට ඉදිරිපත් කිරීමේ බලය ද මෙම මාර්ෂල්වරුන් සතු බව ඔහු පැවැසීය.

ඕනෑ ම හදිසි අවස්ථාවක දී දැනුම් දීම සඳහා හදිසි දුරකතන අංක සිසු සිසුවියන්ට ලබා දී ඇති බවත් නේවාසිකාගාර සහ දේශනශාලා අතර ප‍්‍රවාහන පහසුව ද සලසා ඇති බවත් කීය.

මීට අමතරව විශ්වවිද්‍යාල භූමියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා (සී.සී.ටී.වී) ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි උප කුලපතිවරයා පැවැසීය.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...