Thursday, December 27, 2012

වදක පුහුණව අද සිට

නවක සරසවි සිසුන්ට ලබාදෙන බලහත්කාරී හමුදා පුහුණුව අද සිට ආරම්භ වේ. මෙම පුහුණුව දිවයින පුරා හමුදා කඳවුරු 24 කදී පැවැත්වීමට නියමිතව ඇති අතර සිසුන් 10000 ක් මුල් වටය සඳහා සහභාගී වෙති. ඒ සඳහා රජය විසින් දරනු ලබන මුළුවියදම රු. මි. 350 ලෙස ඇස්තමේන්තු ගතකර ඇති අතර අවශ්‍ය නිර්දේශිත ද්‍රව්‍ය මිලදී ගැනීමට හා ප‍්‍රවාහන වියදම් සඳහා එක් එක් ශිෂ්‍යාට දරන්නට සිදුවන වියදම රු. 20000 ද ඉක්මවයි.

උසස් අධ්‍යාපනයේ ප‍්‍රතිමාණයන්ට හා අරමුණුවලට පටහැනිව පවත්වනු ලබන මෙම පුහුණුවවට එරෙහිව උසස් අධ්‍යාපනයට සම්බන්ධ සියළුම පාර්ශව සිය විරෝධය පලකර ඇති අතර සරසවි ආචාර්යයවරුන්, පාසල් ගුරුවරුන්, අධ්‍යාපන වෘත්තීය වේදීන්, සිසුන් ආදී බලවේගයන්ද, සිසුන් හා දෙමවුපියන්ද ඒ අතර වෙති.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අත්‍යාවශ්‍ය මූලික දැනුමක්වන ඉංග‍්‍රීසි හා පරිගණක දැනුම ලබාදීමට මෙතෙක් නොමිලේ සිසුන්ට ලබාදුන් පාඨමාලා පවා අහෝසිකරමින්, එදිනෙදා නඩත්තුව පවා කරගැනීමට නොහැකි තරම් බරපතල මූල්‍ය අර්බුධයකින් සරසවි පෙළෙන තත්ත්වයක් තුළ මිලියන ගණනක මුදල් විනාශ කරමින් ජනතා විරෝධය මධ්‍යයේ බලහත්කාරායෙන්, මෙම පුහුණුව ලබාදීම තුළ එය කොතරම් දේශපාලනිකව ආණ්ඩුවට වැදගත්ද යන්න පෙන්නුම් කරන බව අපගේ විශවාසයයි. මේ පිළිබඳව අදහස් දක්වමින් සංජීව සහෝදරයා පැවසුයේ මෙම පුහුණුව සිසුන්ට විශාල කායික හා මානසික වදයක්වන අතර ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ හමුදාකඳවුරු තුළ යොදන කායික හා මානසික බලහත්කාරය තුළ සිය දේශපාලන මතය සිසුන් තුළ කා වැද්දීමත්, හමුදා පන්නයේ විනයක් සිසුන් තුළ ඇති කිරීමත් බවයි.

ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආදී කතෲවරයකුවන වැලිවිටියේ ශී‍්‍ර සෝරත හිමි සරසවි ශිෂ්‍යා නිර්මාණශීලී, විචාරශීලී, විචක්ෂණශීලී හා විප්ලවවාදී වියයුතුයැයි පැවසූ අතර ඉන් දශක කිහිපයකට පසු සරසවි ශිෂ්‍යා හමුදා පන්නයේ ආකෘතියකට අනුව හැඩගැස්සවීමට බලධාරීන් තීරණය කිරීම තුළ උසස් අධ්‍යාපනයේ බිඳවැටීම කොතරම් බරපතලද යන්න විද්‍යාමාන වේ. වෙලාවට නැගිටින, දත්්මදින, මුහුණ සෝදන, වෙලාවට කන, කාලරාමුවකට අනුව වැඩකරන, ඉහළින් එන නියෝග අකුරටම පිළිපදින හුමුදා විනයක් සහිත ශිෂ්‍යයකු නිර්මාණය කිරීම හමුදා පුහුණුවේ ප‍්‍රකාශිත අරමුණ වන අතර එයින් සිදුවන්නේ නිර්මාණශීලීත්වයක්, විචාරබුද්ධියක් සහිත විප්ලවවාදී එනම් ලෝකය හා එහි පැවැත්ව කොරෙහි වෙනස් විදියට හිතන හා එය වෙනස්කීරීමට උස්සාහ කරන ශිෂ්‍යයකු වෙනුවට මුළුමනින්ම සම්මුතිකාමී නිවටයකු වන් උපාධිධාරියකු බිහිවීමයි.

එක් පැත්තකින් මෙම පුහුණුව රටේ අධ්‍යාපනයේ ඉදිරිගමනට බරපතල බාධාවක් වන අතර අනෙක් පසින් රට ක‍්‍රමිකව ගමන්කරමින් සිටින මිලිටරි රාජ්‍යයක් සඳහාවන භයානක ගමනෙහි එක් පැතිකඩක් නියෝජනය කරයි. මෙම රෝගය ලෝකයේ ඕනෑම මිලිටරිනායකයකුට වැලදෙන ජාතියේ රෝගයක් වන අතර මින් නොනැවතී මුළුරටම මිලිටරියට දනගැස්සවීම දක්වාම ගමන් කරනු ඇත. එමෙන්ම අර්බුධකාරී මෙම ක‍්‍රමය තුළ බංකොලොත් ආණ්ඩුවට සිය පැවැත්ම වෙනුවෙන් මිලිටරියෙහි සරන පැතීම හැර අන් විකල්පයක් ද නැත.

උපුටා ගැනීම: iusfsl.org

Tuesday, December 25, 2012

යාපනයේ සරසවි ශිෂ්‍ය මර්ධනය උග්‍රවෙයි; තවත් සිසුවියන් තිදෙනෙක් ‘ ත්‍රස්ත විමර්ෂණයට ‘

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හට කෙලවරක් නොවන ‘ ඊනියා ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ ‘ ප්‍රශ්ණ කිරීම්වලට මුහුණ දීමට සිදුවී තිබේ. දැන් ඔවුන්ගේ අලුත්ම ඉලක්කය වී ඇත්තේ ශිෂ්‍යාවන් වන අතර ප්‍රශ්ණ කිරීම් වලට භාජනය වන සිසුවියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින්පවතී. අද (24) දිනයේදීද සිසුවියන් ත්‍රිදෙනෙකු ප්‍රශ්ණ කිරීම සඳහායැයි කියමින් වව්නියාව ත්‍රස්ත විමර්ෂණ ඒකකයට කැඳවා ඇත.

නොවැම්බර් 29 වැනිදා රාත්‍රියේදී මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ඇතුළ තවත් සිසුන් රැසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ත්‍රස්ත විමර්ෂණ ඒකක විසින් ප්‍රශ්ණ කිරීම් වලට යැයි කියමින් වව්නියාව කාර්යාලයට කැදවූ සිසුන් සංඛ්‍යාව අති විශාල බව යාපනය සරසවියේ ආචාර්යවරයෙකු පැවසීය.
පසුගිය සතියේදී සිසුවියන් සිව්දෙනෙකුට වව්නියාව ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට පැමිණෙන ලෙස දැනුම්දුන් අතර පසුව දැනුම් ත්‍රස්ත විමර්ෂණ ඒකකය මගින් දැනුම් දුන්නේ ඉන් දෙදෙනකුට පමණ ප්‍රකාශ ලබාගැනීමට පැමිණෙන ලෙසයි.

මීට දින කීපයකට පෙරදී තවත් සිසුවියන් 5 දෙනෙක්ද ,ඉන් පසු දිනයකදී තවත් දෙදෙනෙකුට සහ ඊළඟ දිනයේදී තවත් තිදෙනෙක් වව්නියා ත්‍රස්ථ විමර්ෂණ ඒකකයට කැඳවා ප්‍රශ්ණ කිරීම් සිදුකර තිබේ.
හිටිහැටියේ දෙන දුරකථක ඇමතුම්වලින් මෙම සිසුන්ට ප්‍රශ්ණ කිරීම සඳහා වව්නියාව කාර්යාලයට පැමිණෙන ලෙස දැනම් දෙයි. එපමණක් නොව තවමත් දිනපතාම පිරිමි සිසුන්ගෙන්ද ත්‍රස්ථ විමර්ෂණ ඒකකය ප්‍රශ්ණ කරමින් සිටිති.

මේ අතර යාපනය සරසවිය අවට විශාල වශයෙන් බුද්ධි අංශ සාමාජිකයන් ගැවසෙනු දැකගත හැකි අතර යාපනය ශිෂ්‍ය මර්ධන මේවන විට ඉතා උග්‍රතත්ත්වයකට පත්ව ඇත. බොහෝ සිසුන් දැඩි භීතියට පත්ව සිටින අතර සමහරුන් රට ඇතැර යෑමට පවා කල්පනා කර ඇතැයි වාර්තා වෙයි.

ඊනියා ත්‍රස්ත විමර්ෂණ පනත 1979 දී සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත මර්ධන පනතට අනුව අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු දින 99 ක් දක්වා රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කිරීමේ බලය ආරක්ෂක අමාත්‍යංශ ලේකම් හට බලය තිබේ.

යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බී.බවානන්දන්, එම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය එස්. සොලමන් යන සිසුන් වෙත ආරක්ෂක අමාතංශ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මාස තුනක රැඳවුම් නියෝග යටතේ වැළිකන්ද හමුදා රැඳවුම් කඳවුරේ රඳවාගෙන සිටින ලබයි.

Monday, December 24, 2012

O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය එළියට ආවේ දුරකතනයක් අස්සේ


බඹරය වැල්ලේ කැරකෙන තාක්කල් හොඳය. ඒ කාලයේදී ගහන - ගහන හැම ගේමම හරි යන්නේය. මේ කාලයේදී සිකුරා නළලේ නටයි. එහෙත් හෙනහුරා නළලට ගොඩවීමට වැඩි කලක් යන්නේ නැත. ඒ කාලයට බඹර කප්පිත්තකුටවත් බඹරය කරකවන්නට නොහැක.

මේ කතාව ලිව්වේ අද වන විට විභාග දෙපාර්තමේන්තුවත්, එය මෙහෙයවන විභාග කොමසාරිස්වරයා සහ අධ්‍යාපන ඇමැතිවරයාත් දමන සෙල්ලම් දුටු විට වෙන කියන්නට දෙයක් නැති නිසාය. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර, විභාගයට කලින් පිටවූ බවක් දැන් කොමසාරිස්වරයාට හෝ අධ්‍යාපන ඇමැතිවරයාට මතක නැත. දැන් කතා කරන්නේ කාලගුණය ගැනය. එමඟින් සාමාන්‍ය පෙළ විභාගයට ලියන සිසු සිසුවියන් පත්වූ අසීරුතාව ගැනය.

ඒ ගැන කතා කළ යුතුය. එහෙත් තමන්ගෙන් වූ වරද වසා ගන්නට ඒ ගැන අතිශයෝක්තියෙන් කතා කිරීමත්, වරද යට ගසන්නට දරන උත්සාහයත් හෙළිදරව් කළ යුතුය. සිසුන්ගේ කරුමයට කාලගුණය හරහට හිටියේය. එමඟින් ප්‍රශ්නපත්‍ර පිටවූ කතාව යට ගියේය. කොමසාරිස්වරයාත්, අධ්‍යාපන ඇමැතිවරයාත් කරකවන බඹරය තවදුරටත් වැල්ලේ කැරකෙන බව මුලින්ම ලිව්වේ ඒ නිසාය.

පහේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිට විය. ඒ පසුගිය අගෝස්තුවේදීය. විභාග කොමසාරිස්වරයා ඒ ගැන සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙළේය. කොටින්ම එසේ කිරීමෙන් අනතුරුව කොමසාරිස්වරයා අත පිසදා ගත්තේය. මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු කියන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන බලා ගනු ඇති බවකි.

අද, මේ දෙසැම්බරයේද සිදුවී ඇත්තේ එයමය. පුරුදු පරිදි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර පිට වීමේ සිද්ධිය ගැන සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවැරිණි. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කිව්වේ 'මට විභාග දෙපාර්තමේන්තුව විශ්වාසයි' යනුවෙනි.

සා. පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහනවයක්ම ටියුෂන් ගුරුවරයකු වූ සම්පත් අත්තටගේ නැමැත්තකු විසින් ලබාදී තිබිණි. ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණේ තමන් වසර ‍ෙදාළහක් තිස්සේ මෙම විෂය උගන්වන නිසා අනුමාන නිවැරැදි වූ බවයි. ඔහුගේ මැජික් බලයෙන් ඔහු විභාගයට එන ප්‍රශ්න ඉදිරියෙන් සිනා මුහුණක සලකුණක්ද දමා තිබිණි. එයද අත්දැකීමෙන් කළා විය හැකිය.

මේ තරම් කරුණු තිබියදීත් විභාග කොමසාරිස්වරයා අදාළ ටියුෂන් ගුරුවරයා පිට වරදක් පටවන්නට සූදානම් නැත.

අපද එසේමය. ගෙඩිය පිටින් ඔහුගේ පිට දමා අත පිසදා ගන්නට අපද සූදානම් නැත. මෙය කාලයක් තිස්සේ සිදු කෙරෙන ජාතික විභාගවල ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ ජාවාරමක තවත් එක් සිද්ධියක් පමණි. 'මව්බිම' ගවේෂණ මඟින් හෙළිදරව් වූ ආකාරයට මේ පිටුපස රජයේ මුද්‍රණාලයේ නිලධාරීන් සිටී. විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකු සිටී. ඉන් එක් අයකු විද්‍යාගාර සහායකයෙකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, බුද්ධාගම සහ ඉතිහාසය යන ප්‍රශ්නපත්‍රද පිට වී ඇත.
'කොහොමද එහෙම කියන්නෙ? මොනවද තියෙන සාක්‍ෂි?'

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැන් පිම්මේ දිවවිත් 'මව්බිම' කර්තෘ මණ්ඩලයෙන් එසේ ප්‍රශ්න කරනු ඇත. හදිසි නොවන්න.
තරමක් විශාල ප්‍රමාණයේ ජංගම දුරකතනයක පසුපස ඇති බැටරිය ඉවත් කොට, ඒ වෙනුවට ප්‍රශ්න පත්‍රය ඒ තුළ බහා අදාළ විශ්වවිද්‍යාලයට රැගෙනවිත් ඇත. හෙළිදරව් වන ආකාරයට විද්‍යාව ප්‍රශ්න පත්‍රය අදාළ ටියුෂන් ගුරුවරයාට අලෙවි කර ඇත්තේ මේ කියන විශ්වවිද්‍යාලයේ මුලින් කී විද්‍යාගාර සහායකයාය. වහරේ භාෂාවෙන් කියන්නේ නම් ඔහු මීටරයකි. ඔහු අදාළ ටියුෂන් ගුරුවරයාට ප්‍රශ්න පත්‍රය ලබාදී නැත. ඒ වෙනුවට ඔහු ප්‍රශ්න පත්‍රය කියවා ඇත්තේ ටියුෂන් ගුරුවරයාට ලියා ගන්නා ලෙස පවසමින් යැයි කියැවේ. එහෙත් තවත් ගැටලුවක් ඇත. එකම විෂය උගන්වන දෙදෙනකු එසේ ප්‍රශ්නපත්‍ර මාරු කරගෙන තමන්ට එන්නට සිටින සිසුන් තවකෙකුට ලබා දෙයිද?

'මේවා හෝල් ක්ලාස්වල දෙන්න එපා. ඉන්ඩිවිජුවල් ක්ලාස්වල විතරක් දෙන්න.'

අදාළ පුද්ගලයා එවැනි උපදෙසක්ද දී ඇති බව කියැවේ. මේ ප්‍රශ්නපත්‍ර ඔහු ඉහළ මිල ගණන්වලට තනි තනි සිසුන් සිටින පන්තිවලදී ලබා දෙයි. මෙම විද්‍යාගාර සහායකයා ගම්පහ ප්‍රදේශයේ සහ නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි පන්ති රැසක් කරගෙන යයි. නමුත් පෙර කී ටියුෂන් ගුරුවරයා වැඩේ අනා ගත්තේය. ඔහු ගුරාගේ උපදෙස ඇසුවේ නැත. ඒ නිසා වැඩේ මාට්ටු වූ බව ගුරා තමන්ගේ හිතවතුන් ගණනාවකටම පවසා ඇත.

මෙම ගුරා ගණිතය ප්‍රශ්න පත්‍රයද මෙසේ රුපියල් ලක්‍ෂ එකහමාරකට විකිණීමට උත්සාහ දරා ඇත. ඉතිහාසයද එසේමය. එහෙත් අදාළ ගුරුවරුන් ප්‍රශ්න පත්‍රය ඉල්ලා ඇත. ගුරා එය ප්‍රතික්‍ෂේප කර ඇත. තමන් ළඟ ඇති ප්‍රශ්න පත්‍රය ලියා ගන්නා ලෙස ඔහු දුන් උපදෙසට එම ගුරුවරුන් එකඟ නොවීම නිසා ගනුදෙනුව සිදු වී නැත.
දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කර ඇති ටියුෂන් ගුරුවරයා මිනුවන්ගොඩ එක්තරා පෞද්ගලික පන්ති පවත්වන ආයතනයකදී පවසා ඇත්තේ තමන්ගේ අනුමාන ප්‍රශ්නවලින් විස්සකට ආසන්න සංඛ්‍යාවක් විභාග ප්‍රශ්න පත්‍රයේ නොතිබුණහොත් තමන් මිනුවන්ගොඩ නගරයේ බඩ ගාන බවයි. නිට්ටඹුවේදීද ඔහු මේ කතාව කියා තිබේ.

අදාළ ටියුෂන් ගුරුවරයා බේරා ගැනීමට අපට අවශ්‍යතාවක් නැත. එසේම ඔහුව පමණක් හම ගසා මේ ජාවාරමේ ඉතිරි පුරුක්වලට වැඩෙන්නට ඉඩදීමද කළ නොහැක්කකි. මුලින් කී විද්‍යාගාර සහායකයාට දේශපාලන සම්බන්ධකම් මෙන්ම අදාළ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සමීප සම්බන්ධකම්ද ඇත. ඔහුට එරෙහිව විනය චෝදනා එල්ල වූ අවස්ථා දෙකකදීම පාලනාධිකාරියෙන් ඔහු ගලවාගෙන ඇත. එම චෝදනා එල්ල වූ වැරැදි ඔහුව සේවයෙන් පහ කරන්නට වුවද ප්‍රමාණවත් බව කියැවේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ ටියුෂන් ගුරුවරයා රැගෙන ඔහු තමන්ගේ අනුමාන ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ මුද්‍රණාලයට ගොස් එහි සිටිය වුන්ගෙන් ප්‍රශ්න කළ බව 'දිනපතා මව්බිම' වාර්තා කළේය. මාධ්‍ය සංදර්ශන තිබ්බාට වැඩක් නැත. අදාළ විද්‍යාගාර සහායකයා සහ මෙම ප්‍රශ්නපත්‍ර ජාවාරමේ සිටින්න වුන් ප්‍රශ්නපත්‍රය ඔවුන්ගේ අතින් පිට නොකිරීමට වග බලා ගනී. එම නිසා මුද්‍රණාලයේ ඇත්තේ අදාළ ටියුෂන් ගුරුවරයාගේ අත් අකුරුය.

මුලින් පැවැසූ පරිදි මෙම ලිපිය පළ වූ පසු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අප සොයා ඒමට හදිසි නොවන්න. කිරිබත්ගොඩ, කැලණිය, ගම්පහ ආදී ප්‍රදේශවල රස්තියාදුවක් ගැසුවහොත් මෙහි සඳහන් නොකළ අප සොයාගත් විස්තරද ඔබට දැන ගැනීමට හැකියාව ලැබේ. අදාළ විශ්වවිද්‍යාලයීය විද්‍යාගාර සහායකයා පවසන්නේ තමන් මීට පෙර ජාතික මට්ටමේ විභාග හයකදී මෙම සෙල්ලම දැමූ බවයි. ඒවා 'ඉන්ඩිවිජුවල් ක්ලාස්'වලදී සිසුන්ට ලබාදුන් බවයි. මේ පිළිබඳ විස්තර අදාළ රස්තියාදුව අතරතුරදී පාසල් සිසුන්ගෙන් ලබා ගැනීමට හැකිය.

ගම්පහ ප්‍රදේශයේ ජනප්‍රිය පාසල් දෙකක සිසු සිසුවියන් අපට පැවැසුවේ මෙම විද්‍යාව ප්‍රශ්න පත්‍රය, අනිවාර්යයෙන්ම විභාගයට එන බව පවසමින් ප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු තමන්ට ලබා දුන් බවයි. විභාගයෙන් පසු බලන විට ඒ, විභාග ප්‍රශ්න පත්‍රයමය. බහුවරණ ප්‍රශ්නවල නිවැරැදි පිළිතුර හැර, වැරැදි පිළිතුරු පවා ප්‍රශ්න පත්‍රයේ ඒවාමය. විශේෂත්වය වන්නේ අදාළ ප්‍රකට ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ සිද්ධියට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කළ ටියුෂන් ගුරුවරයාගේ පන්තියක් අහලකින්වත් ගොස් නොතිබීමයි.

ලංකාවේ ජාතික විභාගවල විශ්වාසය අද වන විට මේ ජාවාරම්කරුවන්ගේ අතට වැටී තිබේ. ගැටලුව වන්නේ ඒ බව පිළිගැනීමට විභාග කොමසාරිස්වරයා හෝ අධ්‍යාපන ඇමැතිවරයා හෝ අදාළ බලධාරීන් මැළි වීමයි. පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්නපත්‍ර පිට වීමට අදාළව කිසිදු වැරැදිකරුවකු අත්අඩංගුවට ගෙන නැත. හූනා කිව්වා සේ කිව හැකිය. මේ සිද්ධියටද වන්නේ ඒ සෙතේමය. උසස් පෙළ ඉසෙඩ් අගය වැරැද්දූවන්ද නිදහසේ සිටී. ඉතින්, ප්‍රශ්නපත්‍ර පිට කිරීමත් හොඳ ආදායම් මාර්ගයකි.
සිතන්නට නොදන්නා යාන්ත්‍රික අනාගත පරපුරක් බිහි කර ගැනීමේ රට කරවන ඇත්තන්ගේ අරමුණට මේ ජාවාරම්කරුවන් සපයන්නේ මිල කළ නොහැකි සේවයකි. මේ සිදුවීම්වලට අදාළ පරීක්‍ෂණ යට ගසන්නේ ඒ සේවයට උපහාර පිදීමට දැයි යන ගැටලුව මතු වේ. දැන් සිලබස් අවශ්‍ය නැත. විභාග ලිවීමට අවශ්‍ය වන්නේ මුදල් පමණි. ඒ කන්නන්ගර මැතිඳුන් මරා දමන හැටිය.

mawbima