තොරතුරු තාක්‌ෂණික මෙවලම් ලෝකෙට එන්නේ පුදුම වේගයෙන්. මෙවලම් කීවේ මෘදුකාංග දෘඩාංග දෙකම. අපේ රටත් දැන් දැන් තොරතුරු තාක්‌ෂණයේ විවිධ අංශවලින් සංවර්ධනය වෙමින් යනවා. පසුගියදා දැකපු බොහොම වටින දෙයකට පසු වදනක් ලියන්නයි මේ සූදානම් වෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පසුගියදිනක e තක්‌සලාව වෙබ් ද්වාරය දියත් වුණා. (www.e-thaksalawa.moe.gov.lk) ඒක අපේ දරුවන්ට ඉගෙන ගන්න කියාපු තැනක්. මේ වෙබ් අඩවියේ බොහොමයක් විෂයයන්ට අදාළව තොරතුරු තාක්‌ෂණය භාවිතා කරලා පාඩම් සකස් කරලා තියෙනවා.
තොරතුරු තාක්‌ෂණය අධ්‍යාපනයට යොදා ගත්තොත් දරුවන්ට ඉගෙන ගන්න කොයි තරම් ලේසි වෙයිද? ඉගෙනුමේ ඵලදායිත්වය කොයි තරම් වැඩි කරන්න පුළුවන් වෙයිද. අපේ දරුවෝ කොයි තරම් ආසාවෙන් ඉගෙන ගනියිද? ඒ හරහා අපේ මේ පුංචි රටේ දරුවෝ කී දෙනෙක් හෙට ලෝකය ජයග්‍රහණය කරාවිද?.
ඇත්තටම ඒක ලස්‌සන දෙයක්.
"ඒත් මේක කරන්න අමාරුයි ඇයි.?"
"අමාරුවෙන්න තියෙන ලොකුම හේතුව අපේ රටේ e Teachers ලා ගොඩක් හිඟ හින්දයි කියලා මං හිතන්නේ."
"කාටද මේ e Teachers ලා කියන්නේ?"
"තමන්ගේ ඉගෙනුම ඉගැන්වීම් කාර්යය සඳහා තොරතුරු තාක්‌ෂණය භාවිතයට ගන්නා ගුරුවරුන් e Teachers කියලා කියන එකෙන් අදහස් කළේ."
"තවත් ටිකක් පැහැදිලි කළොත්?"
"අපේ ගුරුවර ඉගෙනුම් ආධාරක ලෙස වැඩිපුරම පාවිච්චි කළේ කළුලෑල්ලයි හුණු කූරයි දෙකනේ. අද වෙන කොට ඒකත් සුදු ලෑල්ලයි - මාකර් පානයි (white board - and maeker) විදියට වෙනස් වෙලා. ප්‍රාථමික පන්තිවලදී මේ තත්ත්වය මීට වැඩිය ටිකක් වෙනස්. ඒ ගුරුවරු නම් ඉගෙනුම් උපකරණ ටිකක් හදාගන්නවා. කාඩ්බෝඩ් වල රූප ඇඳලා. නැත්තං අවශ්‍ය දේවල් හැඩතල වලින් හදාගෙන, ක්‌ලේ නැත්තං මැටි වගේ දේවල් වලින් අඹලා, ඔය වගේ විවධ ආකාරවලට දරුවගේ සංකල්ප වර්ධනය කරන්න උත්සහ ගන්නවා."
"මම මේ කියන e Teachers ත් ඔය හැම විදියටම උගන්නවා. ඒවට අමතරව එයා මෙන්න මේ වගේ දේවලුත් පාවිච්චි කරනවා. පරිගණකයක්, මල්ටිමීමිඩියා ප්‍රොජෙක්‌ටරයක්, පරිගණක විද්‍යාගාරයක්, ඩිජිටල් වයිට් බෝඩ් එකක්, ප්‍රින්ටරයක් PDA එකක්, ස්‌මාර්ට් ෆෝන් එකක්, ඩිජිටල් කැමරාවක්, අන්තර්ජාල සම්බන්ධතාවක්, විවිධ ආකාරයේ පරිගණක, මෘදුකාංග, රූපවාහිනී යන්ත්‍රයක්, DVD ප්ලේයර් එකක් වගේ දේවල්."
"එහෙම ගුරුවරු අපේ රටේ ඉස්‌කෝලවල ඉන්වාද?"
"ඉතාම අතලොස්‌සක් ඉන්නවා."
"එතකොට ඒ ගුරුවරු අනික් ගුරුවරුන්ට වඩා හොඳට දරුවන්ට උගන්නනවාද?
"ගුරුවරයකුට ඉගෙනුම් ආධාරක කියන්නේ මනමාලියකුට ආභරණ වගේ. කළු ලෑල්ලයි සුදු හුණු කෑල්ලයි අරගෙන උගන්නනවාට වඩා පාට හුණු කෑලි පාවිච්චි කළොත් තේරුම් කරන්නයි තේරුම් ගන්නයි දෙකම ලේසියි. ඒ වගේමයි තාක්‌ෂණික මෙවලම් ඉගැන්වීම් කාර්යයට පාවිච් කළාත් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය තවත් පහසු වෙනවා. ළමයින්ටත් ප්‍රිය වෙනවා."
"ඔය කියන විදියේ උපකරණ ගොඩක් මිල අධිකයි නේද?"
"මිල නම් තරමක් ඉහළ තමයි. ඒත් මෙතන ප්‍රශ්නය උපකරණවල මිල නෙමෙයි. මං හිතන විදියට මෙතන තියන ලොකුම ගැටලුව තමයි මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ තියෙන ධනාත්මක ආකල්ප අඩු එක. ඒකට ප්‍රධානතම හේතුව තාක්‌ෂණික උපකරණ මෙහෙයවීම පිළිබඳ දැනුම හා කුසලතාවන් තියෙන ගුරුවරු අඩුවීමයි".
"ඇයි එහෙම කියන්නේ?"
"පරිගණක මෙහෙයවීමට දන්න කෙනෙකුටම මේ විදියට උගන්වන එකේ වටිනාකම හොඳට තේරෙනවා."
"ඔබ මේ සඳහන් කරන e Teachers කෙනෙක් නේන මොනවද දැනගෙන තියෙන්න ඕනේ?"
"මොන ගුරුවරයකු වෙන්නත් මුලින්ම තමන්ගේ වෘත්තියට ආදර කරන කෙනෙක් වගේම උගන්වන විෂය ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ඉගැන්වීමේ හැකියවකුත් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ නේ. ඊළඟට පරිගණක මෙහෙයවීමේ හැකියාව තියෙන්න ඕනේ. සුදුසු මෘදුකාංග හා දෘඪාංග තියෙන්නත් ඕනේ. එම මෘදුකාංගවල සීමා හා පාඩමේ සීමා ගළපා ගත හැකි වෙන්නත් ඕනේ."
"මේ ක්‍රමය ක්‍රියාත්මක වීමට ගුරුවරුන් සිටීම පමණක් ප්‍රමාණවත්ද?"
"කොහෙත්ම නැහැ. මුලින්ම මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වටිනාකම පාසල් ප්‍රධානීන්ට අවබෝධවී තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගන්න පුළුවන් වෙන්නේ. පාසල් වල පන්ති කාමරවලට කළුලෑල්ල අයින්වෙලා වයිට් බෝඩ් මාකර් පෙන් ආවේ ඒ ගැන තිබුණ යහපත් ආකල්පය නිසා මිස රජයේ හෝ වෙනත් බලපෑමක් නිසා නොවෙයිනේ."
"මේ සඳහා කළ යුත්තේ කුමක්‌ද?"
"පාසල් ප්‍රධානීන්ට මෙවැනි වැඩසටහන් ගැන අවබෝධයක් ලබාදිය යුතුයි.· ගුරුවරුන්ට තමාගේ විෂයයන්ට අදාළ අධ්‍යාපනික මෘදුකාංග පරිහරණයට අවස්‌ථාව ලබාදිය යුතුයි. මොකද මම මෙහෙම කියන්නේ ලංකාවේ ගොඩක් ගුරුවරු එවැනි දේවල් ඇති බව වත් නොදන්නා නිසයි. එහි වටිනාකම අවබෝධ වූවාට පසු කෙසේ හෝ පරිගණක පිළිබඳ මූලික අවබෝධයක්‌වත් ලබා ගන්නට ගුරුවරුන් පෙළෙඹනවා නියතයි."
"භෞතික සම්පත් සපයා ගැනීමට වඩා මානව සම්පත් සංවර්ධනයයි මේ කටයුත්තේ පළමුව කළ යුතු වන්නේ. මොකද මේ සංකල්පය හදවත් තුළ රෝපණය කරන්න තමයි වැඩි කාලයක් ශ්‍රමයක් දරන්න වෙන්නේ."
"මේ විදියට වැඩ ආරම්භ කලොත් තව අවුරුදු කීපයකින් හරි ලෝකයත් එක්‌ක බැඳුණු පිsරිපුන් අධ්‍යාපන ක්‍රමවේදයකට අපේ දරුවන්ට මං පෙත් විවර වේවි·"
ලක්‍ෂ්මන් තිලකරත්න
0 comments:
Post a Comment
කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...