Saturday, November 24, 2012

වාර විභාගය තියෙද්දී සිසුන් පිරිසක්‌ උත්සවයකට යවලා

Minister Bandula goonawaradana

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (21) හෝමාගම නව බස් නැවතුම්පළ විවෘත කෙරිණි. එම අවස්ථාවට හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඕනෑකම මත 10 ශ්‍රේණියේ සිසු පිරිසක් සහභාගි කර ඇත්තේ අවසාන වාර පරීක්‍ෂණය පවත්වමින් තිබියදීය.

විදුහල්පතිනියගේ මෙම වගකීම් විරහිත, අත්තනෝමතික කි‍්‍රයාව හේතුවෙන් 10 ශේ‍්‍රණියේ එදිනට විභාගයට පෙනී සිටීමට සිටි දරුවන් පිරිසකට නියමිත වේලාවට විභාගයට පෙනීසිටීමට නොහැකිවූ අතර ඔවුන්ට පමණක් වෙනම වේලාවක් තුළදී විභාගය පවත්වා ඇත.

මෙම සිදුවීම පිළිබඳව ලංකා ගුරු සේවා සංගමය මගින් බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිවරයා වෙත පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වහා පරීක්‍ෂණයක් පවත්වන ලෙස එම සංගමය මගින් ඉල්ලීමක් කර තිබේ.

එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

‘‘එම දරුවන් පිරිසට නියමිත වේලාවට නියමිත පරිදි විභාගයට ඉදිරිපත් වීමට තිබූ ඉඩකඩ හිතාමතාමා ඇහිරීම තුළ මෙම විදුහල්පතිනිය බරපතළ වරදක් සිදුකර තිබේ. මේ තුළ එම දරුවන් පිරිස යහපත් මානසිකත්වයකින් විභාගයට සූදානම්ව පැමිණියද එම ඉඩකඩ වැළැක්වීම තුළ ඔවුන් යම් ව්‍යාකූලත්වයකට පත්ව විභාගයට මුහුණදීම අනිවාර්ය කරුණකි.

එසේම එම පංතිවල විභාගයට ඉදිරිපත්වූ අනෙක් දරුවන්ට වඩා වෙනස් වේලාවකදී පසුව එම විභාගයට උක්ත දරුවන් පිරිසට පැවැත්වීම තුළ අනෙක් දරුවන් තුළ විභාගය පිළිබඳ අවශ්වාසයක් හා සැකයක් මතුව තිබේ. එය සාධාරණ තත්වයක් වන අතර මේ පිළිබඳව දෙමව්පියන් තුළද සැකයක් මතුව තිබේ.

පොදු විභාගයක් පැවැත්වෙන අතරතුරදී එයට බාධාවන අයුරින් යම් පුද්ගලයකු කටයුතු කිරීම වරදක් වන අතර පාසලේ ප‍්‍රධානියා විසින්ම එය සිදුකිරීම බරපතළ වරදක් වන අතර මෙවැනි සිදුවීම්වලට මූලික හේතුව අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණයට ලක්ව තිබීම බවට අප අවධාරණය කර සිටිමු.

දරුවන්ගේ විභාග මානසිකත්වය බිඳදමා විභාග පටිපාටීන් උල්ලංඝනය කරමින් තම දේශපාලන උවමනාවන් සපුරා ගැනීමට අහිංසක දරුවන්ගේ වටිනා අධ්‍යාපනික කාලය උදුරාගන්නා මෙවැනි අදූරදර්ශී විදුහල්පතිවරුන් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට මහත් කැලලක් වන බැවින් මෙම විදුහල්පතිනයගේ මෙම අත්තනෝමතික කි‍්‍රයාව සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස අප සංගමය දැඩි ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු."

Friday, November 23, 2012

මොරටුවෙන් ඉංජිනේරුවන් වී රට ගිය 300 කගෙන් යළි පැමිණ ඇත්තේ දෙදෙනකු පමණයි

මේ රටේ ඉංජිනේරුවකු බිහි කිරීමට රජයට රුපියල් විසිහතර ලක්‍ෂයක(2,400,000) පමණ මුදලක්‌ වැය වෙනවා. එහෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා පශ්චාත් උපාධි ලබා ගැනීමට විදේශවලට ගිය ඉංජිනේරුවන් තුන්සිය දෙනකුගෙන් නැවත මේ රටට පැමිණ සිටින්නේ දෙදෙනකු පමණක්‌ යෑයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මෙසේද කීවේය. එක වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වනතුරු නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන මේ රටේ උපාධිධාරියකු බිහිකිරීමට රුපියල් හත් ලක්‍ෂයක(700,000) පමණ මුදලක්‌ රජයට වැයවෙනවා. එසේම වෛද්‍යවරයකු බිහිකරන්න රුපියල් විසි ලක්‍ෂයක්‌ (2,000,000) වැය වෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ උපාධිධාරීන් පනස්‌ දහසකට මෙම පත්වීම් දීමට ලැබීම සතුටට හේතුවක්‌. තමන්ට රටින් ලැබුණු දායාදය වෙනුවෙන් අද පත්වීම් ලබන උපාධිධාරීන් රට වෙනුවෙන් තම උපරිම ශක්‌තිය යොදා වැඩකළ යුතුයි.රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභීන් අනුයුක්‌ත කිරීම නිමිත්තෙන් එහි ශ්‍රවණාගාරයේ පැවැති රැස්‌වීමේදී ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

රට හුණු ඉරක්‌ දිගේ, ඇතිමලේ විදුහලේ දරුවෝ පාර මාරු වෙති

සියඹලාණ්‌ඩුව අධ්‍යාපන කොට්‌ඨාසයට අයත් ඇතිමලේ මහා විද්‍යාලයේ දරුවන්ට පාර මාරුවීම සඳහා ඇතිමලේ මොනරාගල ප්‍රධාන මාර්ගයේ විද්‍යාලය ඉදිරිපිට කහ ඉරක්‌ නොමැති කමින් රටහුණු වලින් සුදු ඉරක්‌ ලකුණු කර පාර මාරුවීම සඳහා භාවිත කරන අයුරු දැක ගත හැකි වේ.

මෙම විද්‍යාලයේ දරු දැරියන් අටසියයකට අධික පිරිසක්‌ අධ්‍යාපනය ලබන අතර, මොවුනගේ ආරක්‍ෂාව සඳහා එම විද්‍යාලයේ රිය නියාමක කණ්‌ඩායමක්‌ විසින් මෙම උපක්‍රමය භාවිත කර තිබේ.

ඇතිමලේ රථ වාහන පොලිසිය මගින් තමන්ට රිය නියාමක පුහුණුව ලබා දී ඇති මුත් ප්‍රායෝගික පුහුණුවක්‌ ලබා ගැනීම සඳහා කහ ඉරක්‌ නොමැති බව දරු දැරියෝ පවසති.

අනතුරක්‌ වීමට පෙර ඌව පළාත් බලධාරීන් විසින් මෙම විද්‍යාලය ඉදිරිපිට කහ ඉරක්‌ සලකුණු කිරීමට කටයුතු කරනු ඇතැයි මෙම දරුවෝ අපේක්‍ෂාවෙන් සිටිති.


මා.ප. තිලකසූරිය