ඒ හැඟුම සිත පාරවයි. ඊයක් මෙන් පත්ලට කිදා බැස සිත කීරි ගන්වයි. සිත් කම්පා කරවන අවස්‌ථාවන්ට සංවේදී වන්නට තරම් හැඟීමක් මනසක් ඇති එකෙක් නැති වග යළිත් පසක් කර තිබේ. මේ පළමු වැනි හෝ අවසාන වර ද නොවේ.
පාසලේ තීන්ත ගෑම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොල්ගෙඩි අටක් අනවසරයෙන් ගත් දැරියක අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමේ හද රිදවන සිදුවීම දෙස නොබැලු අයෙක් නැත. එම සිදුවීම මේ සමාජ යථාර්ථයේ කදිම නිර්දශනයක් ලෙස අර්ථදැක්‌වීම අතිශයෝක්‌තියක් නොවේ. බොහෝ පිරිස් ඒ දැරියගේ අන්ත අසරණ භාවය පිළිබඳව ඉමහත් ශෝකයෙන් කතා කරන විට තවත් පිරිස් දෙමවුපියන්ට, පාසලට එසේ නැතහොත් පොල් ගසේ හිමිකරුට දෝෂාරෝපණය කරති. දැරිය අධිකරණයට ඉදිරිපත් කළ පොලිසියට ද මෙ වන විට චෝදනා එල්ල වී තිබේ. එනම් එතරම් සුළු සිද්ධියක් සමථ මණඩලය ඉදිරියට ගෙන යැමෙන් තොරව අධිකරණය ඉදිරියටම ගෙන යැම පිළිබඳවය. රටේ ඉහළම පුද්ගලයන්ට හොටු පෙරාගෙන වැළපෙන්නට මෙය කදිම අවස්‌ථාවකි. දුටු දුටු තැන දරුවන් සිඹින මුත් එය ළෙන්ගතුකමක් හෝ සැබෑ ස්‌නේහයක් නොවන බව මේ දැරියගේ සිද්ධියෙන් කදිමට උද්දීපනය වෙයි. හද කම්පා කරවන මෙවැනි සිද්ධීන් තොරොම්බල් කරනු විනා එවැනි සිදුවීම් ඇති නොවන්නට පාලකයන් කර තිබෙන හෝ කරන දෙයක් නැත. මේ මොහොතේද සිදු වෙමින් පවතින්නේ එවැනි තොරොම්බල් කිරීමකි. ඉතාම මෑතකදී කොස්‌ගෙඩිය දෙකක් කඩා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියද වාර්තා වුයේ මෙම ප්‍රදේශයෙන්මය. එවර කොස්‌ගසේ හිමිකරුවා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි. තමන්ට අයත් කොස්‌ගසෙන් කොස් ගෙඩි දෙකක් කැඩූ පුද්ගලයා කුදලාගෙන ගොස් පොලිසියට භාරදී අධිකරණ ක්‍රියාමර්ග ගැනීSමේ සිදුවීම කතා කළේ මාධ්‍ය පමණි. රුපියල් 25000 කට අඩු වැරැදි අධිකරණයට ඉදිරිපත් නොකර සමථ මණ්‌ඩල හරහා විසඳුම් ලබා ගැනීමේ චක්‍රලේඛ පිළිබඳ එම සිද්ධියේදී කතා බහට ලක් නොවිණි. පොල්ගෙඩි අටක් අනවසරයෙන් ගත් දැරිය අධිකරණයට ගෙන යැමේ සිද්ධියෙන් පසු සමථ මණ්‌ඩල වලට යොමු කිරීමේ චක්‍රලේඛවල දූවිලි පිසදා බැලීමට තරම් වුවමනාවක් නිර්මාණය වූයේ ඇයිද යන්න විමසිය යුතුය. කොස්‌ගෙඩි දෙකේ වටිනාකම පොල්ගෙඩි අටේ වටිනාකමට වඩා අඩුය. ඒ අතින් ගත්තද අඩු වැරදි සමථ මණ්‌ඩලයට යොමු කිරීමේ චක්‍රලේඛ ගැන කතා කරන්නට තිබුණේ මුල් සිදු වීමේදී බව කාටත් තේරෙන සත්‍යයකි. එහෙත් ඒ චක්‍රලේඛ බහා ඇති µයිsල් කවර අවුස්‌සන්නට කොස්‌ගෙඩි සිද්ධියේදී අවධානය යොමු නොකළ පාලකයන් පොල්ගෙඩි අටේ සිද්ධියේදී ඒ සඳහා උත්සුක වීම හරහා පිළිඹිබු වන්නේ දරුවන් තොරොම්බල් කර පහසුවෙන් සමාජ අවධානය දිනා ගැනීමේ පටු අරමුණ පමණක් යෑයි කීමෙහි වරදක් නැත. කොස්‌ගෙඩි දෙකේ සිද්ධියේදී අධිකරණ ඇමැතිවරයා චක්‍රලේඛ එළියට ඇද්දේ නම් හොරණ අධ්‍යාපන කලාපයේ අසරණ දැරියගේ සිද්ධියට සමථ මණ්‌ඩලය ඔස්‌සේ විසඳුමක් ලැබෙන්නෙට ඉඩ තිබිණි. එය එසේ නොවීම හරහා දරුවන් එවැනි වැරැදි සඳහා පෙළඹෙන හේතු සාධක පිළිබඳ කතිකාවතක් ගොඩනැගීමට හැකි වී ඇත. ඒ වෙනුවෙන් ඇයට ද ප්‍රශංසාව හිමි විය යුතු යෑයි අපි විශ්වාස කරමු.
නව දහස් හයසිය හැට දෙකක් පමණ වන පාසල්වල වැසිකිළි පවිත්‍ර කිරීමේ සිට තාප්ප, බිත්තිවල තීන්ත ආලේප කිරීම දක්‌වාත් විද්‍යාගාර, හා පුස්‌තකාල පරිහරණය කිරීමේ සිට යටිතල පහසුකම් සඳහා වන වැය බරත් දරන්නේ දෙමවුපියන් බව පාලකයන් දැනගෙන ඇත්තේ ඉහත දැරියගේ සිද්ධියෙන් පසුවය යන්න අපගේ "අහිංසක හැඟීමය". ඒ හැඟීම අප තුළ උපදවන්නේ සැකයකි. වසරින් වසර අධ්‍යාපනයට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන කපා හරින කල අධ්‍යාපනයේ වැයවර දෙමවුපියන් හැර ශක්‍රදේවේන්ද්‍රයා විසින් නොදරනු ලබන බව අවබෝධ කර ගැනීමට තරම් හැකියාවක් නොමැති වීම එක් අතකින් කනගාටුවකි.
කෙසේ වූවද විදුහල්පතිවරුන් දෙමවුපියන් හා දරුවන් හැර සෙසු සියලුම දෙනාගේ දැන ගැනීම වෙනුවෙන් මේ සටහන තැබීමට සිදුවී තිබේ. මන්ද ඉහත තුන් පිරිස හැර මේ දීපයේ වෙනත් කිසිවකු පාසල්වල මුදල් එකතු කිරීම පිළිබඳ හාන්කවිසියක් නොදන්නා සෙයක් දක්‌නට ඇති හෙයිනි.
දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නිති විරෝධී බව රටේ ඉහළම මණ්‌ඩලය වන කැබිනට් මණ්‌ඩලයේද සාකච්ඡා වී තිබේ. කැබිනට් මණ්‌ඩලයේ මේ සාකච්ඡාව සිදු වන්නේ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී බවට වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ චිරාත් කාලයක් ගත වීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි. මේ වනවිට සිදු වන කතාබහෙන් ගම්‍ය වන්නේ එම චක්‍රලේඛය නිකුත් කළ දා පටන් -පොල්ගෙඩි අටක් අනවසරයෙන් ගත් දැරියගේ සිද්ධිය දක්‌වා වූ කාලය පුරාවට දෙමවුපියන්ගෙන් සතයක මුදලක් පාසල් වලින් අයකර නොමැති යන හැඟීමකින් පාලකයන් පෙළෙන බවය. සෑම වසරක ම මුල සෑම පාසලක ම සෑම පන්ති කාමරයකදී ම සෑම ගුරුවරයකු විසින් ම පන්ති කව නමින් "පුංචි" රැස්‌වීමක් පවත්වන බව මේ අය නොදන්නවා විය යුතය. එහෙයින් ඒ පුංචි රැස්‌වීමේදී දෙමවුපියන්ගෙන් එකතු කරන මුදල් පිළිබඳව සඳහන් කළ යුතුමය. ඒ රටේ ඉහළ මණ්‌ඩලයේ දැනුවත් වීම සඳහාය.
පසුගිය වසරේ කොළඹ ප්‍රධාන පළේ පාසලක පන්ති කව රැස්‌වීමේදී ගත් තීරණයකට අනුව පහසුකම් හා සේවා ගාස්‌තු සාමාජික ගාස්‌තු, ආරක්‌ෂක ගාස්‌තු ක්‍රීඩා අරමුදල, පුස්‌තකාල අරමුදල, විෂය සමගාමී අරමුදල, ගොඩනැගිලි හා උපකරණ නාඩත්තු වියදම්, වාහන නඩත්තු වියදම්, ශිෂ්‍ය සුබසාධන ගාස්‌තු, ආපනශාලා දෙවැනි අදියර යන කරුණු සඳහා රුපියල් 2000 බැගින් එකතු කරන ලදී. එම පාසලේ ළමයි සංඛ්‍යාව පන්දහසකට අධිකය. එකතු වූ මුදල රුපියල් කෝටිය ඉක්‌මවීය. ඇතැම් පාසල්වල රුපියල් පන්දහස බැගින් එකතු කරනු ලැබිණි. කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක මෙම වසරේ පැවති පන්ති කවයේදී රුපියල් දෙදහස බැගින් එකතු කළ මුදල් පාසල් සංවර්ධන සමිති අරමුදලට බැර කළ යුතු බව විදුහල්පතිනිය කළ නියෝගයක් නිසා උණුසුම් තත්ත්වයත් ඇති විය. (පන්ති කවයේදී එකතු කෙරෙන මුදල් වරින් වර විවිධ අවශ්‍යතා සඳහා වැය කෙරෙන හෙයින් එම මුදල් පාසල් සංවර්ධන සමිති ගිණුමේ තැන්පත් කිරීමේ අවශ්‍යතාවක් හෝ නීතියක් නැත.)
මීට අමතරව පිට පළාත් පාසල්වලද රුපියල් දහස හෝ ඊට ආසන්න මුදලක් බැගින් දෙමවුපියන්ගෙන් අය කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයකි. රුපියල් කෝටි ගණනේ සිට රුපියල් දහස් ගණන දක්‌වා මුදලක් දෙමවුපියන්ගෙන් ඒ ඒ පාසල්වලට ලැබෙයි. ප්‍රධාන පළේ ජනප්‍රිය පාසල් හැර සෙසු සාමාන්‍ය පාසල්වල නම් එම මුදල් වැය කළ ආකාරය වසර අවසානයේදී බොහෝ විට දෙමවුපියන්ට දැන ගැනීමට ලැබෙයි. ඉන්පසු නව වසරේදී යළිත් දෙමවුපියන්ට මුදල් වැය කිරීමට සිදු වෙයි.
කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක උසස් පෙළ පන්ති සඳහා ඇතුළත් වූ ශිෂ්‍යාවන්ගෙන් අය කළ මුදල රුපියල් 8736 ක් විය. විද්‍යාගාර ගාස්‌තු, ශිෂ්‍ය වාර්තා පොත, ප්‍රගති වාර්තා පොත, යටිතල පහසුකම් ආදී විවිධ ගාස්‌තු ඊට -ඇතුළත්ව තිබිණි. පොල්ගෙඩි අටේ සිද්ධියට සම්බන්ධ දැරියට අවශ්‍ය වූයේ පන්ති කාමරයට තීන්ත ආලේප කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පන්ති කවයේදී තීරණය කළ මුදල සොයා ගැනීමය. බස්‌නාහිර පළාතේ පළාත් සභාවට අයත් පාසල්වල තීන්ත ආලේප කිරීමේ කටයුත්තේදී අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි මැදිහත් වීමක් කළේය. එනම් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස 18 වැනිදාතමින් චක්‍රලේඛයක් නිකුත් කරන පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට දන්වා සිටියේ -පාසල්වලට තීන්ත ආලේප කිSරීම සඳහා මුදල් ලබා දෙන බවය. "සුපසන් නිම්තෙර" නම් වැඩසටහන යටතේ සිසුන් 500 ට අඩු පාසල් සඳහා රුපියල් 50000 ක්‌ද 500 - 750 අතර රුපියල් 75000 ක්‌ද, 750 -1000 අතර රුපියල් 100000 ක්‌ද, 1000 ට වැඩි සිසුන් සිටින පාසල් සඳහා රුපියල් 150000 ක්‌ද වශයෙන් මුදල් ගෙවන බවට එහි සඳහන් විය. තීන්ත ආලේප කිරීමට අමතරව පාසල්වල වෙනත් අඩුපාඩුද සපුරා ගැනීමට එම මුදල යොදාගත හැකි යෑයිද චක්‍රලේඛනයේ සටහන් කර තිබිණි. තවද අමාත්‍යාංශය අලෙවි නියෝජිතයකුගේ තත්ත්වයට පත් වෙමින් සියයට 25 ක වට්‌ටමක් යටතේ තීන්ත මිලට ගත හැකි පෞද්ගලික ආයතනයක් ගැනද සඳහන් කළේය.
කාලය ගත වීමෙන් පසු පසුගිය මස 31 වැනිදා ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ අධ්‍යාපන වෘත්තීය සංගම් අතර සාකච්ඡාවක් පැවැත්විණි. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරතුර තීන්ත ආලේප කිරීමද සාකච්ඡාවට ඇතුළත් විය. එහිදී ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තීන්ත ආලේප කිරීම සඳහා පාසලකට ලබා දී ඇත්තේ රුපියල් 60000 ක් බවත් එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් යම් මුදලක් එකතු කිරීමට සිදු වී ඇති බවත්ය. පාසල්වල විදුලි ගාස්‌තු සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇති හෙයින් මාසයකට රුපියල් 250 ක් අය කරන්නේ නම් එය සාධාරණ බවත් රණතුංග මහතා ප්‍රකාශ කර ඇත.
දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීම නීති විරෝධී යෑයි කැබිනට් මණ්‌ඩලය හදිසියේම සාකච්ඡා කිරීමට සතියකට පෙර බස්‌නාහිර ප්‍රධාන ඇමැතිවරයා දෙමවුපියන්ගෙන් මුදල් අය කිරීම සාධාරණීයකරණය කරයි. රුපියල් 50000 සිට 150000 දක්‌වා පාසල්වලට මුදල් ලබා දෙන බවට චක්‍රලේඛයක් නිකුත් කළ පළාත් අමාත්‍යාංශය පසුව එය රුපියල් 60000 කට සීමා කිරීමට හේතුව කුමක්‌ද යන්නද අපැහැදිලිය.
කවුරු කුමන දේ කීවද පාසලකට වියදම් පෝලිමකි. විදුහලේ ප්‍රධානියාට ඒ වැය බර දරා ගැනීමට නොහැකි වන කල අවසාන සහ හොඳම විකල්පය දෙමවුපියන්ය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු කරන ලෙස විදුහල් ප්‍රධානීන් පොළවන්නේ අහිංසක දැරියක් තොරොම්බල් කරන ආණ්‌ඩුවය. දෙමවුපියන්ගෙන් මුදල් එකතු නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ පිට ද චක්‍රලේඛ නිකුත් කළත් ප්‍රතිඵලයක් නැත. පාසල් පවත්වාගෙන යම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස ලබා නොදෙනතාක් සාප කරමින් හෝ මුදල් වැය කිරීමට දෙමවුපියන්ට සිදු වෙයි. ඒ සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙනි.
කෝටි ප්‍රකෝටි ගණනින් අය කෙරෙන ජනතා බදු මුදලින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා වැය කෙරෙන්නේ සොච්චමකි. අධ්‍යාපනය සඳහා ඒ සොච්චමෙන්ද කොටසකි. එහෙයින් හොරණ අහිංසක දැරිය මෙන් තවත් අහිංසකයන් ඉදිරියේදීත් එවන් තත්ත්වයකට පත් වූවහොත් අරුමයක් නැත.ආශ්චර්යයේ යථාර්ථය ගඳ ගසමින් රෙද්ද පල්ලෙන් බේරෙනායුරු දැක දැකම හුරේ දමන්නන් නොඅඩු රටක සාධාරණය යුක්‌තිය ගැන කවර කතාද..... ?
නිලන්ත මදුරාවල