Wednesday, March 6, 2013

චින්තනයේ කඩවුණු පොරොන්දු .....

2005 වසරේ එලි දැක්වුණු මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ "ගුණ නැණ වැඩුම " ජාතික අධ්‍යාපන වැඩසටහන පිලිබඳ මෙසේ අවධානය යොමු කිරීමට හේතු කාරණා වුයේ පසුගිය මාර්තු මස පළමුවන දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රගතිය පිලිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා එම අමාත්‍යංශය වෙත ග්ගිය අවස්ථාවේදී කළ ප්‍රකාශයකි.මෙම ජාතික අධ්‍යාපන වැඩසටහන යටතේ ප්‍රථමයෙන් සඳහන් වන කාරණය නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත් අහෝසි නොකරමි යන්නයි.

එසේ නම් අද වනවිට උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවා විශ්වවිද්‍යාල වරම් අහිමි වී ඇත්තේ මේ ආශ්චර්ය නිසාවෙන්ද? උසස් පෙළ අසමතුන් පවා පෞද්ගලික විශ්වවිද්‍යාල මුවාවෙන් උපාධි සම්පුර්ණ කරද්දී අදාල සුදුසුකම් සපිරූ පිරිස් උසස් අධ්‍යාපන හැර යන්නේ මේ ආශ්චර්ය නිසාවෙන්ද?

"දරුවන්ගේ පාසල් වස දැමීම වෙනුවට ඒවා ශක්තිමත්ව ගොඩ නංවමි " යැයි මෙරට අයිතිකරු නොව භාරකරු යයි කියූ ආඩම්බරකාර තාත්තා පොරොන්දු දී තිබේ. ඒ 2005 වසරේදීය. 2005 වසරේ සිට 2010 වසර දක්වා වසා දමා ඇති මෙරට පාසල් ගණන 350 ක් බව අධ්‍යාපන අමත්‍යවරයාම නිල වශයෙන් පවසන්නේ මේ පොරොන්දුව දී වසර 8 කට පසු වීම කදිම ආශ්චර්යකි. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 65 වන පිටුවේ සඳහන් පරිදි "සැමට සරසවි වරම් " වැඩසටහන යටතේ මේ වන විට උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයකට ඇතුලත් වන පිරිස වැඩි කිරීමට නව සරසවි ආරම්භ කර පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්න බව පැහැදිලිව සඳහන්ය. නමුත් 2011 වසර උසස් පෙළ විභාගයෙන් සිසුන් වැඩිපුර බඳවා ගැනීමට සිදු වුයේ මෙරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට අනුව නම් හිටපු අගවිනිසුවරියගේ පිස්සු තීන්දුවක් නිසාවෙනි. A සමාර්ථ තුනක් ගත් සිසු දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දී හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් කිරීම මගින් ප්‍රශ්නය විසදීම චින්තන මහත්තයාගේ යෝජනාවයි. නිදහස් අධ්‍යාපනය ලැබීමට මෙරට දරුවන්ට ඇති අයිතිය අහෝසි නොකිරීමට ඔහු දුන් පොරොන්දුව රකින ආශ්චර්ය මෙයද? කණගාටුවට කාරණය නම් චින්තන මහත්තයාගේ ප්‍රකාශයට විරුද්ධ වීමට මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ඉහලම තනතුරු දරන කිසිවෙක් එම අවස්ථාවේදී කටයුතු නොකිරීමය. 

මාලඹේ පිහිටි, ලංකාවේ වෛද්‍ය සභාව පවා පිළිනොගන්නා උපාධි පිරිනමන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාල සිසුන් ඇතුලත් බවට යෝජනා ගෙන එන්නේද මෙරට අධ්‍යාපන බලධාරීන්මය. නිදහස් අධ්‍යාපනය රැකීම කෙසේ වෙතත් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඉදිරියේදී යන කල ගැන අපට සිතා ගැනීමට පුළුවන.

"සරසවි සිසුන්ගේ මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව සහ ශිෂ්‍යාධාර රුපියල් 500කින් වැඩි කරමි." චින්තන මහත්තයෝ මේ පොරොන්දුව දී අවුරුදු 8 කි.මහපොළ හෝ ශිෂ්‍යාධාර මුදල රුපියල් 10 කින් හෝ වැඩිවුයේ නැත.තවමත් එය මාසිකව නිවැරදිව ලැබෙන්නේද නැත.

"සෑම සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නේවාසිකාගාර පහසුකම් ලබා දීමට හැකි වන පරිදි නව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමි " යනුවෙන් දුන් පොරොන්දුවටද වසර 8 කි.නමුත් මේ වන විට මෙඅරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල බොහොමයක උග්‍ර නේවාසිකාගාර අර්බුදයක් පවතියි.

"විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කර පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ප්‍රතිපාදන සපයන්නෙමි." මෙයද චින්තන මහත්තයාගේ පොරොන්දුවකි. ඒ පොරොන්දු ප්‍රකාරව අප ඔබට යොමු කරන ප්‍රශ්නය නම් විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භුමියේ සකසා තිබු ආසන විශ්වවිද්‍යාල පරිපාලන විසින් ඉවත් කරන්නේ පහසුකම් පුළුල් කිරීමක් වශයෙන්ද?

මේ කඩවුනු පොරොන්දු ගැන ඔබට පිළිතුරු දිය හැකිද? 

ජනපතිතුමනි,මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධ්‍යාපන සම්බන්ධයෙන් වූ කරුණු කාරනා ලියවුනේ අත්වැරදීමකින්ද? නැති නම් "නිදහස් අධ්‍යාපනය සඳහා අපේ දරුවන්ට ඇති අයිතිය කිසිසේත්ම අහෝසි නොකරමි . " යන්න "පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් අධ්‍යාපනය ලැබීම සඳහා ඉහල පැලැන්තියට ඇති වරප්‍රසාදය තහවුරු කරන්නා සේම එය දිවි හිමියෙන් රැකීමටත් නිදහස් අධ්‍යාපනයේ මළගම මගේ පාලන කාලය තුලදී කෙසේ හූ සිදු කිරීමටත් පොරොන්දු වෙමි." ලෙස යලි ලියනු මැනවි.....





Tuesday, March 5, 2013

බළලා මල්ලෙන් එලියට...

"උසස් පෙළ සමත් සියලු තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය සුරැකිය යුතු වන අතර මම ඒ අභියෝගය භාර ගනිමි. ඒ පළමු පියවර ලෙස නව සරසවි පාඨමාලා ආරම්භ කිරීම තුලින් සහ සරසවි පහසුකම් පුළුල් කිරීම තුලින් විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට මම පියවර ගන්නෙමි.විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා ප්‍රතිපාදන සපයන්නෙමි..."

මේ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ 65 වන පිටුවේ සඳහන් සැමට සරසවි වැඩසටහන යටතේ මුලින්ම සඳහන් වන කාරණයකි.මෙම ප්‍රතිපතති ප්‍රකාශය එලි දක්වා මේ වන විට වසර 8 ක කාලයක් ගත වී ඇති අතර මහින්ද චින්තන ඉදිරි දැක්මක්ද එලි දක්වා බොහෝ කල්ය. පසුගිය මාර්තු මස 1 වන දින උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අමාත්‍යංශයට ගිය ජනාධිපතිවරයා ඔහුගේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම උදෙසා වූ කදිම අදහස් ඉදිරිපත් කළේය. උසස් පෙළ විභාගයෙන් A සමාර්ථ තුනක් ලබා ගත සිසුන් පවා විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන බව ආඩම්බරකාර තාත්තාට තේරුම් ගොස් ඇත්තේ වසර අටකට පසුවය. ඊට විසදුම් ලෙස ජනාධිපතිවරයාගේ යෝජනාව වන්නේ අදාල සිසුන් ශිෂ්‍යත්ව ලබා දී හෝ පුද්ගලික විශ්වවිද්‍යාලකට ඇතුලත කිරීමයි.මාලඹේ හොර උපාධි කඩය යනු දැනට ලංකාවේ හොඳම පෞද්ගලික රෝහල සතු උසස් විශ්වවිද්‍යාලයක් බව ආඩම්බරයෙන් කතා මත දොඩන අමාත්‍යවරයාගේ යෝජනාව වන්නේ මාලඹේ හොර උපාධි කඩයට ඇදල සිසුන් ඇතුලත කිරීම සිදු කල හැකි බවයි. ජනාධිපතිතුමනි , මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඔබම යලි යලි කියවා බැලිය යුතු බව අපගේ හැඟීමයි. නව සරසවි පාඨමාලා ඇති කර ,බඳවා ගන්නා සිසුන් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට ඔබ පොරොන්දු දුන්නේ කාටද? මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය යනු මෙරට වෛද්‍ය සභාව තවමත් පිලි නොගන්නා උපාධියක් ලබාදෙන හොර උපාධි කඩයක් බව නොදැනීමට තරම් ආඩම්බරකාර තාත්තාගේ සංවේදී පිතෘත්වයට කුමක් සිදූ වීද?
මාලඹේ වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණු කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට රුපියල් මිලියන 600 ක ණය මුදලක් නිකුත් කිරීමට මුල්‍යය වත්කම් තිබු ආණ්ඩුවේ බලධාරීන්ට ජාතික විශ්වවිද්‍යාල පද්දතිය රැකගැනීමට වඩා පෞද්ගලික විශ්වවිද්‍යල නඟා සිටුවීමට ඇති උවමනාව කුමක්ද?
මෙරට ජාතික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වී උපාධිය සම්පුර්ණ කිරීමට උපරිම සුසුකම් ඇති අයවලුන් පවා මෙරට තුල පවා කිසිඳු පිළිගැනීමක් නැති උපාධි කඩ තුලට දැක්කීමට ඔබට ඇති අයිතිය කුමක්ද?
අදටත් නිසි අනුමැතියකින් තොරව පවත්වාගෙන නොයන හොර උපාධි කඩවලට නීතිමය භාවයක් ලබා දීමට සුක්ෂම ලෙස කෙරෙන මෙවන් කටයුතු පිලිබඳ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අවදියෙන් බව මතක් කර දෙනු කැමැත්තෙමු.....

සිසුන් පෞද්ගලික උපාධි කඩවල ගාල් කිරීමට රජය උත්සාහ දරණවා - සංජීව බණ්ඩාර

සිසුන්ගේ උපාධි සිහිනය භාවිත කරමින් ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ගාල් කිරීමට රජය උත්සාහ දරන්නේ යැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

සිසු අවශ්‍යතාවන් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනීම ඉතා නින්දිත යැයි පවසන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා වැඩි ශිෂ්‍ය පිරිසක් මෙවර බඳවාගන්නා බව රජය සඳහන් කළද ඒ වෙනුවෙන් වන විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව නැති බවයි.

විශ්වවිද්‍යාල පද්ධතියේ ඒ ඒ පීඨයන්ට අදාළව බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාවේ කප්පාදු කිරීමක් මෙවර සිදුකර ඇතැයි පෙන්වා දෙමින් සංජීව බණ්ඩාර මහතා මෙසේ කීය.

සම්පත්වල හිඟකම නිසා "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව ඉදිරියට පවත්වාගෙන යන්න නොහැකි බවට පීඨ මණ්ඩලය තීරණය කරලා තියෙනවා. එහි කළමනාකරණ පීඨයට මීට පෙර වර්ෂවලදී සිසුන් 150ක් බඳවා ගත්තත් මේ වර්ෂයේදී එය 50 දක්වා අඩු කරලා අමතර බඳවාගැනීම් 50ක් එකතු කරලා. සම්පූර්ණයෙන් බඳවාගන්නෙ සිසුන් 100යි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාඨමාලා දෙකකට අදාළව සිසුන් 90කගේ පුරප්පාඩු තියෙනවා. ඒ සඳහා සිසුන් බඳවාගන්න වැඩපිළිවෙළක් නැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය සඳහා මෙවර සිසුන් 26,500ක් බඳවාගන්න බවට රජය ප්‍රකාශ නිකුත් කළත් 22,000ක පමණ පිරිසක් බඳවාගන්න පමණයි ඔවුන් කටයුතු කරන්නෙ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ගියපු අවස්ථාවක ජනාධිපතිවරයාත් පැහැදිලිවම කිව්වා ශිෂ්‍යත්ව හරි දීලා උසස් අධ්‍යාපනය වෙනුවෙන් ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සම්බන්ධ කරන්න කියලා."

සිය අරමුණු වෙනුවෙන් උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදු කිරීමට රජය දරන වෑයමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතු බවද සංජීව බණ්ඩාර මහතා අවධාරණය කළේය.