Monday, April 29, 2013

විදෙස් සිසුන් ගෙන්වා ගැනීමට පෙර අපේ රටේ සිසුන්ට සරසවි වරම් ලබා දෙනු - SSU

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටින බවත් සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින බවත් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම ශිෂ්‍ය සංමයේ ජාතික සංවවිධා‍යක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

"මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට නොමිලේ ගුවන් ටිකට් පත් හා ශිෂ්‍යත්ව ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ සඳහා හඳුනාගත් රටවල් 48ක ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව 100ක් ලබාදීමට 2011 වසරේ කටයුතු කල ද පැමිණ ඇත්තේ පකිස්ථානය, පලස්තීනය හා කෙන්යාව යන රටවලින් සිසුන් 05 දෙනෙකු පමණි.

අපේ රටේ විශ්වවිද්‍යාල සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් සිසුන් විසින් තෝරා ගනු ලබයි නම් එය ඉදිරිගාමී පියවරකි. එමගින් පෙන්නුම් කරන්නේ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය එවැනි තෝරා ගැනීමක් සඳහා ගුණාත්මකව සංවර්ධනය වී ඇති බවයි. එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඉහළ ලකුණු හිමිවීමට හේතු වනු ඇත.

එහෙත් ආණ්ඩුව මේ කරමින් සිටින්නේ එවැනි කටයුත්තක් නොවේ. මහින්ද චින්තනයට අනුව ආණ්ඩුව පාරම් බෑවේ ලංකාව ආසියාවේ පංච බල කේන්ද්‍රය කරනා බවය. එනම් නාවික, ගුවන්, බලශක්ති, දැනුම, තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේත‍්‍රවල මහා පෙරලියක් සිදුකරනා බවයි. ලංකාව දැනුමේ කේන්‍ද්‍රස්ථානය බවට පත් කර චීනය, ඉන්දියාව වැනි රටවල සිසුන්ගෙන් මෙරට විශ්ව විද්‍යාල පුරවන බවය. එහෙත් නාවික කේන්‍ද්‍රයට ඉදිකල වරායට නැව් නොඑනා සේ, ගුවන් කේන්ද්‍රයට ඉදිකල ගුවන් තොටුපලට ගුවන් යානා නොඑනා සේ , බලශක්ති කේන්ද්‍රයට ඉදිකල විදුලි බලාගාර හැමදාම අක‍්‍රීය වී ඇතිවා සේ, දැනුමේ කේන්ද්‍රයටද විදෙස් සිසුන් පැමිණියේ නැත. දැන් ආණ්ඩුව සිදු කිරීමට උත්සාහ කරන්නේ ගුවන් ටිකට්පත්, වීසා,ශිෂ්‍යත්ව වැනි අල්ලස් ලබාදී කවර හෝ විදෙස් සිසුවකුගෙන් විශ්වවිද්‍යාල පිරවීමටය. ලංකාවේ විශ්වවිද්‍යාල වලට විදෙස් සිසුන් ගෙන්වා ගැනීම යනු හික්කඩුව හෝ ගල්කිස්ස මුහුදු වෙරළෙන් අහුලා ගන්න සුද්දන් විශ්වවිද්‍යාලවල වාඩි කරවීම නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

අනෙක ආණ්ඩුව ශිෂ්‍යත්ව ලබාදීම හරහා සුදුසුකම් නැති විදෙස් සිසුන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පිරවීමට උත්සාහ දරන විට අ.පො.ස. උසස් පෙල "A" සමාර්ථ 3ක් ලබාගත් දහස් ගණනක් අපේ රටේ සිසුන්ට විශ්වවිද්‍යාලයක පස් පෑගීමට පවා වරම් අහිමි කර ඇත. වාණිජ විෂය ධාරාවෙන් "A" 3 ලබාගත් 3500ක් පමණද ගණිත විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශයට පෙනී සිට "A" 3 ලබාගත් සිසුන් සිය ගණනකටද කළමනාකරණ හො ඉංජිනේරු පීඨ නොව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය පවා අහිමි වී ඇත. මෙවැනි අවස්ථාවක ජනතාවාදී, දේශපේ‍්‍රමී යයි කියාගන්නා ආණ්ඩුවක වගකීම එම දේශීය සිසුන් සියළු දෙනාට සරසවි වරම් හිමි කර දීමද? නැත්නම් ශිෂ්‍යත්ව ඇතුළු අල්ලස් ලබා දී කෙන්යාවෙන්,නයිජීරියාවෙන් ගෙන්වා ගන්නා විදෙස් සිසුන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පිරවීමද?.

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ මෙම ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටී. සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු."

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...