Friday, October 19, 2012

ඒකාධිපතියකු හා සටන් වැද.... නොහොත් ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කළ ශිෂ්ටත්වයේ අරගලය


පිටිසරබද කඳුකර සීතල ගමක නිල්ල පිරුණු වටපිටාවක අනගාරික ධර්මපාලතුමා විසින් ආරබ්භ වසර 100 ක්‌ පැරණි විදුබිමක හෝඩියේ පංතියේ සිට දහතුන වසර දක්‌වා අඛණ්‌ඩව අකුරු කිරීමට මම වාසනාවන්ත වීමි. නිදහස්‌ අධ්‍යාපනයේ මධුරතම ප්‍රතිඵල සහ අධ්‍යාපනයේ නිදහසේ සොඳුරුතම ස්‌මරණ සහිතව ප්‍රථම පංති සාමාර්ථ හා ස්‌වර්ණ මුද්‍රිකා සමඟ බොහෝ විබැඳුම් සමත් වීමි. 1988/89 භීම සමයේ එක ටයරයේ දැවෙන හිසසුන් සොයුරන්ගේ ක්‌වන්ධ අසලින් පාසල් ගියෙමි. අප වැඩිවිය පැමිණ ලොකු ළමයින් වූයේ එතැනදීය. එතැන් සිට සිව් දශකයක්‌ වන මගේ දිවියේ අඛණ්‌ඩව කරමින් සිටි යමකට කැප කිරීමකට ඉලක්‌කමක්‌ අගයක්‌ ලැබුණේ මේ නුදුරු තෙමස තුළය. ඒ 6% ය. ඔබ එය දනියි. එය මුද්‍රණය කළ ටීෂර්ටය මම දැනුදු හැඳ සිටිමි. ගාල්ලේ සිට කොළඹ තෙක්‌ අනුරාගී අරගල මාවතේ ගැටී උපන් දිය පට්‌ටා සොම්නසින් අතගා බලමි.

ඒ අනුස්‌මරණීය පාගමන අතරත ලංකා ඉතිහාසයේ යෝධ කටයුත්තකට නොහොත් පෑනෙන් ලියූ කඩුවෙන් මකා දැමීමට අසමත් දැවැන්ත ඓතිහාසික ව්‍යqහයකට එක්‌වෙමින් සිටින්නාක්‌ බඳු හැඟීමක්‌ විසින් වෙනස්‌ මත දැරූ අප දහස්‌ ගණනක්‌ එකට බැඳ දමා තිබිණි. ලා නිල්පාට ඇඳුම් ඇඳ ගාලු පාර දිගේ පෙර පාසල්වල පිපි මල් කැකුළු හිටගෙන සිනා පිරි මුවින් ඔවුන්ගේ හෙට දින නිධානය වූ 6% ඉලක්‌කමට අත්පුඩි ගැසූහ. ගුරු ලියෝ ඔවුනට මග කියූහ. මේ දැන් පාසල ඇරි ආ කුඩා දියණියක්‌ සුදු ඇඳුමින්ම තමා පසුකර යන "වෙනස්‌ මිනිසුන්ට" ටොපි බෙදුවාය. ඒ අයට පයිප්පයකින් වතුර දුන් තාත්තා කෙනෙක්‌ මෙසේ කීය. "මහත්තයෝ මේ සටන පාවා දෙන්න එපා. එහෙම උනොත් මේ වතුර වස වේවි". ආදරණීය පියාණෙනි. අපි සටන පාවා නොදුන්නෙමු. හිස්‌ දෑතින් මිනිසුන් සේ වැඩට ගියා පමණි. ලංකාවේ මෑත ඉතිහාසයේ විපරීත අධිබලයක්‌ හිමි රෙජීමයකට විරුදුව ගල් කැටයක්‌ හෝ කිසිවෙකුත් නොගසනා සමයෙක අපි සාර්ථක සටන් පෙරමුණක්‌ සෑදුවෙමු. එහෙත් අපේ පෙරමුණ භාර නොගත්, අත්පඬුර නොගත් අප නැසීමට වෙර යෙදූ, අපවාද නැගූ සැලසුම් තැනූ බොහෝ ජනයනී, පාරිභෝගිකයන් මිස තමා පුරවැසියන් බව නොදත් බොහෝ හිතවතුනි අප දිවි හිමියෙන් පෙන්වූ අනතුරට සවන් - නෙත් වැසූ ජනයනි, නුඹලාගේ දරුවන්ගෙන් ඇතැම් විට සිරගෙවල් පිරෙනු ඇත. සමාජයේ පදාස පිටින් නාය යනු ඇත. මානව සංවර්ධන දර්ශක වැළලී යනු ඇත. මහා ගනඳුරක්‌ පැතිරෙනු ඇත. නුඹලාගේ දිවියට නපුරු කාලයක්‌ උදාවනු ඇත. මිනිසුනි, කනගාටුයි. අපි තාවකාලිකව සමුගත්තෙමු. නුඹලා තැනූ සිංහල බෞද්ධ ජාතිකවාදී ඒකාධිපතිත්වය, ම්ලේච්ඡත්වය සහ මුග්ධභාවය සමඟ කිරුළු පැලඳ සිටි බැවිනි.

හොරු - තක්‌කඩි සහ කාලකණ්‌ණි

සිරකරුවන්ද මනුෂ්‍යයන් වූ මුතු ඇටයක්‌ වන් කොදොව්වේ උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් ආචාර්ය උපාධි, පේටන්ට්‌ බලපත්‍ර, ජාත්‍යන්තර විමර්ශන සටහන් සහිත අපි අතළොස්‌සක්‌ හොරු - තක්‌කඩි හා කාලකණ්‌ණි වීමු. එය දඹ රත්රන් බඳු සත්‍යයක්‌ ලෙස අධම ජනමාධ්‍ය කිහිපයක්‌ විසින් ජනගත කරන ලද්දේය. කිපී - පිබිදී ආ කිසිවකුත් නැත. දේශපාලනය වෙනුවට සත්ත්ව පාලනය ඇති රටක නොහොත් අශ්ලීල ලොකු කඩයක්‌ බවට පත්ව ඇති රටක එසේ කිසිවෙක්‌ අවදි නොවෙති. තෙමසක්‌ සරසවි වැසී ඇත. උසස්‌ පෙළ දරුවෝ අඳුරේය. ඉදින් අපි කාලකණ්‌ණි වෙමු. දරුවෙනි, ඔබේ තෙමසක දිවි පමාවට විභාග පමාවට දිවි නසා නොගන්න. එම දිවි පමාවට වඩා සිය දිවි කුසුම අතහැරි, පරාල ඇණ වැදුණු - නිය ගැලවුණු පරපුරක්‌ නිසා ඔබ හුස්‌ම ගන්නා බව සිහි කරති. ඔබේ දිවිය නැගී සිටින්නේ නිදහස්‌ අධ්‍යාපනයේ උරුමයට දිවි පිදූවන්ගේ සොහොන් කොත මතය. ජානක (මාතලන්) සහ සිසිත සරසවි විරු දරුවෙනි. දූයිෂෙයින් කීවා සේ අපට හොඳ ගුරුවරුන් වීමට බැරිවීම පිළිබඳව සමාවුව මැනවි. මගේ සරසවි සිසු - ගුරු දිවියේ වසර 18 ක වකවානුවේ (1994 - 2012) දුක්‌බරම - වරදකාරීම මොහොත වූ කලී විරු සිසු සමරුවේ විනාඩි දෙකේ නිහැඬියාව බව තවත් සැඟවිය යුතු නැත. ඔබේ සුසානය මත අපි හුස්‌ම ගනිමු. දැන් අප සියලු දෙනාද නිදහස්‌ අධ්‍යාපනය වෙනුවෙන් මරා දමා ඇති නිසා, පිළිතුරු පත්‍ර බැලූ පසු ජය ලබා සරසවි පැමිණ අවශ්‍ය නම් අපවද සිහි කළ හැකිය.

ෆුටාවේ පාවෙල්ලා

ඒකාධිපති රාජ්‍යයක්‌ සමඟ සාකච්ඡා පිණිස අපට දිය හැකි හොඳම සමූහය දුනිමු. නිර්මාල්, ජනක්‌, කුමුදු, අනුර, ආනන්ද, සංජීව හා අමිල හිමි ඇතුළු සමූහයට වඩා අත්දැකීම්, ඉවසීම, ප්‍රඥාව, කේවල් කිරීමේ ශක්‌තිය ඇති වෙනත් කණ්‌ඩායමක්‌ අපට නැත. එහෙත් ඉර බටහිරින් නොනගී. ඉබ්බන්ට පිහාටු නැත. කොළ එළියක ඡායාද නැත. දින 100 කි. අපි ළමුන් වෙනුවෙන් වැඩට යමු. ශ්‍රී ලංකා වැසියනි, සමාවන්න ඔබගේ රජය දරුණු වැඩිය. "අධ්‍යාපනය" ඔවුනගේ වචනයක්‌ නොවේ.

ඒකාබද්ධ ප්‍රකාශයේ රජයේ කොටස

මෙය අයත් වන්නේ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීමට රජයේ කැපවීමක්‌ ඇත" යන මැයෙන් ලියූ උසස්‌ පෙළ දරුවකුගේ වාක්‍ය රචනාවකට ය. වචන, වචන හා වචන පමණි. ජනතාව සමඟ බරපතළ ගිවිසුමක්‌ අවධි කළ අපට වචන ලැබී ඇත. අප කළේ ක්‍රීඩාවක්‌ නොවේ. දින 100 ක මහා පා ගමනකි. කළුගලක්‌ වුවද මෙළෙක්‌ විය යුතුය. එහෙත් හිතවතුනි, ඔබේ ඒකාධිපති රජය එසේ නැත. සමාවන්න. අපි තාවකාලිකව සමුගනිමු. වැටුප් වැඩිවීම නම් ඔබේ හිත් කැළඹූ, සසළ කළ, දුටුවන් කම්පා කළ ලක්‍ෂ ගණන් වූ පඩි වැඩිවීම් නැතිව හිස්‌a දැතින් එහෙත් මිනිස්‌සු සේ අපි නැවත දේශන ශාලාවේ හිට ගනිමු. එදින ද ඔබ 6% අපරාජිත ටී ෂර්ටය දකිනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය හා චෝදනා

ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් දේශපාලන පක්‍ෂවල සහයෝගීතාව පිළිගැනීම පිළිබඳ අවලාද නැගිණි. ෆුටාව යනු වෘත්තීය සමිතියකි. එය අරගලකාරී දේශපාලන පක්‍ෂයක්‌ නොවේ. අරගලකාරී දේශපාලන පක්‍ෂයක න්‍යාය පත්‍රය නොගෙන වෘත්තීය සංගමයක සටන් අවසානයකින් සැනසීමට අපට සිදු වුණි. අරගලකාරී පක්‍ෂය මගේ නම් ඒකායන අභිලාෂය යි. ඒ කරා කෙදිනක හෝ අප යා යුතුය. ආචාර්ය සටන නම් කිරිකළයට වැටුණු දේශපාලන ගොම බිංදුව ගැන මට දුකක්‌ නැත. එම ගොම බිංදුව ද ජනතාවගේ නිර්මාණයකි. තිබෙන විපක්‍ෂය පැල්ලම් සහිත වූයේ ෆුටාවේ වරදින් ද? මිනී නොමැරූ පක්‍ෂ මෙරට නැති වීම අපේ වරදක්‌ ද? ඊනියා වම්මු කොහි ද? නිර්මාල් රංජිත් කොටියෙක්‌ නම් කරුණා අම්මාන් හාවෙකු දැයි රජය කිව යුතුය. පිල්ලෙයාන් සමනලයෙකු දැයි පැහැදිලි කළ යුතුය. කෝටි දෙකහමාරක දේශපාලන අභිලාෂ වෘත්තීය සමිතියක දෙතුන් දහසක්‌ ඉදිරියේ තබා පලා නොයන්න. දේශපාලන සුජාත කන්‍යාවක වූ විපක්‍ෂයක්‌ ආනයනය කරමුද? ජනතාවක්‌ ආනයනය කරමුද? හිතාදර දේශපාලන පක්‍ෂ නායකයිනි, වෘත්තීය සංගම් නායකයිනි, ජනතාවනි ඔබ මේ සටනේ යෂ්ටිය නියම තැනදී නොගත්තෙහුය. සමාවන්න. ඉතිහාසය එකම අවස්‌ථාව දෙවරක්‌ නොදෙනු ඇත.

අන්තරේ

රාජ්‍ය අධ්‍යාපනය ද? නිදහස්‌ අධ්‍යාපනය ද? සටන් පාඨවල ඉස්‌පිලි පාපිලි මධ්‍යම කාරක සභාවල දී තර්ක කළ හැකි ය. එක්‌ ව සටන් කර වෙන් ව වාද කර ගත යුතුය. නැතිනම් වාදය ද නිසි නිමේෂයේ දී එක්‌ව කළ හැකිය. ඉස්‌පිලි පාපිලි යනු සටන් නොකිරීමට හේතුවක්‌ නොවන බව ඔබ ද දනියි. එදා ඡේ.වී.පී. හෝ අද පෙරටුගාමී හෝ ඔබෙන් මට ඇසීමට ඇත්තේ එකම පැනයකි. මේ ඒකාධිපති රජය තැනුවේ කවුරුන් ද? යනුවෙනි. තීරණාත්මක තැන දී ඉවත් වීම පිළිබඳ ඉතිහාසය දිගුය. වඩා වැදගත් වන්නේ හිසේ ඇවිළෙන ගින්න නිවීම ය. ළය ඇනුණු ඊතලය ගැලවීම ය. එය හැදූ කම්මල හා ආචාරියා පසු ව සෙගායා ගත හැකි ය. සමාවන්න. රුවන්මය අවස්‌ථාව පියඹා ගොස්‌ ඇත.

හතු සංගම්වල ව්‍යාජ ප්‍රේමියෝ

තමාගේ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ ඇදුරන් සාමාන්‍යයෙන් ලියන පර්යේෂණ ලිපි ජනතාව සාමාන්‍යයෙන් නොදනිති. එහෙත් ජනතාවට අදාළ පොදු මහජන අර්බුද ගැන සැමදා ලියුවෝ සිටියේ ද අප සමග ය. ජනතාව නම හෝ නෑසූ, අකුරකින් හෝ ජන හදවත් පිරිමැද නොතිබූ පිරිසක්‌ මිහිතලයේ නොන්ඩි සංගම් ඇටවූහ. පිටු ගණන් ලියූහ. රූපවාහිනි අරක්‌ ගත්හ. මේ අය කවුදැයි ඇසූ ජනතාවක්‌ නැත. බෝකර හැරි කුණු රසය පමණක්‌ වැළඳ ගත්හ. එහෙත් ඒ අතර සිටි ඇතැම් සරසවි ඇදුරෝ සිය අපාය සිය දැතින්ම තනාගත් බව තවමත් නොදනිති. ඔවුන්ගේ සංගම් හා ඔවුන්ගේ නම් අතීතයේ අපි නෑසූ ඒවාය. ලංකාවේ රැවටෙන ජනයිනි, ඉදිරියේ දී ද ඔබ ඒ අය ගැන නාසති. මක්‌ නිසාද ඔවුන්ගේ ගිවිසුම අවසන් බැවිනි.

අරගලයේ මිතුරෝ

නිර්මාල්, ජානකී, රංගික, ධනේශ්, මාධව, අමරකීර්ති, මුගලන්, ජනක්‌, ආනන්ද, රොහාන්, අනුර, කුමුදු, මහීම්, හරිනි, ප්‍රභාත්, පවිත්‍රා, දිලීප, උපුල්, දීපිකා ඇතුළු තවත් රාශියක්‌ වූ විශිෂ්ට ආචාර්ය උපාධිවලට හිමිකම් කී තුරුණු නායකයන් සමඟ වැඩ කිරීම අපට ඉමහත් ආස්‌වාදයක්‌ විය. දඹර අමිල හිමි ඇතුළු අන්‍යයෝ කොතෙක්‌ද? ඔවුහු රට දනිති. ෆුටා ඉතිහාසයේ නලින්, සම්පත් බඳු නම් ගොත් ද තිබුණි. දැන් ඒ අය තමාට හිමි අපාය විඳිමින් සිටිති. ඇතැම් පිළිකුල් දේශප්‍රේමීන්ට වඩා පර්යේෂණ ක්‍ෂේත්‍රයේද මානව භක්‌තියේ ද උණුසුමින් පිරි අපේ මිතුරන්ට අපි ගරු කරමු. අපි අරගලයේ සගයන්ට හිස නමමු.

මහාචාර්ය ජයතිලක, උයන්ගොඩ, කීරවැල්ල, නවරත්න බණ්‌ඩාර ආදී විශ්‍රාමික දිවියට ආසන්න සම්භාවනීයන් අප සමඟ පයින් ගියේ අප අපට ම ගෞරවයක්‌ ලෙස දැනෙන ලෙස ය. "මල්ලි මට දැන් 64 යි" කියූ ධර්මසිරි බණ්‌ඩාරනායක සමඟ හරි හරියට ඇවිද ගොස්‌ පත්‍රිකා බෙදීමට මට ද බැරි විය. පතිරාජ, ප්‍රසන්න, ජයසිරි, විඡේසිරිවර්ධන ඇතුළු මහා කලාකරුවන් සමඟ අපේ ඓතිහාසිකත්වය තීව්‍ර විය. සියවස්‌ ආසන්න වියෑති ව කම්කරු උණුසුමේ වසන බාලතම්පො සමීප ව දැක ගන්නට හැකි විය. කවුඩුල්ලේ ජයතිස්‌ස ඇතුළු ගොවි රජුන්ගේ හාල් කරවල ලොව කිසිම ඩොලරයකට අපි හුවමාරු නො කරමු.

ජනාධිපති තාත්තා සහ අසංවේදී පුතාලා

හොරු, තක්‌කඩි, කාලකණ්‌ණි යන අභිධානවලින් අපට නිග්‍රහ කළ විෂය භාර අමාත්‍යවරයා සමඟ අපි ඉදිරියට යමු. ඔහු කෙතරම් අවමන් කළ ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඔහු ව ඉවත් නොකළේය. උසස්‌ අධ්‍යාපන විෂයයට එම අමාත්‍යවරයා සුදුසු බව සිතීම ම ජනපතිවරයාගේ උසස්‌ අධ්‍යාපන දර්ශනය හා නුවණ හෙළි කරයි. දැන් මේ අනුව යන ඖරස පුත්තු ද වෙති. අප ඉල්ලූ 6% න් වැඩිම කොටස වෛද්‍ය ශිෂ්‍යයන් තැනීමට බව නොදන්නෝ කවරහු ද? එහෙත් ශිෂ්‍යයා වෛද්‍යවරයකු වූ පසු ඔවුන් අනුරුද්ධ පාදෙනියලා වීම අපි කෙසේ ඥනනය කර ගනිමුද? වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ගෞරවනීය වෙදැදුරන්ගෙන් මේ පාදෙණිය සමාව ගත යුතුය. ලොව භයානකම වර්ජන අවිය, කේවල් කිරීමේ ශක්‌තිය සහිත මේ වෛද්‍යවරු නිදහස්‌ අධ්‍යාපනයේ නියම පුත්තු ය.

දකුණට නොහැරුණු වමා

නිර්මාල් රංජිත් දේවසිරිට 'වමා' යෑයි කීවේ අප නොව ඔහු සමඟ සාකච්ඡා මේසයේ විරුද්ධ අන්තයේ සිටි ධම්ම හා චරිතලාගේ පරපුරය. දැන් කීමට අත්තේ රෝහිත භාෂණගේ වචන ය. "මගේ මිතුරන් අප පැතූ ලංකාව ඔවුන්ගේ අරුතින් ගොඩනඟමින් සිටිති" යනුවෙනි. ඒ මිතුරන් දකුණේ අසුන් ගනිද්දී වමා වමේ වාඩි විය. පීඩා ඉවසූ ෆුටාවේ වානේමය නායකත්වයට තුති පිදිය යුතුය. බැසිල් රාජපක්‍ෂ සමඟ අප වෙනුවෙන් පමණක්‌ සිනාසුන නිර්මාල්ගේ ඡායාරූපය ඔහු විඳී පීඩාව කියා පෑය. එහි කුණු රසය තලු මැරූවන්ට තම දිවියේ අනාගතය වන්දියක්‌ ලෙස රජය විසින් ඉල්ලා සිටින දිනයේ දී ඇතැම් විට අප සිහිපත් වනු ඇත.

ජනතාව වෙනස්‌ කිරීම

අමාරුම කාර්යය කළ යුතු ය. ආණ්‌ඩු පෙරළීම සරල ය. එය අනර්ථය ම සාදයි. අතීතයේ ආණ්‌ඩු පෙරළා ඇත. පලක්‌ නොවීය. "මෙහි ජනතාව වෙනස්‌ කළ යුතුය". බර්ටෝල්ට්‌ බ්‍රෙෂ්ට්‌ කියා තිබුණි. ජනතාව වෙනස්‌ නොවුණු විට මූසල රජයක්‌ ඔවුහු නැවත තනති. "රෝගෙට නොව නිධානෙට පිළියම් කරමු" යනුවෙන් අප ගැයුවේ එනිසා ය. ඈත කඳු ප්‍රාන්තයට එගොඩ වීමට වැල් පාලමේ ගීතයක්‌ වූ ෆුටා ගීතයේ එය ලියා තිබුණි. අප ප්‍රයත්නයේ අඩුපාඩු ඇත. ඈත ගම්දනව් කරා 6% යැමට වැට බැඳ වැටුප ගැන ම කී කුප්‍රකට මාධ්‍ය අප ඊළඟ වටයේ ජයගනු ඇත. අපි මේ පරීක්‍ෂක දිවිය, දුෂ්කර දිවිය ජීවත් වී පෙන්විය යුතු බව ලියනගේ අමරකීර්ති ලිවීය. මිනිසුන් වෙනස්‌ කිරීම කෙතරම් අසීරු වුවද මිනිසුන් වෙනස්‌ කිරීම හැර අන් කිසිදු විකල්ප මගක්‌ නැත.

සමාලෝචනය වෙනුවට සමාරම්භය

"එක්‌සත් වෙනු, නැතිනම් විනාශ වී යනු. ඉතිහාසය විකල්පයක්‌ දී නැත". එසේ කියා ඇත්තේ සොරෙකු තක්‌කඩියෙකු කාලකණ්‌ණියෙකු වූ මා නොව වී. අයි. ලෙනින් ය. ඒ කුඩා මිනිසා කියූ නිරවුල්, නිසැක හා එකම මග ෆුටාවේ අප සියලු දෙනා පෙම්වතියක සේ හෙට දවසේ වැළඳගනු ඇත. එමග නොගන්නා බොහෝ දේශප්‍රේමීහු මතු නොව ජනතාව ද වඳ වී යනු ඇත. මම යළි කියමි. මිතුරු මිතුරියනි, සගයිනි, ඉතිහාසය විකල්පයක්‌ දී නැත.

හිනිදුම සුනිල් සෙනෙවි

විභාගයට පෙර පාඩම් කිරීම තහනම් කළත් පුදුම වියයුතු නැහැ - මහින්ද ජයසිංහ


විභාග පැවැත්වීමට සතියකට පෙර සිසුන්ට පාඩම් කිරීම තහනම් කිරීමට ද මේ ඇමතිවරයා තීරණය කළහොත් එයද පුදුමයට කරුණක් නොවන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ශිෂ්‍යත්ව, සා/පෙළ, උ/පෙළ විභාග පැවැත්වීමට සතියකට පෙර සිට එම විභාගවලට අදාළව පවත්වනු ලබන උපකාරක පංති,සම්මන්ත‍්‍රණ හා විවිධ සාකච්ඡා තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවට බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා විසින් කර ඇති ප‍්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනය මගින් ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,පසුගිය කාලය තුළ විශේෂයෙන් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා අමාත්‍යාංශය භාරගත් පසු මේ යටතේ පාලනය වන රටේ ඉතා වැදගත් ආයතනය වන විභාග දෙපාර්තමේන්තුවේ දුර්වල, අකාර්යක්‍ෂම පාලනයත් විශේෂයෙන් ඉහත සඳහන් කළ ප‍්‍රධාන විභාගවලට අදාළ සිදුවූ ප‍්‍රශ්නවල වැරදි, මුද්‍රණ දෝෂ, වෙලාවට විභාග ප‍්‍රශ්න පත‍්‍ර ලබා නොදීම, ප‍්‍රශ්න පත‍්‍ර අතුරුදහන්වීම, විභාග ප‍්‍රතිඵල විකෘති කිරීම, ප‍්‍රශ්න පත‍්‍ර කලින් පිටවීම ආදී බරපතළ වැරදිවලට ප‍්‍රධාන හේතුව අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ සියලූම අංශවල සිදුව තිබෙන දේශපාලනීකරණය බවත් මේ නිසා අධ්‍යාපනයට වග නොකියන, ආණ්ඩුවේ දේශපාලකයින්ගේ උවමනාවන් ඉටුකරන පිරිසක් බවට අධ්‍යාපන නිලධාරීන් පත්ව තිබෙන බවත් මෙම තත්වයට අධ්‍යාපන ඇමතිවරයා හා ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

රටේ හතලිස් ලක්‍ෂයකට වැඩි දරු පරපුරක අනාගතය තීරණය කරන අතිශය වැදගත් ප‍්‍රධාන විභාග තුනක සිදුවන වැරදි අක‍්‍රමිකතා නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදු නොකර එම වැරදි අඩුපාඩු ජනතාවට හෙලිදරව් කිරීම වැළැක්වීමට පමණක් කටයුතු කිරීම ඛේදනීය තත්වයකි. එමෙන්ම ඇමතිවරයාගේ උක්ත තීරණය ජනතාව නොමග යවන ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකරවන විහිළු සහගත කි‍්‍රයාවකි. එබැවින් අධ්‍යාපනයට වගකියන අධ්‍යාපන ඇමතිවරයෙක් නම් මුලින්ම කළ යුත්තේ එම දේශපාලන වැරදි නිවැරදි කිරීමයි.

ගැසට් නිවේදන මගින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු පාලනය කළහැකි වුවත් උපකාරක පංති, පුද්ගලික අධ්‍යාපන ආයතන හා වෙනත් රාජ්‍ය නොවන ආයතනවලට ඇමතිවරයා චක‍්‍රලේඛ නිකුත් කරන්නේ කෙලෙසකද යන්නත් මේ අකාරයට ගියහොත් ප‍්‍රධාන විභාග පැවැත්වීමට සතියකට පෙර සිසුන්ට පාඩම් කිරීම තහනම් කිරීමට ද මේ ඇමතිවරයා තීරණය කළහොත් එයද පුදුමයට කරුණක් නොවන බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

ප්‍රශ්න පත්‍රයෙන් ටියුෂන් දීම


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස්‌ පෙළ විභාගය යන ප්‍රධාන විභාග තුන පැවැත්වීමට සතියකට පෙර ඒ විභාගවලට අදාළ ටියුෂන් පන්ති, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙයට ප්‍රධාන හේතුව මෙම විභාග පැවැත්වීමට පෙර ඒවාට අදාළ ප්‍රශ්න පත්‍ර ටියුෂන් මාස්‌ටර්ලා වෙත පිට නොවන බවට ආණ්‌ඩුවට 'ෂුවර් එකක්‌' නැති වීමය. විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පත්‍රයක්‌ පන්නා ගැනීම යනු පණ යන වැඩකි. 1970 ගණන්වල ප්‍රශ්න පත්‍රවල සෝදුපත් හෙවත් 'පෲµa' පන්නා ගෙන යමින් සිටි රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ ශිල්පියකුගේ වැඩ තහනම් කරන ලදී. 

ඉන් පසු ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන කාලයට සේවය නිම වී පිටව යන රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ සර්වාංගයම පරීක්‍ෂා කර බලන ලදී. මෙවිට ඔවුහු ප්‍රශ්න පත්‍ර තම ලේන්සුවේ මුද්‍රණය කර ගෙන පිටතට ගෙන ගොස්‌ අලෙවි කළහ. එයත් අසු වූ තැන ලේන්සු ද තහනම් කරන ලදී. ඊළඟට ඔවුහු සුදු පැහැති අමුඩ ලේන්සුවලට මාරු වූහ. අමුඩ ලේන්සුවක සාමාන්‍ය වර්ණය නිල් පැහැයයි. මුද්‍රණාලය තුළදී සරම තුළින් හෙමිහිට අමුඩය ඇදගත් ඔවුහු ප්‍රශ්න පත්‍රයේ පිටපතක්‌ එහි මුද්‍රණය කරගෙන යළි අමුඩය ගසා ගත්හ. අමුඩය තහනම් කළ හැකි ද? නො හැක. එය මනුෂ්‍යයා ශිෂ්ටත්වයට පත් වන විට විලි වසා ගැනීමට පාවිච්චි කළ, පිළියෙන් නිමැ වූ පළමුවැනි ඇඳුම් කිහිපයෙන් එකකි. සිංහලයා යනු පුදුම මිනිසෙකි. ඔහු සමඟ හැරෙන්නට කිසිම ජාතියකට බැරිය. 1900 ගණන්වල සිටි මුද්‍රණ ශිල්පියෝ සුදු සරමේ ඇතුළු පැත්තේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ගත්හ. ඒ කාලයේ OFF SET නමැති සමතල මුද්‍රණ ක්‍රමය නො තිබූ අතර HOT METAL ක්‍රමය නමැති තාක්‍ෂණය විය. මෙය අකුරු අමුණා මුද්‍රණය කළ අතීත මුද්‍රණ ක්‍රමයට සමාන ය. මේ ක්‍රමය මගින් ප්‍රශ්න පත්‍ර එකක්‌ වුව මුද්‍රණය කර ගත හැකි ය. අද තිබෙන OFF SET යන්ත්‍රවලට ඇඳ සිටින සරම දැමුවොත් එහා පැත්තෙන් එළියට එනු ඇත්තේ මිනිහා පිටින්ම ය. ඔහු ගණනට තැළී මුද්‍රණය වී ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයට කැපී යන්ත්‍රය මුල ඇති කුඩා වේදිකාව මතට ගොඩ ගැසෙනවා ඇත.

මේ රටේ 'බඩු' පිට නො වන්නේ සල්ලි අච්චු ගසන කොම්පැනියෙන් පමණි. අනෙක්‌ හැම ආරක්‍ෂිත ස්‌ථානයකින් ම 'බඩු' පිට වෙයි. ප්‍රධාන විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම කොතරම් ආරක්‍ෂා සංවිධාන තිබුණත් වැළැක්‌විය නොහැක. දූෂණය සම්පූර්ණයෙන් ම නැති කළ කිසිදු රටක්‌ ලොව නැත. කළ හැක්‌කේ දූෂණය අවම කිරීම පමණි. පසුගිය කාලයේදී විභාග ඔන්න මෙන්න කියා තිබියදී ටියුෂන් මාස්‌ටර්ලා කිහිපදෙනෙක්‌ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ බවට කතන්දර පැතිර ගියේ ය. නැත්නම් විභාගය කට මුල තියා ටියුෂන් ගුරුතුමා සාකච්ඡා කළ ප්‍රශ්න පත්‍ර විභාගයට ආවේ ය. ප්‍රශ්න පත්‍රයක්‌ යනු එක්‌ අයකු විසින් සාදනු ලබන්නක්‌ නොවේ. ඒ සඳහා උපදේශක මණ්‌ඩලයක්‌ම සහභාගි වෙති. එක්‌ එක්‌ උපදේශකයා ලවා ප්‍රශ්න පත්‍රය බැගින් හෝ ප්‍රශ්න 5 බැගින් සාදන අතර අවසානයේදී සියලු දෙනාම සෑදූ ප්‍රශ්නවලින් එක බැගින් තෝරා ප්‍රශ්න පත්‍රය පිළියෙල කරනු ලැබේ. මේ අතර තවත් කාරණයක්‌ තිබේ. එනම් පුද්ගලයන් කිහිපදෙනකුට සමාන අදහස්‌ පහළවීමයි. විභාග ප්‍රශ්න පත්‍ර සාදන ගුරු උපදේශක මණ්‌ඩලයේ මොළයට එන ප්‍රශ්න හා සමාන ප්‍රශ්නම ටියුෂන් ගුරුතුමාගේ මොළයටත් එන්නට පුළුවන. ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන්වල එකතුවක්‌ බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ හෙන්රි කැවෙන්ඩිෂ් 1783 දී සොයා ගත්තේ ය. එහෙත් ඔහු ඒ බව කාටවත් කීවේ නැත. මේ අතර ඡේම්ස්‌ වොට්‌ නමැති විද්‍යාඥයා ද එම වසරේම ජලයේ සංයුතිය හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් බව සොයා ගත්තේය. ඔහු එය ප්‍රසිද්ධ කළේ ය. ඒ අනුව ජලයේ සංයුතිය සම්බන්ධයෙන් අද ඉතිහාස පොත්වල ඇත්තේ ඡේම්ස්‌ වොට්‌ ගේ නමය.

විභාග ආසන්නයේදී සම්මන්ත්‍රණ තහනම් කිරීම ගැන කියන විට අපට මතක්‌ වන්නේ මැතිවරණයට පැය 72 කට පෙර සියලු ප්‍රචාරක ක්‍රියා තහනම් බවට ඇති නියෝගයයි. එහෙත් ඡන්ද අපේක්‍ෂකයා හිතවතුන් බැලීමට ගෙන් ගෙට යමින් ගෙන යන ප්‍රචාරය ආවරණය කිරීමට ඒ නීතියට බැරි ය. එසේම ටියුෂන් ගුරුතුමා ගෙදරට කැඳවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තහනම් කිරීමට ආණ්‌ඩුවට බැරි ය. එසේ නම් කළ යුත්තේ විභාගයට සතියකට පෙර ටියුෂන් ගුරුවරුන් සහ ටියුෂන් දෙන රජයේ ගුරුවරුන් අල්ලා රිමාන්ඩ් කිරීම ය. අමුඩ ලේන්සුවක් ගිය දුරක තරම!

උපුටාගැනීම දිවයින