Thursday, February 28, 2013

සුදු රෙදි හොරු


පසුගිය වසරේ පාසල් සිසුන්ගේ නිල ඇඳුම් රෙදි ආනයනයකිරීමේදී රජයට රුපියල් දහතුන්කෝටි පනස් ලක්ෂයකට (135,000,000) අධික පාඩුවක්‌ සිදු වී තිබෙන බව එම වසරට අදාළව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ නිරීක්‍ෂණයන්ගෙන් තහවුරුවී තිබේ. චීනයෙන් රෙදි ආනයනය කිරීම නිසා එවැනි පාඩුවක් සිදු වී ඇති බව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවද පසුගිය වසරේ ඔක්‌තෝබර් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත.


අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මෙම රෙදි චීනයෙන් ආනයනය කිරීමේ සේවා ගාස්‌තු ලෙස පමණක්‌ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාවට ගෙවා ඇති මුදල් රුපියල් දෙකෝටි හැත්තෑඅටලක්‍ෂ අසූදහස (රු. 27,880,000) ඉක්‌මවා ඇත.


නිල ඇඳුම් රෙදිවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තාක්‍ෂණික ඇගයීම් කමිටු නිලධාරින් රුපියල් විසිඅටලක්‍ෂ විසිහයදහසක්‌ (රු. 2,820,000) වැය කරමින් තෙවරක්‌ම චීනයේ සංචාරය කිරීම ද විශේෂත්වයකි.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට පටහැනිව රෙදි මිටර් 15,580ක්‌ මිලදී ගැනීම නිසා රුපියල් විසිඑක්‌ලක්‍ෂ තිස්‌හයදහසකට (රු. 2,130,000) අධික වටිනාකමක්‌ සහිත රෙදි තොගයක්‌ අනවශ්‍ය රෙදි තොග වශයෙන් ගොඩගසා ඇතැයි ද එම ලිපියේ සඳහන්ව තිබේ.


එපමණක්‌ නොව රෙදි ආනයනය සඳහා දීර්ඝ කාලයක්‌ ගත වීම නිසා රජයට රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්‌ අහිමි වී ඇතැයිද සුදු කලිසම් රෙදි මීටර් නවලක්ෂ අසූදාහක් (9,80,000)‌ මිලදී ගැනීමේදී අවම මිල ගණන් ඉදිරිපත් කර තිබූ ආයතනයට ටෙන්ඩරය ලබා නොදී වෙනත් ආයතනයකට ටෙන්ඩරය පිරිනැමීම නිසා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයකට (13,000,000) අධික පාඩුවක්‌ සිදු වී ඇතැයිද රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව ලේකම්වරයාට යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබේ.


කැබිනට්‌ මණ්‌ඩල තීරණයට අනුව රෙදි මීටර් හැත්තෑපන්ලක්ෂ පනස් නවදහස් නවසිය විසිහයක (7,559,926) මිලට ගැනීමට නියමිත වුවද, මිලට ගෙන ඇති ප්‍රමාණය මීටර් හැත්තෑ පන්ලක්ෂ හැත්තෑපන්සහස් පන්සිය හය (7,575,506)කි. මෙම ප්‍රමාණයෙන් ද මීටර් එකොලොස් ලක්ෂ දහදහස් අනූහයක් (1,110,096) එනම් රුපියල් පහළොස්‌කෝටි අසූහත්දහසකට (150,084,000) අධික වටිනාකමින් යුත් රෙදි තොග පසුගිය වසරේ සැප්තැම්බර් මාසය අවසානය වනවිටත් ගබඩාවට ලැබී නොතිබූ බවද විගණන නිරීක්‍ෂණයෙන් හෙළිවී ඇත. එහි විශේෂත්වය නම් මෙම රෙදි තොග කුමන ස්‌ථානයක ගබඩා කර තිබුණේද යන්න විගණනයට අනාවරණය කර ගැනීමට නොහැකි වීමය.


කැබිනට්‌ තීරණයට අනුව නිල ඇඳුම් රෙදි ආනයනය කිරීමට අදාළ සියලු කාර්යයන් එනම් ටෙන්ඩර් කැඳවීම,ලිපි ලේඛන සැකසීම ආදිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව කළ යුතු වූ අතර එම සංස්‌ථාවේ වගකීම වූයේ අදාළ සියලු ක්‍රියාමාර්ග ගෙන අමාත්‍යාංශයට රෙදි සැපයීමය. ඒ අනුව තාක්‍ෂණ නිලධාරීන්ගේ චීන සංචාරය සඳහා වැය වූ රුපියල් විසිඅටලක්‍ෂයකට (2,800,000) අධික මුදල සංස්‌ථාව දැරිය යුතු නමුත්, එම මුදල අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංස්‌ථාවට ගෙවීම ද සැලකිය යුත්තකි.


පසුගිය වසරට අදාළ නිල ඇඳුම් රෙදි ගෙන්වීමේදී මෙතරම් අක්‍රමිකතා හා පාඩු සිදු වී තිබියදීත්, මෙම වසරට (2013) අදාළවද නිල ඇඳුම් රෙදි චීනයෙන් ආනයනය කිරීම රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව විසින්ම කරන ලද අතර එහිදී ද රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි හයහමාරකි (රු. 65,000,000).

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවතනු - SSU

අධ්‍යාපනය නංවනවා වෙනුවට පාසල් මිලිටරීකරණය කිරීම වහාම නවත්වන්නයැයි ආණ්ඩුවට බලකරනබව සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ.
"මාර්තු මාසයේදී පාසල් විදුහල්පතිවරුන් 4,000කට හමුදා තනතුරු පිරිනැමීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර ඇත. පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීම සඳහා මෙවැනි ක‍්‍රියාවක් ආණ්ඩුව විසින් සිදුකළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවකදීද ප‍්‍රධාන පාසල් ඉලක්ක කරගනිමින් පළමු පංතියේ සේවයේ නියුතු තෝරාගත් විදුහල්පතිවරුන් 23කට කර්නල් තනතුරු පිරිනමා තිබිණි. එයට පෙර හමුදා සේවයේ නියුතු වූ නිළධාරීන් යම් යම් අවස්ථාවලදී පාසල් විදුහල්පතිවරුන් ලෙස යොදා තිබුණද, සෘජුවම පාසල් පද්ධතිය මිලිටරීකරණය කිරීමේ අරමුණින් ආණ්ඩුව සිදුකල පළමු මැදිහත්වීම එය විය.
අප මෙය හඳුනාගත යුත්තේ ආණ්ඩුව මුළු රටම මිලිටරීකරණය 

කරගනිමින් යන ගමනේ තවත් එක් පියවරක් ලෙසටය. අද වන විට ජනතා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් හඬනඟන උද්ඝෝෂණ මර්දනය කිරීමේ සිට රාජ්‍ය පරිපාලන සේවය දක්වාම සිදුකරන මෙවැනි හමුදා මැදිහත්වීම් සිදුවන්නේ ඒ වැඩපිලිවෙල අනුවය. ජනතාව බියගන්වා තබාගැනීමේ වුවමනාව අනුවය. අද වන විට එය රටේ අධ්‍යාපනයද ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මකව ඇත.සරසවි ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට හමුදා පුහුණුව ලබාදීම ඇරඹියේද ඒ අනුවමය. කෝටි ගණනක මුදල් වියදම් කරමින් සිදුකරන එම ක‍්‍රියාවලින් මෙතෙක් ලැබි ඇති කිසිඳු වටිනාකමක් ඇත්ද? එම කාලසීමාව තුල එම වියදමින්ම සිසුන් පරිගණක හෝ ඉංග‍්‍රීසි වැනි පාඨමාලා වෙනුවෙන් යෙදවූවානම් එය සරසවියේදී වඩා ප‍්‍රයෝජනවත් විය හැකිව තිබිණි. නැතහොත් උසස්පෙළ සමත්වන සිසුන්ගෙන් සරසවි සඳහා බඳවාගන්නා සිසුන් ප‍්‍රමාණය ඉහළ නැංවිය හැකිව තිබිණි. එසේත් නැතහොත් එස්.බී. දිසානායක ඇමතිවරයා නොමිලේ ලබාදෙනවා යැයි සඳහන් කළ, එහෙත් ලබා නොදුන් ලැප් ටොප් යන්ත‍්‍ර හෝ සිසුන්ට ලබාදිය හැකිව තිබිණි. එහෙත් එසේ නොකර සිසුන් හමුදා කඳවුරු තුළට යැවීමටම සැළසුම් කලේ ඉහත අප සඳහන් කළ ආණ්ඩුවේ පහත් වුවමනාව සපුරාගැනීමටය. සිසුන් මිලිටරීකරණය කිරීමට එසේ ඇරඹි අතර අද එය හය හතර නොදත් 1 වසරේ පාසල් දරුවා පවා ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කිරීම මුළු මහත් ජනතාවක් ලෙස අප හෙළාදැකිය යුතුය.
අධ්‍යාපනය නගා සිටුවනවානම් ආණ්ඩුව මේ මොහොතේදී අනිවාර්යයෙන් කලයුතු වැඩසටහන් රාශියක්ම පවතී. ඇතුලත්වීමට පාසලක් නොමැතිව සිටින එක වසරේ දරුවාට පාසලක් ලබාදීමේ පටන් වඩා ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා වූ භෞතික හා මානව සම්පත් පාසල් වෙත ලබාදීම ඉන් පළමු වැන්නයි. එවැනි ක‍්‍රියාවලියක් හරහා සිසුන් අධ්‍යාපනයෙන් පිටමං කිරීම වලක්වනු වෙනුවට අද මේ කරමින් සිටින්නේ කුඩා ළමයාගේ පටන් බයගැන්වීමේ ක‍්‍රියාවලියකි.
ආණ්ඩුව විසින් සිදුකරන මෙම මිලිටරීකරණ ක‍්‍රියාවලිය සිසුන් දෙමාපියන් ඇතුළු රටේ ජනතාව තේරුම්ගත යුතුය. එසේම ඊට එරෙහි විය යුතුය. එමෙන්ම පාසල් අධ්‍යාපනය විනාශ කිරීමේ නොයෙක් අණපණත් සමගින්ම ගෙන එන සිසුන් මිලිටරීකරණය කිරීමේ මෙම වැඩපිළිවෙලත් වහා හකුළා ගන්නා ලෙස අප ආණ්ඩුවට බලකර සිටිමු."

පේරාදෙණිය කෘෂි පීඨයේ පාඨමාලා දෙකක් වැහෙන ලකුණු


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨට අනුබද්ධව 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සහ කෘෂිතාක්ෂණය හා කළමනාකරණය යන උපාධි පාඨමාලාවන් සඳහා 2013 වසරේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත්කර ගැනීමෙන් වැලකී සිටීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පියවර ගිනිම්න් සිටින බැවින් ඊට විරෝධය දක්වමින් එම පීඨවල දැනට අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඊයේ (26) ගලහ මන්දන්දියේ උද්ඝෝෂණයක නිරතවී තිබේ.

මේ සම්බන්දයෙන් අප කළ විමසීමකදී අදහස් දැක්වූ කෘෂිකර්ම පීඨ ශීෂ්‍ය සංගමයේ සභාපති බී. ආර්. එම්. එන්. කේ. අබේසිංහ මහතා පැවසූවේ " 2009 වසරේ ආරම්භ කරන ලද සත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පාඨමාලාව සඳහා මෙම වසරට ශිෂ්‍යාවන් 78දෙනෙකුත් කෘෂිතාක්ෂණය හා කළමනාකරණය පාඨමාලාව සඳහා මෙම වසරට 53දෙනෙකුත් ලෙස ළමුන් 131 ගැනීමට නියමිතව තිබෙනවා.

නමුත් එම ළමුන් බඳවා ගතහොත් ඔවුන්ට පහසුකම් සැපයීමට පරිපාලනයට නොහැකියැයි පවසමින් ඔවුන් බඳවා ගැනීම නතරකීමේ සූදානමක් පවතිනවා. එම පාඨමාලා සම්පූර්ණයෙන්ම නවතා දමන තත්වයකට පත්ව තිබෙනවා.

මේකට ප්‍රධාන හේතුව භෞතික සම්පත් හිගකම. 2009 මෙම පාඨමාලා ආරම්භ කරද්දි සිසුන් සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබාදෙන බවට පොරොන්දුවුවත් මේ දක්වා එහි පහසුකම් සපයා නැහැ. වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාව අනුව පවතින භෞතික පහසුකම් ප්‍රමාණය මදි.

දේශන ශාලා පහසුකම්, යටිතල පහසුකම්, ආපන ශාලා පහසුකම් සියල්ල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දරාගත නොහැකි තරමම මදි.

2011 වසරේ සිටම මෙම පහසුකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුනු මතුකර අදාල පහසුකම් සපයන්නැයි ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාලක සභාව සමග, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමග විටින් විට සාකච්ඡා පවත්වලා තියෙනවා, ලිඛිතව දන්වලා තියෙනවා. ඒත් ප්‍රථිපලයක්වුනේ නැහැ.

ඒ නිසා අපි අධාපන බලධාරීන්ට කියනවා මෙවෙනකොට මෙහේ විශ්වවිද්‍යාලයෙනුත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමසමෙනුත් අනුමතවෙලා තියෙවන මෙම පාඨමාලාවලට අදාල ව්‍යාපෘථි සැලසුම කැබිනට් මණ්ඩලයට දාලා අනුමතකරවාගෙන වහාම අපේ පාඨමාලා සක්‍රීය කරන්න. නවක සිසුන් වහාම බඳවා ගන්න කියලා." යනුවෙනි.