Saturday, March 16, 2013

සබරගමු සිසු විරෝධ උග්‍ර වේ

සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ගෙන් අය කරනු ලබන ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කළ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් පහක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පරිපාලන අංශ ඊයේ (15 වැනිදා) පියවර ගත්තේය.

මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුහු විශාල පිරිසක්‌ මහ වැසි නොතකමින් විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටි කොළඹ - බදුල්ල මහා මාර්ගය අවහිර කරමින් ඊයේ සවස පැයක පමණ කාලයක්‌ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

මෙවර ඇතුළත් කළයුතු නවකයන් සංඛ්‍යාව 458 කින් අඩු කිරීම ද ඔවුන්ගේ විරෝධයට හේතුවක්‌ වී ඇත.

ගාස්‌තු ඉහළ දැමීමට හා සිසුන් අඩු කිරීමට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීම සඳහා ද පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙතෙක්‌ නවකයන් ඇතුළත් වන විට පමණක්‌ ගෙවීමට සිදුව තිබූ රුපියල් නවසිය පනහක මුදල මෙවර රුපියල් දෙදහස්‌ හයසියය දක්‌වා වැඩි කර එම මුදල ද වාර්ෂිකව ගෙවිය යුතු මුදලක්‌ ලෙස දන්වා ඇති බවත් ශිෂ්‍ය සංගම් ප්‍රකාශකයෙක්‌ පැවසීය. මීට අමතරව නේවාසික ගාස්‌තු වශයෙන් රුපියල් පන්සියයක අමතර මුදලක්‌ ගෙවීමට සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මේ ආකාරයෙන් මෙවර නවක සිසු සිසුවියන්ගෙන් විශ්වවිද්‍යාලය අයකර ඇති මුදල ලක්‍ෂ ගණනක්‌ යෑයි ද එම ප්‍රකාශකයා කීවේය.

මෙම ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දිගින් දිගටම විරෝධතා ව්‍යාපාරවල යෙදී සිටින විට ශිෂ්‍ය ක්‍රියාකාරකම් නතර කළ යුතු බව පරිපාලන අංශ විසින් මහා ශිෂ්‍ය සංගමයට ලිතව දන්වා ඇත. එම ලිත දැනුම්දීමට අනුව ශිෂ්‍ය සංගම් රැස්‌වීම් පැවැත්විය නොහැකි අතර රාත්‍රි දහයෙන් පසුව කිසිදු ශිෂ්‍ය ක්‍රියාකාරකමකට අවස්‌ථාව නැත.

පරිපාලන අංශ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ එම නියෝග කඩකිරීම නිසා යෑයි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මේ අතර පසුගිය 12 වැනිදා රාත්‍රි 7 සිට මධ්‍යම රාත්‍රිය දක්‌වා නවක සිසු සිසුවියන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් මහා ශිෂ්‍ය සංගමය රැස්‌වීමක්‌ පවත්වා ඇතැයි ද ඒ සඳහා නේවාසිකාගාරවලට ගොස්‌ සිසුවියන් කැඳවාගෙන පැමිණ ඇතැයි ද මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසීය. මෙම රැස්‌වීම පැවැත්වීමට උපකුලපතිවරයාගෙන් කිසිදු අවසරයක්‌ ලබාගෙන නැතැයි ද ඒ සඳහා පෙරටුගාමී දේශපාලනයේ නියුතු කථිකයකු ද සහභාගි වී ඇති බව ද සඳහන් කළ ඒ මහතා මේ සම්බන්ධයෙන් සිසුන් හා දෙමවුපියන් අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බව ද කීවේය.

ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන ඇත්තේ මෙම සිදුවීම් නිසා බව ද මාවැල්ලගේ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද මේ පිළිබඳව විමසීම සඳහා උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.


නිලන්ත මදුරාවල

Friday, March 15, 2013

බන්දුලගේ චක‍්‍රලේඛය අමු බොරුවක් - මහින්ද ජයසිංහ

පසුගිය මාර්තු 13 වන දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක‍්‍රලේඛය මගින් පාසල් නඩත්තුව දෙමව්පියන් මත පැටවීම කිසිදු ආකාරයකින් නවතා නැති බවත් එම චක‍්‍රලේඛය රටේ ජනතාව රැවටීම සඳහා කරන ලද බොරුවක් බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. අද (15) කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මෙසේද පැවසීය.

‘‘ පසුගිය කාලය පුරාම දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන් පාසල්වලට මුදල් එකතු කිරීම් බොහෝ සේ සිදු කළා. හොරණ ප‍්‍රදේශයේ ශිෂ්‍යාවක් පාසලට මුදල් හොයාගන්න පොල් ගෙඩි 8 ක් හොරකම් කිරීම නිසා උසාවි යාම හේතුවෙන් තමයි මේ පිළිබඳව රට පුරා කතා බහක් සිදුවුනේ. මුදල් එකතු කිරීම තහනම් කරමින් චක‍්‍රලේඛයක් නිකුත් කරන බවට ප‍්‍රකාශයක් කරා මේ සිදුවීම් එක්ක සති 2 ක් ඇතුළත අධ්‍යාපන ඇමතිවරයා විසින්. හැබැයි මාසයක් ඉකුත් වන විට පසුගිය මාර්තු 13 වන දින චක‍්‍රලේඛයක් නිකුත් කරා 2013/11 නමින්. මේක රාජකීය විහිළුවක් වගේම බරපතල ප්‍රෝඩාවක්. දැන් මේ අධ්‍යාපනය තුල ඇතිවෙලා තියෙන අර්බුදයට මේ ගෙනැල්ල තියෙන චක‍්‍රලේඛයෙන් කිසිදු පිළිතුරක් නැහැ. මුදල් එකතු කිරීම නතර කරන්න කටයුතු කරල නැහැ. අපි ලංකා ගුරු සේවා සංගමය විදියට පසුගිය පෙබ. 28 දින අධ්‍යාපන ඇමතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා 2008/35 චක‍්‍රලේඛය අහෝසි කරන ලෙස. මොකද එම චක‍්‍රලේඛයෙන් තමයි පාසල් වලට මුදල් එකතු කිරීමට අවසර ලබා දීල තියෙන්නෙ. මේ චක‍්‍රලේඛ හරහා පාසල් සංවර්ධනය, නඩත්තුව, මේ සියල්ල දෙමව්පියන් මත පටවල තියෙනවා. එම චක‍්‍රලේඛයේ 10.6 වගන්තියේ තියෙන විදියට ප‍්‍රධාන මුදල් ආදායම් තිබෙන්නෙ දෙමව්පිය පරිත්‍යාග හරහා.

දැන් මේ චක‍්‍රලේඛය තියෙද්දී පසුගියදා ඉදිරිපත් කරපු චක‍්‍රලේඛයේ තියෙන්නේ නීත්‍යානුකූල ගාස්තු පමණක් අයකිරීමට කටයුතු කළ යුතුයි යනුවෙන්. මේ චක‍්‍රලේකය කියන්නෙ කිසිදු වැදගැම්මක් නැති කොළ කෑල්ලක් විතරයි. මේකෙ මුදල් ලබාගැනීම් කිසිදු තැනක තහනම් කරල නෑ. පංති කව, ආදි ශිෂ්‍ය සංගම් හරහා මුදල් එකතු කරන්න බැහැ කියල කියනවා. හැබැයි දෙමව්පියන් සමග පාසල් සංවර්ධන සමිතියෙ අනුමත කරපු මුදලක් එකතු කරන්න කිසිදු තහනමක් නෑ මේ චක‍්‍රලේඛයෙ. මේක අමුම අමු ප්‍රෝඩාවක්. ආපහු මේ චක‍්‍රලේඛයෙන් කියනවා මේ නීත්‍යානුකූල ගාස්තු ගෙවීමට දෙමව්පියන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් නොකළ යුතුයි කියල. මේ ගාස්තු ගෙවන්න අපහසු නම් ග‍්‍රාම සේවක සහතික ගෙන ආ යුතුයි හා මේ ගාස්තු නොගෙවන සිසුන්ට මානසික හා කායික පීඩාවකට ලක් කරන්න බැහැ කියලත් මේ චක‍්‍රලේඛයේ කියල තියෙනවා. අපි අහනව මේ මුදල් ගෙවල ලබන අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය වෙන්නෙ කොහොමද කියල. මේ කියල තියෙන විදියට කිසිම දෙමව්පියෙක් ග‍්‍රාමසේවක ගාවට ගිහිල්ල ලියුම් අරගෙන එන්න යන්නෙ නෑ. ඒ නිසා අර එක තාත්ත කෙනෙක් ඔරුව විකුණල පාසලට සල්ලි හොයල දුන්න වගේ මේ සල්ලි හොයල දෙනවා. ඒ නිසා මේ චක‍්‍රලේඛයෙන් ඇමති කියන එකක් ක‍්‍රියාත්මක කරන්න බැහැ. ඒක බොරු චක‍්‍රලේඛයක්. මේක කිසිදු අයුරකින් පාසල් නඩත්තුව දෙමව්පියන් මත පැටවීම නවත්වන්න කිසිදු සටහනක් නැහැ. ඒ නිසා ඉදිරියටත් විදුහල්පතිවරුන්ට සිදුවේවි පාසලේ නඩත්තුවට දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරන්න. මොකද පාසල් නඩත්තුවට රජයෙන් මුදල් ලැබෙන්නෙ නැති නිසා.

මේ රටේ ජනතාව බත් නොකන, රවට්ටන්න පුළුවන් කියල හිතාගෙන තමයි බන්දුල ඇමතිවරයා මේ චක‍්‍රලේඛය නිකුත් කරන්නෙ. ඒ නිසා අපි කියනවා 2008/35 චක‍්‍රලේඛය අහෝසි කරපු චක‍්‍රලේඛයක් නිකුත් කරන්න. නැතුව 2008/35 චක‍්‍රලේඛය බලාත්මක කරපු චක‍්‍රලේඛ ගේන්න එපා.

ආණ්ඩුව මගින් මේ රට තුල කරමින් සිටින අධ්‍යාපනයේ විනාශයට එරෙහිව මේ වෙනකොටත් අපි පසුගිය 12 වැනි දින සිට විරෝධතා සතියක් නම් කරල පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විදියට රටපුරා ගුරුවරුන්, සිසුන් හා දෙමව්පියන් සියළු දෙනා එක්ව අඩි 1000 ක බැනරයක් අත්සන් කරමින් ඉන්නවා. ඒ වගේම අපි ඉදිරියේදී දෙමව්පියන් හා එක්ව විරෝධතා පවත්වන්න කටයුතු සූදානම් කරමින් තිබෙනවා."

Thursday, March 14, 2013

ප්‍රෝඩාව

පාසල්වල දෙමව්පිය පන්ති කව, දෙමව්පිය සංගම් හා ආදි ශිෂ්‍ය සංගම් මගින් විවිධ ව්‍යාපෘති සඳහා නීති විරෝධීව මුදල් එකතු කිරීම තහනම් කල බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (13 වැනිදා) චක්‍ර ලේඛයක්‌ නිකුත් කරන ලදී.
නමුත් ඒයින් මුදල් එකතුකිරීම වැලැක්වීම වෙනුවට තව තවත් මුදල් එකතු කිරීම සදහා නීත්‍යානුකූල මාර්ග සකසා ඇතිබව පෙනෙන්නට ඇත.

ඒහි ඇති දුර්වලතා මෙසේය
උපුටාගැනීම 2013/11 දරන එම චක්‍රලේඛය


1. මෙම නීත්‍යනුකූල ගාස්‌තු ගෙවීමට වුවද දෙමව්පියන්ට හා සිසුන්ට අනිවාර්ය කිරීමක්‌ හෝ බල කිරීමක්‌ නොකළ යුතු වේ.

2. නීත්‍යනුකූල ගාස්‌තු වුවද ගෙවීමට අපහසු සිසුන්, ග්‍රාම නිලධාරි සහතිකය මගින් ඒ බව තහවුරු කළ විට, සියලු ගෙවීම්වලින් එම ශිෂ්‍යයා නිදහස්‌ කළ යුතු අතර එසේ ගාස්‌තු ගෙවීමෙන් නිදහස්‌ කළ බවට අදාළ දෙමව්පියන් වෙත ලිතව දන්වා යෑවිය යුතුය.

3. ගාස්‌තු නොගෙවන සිසුන් කිසියම් ආකාරයක හෝ කායික, මානසික පීඩාවන්ට ලක්‌ නොකළ යුතුය.
උපුටාගැනීම අවසන්

මෙයින් පෙනෙන්නේ කිසිම විටක මුදල් එකතුකිරීම තහනම් කර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යංශ දිගින් දිගටම ජනතාව ගොනාට ඇන්දීමට කටයුතු කරන බවත්ය.පාසල් වලට රජයෙන් ලබාදෙන මුදල් කප්පාදු කිරීම නිසා කිසි විටෙකත් පාසල් ලට ලැබෙන මුදල් ප්‍රමානවත් නොමැත.එම නිසා මෙම චක්‍රලේකනයෙන් එහි පීඩනය තව තවත් ජනතාව මතට මුදාහැරීමට සිදුව ඇතිබව පෙනෙන්නට ඇත.