Thursday, May 2, 2013

ලාබයි ලාබයි වෛදය උපාධි ලාබයි...!

මීට කලකට පෙර අපේ සමාජයේ පෞද්ගලික වෛද්යය විද්යාල කියන ප්‍රශ්නය දැඩිව කතා වුනා. එහෙත් මේ වන විට ඊටත් වඩා ඉතා බරපතල ප්‍රශ්නයක් මතු වීගෙන එනවා. කොහොමද ඔයාලට කැමති උපාධියක් කැමති ගානකට ගන්න තිබ්බොත්. ඔන්න එහෙනම් එස් බ් ඇමතිතුමාගෙන් අලුත් වැඩසටහනක් ඇරබිලා තියනවා. ඒ තමයි මෙතෙක් කල් පෞද්ගලික විශ්ව විද්යාල හරහා ගෙනෙන ලද පුද්ගලික උපාදි වලට අමතරව තවත් කටයුත්තක් ඇරබීම. ඒ තමයි රජයේ විශ්ව විද්යල තුලම ශ්‍රි ලන්කවේ උපාදි විකිනීම්.

සමහර විට ඔයගොල්ලන්ටත් හිතෙන්න පුලුවන් කොච්චර හොදද අපටත් මහන්සි වෙන්නේ නැතිව උපාධි ගන්න පුලුවන්නේ කියලා. ඒකත් ඇත්ත කොච්චර හොදද දොස්තර කෙනෙක් වෙන්න තියනවනම් නේද..? ඔන්න එහෙනම් ඔය ගොල්ල හැමෝටම අවස්ථාව තියන්වා දොස්තර කෙනෙක් විතරක් නෙවෙයි, ඉංජිනේරුවෙක්, නීතිවේදියෙක් එහෙමත් නැත්නම් ලංකාවේ තියන ඕනැම උපාදියක් සල්ලි වලට ගන්න.

උපධි විකිනීමේ අලුත්ම ක්‍රමය හා මිල

ඔන්න එහෙනම් කතාවට එන්නම්, මෙතෙක් කල් අපේ විවිධ රජයන් උත්සහ කලා කෙසේ හෝ අධයාපනය පෞද්ගලිකකරනය කිරීමෙන් මුදල් උපයා ගන්න. ඔන්න එහෙනම් පසුගිය සතිය අවසානය වන විට එහි සම්පූර්ණ වැඩ කටයුතු අවසාන වීමෙන් අනතුරුව ගැසට් පත්‍රය නිකුත් වුනා. එහි සදහන් විදියට කොටියෙන්ම ලොකේ ඕනැම කෙනෙක්ට හෝ ලංකාවේ ඕනැම කෙනෙකුට අවශය මුදල තමා සතු බව පෙන්වීමෙන් මේ සදහා ඇතුල් විය හැකිය. එහි විවිධ කරුණු ගැන කතා කරලා තිබුනත් අවසන් වශයෙන් සාරංශය එයයි. ඒ සදහා $12,000 ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වෙනවා. එය ආසන්න වශයෙන් වසරකට රුපියල් 1,560,000.00 මුදලක් වෙනවා. ඒ කියන්නේ වසර 5 අවසානයේ රුපියල් 7,800,000.00 එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 78ක් වැයවෙනවා. මෙය වෛද්යය සහ දන්ත වෛද්යය සිසුන් සදහා යන වියදමයි. ඊට අමතරව විව්ධ පාඨමාල සදහා විවිධ මුදල් නියම කර ඇත.
පරිපූරක වෛදය (හෙද, ඖෂධ, රසායනාගාර, භෞතචිකිත්සක)
 $ 10,000 >>> රුපියල් 5,200,000.00 (ලක්ෂ 52)
ඉන්ජිනේරු, ආයුරුවේද වෛදය 
 $ 8,000 >>> රුපියල් 4,160,000.00
අනෙකුත් විද්යා හා ගණිත පඨමාලා
 $ 6,000 >>> රුපියල් 3,120,000.00
නීතිය $ 5,000 >>> රුපියල් 2,600,000.00
කලමනාකරනය $ 4,000 >>> රුපියල් 2,080,000.00
කලා උපාධි පාඨමාලා $ 3000 >>> රුපියල් 1,170,000.00

ඇත්තෙන්ම අපි මේ සම්බ්න්ධව සිතා බැලුවොත් අධයාපනය අමු අමුවේ විකිනීමක් ආරම්භ කර ඇති ආකාරය පැහැදිලි වෙනවා. මෙතෙක් විවිද ආකාරයෙන් නිදහස් අධයාපනයට එරෙහිව ක්‍රියාත්මක වු ත්‍රස්ත වාදය අද වන විට එලි පිට ක්‍රියාත්මක වීම ආරම්භ වී ඇත. මේ හමුවේ නිදහස් අධයාපනය අනතුරෙහි වැටෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම වටී.

නිදහස් අධයාපනයට වන හානිය
සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා නිදහස් අධයාපන ප්‍රතිපත්තිය ගෙන ඒමෙන් බලාපොරොත්තු වුයේ එතෙක් රදල පැලැන්තිය අතර පමනක් පැවති අධයාපනය රටේ සියලුම ජනතාව අතරට ගෙන යාමයි. ඒ තුලින් ශ්‍රි ලංකීය නම් ලෝකය තුල ‍රැන්දු වෛදවරු, ඉංන්ජීනේරුවන් පරික්ෂකයන් හා විවිධ පුද්ගලයන් බිහි විය. ඒ තුලින් රටේ අනාගතයට හා සංවර්ධනයට විශාල දයකත්වයක් ලැබුනේ සුදුස්සාට හා දක්ෂයාට සුදුසු තැන ලැබීම නිසාය. එතුමා මධය විද්යාල සන්කල්පය වැනි සන්කල්ප තුලින් එය තවත් තීව්‍ර කලේය. ඉන් පසුව ක්‍රියත්මක වූ මහපොල ප්‍රතිපත්තියද එය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.

නමුත් අද වන විට ඒ වෙනුවට අධයාපනය ක්‍රමයෙන් නැවතත් මුදල් වලට විකිනෙන තත්වයට පත් කරමින් පවතී. ඒ තුල අවසානයේ රටේ සියලුම විශ්ව විද්යාල පෞද්ගලික කරනය දක්වා කටයුතු සැලසෙනු ඇත. මෙහි ආරම්භය ලෙස 4.5% සිසුන් ප්‍රමනයකට මුදලට උපාදි විකිනීම ඇරබී ඇත. එය ඉතා සුලු සන්ඛයවක් ලෙස හැගුනද ඉතා විශල සංඛයාවකි මන්ද සම්පූර්ණ වෛද්යය සිසුන් ගනන 1000කට ආසන්න වෙයි. එයින් 4.5% යනු 45කි. දැනට විශ්ව විද්යල වලට එම සිසුන් ගැනීමටනම් පවතින සිසුන් සන්ඛයාවෙන් යම් ප්‍රතිශතයක් අඩු විය යුතුය. එය ආරම්බයේදි 17,000 පමන වන මුලු සිසු සන්ඛයාවට අනුව ආසන්න වශයෙන් සිසුන් 850ක අඩුවීමක් සිදු කල යුතුය. මෙය කොතරම් විශාල සංඛයවක්දැයි ඔබට එවිට වැටහෙනු ඇත. මෙය තව දුරටත් ඉහලට නොයනු ඇතැයි කිසිවෙකුට නිශ්චිතව කිව නොහැක.

ඔබටත් මෙයට ඇතුලත් විය හැකිද..?

මෙහි විහිලුවනම් මෙතරම් 0.0001Z පමන අගයක් අඩු වීමෙන් විශ්ව විද්යාල යාමට නොහැකි වූ සිසුන් කොතෙකුත් සිටියඩී S 3 සාමර්තය යටතේ සිදුකරන සම්මුඛ පරික්ෂනයකින් සිසුන තොර ගනු ලැබීමයි. ඒ තුල මෙම ගැටලුව කොතරම් හොදින් විසදෙනවාදැයි ඕනැම ළදරුවෙකුට වටහා ගත හැකිය. ඒ තුල ගමේ ගොවිතැන් කරන ගොවියගේ දරුවාටවත්, පාසලේ අනෙකුත් සිසුන්ගේ සිප් සතර කියා දෙන්නට වෙර දරන ගුරුවරයගේ දරුවාටවත් අවස්තාවක් නැත. එකම අවස්තාව ඇත්තේ මුදලට පමනි.

පෞද්ගලික විශ්ව විදයාල සන්කල්පයට අප විරුද්ධ විය, ඒ වෙන කිසිවක් නිසා නොව රටේ නිදහස් අධයාපනයට හා නිදහස් සෞඛ්යට වන හානිය දැකීමෙනි. එතැනින් පහලට අපට කිසිදු දේශපාලන අරමුනක් නොවීය. මෙම ප්‍රශ්නය තුල ඊට එහා ගිය ගැටලුවක් ඔබට අනාගතයේ මුහුන දෙන්නට සිදුවනු ඇත. ඒ තුල ඔබේ දරුවාද අයාලේ යන තවත් එකකු වනු ඇත. ඒ තුල සිදුවන් මානව හිමිකම් කඩවීම් කිසිවෙක් කතා නොකරනු ඇත. ඔබ නිහඩව සිටියහොත් අනාගතය ඔබට සාපකරනු ඇත. මෙය ලියන්නේ ඉතා කර්ය බහුල හෝර කිහිපයක් කැප කිරීමෙන් අනතුරුවය. මෙය බුද්ධිමත් මිනිසුන් සදහා මිස තමාගේ ප්‍රතිපත්ති මුදලට විකුනන හෝ මාධ්ය සදාචාරය නොදන්න ජනමාද්යය, දෙස ඔහේ බලා සිටින්නන් වෙනුවෙන් නොවේ. මා නිදහස් අධයපනයේ ප්‍රතිපල ලබා හමාරය. තව ටික කලකින් වෛදය වරයෙකි. එමනිසා මෙය කතාකිරීමෙන් මට ලැබෙන කිසිවක් නැත. එසේ වුවද මෙය සාකච්චාව සදහා විවර කරමි.

උපුටාගැනීම- Medical Clinic (වෙද මැදුර)

Wednesday, May 1, 2013

මැයි දින උපත හා අරුත!

May day
අප සතු සෑම වරප්‍රසාදයක්‌ම කිසියම් කාලයක, කිසියම් වකවානුවක කවර හෝ ජන කොටසක්‌ විසින් කරන ලද වෘත්තීය සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස අප අමතක කළ යුතු නොවේ.

වරප්‍රසාද දිනා ගැනීමට සිදුකළ වෘත්තීය සටන් කෝටි සංඛ්‍යාත වැඩකරන ලෝක ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් ගෙනගිය සටන්වල ප්‍රතිඵලයක්‌ වන අතර කම්කරුවන්ගේ දිනය වන මැයි දිනය බිහිවන්නේද එලෙසය. වැඩකරන ජනතාවගේ උරුමයක්‌ වන මැයි දිනය මේ වන විට අවස්‌ථාවාදී දේශපාලනඥයින් විසින් සින්නක්‌කර අයිතියට පවරාගෙන භුක්‌ති විඳින බව අප සැමට ඇස්‌ පනාපිට පෙනෙන්නට ඇත.

ඒ කෙසේ වෙතත් කම්කරුවන්ගේ උත්කෘෂ්ඨ සැමරුම් දිනයක්‌ වන මැයි දිනය දේශපාලන පක්‍ෂවල නාඩගම් උළෙලක්‌ විය යුතු නැති අතර එම දිනය බිහිවුණේ කෙසේද යන්න අප විමසා බලමු.

කාර්මික යුගයේ මුල් අවධියේදී (1760-1830) කම්කරුවන් ගත කළ ජීවිතය අතිශය ශෝචනීය එකක්‌ විය. කර්මාන්ත හිමියන්ගේ අධික ලාභ ඉපැයීමේ අරමුණ නිසා කම්කරුවෝ දිනකට පැය පහළොවක පමණ කාලයක්‌ වැඩකළ යුතුවූ අතර ඉන්න හිටින්න තැනක්‌ හෝ නිසි ආහාරයක්‌ ඔවුනට නොවීය.

මෙම තත්ත්වයෙන් මිදීමට බුද්ධිමත් කම්කරු නායකයන්ගේ මෙහෙවීම යටතේ වෘත්තීය සමිති මගින් සංවිධානය වූ කම්කරු ජනතාව උද්ඝෝෂණ කරන්නට වූහ. ඒ අනුව එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය,

ප්‍රංශය වැනි සෑම රටකම වෘත්තීය සමිති බිහිවන්නට විය.

වැඩ කිරීමට යහපත් තත්ත්වයක්‌, සරිලන වැටුපක්‌ පැය අටක වැඩ දිනයක්‌, මිනිස්‌ අයිතිවාසිකම් යන ප්‍රධාන ඉල්ලීම් මුල්කර ගනිමින් උද්ඝෝෂණ ඇති වන්නට විය.

වෘත්තීය සටන් තීව්‍රර වුවද පාලකයින් හා කර්මාන්ත හිමියන් එම සටන් අඩපණ කිරීමට නොයෙකුත් ක්‍රියාමාර්ග ගත් අතර මේ හේතුවෙන් 1884 දී රැස්‌වූ සංවිධානය වූ කම්කරුවන්ගේ සමිති සම්මේලනය 1886 මැයි පළමු වැනිදා සිට නිත්‍යානුකූලව වැඩකරන කාලය පැය අටක්‌ බවට කම්කරුවන් විසින්ම සම්මත කර ගත යුතු බවට තීරණය කෙරිණි. ඒ සඳහා 1886 මැයි 01 වැනිදා මහා වැඩවර්ජනයක්‌ කිරීමටද තීරණය විය.

ඒ අනුව 1886 මැයි 01 වැනි දින ඇමරිකා එක්‌සත් ජනපදයේද ප්‍රධාන කාර්මික නගරවල පැය අටක වැඩ කරන දවසක්‌ ඉල්ලා උද්ඝෝෂණ දියත් විය.

මරණය සඳහා රට පුරා විසිරුණු කර්මාන්ත ශාල එකොළොස්‌ දහසකට අධික සංඛ්‍යාවක කම්කරුවෝ ලක්‍ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක්‌ එක්‌ වූහ.

වැඩ වර්ජනය ආරම්භයත් සමගම ඇමරිකා එක්‌සත් ජනපදයේ කම්කරුවන්ගේ උද්ඝෝෂණ ඒ පිළිබඳව වැඩි වන්නට විය. චිකාගෝ නුවර කර්මාන්ත ශාලා වැඩපළවල සේවා ඇන හිටිනි.

ඇමරිකානු ධනපති පන්තිය මෙම අරගලය පිළිබඳව දැඩි තැති ගැන්මට හා කණස්‌සල්ලට පත්වූ අතර එරට පුවත්පත් භයානක කොමියුනිස්‌ට්‌ තර්ජනයක්‌ පිළිබඳව අනතුරු ඇඟවීම් කරන්නට විය.

කම්කරු සටන්වල තිබූ උද්ෙHdගයක්‌ තීව්‍රර බවත් නිසා චිකාගෝ නගර ප්‍රධානීන් සහ ධනපති පන්තිය කම්කරු සටන් ව්‍යාපාරය තහනම් කිරීමට සහ කඩාකප්පල් කිරීමට අර අඳිමින් සිටියහ. විශාල පොලිස්‌ හා හමුදා නගරයට කැඳවීමට ඔවුන් කටයුතු කළ අතර කුලී හේවායින්ද ඒ අතර විය.

එහි කම්කරු සටන මෙහෙය වූ කම්කරු නායක ඇල්බට්‌ පාර්සන්ස්‌ සහ ඔහුගේ සහායක ඔගස්‌ටස්‌ ස්‌පයස්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් විය.

කම්කරු සටනට සහාය නොදුන් චිකාගෝ නුවර ප්‍රධාන සමාගමක්‌ මැයි 03 වැනිදා සටනට සහාය දැක්‌වීමත් සමගම කම්කරු සටන වඩාත් තීව්‍රර වන්නට විය. මේ අතර වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමට පොලිස්‌ රැකවරණ යටතේ යෙදූ කුලී හේවායන්ට විරුද්ධත්වය පළ කිරීම සඳහා කම්කරුවෝ රැස්‌වීමක්‌ සංවිධානය කරන්නට වූහ. මෙම රැස්‌වීමේදී නිරායුද කම්කරුවන්ට පොලිසිය විසින් ජීව උණ්‌ඩ යොදා ගනිමින් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර එහිදී කම්කරුවන් සිවු දෙනෙකු මියගොස්‌ තවත් විශාල පිරිසක්‌ තුවාල වූහ.

ඊළඟ දිනයේදී එනම් මැයි 04 වැනිදා පොලිසිය එම දුෂ්ඨ ක්‍රියා මාර්ගයට එරෙහිව විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ රැස්‌වීමක්‌ "හේ මාර්කට්‌" චතුරශ්‍රයේ පැවැත්වීමට කම්කරුවෝ තීරණය කළහ.

ඒ සඳහා පුරපතිවරයාගේ අනුමැතියද අවසරයද හිමිවිය. රැස්‌වීම පස්‌වරු 8.00 ට පමණ ආරම්භ කරමින් කම්කරු නායක ඇල්බට්‌ පාර්සන්ඩ් අදහස්‌ දැක්‌වීය. ඉන් අනතුරුව කම්කරු නායකයින් දෙදෙනකු වන ස්‌පයස්‌ සහ µsල්ඩන් අදහස්‌ දැක්‌වූ අතර ඒ වන විට වෙලාව රාත්‍රි 10.00 ට ආසන්න වෙමින් තිබිණි. දැඩි වර්ෂාව හේතුවෙන් රැස්‌වීම අවසන් කෙරුණු අතර රැස්‌වීමට එක්‌ව සිටි පුරපතිවරයා සහ පර්සන්ස්‌ ඇතුළු කම්කරුවන් කොටසක්‌ ඉන් ඉවත්ව ගොස්‌ සිටියේය.

මේ අතරතුර කැප්ටන් බොන්µsල්ඩ් යටතේ පොලිස්‌ නිලධාරීන් 2000 ට අධික පිරිසක්‌ චතුරශ්‍රය තුළට ඇතුළු වන්නට විය. කැප්ටන් බොන්µSල්ඩ් ඉතිරිව සිටි කම්කරුවන්ට වහාම ඉන් ඉවත්වන ලෙස දන්වන ලදී. මෙහිදී කම්කරු නායකයකු වන ටී. µsල්ඩන් මෙම රැස්‌වීම සාමකාමී රැස්‌වීමක්‌ බව කැප්ටන්වරයා වෙත දන්වන ලදී.

එම සාකච්ඡාව එසේ සිදුවද්දී යම් අයකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක්‌ එයට එල්ල කළ අතර එය සටනක්‌ ඇරඹුමට සංඥවක්‌ බඳු විය. එම බෝම්බය එල්ල කළේ කවුරුන්ද යන්න අනාවරණය නොවුණු අතර ඔහු පොලිසිය විසින් කුලියට ගත් මැරවරයකු ලෙස සැලකේ.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් එක්‌ අයකු මරු තුරුළට ගිය අතර පස්‌ දෙනෙකුට තුවාල සිදුවිය. අනතුරුව සිදුවූ උණුසුම්කාරී තත්ත්වයේදී පොලිසිය විසින් කිසිදු ඉවක්‌ බවක්‌ නොමැතිව කම්කරුවන්ට බැටන් ප්‍රහාර හා වෙඩි ප්‍රහාර එල්ල කරන්නට විය. එහිදී කම්කරුවන් හය දෙනෙකු මරණයට පත්වූ අතර තුන්සියයකට අධික පිරිසක්‌ බරපතළ තුවාල ලැබූහ. පෙළපාලිකරුවන් අත තිබූ සුදු කොඩි ලෙයින් තෙමී රතු පැහැ ගැන්විය. මැයි දිනය ලෙසින් රත්වූයේ එලෙසය.

පසුව පොලිසිය විසින් නගරය දැඩි සෝදිසියට ලක්‌ කළ අතර කම්කරු සංවිධාන මූලස්‌ථාන, මුද්‍රණාල, සැකකටයුතු ස්‌ථාන දැඩි පරීක්‍ෂාවට ලක්‌ කෙරිණි. කම්කරුවන් දැඩි හිංසාවට ලක්‌ කළ අතර සිය ගණනක්‌ කම්කරුවන් සිර භාරයට ගන්නා ලදි.

කම්කරුවන්ගේ රුධිරයෙන් පළමු මැයි දිනය තෙත් කිරීමට පොලිසිය කටයුතු කළ අතර ලෝක වැඩ කරන ජනතාවගේ සටන්කාමී සංකේතය "රතු" වූයේ එලෙසය. එදා සිට කම්කරු කොඩිය රත්පැහැ ගැන්විය.

කම්කරුවන්ගේ ලෙයින් රත්වූ මැයි දිනයේදී වෘත්තීය අයිතීන් ගැන සටන්කාමී ස්‌මරණය කරනු විනා නාඩගම් නටා විකාරරූපී සංදර්ශන පවත්වා දේශපාලන විළි වසා ගැනීමට කටයුතු කළයුතු නොවේ.

සිරිමන්ත රත්නසේකර(Divaina)

Monday, April 29, 2013

විදෙස් සිසුන් ගෙන්වා ගැනීමට පෙර අපේ රටේ සිසුන්ට සරසවි වරම් ලබා දෙනු - SSU

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටින බවත් සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින බවත් සඳහන් කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම ශිෂ්‍ය සංමයේ ජාතික සංවවිධා‍යක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

"මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පැමිණෙන විදෙස් සිසුන්ට නොමිලේ ගුවන් ටිකට් පත් හා ශිෂ්‍යත්ව ඇතුළු වරප‍්‍රසාද රැසක් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ සඳහා හඳුනාගත් රටවල් 48ක ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව 100ක් ලබාදීමට 2011 වසරේ කටයුතු කල ද පැමිණ ඇත්තේ පකිස්ථානය, පලස්තීනය හා කෙන්යාව යන රටවලින් සිසුන් 05 දෙනෙකු පමණි.

අපේ රටේ විශ්වවිද්‍යාල සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් සිසුන් විසින් තෝරා ගනු ලබයි නම් එය ඉදිරිගාමී පියවරකි. එමගින් පෙන්නුම් කරන්නේ අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය එවැනි තෝරා ගැනීමක් සඳහා ගුණාත්මකව සංවර්ධනය වී ඇති බවයි. එය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඉහළ ලකුණු හිමිවීමට හේතු වනු ඇත.

එහෙත් ආණ්ඩුව මේ කරමින් සිටින්නේ එවැනි කටයුත්තක් නොවේ. මහින්ද චින්තනයට අනුව ආණ්ඩුව පාරම් බෑවේ ලංකාව ආසියාවේ පංච බල කේන්ද්‍රය කරනා බවය. එනම් නාවික, ගුවන්, බලශක්ති, දැනුම, තොරතුරු තාක්‍ෂණය යන ක්ෂේත‍්‍රවල මහා පෙරලියක් සිදුකරනා බවයි. ලංකාව දැනුමේ කේන්‍ද්‍රස්ථානය බවට පත් කර චීනය, ඉන්දියාව වැනි රටවල සිසුන්ගෙන් මෙරට විශ්ව විද්‍යාල පුරවන බවය. එහෙත් නාවික කේන්‍ද්‍රයට ඉදිකල වරායට නැව් නොඑනා සේ, ගුවන් කේන්ද්‍රයට ඉදිකල ගුවන් තොටුපලට ගුවන් යානා නොඑනා සේ , බලශක්ති කේන්ද්‍රයට ඉදිකල විදුලි බලාගාර හැමදාම අක‍්‍රීය වී ඇතිවා සේ, දැනුමේ කේන්ද්‍රයටද විදෙස් සිසුන් පැමිණියේ නැත. දැන් ආණ්ඩුව සිදු කිරීමට උත්සාහ කරන්නේ ගුවන් ටිකට්පත්, වීසා,ශිෂ්‍යත්ව වැනි අල්ලස් ලබාදී කවර හෝ විදෙස් සිසුවකුගෙන් විශ්වවිද්‍යාල පිරවීමටය. ලංකාවේ විශ්වවිද්‍යාල වලට විදෙස් සිසුන් ගෙන්වා ගැනීම යනු හික්කඩුව හෝ ගල්කිස්ස මුහුදු වෙරළෙන් අහුලා ගන්න සුද්දන් විශ්වවිද්‍යාලවල වාඩි කරවීම නොවන බව ආණ්ඩුව තේරුම් ගත යුතුය.

අනෙක ආණ්ඩුව ශිෂ්‍යත්ව ලබාදීම හරහා සුදුසුකම් නැති විදෙස් සිසුන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පිරවීමට උත්සාහ දරන විට අ.පො.ස. උසස් පෙල "A" සමාර්ථ 3ක් ලබාගත් දහස් ගණනක් අපේ රටේ සිසුන්ට විශ්වවිද්‍යාලයක පස් පෑගීමට පවා වරම් අහිමි කර ඇත. වාණිජ විෂය ධාරාවෙන් "A" 3 ලබාගත් 3500ක් පමණද ගණිත විෂය ධාරාවෙන් පැරණි විෂය නිර්දේශයට පෙනී සිට "A" 3 ලබාගත් සිසුන් සිය ගණනකටද කළමනාකරණ හො ඉංජිනේරු පීඨ නොව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය පවා අහිමි වී ඇත. මෙවැනි අවස්ථාවක ජනතාවාදී, දේශපේ‍්‍රමී යයි කියාගන්නා ආණ්ඩුවක වගකීම එම දේශීය සිසුන් සියළු දෙනාට සරසවි වරම් හිමි කර දීමද? නැත්නම් ශිෂ්‍යත්ව ඇතුළු අල්ලස් ලබා දී කෙන්යාවෙන්,නයිජීරියාවෙන් ගෙන්වා ගන්නා විදෙස් සිසුන්ගෙන් අපේ රටේ විශ්වවිද්‍යාල පිරවීමද?.

අප රටේ ශිෂ්‍යයන්ට අවස්ථාව අහිමි කර විදෙස් සිසුන්ට රටේ අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ මෙම ක‍්‍රියාමාර්ගයට සමාජවාදී ශිෂ්‍ය සංගමය සිය දැඩි විරෝධය පලකර සිටී. සිය පුරාජේරුව වෙනුවෙන් එස්.බී. දිසානායක ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිදුකරන මෙම නින්දිත කටයුත්ත වහාම නතරකර එම මුදල් රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනයට යොදවා, අපේ රටේ සිසුන් වැඩි ප‍්‍රමාණයක් බඳවා ගැනීමට කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු."