Thursday, May 15, 2014

සරසවි ඇදුරෝ 03 වනදා වැඩ වරති

සිය ඉල්ලීම්වලට මෙතෙක් නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් ලබන මස 03 වැනිදා වැඩවර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

ඉන් පසුවත් පිළිගත හැකි ප්‍රතිචාරයක්‌ නොලදහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සම්මේලනය පවසයි.

ද ඉන්ඩිපෙන්ඩන්ට් කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සදහන් කළේ ආචාර්යවරුන් දැනට මුහුණපාන වෘත්තීමය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය කටයුතු කර නැති බැවින් ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය යළි පණ ගැන්වීම සදහා මීට පෙරද කටයුතු යොදා තිබුණත් බලධාරීන් විසින් අදාළ ඉල්ලීම් මේ වර්ෂයේ ජුනි මාසය වන විට ඉටුකිරීමට පොරොන්දු වූ බවයි.

නමුත් රජය ලබාදුන් පොරොන්දුව මේ දක්වා ඉටු වී නැති බැවින් හා එවැනි සූදානමක් හෝ නැති බැවින් යළිත් වැඩවර්ජනයකට ගමන් කිරීමට සිදුවන බවත් මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැන්වූ බවත්ය.

කෙසේ නමුත් තම ඉල්ලීම්වල පරම අරමුණ බවට පත්ව ඇත්තේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සදහා ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය පිළිගැනීමක් දිනා ගැනීම බවත් පවසන සභාපතිවරයා ඒ සදහා වන අරගලය කිසියම්ම ලෙසකින් හෝ අත් නොහරින බවත් පැවසීය.

පසුගිය 2012 වසරේ පැවැති වැඩවර්ජනය අවසානයේදී ආචාර්යවරුන්ගේ වැටුපට අමතරව ලබා දුන් පර්යේෂණ දීමනාව ලබා ගැනීම සඳහා වන කොන්දේසි වැඩි වෙමින් පවතින බවත් එහෙයින් මින් ඉදිරියට එම කොන්දේසි ඉවත් කර පර්යේෂණ දීමනාව වැටුපට එකතු කළ යුතු යැයිද සම්මේලනය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

එමෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අසාධාරණ ලෙස මර්දනයට ලක්‌ වෙමින් පවතින බවද මෙතෙක්‌ පීඨ සභාවල පැවැති ශිෂ්‍ය නියෝජනය මේ වනවිට අහිමි වෙමින් පවතින බවද සඳහන් කරන සම්මේලනය එම මර්දනය නතර කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දෙයි.

මීට අමතරව 2012 වසරේ පැවති ආචාර්යවරුන්ගේ වර්ජනය අවසන් කිරීමේදී ඇති කරගත් එකඟතා ගිවිසුම මේ වනවිට කඩ වී ඇතැයිද සඳහන් කරන ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා නව පනතක්‌ ගෙනෙමින් පවතින විශ්වවිද්‍යාල පනත හෑල්ලු කර ඇතැයිද සඳහන් කරයි.

0 comments:

Post a Comment

කොමෙන්ටුවක් දාන්න අමතක කරන්න එපා...