Monday, January 21, 2013

මොරටුව ගැටුම පිළිබඳ අන්තරෙන් නිවේදනයක්

පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලය තුළ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මේසේය, 

"මේ වන විට නැවතත් සරසවි දෙස මුලූමහත් සමාජ අවධානයම යොමුවී ඇත. ඒ අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට හෝ සිසු අයිතීන් දිනාගැනීමට කරන අරගලයක් හෝ සටනක් නිසා නොවේ. උත්සන්න වෙමින් තිබෙන සිසු ගැටුම් හේතුවෙනි. මෙම තත්ත්වය මසක පමණ කාලයක සිට වර්ධනය වෙමින් තිබෙන අතර එහි ඉතාමත් කුරිරු හා ම්ලේච්ඡ සහගත අවස්ථාවක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම හදුනාගත හැකිය. 

පාලකයන් සිය දේශපාලන හෙන්චයියන් යොදවා සරසවි තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහකළ පළමු අවස්ථාව මෙය නොවන අතර අනෙකුත් විශ්වවිද්‍යාලවලදී ගන්නාලද උත්සාහයන් ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීමෙන් අසාර්ථක වීම හේතුවෙන් අවසානයේදී මොරටුව සරසවිය ඒ සඳහා තෝරාගෙන ඇත. 

මුලින්ම පසුගිය දෙසැම්බර් 3වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සාදයටත්, එදිනම පැවති රජරට විශ්වවිද්‍යාලයේ සමුගැනීමේ සාදයටත් එකවිට බාහිරින් කඩාවැදුන මැර කණ්ඩායම් නිරායුධ සිසුන්ට අමානුෂික ලෙස පහරදෙමින් මෙම වැඩපිළිවෙල ආරම්භ කළහ. නැවතත් 4 වන දින රාති‍්‍රයේ රජරට විශ්වවිද්‍යාලයේ ඉලූප්පු කන්නියේ පැවති නේවාසිකාගාරයට කඩාවැදුන මුහුණු ආවරණය කරගත් මැර පිරිසක් විසින් පහරදී සිසුන්ට බරපතල ලෙස තුවාල සිදුකරන ලදි. එම පහරදීම් ගම්වාසීන් විසින් සිදුකළේ යැයි තහවුරු කරමින් සරසවි සිසුන් හා අවට ගම්වාසීන් අතර ගැටම්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඊළඟට දෙසැම්බර් 18 වන දින මාතර නගරයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ ප‍්‍රථම වසරේ ඉගෙනුම ලබන එච්.එම්. ආර්.යු. අබේසේකර ශිෂ්‍යාට නිදහස් ශිෂ්‍ය සංගමයට සම්බන්ධ සිසුන් හා බාහිර මැරයන් විසින් පහරදී තුවාල සිදු කළහ. තුවාල ලැබූ ඔහු දින දෙකක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබීය. නැවතත් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට දෙසැම්බර් 31වන දින පහරදෙන ලද්දේ මාතර එලියකන්ද හන්දියේදී නේවාසිකාගාරය වෙත යමින් සිටියදීය. එහිදීද සිසුන් විශාල ප‍්‍රමාණයක් තුවාල ලැබූහ. ජනවාරි පළමුවන දින එම විශ්වවිද්‍යාලයේදී කිරිබත්දීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර එදින නිදහස් සිසුන් යැයි කියාගන්නා ආණුඩුවට සම්බන්ධ සිසුන් කිහිප දෙනකු මැදිහත්වී දෙවන වසර ශිෂ්‍යයකුට පහරදීමට උත්සාහකර ගැටුමක් නිර්මාණය කරන ලද අතර එහිදී සිසුන් 5දෙනකු තුවාල ලබා රෝහල් ගත කළහ. මෙහිදී ආණ්ඩුවේ උත්සාහය සාර්ථකවූ අතර ‘‘නවකවදයට විරුද්ධවීම නිසා අන්තරේ සිසුන් තමන්ට පහරදුන්නේ යැයි කියමින් මාධ්‍ය සාකච්ඡා පවත්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අභූත චෝදනා එල්ල කිරීම ආරම්භ කළහ. නවකවදයක් පිළිබදව කතා කළද නවකයන් සරසවිවලට බදවාගෙන වත් නැත. 

එහෙත් ඒ කිසිදු උත්සාහයක් ඔවුන් අපේක්ෂා කළ තරම් සාර්ථක නොවූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හා තාක්ෂණ පීඨය අතර පැවති සාම්ප‍්‍රදායික ගැටුම යොදාගත්තේය. 

මෙම ගැටුම් නිර්මාණය කිරීමේ අරමුණ වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම සඳහා නව ප‍්‍රවේශයක් ලබා ගැනීමයි. පසුගිය වර්ෂ 3ක පමණ කාලය තුළ ශිෂ්‍ය නායකයින් හා ක‍්‍රියාකාරීන් පංති තහනමට හා ශිෂ්‍යභාවය අහෝසිකිරීමට ලක්කරමින්, අත්අඩංගුවට ගනිමින්, ආරක්ෂක අංශ ලවා පවුල්වලට පවා බලපෑම් කරමින්, සැලසුම් සහගතව සිසුන් ඝාතනය කරමින් ශිෂ්‍ය ව්‍යාපාරය දණගස්වා අධ්‍යාපන අයිතිය කොල්ලකෑමට ගන්නා ලද උත්සාහය අසාර්ථක වූ අතර ශිෂ්‍ය ව්‍යාපාරය එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම වෙනත් ප‍්‍රවේශයක් වෙත යොමුවීමට බලපාන්නට ඇත. 

ඒ අනුව එම නව ප‍්‍රවේශය වන්නේ අභ්‍යන්තර ගැටුම් එනම් සිසුන් සිසුන් අතර ඇණකොටාගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීම, සිසුන් හා බාහිර සමාජය අතර එනම් සරසවි අවට ගම්වාසින් අතර ගැටුම්වලට ඇද දැමීම, එම ගැටුම් යොදාගනිමින් සරසවි සිසුන් ප‍්‍රචණ්ඩකාරී පිරිසක් ලෙස තහවුරුකරමින් අධ්‍යාපන සටන වටා පෙළගැසෙන ජනමතය ව්‍යාකූල කිරීම, ශිෂ්‍ය අසමගිය ඇතිකිරීම හරහා කේවල් කිරීමේ ශක්තිය දුර්වල කිරීම හා මර්දනය කැදවීම පහසු කර ගැනීමයි. 

පොදු සමාජය තුළ ආර්ථික වශයෙන් පීඩාවට පත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය තුළ අයුක්තියට හා අසාධාරණයට ලක්වූ ජනතාවගේ මුලූමහත් විරෝධයම ආණ්ඩුව වෙත එල්ලවී ඇති මොහොතක එම විරෝධය දුර්වල කිරීමට ජාතිවාදය හා ආගම්වාදය වපුරමින් අසාධාරණයට ලක්වූ පීඩිත ජනතාව විවිධ පදනම් ඔස්සේ බෙදා වෙන්කර එකිනෙකා අතර ගැටුම් අවුලූවා ඔවුනොවුන් මරාගන්නා තැනකට තල්ලූකරමින් ඇත්තේ යම් සේද අද ශිෂ්‍ය ව්‍යාපාරය දුර්වල කිරීම සඳහාද එම උපක‍්‍රමයම යොදා ගනී. එනම් විශ්වවිද්‍යාල සිසුන් පීඨ, බැජ් හා සිසුන්ගේ ප‍්‍රාදේශීය පදනම් යොදාගනිමින් ගැටුම් ඇති කිරීමයි. ඒ සදහා විෂම සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජනිත වු සාකච්ඡාකර අවබෝධයෙන් විසදාගත යුතු ප‍්‍රශ්න වැඩි කර ගැටුම් දක්වා වර්ධනය කෙරේ. එසේම සමාජය තුළ මනුෂ්‍යත්වය බිදවැටී ඉස්මතුවී ඇති නරුම ගති ලක්ෂණද, නායකත්ව පුහුණුව තුළින් ගොඩනගන ලද හමුදා මානසිකත්නවයද තවත් සිසුවකුට ලේ ගලන තුරු පහරදීමට තරම්වන පහත් මානසිකත්වයකට සරසවි සිසුන් ඇඳවැටීමට බලපාන්නට ඇත. 

මෙම ගැටුම් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලබන අතර ගැටුම්වලට මැදිහත්වී පාලකයන්ගේ න්‍යායපත‍්‍රවල ගොදුරු නොවන ලෙස අපි සියලූම සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. විශේෂයෙන් අප මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය අවබෝධ කරගන්නා ලෙසයි. ගැටුම් නිසා මෙම පීඨ දෙකෙන් එකකට වත් ලැබෙන වාසියක් නැත. නිරපරාදේ තුවාල සිදුකරගැනීම, අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වීම,හා උපාධිය ලබාගැනීම සඳහා ගතවන කාලය දීර්ඝවීම පමණි. පාලකයන්ට මෙම ගැටුම් ඉතාමත් වාසි සහගතවන අතර කිසිදු ශිෂ්‍ය ගැටලූවක් නොවිසදා සිය මුග්ධ පාලක පැවැත්ම පවත්වාගෙන යාම සදහා අවස්ථා උදාවේ. අනෙක් පැත්තෙන් එය ආණ්ඩුවට වාසි සහගතවන අතර ගැටුම් පිළිබඳ රූපරාමු පෙන්වමින් සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයම රටතුළ අපකීර්තියට ලක්කිරීමට ඉන් අවස්ථාව ලැබේ. අවසාන වශයෙන් කිහිප දෙනකුගේ දේශපාලන න්‍යායපත‍්‍රයන්ට අනුව නිර්මාණය කරන ගැටුම්වල ගොදුරක් නොවන ලෙස හා සහෝදරත්වයෙන් එක්ව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීමට පෙළගැසෙන මෙන් මොරටුව සිසුන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

මීට අමතරව තෝරාගත් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ඉලක්ක කර රජයේ සන්නද්ධ අංශ විසින් කරනු ලබන පහරදිමේ වැඩපිළිවෙලක්ද ක‍්‍රියාත්මක වේ. පසුගිය දෙසැම්බර් 30වන දින් අලූයම කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති සුරංජිත් සහෝදරයාට පහරදීම හා පසුගිය 16වන දින රාති‍්‍ර රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධන සහෝදරයාට පහරදීම හා පැහැරගෙනයාමට උත්සාහ කිරීම මෙහි ආසන්නතම සිදුවීම් වේ. මෙම පහරදීම් මෙම සිසුන් විසින්ම සිදුකරගන්නා ලදැයි ඇමතිවරයා, උපකුලපතිවරු හා ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියෝ ප‍්‍රකාශ කරති. ඒ සුත‍්‍රයට අනුව රටේ සිදුවන අතුරුදන්කිරීම්, පහරදීම්, ඝාතන හා ලිංගික අපචාර යනාදී සියල්ල තමා විසින්ම ඒ ඒ පුද්ගලයන් කරගන්නා ලදැයි කීවොත් පුදුම විය යුතු නැති අතර පසුගිය කාලය තුළ ආණ්ඩුව එවැනි මුග්ධ ප‍්‍රකාශ ඕනෑතරම් සිදු කර ඇත. 

එම නිසා ගැටුම් ඇති කර සරසවි අවුල්කරන හා ශිෂ්‍ය නායකයින්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහරින ආණ්ඩුවේ පිළිවෙත දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනු ලබන අතර මෙම පිළිවෙතට එරෙහිව නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් රැකගැනීම වෙනුවෙන් හා රට තුළ මානව නිදහස ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු."

Saturday, January 19, 2013

යාපනය සරසවි සිසුන් වහා නිදහස් කරනු!

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් වහාම නිදහස් කිරීමටත් උතුරේ මිලිටරි පාලනය ඉවත් කොට සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමටත් උතුරේ ඉඩම් කොල්ලය වහාම නතර කිරීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසීය. 

ඔහු මේ බව පැවසුවේ අත්අඩංගුවේ සිටින යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් සිව් දෙනා වහා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කිරීමේ අන්තර්ජාල පෙත්සමකට අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. සම අයිතිය ව්‍යාපාරය විසින් රාජගිරිය ‘සිංහ’ සමාජ ශාලාවේදී මෙම අන්තර්ජාල පෙත්සම විවෘත කරනු ලැබීය. http://www.ipetitions.com/petition/free-jaffna-students-leadersවෙබ් ලිපිනය ඔස්සේ මෙම අන්තර්ජාල පෙත්සමට අත්සන් කළ හැකිය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා 

‘‘අපි ආණ්ඩුවෙන් අහනවා, තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කර පහනක් දැල්වීමද ත‍්‍රස්තවාදය? එහෙමත් නැතනම්, ආයුද සන්නද්ධව විශ්වවිද්‍යාලය තුළට කඩා වැදිලා නිරායුද සිසුන්ට පහර දීලා තර්ජනය කිරීමද ත‍්‍රස්තවාදය? දැන් ආණ්ඩුව කියනවා, අත්අඩංගුවට ගත් යාපනයේ සිසුන් පුනරුත්ථාපනය කරන්න ඕන කියලා. පුනරුත්ථාපනය කරන්න ඕන ශිෂ්‍යයින් නොවෙයි. පුනරුත්ථාපනය කරන්න ඕන අය ඉන්නේ ආණ්ඩුවේ. ඝාතකයන්, ත‍්‍රස්තවාදීන්, ස්ත‍්‍රී දූෂකයින්, අපරාධකාරයින්, කුඩුකාරයින්, හොරු, සමාජ විරෝධී යැයි සම්මත සියලු ආකාරයේ විශමාචාර සිදු කරන්නන් ඉන්නේ පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ. ඒ අයයි පුනරුත්ථාපනය කරන්න ඕන.’’

රවීන්ද්‍ර මුදලිගේ මහතා. 

යුද්ධය අවසන් වෙලා වසර හතරක් ගත වෙලා තිබෙනවා. නමුත් ජාතික ප‍්‍රජාවන් අතර විරසකභාවය දුරු කරලා, සමගිය, සහජීවනය ඇති කරන්න කිසිදු පියවරක් අරගෙන නැහැ. 

ආණ්ඩුව තමන්ගේ නව ලිබරල් ධනවාදී ආර්ථික වුවමනාවන් ක‍්‍රියාත්මක කරන්න ජනතාව වසඟ කිරීමේ දේශපාලනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම, ගොඩනගා ගත් මිලිටරි ආධිපත්‍ය මගින් මුළු රටම යටපත් කර තිබෙනවා. උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලට එය විශේෂ ප‍්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. 

දෙමළ ජනතාවට සැබෑ මනුෂ්‍ය ජීවිතයක් ගත කරන්න අවශ්‍ය අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියත් අහිමි කර තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ උතුරේ ජනතාව, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ඔළුවට තුවක්කුව තියලා පාලනය කරන්නයි. උතුරේ නිවාස නැති ජනතාවට නිවසක් ලබා ගන්න, රැකියාවක් නැති තරුණ තරුණියන්ට රැකියාවක් ලබා ගන්න, කෘෂිකර්මාන්තය අහිමි කර තිබෙන ගොවි ජනතාවට ඒ අයිතිය ලබා ගන්න, මුහුදට යන්න නොදෙන ධීවරයාට ඒ අයිතිය ලබා ගන්න අරගලයක් අවශ්‍යයි. දැන් ආණ්ඩුව උත්සාහ කරනවා, පීඩිතයා ජාතිවාදී, ආගම්වාදී පදනමින් බෙදන්න. එක් ජාතිවාදයක් වෙනුවට තවත් ජාතිවාදයක් තෝරා ගැනීම මේ ප‍්‍රශ්නයට උත්තරය නොවෙයි. ඒ නිසා අපි යෝජනා කරනවා, සිංහල, දෙමළ මුස්ලිම් සියලු පීඩිත ජනතාව ඒකාබද්ධ අරගලයකට පැමිණිය යුතුයි කියා. 

ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා, අත්අඩංගුවට ගෙන රඳවා සිටින යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් වහාම නිදහස් කරන්න, පැහැර ගැනීමේ අතුරුදහන් කිරීමේ සංස්කෘතිය වහාම නතර කරන්න, උතුරේ හමුදා කඳවුරු හදන්න සහ ආණ්ඩුවේ පටු දේශපාලන වුවමනාවන් වෙනුවෙන් කරන ඉඩම් කොල්ලය වහාම නතර කරන්න. ඒ විතරක් නොවෙයි, කිසිදු නීති විභාගයකින් තොරව රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන්න. 

සම අයිතිය ව්‍යාපාරයේ සම ලේකම් පලනිවේල් රිචඩ් මහතා 

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් හතර දෙනා දින 45කට වඩා වැඩි ගණනක් තිස්සේ රඳවාගෙන සිටිනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයට හමුදාව හා පොලිසිය පහර දුන්නාට පස්සේ, සිසුන් 40දෙනකුට වැඩි පිරිසක් හමුදාව විසින් පරීක්ෂණයට ලක් කළා. සිසුන් 13දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ අතරින් සිසුන් සිව් දෙනකු තවමත් රඳවාගෙන සිටිනවා. 

ජනතාවගේ අයිතීන් දෙන්න බැරි ආණ්ඩු අවුරුදු තිහක් තිස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය පෙන්වලා ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කළා. දැන් ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රජාවන් අතර විරසකභාවය වර්ධනය කරන්න උත්සාහ කරනවා. සතුරුභාවය ඇති කරන්න උත්සාහ කරනවා. මේ ජාතිවාදී දේශපාලනය පරාජය කළ යුතුයි. එහෙම නොකළොත් මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නයි සිදු වෙන්නේ. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා 

ජනතාවගේ අදහස් පළ කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේදී ඉතාම වැදගත්. පහනක් දැල්වීම කියන්නේත් අදහස් පළ කිරීමක්. එය අධිකරණය පවා පිළිගෙන තිබෙනවා. ඒ අයිතිය පිළිගත් අවස්ථාවක් තමයි, වත්මන් ජනාධිපතිවරයා ජනඝෝෂා නමින් කළ උද්ඝෝෂණයේදී බෙර නාද කළ පුද්ගලයකුට පොලිසියෙන් කළ පහරදීම පිළිබඳ පැවති නඩු විභාගය. මේ සිසුන් අත්අඩංගුවට ගෙන සිටින්නේ පහනක් දැල්වීම මගින් තමන්ගේ හැඟීම් ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළ නිසා. තුවක්කු නිහඬ වූ පමණින් සාමය ඇති වන්නේ නැහැ. සාමය සහ සහජීවනය ඇති වන්න නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවශ්‍යයි. 

සිසු දඩයමටත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය වීදි සටන් අරඹයි..

රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ ගුණවර්ධනට පහරදීමට එරෙහිව අද දිනයේ උද්ගෝෂණ ව්‍යාපාරයක් හා පා ගමනක් සංවිධානය විය. ඊයේ (13/01/16) දින රාත‍්‍රියේ දස දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ මැරපිරිසක් යොදා කළ මෙම පහරදීමට එරෙහිව වැල්ලමඩම රුහුණ විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේ සිට මාතර නගරය දක්වා සිසුන් දහසක් පමණ පා ගමනින් පැමිණ උද්ඝෝෂණයෙ යෙදුනේය. 

අද දින (17) දහවල් 12ට පමණ ඇරඹි මෙම පාගමන සවස දෙක පමණ වනතෙක් පොලිසියේ බාධා නොතකා ඉදිරියට ඇදුනි. මාපලාන කෘෂි විද්‍යාලයේ සිසුන් එම පීඨය ඉදිරිපිටද කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් එම පීඨය ඉදිරිපිටදීද මෙලෙස උද්ගෝෂණයේ යෙදුනේය. 

මෙහිදී ඔවුන් ප‍්‍රකාශ කර සිටියේ මෑතකදී විශ්වවිද්‍යාල ආචාර්ය පා ගමනේදී ශිෂ්‍ය ව්‍යාපාරයෙන් උදුරාගත් ජනක හා සිසිත සොයුරන්ගේ මරණ සෑබෑ ලෙසම ඝාතනයන් යැයි තිබූ සැකය. හර්ෂ ගුණවර්ධනට එල්ල වූ ප‍්‍රහාරයේන් පැහැදිළි වන බවයි. එහිදී හර්ෂ පැහැරගැනීමට මැරයන් උත්සහ ගෙන තිබුණි. එලෙසම පසුගිය ආසන්න සමයේ යාපනේ සිසුන්ට එල්ලවූ ප‍්‍රහාර කැළණිය විශ්වවිද්‍යාලයේ සිසු නායකයාට එල්ල වූ ප‍්‍රහාරය මේ සියල්ලම එකම අරමුණ මත පිහිටා කරන ලද පහරදීම් බවයි. 

පසුගිය දිනක උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිගේ මුවින් පිටවු පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත ගෙන එනවා යන ප‍්‍රකාශය මේ හා බැදී ඇතිබව සිසුන් පවසයි. ආරක්ෂක අංශ යොදවා සිසුන්ට පහරදී සිසු නායකයන් දණ්ගෙඩියට යවා පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත ගෙන ඒමට ගන්නා මෙම උත්සහාය එරෙහිව මේ ආරම්භ කළ සටන් ඉදිරියේ දී වඩා තීව් කරන බව මෙහිදී අදහස් දැක්වු සිසු නායකයන් ප‍්‍රකාශ කළහ.