Friday, October 19, 2012

ප්‍රශ්න පත්‍රයෙන් ටියුෂන් දීම


පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස්‌ පෙළ විභාගය යන ප්‍රධාන විභාග තුන පැවැත්වීමට සතියකට පෙර ඒ විභාගවලට අදාළ ටියුෂන් පන්ති, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙයට ප්‍රධාන හේතුව මෙම විභාග පැවැත්වීමට පෙර ඒවාට අදාළ ප්‍රශ්න පත්‍ර ටියුෂන් මාස්‌ටර්ලා වෙත පිට නොවන බවට ආණ්‌ඩුවට 'ෂුවර් එකක්‌' නැති වීමය. විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පත්‍රයක්‌ පන්නා ගැනීම යනු පණ යන වැඩකි. 1970 ගණන්වල ප්‍රශ්න පත්‍රවල සෝදුපත් හෙවත් 'පෲµa' පන්නා ගෙන යමින් සිටි රජයේ මුද්‍රණාලයේ මුද්‍රණ ශිල්පියකුගේ වැඩ තහනම් කරන ලදී. 

ඉන් පසු ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරන කාලයට සේවය නිම වී පිටව යන රජයේ මුද්‍රණාලයේ සේවකයන්ගේ සර්වාංගයම පරීක්‍ෂා කර බලන ලදී. මෙවිට ඔවුහු ප්‍රශ්න පත්‍ර තම ලේන්සුවේ මුද්‍රණය කර ගෙන පිටතට ගෙන ගොස්‌ අලෙවි කළහ. එයත් අසු වූ තැන ලේන්සු ද තහනම් කරන ලදී. ඊළඟට ඔවුහු සුදු පැහැති අමුඩ ලේන්සුවලට මාරු වූහ. අමුඩ ලේන්සුවක සාමාන්‍ය වර්ණය නිල් පැහැයයි. මුද්‍රණාලය තුළදී සරම තුළින් හෙමිහිට අමුඩය ඇදගත් ඔවුහු ප්‍රශ්න පත්‍රයේ පිටපතක්‌ එහි මුද්‍රණය කරගෙන යළි අමුඩය ගසා ගත්හ. අමුඩය තහනම් කළ හැකි ද? නො හැක. එය මනුෂ්‍යයා ශිෂ්ටත්වයට පත් වන විට විලි වසා ගැනීමට පාවිච්චි කළ, පිළියෙන් නිමැ වූ පළමුවැනි ඇඳුම් කිහිපයෙන් එකකි. සිංහලයා යනු පුදුම මිනිසෙකි. ඔහු සමඟ හැරෙන්නට කිසිම ජාතියකට බැරිය. 1900 ගණන්වල සිටි මුද්‍රණ ශිල්පියෝ සුදු සරමේ ඇතුළු පැත්තේ ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කර ගත්හ. ඒ කාලයේ OFF SET නමැති සමතල මුද්‍රණ ක්‍රමය නො තිබූ අතර HOT METAL ක්‍රමය නමැති තාක්‍ෂණය විය. මෙය අකුරු අමුණා මුද්‍රණය කළ අතීත මුද්‍රණ ක්‍රමයට සමාන ය. මේ ක්‍රමය මගින් ප්‍රශ්න පත්‍ර එකක්‌ වුව මුද්‍රණය කර ගත හැකි ය. අද තිබෙන OFF SET යන්ත්‍රවලට ඇඳ සිටින සරම දැමුවොත් එහා පැත්තෙන් එළියට එනු ඇත්තේ මිනිහා පිටින්ම ය. ඔහු ගණනට තැළී මුද්‍රණය වී ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයට කැපී යන්ත්‍රය මුල ඇති කුඩා වේදිකාව මතට ගොඩ ගැසෙනවා ඇත.

මේ රටේ 'බඩු' පිට නො වන්නේ සල්ලි අච්චු ගසන කොම්පැනියෙන් පමණි. අනෙක්‌ හැම ආරක්‍ෂිත ස්‌ථානයකින් ම 'බඩු' පිට වෙයි. ප්‍රධාන විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම කොතරම් ආරක්‍ෂා සංවිධාන තිබුණත් වැළැක්‌විය නොහැක. දූෂණය සම්පූර්ණයෙන් ම නැති කළ කිසිදු රටක්‌ ලොව නැත. කළ හැක්‌කේ දූෂණය අවම කිරීම පමණි. පසුගිය කාලයේදී විභාග ඔන්න මෙන්න කියා තිබියදී ටියුෂන් මාස්‌ටර්ලා කිහිපදෙනෙක්‌ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ බවට කතන්දර පැතිර ගියේ ය. නැත්නම් විභාගය කට මුල තියා ටියුෂන් ගුරුතුමා සාකච්ඡා කළ ප්‍රශ්න පත්‍ර විභාගයට ආවේ ය. ප්‍රශ්න පත්‍රයක්‌ යනු එක්‌ අයකු විසින් සාදනු ලබන්නක්‌ නොවේ. ඒ සඳහා උපදේශක මණ්‌ඩලයක්‌ම සහභාගි වෙති. එක්‌ එක්‌ උපදේශකයා ලවා ප්‍රශ්න පත්‍රය බැගින් හෝ ප්‍රශ්න 5 බැගින් සාදන අතර අවසානයේදී සියලු දෙනාම සෑදූ ප්‍රශ්නවලින් එක බැගින් තෝරා ප්‍රශ්න පත්‍රය පිළියෙල කරනු ලැබේ. මේ අතර තවත් කාරණයක්‌ තිබේ. එනම් පුද්ගලයන් කිහිපදෙනකුට සමාන අදහස්‌ පහළවීමයි. විභාග ප්‍රශ්න පත්‍ර සාදන ගුරු උපදේශක මණ්‌ඩලයේ මොළයට එන ප්‍රශ්න හා සමාන ප්‍රශ්නම ටියුෂන් ගුරුතුමාගේ මොළයටත් එන්නට පුළුවන. ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන්වල එකතුවක්‌ බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ හෙන්රි කැවෙන්ඩිෂ් 1783 දී සොයා ගත්තේ ය. එහෙත් ඔහු ඒ බව කාටවත් කීවේ නැත. මේ අතර ඡේම්ස්‌ වොට්‌ නමැති විද්‍යාඥයා ද එම වසරේම ජලයේ සංයුතිය හයිඩ්‍රජන් සහ ඔක්‌සිජන් බව සොයා ගත්තේය. ඔහු එය ප්‍රසිද්ධ කළේ ය. ඒ අනුව ජලයේ සංයුතිය සම්බන්ධයෙන් අද ඉතිහාස පොත්වල ඇත්තේ ඡේම්ස්‌ වොට්‌ ගේ නමය.

විභාග ආසන්නයේදී සම්මන්ත්‍රණ තහනම් කිරීම ගැන කියන විට අපට මතක්‌ වන්නේ මැතිවරණයට පැය 72 කට පෙර සියලු ප්‍රචාරක ක්‍රියා තහනම් බවට ඇති නියෝගයයි. එහෙත් ඡන්ද අපේක්‍ෂකයා හිතවතුන් බැලීමට ගෙන් ගෙට යමින් ගෙන යන ප්‍රචාරය ආවරණය කිරීමට ඒ නීතියට බැරි ය. එසේම ටියුෂන් ගුරුතුමා ගෙදරට කැඳවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම තහනම් කිරීමට ආණ්‌ඩුවට බැරි ය. එසේ නම් කළ යුත්තේ විභාගයට සතියකට පෙර ටියුෂන් ගුරුවරුන් සහ ටියුෂන් දෙන රජයේ ගුරුවරුන් අල්ලා රිමාන්ඩ් කිරීම ය. අමුඩ ලේන්සුවක් ගිය දුරක තරම!

උපුටාගැනීම දිවයින

Thursday, October 18, 2012

යදමින් බැඳ විලංගුලා ෴

හුදෙක් මෙය මාගේ දැක්ම පමණක් නොවේ, අප සැමගේ දැක්ම විය යුතුය.
බ්ලොග් එකේ අද මාතෘකාව කර ගත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පද රචනයෙන්,  අපෙන් සමුගත් සරත් දසනායක මහතාගේ සංගීතයට විශාරද නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන, “පවන“ ගීත සමුච්ඡයේ වූ පහත ගීතයයි. අතීතයේ සිට අද දක්වාම සමාජ පාලනයේ පැතිකඩක් ගතහොත් මෙම ගීතයෙන් කියවෙන සමාජ අසාධාරණය ඒ ආකාරයෙන්ම සිදු නොවුනත්, එය අඩු වැඩියන් සහිතව තවමත් සිදු වෙමින් සහ සිදු කරමින් පවතී.

අප රටේ රාජ පාලන ක්‍රමයේදී රජුගේ පාලනය තහවුරු කර ගැනීමට සහ රට පාලනයට ඉවහල් කර ගනු වස් දෙතිස් වධය ක්‍රියාත්මක විය. මෙම ගීතයෙන් කියවෙන පරිදි සමාජ අසාධාරණයන්ගෙන් මිදී සමාජවාදී සමාජ විප්ලවයක් කරා සමාජය මෙහෙයවීමේ මෙහෙවර පාපයක් කරගත්, තරුණ/තරුණියන් දහස් ගණනක් වධයට සහ මරණයට පත් කරයි. සෞන්දර්යාත්මකව අරුත් ගැන්වීම සදහා දෙතිස් වධය යන වදන භාවිත කළද ඇත්තෙන්ම එය ඊට සීමා නොවීය. පැරණී රාජ ක්‍රමය තුළ දී දඩුවම් දීම සදහා මෙයින් එක් වධයක් තෝරා ගත්ත ද, වර්තමානයේ පවතින බල ලෝභී බාවය, දේශපාලනිත කෘෘරත්වය, විකෘත්ති ධනේෂ්වර සමාජ ක්‍රමය හේතුවෙන් එහි සීමාවක් නොමැතිය.




යදමින් බැඳ විලංගුලා - මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුණුවන්
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට ‍එරට අධිකරනය - නීතිය හා විනිසුරන්

කකා බිබී නටන අතර - නරුම යහළු යෙළියන්
පන්දු කෙළින අතර ඉහල - පාසල් වල අමණයන්
රටගිනි ගෙන ඇති වග දුටු - මගේ එකම පුතණුවන්
එගිනි නිවන මඟ සෙවීම - වරදක් දැයි මට කියන්

යදමින් බැද විලංගුලා...//

ගිනිගන්නා රටක කෙළින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

යදමින් බැද විලංගුලා...//

විශාරද නන්දා මාලනී                             
වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම නන්දා මාලනී මහත්මිය යනු අග්‍රගන්‍යයේ ශේෂ්ඨ ගායිකාවකි. එමෙන්ම තාමත් නිරහංකාර මෙන්ම, නිර්පාක්ෂිකව සමාජ යතාර්ථය දකින පොළෝවේ පය ගසා සිටින ගායිකාවකි. දිලිදු පවුලක උපත ලද ඇය, ඇගේ අසීමිත හැකියාවෙන් ඉදිරියට ආවද තමන් නියෝජනය කළ සමාජ පංතිය අමතක කළේ නැත. මාගේ අදහසට අනුව ඇය දේශයේ වීරවරියකි. ඇය පසුගිය (2012-10-14) අවසන් ශ්වේත රාත්‍රියේදී ඇගේ “පවන“ සහ “සත්‍ය‍යේ ගීතය“ යන ඇල්බම්වල ගී කිහිපයක් ගායනා කිරීමේන් මේ බව නැවත පසක් කළා නෝවේද.

මහාචාර්ය සුනිල් ආරියරත්න

සුනිල් ආරියරත්න මහතා ද ඉතා විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු වන අතර, ඔහු එදා දුටු සමාජ යතාර්ථය අද නොදැකීම හෝ දේශපාලන පක්ෂග්‍රාහී වීම හේතුවෙන් හෝ ඔහු වෙත ද වීරත්වයක් ආරූඩ කිරීමට තබා විශේෂයෙන් ඔහුගැන යමක් කීමට මා හට නොසිතේ. නමුත් ඇත්තෙන්ම ඔහුගෙන් එවකට බිහිවූ නිර්මාණ, එදා මෙන්ම අද සමාජයේ ද යතාර්ථය සෞද්ධර්යාත්මකව අප මනසේ ප්‍රකෘත්තිමත් කිරීමට සමත් වූ බව කිව යුතුය. එනම් කලා කෘතියක තිබිය යුතු උසස්ම ලක්ෂණ නොඅඩුව එකී කෘතිවල අන්තර්ගතව තිබුනි.

සංගීතඥ සරත් දසනායක                

සංගීත අධ්‍යක්ෂකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයකු, වූ සරත් දසනායක මහතා උක්ත ගීතයට මෙන්ම තවත් ගීත විශාල සංඛ්‍යාවකට ස්වර මුසු කරමින් අප සවන් පිනවීමට මහත් දක්ෂතාවයක් දැරුවෙකු විය. ඔහුගේ ස්වර නාද මනා සේ අප මනසට රිංගවීමටත් ගීතයේ අරුත් අවබෝධ කරලීමටත් සමත් විය. එය අද බොහෝ සෙයින් ඇසෙනාවූ දෙපා නලවන හෙවත් හැගීම්වලට වහල් වූ සංගීතයට වඩා කෙතරම් විශිෂ්ඨද යන්න ඔබට පසක් කර ගත හැකිය.  


නමුත් අද සමාජ තලය තුල එවන් අග්‍රගණයේ කළාකරුවන් බිහි වීම උගහටය. රටේ ආර්ථිකයේ හැසීරීම මත පීඩනයට සහ ව්‍යාකූලත්වයට පත් මනස් ඇති මිනිසුන් සැනසිය හැකි ආකාරයේ ගි තොරක් නැතිව බිහිවෙන මෙවන් යුගයක, උසස් රස වින්ධනයක් ලැබිය හැකි ආකාරයේ ස්වභාවික ගීත මෙන්ම වෙනත් කලා කෘතී ද බිහි නොවෙනවා ම නොවේ. නමුත් එකී ගීතද සමාජ සංශෝධයකට හෝ අවම වශයෙන් සමාජ යතාර්ථය පසක් කිරීමට සමත් නොවීම ඉතා ඛේදනීයයි. උසස් යතාර්තවාදී නිර්මාණ බිහි නොවීමට තවත් ප්‍රබල සාධකයක් වනුයේ ධනේෂ්වර පාලනයක ක්‍රමයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකිනම් හෝ පාලන ක්‍රමය විවේචනය වේනම් එකී නිර්මාණය සමාජගතවීමට ඉඩ නොදීමයි. ඉහත ගීතය මෙන්ම තවත් ගීත ගණනාවක් ද,  තහනමට ලක්වනුයේ එබැවිනි. එපමණක්ද නොව යහපත් සමාජ සංශෝදනයකට මං පෙත් සැකසීමේ පාපය හේතුවෙන් ඔහුන්ට එම කාල වකවානුවේ දී රට හැරදා පලා යාමටද සිදුවනුයේ එබැවිනි.

නැවත  ඇත්තෙන්ම 60-90 අතර කාලය තුල බිහි වූ විශිෂ්ඨ කළා කෘතී හා සමාන නිර්මාණය කෙතෙක් දුරට අද බිහි වෙනවාද? අතරින් පතර බිහිවන හෝද කෘතී වලට සමාජයේ තැනැක් නොලැබී යනුයේ මන්ද? අද රූපවාහිනිය සහ රේධියෝව විවෘත්ත වී ඇත්තේ මොනවාද? මේ සියල්ලම අද ඉලක්කකර ඇත්තේ බුද්ධිය නොව මිනිස් හැගීම් නොවේද? සියල්ල අලේවි වන සහ අලේවි කරමින් පවතින ලෝකයේ අධ්‍යාපනය මෙන්ම කලාවත් අලෙවි විය යුතුද? එහිදී සමාජ සත්තා යතාර්ථ මූලධර්මයට යටත් කෘතී බිහි වෙයිද?


හොද, යහපත් ජාතියක් බිහිකිරීමට කලාව වැදගත් නොවේද? නමුත් අද අපේ කලාවට සිදුවී ඇත්තේ කුමක්ද? යහපත් සාරධර්මයන්නේ පිරි සමාජයක් බිහිකිරීම උදේසා කලාව පෝෂණය කළ යුතු බව පාලන තන්ත්‍රවලට නොතේරෙන්නේ මන්ද?  අවම තරමින් ඔහුන්ටද කලාවේ ඇති කාර්යබාරය සහ වැදගත්කම අවබෝධ කර ගැනීමට හෝ නොහැකි වීම ගැන අප කම්පා විය යුතුය.


මෙම කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ද යතාර්ථවාදී ගීත කිහිපයක් හෙවත් “විමුක්ති ගී“ ලේබලයෙන් ගීත නිර්මාණය විය. නන්දා මාලනීයන්ගේ ඉහත ගීතය අඩංගු වූ “පවන“ ගී ඇල්බමයේ සහ “විමුක්ති ගීත“ අතර බැලූ බැල්මට සමාන කමක් දැකිය හැකිය. නමුත්, එහි එකිනෙකට පරස්පරතාවයක් ද ඇත. එනම්, විමුක්ති ගී වල අණ කිරීමක් හෙවත් විධානය දීමක් අන්තර්ගත විය. නමුත් “පවන“ ගීත තුළ මනසේ අරගලයක් නිර්මාණය කිරීමට සමත් විය. කෙසේ වෙතත් එකී ගීත සියල්ල එම කාල වකවානුවේ කැපී පෙනෙන සමාජ මෙහෙවරක් කිරීමට දායක වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. නමුදු අද “විමුක්ති ගී“ ද නිර්මාණය නොවේ. ඒ අනුව බලන විට ඔහුන්ද අද සමාජ ක්‍රමයේ ගොදුරක්ව බවට පත්වෙමින් තිබෙනවාදෝ කියා සාධාරණ සැකයක් මතුවේ.


එසේම දයාබර මිතුරනී, ගීතයෙන් කියවෙන සමාජ යතාර්ථය හෙවත් එදා සිට අද දක්වා සිදුවන මෙම සමාජ අසාධාරණය පිටු දැකීමටත් යහපත් සමාජයක් ක්‍රමයක් ගොඩනැගීම ට ත් දායක වීම සහ එයට සුදුසු මංපෙත් (දේශපාලනික හෝ සමාජීය හෝ වෙනත් ඕනම ආකාරයකින්) සකස්කර දීම ඔබේත් මගේත් වගකීමක් නොවන්නේ ද? එය ඔබට නොතේරේනම් ඔබ සමාජයට බරකි. ෴

පසු සටහන-
2012 - සැප්තැම්බර් 27 වන දින අළුයම කොළඹ නුවර පාරේ ඉඹුල්ගොඩ හංදියේදී අභිරහස් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී ශිෂ්‍ය සහෝදරයන් දෙදෙනෙක් වන ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා)  මරණයට පත් විය. ඔහුන් ඒවන විට නිදහස් අධ්‍යපනයේ අයිතීන් වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් සමග එක්ව දියත් කළ පාගමනක සංවිධාන කටයුතු වල නිතරව සිටීය. මරණයට පත් වූ මාතලන් සහෝදරයා ඊට මාස කිහිපයකට පෙර චැම්පර් බ්ලොග් එකෙහි “ යදමින් බැඳ විලංගුලා “ ගීතය සදහා පහත සටහන තබා තිබුණි.

දැන් පවතින අසාධාරන ගැන, විකාර ක්‍රමය ගැන ගීත ලියන්නේ,ගයන්නේ නැත්තේ....?
සිරි ලංකාව එයාලා ප්‍රාර්ථනා කරපු තත්වෙට ඇවිල්ලද..?
නිර්මාණ ශක්තියේ පිරිහීමක්ද...?
පාළකයෝ යාලුවො හින්දද...?
තමන්ගේ පංතිය බලයට පැමීනීමද...?
නිර්මාණ ගැන ප්‍රශ්නයක් නොමැත.. නමුත් කුහක මිනිසුන් බව නොකියාම බැරිය...
අදහස - නිර්මලා මධුශානි ගෙනි

Tuesday, October 16, 2012

අපි එකම රටක වැසියෝ හෙවත් ශ්‍රී ලාංකිකයෝ වෙමු.

“මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ....“

සිය අසහාය හැකියාවෙන් ගීත කලාව පෝෂණය කළ මොහු, චිත්‍රපට කේෂ්ත්‍රයේත් බෞදධ ගීත කේෂ්ත්‍රයේත් සිය මධුර හඩ අවදි කරමින් අප ඇමතූ අල්හාජ් මොහිදින් බෙග් හෙවත් බෙග් මාස්ටර් අපෙන් සමුගෙන දැනට දශක දෙකක් පමණ වේ. ඔහුගේ බොහෝ ගීත ආගමික සහජීවනයකට මනා පසුබිම සකස් කරනු ලැබීය. සත්තකින්ම මෙකී මෙහෙවර ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප අගය කළ යුතුය. 

උපතින්ම මුස්ලිම් ජාතික වූ බෙග් මාස්ටර් දැයෙන් සමුගන්නා තෙක්ම මුස්ලිම් විය. චිත්
රපට පසුබිම් ගායකයෙකු ලෙස ගීත ක්ෂේත්‍රයට පිවිස
 50-80 දශකවල තම මධුර ස්වරය හැගීම් වලට නොව බුද්ධියට විවර කරමින් බෞද්ධ ගීතාවලියට බෙග් මාස්ටර්ගේ කරනු ලැබූ දායාකත්වය අද්විතීයයි. ඔහු අන්‍යාගමිකයෙකුව සිට කිසිදු ප්‍රතීගාමී භවකින් තොරව බුදු දහමේ යතාර්ථය පසක් කරනු පිණිස කරනා ලද අප්‍රමිත උස්සාහය මෙම ගීත වලින් නොපෙනේ ද?

බුද්ධං සරණං ගජ්ඡාමි...
සලක සතම බොදු බැතියෙන්...
බුදුන්ගේ අමා ධර්මේ...
සුවදේ මට සීතල සුලග පවා...
ඔබ සිතනුයේ, ඔහු ආගම පාවා දුන් බවද, නැතිනම් අන්‍යාගමික බව මුදල් ඉපයීමට පාදක කර ගත් බවද? නැතිනම් ඔහුට එන් ජී ඕ මුදල් පොම්ප කළ බවද? ඔබට එවැන්නක් වැරැදීමකින් හෝ සිතෙනුයේ නම් ඔහු වසර ගණනාවක් ගී ගයා මනස අවදි කිරීමට උත්සාහ කර ඇත්තේ කවදාවත් නොහැදෙනා කුහක සමාජයකටය. එසේ නම් ඔහු දැනගෙන සිටියා විය යුතුය ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ යි කියා. තවද, ඔහුගේ ගායනයෙන් යම් තාක් දුරට හෝ පැලැස්තර වැටීමට තිබුණ ආගමික සහජීවනය දෙදෙරා යාමකි.