ගුරු පදවිය සූර්යයා යටතේ ඇති අන් සියල්ලටම වඩා අති උත්තම වූවක් බව"චෙක් ජාතික ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ජෝන් ආමෝස් කොමෙන්කි පැවසුවේ ක්‍රි:පූ 1600 තරම් ඈත යුගයකදීය. ඈත අතීතයේ පටන්ම ප්‍රගතිශීලි මානව වර්ගයා විසින් වටහාගත් ගුරු වෘත්තියේ ශ්‍රේෂ්ඨ මානවවාදී කාර්යය අප රට තුළදී හෑල්ලුවට හා අවමානයට පත්වූවේ පුත්තලමේ ගුරුවරිය හාල්පාරු දේශපාලනඥයෙක් ඉදීරියේ දණගැසු දා හෝ කොළඹ ගුරුතුමිය පාසලේ වහල මතට නැග විරෝධතාවයක් දැක්‌වූ දා යෑයි සිතිම විහිළුවකි. ඒ සිද්ධින් දෙකම මේ ශ්‍රේෂ්ඨ වූ වෘත්තිය කෙලෙසී යැමේ පිරිහීයාමේ ප්‍රමාණය ගැඹුර දක්‌වන නිර්ණායකයන් දෙකක් පමණි. එබැවින් ඔවුන් දෙදෙනා සම්බන්ධ සිද්ධීන් විවේචනය කිරීම පසෙක තබා ගුරු වෘත්තිය මෙබදු පිරිහුණු තත්වයකට පත් කළේ කවුරුන්ද, කුමක් සඳහාද, එය වළක්‌වා ගැනීමට කළ යුතු, කළ හැකි යමක් තව ඉතිරිව තිබේද යන්න පිළිබඳව සාමාජීය කතිකාවක්, සංවාදයක් ඇති කිරීම තවත් ' කල්‍යානි ලා ' සිය ගණනක් ඉදිරියේදී නිර්මාණය විම වළක්‌වා ගැනීමට ගතහැකි හොඳම ක්‍රියාමාර්ගයයි.
1945 ඔක්‌තෝබර් පළවෙනිදා නිදහස් අධ්‍යාපනයෙන් පිදුම් ලද මෙරට ගුරුවරයා දේශපාලනයේ සෘජු ආවතේවකරුවෙක් බවට පත්වූවේ 1956 බණ්‌ඩාරනායක දේශපාලනයත් සමඟය. එකල පංච මහා බලවේගය තුළ වූ ' ගුරු' බලවේගය සක්‍රිය ලෙස බණ්‌ඩාරනායක දේශපාලනයේ ජයග්‍රහණය වෙනුවෙන් කැප විය. එදා සිට අද දක්‌වාම ගුරුවරයා පක්‌ෂ බලයට පත්කිරීමට යොදාගන්නා ආකාරය ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි. එහි අවසන් හා අනිවාර්ය ප්‍රතිඵලය වූයේ අධ්‍යාපන පරිපාලනය දේශපාලනීකරණයට ලක්‌වීමයි. ගුරුවරු පත්කිරීම, මාරුකිරීම, උසස් කිරීම මෙන්ම දඬුවම් කිරීමේ බලයද දේශපාලනඥයා අතට පත්විය. ඊට එරෙහිව වෘත්තිය ගරුත්වය ආරක්‌ෂා කර ගැනීමට මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් තුනෙන් දෙකක් වන ගුරු පරපුර අපොහොසත් විම, ක්‍රමානුකූලව මේ තත්ත්වයට ඔවුන් අනුගත වීම, ගුරු පරපුරේ අභිමානය, පෞරුෂය බිඳවැටීමට පමණක් නොව සමස්‌ත අධ්‍යාපන පද්ධතියම බිඳවැටීමටද ප්‍රබලම සාධකයක් විය.