Thursday, May 9, 2013

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අදුරුතම කාල පරිච්ඡෙදය!

සමකාලීන විශ්වවිද්‍යාලයෙහි මූලික කාර්යභාරය වන්නේ අගතියෙන් තොරව සත්‍යය ගවේශණය පෙරදැරි කරගත් ඉගැන්වීම හා පර්යේෂණයයි. මෙම කාර්යභාරය ඉටුකර ගත හැක්කේ ඉගැන්වීම හා පර්යේෂණය කරගෙන යාම සඳහා බුද්ධිමය නිදහස හා විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පවත්වා ගැනීම, ආවේනික හා ස්වාධීන ප‍්‍රමිතීන් / ප‍්‍රමුඛතා සහ දේශාන්තරත්වයට අදාළ අයුරින් විවිධ විෂයධාරා විකාශනය මගිනි. තවදුරටත්, ලීමා සහ බොලොඥ ප‍්‍රකාශන මගින් අවධාරණය කෙරෙනුයේ විශ්වවිද්‍යාල ස්වාධීන සංවිධාන ලෙස පවත්වා ගැනීම මගින් ඒවා විවිධ සංස්කෘතීන් වලට අයත් ශිෂ්‍යයන් හා පර්යේෂකයන් ආකර්ෂණය කරගැනීමේ වැදගත් කමයි.

කෙසේ වෙතත්, ස්වාධීනත්වය පිරිහීයාම දේශපාලනීකරණය වර්ධනය වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල (ගෝලීය සන්දර්හය අනුව බලන කල්හි), විශ්වවිද්‍යාල තත්වය නැතිව යාමේ අවදානමට ලක් වෙමින් පවතී. ගුණාත්මක අධ්‍යාපනයට ආයෝජනය කරන රජයක් ඒ සඳහා ප‍්‍රමාණවත් සම්පත් දායකත්වය සහතික කිරීමට අමතරව අධ්‍යාපන නිදහස හා ස්වාධීනත්වය ද සහතික කළ යුතුය. දැනට ශී‍්‍ර ලංකා රජය පැහැදිලි වශයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය, වෙළඳ භාණ්ඩයක් මෙන් සලකන අතර, විශ්වවිද්‍යාල සමායාත වස්තු වශයෙන් ද, විශ්වවිද්‍යාල අධ්‍යයන පරිපාලකයන් (උපකුලපතීන්, සහාය උපකුලපතීන්, පීඨාධිපතිවරුන් වැනි අය) ව්‍යාපාර කළමණාකරුවන් සේ සලකයි. රජය අපේක්‍ෂා කරනුයේ විශ්වවිද්‍යාල පරිපාලකයන් සිය වැඩසටහනට අනුගත වීම කෙරෙහි පමණකි.

මේ අනුව රජය විශ්වවිද්‍යාල පරිපාලකයන්ගෙන් පහත දෑ අපේක්‍ෂා කරයි.

1. සිය අභිමතයට අනුකූල ලෙසින් පීඨයන් පවත්වා ගැනීම.

2. අවම සම්පත් ප‍්‍රමාණයක් ලබාදීම හා වියදම් කපා හැරීම මගින් ලාභය ‘උපරිම’කරගැනීම.

3. ගුණාත්මක තෘතීයික අධ්‍යාපනයේ පරම නිර්ණායකය වෙළඳපොල අවශ්‍යතා සපුරා ගැනීම මගින් අධ්‍යාපනයේ අරමුණ මූලික වශයෙන් වෙනසකට භාජනය කිරීම.

4. මුදල් අයකෙරෙන පාඨමාලා ක‍්‍රමයෙන් හඳුන්වා දීම මගින් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සඳහා ගුණාත්මක අධ්‍යාපනයට වඩා මුදල් ගෙවීමේ හැකියාව නිර්ණායකයක් සේ සැලකීමයි.

මේ මගින් විශ්වවිද්‍යාල උපාධි කඩ බවට නියතයෙන්ම පත්වන අතර මුලින් සඳහන් කළ පරිදි කීර්තිමත් විශ්වවිද්‍යාලයන් හා බැඳුනු ස්වාධීනත්වය හා අධ්‍යාපන නිදහස සක‍්‍රීයව මැඩපවත්වනු ඇත. මෙය අපේක්‍ෂිත පෞද්ගලික විශ්වවිද්‍යාල මෙන්ම පවතින විශ්වවිද්‍යාල සඳහා ද වූ ක‍්‍රියා පිළිවෙත වනු ඇත. වගකීමෙන් තොර දේශපාලන ගැත්තන් පරිපාලනයේ ප‍්‍රධාන තනතුරුවලට පත්කර ගැනීමේ ශාපනයට අද ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට වන්දි ගෙවීමට සිදුවී ඇත.

පෙර නොවූ විරූ දේශපාලනීකරණය හා ස්වාධීනත්වය බිඳවැටීම හේතුවෙන් මෙම ආයතන ජනතාවගේ නෙතට ලක්වන්නේ රිණාත්මක ආකාරයෙනි.මෙසේ වී ඇත්තේ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය හා අධ්‍යාපන නිදහස අවබෝධ කර ගැනීම හා ගෞරවාන්විතව සැලකීමේ වැදගත්කම පරිපාලකයන්ට හා රජයට ඒතතු ගැන්වීම සඳහා මහජනතාව උනන්දුකොට රජයට දැඩි පීඩනයක් ඇති කරනුවස් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය එහ ශාඛා මගින් ගනු ලැබූ උත්සාහයන් ද පවතිත්දීම ය.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ අප විසින් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් වූ විට විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අධ්‍යාපන නිදහස සහ දේශපාලනීකරණය සම්බන්ධයෙන් ඒ ඒ විශ්වවිද්‍යාල සනාතන සභාවාර පැවැත්වීමට තීරණයක් ගනු ලැබීය. එසේ වුවත්, රජය දේශපාලන මැදිහත්වීම පෙර නොවූ මට්ටමට ගෙන එයින් අපේ විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය උල්ලංඝනය කිරීම සඳහා වෙර ගනී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුපතිවරයා පත් කිරීම දිගින් දිගටම පවත්නා මතභේදයක් බවට පත්ව තිබීම මී මනා නිදසුනකි. ශී‍්‍ර ලංකාවේ විශ්වවිද්‍යාලයන් අතර පැරණිතම වුවක් වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය (සිලෝන් යුනිවර්සිටියද ඇතුළත්ව) ද මින් ගැලවිය නොහැකි විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය අවම සිදුසුකම් සහිත අපේක්‍ෂකයා රජය විසින් තෝරා ගන්නා ලද්දේ සාවද්‍ය පාලනය හා පෞද්ගලික වාසි ඉස්මතු වන ආකාරයෙනි. පවත්වනා කි‍්‍රයා පිළිවත්වලට අනුකූලව කි‍්‍රයාකරවීම ඒත්තු ගැන්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය (FPUTA)නව උපකුපලපති වරයා නිල වශයෙන් හමුවී තමා නායකත්වය ලබාදෙන ආචාර්ය සංගමයේ විශ්වාසය දිනාගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

එහෙත් ඒ එසේ නොවීම නියෝජ්‍ය උපකුපති පත්කිරීමද ඉන් පසු සිදුවූයේ ආචාර්ය සංගමය නොව රජයට පක්‍ෂපාතී පරිපාලකවරුන්ගේ අභිලාෂයනට අනුකූල අන්දමිනි. පත්කරනු ලැබූ පුද්ගලයා සිය හිතුවක්කාර හා අධම චරියාවන් නිසා ශිෂ්‍යයන් මෙන්ම ආචාර්ය මණ්ඩලය මෙන්ම දෙපාර්ෂවය කෙරෙහි මෙන්ම විරෝධාකල්පයන් ඇත්තෙකු වූ හෙයින් වැදගත් වගකීම් දරණ නිලයකට මනා සිහියෙන් යුත් පරිපාලනයක් විසින් පත් කල යුතුව නොතිබුණි. එයට විරෝධය පෑමක් වශයෙන් සියළුම පීඨවල ආචාර්යවරුන් විසින් අත්සන් කරණු ලැබූ පෙත්සකම් සිය සංගමය විසින් නියෝජ්‍ය උපකුපති තනතුරට වෙනත් කෙනෙකු පත්කිරීම සඳහා ඉල්ලමින් ඉදිරිපත් කරන ලදී.

එහෙත් එය නොසලකා හරින ලදී. මේ අන්දමින් ස්වාධීනත්වය එරෙහිව පෙර නොවූ විරූ සම්භාදක නවත්වාලනු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය විසින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හරහා 2013 දෙසැම්බර් 17 වන දින සංකේත වැඩවර්ජනයක් පවත්වන ලදී. එයට පරිපාලනයෙන් ධනාත්මක ප‍්‍රතිචාරයක් නොලැබුන හෙයින් නියෝජ්‍ය උපකුපති හා ඝෘජුව සම්බන්ධ සියළු ස්වචේඡා තනතුරුවලින් ඉවත්වීමට ආචාර්ය සංමගය තීරණය කරන ලදී.

එසේම විශ්වවිද්‍යාල ස්වාධීනත්වය අධ්‍යයන නිදහස පරිහානියට යාමට එරෙහිව තීරණාත්මක අවස්ථා සංසිද්ධි ආදියෙහි අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පරිදි විරෝධතා දක්වනු ඇත. මේ වසරේ උපාධිප‍්‍රධානෝත්සවය හා රාතී‍්‍ර භෝජනයට වැලකී සිටීමට ද අධ්‍යයන කාර්ය මණ්ඩලය සලකා බලමින් සිටී. මෙම අවස්ථාව ශිෂ්‍යයනට කෙතරම් වැදගත්ද යන අවබෝධයෙන් හා සංවේදීතාවයෙන් යුත් හෙයින් මෙය අවසාන උපාය මාර්ගයක් වනු ඇත. මෙබඳු පියවරක් ගැන අකමැත්තෙන් හෝ සලකා බලමින් සිටිනුයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලනීයකරණය වූ පරිපාලකයන් විසින් සමස්ත අධ්‍යයන කාර්ය මණ්ඩලයේ අභිලාෂය කෙරෙහි දක්වන අධම මෙන්ම අසංවේදී බවට සිය විරෝධය දැක්වීම වශයෙනි. නියේජ්‍ය උපකුලපති සහභාගි වන සියළු රැස්වීම්ද සාමජිකයන් විසින් වර්ජනය කරනු ලැබ ඇත. මැතදී පීඨමණ්ඩලයක් නියෝජ්‍ය උපකුලපති විසින් එම මණ්ඩලය ඇමතීමට උත්සාහ ගැනීමේදී විසිර ගොස් ඇත. දැන් නියෝජ්‍ය උපකුපතිවරයා විසින් පීඨ මණ්ඩල ඇමතීමට උත්සාහ නොකරයි. මෙකී කි‍්‍රයා මගින් විශ්වවිද්‍යාලවල සිදුවන පෙර නොවූ විරූ කි‍්‍රයාවලට විරෝධතා මගින් අභියෝග කිරීම ද සාමජිකයත්වයට හැකි වී තිබේ.

නිසි දේ කිරීම සඳහා පාලකයන්ට බලපැම් කිරීමට ගත් මෙබදු උත්සහයන් පැවතියද මෑත සිදුවීම් පෙනී යන්නේ පාලකයන් හා ඔවූනට දිරි දෙන්නන් තුල ඇති දරඳඬූ ස්වභාවයයි.මෑතදී(අධ්‍යන කාර්යමණ්ඩලය පමනක් නොව)පීඨ සභාව ගත් තීරනඳ පසෙකලා වෛද්‍ය පීඨයේ පීඨාධිපති වරයා අනියම් ක‍්‍රම මගින් සැක සහගත අධ්‍යාපන වාර්තා සහිත සිසුන් දස දෙනකු එම්.බී.බී.ඇස් පාඨමාලාව සඳහා මග සලසා ඇත. ලැබී ඇති ඇති ආරංචිවලට අනුව මෙම ශිෂ්‍යයන් විසින් සිය අධ්‍යාපන සිදුසුකම්වලට අඩුපාඩු සඳහා හිලව් වන පරිදි විශාල ධන සම්භාරයක් ගෙවනු ඇත.

මෙයින් නොනැවතී එම තීරණවලට එරෙහි වී විරෝධතා දැක්වූ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ට තර්ජන ගර්ජන කිරීමට අදාල දේශපාලන හාම්පුතුන් හා ඔවුන්ගේ ගැත්තන් කි‍්‍රයාත්මක වූ බව ද සැලයි. අදාල අධිකාරීන්ගේ පැහැදිලි අවශ්‍යතාවය වී ඇත්තේ පේරාදෙණිය වෛද්‍ය පීඨය උපාධි කඩයක් බවට පත්කිරීම වන අතර කනගාටුවට කරුණ වන්නේ විශ්වවිද්‍යාල පාලකයන් විසින් ඊට ඉඩ සලසා දීමයි. එසේ වුවත් මෙම මනා සැලසුමකින් කි‍්‍රයාත්මක කල මෙම උත්සාහය සිය මූල ධර්මය කෙරෙහි දැඩිව බැඳී සිටින වෛද්‍ය පීඨ සභාව විසින් ව්‍යර්ථ කරනු ලැබ ඇත.පෙර නොඇසූ විරූ මෙබදු අකටයුතු කම් පිළිබඳ පුවත් සමස්ත විශ්වවිද්‍යා පද්ධතිය තුලින් මතුවන පුවත් අතර වේ.

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අදුරුතම කාල පරිච්ෙඡ්ද ලෙස හැඳින්විය හැකි මෙම අවස්ථාවේ සිය අයිතිවාසිකම් රැකගැනීම සඳහා සිය අරගලය තීවුර කිරීමට ශී‍්‍ර ලාංකීය අධ්‍යයන කාර්ය මණ්ඩලයට කාලය එළඹ ඇත යනු අපි විශ්වාස කරමු. අපගේ ආයතන පමනක් නොව අභිමානයට ද වින කරන අදුරදර්ශී නරුමයන්ට එරෙහිවීමට එකසත්ව නැගී සිටීමට අවස්ථාව පැමිණ ඇත. අප නිවැරදි යැයි විශ්වාස කරන දේ වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වීමේ අවස්ථාව එළඹ ඇත.

Sunday, May 5, 2013

විශ්වවිද්‍යාල පෞද්ගලීකරනයේ රජයේ රහස් වැඩපිලිවෙල.

                                                බාගතකිරීමට මෙතනින්

Friday, May 3, 2013

මාලඹේ උපාධි කඩය

ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම.....
හොරකම් කරපු මුදලින්, හොර තිප්පලකට දාන දෙනවා වගේ වැඩක්.... -වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව-

‘‘ආණ්ඩුව මාලඹේ උපාධි කඩය පවත්වගෙන යන්න පුළුවන් උපරිම මැදිහත්වීම කරමින් ඉන්නවා. ඒ පිළිබඳව ජනතාව තුළ යහපත් චිත‍්‍රයක් හදන්න නිරුවතින් රඟන තත්වයකට දැන් පත්වෙලා. ජනාධිපතිවරයාගේ සිට එක පෙළට පහළට සියළු දෙනා දැන් මේ රංගනයට සහභාගී වෙලා. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තව දුරටත් පැවතිය යුතුයි කියලා හිතන සියළු දෙනා මේ තත්වය පරාජය කරන්න පෙරට ආ යුතුයි කියලා අපි ඉල්ලා සිටිනවා.’’

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සහෝදරයා මෙම අදහස් ප‍්‍රකාශ කළේ පසුගිය 25 වන බ‍්‍රහස්පතින්දා මරදාන CSR ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ සහෝදරයා...

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව විදිහට මෙහෙම මාධ්‍ය හමුවක් සූදානම් කරන්න ආසන්න හේතූන් දෙකක් තියනවා. පළමුවැන්න තමයි පසුගියදා ජනාධිපතිවරයා අතින්, ජනාධිපති අරමුදලෙන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ශිෂ්‍යයන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දීම. අනෙක් කාරණාව තමයි අගමැතිවරයා ඇතුළු පිරිස විසින් එම ආයතනයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් විවෘත කිරීම. පසුගිය අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ මේ සිද්ධීන් දෙකම සිද්ධවුනේ දැවැන්ත මාධ්‍ය සංදර්ශන සහිතව. බලා හිටපු ජනතාවට ‘‘මේක නම් මාරයි’’ කියලා හිතෙන තරමට ආණ්ඩුව මේ සඳහා මැදිහත් වෙලා තිබුණා. අපි අද මාධ්‍ය හමුව පවත්වන්නේ ඒ කියන විදිහට මේක මාර නෑ, මේක සමස්ත සමාජයක අනාගතයට මරු කැඳවනවා කියන යථාර්තය පැහැදිලි කරන්න.

2008 වසරේ ඉදිකරපු මාලඹේ SAITM ආයතනයට ආණ්ඩුවේ සෘජු අනුග‍්‍රහය ලැබෙන්න පටන් ගත්තේ 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වත්මන් ආණ්ඩුව පත්වුනායින් පස්සේ. උසස් අධ්‍යාපන ඇමති කමට එස්.බී. මහත්තයා පත්වීමෙන්ම ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පැහැදිලි වෙනවා. ඔවුන් තමන්ගේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය අධ්‍යාපන පෞද්ගලීකරණයයි, පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරීමයි කියන එක ඉතිහාසයේ පළමු වතාවට නිළ වශයෙන් පිළිගත්තා, ඒ අනුව කටයුතු කිරීම ඇරඹුවා. ඒ අනුව තමයි 2011 සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කළ විශේෂ ගැසට් පත‍්‍රයක් මඟින් මාලඹේ ඒ උපාධි විකුණන ආයතනයට රෝහලක් ඉදිකරගන්නය කියලා රුපියල් මිලියන 600 ක මුදලක් ලබා දෙන්නේ. එහෙම කරන්නේ අවසන් වසර නිමකරන්න අවශ්‍ය පහසුකම් නැතිව, ඒවාට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන්නේ නැතිව රජරට වෛද්‍ය පීඨයේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ජීවිත අවුරුද්දකට අධික කාලයකින් පසුපසට ගියපු යථාර්තයක් ඇතුළේ. අනෙක් විශ්ව විද්‍යාලවල තත්වයත් මේකම තමයි.

ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනය ගැන ඒ ආකාරයේ දැක්මකින් ඉන්න ආණ්ඩුව තමයි ශිෂ්‍යයන් 10 දෙනෙකුට සරසවි වරම් දෙන්න මේ තරම් දඟලන්නේ. ඒකත් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් එක්ක. මුලින්ම කැබිනට් ප‍්‍රකාශක මාධ්‍යයට කියනවා උසස්පෙළ ඉහළින් සමත්වෙලා සරසවි අවස්තා නොලැබුණු සිසුන් ගැන ජනාධිපතිවරයට හුඟක් දුක හිතිලය වගේ කතාවක්. ඊට පස්සේ ජනාධිපතිවරයම රැස්වීම කිහිපයක කියනවා මොනවා හරි කරන්න ඕන මේකට, මාර ප‍්‍රශ්නයක්, ශිෂ්‍යයෝ ගොඩක් ඉහළින් උසස්පෙළ සමත් වෙලා සරසවි අවස්තා නොලැබී ඉන්නවා කියලා. ඊට පස්සේ තමයි විසඳුම විදියට මාලඹේ උපාධි විකුණන ආයතනයට ශිෂ්‍යත්ව 10 ක් ලබා දෙන්නේ මාධ්‍ය එහෙම කැඳවලා. අපි අහනවා දැන් හරිද කියලා. දැන් මේ හදන්නේ ජනතාවගේ අධ්‍යාපනය විනාශ කරන මෙවැනි උපාධිකඩ වලට ඒවායේ යථාර්තය වහලා, පුණ්‍යායතන වගේ ප‍්‍රතිරූපයක් හදන්න.
අනෙක තමයි ශික්ෂණ රෝහලක් විවෘත කිරීම. ඔවුන් කියනවා මෙය ඇඳන් 1001ක් සහිතව ලංකාවේ මෙතුවක් කාලයකට ඉදිකරපු විශාලතම ශික්ෂණ රෝහලයි කියලා. අගමැතිවරයා තමයි ඒක විවෘත කරන්න සහභාගී වෙන්නේ. අපිට ඒ සම්බන්දව පැහැදිලි කිරීමක් තියනවා. අනෙක් කාරණා සියල්ලම නොසලකා හැරියත් අපි දන්නවා ලංකාව ඇතුළේ පෞද්ගලික රෝහලකින් අධ්‍යාපනය දීලා වෛද්‍යවරයෙක් බිහිකරනවා කියන එක යථාර්තයක් නෙමෙයි. මොකද ඇඳන් තිබුණට ඇඳන් වලට බෑ වෛද්‍යවරු හදන්න.

අපි තේරුම් ගත යුතුයි ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාව. උසස් අධ්‍යාපනය මුළුමනින්ම අඩපණ කරලා ඒ නිසා අර්බුදයක් මතුවෙනකොට, ඒ අර්බුදය විකුණන් කෑමක් තමයි මේ සිදුකරන්නේ. ජනාධිපතිවරයා ජනතාවගේ මුදල්වලින් ගෙවලා මාලඹේට ශිෂ්‍යයන් 10 දෙනෙක් යවනවා. මේක නිකන් හොරකම් කරලා දාන දෙනවා වගේ වැඩක්.

ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ දේවල්වල සැබෑව තේරුම් ගන්න කියලා. එහෙම නැතුව ජනාධිපති ඇතුළු නඩය කරන මේ මාධ්‍ය සංදර්ශන වලින් ඇස් නිලංකාර කරගත්තොත් අනිවාර්යෙන්ම ඒ අතරේ පිටිපස්සෙන් ඇවිත් පොල්ලකින් ගහනවා ජනතාවගේ ඔලූවටම. ඒක තමයි ඇත්ත.

අපි තව උදාහරණයක් කියන්නම්. අපි දිගටම අරගල කළා වෛද්‍ය අධ්‍යාපනය නංවන්න නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල හකුළා ගන්නා ලෙසත්, ඒ වගේම රජයේ වෛද්‍ය පීඨ පුළුල් කරන්න සහ වෛද්‍ය පීඨ නැති විශ්ව විද්‍යාලවල අලූතෙන් වෛද්‍ය පීඨ ඇති කරන්න කියලා. සබරගමුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රධාන සැලැස්මේ සඳහන් වෙනවා 2010 වසර වෙද්දි වෛද්‍ය පීඨයක් ඉදිකරලා පළමු කණ්ඩායම බඳවාගන්න. ඒ සඳහා රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් වශයෙන් නම් කරලා තියෙන්නේ. වෛද්‍ය පීඨය ඉදිකිරීමට ඒ ආසන්නයේ ඉඩම් පවා වෙන්කරලා තියෙන්නේ. නමුත් එවැන්නක් සිදුකරන්නේ නෑ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට පොඩි හරි අවශ්‍යතාවයක් තියනවනම් උසස්පෙළ ඉහළින් සමත් වුණු කාටත් සරසවි අවස්තා ලබා දෙන්න කළ හැකි, කළ යුතු දේවල් ඕන තරම් තියනවා. සබරගමුව වෛද්‍ය පීඨය ගොඩනැඟුවා නම් 10 දෙනෙකුට නෙමෙයි, තවත් සිසුන් 200කට ඉගෙනගන්න අවස්තාව ලැබෙනවා. අපි මේ රටේ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ කරන බොරුව තේරුම් ගන්න කියලා.

මේ කරන්න හදන්නේ මේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය අංශක 180 කින් හරවන්න. ඒකට මුදල් දෙනවා, සහතික දෙනවා, මාධ්‍ය අනුග‍්‍රහය දක්වනවා විතරක් නෙමෙයි මේ ජාතියේ නාට්‍ය පෙන්වන්න පවා ජනාධිපතිගේ සිට පහළට ආණ්ඩුව එක පෙළට සූදානම් වෙලා ඉන්නේ. අපිට මේක තවත් එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෙමෙයි. ආණ්ඩුව අධ්‍යාපන ක‍්‍රමයම පෞද්ගලීකරණය කරන්න, අධ්‍යාපනයත් තවත් එක වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්න යන ගමනේ, යන පෙරහැරේ ඉදිරියෙන්ම ගෙනියන කරඩුව තමයි මාලඹේ උපාධි කඩය. මේ කරඩුව බිම දාලා මේ පෙරහැර නැවැත්තුවේ නැත්නම් මේක හෙට දවසේ විකසිත වෙන්න බලාගෙන ඉන්න උපන් නූපන් දරු පරම්පරාවක හිස් මතින් ගමන් කරනවා. කුමන අසීරු තත්වයක් යටතේ වුනත් අපි ඒක යථාර්තය කියලා බාරගන්නේ නෑ. මේ සමාජය තුළ, මේ සමාජ ක‍්‍රමය තුළ අපේ ජීවිත වල හැම අස්සක් මුල්ලක්ම තීරණය කරන්නේ මුදල්, ආර්ථික සාධක මත. අපි කන්නේ බොන්නේ මොනවද, එහෙමත් නැත්නම් බඩගින්නේ ඉන්නවද, අපි අඳින්නේ මොන වගේ ඇඳුමක්ද, අපි ගමනක් බිමනක් යන්නේ පයින්ද පාරේ බස් එකේද එහෙමත් නැත්නම් කාර් එකකද කියන තැන ඉඳන් උපත, විවාහය, මරණය මේ හැම දෙයක්ම තීරණය කරන්නේ අතේ තියන මුදල, ආර්ථික සාධක මත. නමුත් කවුරු හරි දරුවෙක්ට ඉගෙනගන්න ආසාව, උනන්දුව, කැපවීම තියනවා නම් ආර්ථික සාධක නොසලකා පළමු වසරේ සිට උපාධිය දක්වා අධ්‍යාපනය ලබන්න හැකියාවක් මෙතෙක් තිබුණා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය පැවති නිසා. මේ නැති කරන්නේ අන්න ඒ අවසන් දේ.

අපි ජනතාවට ආරාධනා කරනවා මේ අරගලයත් එක්ක ඒකාබද්ධ වෙන්න කියලා. මේක අද දවසේ කුමන අසීරුතා මධ්‍යයේ හරි ජයග‍්‍රහණය කරා අරන් නොගියොත් විනාශ වෙන්නේ සමස්ත සමාජයක අනාගතය. අපි ඉදිරි සති 02 තුළ වෛද්‍ය පීඨ තුළ වැඩමුළු පවත්වමින් ආණ්ඩුවේ මෙම ප‍්‍රවේශය ගැන පුළුල් සාකච්ඡාවක් ගන්නවා. ඊට ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ තීරණයකට එනවා. ඉන් පස්සේ දැවැන්ත උද්ඝෝෂණ ආරම්භ කරන්න අපි සූදානම්. අපි ජනතාවගෙන් ඉල්ලනවා අපිට සහයෝගය දක්වන්න, මේ අරගලයත් එක්ක එකතු වෙන්න කියලා..