ඔබගේ දුවගේ හෝ පුතාගේ ජීවිත ගමන තීරණය වන අ.පො.ස. සා/පෙළ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. වසර ගණනක ඔබගේත් දරුවාගේත් මහන්සියේ ප්‍රතිඵල නෙළාගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත. සමහර දරුවන් ඒ සඳහා හොඳ සූදානමකින් යුතුව ඉතා උද්‍යෝගයෙන් ධෛර්යවත්ව සිටිනවා විය හැකිය. තවත් සමහරෙකු විභාගයට බියවී යම් යම් මානසික හා කායික ව්‍යාකූලතාවයන්ට ලක්වී සිටිනවා විය හැකිය. අප මෙම කෙටි සටහන තබනුයේ, එවන් වූ යම් අපහසුතාවයකට පත්ව සිටින දරුවන් ඉන් මුදා ගැනීම සඳහාය.
විභාග භීතිකාවට ලක්වීමට ප්‍රධානතම හේතුවන්නේ, දරුවා විෂය දැනුමෙන් පොහොසත් නොවීමයි.
තමා පිළිබඳව තමාට ඇති අවතක්සේරුව, සපුරාගත නොහැකි ඉලක්ක පිළිබඳව ඇති බලාපොරොත්තු, මාපියන්ගේ අරමුණු කරා ළමයින් මෙහෙයවීම. ඔබ පන්තියේ පළවැනියා වන්න, වෛද්‍යවරයකු වන්න, වැඩි ලකුණු ගන්න, අපේ එකම බලාපොරොත්තුව ඔබයි වැනි දේ.
”මෙයා ඒ 9ක් ගනී” වැනි ගුරුවරුන් හා ඥාතීන්ගේ අධි තක්සේරුව.
තවත් ළමයින් සමඟ සංසන්දය කිරීම. අනෙක් ප්‍රධාන කරුණුයි.
විභාග භීතිකාව විභාගයට පෙරත් විභාගය අවස්ථාවේදීත්, විභාගයෙන් පසුත් ඇතිවිය හැකිය.
මේ වන විටත් ඔබේ දරුවා විභාග භීතිකාවෙන් පෙළෙන්නේ නම්, එය විභාගයට පෙර අවස්ථාවයි. මේ සියලු අවස්ථාවන්හිදී විභාගයට ඇති නොසතුට හා අකමැත්ත නිසා සිත තුළ ඇතිවන ව්‍යාකූලතාව පසුව ශාරීරික ක්‍රියාකාරකම් ලෙස නිරීක්ෂණය වේ.
මෙය මනෝ විද්‍යාවේ දී ආරක්ෂක ප්‍රයෝගය ලෙස හඳුන්වනු ලබයි. මෙය සිදුවන්නේ මනසේ ඇතිවන ව්‍යාකූලතා මනස විසින්ම වෙනත් දෙයකට යොමු කිරීමෙනි. පසුව එය මනෝකායික රෝගයක් ලෙස එළියට පැමිණේ.
විභාගයට පෙර අවස්ථාවේදී,
ළමයා නිතර ලෙඩවීම, නිදිමත ගතිය, ක්ලාන්තය, බඩරිදීම, අතපය පණ නැතිව යාම, අතපය වෙව්ලීම, කෑම අරුචිය, අධිකව දහඩිය දැමීම, විභාගය හා විෂය කරුණු එපාවීම, පාසලට යාම හා උපකාරක පන්තිවලට යාම ප්‍රතික්ෂේප කිරීම, තනියෙන් සිටීමට උත්සාහ ගැනීම, විභාගය අසමත්වීමට හේතු දැන්ම සොයාගැනීම ආදී කරුණු නිරීක්ෂණය වන්නේ නම් ඔබගේ දරුවාට විභාග භීතිකාව හටගෙන තිබෙන්නට පුළුවන.
එවැනි අවස්ථාවකදී ඔබ කළ යුත්තේ ළමයාට තරවටු කිරීම නොව මූලිකවම කායික ලෙඩ රෝග පිළිබඳව පරීක්ෂා කිරීමට කායික වෛද්‍යවරයෙකුගේ පිහිට පැතීමයි. එසේ කායික ලෙඩක් නොවන්නේ නම්, මේ සියල්ල මානසික තත්ත්වයන් බව සම්පූර්ණයෙන්ම තීරණය කළ හැකිය. ඔබට කළ හැකි ඊළඟ සුදුසුම පියවර වන්නේ, දරුවාව සුදුසුකම් ලත් මනෝ උපදේශකවරයකු වෙත ඉදිරිපත් කිරීමයි. උපදේශන ශිල්පක්‍රම මඟින් බොහෝ මානසික ව්‍යාකූලතා ඉවත් කළ හැකිය. තවදුරටත් ළමයාගේ තත්ත්වය ඉක්මනින් සුව අතට ගැනීමට අවශ්‍ය වේ නම් සුදුසුකම් ලත් චිකිත්සකවරයෙකු හරහා ළමයාව මෝහන ප්‍රතිකාරයට යොමු කළ හැකිය. මෙම ක්‍රමයේ දී ඇතිවී තිබෙන අසාමාන්‍ය බිය යටි සිතෙන් ඉවත් කොට ධනාත්මක අදහස් දරුවාගේ මනසේ තැන්පත් කළ හැකිවේ.
මනෝ විද්‍යාත්මක උපදේශනයේ දී හා මෝහන ප්‍රතිකාරයේදී දරුවාට තම අදහස් ධනාත්මක කරගැනීමට අවශ්‍ය ධෛර්යය, මඟපෙන්වීම ලැබෙනු ඇත. එවැනි භීතිකාවන්ගෙන් මිදීම සඳහා මේ වන විට දියුණු ශිල්පක්‍රම හා නවීන ව්‍යායාම මේ වන විට බිහිවී ඇත.
මනෝවිද්‍යා උපදේශක
විශ්‍රාමික මේජර් සුසන්ත ද සිල්වා
(silumina)