Monday, March 18, 2013

සියටැල්

වොෂින්ටන් නගරයේ සිටින බලවත්ම නායකතුමා අපේ භූමිය මිලදී ගැනීමට කැමති බව අපට දන්වා එවා ඇත. එමෙන්ම එතුමා අපේ මිත‍්‍රත්වය හා හොඳ හිත ද ප‍්‍රාර්ථනා කරයි. අපේ මිත‍්‍රත්වයෙන් ඔහුට එතරම් ප‍්‍රයෝජනයක් නැතත් එතුමාගේ කාරුණිකභාවය පිළිබඳව අපි එතුමන්ට කෘතඥ වෙමු. එතුමන්ගේ ඉල්ලීම පිළිබඳව ද අපි සලකා බලන්නෙමු.
ඔබ මේ අහස් තලය, පොළොවෙන් නගින උණුසුම් මිලදී ගන්නේ කෙසේද?
මේ අදහස අපට නම් විකාරයකි. සුළෙඟ් නැවුම් බව ජලයේ දිදුලන කාන්තිය අපට අයිති නොවේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙලෙසද?
මේ පොළොවේ සෑම බිම් අඟලක්ම මගේ මිනිසුන්ට පූජනීයය. දේවදාර ගසක දිලිසෙන සෑම කිනිත්තක්ම වැලි කඳුවලින් පිරි සෑම වෙරළක්ම අඳුරු වන ගැබ තුළ වන සෑම මීදුම් වළාවක්ම, සෑම එළිමහනක්ම, ගී ගයන සෑම කුඩා ප‍්‍රාණියෙක්ම මගේ මිනිසුන්ට නම් පූජනීය මතකයෝ සහ අත්දැකීම් වෙති. තුරුලතා අතරින් දිවෙන සෑම මංපෙතක්ම රතු ඉන්දියානුවන් පිළිබඳව මතකයන් රැගෙන යයි.

එබැවින් වොෂින්ටනයේ මහා නායකයා අපේ ඉඩම් මිලදී ගැනීමට කැමති බැව් දන්වා එවීමෙන් හෙතෙම අපෙන් නොදිය හැකි දෙයක්ම බලාපොරොත්තු වෙයි. මන්දයත් මේ පොළව අපට පූජනීය වන හෙයිනි. මේ ගංගා දිගේ ගලා බසින්නේ හුදු ජලයම නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. පොකුණු දිය කඳ මත පතිත වන සෑම අඳුරු ඡායාවක්ම මගේ වර්ගයේම ජීවන අත්දැකීම් හා අනුස්මරණ බැව් ඔබේ දරුවන්ට කියා දෙනු මැනවි. මේ ජලය නගන මිමිනුම මගේ මුතුන් මිත්තන්ගේ කටහඬයි.

ගංගාවෝ අපේ සොහොයුරෝය. ඔවුහු අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු පාරු ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. අප මේ භූමිය ඔබට විකිණුවහොත් වෙනත් ඕනෑම සහෝදරයෙකුට දක්වන කරුණාව ගංගාවලට ද දක්වනු මැනවි.

අපගේ පියවරුන්ගේ භෂ්මාවශේෂ අපට පූජනීය වන්නේය. ඔවුන්ගේ සොහොන් බිම් අපට පූජනීය වන්නේය. එහෙත් සුදු මිනිසුන් වන ඔබට නම් එක් භූමියක් තවත් භූමියකට වඩා වෙනස් නොවේ. ඔබේ මිනිස්සු භූමිය කොල්ලකා පලා යති. භූමිය ඔවුනට මිතුරෙකු නොව සතුරෙකි. එක් බිමක් අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුහූ තවත් බිම් සොයා ඉදිරියට ඇදෙති. කිසිදු හැඟීමකින් තොරව තම පියවරුන්ගේ සුසාන පසු කර යති. තම දරුවන්ගේ අනාගත භූමිය මංකොල්ල කති. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ හිස් කාන්තාරයක් පමණකි.

සුදු මිනිසාගේ නගරවල දර්ශනය රතු මිනිසාගේ නෙත්වලට වේදනාව ගෙන එයි. සුදු මිනිසාගේ නගරවල නිසංසල තැනක් සොයා ගත නොහැකිය. වසන්ත සමයෙහි තුරු ලතාවල ළපලූ විකසිත වන හඬ හෝ කුඩා කෘමි සතුන්ගේ පියාත්වල සිලිසිලිය ඔබේ නගරවලදී ඇසෙන්නේ නැත. එහි ඇත්තේ ඝෝෂාව පමණි. එය දෙසවනට මහත්ම හිරිහැරයකි.

ඇතැම් විට මා වැනි ම්ලේඡයෙකුට මේ දේවල් වටහා ගන්නට අසීරු විය හැකිය. එහෙත් හුදෙකලාවේ උලමා ගයන ගීතය හෝ රාති‍්‍රයේ පොකුණක් අසල මැඩියන්ගේ තර්ක විතර්ක නොඅසන ජීවිතයේ හරයක් වේද?

සත්තු, තුරුලිය හා මිනිස්සු යන අපි සියල්ලෝම එකම ප‍්‍රාණ වායුව හවුලේ බෙදා ගන්නෙමු. සුදු මිනිසුන් වන ඔබ තමන් ආශ්වාස කරන වාතය ගැනවත් නොදනියි. අපේ භූමිය ඔබට විකිණුවහොත් මේ සුළඟ අපට බෙහෙවින් අගනා දෙයක් වූ බව සිහි තබා ගත මැනවි. ඔබ එය ශුද්ධ වස්තුවක් ලෙස ආරක්ෂා කළ යුතුය.

ප්‍රෙයරි තණ බිම හරහා ගමන් කරන දුම්රියක සිට විනෝදයට වෙඩි තබා මරා දමන ලද කුණු වී යන දහස් ගණන් කුළු හරකුන්ගේ මළ සිරුරු මම දුටුවෙමි. කුළු හරකාට වඩා දුම්රිය වැදගත් වන්නේ කෙසේදැයි මට නම් වැටහෙන්නේ නැත. ඒ සමහර විට මා වනචාරී ම්ලේච්ඡයෙකු නිසා වීමට පුළුවන.

තිරිසන් සතුන් නොමැති ලොවක මිනිසා හුදෙකලාව ජීවත් වන්නේ කෙසේද? එසේ වුවහොත් ඒ හුදකලා බවින් ඔහුද විනාශ වී යනු ඇති. ඒ මන්ද යත් ඒ සත්වයින්ට සිදුවන දෙය ඉතා ඉක්මනින්ම මිනිසාටද සිදුවන නිසාය.

ඔබේ දරුවන් දෙපයින් නැගී සිටින විට මේ බිම අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාවශේෂයෙන් පෝෂණය වී ඇති බව ඔවුනට වටහා දෙනු මැනවි. භූමිය අපගේ මාතාවයි. භූමියට සිදුවන සෑම හොඳක් හෝ නරකක්ම එහි දරුවන්ට ද උරුම වන්නේය. ඔබ භූමියට කෙළ ගසන්නේද ඔබ තමාටම කෙළ ගසා ගනී.

මේ මහ පොළොව මිනිසාට අයිති නැත. එහෙත් මිනිසා මහ පොළොවට අයත්ය. ඥාතීන් සියලූ දෙනා එකම බැම්මකින් බැඳෙන්නාක් මෙන් මෙලොව ඇති සියලූ දෑ එකිනෙක හා බැඳී තිබෙන බව අපි දනිමු. ජීවන ජාලය වියන ලද්දේ මිනිසා විසින් නොවේ. ඔහු හුදෙක් එහි එක් වරපටක් පමණකි. මේ ජීවන ජාලයට හෙතෙම යම් බලපෑමක් සිදු කරයි ද හෙතෙම එය තමන්ටම සිදු කර ගත්තා වේ. එහෙත් ඔබ අප වෙනුවෙන් වෙන් කොට ඇති වාසභූමි වෙත යාම පිළිබඳව අපි සලකා බලන්නෙමු. එවිට අප එකිනෙකාගෙන් වෙන්ව එහෙත් සාමයෙන් ජීවත් වනු ඇත.


අපි එක් දෙයක් දන්නෙමු. එනම් යම් කිසි දවසක සුදු මිනිසා අපේ දෙවියන් ඔබේ දෙවියන්ද වන බව වටහා ගනු ඇත. අපේ ඉඩම් අයිතිකර ගැනීමට සිතන්නාක් මෙන් දෙවියන් ද අයත් කර ගැනීමට ඔබට සිතෙනු ඇත. නමුත් ඔබට එසේ කිරීමට නොහැකි වනු ඇත.


එතුමන් මුළු මහත් මිනිස් වර්ගයාගේම දෙවියාය. උන්වහන්සේගේ දයාව සුදු මිනිසාට මෙන්ම රතු මිනිසාට ද එක හා සමානය. මේ පොළෝ තලය ඔහුට අනර්ඝ වස්තුවක් වෙයි. ඊට හානි කිරීම එහි නිර්මාපකයාට නිගරු කිරීමක් වේ. දිගින් දිගටම ඔබේ යහන අපවිත‍්‍ර කිරීමෙන් යම් රාති‍්‍රයක ඔබම නිපදවූ අපද්‍රව්‍ය ඔබේම හුස්ම හිර කරවනු ඇත.


එහෙත් විනාශය කරා යන ඔබ නිවෙන්නට පෙර දීප්තිමත්ව දැල්වෙන පහන් වැටියක් මෙන් උද්දීප්තිමත්ව බැබළෙනු ඇත. ඔබට මේ භූමියෙහි හා රතු ඉන්දියානුවන්ගේද ආධිපත්‍යය ලබා දුන්නා වූ දෙවියන්ගේ ශක්තිය ඊට හේතු වනු ඇත. සෑම කුළු හරකෙකුම මස් කරන ලද සෑම කැලෑ අශ්වයෙකුම හීලෑ කරන ලද පැහැබර කඳු ශිඛර කතා කරන කම්බිවලින් වැසී ගිය කල ඒ දෛවය අපට නම් අභූතයකි. වන ලැහැබ් කොහිද? නැති වී ගොස්ය. රාජාලියා කොහිද? නැති වී ගොස්ය. මේ සියල්ල කුමක්ද? ජීවිතයේ අවසානයයි. අපි ඔබේ ඉඩම් මිලදී ගැනීමේ යෝජනාව සලකා බලන්නෙමු.

අප ඊට එකඟ වුවහොත් ඔබ විසින් අපට දෙන්නට පොරොන්දු වී සිටින රක්ෂිත භූමියෙහි අපි ජීවත් වන්නෙමු. අන්තිම රතු මිනිසාත් පොළොවෙන් අතුරුදහන් වූ විට ඔහුගේ මතකය තණ බිම් මතින් පාවෙන වලාකුළක සෙවණැල්ලක් පමණක් වනු ඇත. මේ වෙරළ හා වනාන්තරය තවදුරටත් මගේ මිනිසුන් පිළිබඳ මතකය දරා සිටිනු ඇත. ඔවුන් මේ භූමියට ආදරය කළේ අලූත උපන් ළදරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. ඉතින් අප භූමිය ඔබට විකුණා දැමුවොත් අප එයට ආදරය කළ හැටියටම ඔබත් ඊට ආදරය කරන්න. දෙවියන් අප සියලූ දෙනාටම ආදරය කරන ලෙසටම ඊට ආදරය කරන්න. අපි එක් දෙයක් දනිමු. අපේ දෙවියනුත් ඔබේ දෙවියන්මය. පොළොව ඔහුට බෙහෙවින් අගී. සුදු මිනිසාට පවා පොදු ඉරණමෙන් ගැලවිය නොහැකිය. ඒ අරුතින් අපි සියලූ දෙනාම සහෝදරයෝ නොවෙමුද?

   -සියටැල් 

කවුද මේ "e ටීචර්"

තොරතුරු තාක්‌ෂණික මෙවලම් ලෝකෙට එන්නේ පුදුම වේගයෙන්. මෙවලම් කීවේ මෘදුකාංග දෘඩාංග දෙකම. අපේ රටත් දැන් දැන් තොරතුරු තාක්‌ෂණයේ විවිධ අංශවලින් සංවර්ධනය වෙමින් යනවා. පසුගියදා දැකපු බොහොම වටින දෙයකට පසු වදනක්‌ ලියන්නයි මේ සූදානම් වෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පසුගියදිනක e තක්‌සලාව වෙබ් ද්වාරය දියත් වුණා. (www.e-thaksalawa.moe.gov.lk) ඒක අපේ දරුවන්ට ඉගෙන ගන්න කියාපු තැනක්‌. මේ වෙබ් අඩවියේ බොහොමයක්‌ විෂයයන්ට අදාළව තොරතුරු තාක්‌ෂණය භාවිතා කරලා පාඩම් සකස්‌ කරලා තියෙනවා.

තොරතුරු තාක්‌ෂණය අධ්‍යාපනයට යොදා ගත්තොත් දරුවන්ට ඉගෙන ගන්න කොයි තරම් ලේසි වෙයිද? ඉගෙනුමේ ඵලදායිත්වය කොයි තරම් වැඩි කරන්න පුළුවන් වෙයිද. අපේ දරුවෝ කොයි තරම් ආසාවෙන් ඉගෙන ගනියිද? ඒ හරහා අපේ මේ පුංචි රටේ දරුවෝ කී දෙනෙක්‌ හෙට ලෝකය ජයග්‍රහණය කරාවිද?.

ඇත්තටම ඒක ලස්‌සන දෙයක්‌.

"ඒත් මේක කරන්න අමාරුයි ඇයි.?"

"අමාරුවෙන්න තියෙන ලොකුම හේතුව අපේ රටේ e Teachers ලා ගොඩක්‌ හිඟ හින්දයි කියලා මං හිතන්නේ."

"කාටද මේ e Teachers ලා කියන්නේ?"

"තමන්ගේ ඉගෙනුම ඉගැන්වීම් කාර්යය සඳහා තොරතුරු තාක්‌ෂණය භාවිතයට ගන්නා ගුරුවරුන් e Teachers කියලා කියන එකෙන් අදහස්‌ කළේ."

"තවත් ටිකක්‌ පැහැදිලි කළොත්?"

"අපේ ගුරුවර ඉගෙනුම් ආධාරක ලෙස වැඩිපුරම පාවිච්චි කළේ කළුලෑල්ලයි හුණු කූරයි දෙකනේ. අද වෙන කොට ඒකත් සුදු ලෑල්ලයි - මාකර් පානයි (white board - and maeker) විදියට වෙනස්‌ වෙලා. ප්‍රාථමික පන්තිවලදී මේ තත්ත්වය මීට වැඩිය ටිකක්‌ වෙනස්‌. ඒ ගුරුවරු නම් ඉගෙනුම් උපකරණ ටිකක්‌ හදාගන්නවා. කාඩ්බෝඩ් වල රූප ඇඳලා. නැත්තං අවශ්‍ය දේවල් හැඩතල වලින් හදාගෙන, ක්‌ලේ නැත්තං මැටි වගේ දේවල් වලින් අඹලා, ඔය වගේ විවධ ආකාරවලට දරුවගේ සංකල්ප වර්ධනය කරන්න උත්සහ ගන්නවා."

"මම මේ කියන e Teachers ත් ඔය හැම විදියටම උගන්නවා. ඒවට අමතරව එයා මෙන්න මේ වගේ දේවලුත් පාවිච්චි කරනවා. පරිගණකයක්‌, මල්ටිමීමිඩියා ප්‍රොජෙක්‌ටරයක්‌, පරිගණක විද්‍යාගාරයක්‌, ඩිජිටල් වයිට්‌ බෝඩ් එකක්‌, ප්‍රින්ටරයක්‌ PDA එකක්‌, ස්‌මාර්ට්‌ ෆෝන් එකක්‌, ඩිජිටල් කැමරාවක්‌, අන්තර්ජාල සම්බන්ධතාවක්‌, විවිධ ආකාරයේ පරිගණක, මෘදුකාංග, රූපවාහිනී යන්ත්‍රයක්‌, DVD ප්ලේයර් එකක්‌ වගේ දේවල්."

"එහෙම ගුරුවරු අපේ රටේ ඉස්‌කෝලවල ඉන්වාද?"

"ඉතාම අතලොස්‌සක්‌ ඉන්නවා."

"එතකොට ඒ ගුරුවරු අනික්‌ ගුරුවරුන්ට වඩා හොඳට දරුවන්ට උගන්නනවාද?

"ගුරුවරයකුට ඉගෙනුම් ආධාරක කියන්නේ මනමාලියකුට ආභරණ වගේ. කළු ලෑල්ලයි සුදු හුණු කෑල්ලයි අරගෙන උගන්නනවාට වඩා පාට හුණු කෑලි පාවිච්චි කළොත් තේරුම් කරන්නයි තේරුම් ගන්නයි දෙකම ලේසියි. ඒ වගේමයි තාක්‌ෂණික මෙවලම් ඉගැන්වීම් කාර්යයට පාවිච් කළාත් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යය තවත් පහසු වෙනවා. ළමයින්ටත් ප්‍රිය වෙනවා."

"ඔය කියන විදියේ උපකරණ ගොඩක්‌ මිල අධිකයි නේද?"

"මිල නම් තරමක්‌ ඉහළ තමයි. ඒත් මෙතන ප්‍රශ්නය උපකරණවල මිල නෙමෙයි. මං හිතන විදියට මෙතන තියන ලොකුම ගැටලුව තමයි මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ තියෙන ධනාත්මක ආකල්ප අඩු එක. ඒකට ප්‍රධානතම හේතුව තාක්‌ෂණික උපකරණ මෙහෙයවීම පිළිබඳ දැනුම හා කුසලතාවන් තියෙන ගුරුවරු අඩුවීමයි".

"ඇයි එහෙම කියන්නේ?"

"පරිගණක මෙහෙයවීමට දන්න කෙනෙකුටම මේ විදියට උගන්වන එකේ වටිනාකම හොඳට තේරෙනවා."

"ඔබ මේ සඳහන් කරන e Teachers කෙනෙක්‌ නේන මොනවද දැනගෙන තියෙන්න ඕනේ?"

"මොන ගුරුවරයකු වෙන්නත් මුලින්ම තමන්ගේ වෘත්තියට ආදර කරන කෙනෙක්‌ වගේම උගන්වන විෂය ගැන හොඳ පැහැදිලි අවබෝධයක්‌ ඉගැන්වීමේ හැකියවකුත් තියෙන කෙනෙක්‌ වෙන්න ඕනෑ නේ. ඊළඟට පරිගණක මෙහෙයවීමේ හැකියාව තියෙන්න ඕනේ. සුදුසු මෘදුකාංග හා දෘඪාංග තියෙන්නත් ඕනේ. එම මෘදුකාංගවල සීමා හා පාඩමේ සීමා ගළපා ගත හැකි වෙන්නත් ඕනේ."

"මේ ක්‍රමය ක්‍රියාත්මක වීමට ගුරුවරුන් සිටීම පමණක්‌ ප්‍රමාණවත්ද?"

"කොහෙත්ම නැහැ. මුලින්ම මෙවැනි ක්‍රමයක්‌ ක්‍රියාත්මක කිරීමේ වටිනාකම පාසල් ප්‍රධානීන්ට අවබෝධවී තියෙන්න ඕනේ. එතකොට තමයි මේ සඳහා අවශ්‍ය පසුබිම සකස්‌ කර ගන්න පුළුවන් වෙන්නේ. පාසල් වල පන්ති කාමරවලට කළුලෑල්ල අයින්වෙලා වයිට්‌ බෝඩ් මාකර් පෙන් ආවේ ඒ ගැන තිබුණ යහපත් ආකල්පය නිසා මිස රජයේ හෝ වෙනත් බලපෑමක්‌ නිසා නොවෙයිනේ."

"මේ සඳහා කළ යුත්තේ කුමක්‌ද?"

"පාසල් ප්‍රධානීන්ට මෙවැනි වැඩසටහන් ගැන අවබෝධයක්‌ ලබාදිය යුතුයි.· ගුරුවරුන්ට තමාගේ විෂයයන්ට අදාළ අධ්‍යාපනික මෘදුකාංග පරිහරණයට අවස්‌ථාව ලබාදිය යුතුයි. මොකද මම මෙහෙම කියන්නේ ලංකාවේ ගොඩක්‌ ගුරුවරු එවැනි දේවල් ඇති බව වත් නොදන්නා නිසයි. එහි වටිනාකම අවබෝධ වූවාට පසු කෙසේ හෝ පරිගණක පිළිබඳ මූලික අවබෝධයක්‌වත් ලබා ගන්නට ගුරුවරුන් පෙළෙඹනවා නියතයි."

"භෞතික සම්පත් සපයා ගැනීමට වඩා මානව සම්පත් සංවර්ධනයයි මේ කටයුත්තේ පළමුව කළ යුතු වන්නේ. මොකද මේ සංකල්පය හදවත් තුළ රෝපණය කරන්න තමයි වැඩි කාලයක්‌ ශ්‍රමයක්‌ දරන්න වෙන්නේ."

"මේ විදියට වැඩ ආරම්භ කලොත් තව අවුරුදු කීපයකින් හරි ලෝකයත් එක්‌ක බැඳුණු පිsරිපුන් අධ්‍යාපන ක්‍රමවේදයකට අපේ දරුවන්ට මං පෙත් විවර වේවි·"

ලක්‍ෂ්මන් තිලකරත්න

Saturday, March 16, 2013

සබරගමු සිසු විරෝධ උග්‍ර වේ

සබරගමුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන නවක සිසු සිසුවියන්ගෙන් අය කරනු ලබන ගාස්‌තු ඉහළ දැමීමට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ග ආරම්භ කළ එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් පහක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පරිපාලන අංශ ඊයේ (15 වැනිදා) පියවර ගත්තේය.

මෙම ක්‍රියාමාර්ගයට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල සිසුහු විශාල පිරිසක්‌ මහ වැසි නොතකමින් විශ්වවිද්‍යාලයට නුදුරින් පිහිටි කොළඹ - බදුල්ල මහා මාර්ගය අවහිර කරමින් ඊයේ සවස පැයක පමණ කාලයක්‌ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

මෙවර ඇතුළත් කළයුතු නවකයන් සංඛ්‍යාව 458 කින් අඩු කිරීම ද ඔවුන්ගේ විරෝධයට හේතුවක්‌ වී ඇත.

ගාස්‌තු ඉහළ දැමීමට හා සිසුන් අඩු කිරීමට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වූ සිසුන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීම සඳහා ද පරිපාලන අංශ කටයුතු කරමින් සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙතෙක්‌ නවකයන් ඇතුළත් වන විට පමණක්‌ ගෙවීමට සිදුව තිබූ රුපියල් නවසිය පනහක මුදල මෙවර රුපියල් දෙදහස්‌ හයසියය දක්‌වා වැඩි කර එම මුදල ද වාර්ෂිකව ගෙවිය යුතු මුදලක්‌ ලෙස දන්වා ඇති බවත් ශිෂ්‍ය සංගම් ප්‍රකාශකයෙක්‌ පැවසීය. මීට අමතරව නේවාසික ගාස්‌තු වශයෙන් රුපියල් පන්සියයක අමතර මුදලක්‌ ගෙවීමට සිදුවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය. මේ ආකාරයෙන් මෙවර නවක සිසු සිසුවියන්ගෙන් විශ්වවිද්‍යාලය අයකර ඇති මුදල ලක්‍ෂ ගණනක්‌ යෑයි ද එම ප්‍රකාශකයා කීවේය.

මෙම ක්‍රියාමාර්ගයන්ට එරෙහිව දිගින් දිගටම විරෝධතා ව්‍යාපාරවල යෙදී සිටින විට ශිෂ්‍ය ක්‍රියාකාරකම් නතර කළ යුතු බව පරිපාලන අංශ විසින් මහා ශිෂ්‍ය සංගමයට ලිතව දන්වා ඇත. එම ලිත දැනුම්දීමට අනුව ශිෂ්‍ය සංගම් රැස්‌වීම් පැවැත්විය නොහැකි අතර රාත්‍රි දහයෙන් පසුව කිසිදු ශිෂ්‍ය ක්‍රියාකාරකමකට අවස්‌ථාව නැත.

පරිපාලන අංශ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ එම නියෝග කඩකිරීම නිසා යෑයි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

මේ අතර පසුගිය 12 වැනිදා රාත්‍රි 7 සිට මධ්‍යම රාත්‍රිය දක්‌වා නවක සිසු සිසුවියන් බලහත්කාරයෙන් රඳවා ගනිමින් මහා ශිෂ්‍ය සංගමය රැස්‌වීමක්‌ පවත්වා ඇතැයි ද ඒ සඳහා නේවාසිකාගාරවලට ගොස්‌ සිසුවියන් කැඳවාගෙන පැමිණ ඇතැයි ද මේ සම්බන්ධයෙන් "දිවයින" කළ විමසුමකට පිළිතුරු දුන් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසීය. මෙම රැස්‌වීම පැවැත්වීමට උපකුලපතිවරයාගෙන් කිසිදු අවසරයක්‌ ලබාගෙන නැතැයි ද ඒ සඳහා පෙරටුගාමී දේශපාලනයේ නියුතු කථිකයකු ද සහභාගි වී ඇති බව ද සඳහන් කළ ඒ මහතා මේ සම්බන්ධයෙන් සිසුන් හා දෙමවුපියන් අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බව ද කීවේය.

ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට පරිපාලන අංශ පියවර ගෙන ඇත්තේ මෙම සිදුවීම් නිසා බව ද මාවැල්ලගේ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද මේ පිළිබඳව විමසීම සඳහා උපකුලපති මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.


නිලන්ත මදුරාවල