Friday, February 8, 2013

රටේ තවත් තරුණ කැරැල්ලක් ඇතිවීම අනිවාර්යයක් - ඩලස්


අනාතගයේදී තවත් තරුණ කැරැල්ලක් ඇතිවීමේ ඉඩකඩ පහළවෙමින් පවතින බවත් තමන්ගේ වගකීම් හරියට ඉටු කිරීමට නොහැකිවූ බැවින් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තමන් සූදානම් බවත් නිපුණතා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා ගාල්ල තාක්‍ෂණ විද්‍යාලයේදී පවසා තිබේ.
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ "මේ රටේ තියෙන්නේ අමුතුම දේශපාලන සෙල්ලම්. ඡන්ද කාලයට තමන්ගේ ඔළුව විතරක් නෙවෙයි අතයි කකුලුයි දෙක තුනම කරකවලා ඡන්ද ගන්නවා මිසක් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්නේම නැහැ. ඒ නිසා දැන්වත් අපේ වැඩිහිටි පිරිස් අරක්කු ටිකටයිහිස් රැකියා පෝරමයටයි ඡන්ද දීලා තමන්ගේ දරුවන්ගේ අනාගතය පාවා නොදෙන්නට දැන්නවත් සූදානම් විය යුතුයි.
තව වසර දහයකින් හෝ විස්සකින් තවත් තරුණ කැරැල්ලක් මේ රටේ ඇතිවීම අනිවාර්යයක්. මට හරියට වගකීම් ඉටුකරන්නට බැරි වුණා. මම දේශපාලනයෙන් විශ්‍රාම යන්නට සූදානම්.
මේ රටේ සිටිය හා සිටින දේශපාලනඥයන්ටගුරුවරුන්ට හා මවුපියන්ට මේ රටේ තාරුණ්‍යයේ විශ්වාසය දිනාගන්න බැරි වුණා. ඔවුන්ගේ හඬට කන්දෙන්න බැරි වුණා. ඔවුන් තේරුම්ගන්න බැරි වුණා. ඒ නිසා ගෙවී ගිය යුගයේ මේ රටේ තරුණ කැරැලි තුනක මහා ඛේදවාචකයකට මුහුණ දෙන්නට අපට සිදුවුණා. මෙයට රටේ දේශපාලනඥයන්,ගුරුවරුන් මෙන්ම මවුපියන්ද වගකිව යුතුයැයි කීය.
අපේ රටේ සිසුන්ගෙන් 5%ක් විශ්වවිද්‍යාලයට යන විට 95%ක් අතරමඟ නතරවන අධ්‍යාපනයක්සමාජ වටපිටාවක් අප රට තුළ තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා මෙවන් තත්ත්වයක් යටතේ මේ රටේ තරුණයන්ට සයිනයිඩ් කරල් බෙල්ලේ එල්ලා ගැනීම හා දෙපයින් සිට මියයෑම හැර ඔවුන්ට වෙන තිබූ සමීපතම විසඳුම කුමක්ද?
මේ රටේ සිංහලදෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා නොකිරීමපාසල් අධ්‍යාපනය තුළ ඉංග්‍රීසි භාෂාව ලඝුකොට තැබීමහා වෘත්තීය අධ්‍යාපනයට ඉතිහාසය පුරාම සැලකිල්ලක් නොදැක්වීම යන කරුණු මත අපේ රටේ මහා ඛේදවාචකයන් ඇතිවුනා. මේ රට තුළ අද ඉන්ජිනේරුවන්ගේ විශාල හිඟයක් තිබෙනවා." යයිද පැවසීය.

ජනපතිතුමනි, අපි කම්පා වෙන්නම් ඔබ සතුටු වෙන්න - අන්තරය

තම ආර්ථික ප්‍රතිපත්ති මගින් පාසල් සිසුන්ට අත්කර දී ඇති ඉරණම සම්බන්ධයෙන් කම්පාවීම ජනාධිපතිවරයාගේ තවත් හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් පාසල් දරුවන්ට සොරකමේ යෙදෙන්නට සිදුව ඇත්තේ අධ්‍යාපන පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් බවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පාසලේ තීන්ත ආලේප කිරීමට මුදල් ලබාදීම සදහා පාසල් ශිෂ්‍යයාවකට සොරකමේ යෙදීමට සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ බව ප්‍රකාශ කර තිබේ.
එම නිවේදනය මෙසේය.
පාසලේ තීන්ත ආලේප කිරීම සඳහා ගෙනෙන්නට කියූ රු.800ක මුදලක් දෙමව්පියන්ට ගෙවීමේ හැකියාවක් නොමැතිවීම නිසා අසල වත්තකින් රු.320ක් වටිනා පොල් ගෙඩි අටක් ඇහිලූ ශිෂ්‍යාවක් හොරණ මහෙස්ත‍්‍රාත්වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.50000ක ශරීර ඇපයක් මත මුදාහරිනු ලැබූ පුවතක් ඊයේ පුවත්පත්වල වාර්තා කර තිබුණි. එය අප කාගේත් හදවත් කම්පාවට පත්කරනු ලබන පුවතක් වන අතර ඒ පිළිබඳව මාධ්‍යවේදියකු රජයේ කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඇසු පැනයකට දෙන ලද පිළිතුරෙන් අපි තවත් කම්පාවට පත්වීමු.
ඔහු ප‍්‍රකාශකර ඇත්තේ මෙම ප‍්‍රවෘත්තිය ඇසීමෙන් ජනාධිපතිවරයා බලවත් කම්පාවට පත් වූ බවයි. මෙය නම් ආශ්චර්යයක් මැයි. ජනාධිපතිතුමා කම්පාවට පත්ව තිබේ. ඝාතකයකු දිනපතා පුද්ගලයන් ඝාතනය කරන ගමන් සියතින් ඝාතනය වන පුද්ගලයන් පිළිබඳව කම්පා වන්නේ යැයි කිව හොත්.....මෙයද එවැනිම කතාවක් නොවන්නේ ද?
දෙමව්පියන්ගෙන් පාසල්වල නඩත්තුට මුදල් අය කරන්නේ ඇයි? එය විදුහල්පතිවරයාගේ වරදකින් සිදුවූවක්ද? නැත. ආණ්ඩුව පාසල්වලට වෙන්කරන ප‍්‍රතිපාදන කපා එහි නඩත්තුවට පාසල් සංවර්ධන මණ්ඩල නම් ව්‍යුහයක් හඳුන්වා දෙන ලදි. ඒ හරහා පාසල් නඩත්තු කිරීම දෙමව්පියන්ගෙන් මුදල් අයකර සිදු කරනු ලැබේ. මේ සිදුවීම එම වැඩපිළිවෙලේ එක් ප‍්‍රතිවිපාකයක් පමණි. තවත් වාර්තා නොවන සිදුවීම්නම් කොතෙක් ඇත්ද?
නඩත්තුවට අයකරන මුදල් දීගත නොහී පාසල් ගමන නැවතුනු දරුවන් කී දෙනෙක් ඇත්ද? දරුවන් පාසල් නොයන විට වැලපෙන දෙමව්පියන් කොතෙක් ඇත්ද? ඒ මුදල් සොයනන්ට ගොස් සොරුන් ලෙස හංවඩු ගසන ලද දරුවන් කීදෙනෙක් සිටීද? මේ අශ්චර්යමත් දේශයේ හැටිය. මේ ආඩම්බරකාර තාත්තා අපට දායාද කළ ඉරණමයි. අද ඔහු කිඹුල් කදුළු හෙළයි. ප‍්‍රතිපාදන වැඩිකර පාසල් නඩත්තුවේ වගකීමෙන් දෙමව්පියන් නිදහස් කරන්නැයි අරගල කරන විට සිසුන්ට, අචාර්යවරුන්ට දේශද්‍රෝහියෝ යැයි කීවේත්, මහ උජාරුවට වාර්ෂිකව ඉදිරිපත් කරන අයවැයෙන් අධ්‍යාපන ප‍්‍රතිපාදන කැපුවේත් ඔහුය. එසේනම් දරුවන්ට තමන්ම අත්කළ ඉරණම දැක කම්පාවීමට ඔහුට අයිතියක් තිබේද? ඇත්තටම ඔහුට කම්පනයක් තිබේ ද? නැත. මෙය තවත් රඟපෑමක් පමණි. ඒ නිසා අපි එතුමාට කියමු. අපි කම්පා වෙන්නෙමු. ඔබ සතුටු වෙන්න.
එසේම අපි මෙහිදී ජනතාවට කියා සිටිමු. මේ කිඹුල් කඳුළුවලට නොරැුවටෙන්න. දැන් වත් අවදිවිය යුතුය. හෙට මේ ඛේදවාචකයේ ගොදුර ඔබගේ දරුවා විය හැකිය

Monday, February 4, 2013

උසස් පෙළ සමත් සියලූ දෙනා සරසවි වරම් වෙනුවෙන් අරගල කළ යුතුයි - දුමින්ද නාගමුව


උසස් පෙළ විභාගයෙන් සමත් වූ සියලූ දෙනාටම සරසවි වරම් හිමි විය යුතු බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත පෙන්වා දුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩ සභික දුමින්ද නාගමුව මහතා, එම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් අරගල කළ යුතු යැයි අවධාරණය කළේය. දෙමාපියන් තම දරුවන්ට ඉගැන්වීම සඳහා විශාල වෙහෙසක් ගන්නා බවත් එහෙත් ඉන් නතර නොවී එම වෙහෙසෙහි ප‍්‍රතිඵල ලැබීමට නම් තවත් අරගලයක් ඇති බවත් ඔහු පැවසුවේය.
දුමින්ද නාගමුව මහතා මෙම අදහස් පළ කළේ අද එම පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමිනි. මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දක්වමින් දුමින්ද නාගමුව මහතා මෙසේ දපැවසීය.
"පසුගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල වැරදිලා ලොකු අවුලක් වුණා. ඒ වෙනුවෙන් වන්දි ගෙවන්න ශිෂ්‍යයින්ට සිදු වුණා. තවත් එවැනි වරදක් සිදුනොවන බවට ආණ්ඩුව පම්පෝරි ගැහුවා. ඒත් මෙවර විභාගයේත් ඒ වරද ඒ විදියටම සිද්ධ වෙලා තිබෙනවා.
මොනරාගල දිස්ත‍්‍රික්කයේ විභාග අංකය 6004849වුණු ශිෂ්‍යාවකගේ ප‍්‍රතිඵලය සී, එස්, බී ලෙස තිබෙන්නේ. ඇගේ එසෙඞ් අගය ඍණ 0.1068යි. ඇගේ දිස්ත‍්‍රික් රෑන්ක් එක 9. ජාතික මට්ටම 460. ඒ දිස්ත‍්‍රික්කයේම විභාග අංකය 6014780වුණු ශිෂ්‍යයකුගේ විභාගය ප‍්‍රතිඵලය ඒ දෙකයි බී එකක් ලෙස තිබෙනවා. ඔහුගේ දිස්ත‍්‍රික් මට්ටම 278. ජාතික මට්ටම 9734.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් එවැනිම ප‍්‍රතිඵලයක් තිබෙනවා. සී දෙකයි එස් එකක් ගත් සිසුවියකගේ ඉසෙඞ් අගය ඍණ 0.3373. ඇගේ දිස්ත‍්‍රික් මට්ටම 9. ජාතික මට්ටම 534. ඒ දිස්ත‍්‍රික්කයේම තවත් සිසුවියක් ඉන්නවා බී දෙකයි සී එකක් ලබා ගෙන, ඉසෙඞ් අගය ධන 0.7353ලබා ගත්. ඇගේ දිස්ත‍්‍රික් අගය 320. ජාතික මට්ටම 20771. මේක කිසිසේත්ම විය නොහැකි තත්වයක්.
ඒ නිසා මෙවර විභාග ප‍්‍රතිඵලවලත් බරපතළ අවුලක් තිබෙනවා.
ඒ වගේම අනෙක් කරුණ තමයි, පසුගිය විභාග ප‍්‍රතිඵලය ආණ්ඩුව වරද්දලා, අධිකරණයෙන් නියෝගයක් දුන්නා වැඩිපුර සිසුන් බඳවා ගන්න. ඒ අනුව බඳවා ගත යුතු සිසුන් ගණන 28,109ක්. නමුත් දැන් ආණ්ඩුව නැවත අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කියනවා ඒ ප‍්‍රමාණය බඳවා ගන්න බැහැ, බඳවා ගන්න පුළුවන් 26,000ක් විතරයි කියලා. නඩු තීන්දුව තමන්ට  ඕන විදියට වෙනස් කර ගන්න අධිකරණයට ගිහින් ඉන්නවා. ඒ නඩුව අධිකරණයේ විභාග වෙමින් තිබියදී උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ඇමතිවරයා කියනවා මේ සැරේ බඳවා ගන්නේ සිසුන් 26,000යි කියලා. ඒ වගේම ලබන අවුරුද්දේ බඳවා ගන්නේ තවත් 1500ක් අඩුවෙන් කියලා ආණ්ඩුව කියනවා.
සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම විශ්වවිද්‍යාලයට බඳවා ගන්නවා කියන ප‍්‍රමාණය බඳවා ගන්නේ නැහැ. හැම බැජ් එකකම පුරප්පාඩු තියෙනවා. ඒවා පුරවන්නේ ශිෂ්‍ය සංගම් පීඨාධිපතිවරුන් එක්ක සාකච්ඡුා කරලා. එහෙම එන අය ගැන තමයි විශ්වවිද්‍යාල භාෂාවෙන් කියන්නේ බෝට්ටුවෙන් එනවා, පීල්ලෙන් එනවා කියලා.
එහෙම තියෙද්දී එස්.බී. දිසානායක ඇමතිවරයා කියනවා බඳවා ගන්නා ප‍්‍රමාණයෙන් සියයට පහක් විදෙස් සිසුන් වෙනුවෙන් වෙන් කරනවා, ලබන අවුරුද්දේ එය සියයට දහයක් කරනවා කියලා. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල අවස්ථා 2200ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා මෙරට සිසුන් බඳවා ගන්නේ නැහැ. ඔය එනවා කියන ඉන්දියාවේ, මැඩගස්කරයේ ළමයි මෙච්චර කාලෙකට ආවේත් නැහැ. මෙහේ විභාගවල තියෙන අවුල මුළු ලෝකෙම දන්නවා. ඒ නිසා එන්නේ නැහැ.
ඊළඟ කරුණ තමයි මෙවර වාණිජ්‍ය විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ඒ තුන සාමාර්ථය ගත් සිසුන් ප‍්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළ ගාස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඒ තුනක් සහ ඒ දෙකයි බී එකක් ගත් සිසුන් දස දහසකට ආසන්න පිරිසක් ඉන්නවා. 2010අවුරුද්දේ වාණිජ්‍ය අංශයෙන් විශ්වවිද්‍යාලයට ගත්තේ 4900යි. ඒ නිසා ඒ තුන සාමාර්ථය ගත්තු විශාල පිරිසකට විශ්වවිද්‍යාල වරම් අහිමි වෙනවා. මේ ගැන සැකයක් තිබෙනවා, මේ විදියට ප‍්‍රතිඵල ඉහළ දැම්මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පාර කැපීම සඳහාද කියලා. දැන් කියන්න ඉඩ තියෙනවා, විශ්වවිද්‍යාල යන්න බැරි වුණු අය පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන්න ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දෙන්නම්, ණය දෙන්නම් කියලා.
ඒ කොහොම වුණත් සාමාන්‍යයෙන් එක් විභාගයකින් සමත් වුණාට පස්සේ ඊළඟ අදියරේ ඉගෙන ගන්න අවස්ථාව තිබිය යුතුයි. ඒ නිසා උසස් පෙළ සමත් වුණු සියලූ දෙනාට සරසවි වරම් හිමි විය යුතුයි. ඒ අයිතිය දිනා ගැනීමේ අරගලයට එක් වෙන්න කියා අපි සියලූ දෙනාට ආරාධනා කරනවා.